top of page

71 දි ගමේ කොල්ලො පොලිසිවලට ගැහුවා – ජයතිස්ස කුමාරගේ

සාකච්ඡා සටහන – සදුන් ප්‍රියංකර විතානගේ කැඩපත ඃ 71 අප්‍රේල් අරගලය සහ ජයතිස්ස කුමාරගේ අතර සම්බන්ධය මොකක් ද ?

ජයතිස්ස කුමාරගේ ඃ ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධ වෙනකොට මට අවුරුදු දාසය යි. අපි දැකපු සමාජ අසාධාරණය කියන දේ මේ සම්බන්ධ වීමට හේතු භූත වුණා. කැරැල්ලට සම්බන්ධ වුණු ළාබාලම අයගෙන් කෙනෙක් මම. 71 අප්‍රේල් 05 වැනිදා පොලිසිවලට පහර දීමේදී අපට භාර වුණේ කඩුගන්නාව පොලිසියට පහර දෙන්න. එවිට මට වයස අවුරුදු 17 යි මාස ගණනක්. පාසල් අධ්‍යාපනය පැත්තකට දාල කැරැල්ලට එකතු වුණු කෙනෙක් මම. පහර දීමෙන් පස්සෙ වසර එක හමාරක් විතර මම හැංගිලා හිටියා. එහෙම නොකළා නම් ජීවිතේ නැතිවෙන්න තිබුණා. 72 දි පමණ හමුදාවෙන් අත්අඩංගුවට ගැනුණා.

පාසල් පොත් පත් වලින් අධිරාජ්‍ය විරෝධී අරගල ගැන කියවල, චිත්‍රපට බලල හිටි අපට සමාජ අසාධාරණය ගැන කැක්කුමක් තිබුණා. ඒ අතරට ජ.වි.පෙ විසින් කළ පන්ති පහත් එකතු වුණා ම තමා අපි තදින් මේක සමග සම්බන්ධ වෙන්නෙ. නමුත් ඉන්දියානු ව්‍යාප්තවාදය කියන පන්තියෙන් නම් යම් ජාතිවාදී බවකුත් ඇති කළා.

කැඩපත ඃ විජේවීරටත් නැති ජීවිතාන්ත සිරදඩුවමක් ඔබට ලැබුණේ ඇයි ?

ජයතිස්ස කුමාරගේ ඃ ඒ කාලයේ පක්ෂයේ හිටියා “බුලට් සහෝදරවරු” කියලා පිරිසක්. ඒ ඕන ම මොහොතක ජීවිතය නොතකා වැඩ කරන්න හිටිය මරාගෙන මැරෙන බලකායක් වැනි පිරිසක්. මමත් අයිති වුණේ මේ පිරිසට. අපි ඒක වීරෝධාර කාර්යයක් කටයුත්තක් වුණා. සටනේ දී මරණයට බය වීම අපට නිකන් ආත්ම ලැජ්ජාවක් වුණා. ඒ අතර පොලූ කණ්ඩායම කියල එකක් තිබුණා.

තවත් මංකොල්ලකෑම් වලට පුහුණු වන පිරිසක් හිටියා. ඒ කාලෙ ජ.වි.පෙ විශ්වාස කළා ඒවායෙන් විප්ලවීය පන්නරය ලැඛෙනවා කියලා. කොහොම වුණත් කඩුගන්නාව ප්‍රහාරයේ දී මගේ වෙඩි පහරින් පොලිසියේ අයෙක් මිය ගියා. නඩුවෙදි මගෙන් මේ ගැන මගෙන් ඇහුව ම මම කිව්වෙ, එයාගෙ තුවක්කුවෙත් කොකා මත ඇ`ගිල්ල තිබුණා. මගෙත් එහෙමයි. මම ඉස්සර වුණා මේක යුද්ධයක් කියලා. කොහොම වුණත් මට ජීවිතාන්තය දක්වා සහ තවත් වසර දහයක සිර ද`ඩුවමක් ලැබුණා.

