top of page

සත්සමුදුරැ තරණය කළ නිවසක්

මුනිදාස වංශපුර විසිනි (by Munidasa Wanshapura)

මහා යාත්‍රිකයෙකු හා දේශ ගවේෂකයෙකු වූ කැප්ටන් ජේම්ස් කුක්ගේ නිවස ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න්හි පිහිටා තිඛෙන බව මා දැනගත්තේ මිතුරෙකුගෙනි. එහෙත් මීට අවුරුදු දෙසිය ගණනකට පෙර බ්‍රිතාන්‍යයේ විසූ කැප්ටන් කුක් ගේ නිවස සැබවින්ම ඕස්ට්‍රේලියාවේ තිබිය හැකිද?

මා අසා ඇති පරිදි එංගලන්තයේ යොර්ක්ශයර්හි ගම්බද ප්‍රදේශයක උපත ලැබ, එහිම හැදී වැඩී තරුණ අවදියේම නාවිකයෙකු බවට පත්වූ ජේම්ස් කුක් ගේ ජීවිතයෙන් වැඩි කාලයක් ගතවී ඇත්තේ මුහුදු ගමන් සඳහාය. වයස අවුරුදු පණස් එකේදී පමණ ඔහුගේ මරණය සිදුවූයේද ගවේශණයක් අතරතුර හවායි දූපතේදීය. ඕස්ට්‍රේලියාව, නවසීලන්තය, හවායි දූපත්වැනි දක්ෂිණාර්ධ ගෝලීය ගොඩබිම් ප්‍රදේශ ලෝක සිතියමට එක්කළ ජේම්ස් කුක් ඕස්ට්‍රේලියාව සොයාගැනීමේ ගෞරවයද හිමිකර ගත්තෙකු වුවද ඔහු හෝ ඔහුගේ මවුපියන් කිසිවිටෙකත් ඕස්ට්‍රේලියාවේ ජීවත් ව නැත. එවන් පසුබිමක කුක් පවුලේ නිවහනක් මෙහි දැකිය හැකිද? එහෙත් ඒ කුතුහලය නිසාම පසුගිය ශීත සෘතුවේ දිනෙක මෙම අසහාය නාවිකයාගේ නිවෙස සොයා ගියෙමි.

අප මෙල්බර්න්හි පාර්ලිමේන්තු උමං දුම්රිය පොළෙන් ඉහළට නැගී ස්ප්‍රිං මාවතට පිවිසෙන විට උදෑසන නවයට පමණ ඇත. විසල් ගොඩනැගිලි අතර වූ මාවත් ඔස්සේ දහසකුත් වාහන ඒ මේ අත ගමන්කරමින් තිබුණද කිසිදු නළා හඬකින් හෝ තරඟයකින් තොරව ඒවා ඇදී ගියේ මහත් සංයමයකිනි. මද දුරක් පදික වේදිකාව දිගේ ගමන්කර වෙලින්ටන් මාවතට පිවිසෙත්ම මා යායුතු ෆිට්ස්රෝයි උද්‍යානය දැකිය හැකිවිය. ෆිට්ස්රෝයි උයන මෙල්ර්බන් නගර මධ්‍යයේ ප්‍රධාන මාර්ග හතරකින් වටවූ අක්කර හැටහතරක පමණ භූමිභාගයක පැතිර පවතින්නකි.

සිසිරයේ සීතල තවමත් මැකීගොස් නැතත් හොඳින් හිරු පායා තිබූ දිනක් නිසාදෝ බොහෝ අය උද්‍යානයට ඇතුළු වෙමින් සිටියහ. උයන් දොරටුව අසල වූ සිතියමෙන් කුක් ගේ නිවස එහි ඇති බව පසක් කර ගතිමි. එහෙත් ඇත්තෙන්ම මෙහි ඇත්තේ කැප්ටන් කුක්ගේ සැබෑ නිවසමද ?

