top of page

මුරලිගේ අයිතිය සහ සදාචාරය

සාමන්ත තැන්නගේ විසිනි (by Saamantha Tennege)

ඕස්ට්‍රේලියාවේ ක්‍රීඩා වංශකතාව තුළ ඉහළින්ම රැදී ඇති නම ඩොන් බ්‍රැඩ්මන්ය. ඩොන් බ්‍රැඩ්මන් යනු මෙතෙක් කාලයකට ලොව පහළ වූ හොදම පිතිකරුවා බව විවාදයෙන් තොරය. ඔහු එතරම්ම දක්ෂ පිතිකරුවෙකු වූයේ නිකම්ම නොව ඔහුගේ අප්‍රතිහත ධෛර්යය නිසාය. ඩොන් පිතිකරණය පුරුදු වූයේ විකට් පොල්ලකින් ගොල්ෆ් බෝලයකට පහර දීමෙනි. ටෙස්ට් තරඟ 52 කදී ලකුණු 6696 ක් රැස්කළ ඔහුගේ පිතිකරණයේ සාමාන්‍ය 99.94 කි. එදා මෙදා තුර බ්‍රැඩ්මන්ගේ පිතිකරණයේ සාමාන්‍ය අසලකටවත් ඒමට වෙනත් කිසිම පිතිකරුවෙකු සමත් වී නැත. ඩොන් බ්‍රැඩ්මන් ඕස්ට්‍රේලියාවටත්, ඕස්ට්‍රේලියානුවන්ටත් කළ සේවය හුදු පිතිකරණයේ සීමාවෙන් එහාට ගිය එකක් බව දන්නා අය අතලොස්සකි. 1930 ගණන් යනු ඕස්ට්‍රේලියාව ඉතා උග්‍ර ආර්ථීක අවපාතයකට ලක්ව පීඩාවිඳි යුගයකි. විරැකියාව, දුප්පත්කම හා උද්ධමනයෙන් ඕස්ට්‍රේලියානුවන් බැට කෑ ඒ යුගයේ ක්‍රීඩාවේ ප්‍රතිමුර්තිය බවට පත්වෙමින් බ්‍රැඩ්මන් ජනතාව පෙළුනු අසහනය මොහොතකට හෝ වෙනතකට හරවා ඔවුන්ට මදකට සතුටු වන්නට අවස්ථාවක් සලසා දුන්නේ ය. ලාංකිකයා එක්දාස් නවසිය අනූව දශකයට පය තැබුවේ දෙකොණ විලක්කුවකින් බැට කමිනි. එක් අතෙකින් දකුණේ මිනිස් ඝාතන රැල්ල අවසන් වූවා පමණි. අනෙක් අතින් තවදුරටත් උතුරේ යුද්ධය හිඟන්නාගේ තුවාළයක්ව පැවතුණි. පෙනෙනතෙක් මානයකවත් බහුතර ලාංකීය ජනතාවගේ අභ්‍යන්තර හා බාහිර ගැටලූ විසෙඳන සේයාවකුදු නොවීය. යුද්ධයෙන් බැට කෑ ජනතාවගේ ඔද්දල් වූ සිත් තුළට ජොතිශ්‍යකාරයෝත්, බණකාරයෝත්, බයිලාකාරයෝත් ඈ එකී මෙකී නොකී විජ්ජාකාරායෝ කුරුමාණම් අල්ලමින් සිටියහ. දකින්නට හරිහමන් සිහිනයකුදු නොවූ එකල ජනතාවගේ දැවෙන මනස මදකට හෝ නිවා සනසන්නට සමත් වූයේ හැමදාම පැරදෙමින් සිටි ශ්‍රී ලාංකික ක්‍රිකට් කණ්ඩායම ජයග්‍රහණයන්ගේ පහස ලබන්නට වීමත් සමගය. එසේ ඇරඹි ජයග්‍රාහී ශ්‍රී ලංකා ක්‍රිකට් වංශකතාව තුළ ඕස්ට්‍රේලියාවේ ඩොන් බ්‍රැඩ්මන් බඳු ලෝක පූජිත ක්‍රීඩා ප්‍රතිමුර්තියක් බිහිවූවා නම් ඒ මුත්තයියා මුරලිදරන් නොවේ ද ? විකට් පොල්ලකින් ගොල්ෆ් බෝලයට පහර දී පුහුණු වූ බ්‍රැඩ්මන්ට පිත්තකින් ලෙදර් බෝලයකට පහරදීම කජු කනවා මෙන් වන්නට ඇත. ඔහුගේ පිතිකරණයට හා සමතැන්ගන්නට තවත් වසර සීයක් ගත වුවද වෙනත් අයෙකුට හැකියාවක් ලැඛෙතැයි සිතීම අසීරුය. විකට්ටුවක් මත වීදුරුවක් තබා, ඒ වීදුරුවේ දාරය මත කාසියක් තබා, වීදුරුව නොවැටී හරියටම එම කාසිය පමණක් වැටෙන පරිදි පන්දු යැවිය හැකි අයෙක් සිටියා නම් ඒ මුත්තයියා මුරලිදරන් ය. ඔහු අතට පෙර දෙනෙතින් පිතිකරු මෙල්ල කරයි – මුලාකරයි. ඔහුට විදාගත් දෙනෙතින්ල සිතාගත් ඉලක්කයටල දෑස පියාගෙන වුවද පන්දු යැවිය හැකිය. ලෝක ක්‍රිකට් වංශකතාවේ පිතිකරුවෙකුට හිමිකරගත හැකි උසස්ම සම්මානය හිමිවන්නේ ඩොන් බ්‍රැඩ්මන්ටම ය. පන්දු යවන්නන් අතරින් ඒ සම්මානය හිමිවන්නේ මුරලිටම ය. බ්‍රැඩ්මන්ව හා මුරලිව සසඳා බලන්නට අපට සිතුණේ කරුණු දෙකක් නිසාවෙනි. ඉන් පළමුවැන්න නම් 2016 ජූලි මස ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වෙමින් සිටින ඕස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායමේ දඟ පන්දු යවන්නන් පුහුණු කිරීමට දින දහයක කොන්ත්‍රාත්තුවක් අත්සන් කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති කළ ප්‍රකාශ නිසාය. දෙවෙනි කාරණය වන්නේ 1996 පටන් මුරලිට එරෙහිව ඕස්ට්‍රේලියානු ක්‍රිකට් විනිසුරුවන්ගෙන් එල්ල වූ කෙණෙහෙලිකම්ය. මුලින්ම අපි දෙවෙනි කාරණය ගනිමු. 1996 මුරලිට එරෙහිව චෝදනා එල්ල කරන විට ඕස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායම කෙරෙහි ඇතිකරගත් බද්ධ වෛරය මෑතක් වන තෙක්ම අප තුළද පැවතුණු බව බොරුවක් නොවේ. ඕස්ට්‍රේලියාවේ ජීවත් වන ශ්‍රී ලාංකිකයෝ බොහෝ දෙනා අදටත් ඕස්ට්‍රේලියානු පිළට එම කාරණය නිසාම වෛර කරති. 1975 පැවති ලෝක කුසලානයේදී ඕස්ට්‍රේලියාව ශ්‍රී ලංකාව අතින් පරාජය නොවී බේරුණේ කායික අඩන්තේට්ටම් වලිනි. 