සාමයේ ගීතිකා පතුරාලා මුලු ලෝ තලේ
තස්මේනියාවේ සදර්ශි බෞද්ධ විහාරය සහ භාවනා මධ්‍යස්ථානයේ අනුශාසක ඉඳිපරපේ ධම්මසිරි හිමි විසිනි
මීට වසර දෙදහස් පහළොවකට කලින් ජෙරුසලමේ සිදුවුන කිතු සමිඳුන්ගේ උපත ලෝකවාසී කිතුණු බැතිමතුන් මහත් උත්සවශ්‍රීයෙන් සමරන නත්තල් කාලයයි මේ. කතෝලික බැතිමතුන්ට වගේ ම නත්තල සමරන්න එකතු වෙන පාඨක ඔබ හැම දෙනාට ම නත්තලට වගේ ම උදාවන 2016 නව වසරට සුභ පතන්නත් මේක අවස්ථාවක් කරගන්ඩ කැමතියි. කැඩපතට මාසික ව ලියන මංගල සූත්‍රය වෙනුවට නත්තල ගැන ලිපියක් ලියන්ඩ කියල ඉල්ලීමක් කළේ පුවත්පතේ සංස්කාරක, අප කල්‍යාණ මිත්‍ර සාමන්ත තැන්නගේ මහත්මා. ඒ නිසා මෙවර අපට ඇති අත්දැකීම් සමග යම්කිසි වැදගත් පණිවුඩයක් දීමටයි මේ ලිපිය සැකසෙන්නෙ.
පසුගිය වසර දෙකක කාලයේ අප මෙල්බර්න් නුවර වාසය කරද්දී නත්තල් උත්සව දෙකකට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණ. වෙරිබි ශ්‍රී ලාංකික සංස්කෘතික සංසදය මගින් සංවිධානය කළ නත්තල් බැති ගී ප්‍රසංගය මා අතිශයින් ම අගය කරන උතුම් කාර්යයක් බව විශේෂයෙන් සඳහන් කළ යුතුයි. බෞද්ධ පිරිසක් එකතු වෙලා කිතුදහම අදහන අය එක්ක, ඒ ආගමේ ශාස්තෘෘවරයාගේ උපත සමරන මේ ආදර්ශමත් ක්‍රියාව ලෝකයේ හැම තැනක ම ක්‍රියාත්මක කරන්ඩ පුළුවන්නම් ලෝකය යුද්ධවලින්, අසහනයෙන්, කුළල් කා ගැනීම් නැති සුන්දර තැනක් වනවා නොඅනුමානයි. ඒත් අවාසනාවකට අද තමන් පිළිගන්නා දහම නිසා යුද්ධ කරන්ඩ, එකිනෙකා ව හෙළා දකින්ඩ, අන් ආගමික මතයන්ට පමණක් නොවෙයි තමන්ගෙ ම ආගමේ ප්‍රතිවිරුද්ධ මත දරන අයට ගරහන්ඩ තරමට මිනිස්සු ආගමික ඉගැන්වීම්වලින් අන්ධ වෙලා.
ආ යන උපසර්ගය මුල් වී ගම් ධාතුවෙන් නිපන් “ආගම” යන වචනය සංස්කෘත භාෂාවට අයත් වූවක්. එහි තේරුම “විශේෂයෙන් යා යුතු ගමන” යන්නයි. ඔක්ස්ෆර්ඩ් ශබ්දකෝෂය religion යන්න විස්තර කරන්නේ- The belief in the existence of a god or gods, and the activities that are connected with the worship of them – යනුවෙන්. ලතින් භාෂාවේ එන religio යන වචනයෙන් කියවෙන්නෙ දෙවියන් හා සම්බන්ධ යන අදහසයි. හින්දු, කතෝලික, ඉස්ලාම්, යුදෙව් යන ප්‍රධාන ආගම් සියල්ල ම දේවවිශ්වාසයන් මතයි රඳා පවතින්නෙ. බුදුදහමත් දේවසංකල්පය පිළිගන්නව. නමුත් වෙනස් දෘෂ්ටි කෝණයකින්. කෙසේ වෙතත් ආගමකින් සිදුවන්නේ පුද්ගලයා තුළ ඇති සහජ දුර්වලකම් එහෙමත් නැත්නම් වැරදි ආකල්ප, සිතුම්පැතුම් හා ක්‍රියාකාරකම් පාලනය කරල තමන්ටත්, අනුන්ටත් යහපතක් වන ආකාරයෙන් පුද්ගල ජීවිතය හැඩ ගසා ගැනීමට මග පෙන්වීමයි. එය බොහෝ උත්සාහයෙන් සිදු කළ යුත්තක් නිසා තමයි ආගම යන අර්ථයෙන් ඒ වචනය හැදිල තියෙන්නෙ.
