සරදාකාශයේ අදත් දිලෙන ෂාමෙන් ජයසිංහ
Updated: Apr 24, 2020
ශ්‍රීනාත් මද්දුමගේ විසිනි.

පුෂ්පයෙන් වන ලංකෘත වූත් සුන්දරත්වයෙන් සුපූජිතවූත්, පැහැසර මාවතක ප්‍රේමයෙන් මන රංජිත වෙමින්ද, නන්දිත වෙමින්ද තාණ්ඩව දේහධාරිභාවයෙන්, රසභාව සපිරි හඬ පෞරෂයෙන් කරලිය ආලෝලනය කළ රංගවේදි ෂාමෙන් ජයසිංහ කලාකරුවා වේදිකාව නියන් සායක යටිබිම්ගතව තිබූ කාලය නිමාකරමින් ඊට වසන්තය සඵල කළ මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ සිත් බැඳගත් රසාලිප්ත සහෘදයෙකි. 1956 නොවැම්බර් මස 03 වන දින ලයනල් වෙන්ඩ්ට් රංග ශාලාවේ මුල් වරට "මනමේ" නාට්‍යයේ ප්‍රථම දර්ශනයට සම්බන්ධ වූවන්ගේ පරපුරේ අවසාන සාමාජිකයා ෂාමෙන් ජයසිංහ බව සැබෑය. ඔහු ලාංකේය කරළිය නව මානයක් සොයමින් සිටි එකල ලාංකේය වේදිකා රංග වපසරියට සියපතක් පමණ නොව සියපත් විලක් වූ බවයි සැබෑව. එදා මනමේ නැරඹුවන් ඇත්නම් ඔවුන්ට ෂාමෙන් ජයසිංහ පොතේ ගුරු ලෙස කල රංගනය අදටත් අමතක විය නොහැකිය. ඔහු ලයාන්විතව මනමේ නාට්‍යයේ පොතේගරු ලෙස ගායනා කළ කාව්‍ය කණ්ඩයන් අදත් අමතක විය නොහැකිය. එදා මෙදා තුර මනමේ විවිධ නිෂ්පාදනයන් නැරඹූ නාට්‍ය රසකාමින්ගේ පොදු මතය වූයේ මනමේ නාට්‍යයේ සිට සාර්ථකම පොතේ ගුරු ෂාමෙන් ජයසිංහයන් බවය. එය අදටත් හෙටටත් අවිවාදිතය.

බොහෝ රංග පෞරෂවයන් ඇත්තවුන් මෙන්ම බොහෝ දැනුම් තේරුම් ඇත්තවුන්ද මට මගේ ජීවිතයේදි අනෙක්වත් මුණගැසී ඇත්තාහුය. එහෙත් ෂාමෙන් ජයසිංහ ඒ සියල්ලන්ටම ඉදිරියෙන් තැබිය හැකි මනුෂ්‍යත්වයෙන් අනූන පතාකයෙක් බව මාගේ ඇදහිල්ලයි. ඔහු අපට සමකාලියෙන් නොවේ. ඔහු අපේ පූර්වාචාරියෙකි. එහෙත් ඔහු හා ඇසුරෙදි කිසි විටෙකත් ඔහු ඔහුගේ ප්‍රවීණ බව ඉස්මතුවන ආකාරයට හැසිරුනේ නැතුවා මෙන්ම අපගේ කුමන නිර්මාණයක් වුව ලද ඇසිල්ලෙන් නරඹා එහි ගුණදොස් දැක්වූයේ මහත් ලෙන්ගතු කමකිනි. සෑම විටම නිර්දයභාවය ඉස්මතු නොවන ආකාරයෙන් පටු කුහක චේතනාන්විත භාවයෙන් සපුරා බැහැර වෙමින් තමා දුටු යහපත් දේ ඉස්මතු කර පැවසීම ෂාමෙන් ජයසිංහයන්ගේ පරම අභිලාෂය බව පැහැදිලි වෙයි. එය මට පමණක් නොවම සැමටම ඔහුගේ දැක්මේ පොදු ගුණාකාරයයි. එපමණටම ඔහු යහපත් මිනිසෙකි. ඔහු කතා කිරීමට වඩාත් කැමති වූයේ තමා දුටු නිර්මාණයේ අඩුපාඩු නොව යහපත් දේ පමණකි. නිර්මාණකරුවෙක් නිර්මාණයක් වේදිකාවට ගෙන ඒමට ගන්නා අපමණ වෙහෙස පිළිබඳ දැනුමක් තිබූ ඔහු නිර්මාණකරුවා අධෛර්යට පත් නොකිරිම සැමවිටම උත්සුක වූයේ සිනාපිරි මුහුණින් ඔහු තව තවත් දිරිගන්වමින් බව සැබෑය.