1996 වන විට පන්දුවෙන් හානිකර තරඟ දිනන්නට හැකියාවක් නොතිබුණි. එසේ නම් කළ යුතුව තිබුණේ මානසික අඩම්තේට්ටම්ය. මුරලිට එරෙහි චෝදනා එම නාටකයේම කොටසක් වන්නට ඇත. එදා මුරලිට වෙනුවෙන් සටන් පෙරමුණේ ඉදිරියෙන්ම සිටියේ එවකට ක්‍රිකට් නායක අර්ජුන රණතුංගය. එදා පිටිය තුළත්, ඉන් පිටතත් අර්ජුන සිය නායකත්වය මැනවින් විදහා පෙන්විය. 1996 වන විට ලංකාවේ කුඩාදරුවාගේ පටන් ගමේ අත්තම්මා දක්වා සියල්ලෝම ක්‍රිකට් උන්මාදයෙන් පෙළුණහ. ලංකාවේදී අප සිතුවේ ඕස්ට්‍රේලියාවේ තත්ත්වයත් එබඳු බවය. ක්‍රිකට් යනු ඕස්ට්‍රේලියාවේ ජනප්‍රියම ක්‍රීඩාව නොවන බව තේරුම් ගැනීමට අපට මේ රටට එන්නටම විය. එමෙන්ම මේ රටේ ෆුටී, රගර්, ටෙනිස්, පාපන්දු හෝ ක්‍රිකට් යනාදී ක්‍රීඩාවන්ට සහාය දක්වන වෙන වෙනම පිරිස් සිටීමෙන් සමස්ථයක් වශයෙන් සියලූම ක්‍රීඩා උසස් තත්ත්වයක පැවතීමට හේතුවන බව අපේ අදහසය. ඕස්ට්‍රේලියාව හා ඉන්දියාව හෝ ශ්‍රී ලංකාව අතර ඕස්ට්‍රේලියාවේ ක්‍රිකට් තරඟයක් පැවතුණොත් මෙහි පුරවැසිබව ලබා සිටින ඉන්දියානුවොත්, ශ්‍රී ලාංකිකයෝත් ඔල්වරසන් හඬ නඟන්නේ ඕස්ට්‍රේලියාවට එරෙහිවය. ඕස්ට්‍රේලියාව හා නවසීලන්තය අතර රගර් තරඟයක් පවතින විට මෙහි සිටින නවසීලන්ත සම්භවයක් ඇති අය ඔල්වරසන් හඬ නගන්නේද ඕස්ට්‍රේලියාවට එරෙහිවය. ඕස්ට්‍රේලියාව හා ඉතාලිය අතර පාපන්දු තරඟයක් පවතින විට මෙහි සිටින ඉතාලි සම්භවයක් ඇති අය ඔල්වරසන් හඬ නඟන්නේද ඕස්ට්‍රේලියාවට එරෙහිවය. කවුරු ආවත් ගියත්, කාට කෑ ගැසුවත් ඕස්ට්‍රේලියාවේ ක්‍රීඩා කලමනාකරණය වැටෙන්නේ නැත. වැටුණත් ඔවුහු වහා ගොඩ එනවා නොවේ ද ? මෙවැනි තත්ත්වයක් ලංකාවේ තිබුණා නම්, අපට මොනවා වෙයිද ? අපි මොනවා නොකියයිද ? අපි මොනවා නොකරයි ද ?

Murali by Saamantha Tennege

Murali by Saamantha Tennege


1996දී ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරු වූයේ ඩේව් වට්මෝර් ය. භෞත චිකිත්සක ඕස්ටේලියානු ජාතික ඇලෙක්ස් කොන්ටෝරිය. කිසිම ඕස්ට්‍රේලියානුවෙක් ඔවුන් කළ රැකියාවේ සදාචාරය ගැන විමසුවාද ? ලංකාව ලැජ්ජා විය යුත්තේ අදටත් අපේ අම්මලා ආරාබියට පටවා ගෙදර වියදම හොයා ගන්නා නිසා මිස ජාත්‍යන්තර තළයේ ක්‍රීඩා පුහුණුකරුවන් බිහිවීම නිසාද ? හතුරුසිංහ, වාස්, මහේල වැනි අයගේ උපදෙස් වෙනත් රටක් හෝ ලබාගන්නවා නම් එහි ඇත්තේ කවර වරදද ? එක්තරා ඇමතියෙක් තමන්ගේ අමාත්‍යාංශයට