කැඩපත ඃ විෙජ්වීර සහ ඔබ අතර ගනුදෙනුව මොන වගේ ද ?

ජයතිස්ස කුමාරගේ ඃ මට සිරගෙදර දී විජේවීරව හමු වුණා. නායකත්වය දරපු අයට අමතරව නායකයෙක් නොවුණ මා ගැන බොහෝ අය අනුකම්පාවෙන් බැලූවා. ඒ අය ඇවිත් මා එක්ක කතා කළත් විජේවීර මා එක්ක කතා කරන්න කිසි වෙලාවක ආවෙ නැහැ.

එයාගෙ හිතේ වරදකාරී හැගීමක් තිබුණ බව මට දැනුණා. නායකයන්ට වැදගත් වුණේ අරමුණු පමණයි. ජීවිත පරිත්‍යාගයෙන් වැඩ කරපු අපිව ඔවුන්ට වැදගත් වුණේ නැහැ. මේ කාලයේ ලෝකයේ වාම දේශපාලන රැල්ලක් ඇතිව තිබුණා. ඒකෙ බලපෑම තදින් ම අපට තිබුණා. විජේවීරට වුණත් මුල් කාලයේ දි අවංකව ඉන්න ඇති. විජේවීර කියන චරිතය මම හරියට ම දැක්කෙ හිරේදි. සටනක් තීරණාත්මක අවස්ථාව දක්වා මෙහෙයවගෙන යන්න එයාට ශක්තිය තිබුණත් තීරණාත්මක අවස්ථාවෙදි එයා මග හරින ගතියක් තමයි තිබුණෙ. ඔහු හැංගෙනවා, පිටුපසින් එන අය තමයි මුහුණ දෙන්න වුණේ. ඒක හිරගෙදරදි වුණ සුළු ප්‍රශ්නවලදි පවා මම දැක්ක දෙයක්.

කැඩපත ඃ බර්ටෝල්ට් බ්‍රෙෂ්ට් වෙලාවක කවියක ප්‍රශ්න කරනවා “මහා ඇලෙක්සැන්ඩර්ගෙ ජයග්‍රහණවලට කෝකියෙක්වත් හවුල් වුණේ නැති ද?” කියලා. ඉතිහාසය හැමදාම නායකයන්ගෙ. මේක විප්ලවවාදී ව්‍යාපාර වලටත් පොදුයි. මේ ගැන යමක් කියන්න.

ජයතිස්ස කුමාරගේ ඃ අපට බාර දුන්නෙ කඩුගන්නවා පොලිසියට පහර දෙන්න. හැබැයි ප්‍රහාරය වෙලාවෙ අපට නායකත්වය දුන්න අය මගහැරියා. මම වැඩේට නායකත්වය ගත්තෙ එදා රාත්‍රියෙදි. මරණයෙන් බේරුණේ වෙඩි වර්ෂාවකට මැදි වෙලා අනූනවයෙන්. කොහොම වුණත් ඔබ කියනවා හරි. සෑම තැනකම තියන්නෙ මේ විදිහ තමයි. මොකද කියනවා නම් මොන දේශපාලන දර්ශනයන් තුළ හිටියත් පොදු මිනිස් සොබාවයන් මතු වෙනවා. මොන දේවල් කළත් මිනිසා කියන සීමාවෙන් ඔබ්බට කාටවත් යන්නට බැහැ. බලකාමය, නායකත්වයට තියන ආශාව, කීර්තියට තියන ආශාව වගේ දේවල් හැම විට ම ඉස්මතු වෙනවා. දර්ශනයකට බැහැ මිනිසාගේ මූලික මිනිස්භාවයන් වෙනස් කරන්න. අනෙක් අතට මාක්ස්වාදයේ දී මුල් කරගන්නෙ භෞතිකවාදය නිසා තවත් එවැනි පැත්තට යන ඉඩ කඩ වැඩියි. ටිකක් ආධ්‍යාත්මික පැත්තට යොමු වෙන දෙයක් නම් එහෙම නොවෙන්නත් තිබුණා.