"මනමේ" නාට්‍ය යනු සිංහල වේදිකාවේ හැරවුම් ලක්ෂය පමණක් නොව ප්‍රාරම්භක බීකන් පහනද බව අවිවාදිතය. එය තවත් පරම්පරා ගණනාවක් නොනැසී පවතිනු ඇත. එම මහා යුග කාර්යයට සහභාගිවීමට යමෙක් වාසනාවන්ත වීද ඔහු සිංහල නාට්‍ය ඉතිහාසයේ නොමැකෙන ලෙස සටහන් වන නාමකරණයක් බවට පත්වීමද නොවැලැක්විය හැක්කකි. ෂාමෙන් ජයසිංහයන් ඒ අතින් පූර්ව ජන්මයේ සිට වාසනාව ගෙන ආ අයෙකු විය හැකිය. එවන් යුග පුරුෂයෙකුගේ ඇසුර ලද අපද වාසනාවන්තයෝමය. අප පමණක් නොව එදිරිවීර සරච්චන්ද්‍රයන්ද ඔහු වන් නළුවෙක් ලැබීම භාග්‍යයක් කොට සැලකූ බව විටින් විට පවසා ඇත. සරච්චන්ද්‍රයන්ගේ "පිං ඇති සරසවි වරමක් දෙන්නේ" නම් ගතෙහි 160 වන පිටුවෙහි ඔහු සඳහන් කරන්නේ මනමේ නාට්‍යයේ ෂාමෙන් ජයසිංහගේ රංග ප්‍රතිභාව තමා දුටුවේ ප්‍රාතිහාර්යක් ලෙස බවයි. සරච්චද්‍රයන්ගෙන් හොඳක් ඇසීම කන කැස්බෑවා විය සිදුරෙන් අහස බලන්නාක් වැනි අමාරු කාර්යයක් යැයි විටෙක මෑතකදි අප හැර ගිය අපේ කාලයේ රංග විශිෂ්ඨයා වූ ජයලත් මනෝරත්නයන් පවා පවසා තිබුණි. එවන් සංකීර්ණ විශ්ලේෂකයෙකු වු සරච්චද්‍රයන්, ෂාමෙන් ජයසිංහයන් ගැන පැවසූ වදන් සැබවින්ම ඔහු ලද සම්මානයක් සමව වටියි. පේරාදෙණිය විශ්ව විද්‍යාලයෙන් දර්ශන පිළිබඳ විද්‍යාර්ථයෙකු වන ෂාමෙන් පසුව ශ්‍රී ලංකා පරිපාලන සේවයට එක්විය. එහෙත් ඔහු, ඔහුගේ නළුකම ලංකාව හැර ඕලියාවට පැමිණෙන තුරුත් අත් නොහලේ වේදිකාව හැ බැඳි ප්‍රේමය නිසාය. නිවාඩුවකට යලි මව්රට ගිය අවස්ථාවලදීද ලද අවථාවෙන් වේදිකාවට නැගීමට ඔහු තුළ තිබුණේ මහත් ලැදිකමකි. වර්ෂ 1992 ශ්‍රී ලංකාවට ගිය විටෙක ඔහු "පේමතෝ ජායතෝ සෝකෝ" වේදිකා නාට්‍යයේ රංගනයටද එක්විය. ඒ ඔහු සරච්චන්ද්‍රයන් හමුවූ අවසන් අවස්ථාවය.

මහාචාර්ය එදිරිවීර සරත්චන්ද්‍රයන් මනමේ නාට්‍ය තනන විට එය සිංහල කරලියේ මහා වෙනසක් වන බව එතුමන්ට දැනෙන්නට ඇති. ඒ සඳහා එකල වෘත්තීය නළු කැලක් නොවූ බැවින් සහ එතුමාට නළු නිළියෙන් බහුලව සොයාගත හැකි වූයේ පේරාදෙණිය විශ්ව විද්‍යාලයෙන්මයි. නාට්‍යයේ මුලින්ම වේදිකාවට පිවිසෙන පොතේගුරු චරිතය සඳහා තාන්ඩව දේහධාරි ගැඹුරු හඬ පරාසයක් ඇත්තෙක් සොයමින් සිටි සරච්චන්ද්‍රයන්ගේ ඇස ගැටුන ෂාමෙන් සිය යුතුකම මැනවින් ඉටු කළ බව ඉතිහාසය දෙස් දෙනවා. ඒ එදා වේදිකාවේ ඒකාලෝක වූ හඬ පෞර්ෂය අදටත් ඒ වගේමයි. ෂාමෙන් ජයසිංහයන් ගතින් වියපත් වුවත් ඔහු සිතින් තවමත් තරුණයෙක් බවක් තමයි අපට දැනෙන්නේ.

