top of page

කාසි වලට ගන්නත් බැහැ - කාසි වලට දෙන්නත් බැහැ…

වසන්ත ඝෘතුව වුනත් උදේ පාන්දර පින්නත් එක්ක දැනුනු සීතල ටිකක් තදයි. ඒත් ඉතිං වසන්තේ විතරක් නෙමෙයි සිසිරයේ සීතලත්, හැම දේම හිතින් අමතක කරලා ගල් බැම්මකට හේත්තු වෙලා, උණු දිය පොකුණක ගිලිලා, ඈත ක්සිතිජය බලාගෙන ඉන්න තියන ලෝබකමට යටයි. මේ කියන්න යන්නේ මෝනිංටන් අර්ධද්වීපයේ උණු ළිං පොකුණු වලින් නාගන්න ගිහින් මගේ නෙත ගැටුණු, ඒත් බොහෝ දෙනෙකුගේ නෙත නොගැටෙන දෙයක් ගැන.


ඉර ටිකින් ටික හිනාවෙන්න පටන් අරගෙන තිබුණා. ගහ කොළ අතරින් ඇතිරී තිබුණු පෙත් මං සැරසිලා තිබුණේ ස්වභාවික ගල්, වැලි, තණකොළ, වගේම ලී වලින්. තැනින් තැන තිබුණු පොකුණු එක නිමේෂයකින් මාව ජපානයේ හකුනේ ප්‍රදේශයේ උණු දිය පොකුණු කරා ගෙන ගියා. ජපානය කියන්නේ නෑමත් කලාවක් කර ගත්ත රටක්. (ඒ ගැන පසුව ලියන්නම්.)


ඊළඟට මගේ හිතට ආවේ කුට්ටම් පොකුණ. හැඩය වෙනස් වුනාට මේ සෙල්මුවා පොකුණු වල ගල් එකිනෙකට හේත්තු කරලා තිබුණෙත් තරමක් දුරට කුට්ටම් පොකුණු වල වගේම.


නිරැවත් දෙපතුළ සිපගත්ත ස්වභාවික පොළොව සිතට ගෙනාවේ අසීමිත නිදහසක්. පොකුණු පිරිලා තිබුණේ පොළව මට්ටමට මීටර් හයසිය පණහක් ගැඹුරෙන් ගලාගෙන එන සෙල්සියස් අංශක 32 ක් උණුසුම් පිරිසිදු ඛණිජ තැවරැණු වතුරෙන්.



ඉතිං මෝර්නිංටන් උණු දිය පොකුණු වලින් නාගෙන එද්දී මගේ ඇස් මොකක් හරි හේතුවකට එක පාරටම පැත්තක තිබ්බ පරණ මල්පෝච්චියක් වගේ නිර්මාණයකට ඇදිලා ගියා. ඒක එතන ඒ මොහොතේ හිටපු වෙනත් කිසිම කෙනෙකුගේ කිසිම අවධානයකට ලක් නොවුනු තැනක්. මම හෙමින් හෙමින් ගිහින් උඩින් ඔළුව දාලා බැලුවා. ඒක නිකං පොඩි ළිඳක් වගේ නිර්මාණයක්. ඒ පුංචි ලිඳේ වතුර යට කාසි කීපයක් තිබුණා. අන්තිමට තමයි එතන තිබුණු විස්තර පුවරැවට මගේ ඇස් ගියේ.


ඒකේ ලොකුම අකුරෙන් ලියලා තිබුණේ මෙන්න මෙහෙම දෙයක්.


“ළිඳට කාසියක් දමා ප්‍රාර්ථනාවක් කරන්න…!”


මේක ඉතිං ලංකාවෙදී අපි නිතරම කරපු දෙයක්නේ. මහනුවර කතරගම දේවාලේ තියෙන්නේ ටවුම මැදමනේ. ඉතිං ඉස්සර අපිත් එක්ක යද්දී අපේ සීයලා ආච්චිලා අමතක නොකර කතරගම දේවාලේ ඉස්සරහා පිංකැටේට කාසියක් දාලා ටිකක් පස්සට ගිහින් ප්‍රාර්ථනාවක් කරනවා. පස්සේ කාලෙක අපිත් එහෙම කළා. අපිටත් ඒ කාලේ ප්‍රාර්ථනා කරන්න කීයක් දේවල් තිබ්බද? කතරගම දෙයියන්ගේම පිහිටෙන් හොඳ වෙලාවට ඒ එක පාර්ථනාවක්වත් ඉටු වුනේ නෑ. ඒත් ඉතිං අපි ඔය කාසිය දාන්නේ දේවාලේ එළියේ තිබුණු කැටේට නෙමෙයි. පඩිපෙළෙන් බැහැලා ගිහින් ඊළඟට තිබුණු පිංකැටේට. මොකද තරැණ කාලේ දේවාලේ ඉස්සරහා පිංකැටේට සල්ලි දාලා අපි වඳින විදිහ බස් එකක යන එකෙක්වත් දැක්කොත් ඉවරනේ. විශේෂයෙන් ඉස්කෝලේ කොල්ලෙක්..!