කැඩපත ඃ 71 අරගලයට අවුරුදු 45 ක් පමණ වෙලා. ඒ ගැන අවලෝකනය කරද්දී දැන් ඔබට මොක ද හිතෙන්නෙ? 71 කැරැල්ල කියන්නෙ ඇත්තට ම ගැමි අරගලයක්. මේකට සම්බන්ධ වුණු බොහෝ දෙනෙක් ගැමි තරුණයො. මේකෙන් පස්සෙ ගොඩක් අය විවිධ න්‍යාය වලට මේක විග්‍රහ කරන්න පටන් ගත්තා වුණත් මම දකින ඉතා ම හොඳ විග්‍රහය කළේ, ගම්වල මිනිස්සු. එයාලා මේ වැඩේ හැඳින්නුවේ, “කොල්ලො පොලීසි වලට ගහලා” කියලා.

ජයතිස්ස කුමාරගේ ඃ ගමේ මිනිස්සු අපිව දැක්කෙ වීරයො වගේ. ඒ කාලයේ පොලිසිය අද වගේ නෙවෙයි. ඉතා ම දරද`ඩු පොලිසියක්. සුදු පාලකයන් දේශීය මිනිසුන් පාලනය කරන්න හදාගත්ත පොලිසිය ඒ විදිහට ම ඒ කාලයෙත් ක්‍රියාත්මක වුණා. ඉතින් දේශපාලන කරුණු මොනවා වුණත් පොලිසිවලට පහර දීම ගම්මු දැක්කෙ වීර ක්‍රියාවක් වගේ. මට මතකයි අපි පොලිසියට පහරදීලා එනකොට ගමේ මිනිස්සු මට තේ වත්කරල දෙනවා බොන්න. විස්තර අහනවා. අපේ අම්මා මාව දැක්කෙත් මහා වීරයෙක් විදිහට.

කැඩපත ඃ ඔබ ඔබේ ජීවිතය පොතකට ගොනු කරනවා. නිකන්ම නිකන් කෙනෙකුගේ ජීවිතයක් පොතකට වැදගත් නැහැ. පොතක් කියන්නෙ බුද්ධිමය සම්ප්‍රදානයක් නෙ. පොත ගැන යමක් කියන්න.

ජයතිස්ස කුමාරගේ ඃ පොත පටන් අරන් අරමුණක් නැතිව ජීවිත කතාව ලියාගෙන ගියාම මගෙ අතින් ලියවිලා තියන්නෙ, තරුණයෙක් ළමා කාලයේ දී ලබන සමාජ පසුබිමට අනුව ඔහුට ලැඛෙන අවබෝධයට අනුව යම් යම් හේතු මත අරගලකාරිත්වයට නැඹුරුවීමත් ඒ ඔස්සේ යම් හරයක් හොයාගෙන යද්දි ඒක හමු නොවුණු තැන සමාජීය වශයෙන් වශයෙන් හුදකලා වීමත් ඒ තුළදී වෙන තනිකම ඔස්සේ තමන් වෙත නැඹුරු වී ආධ්‍යාත්මික පාර්ශවයට නැඹුරුවීම ආගම් වෙතට නැඹුරු වීම ආදිය එහි ලියැවිලා තියනවා. මම හිතනවා ඒකෙ තියන්නෙ මා විසින් මගේ ස්වාධීන චින්තනයක් ගොඩ නගා ගැනීම පිළිබඳව කියලා.

කැඩපත ඃ 71 අරගලය සමරන්නට ජවිපෙට සැබෑ අයිතියක් තියෙනව ද?

ජයතිස්ස කුමාරගේ ඃ මේක සමරන්න දෙකොටසක් සූදානම් වෙනවා. එකක් ජනතා විමුක්ති පෙරමුණ. අනික් කොටස 71 අරගලයට සම්බන්ධ වෙලා තවමත් ජීවමානව ඉන්න කොටස. දෙවැනි පිරිස මට ආරාධනා කළත් මම යන්නේ නැහැ යම් යම් හේතු කාරණා සහිතව.