රැකියා නැති මිනිසුන් අර්ධ ශතකයක් උපදේශකවරු තනතුරු දී බදවා ගත්තා සේ රට වෙනුවෙන් ක්‍රීඩා කළ සියල්ලටම ශ්‍රී ලංකා කි්‍රකට් ආයතනයේ රස්සා දීමට හැකියාවක් නැත. නූගත්කමින් දෙන උපදෙස් වලට වඩා උගත් දෙයින් උපදෙස්දීම තරම් ආශ්වාදයක් තවත් කොයින් ද ? අපට සුද්දාගෙන් ඉගෙන ගත හැකි නම් සුද්දා අපෙන් ඉගෙන ගැනීම නොහොත් අපි සුද්දාට ඉගැන්වීම වරදක් වන්නේ කෙසේද ? ඔවුන් අපේ අයට ඔවුන්ට උගන්වන්නට ආරාධනා කිරීම අපට කරන ගෞරවයකි. එමෙන්ම එය අපට ආඩම්බරයකි. ගෞරවය හා ආඩම්බරය අප විඳගතයුත්තේ මධ්‍යස්ථව මිස හැඟීම් වලට වහල්වීමෙන් නොවේ. ඕස්ට්‍රේලියාවේ ජනගහනය ආසන්න වශයෙන් තවමත් ලංකාවේ ජනගහනයට සමානය. 2012 ඔලිම්පික් වල ඕස්ට්‍රේලියාව අට වෙනි තැන ගන්නා විට ලංකාව අන්තිම අඩියේය. මීට හේතුව ඕස්ට්‍රේලියාව ධනවත් රටක් වීමම ද ? ඔවුන්ගේ නිවැරදි දැක්මක් සහිත කලමණාකාරිත්වය ද ? ක්‍රිකට් මුල් පුටුවට ඒමට වලිකන ඕස්ට්‍රේලියානුවන්ව අපි දැක නැත්තෙමු. එබඳු ලාංකිකයෝ නම් ඇති තරම් දැක ඇත. ඕස්ට්‍රේලියාවේ සභාපතිලාට ඇත්තේ අභිමානය ය. ලංකාවේ සභාපතිලාට නැත්තේ ලැජ්ජාව ය. ඕස්ට්‍රේලියානුවා මුරලිගෙන් දඟපන්දු යවන්නට ඉගෙන ගත් පමණින් ලංකාවේ සභාපතිගෙන් සභාපතිකම් කරන හැටි ඉගෙන ගන්න සිහිනෙන්වත් සිතනු ඇත්ද ? ජනතාව අතින් ප්‍රතික්ෂේපව පැරදුනද, පරාජය බාර නොගෙන යළි පස්සා දොරින් කරලියට පිවිසෙන්නට තරම් ලැජ්ජාවක් නැති අය මුරලිගේ සදාචාරය ගැන කතාකිරීම පවා ලැජ්ජාවක් නැතිවීම රටේම අභාග්‍යක් නොවේ ද ? පැරදුණේ නැතත් ලැජ්ජාවක් නැති අය හා තරඟ කිරීමෙන් වැළකී 1996 ලෝක කුසලානය දිනාගැනීමට මූලික අඩිතාලම දැමූ ආනා පුංචිහේවාගේ සේවය අහිමිවීමද කුදුමහත් රටකම අභාග්‍යක් නොවේ ද ? මට වැරදුණේ ඕස්ට්‍රේලියාවේ පදිංචියට පැමිණ බොහෝ කාලයක් යනතුරුත් ඕස්ට්‍රේලියානු ක්‍රිකට් පිළට මාද වෛර කිරීමය. මා දන්නා තරමට ඕස්ට්‍රේලියානු ජාතික විනිශ්චයකරුවන් හැරුණු කොට ප්‍රසිද්ධියේ මුරලිට එරෙහි වූ අයෙක් වූවා නම් ඒ හිටපු ඕස්ට්‍රේලියානු අගමැති ජෝර්න් හොවාඩ් පමණය. වෙනත් කිසිදු ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයෙක් මුරලිට එරෙහිව ගිය බවක් මම නොදනිමි. ශේන් වෝන් පවා කීවේ මුරලිගේම මානසික සහනය පිණිස ඔහුගේ පන්දු යැවීම පරික්ෂාවට ලක් කිරීම හොඳ බවය. මුරලිගේ පන්දු යැවීම නීතියානුකූල බව මුලින්ම සහතික කරනු ලැබුවේද ඕස්ට්‍රේලියාවේ පර්ත් නුවර පැවති පරීක්ෂණයකිනි. 