ඒ වගේම තමයි බස් එකේ කොළඹ යද්දී - එද්දී, ගැටඹේ දේවාලේ ගාව දාපු පඬුරැ වල ඉඳං ලංකාව වටේ පිංකැටවලට දාපු පඬුරැ ඉතුරැ කළා නම් අඩු ගානේ පොඩි මරැටියක්වත් ගන්න තිබ්බා.


ඊට පස්සේ මම දැන්වීම මුළ ඉඳංම කියවන්න පටන්ගත්තා. උඩින්ම තිබ්බේ මේ ටික.


“මානසික සෞඛ්‍ය සඳහා වන ප්‍රාර්ථනා ළිඳ”


දැන් මෙතන ලියලා තියන well කියන පදේ තේරැම් දෙකක් තියනවා. එකක් ළිඳ කියන තේරැම. ළිඳකින් වතුර උනනවා. ඒ වගේම අනික් තේරැම තමයි සනීප වෙන්න කියලා කරන ප්‍රාර්ථනය. ඉතිං ඇත්තටම “wishing well for mental health” කියන වගන්තිය ඇතුළේ ඇත්තටම හිතන්න ලොකු දෙයක් තියනවා. අසනීප කෙනෙකුට සුවය ප්‍රාර්ථනා කිරීමත් ළිඳකික් වතුර උනනවා වගේ දෙයක්. මම අර කතරගම දේවාලේ ඉස්සරහට ගිහින් කාසියක් දාලා මටම ප්‍රාර්ථනා කරගත්තා වගේ නෙමෙයි. කාසියක් නොදා වුනත් වෙන කෙනෙකුගේ සතුට, සැනසුම, නිරෝගීකම ගැන ප්‍රාර්ථනා කළාම මට නැතිවෙන දෙයක් නැහැ. ඒත් ලැබෙන දේවල් ගොඩාක් තියනවා. ඒ අතරින් එකක් තමයි කායිකව හෝ මානසිකව අසනීප වෙලා ඉන්න කෙනා ගැන තේරැම් ගන්නට මට අවස්ථාවක් ලැබීම.


ඊළඟට ඒ සටහනේ තිබුණේ මෙන්න මේ දේ.


---------------------------


“අර්ධද්වීපයේ ‘Hot Springs’ මානසික සෞඛ්‍ය දැවෙන ප්‍රශ්නයක් බව පිළිගනී. Mental Health Australia ආයතනයේ සමීප

මිතුරෙක් සහ මානසික සෞඛ්‍ය සඳහා දායකත්වය සපයන ප්‍රැන්ක්ස්ටන් ප්‍රදේශයේ Mentis Assist නම් ලාභ නොලබන ආයතනයේ ප්‍රධාන අනුග්‍රහකයෙක් වශයෙන් සියලු දෙනාම එකට බැඳී සිටිය හැකි, ආදරය සහ රැකවරණය ලැබෙන පිරිසක් සිටින ලෝයක් ඇතිවේවා කියා අපි ප්‍රාර්ථනා කරමු.”


සෑම ආධාරයක්ම බැර වන්නේ Mentis Assist සංවිධානයටය.


තවත් අයට උපකාර කරන්න අපට උපකාර කරන්න

ජීවියේ සුන්දරත්වය අගයන්න.


---------------------------


බුදුහාමුදුරැවෝ දේශනා කරපු “සබ්බේ පෘතග්ජනා උම්මත්තකා” (සියලු පෘතග්ජනයෝ උන්මත්තකයෝය) කියන අදහස කොච්චර ඇත්තද? මානසික සෞඛ්‍ය වෙනුවෙන් ඕස්ට්‍රේලියාවේ ක්‍රියාත්මක වෙන දේවල් දැක්කාම, ඒ වගේම ක


රන වියදම් දැක්කාම අද මානසික සෞඛය කියන්නේ කොතරම් දැවෙන ප්‍රශ්නයක්ද කියන කාරණය තේරැම් යනවා. කොරෝනා නිසා ගෙවල් වල හිරවෙලා හිටපු විවිධ ජාතිකත්ව නියෝජනය කරන වැඩිහිටියන්ගේ මානසික සෞඛ්‍ය වෙනුවෙන් යම්තාක් දුරකට හරි වැඩකරන්න ලැබුණු ආරාධනය නිසා මතුපිටින් පේනවාට වඩා විවිධ හේතු නිසා මානසික ගැටළු වලින් පීඩාවට පත්වෙලා ඉන්න අය ගැන මටත් යම්කිසි අවබෝධයක් ලැබුණා.