හිරගෙදරදි අත්අඩංගුවට පත් අයගෙන් මතවාද අනුව කොටස් තුනක් හිටියා. එක කොටසක් ජ.වි.පෙ මතවාදයේ ම රැඳිල හිටිය “තදයො” නමින් හඳුන්වපු අය. අනික් අය හමුදාවට සියල්ල පාවල දුන්න “සවුත්තුවො” කියන අය. ඒ වගේ ම අපි වගේ “මධ්‍යස්ථ” අය. මේ තදයොයි සවුත්තුවොයි නිතර සණ්ඩු සරුවල් වෙද්දි මධ්‍යස්ථ අපි තමයි ඒවා බේරුම් කළෙත්. මේ සමරන දෙවැනි කොටස ගැන දැක්කම පේනවා මේ “සවුත්තු” කොටසෙ හිටපු පිරිස තමයි දැන් ඒකට අයත් වෙලා සැමරීම කරගෙන යන පිරිස අතරෙ දේශනවලට එහෙම එන්නෙ. තරුණ වියේ දී අවංකව නමුත් නොමගට හැරුණු ප්‍රචණ්ඩත්වයට යොමුවුණු සමස්ත තරුණයන් සිහි කිරීමට නම් දිනයක් අවශ්‍යයි කියලා මම හිතනවා. සිංහල දෙමළ කාගෙ වුණත් මවක් දේ දරුවෙක් සිහි කරන්න කුළුණක් ඉදිවිය යුතු යි. ඒ වැනි වැඩක් අනාගත තරුණ පරපුරක් හෝ මුදු මොළොක් වෙන්න උදව්වක් වෙයි කියලා මම හිතනවා.

කැඩපත ඃ යම් හෙයකින් එදා බලය අත්පත් කරගත්තා නම් ඒ බලය ක්‍රියාවේ යොදවන්න තරම් ශක්තියක් ඒ දේශපාලන ව්‍යාපාරයට එවක තිබුණ ද?

ජයතිස්ස කුමාරගේ ඃ කිසිසේත් තිබුණෙ නැහැ. ජ.වි.පෙ හැම වෙලාවෙ ම තමන්ගෙ විවේචකයො දැක්කෙ ද්‍රෝහියො විදිහට. කිසිම සංයමයකින් යුත් පිරිසක් නෙවෙයි මේක මෙහෙයවුවේ. ඒ වගේ ම කිසිදු නිවැරදි සංවිධාන හැකියාවක් තිබුණෙ නැහැ. එහෙම වුණා නම් වෙන්නෙ මිනී කඳු ගැහෙන එක විතරයි.

කැඩපත ඃ දේශපාලන දර්ශනයක් හැටියට මාක්ස්වාදය අසමත් ද?

ජයතිස්ස කුමාරගේ ඃ ඇත්ත වශයෙන් ම අසමත්. අපි දන්නවා මාක්ස්වාදයත් යුරෝපයෙන් ආවෙ. ඒක හරියට බටහිරට තියන ගැතිකමට ආසියානු දර්ශනයන් කෙරෙහි තියන නොකැමැත්ත නිසා වැළඳ ගත්තා වගෙයි. ඒක බටහිරෙන් ගත්ත දෙයක්. ඒක දැන් බටහිරෙනුත් විසි වෙලා ඉවරයි. මිනිසා කියන්නෙ ආධ්‍යාත්මිකයි. බඩ පුරවගන්න විතරක් නෙවෙයි ඔහුට වුවමනා කරන්නෙ. මිනිසා එයිට වඩා පළල් සතෙක්. ආර්ථීක ප්‍රශ්නය විතරක් ම නෙවෙයි ඔහුට තියන්නෙ. ඒක මාක්ස්වාදයට පේන්නෙ නැහැ. මාක්ස්වාදයෙන් යමක් ඉගෙන ගැනීමේ වරදක් නැහැ. දැන් බොහෝ අයට මාක්ස්වාදය ආගමක් කරගෙන. එතන ජවශක්තිය පංති වෛරය. බුද්ධාගමේ ජව ශක්තිය මෛත්‍රියයි.