2004 ඔහුගේ පන්දු යැවීම නිවැරදි බවට තහවුරු කළ අය අතර ඕස්ට්‍රේලියාවේ හිටපු ක්‍රිකට් ක්‍රීඩක මයිකල් ස්ලෙටර්ද විය. ඒ විතරක්ද ? බොහෝ ශ්‍රී ලාංකික ක්‍රීරඩකයන් අදටත් තමන්ගේ ශාරීරික ආබාධයන්ට ප්‍රතිකාර ලබාගන්නේද ඕස්ට්‍රේලියානු විශේෂඥයන්ගෙන් නොවේ ද ? අප අදටත් ඩෙංගු රෝගයට, පිළිකාවන්ට හෝ ඒඩ්ස්වලට ඛෙහෙත් හොයා ගත්තා යැයි කියන හොර තක්කඩින්ට පත්තර පිටුගණන් වෙන් කරන ජාතියකි. එහෙත් වෛද්‍ය ක්ෂේත්‍රයේ දියුණුවට ඕස්ට්‍රේලියාව කෙතරම් පරීක්ෂණ කරනවාද ? විවිධ පිළිකාවන්ට ප්‍රතිකාර සඳහා කෙතරම් පරීක්ෂණ කරනවාද ? ඒවා ලංකාවේ මෙන් සුද්දා හොරාගනිතැයි යන මුළාවෙන් එකට කෙටූ ශාකපත්‍ර ගැන නොදොඩන අත්භූත ඛෙහෙත් නොව හේතු සාධක මත ගොඩනැගුණු ඒවාය. නිදසුනක් මෙන් ඉතා මෑතකදී සිඩ්නි නුවර ජීවරසායන විද්‍යාඥ පිල්ප් හොග් කළ පරීක්ෂණය ගනිමු. තවමත් පරීක්ෂණ මට්ටමේ පැවතියද, ඔහු මුලින්ම කළේ පිළිකාවක සෛල විභේදනය වීමට අදාල ප්‍රෝටීනය හඳුනා ගෙන එම ප්‍රෝටීනය අකර්මණ්‍ය කළ හැකි ඔෟෂධයක් සොයාගැනීමය. මුරලි පන්දුව දමා ගසන බව කී ඕස්ට්‍රේලියානුවෝ ඔහු පන්දුව දමා නොගසන බව කියන්නේද අප මෙන් ආවේගයන්ට යටත්ව නොව විධිමත් පරීක්ෂණ ක්‍රමවේදයක් අනුගමනය කිරීමෙනි. අපේ සභාපතිලා කියන්නේ මුරලිව තුන්වතාවක් බේරාගත් නිසා මුරලි ඕස්ට්‍රේලියානුවන් පුහුණු කිරීම සදාචාර විරෝධීබවය. මුලින්ම කිවයුත්තේ සභාපතිට එහෙම කතාවක් කියන්නට පවා සදාචාරයක් නැති බවය. මක්නිසාදයත් කණ්ඩායමේ ක්‍රීඩකයෙකුට ප්‍රශ්නයක් ඇතිවන විට කලමණාකාරිත්වය එසේ කටයුතු කිරීමට කවුරුවත් කියනතුරු සිටිය යුතු නැත. එය ඔවුන්ගේ වගකීමක් මිස යුතුකමක් නොවේ. අනෙක් අතට අප ලැජ්ජා විය යුත්තේ ක්‍රීඩාවෙන් විශ්‍රාමගත් ක්‍රීඩකයෙකු කරන රැකියාව, එම ක්‍රීඩකයා වෙනුවෙන් ක්‍රිකට් සංගමය පෙර ඉටුකළ රාජකාරියට හිලව් වියයුතුයැයි