මව්බිම අතැර ඕස්ට්‍රෙේලියාවට එන යම් අයට මුල අමතක වුවත් ෂාමෙන් ජයසිංහ ඔහුගේ බිරිඳ කලෙකට පෙර වියෝවූ මාලනි ජයසිංහද සමඟ එක්ව ඕස්ට්‍රේලියාවේ සිංහල නාට්‍ය පුනරුදයට දායක වෙමින් සැකැට්ස් (SCAT) සංවිධායත් සමග එක්වී ඕස්ට්‍රේලියාවේ නාට්‍ය කලාවට කළ සේවය අමතක කළ නොහැකිය. එසේම ශ්‍රී ලංකාවේ අග්‍රගන්‍ය නාට්‍ය ශිල්පිනී ශිල්පිනියන් මෙහි ගෙන්වා විවිධ සිංහල නාට්‍යයන් මෙහි රංග ගත කිරිමටත් ඔහු විශාල දායකත්වයක් දැක්වූවා. සැබැවින්ම ෂාමෙන් ජයසිංහයන්ගෙන් මෙල්බර්න් පුරවරයට සිදූ වූ සේවය අතිශයෙන් විශිෂ්ඨ බව නොකිව්වොත් ඒක කුහකකමක්. ඔහු තමයි අදටත් මෙහි ජීවත්වන ජ්‍යෙෂ්ඨතම නාට්‍යකරුවා. එවන් නාට්‍යකරුවෙකු අසුරු කරන්නට ලැබීම මොන තරම් වාසනාවක්ද?
වියපත් තෙස්පියානුවාගේ අවසාන නරකෙස ගිලිහෙන යුගය වුව, ගී්‍රක රෝම නාට්‍යකරුවෝ ඇරීනා නෘත්‍ය ශාලා වල මහත් ගිගුරුමින් රඟනා උච්චස්ථ කාලය වන්නට ඇත. ඊස්කිලස්, සොෆොක්ලීස්, ඇරිස්ටොෆනීස් ගේ ට්‍රැඩිජි, කොමඩි සහ සැටර් හි නළුවරණයට කැඳවාගත් තෙස්පියානුවන්ගේ ඩිතිරැම්බික් ගායනා ඇරීනා ගල්පඩි ඉක්මවා මහත් විශ්වය සිසාරා සුළග ගෙන යන්නට ඇත. එතරම් ඈත අතීතයේ ගී්‍රක රෝම නාට්‍යකරුවෝ ඇරීනා රඟහල දෝංකාරය දෙන ලෙස සිය රංග වින්‍යාසයන් සහ සතරවිද නළුවරණ ඒකාත්මික කල බව අසන විට අපටද එවැන්නෝ සිටි බව සිහිපත් කරන්නට ෂාමෙන් ජයසිංහ අදද අප අතර උදුල ගිරිහිසක් නැගී සිටීම අපමණ ආනන්දයකි. දයාබර ෂාමෙන් ජයසිංහයාණෙනි ඔබට ආවඩා ආයු බෝ වේවා.
කැඩපත පුවත් පතේ මා මිත්‍ර සාමන්ත තැන්නගේ, ෂාමෙන් ජයසිංහ නම් අපේ රංග පූර්වයේ ජ්‍යෙෂ්ඨ පුරුක පිළිබඳව ලියන්නැයි කී විට මා එය බාරගත්තේ සතුට ඉක්මවා ගිය මහත් භක්තියකිනි. එමෙන්ම ප්‍රවීණ ලේඛිකා ස්වර්ණකාන්ති රාජපක්ෂ මහත්මියද ශාමේන් ජයසිංහ නම් වූ අපූර්ව කලාකරැවා ගැන නොයේක් වර අප සමඟ කළ කතා බහද මෙම ලිපිය ලිවීමට පාදක වූ බව මෙහිදී මතක් කළ යුතුය.
21 Apr 2020 © Kadapatha.com.au