බුදුදහම හැරුණු විට අනෙක් සියලූ ආගම් දෙවියන් ඇදහීම මුල් කර ගත් ඉගැන්වීම්. ඒ ආගම්වල ඒ ඒ ශාස්තෲවරුන් දේශනා කළ ධර්මයේ වෙනස්කම් තියෙන්ඩ පුළුවන්. හැබැයි බුදුදහමත් ඇතුළු දෙවියන් කරා යාම හෝ දේවත්වයට පත්වීම යන මූලික පදනමේදි සිදුවන්නේ් මිනිසා තුළ උත්තරීතර වූ ද, ශ්‍රේෂ්ඨ වූ ද මානව ගුණධර්ම සිය ජීවන චර්යාවන් තුළ වඩවඩාත් ප්‍රගුණ කරන පුද්ගලයා එම තත්ත්වයට පත්වීමයි. තවත් පැහැදිලි කළොත් කවර ම හෝ පුද්ගලයෙකු තමාටත්, අනුන්ටත් වැඩදායක, අර්ථදායක, ආදර්ශමත්, උතුම් යහපත් ජීවිතයක් ගත කළොත් ඔහු හෝ ඇය දේවත්වයට පත් වෙනව. බුදුදහම උගන්වන්නේ දන්දීම, සිල් රැකීම, භාවනා කිරීම ආදී ශ්‍රේෂ්ඨ ගුණාංග අනුගමනය කිරීමෙන් දෙවිවරුන් බවට පත්වන බවයි. ශුද්ධ වූ බයිබලය තුළ අන්තර්ගතවන දේශනාවන් සලකල බැලූවොත් ඔබ දෙවියන් වහන්සේට ගරු කරනව නම් පරිත්‍යාගය, සත්ත්ව කරුණාව, ප්‍රේමය මානව ගුණධර්ම දියුණු කරන්ඩ. එතකොට දෙවියන් වහන්සේ සමීපයට – ස්වර්ගයට – යන්ඩ පුළුවන්. ඒකෙන් අදහස් වෙන්නේ මිනිසා තුළ ම දෙවියන් නිර්මාණය කරගන්ඩ පුළුවන් කියන දේ නේද? අපි හැම කෙනෙකුගෙම හිත්වල, ජීවිතවල දෙවිවරු ඉන්නව. ඒ දෙවිවරු තමයි අපි ව පවින් වළක්වන්නෙ. යහපතෙහි යොදවන්නෙ. වැරැද්දක් කරන්ඩ යනකොට අපිට හිතට බයක් දැනෙනව “මේක කළොත්නම් උඩ ඉන්න දෙයියන්ගෙන්වත් මට සමාවක් ලැඛෙන එකක් නෑ කියල” ඒ වැරැද්ද කරන්ඩ දෙපාරක් හිතනව. අපේ සමහර බෞද්ධ සැදැහැවතුන් වුනත් බුදුහාමුදුරුවන්ට ගරු කරන්නේ ආගමික ශාස්තෲවරය නිසා. හැබැයි ඔය කවුරුත් දෙවියන්ට බයයි. මොකද බුදුහාමුදුරුවො වැරදිවලට දඬුවම් දෙන්නෙ නෑ. හැබැයි විෂ්ණු, කතරගම හෝ කාලි අම්ම ළඟට ගිහිල්ල පලි ගහනව