සීත කාලය නිසා කොල හැලී තිබුණත්, විසල් අතු පතර අහසට විහිදුනු එල්ම් ගස් පේළි අතරින් විහිදුනු මාවතේ මදක් ඉදිරියට ගිය විට ගෙඋයනක් මැද වූ කුඩා නිවහනක් ඈතින් දැකගත හැකිවිය. අවට වූ ගහ කොළත්, ඉහළට නැගුනු දුම් කවුළුව, ගල් වලින් තැනූ බිත්ති හා කුඩා ජනෙල් වලින් යුත් එය, මට එංගලන්තයේ පැරණි ගම්මානයක වූ කුඩා නිවසක සිතුවමක් සිහිපත් කළේය. ඒ නිසාම එය, දොරටුව අසල වූ සිතියමෙහි තිබූ කුක් ගේ නිවස ලෙස හඳුනාගැනීමට අපහසුවක් නොවීය. ඒ වනවිටත් සංචාරකයන් යයි සිතිය හැකි කණ්ඩායම් කිහිපයක් අවට නරඹමින් සිටියහ. ටිකට් පතක් මිලදීගෙන එම පරිශ්‍රයට ඇතුල්වනවිට ලබා දුන් පත්‍රිකාව මගේ සිතෙහි තිබූ සැකය දුරු කිරීමට සමත් විය.

කැප්ටන් ජේම්ස් කුක් ඉපිදී ඇත්තේ 1728 නොවැම්බර් 7 වන දාය. ඔහුගේ පියාවූ ජේම්ස් කුක් ගොවිපලක කම්කරුවෙකු වූ අතර ඔවුන්ගේ නිවස පිහිටා තිබුණේ එංගලන්තයේ යොර්ක්ෂයර්හි ගම්බද ප්‍රදේශයක ය. කැප්ටන් කුක්ගේ ළමා වියේ වැඩිකාලයක් ගෙවුනු මැටියෙන් තැනූ එම කුඩා නිවහන කැඩී බිඳී ගොස් ඇත. මා ඉදිරියේ ඇති මේ නිවස කුක්ගේ පියා විසින් ඉදිකොට ඇත්තේ මෙහි නොව එංගලන්තයේ යොර්ක්ෂයර්හි ග්‍රේට් අයිටන් ගම්මානයේය. ඒ වනවිට කැප්ටන් කුක් රැකියාවක නිරතව සිටි බැවින් වැඩිකාලයක් එහි රැඳී සිටීමට හැකි නොවන්නට ඇත. කෙසේ වෙතත් කුක් පවුල වාසය කළ මෙම නිවස ඔවුන් එය හැරයාමෙන් පසු පවුල් කිහිපයක නිවහන බවට පත්ව ඇත. අවසන් වරට එය අයත් ව තිබුනු සිම්ප්සන් පවුලේ අයද 1933 දී එය විකිණීමට තිරණය කළහ.

ඒ වනවිට කැප්ටන් කුක් ලෝක ප්‍රසිද්ධ පුද්ගලයෙකු වූ බැවින් කුක් පවුලේ මෙම නිවස විකිණීමේ පුවත ඕස්ට්‍ර්ලියානු පුවත්පත් වලද පලවී තිබුණි. එය දුටු ඕස්ට්‍රේලියානු ඉතිහාසඥයෙකු වූ හර්මන් ගිල් අපූරු අදහසක් ඉදිරිපත් කර ඇත. එය නම් ඕස්ට්‍රේලියාව සොයාගත් තැනැත්තා ලෙස සැළකෙන කැප්ටන් කුක්ගේ නිවස මිලදී ගෙන මෙහි ගෙන ඒමයි. එය ප්‍රායෝගිකව ඉතා අසීරු කටයුත්තක් වුවත් එවකට මෙහි සිටි ව්‍යාපාරිකයෙකු හා සමාජ සේවකයෙකුවූ ශ්‍රීමත් රසල් ග්‍රිම්වේඩ්, එය මිලදීගෙන ඕස්ට්‍රේලියානු ජනතාවට ත්‍යාග කිරීමට තීරණය කළේය.