සිතන සභාපතිවරයෙකු සිටීමය. කෙසේ වෙතත් තමන්ට එරෙහිව එල්ල වූ චෝදනාවන්ගෙන් නීත්‍යානුකූලව නිදහස්වීම නිසා මුරලිගේ ජනප්‍රියත්වය මතු නොව දක්ෂතාව පවා තව තවත් ඔප් නැගුනා නොවේද ? බොහෝ විට කෙනෙකුට ජීවිතයේ ඇතිවන බාධා කම්කටොලූ පසුකාලීනව ඔවුන්ගේ ජීවිතවලට ආලෝකයක් වෙයි. එබදු බාධක නොතිබුණානම් මුරලිගේ ජීවිත කතාවද තවත් එක් දඟපන්දු යවන්නෙකුගේ කතාවක් වියහැකිව තිබුණා නොවේද ? මේ සියලූ කාරණා සලකා බලන කළ අප ඕස්ට්‍රේලියානුවන්ට කෘතඥවිය යුතු නොවේ ද ? ඔවුන් නොවන්නට මුරලි මේ තරමට ජනප්‍රිය නොවන්නට ඉඩ තිබුණි. වෛරයෙන් වෛරය නොසන්සිදෙන බව උපදිනකොටම දැනසිටියේ අපය. පිළිපදින්නේ උන්ය. සමනළයෙක් මෙන් පියාඹා මී මැස්සෙක් මෙන් මුෂ්ඨි පහර දුන් මොහොමඩ් අලී අයිති ඇමරිකාවට විතරක් නොව මුලූ ලොවටමය. බොක්සිං වළල්ලේ අලී මෙන් තණතීරුව මත මුරලී පෑ රංගනයද අද අයිති ලංකාවට පමණක් නොව මුළු ලෝකයටමය. තණතිල්ල මත මා දුටු මුරලි එක් අතෙකින් නර්ථන ශිල්පියෙකි. අනෙක් අතින් චිත්ත ඒකාග්‍රතාව ප්‍රගුණ කළ මුණිවරයෙකි. එක් මොහොතක රොන් සොයා මලකට පියඹා යන සමනළයෙකි. අනෙක් මොහොතේ තමා කරා ඇදෙන සමනළයෙක් දෙස බලා සිටින මලකි. අද මුරලි ගැන ලස්සනම දේ කියන්නේ ඔහුගේ සමකාලීන ප්‍රතිවාදී කණ්ඩායම්වල සිටි විශේෂයෙන්ම ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයෝය. මැතිව් හේඩන්ට අනුව මුරලිගේ පන්දු යැවීම තමන්ට හැකිතරම් දෙනෙත් විවර කර පිතිකරුවා මුලාකර එකවිට පන්දු දාහතරක් තමන් දෙසට විදිනවා හා සමානය. ඔහු තම මුළු හදවතින්ම මුරලි නම් අසහාය මිනිසාට ගරු කරණ බවද කියයි. ජස්ටින් ලැන්ගර් කියන්නේ මුරලි ඔහුගේ තර්කය හා තීරණය සමඟ සෙල්ලම් කරන බවය. ඒ මුරලිගේ අත දිහා බැලු විට පන්දුව ඇතුළට දඟකැවිය යුතු බවට ඔහුගේ මොළය ඔහුට කියන නමුත් ඒ ආකාරයෙන්ම මුරලිට පන්දුව පිටතට දඟකැවීමටද හැකියාවක් ඇති බව ඔහුගේ සිත ඔහුට කියන බව ඔහු පවසයි. මේ තර්ක විතර්ක වලට මැදිවන පිතිකරුවාගේ කඩුල්ලට පෙර හිස සත්කඩකට පුපුරා නොයයිද ? මයික් හසී කියන්නේ මුරලිගෙන් බොහෝ දේ උගත් බවය. එමෙන්ම මුරලිගේ පන්දුව අහසේ දඟ කැවී තමන් දෙසට