කිව්වොත් බයට ම කරන්ඩ යන දේ වුනත් නොකර ඉන්නව. ඒ කියන්නෙ අපේ හිත්වල දෙවියන් වැඩ සිටීම අපිට ආරක්ෂාවක්. හැම දෙවිකෙනෙක්ම කරන්නෙ අයහපතෙන් අපි ව වළක්වල, ආරක්ෂා කරල අපට යහපත උදාකරල දෙන එකයි. ඉතින් ඇයි අපි ඒ දෙවිවරුන්ට බෞද්ධ, හින්දු හෝ කතෝලික ආදී වශයෙන් ලේබල් අලවන්නෙ. අඟහරු ග්‍රහයා තරණය කරන්ඩ තරම් දියුණු තාක්ෂණයක් තියෙන ලෝකයක ඇහැට නොපෙනෙන දෙවිවරු ගැන කතා කිරීම විහිළුවක් කියල කෙනෙකුට හිතන්ඩ පුළුවන්. කියන්ඩත් පුළුවන්. එහෙම අය නැතුවත් නෙවෙයි. හැබැයි අපේ හිතට යම්කිසි දුකක්, හිත්තැවුලක්, පසුතැවීමක් ඇති වුණ වෙලාවට නිකම් ම කියවෙනව නේද “අනේ දෙයියන්ටවත් පේන්නෙ නැද්ද මගෙ දුක” කියල. ඒ වෙලාවට කවුරුහරි කිව්වොත් “අනේ දෙයියන්ට කියල වැඩත් නෑ. දැන් මේ අඟහරුටත් යන කාලෙ දෙයියන්ට කරන්ඩ පුළුවන් මොනවද? අපි ඇමරිකාවෙ නාසා ආයතනයට කියමු ඔයාගෙ දුක නැතිවෙන්ඩ මොනවහරි කරන්ඩ කියල” කිව්වොත් ඔබේ ප්‍රතිචාරය කුමක් වෙයි ද? සමීප ඤාතියෙකුගෙ මරණයක් වුන වෙලාවට කවර ම හෝ ආගමක පූජකවරයෙකු පැමිණ ආගමික වතාවත් ඉටුකර මියගිය ඤාතියාට දිව්‍ය සම්පත් ලැබේවා කියල ප්‍රාර්ථනා කරනකොට අපේ හිතේ දුක ටිකක් හරි අඩුවෙනව නේද ? ඒ කාර්යය තාක්ෂණය යොදාගෙන කරන්ඩ පුළුවන් ද? හඟුරන්කෙත, මාදන්වල ශ්‍රී ධර්මෝදය පරිවේණාධිපති ව වැඩ සිට හදිසියේ අපවත් වී වදාළ රාජකීය පණ්ඩිත අඹලියද්දේ ශ්‍රී සෝමානන්ද නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ ගුණ ගයමින් බොහෝ ශෝකප්‍රකාශ ලියවුණා. අපගේ ආදරණීය ඇදුරුතුමෙකු වන කැලණිය විශ්වවිද්‍යාලයයේ සිංහල අධ්‍යයන අංශයේ මහාචාර්ය දර්ශන රත්නායක මහත්මාණන් ලියූ කවි පෙළ අවසන් කරන්නෙ මෙහෙමයි.