එහි ප්‍රතිඵලයක් වශයෙන්, මුල් නිවස ගලින් ගල ගලවා අංකනය කර, කුඩුකළ බදාම පවා විශාල පෙට්ටි 253 ක හා බැරල 40 ක අසුරා විශේෂ දුම්රියකින් එංගලන්තයේ හල් වරායට ප්‍රවාහනය කර පසුව නැව් මගින් ඕස්ට්‍රේලියාවට ගෙනවුත් ඇත. වැඩි කලක් යන්නට මත්තෙන් ගෘහ නිර්මාණ ශිල්පීන්ගේ අධීක්ෂණය යටතේ කූක්ගේ නිවාසය තිබූ අයුරින්ම මෙහි ප්‍රතිස්ථාපනයකර 1934 දී මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත කර ඇත්තේය. විවෘත කිරීමෙන් පසු මුල් මාස දෙක තුළ පමණක් විසි තුන්දහසක් පමණ දෙස් විදෙස් සංචාරක පිරිසක් එය නැරඹීමට පැමිණි බව සඳහන්වේ.

එදා මෙම නිවස රසල් ග්‍රිම්වේඩ් විසින් මිලදී ගෙන තිබුණේ පවුම් අටසියයකටය. අද එම මුදල එක දිනක් හෝ දෙදිනක් තුළ කුක් ගේ මෙම නිවහන නැරඹීමට එන සංචාරකයින්ගෙන් අයකරගැනීමට හැකිව තිබේ. ගෙඋයනද එදා තිබූ පැරණි ගෙවත්තට සමාන ගහ කොළින් යුක්තවන අතර බිත්ති මත වැඩී ඇති අයිවි වැල්ද මුල් නිවසේ තිබූ වැල්වලින් ගෙනවුත් වවාගත් ඒවාය.

inside of Capt. Cook's Cottage©Munidasa Wanshapura

inside of Capt. Cook’s Cottage©Munidasa Wanshapura


කුක්ගේ නිවාසයට සංචාරකයින්ගේ විශාල ආකර්ශණයක් ඇති බව පෙනෙන්නට තිබුණද එය ප්‍රමාණයෙන් විශාලවූවක් නොවේ. දෙමහල් කොටසේ බිම් මාලයේ නිවසට ඇතුලූවන ඉදිරි දොරටුව පටු කොරිඩෝවකට විවෘත වන අතර එය සෘජුවම පිටුපස දොරින් ගෙවත්ත හා සම්බන්ධවේ. ඇතුලූ වූ වහාම වම් පසින් ඇත්තේ පොදුවේ අහාර පිසීම හා අහාර ගැනීම සඳහා භාවිත කළ එකම කාමරයයි. බිම් මහලේ සිට ඉහළ මාලයට යාමට ලීවලින් තැනූ කුඩා තරප්පුවක් ඇත. එහි ඇත්තේ නිදන කාමරයයි. තනි කාමරයක් වූ එයට යාබදව අඩි තුනක පමණ පළලින් යුත් දිගු කාමරයකි. එහි පටු ඇඳක් තිබූ අතර මගේ අවධානය වඩාත් යොමුවූයේ එහි බිම තබා තිබුණු කුඩා ට්‍රන්ක පෙට්ටියක් වෙතටය. එහි J.C යන ඉංගිරිසි අකුරු කොටා තිබූ අතර එය කැප්ටන් ජේම්ස් කුක් හෝ ඔහුගේ පියා වන ජේම්ස් කුක් විසින් භාවිතා කළ එකක් විය යුතුය. නිවසේ තිබූ ගෘහ භාණ්ඩ හා අනෙකුත් උපකරණ නම් කුක් පවුල විසින් පරිහරණය කළ ඒවා නොවිය හැකිය. මක් නිසාද යත් කැප්ටන් කුක්ගේ දෙමාපියන්ට පසුව පවුල් කිහිපයක්ම මෙම නිවසෙහි පදිංචිව සිටිය බැවිනි.