ඒ අවබෝධයත් එක්ක බලනකොට අර කොරෝනා පැණියක් ගන්න පෝළිම්වල ඉන්න අය ගැන ඇත්තටම මට දැනුනේ ලොකු දුකක්. ඒ වගේම කණගාටුවක්. ඒ මිනිස්සු ඇත්තටම අසරණ වෙච්ච පිරිසක්. සල්ලි වලිනුත්, උගත්කමනුයි කෙනෙකුගේ අසරණකම මනින්න බැහැ කියලා බොහෝ දෙනෙකුට තේරෙන්නේ නැහැ. මට තේරෙන විදිහට අපි බුද්ධිමත් නම් කරන්න ඕන ඒ පිරිස අවතක්සේරැ කිරීමවත්, නූගතුන් ලෙස වර්ග කිරීමවත් නොවන බව. අපට ඒ


අය වෙනුවෙන් ඊට වඩා කරන්න ගොඩාක් දේ තියනවා.


දැන් හිතන්න මේ සටහන පුංචි ළිඳක් හදලා සිංහලෙන් ලංකාවේ කොතනක හරි ගහලා තිබුණා කියලා. එහෙම වුනානම් ඔබට මේ සටහන ගැන හිතෙන්නේ කොහොමද?


මානසික රෝග අද ඊයේ විතරක් නෙමෙයි ලෝක ඉතිහාසය පුරාම තිබුණු දෙයක්. බෙහෙත් වලින් විතරක් මානසික රෝග හොඳ කරන්න බැරි බව කියන අය අතර බටහිර අධ්‍යාපනයක් ලබපු මගේ මිතුරැ මනෝ වෛද්‍යවරැත් ඉන්නවා. මනෝ වෛද්‍ය ඩී.වී.ජේ හරිස්චන්ද්‍ර මහත්තයත් එක්ක මම 2002 අවුරැද්දේ කරපු වැඩ සටහනකදී ඔහු මේ ගැන දීර්ඝ විස්තරයක් කළා.


ඉතිං අන්තිමට මමත් ඒ ළිඳට කාසියක් දාලා ප්‍රාර්ථනයක් කළා.


ඒ තමයි, මේ අංශයෙන් ඕස්ට්‍රේලියාවට දියුණු වෙන්න තව ගොඩාක් දුර යන්න ඕන. ඒ කීවේ දැන් කිසියම් මානසික රෝගයකට ප්‍රතිවිරැද්ධ පැත්ත සංකල්පයක් හැටියට ගොඩනැගීම. ඊට පස්සේ ඒ සංකල්පය ඉස්මතු වෙන දෙවි කෙනෙක් නිර්මාණය කිරීම. ඊළඟට දෙවියාට ඒ සංකල්පය ආදේශ කිරීම. ඒ දෙවියාගේ ගුණ සච්ඡායනය කරන්න ශ්‍රෝත්‍ර නිර්මාණය කිරීම. අනතුරැව ගායනය, වාදනය, නර්ථනය ඊට එකතු කිරීම. ඊට පස්සේ ඒ සංකල්පය සංස්කෘතිකාංගයක් බවට පත්කිරීම. අනතුරැව දෙව් මැදුරක් නිර්මාණය කිරීම. අන්තිමටම ඒ දෙව් මැදුර ඉස්සරහා පිං කැටයක් තැබීම.


© සාමන්ත තැන්නගේ ‍| Saamantha Tennege : 30 Dec 2020




120 views0 comments

Recent Posts

See All

මරණයෙන් බේරැණ රෝහණ පණපිටින් නොමරා මරන්න ජුලියස් භාවිතා කළේ අමුතු අමුතු උපක්‍රම. ජුලියස් කවදාවත් රෝහණට, රෝහණ කියලා කිව්වේ නැහැ. කිව්වෙම රොහාන

සමහර පාඨ එක වරක් ඇහුණොත්, එහෙම නැත්නම් දැක්කොත් අපේ හිතේ රැදෙන්නේ හරියට ගලක කොටපු අකුරු වගේ. මගේ යාළුවෙක් “රුසියාවට වඩා ලොකුයි ඉරිසියාව” කියන පාඨය දැකලා තියෙන්නේ ත්‍රීවීල් එකක පසුපස අලවලා තිබුණු සිටික

අපෙ නිළමෙට නිකම්ම නිකම් ඉන්ට බෑනෙ. ඒ උනාට මේ දවස් වල එහෙමට කියල රස්සාවත් නැතුව ඔන්ලයින් පාංකඩවල ඔලුව ඔබාගෙන ඉන්නෙ. ඔපීසියෙ ලොක්ක එක්ක වෙබ්බෙකේ මීටිම තියනකොට උඩ බාගෙට ටයි කෝට්ද යටිබාගෙට අරික්කාලෙ ෂෝට්

bottom of page