ඇදී එන හඬපවා ඔහුට ඇසෙන බවය. මුරලි දූස්රා පන්දුව යැවීමට උගත්තේ පකිස්තානයේ ෂක්ලේන් මුස්ටාක්ගෙනි. එහෙත් ෂක්ලේන් කියන්නේ ඔහු ලෝකයේ වඩාත්ම කැමති පන්දු යවන්නා මුරලි බවය. සැබවින්ම ඇතැම් ඕස්ට්‍රේලායානු ක්‍රීඩකයන් මුරලි ගැන අද කතා කරන්නේ මහා කවියෙකුගේ කවියක් විචාරන තවත් මහා කවියෙකු විලසිනි. එබඳු කාව්‍යාත්මක විචාරයක් සිංහල විචාරකයෙකුගෙන් නෑසෙන්නේ ඇයි ? මහේල ඉංග්‍රීසියෙන් කළ අදහස් දැක්වීමකදී මුරලි සිය අවසාන ටෙස්ට් තරඟයේ අවසාන පන්දුවට 800 වැනි කඩුල්ල දවා ගැනීම ගැන දක්වන්නේ නාට්‍යමය අදහසකි. මාහේල ඒ අපූරු මොහොත අදහස් දක්වන්නේ මෙසේය ! “ඔබට ඊටත් වඩා හොඳ තිර පිටපතක් ලිවීමට කෙහෙත්ම හැකියාවක් නැත !” අප භාවිතකරන මනහර සිංහල භාෂාවෙන් එබඳු අදහසක් නිරවුල්ව දක්වන්නන්ගෙන් අද අපේ දේශය සිස්ව ඇති නියා ය. කිසියම් දිනක මුරලිගේ කතාව චිත්‍රපටයකට නැගෙතැයි මම සිතමි. එය ශ්‍රී ලාංකික අධ්‍යක්ෂවරයෙකුගේ අතින් සිදුනොවන බවද මම සිතමි. මට වැරදුණු තවත් තැනක් නම් එදා ක්‍රිකට් පිටිය තුළ අර්ජුනගේ විශිෂ්ඨ නායකත්වය මෙදා ඔහුගේ දේශපාලනය තුළිනුත් විදහා පෙන්වනු ඇතැයි අපේක්ෂාසහගත වීමය. අර්ජුන දේශපාලන අජූතයෙක් නොවෙතැයි සිතීමය. මුරලිගේ චරිතාපදානය අපට කියා දෙන පාඩම් රැසකි. අපේ ගමනට කවුරු හෝ අභියෝයක් වූ පමණින් අප ඔවුන් හා සදාකාලික වෛරයෙන් පසුවීම සුදුසුද ? පළමුව අප කළ යුත්තේ නොසැලී එම අභියෝගයට මුහුණ දීමය. මුරලි නිසා අපි ඕස්ට්‍රේලියානුවා සමග වෛර බැද ගත්තද, ඕස්ට්‍රේලියානුවාට මුරලිත් සමග සදාකාලික වෛරයක් තිබී නැත. එසේ වුවා නම් කිසිදාක ඔවුන් මුරලිගේ සේවය යළි ලබා ගනීද ? මට හිතෙන්නේ ශ්‍රී ලාංකිකයට වඩා හොඳින් ඕස්ට්‍රේලියානුවා මුරලිව තේරුම් ගෙන ඇති බවය. වෛර නොකිරීමත්, ක්‍රෝධ නොකිරීමත්, පළි නොගැනීමත් ඇති තැන නැති වන එක් දෙයක් ඇත. ඒ පරාජයයි.

14 views0 comments

Recent Posts

See All

හම, හම ගසා නාකි වීම

අපගේ වයස්ගතවීම සිදුවන්නේ හරිම වේගයකින්. මේ වයසට යාම පිටතට නොපෙන්වන්නට අප කොතරම් උත්සාහ කරනවාද? කොතරම් වියදම් කරනවා ද? ඒ පිටතින් පමණයි. නමුත්

bottom of page