Trunk Box of Capt. Cook©Munidasa Wanshapura

Trunk Box of Capt. Cook©Munidasa Wanshapura


නිවසෙහි දෙමහල් කොටසට යාව ඇති තනි මහලකින් යුත් කොටස පසු කාලයක ඊට ඈඳා ගත්තකි. කුඩා නාන කාමරයක්, ගබඩා කාමරයක් හා සතුන් සඳහා වූ ඉඩක් ලෙස වෙන්ව තිබූ එය තනි දොරකින් හා කුඩා ජනේලයකින් යුක්තය. අද එය භාවිත කෙරෙන්නේ තනි කාමරයක් ලෙස කුක් පිලිබඳ තොරතුරු මධ්‍යස්ථානය ලෙසය. එහි දොරටුව අසලට විත් වම් පස බලනවිට එලවළු, පලතුරු හා ඛෙහෙත් පැලෑටි වැවූ අලංකාර ගෙවත්තත්, දකුණු පස බලන විට ෆිට්ස්රෝයි උද්‍යානයේ කොටසක් හා මෙල්බර්න් නගරයේ දර්ශනීය ගොඩනැගිලිත් පෙනේ.

Capt. Cook©Munidasa Wanshapura

Capt. Cook©Munidasa Wanshapura


කුක්ගේ නිවහනින් පිටත බැලූවිට කුක් ගේ නිවහන ආශ්‍රිතව නොතිබූ දෙයක්ද අද මේ ගෙවත්තෙහි නිවසට ආසන්නව දක්නට ලැඛෙයි. ඒ වෙනත් කිසිවක් නොව ජීවමාන ප්‍රමාණයෙන්ම ඉදිකොට ඇති කැප්ටන් කුක්ගේ ප්‍රතිමාවයි. කුක්ගේ නිවස එහි පැමිණෙන්නන්ගේ ආකර්ශණය දිනා ගන්නා පරිදි පවත්වාගෙන ගියද එය පසුගිය අවුරුදු දෙකේදීම විරෝධාත්මක විකෘති කිරීම් වලට ලක්වී ඇත. ඒ ඕස්ට්‍රේලියානු දිනය පැවැත්වෙන ජනවාරි 26 දාට ආසන්නවූ දිනවලය. “ජනවාරි 26 ඕස්ට්‍රේලියාව ලජ්ජා විය යුතුය. . . කුක් හොරෙකි. . . ” වැනි වැකි මෙම නිවසෙහි බිත්ති පුරා ලියා තිබුණි. එය තම නිජබිම, සම්පත් මෙන්ම අවුරුදු දහස් ගණනක ඉතිහාසයද ඉංග්‍රීසීන් විසින්සොරා ගැනීම පිලිබඳ ඕස්ට්‍රේලියානු ආදිවාසීන්ගේ අප්‍රසාදය පලවූ එක් අවස්ථාවක් විය හැකිය.

ඒ කෙසේ වුවත් කුක් ගේ නිවහනින් පිටව යළිත් උද්‍යානයේ නිසංසලවූත් චමත්කාරජනක වූත් පරිසරයට පිවිසියද, මසිතේ ලැගුම්ගෙන තිබුණේ පිබිදී එන සතුටක් නොව මහත් කණගාටුවකි. ඒ කිසිවක් නිසා නොව අවුරුදු තුන්සියයකටත් අඩු ඉතිහාසයක් ඇති, වෙනත් රටකට අයත් කුඩා නිවසක් රැක ගැනීමටත්, සංචාරකයින් ඊට ආකර්ෂණය කර ගැනීමටත් මොවුන් මෙසේ වෙර දරද්දී අවුරුදු දහස් ගණනක ඉතිහාසයකට හා ශිෂ්ඨාචාරයකට හිමිකම් කියන අපේ පුරා වස්තූන් දිනෙන් දින වැලලී යන අයුරු සිහිවීම නිසාය.

6 views0 comments

Recent Posts

See All

හම, හම ගසා නාකි වීම

අපගේ වයස්ගතවීම සිදුවන්නේ හරිම වේගයකින්. මේ වයසට යාම පිටතට නොපෙන්වන්නට අප කොතරම් උත්සාහ කරනවාද? කොතරම් වියදම් කරනවා ද? ඒ පිටතින් පමණයි. නමුත්

bottom of page