කැඩපත ඃ තරුණ වියේ අතිවිප්ලවකාරී භෞතිකවාදීන් සමහරු වයස්ගත වන විට අතිශය විඥානවාදීන් බවට පත්වෙලා එහි අනෙක් අන්තයට යනවා. ඒ ගැන ඔබේ අදහස මොකක් ද?

ජයතිස්ස කුමාරගේ ඃ ආධ්‍යාත්මය ගවේෂණයට මගෙ හිත නැඹුරු වුණේ හිරගෙදර ඇතුලෙදිමයි. හිරගෙදර ඇතුළෙදිත් හිරකාරයාගේ අයිතිවාසිකම් ගැන මගෙ සටන්කාමී මැදිහත්වීම් නොතිබුණා නොවෙයි. ඒත් මම ආසා වුණා ආධ්‍යාත්මික පැත්තට යොමුවෙන්න. දොස්තොව්ස්කිගෙ පොත් එහෙම කියවනකොට මගෙ ඇතුළෙන් හඩක් ආවා ඒ පැත්තට නැඹුරු වෙන්න කියලා. ඒ වෙනකොටමට වයස විසි ගණනක්. ඒකට හේතු වෙන්නෙ තරුණ කාලයේ වුණත් අපි ඇසුරු කරන පරිසරය ආදිය. වැඩිහිටි සමාජයේවගකීමක් තියනවා බාලයා දිහා හොඳ දෘෂ්ටියෙන් බැලීමට.

කැඩපත ඃ ලංකාවෙ අද පවතින දේශපාලන තත්වය පිළිබඳව ඔබට තිඛෙන අදහස මොකක් ද?

ජයතිස්ස කුමාරගේ ඃ දැන් තියන විදිහ ඉස්සෙල්ල තිබුණට වඩා ඉතා හොඳයි. අපිට ඕන රජෙක් නොවෙයි. අපට අවශ්‍ය පාලනයක්. දකුණු ඉන්දියාවෙ වගේ ගෝත්‍රික ලක්ෂණ තියන සමාජයක් නෙවෙයි අපට ඕන. මේ තියන පාලනය පෙරට වඩා හොඳයි. කලින් මේ රට රජෙක් සහ යටත් වැසියන් තැනට ගෙනියන තත්වයක් තමයි දකින්නට ලැබුණෙ.

කැඩපත ඃ මේ තත්වය වෙනස් කරන්න යම්යෝජනාවක් ඔබට තියෙනව ද?

ජයතිස්ස කුමාරගේ ඃ මිනිසා කියන සත්වයා තුළ අපි බීජයක් පැළ කරන්න ඕන. ඒක තමයි මිනිස් ජීවිතය පිළිබඳව තිඛෙන ඇගයීම. අපි ඒක උඩට ගන්න ඕන. මේ සමාජයේ මිනිසුන් ඍජුව හිටගන්න නම් තමා තමන්ව ගුරුකොට ගන්න මිනිසුන් නිර්මාණය කරගන්න ඕන. සමාජය හසුරුවන මිනිසුන් හෝ එවැනි තැනකට සංවර්ධනය කරගන්න ඕන. තමාට තමාව පාලනය කරගන්න බැරි කෙනෙකුට අනුන්ව පාලනය කරන්න බැහැ.

67 views0 comments

Recent Posts

See All

හම, හම ගසා නාකි වීම

අපගේ වයස්ගතවීම සිදුවන්නේ හරිම වේගයකින්. මේ වයසට යාම පිටතට නොපෙන්වන්නට අප කොතරම් උත්සාහ කරනවාද? කොතරම් වියදම් කරනවා ද? ඒ පිටතින් පමණයි. නමුත්

bottom of page