සඳක් සේ දිලිදිලී වැඩ සිටි සමිඳු අප සිත් අහස මත්තේ කුමක් නම් සිදුවු‚ ද දෙවියනි කිම ද අද සඳ කිරණ නැත්තේ මඳක් හෝ හිත හදා ගන්නට එක ම එක සහනයකි ඇත්තේ ගොඩක් හොඳ වැඩි නිසයි මගෙ ගුරු දෙවිඳු සඳ දෙව්ලොවට ගත්තේ
බුදුදහමේ උගන්වන පරම සැපත නිවණ. ඒත් මේ කවියෙ කියන්නෙ නායක හාමුදුරුවො දෙව්ලොව ගියා කියල. ඒක වැරදිද ? ගොඩක් හොඳ වැඩි නිසයි උන්වහන්සේ දෙව්ලොව උපදින්නෙ. මෙන්න මේකයි තේරුම් ගන්ඩ තියෙන්නෙ. දෙවියන් වහන්සේ සිටී ද ? නැද්ද ? උන්වහන්සේට සියල්ල කළ හැකි ද? පුළුවන්නම් නොකරන්නෙ මොකද ? කියකියා තර්ක විතර්ක කරන්ඩ නෙවෙයි. පුළුවන්නම් හොඳ මනුෂ්‍ය ජීවිතයක් ගතකරල දෙවිකෙනෙක් වෙන්ඩ බලන්ඩ. අපිට දෙවිකෙනෙක් ගැන ඇදහීමක්, විශ්වාසයක් අවශ්‍ය වන්නේ ඇයි කියන ප්‍රශ්නයට හොඳ පිළිතුරක් ශ්‍රී ලාංකීය සම්භාව්‍ය ලේඛකයන් අතර අග්‍රගණ්‍ය ලේඛකයෙකු, නවකතාකරුවෙකු සේ ම වත්මන් නිදහස් කාව්‍ය සම්ප්‍රදායට මග හෙළි කළ ජී. බී. සේනානායකයන්ගේ “දෙවියන් මැරීම” යන කාව්‍ය සංකල්පනාවෙන් පෙන්නල දෙනව.
බුද්ධිය මිත්‍රයෙකැයි සිතූ මම දිනක් මග රැක සිට මගේ දෙවියන් මරා හෙළීමි.
දැවැන්තයෙකු වන බුද්ධිය අඳුරෙහි මහ අඩි තබමින් මා පිටුපසින් එනු මට දැනෙයි.
එහෙත් දෙවියන් සිටි කල මෙන් දැන් මට සැක හැර ගමන් කළ නොහැක.
මා වැටුණු කල දැන් දෙවියන් නැති හෙයින් මම නැගී සිටිය යුතුය.
යළිත් දෙවියන් සොයා ගිය මට උන්වහන්සේගේ රන්වන් මළ සිරුර මග අසල නුග ගස යට තිබී සම්බ විය.
ස්වාමීනී, යළිත් නැගී සිට මා හා පෙර මෙන් එනු මැනවැයි මම කීමි.
උන්වහන්සේ නැගී නොසිටින්නේ බුද්ධිය තම දත් දෙපෙළ පෙන්නා විළිස්සමින් මා පසුපස සිටින හෙයින් බව මම දනිමි.
එහෙත් මට බුද්ධිය ගසා පළවා හැරිය නොහැක. ඔහු මා අතහැර නොයයි.
සියල්ල බුද්ධියෙන් තීරණය කිරීම ජීවිතයේ සතුට නැතිකර ගැනීමට මූලික හේතුවක්. ඒ නිසා අප කළ යුත්තේ දෙවියන් ඇදහීම ගර්හාවට ලක් කිරීම නොවෙයි. දෙවියන් පිළිබඳ විශ්වාසයෙන් කටයුතු කරන අයට¦ දෙවියන් සමීපයට යාම සඳහා සම්පූර්ණ කළයුතු උතුම් ගුණාංග වැඩීමට තවතවත් දිරිදීමයි. බුදුදහම බෞද්ධයන්ට පමණක් අයිති නොවන්නා සේ ම හින්දු හෝ කිතුණු දහම ඒ ආගමිකයන්ට පමණක් අයත් වූවක් නොවෙයි. එය සියලූ දෙනා විසින් ම තේරුම්ගත යුත්තක්. දේව අනුශාසනාවන් තුළ පොදුවේ සියලූ දෙනාට ම ගත හැකි කොතරම් වටිනා අදහස් තියෙනව ද ? වරක් දෙවියන් වහන්සේ හමුවට පැමි‚ අයෙකු උන්වහන්සේගෙන් මෙසේ විමසුවා. “දෙවියනි, ඇයි ජීවිතවල මෙතරම් අපහසුතාවෙන් තරණය කළ යුතු මහා කඳු වගේ ප්‍රශ්න තියන්නෙ ?” දෙවියන් වහන්සේ පිළිතුරු දෙනව “ජීවිතය වඩාත් හොඳින් නැරඹීමට සහ තේරුම්ගැනීම සඳහායි ප්‍රශ්න කියන කඳු ජීවිතවල හමුවෙන්නෙ.” දැන් මේ වටිනා අදහස අපිට ලේබල් එකක් ගහල පැත්තකට දාන්ඩ පුළුවන් ද?
මහනුවර යුගයේ අලගියවන්න මුකවෙටිතුමන් විසින් රචනා කරන ලද සුභාෂිතයේ එන කවියක් මේ.
ඇතත් නැතත් සුදනෙනි පරලොව මහත හළොත් යෙහෙකි පව්කම් නොතබා ම සිත නැතත් එපරලොව ඉන් වන අවැඩ නැත ඇතොත් නැතැයි පව් කළ හට වෙයි විපත
පරලොවක් තිබුණත්, නැතත් අපි පව් නොකර ඉන්නව නම් හැමදෙනාට ම ඒක යහපතක්. දේව සංකල්පයත් එහෙමයි. දෙවියන් ඉන්නව ද නැද්ද කියන එක නෙවෙයි හිතන්ඩ ඕනැ දෙවිවරුන් වෙන්නෙ කොහොමද කියන එකයි. හින්දු, කිතුණු, ඉස්ලාම්, යුදෙව් ආදී දේව විශ්වාසයන් මත පදනම් වූ ආගම් අදහන අයගෙ අදහස් වෙනස් කරන්ඩ අපි මහන්සි වෙන්ඩ අවශ්‍ය නැහැ. ඒ වගේ ම ඒ ආගමිකයන් බෞද්ධයන්ගෙ ආගමික විශ්වාසයන් වෙනස් කරන්ඩ උත්සාහ කරන්ඩත් අවශ්‍ය නැහැ. තමන් කැමති දෙයක් පිළිගැනීම හෝ අකැමැති දෙයක් නොපිළිගැනීම අතිශයින් පෞද්ගලිකයි. සිදුවිය යුත්තේ අප එකිනෙකාගේ ආගමික විශ්වාසයන්ට ගරු කිරීමයි. යමිකිසි කෙනෙක් තමන්ගේ දෙවියන් සර්වබලධාරියාය. අනෙක් දෙවිවරුන් හෝ ශාස්තෘෘවරුන් ඊට වඩා පහත්ය කියල කියනවනම් ඒක දෙවියන්ගෙ වැරැද්දක් නෙවෙයි. එහෙම කියන කෙනාගෙ තේරුම් ගැනීමේ ප්‍රශ්නයක්.
සුභාෂිතයෙ කිව්ව වගේ දෙවියන් සිටී ද හෝ පරලොව තිබේ ද කියා සොයනවාට වඩා වැදගත් වන්නේ මෙලොව සාර්ථක, යහපත්, උදාර මිනිසුන් ලෙස ජීවත් වීමයි. එකිනෙකාට ගරුත්වය ඇති ව කිසිදු භේදයකින් තොර ව ජීවත් වන්නට මිනිසුන්ට හැකිනම් එය සාමයයි. සමාදානයයි. සහජීවනයයි. ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ දේවදූතයා ලෙස සාමයේ පණිවුඩය ලොවට ගෙනා අසිරිමත් නත්තල් සමයේ ඒ උතුම් දහම ඔබට මනුලොව දෙවියන් වන්නට මග හෙළි කරන පහන් ටැඹක් වේවා !