top of page

වැව රවුම – දෙසම්බර් 2015

සාමන්ත තැන්නගේ විසිනි

නිදසුන් අපි සුහඳ කතාබහක නිරත වෙමින් සිටියෙමු. ඒ මේ ලෝකයේ පැවැත්මට විවිධ තාරාතිරම්වල සියලූ දෙනාගෙන්ම ලැඛෙන දායකත්වය කෙතරම් වැදගත්ද යන කාරණාව සම්බන්ධව ය. අවසාන නිගමනයට අනුව පවුකාරයෝ නොසිටියේ නම් මේ ලෝකය පිංවතුන්ගෙන් සිස් විය නොහැකි ද ? දේවවාදියෝ නොවන්නට අදේවවාදීහුද, අදේවවාදීන් නොවන්නට දේවවාදීහුද නන්නත්තාර නොවනු ඇත් ද ? යනාදී වශයෙන් විවිධ ප්‍රතිවිරුද්ධතා මැදින් ගොඩගැනී ඇති ලෝකයේ එහාටත් මෙහාටත් නොවැටී මැද මාවතක යාම ගැන අපි සාකච්ඡා කළෙමු. කොතරම් කතා කළත් “නිදසුන්” නොවන්නට බරසාර කතාබස් පවා නීරස වන බව අපි අත්දැකීමෙන් දනිමු. කිසිවෙකුත් අවතක්සෙරු නොකළ යුතු බව එදින ඉතා අපූරු නිදසුනකින් පැහැදිලි කළේ අප හිතවත් චන්ද්‍රා හේවාමාන්න ය. ඒ මෙසේ ය. “ඔන්න දවසක් ශරීරයේ කොටස් ටික එකතු වෙලා තමන් අතරින් උසස්ම, ඒ වගේම ඉතා වැදගත්ම කෙනා කවුද කියලා වාද කරන්න ගත්තාලූ. මොළය කීවලූ ‘මම නැත්තම් ඔක්කොම ඉවරයි. මොකද හැම තීරණේම ගන්නේ මමනේ කියලා.’  එතකොට හෘදය වස්තුව කිව්වලූ ‘ඔයා තීරණ ගන්නේ කොහොමද මම මහන්සි නොබලා දිවා රෑ වැඩ කළේ නැත්තම්’ කියලා. එතකොට පෙනහැල්ල ඇහුවවලූ ‘මම හුස්ම ටික හරියට පෙරලා දුන්නේ නැත්තම් කොහොමද ?’ කියලා. ඒ වෙලාවේ අක්මාව කිව්වලූ ‘මම නැත්තම් ඔයාලාට ඔය මොකවත් කරන්න පුළුවන්ද ?’ කියලා. ඉතිං ඔය වගේම වකුගඩු, හම, රුධිරය වගේ හැමෝම තම තමන්ගේ ලොකුකම් කියවනකොට බහිඝ්‍රාවී පද්ධතියත් පිටිපස්සේ ඉදලා කිව්වලූ ‘මාත් කරන්නේ ලොකු සේවයක්’ කියලා. මෙච්චර වෙලා කාගෙවත් අවධානේ යොමු වෙච්ච නැති බහිඝ්‍රාවි පද්ධතිය එහෙම කියනකොට හැමෝම නහය වහගෙන සමච්චලෙන් එයාට හිනා වෙන්න ගත්තලූ. ඒ වගේම එයාට බොහෝම අවමන් වෙන විදිහටලූ කතා කළේ. ඉතිං ඊට පස්සේ බහිඝ්‍රාවි පද්ධතිය තමන්ගේ පාඩුවේ කට වහගෙන වැඩ වර්ජනයක් පටන් ගත්තලූ. දවසක්, දෙකක් යන කම් කාටවත් ගාණක් නැතිලූ. හැබැයි තුන්වෙනි හතරවෙනි දවස් ගෙවිලා ගන්න ගත්තම තමයිලූ හැමෝටම තරු පේන්න පටන් ගත්තේ. එයාලට තුන්මුනිං දාඩිය දාලා උණ ගැනුනා. අන්තිමට හැමෝම එකතු වෙලා වැඩ වර්ජනය අත අරින්න කියලා බහිඝ්‍රාවී පද්ධතියෙන් බැගෑපත් වෙලා ඉල්ලා හිටියාලූ.”

සාදු වාචාය සංවරෝ ලංකාවේ සිට පැමිණි ස්වාමීන් වහන්සේ නමක පවත්වන්නට යෙදුනු දහම් දෙසුමක් අසන්නට පසුගියදා අපි ගියෙමු. දේශනාව ආරම්භයේදීම “කය සංවර කර ගැනීම” ගැනත්, දේශනාවසානයේ දේශනය අසන්නට පැමිණි අයටම තම තමන් කවරාකායේ “යක්කු”ද යන වග තේරුම් ගත හැකි වන බවත් උන්වහන්සේ පැවසූහ. ඒ එම දේශනය “යකෙක්” හා සම්බන්ධව වූ නිසා ය. අප මේ කියන්නට යන්නේ උන්වහන්සේ කී එකී “යකා” ගැන නොවේ. (එමෙන්ම කඨින සිවුරක් පූජා කරන්නට පෙර “කඨින” යන වචනය කීමෙන් පවා අවැතක් වන බවද උන් වහන්සේ කීහ.) ඇස් පෙනීමේ දුර්වලතාවක් ඇති අයව හඳුන්වන නම ගැන ඔබ දන්නවා ඇත. කන් ඇසීමේ දුබලතා ඇති අය ගැනත්, කතා කිරීමේ ආබාධ ඇති අය ගැනත්, ඇවිද යාමේ ආබාධයන්ගෙන් පෙළෙන අයත් හඳුන්වන නම් ගැන ඔබ දන්නවා ඇත. ඔවුන් හඳුන්වා දෙනු ලබන එකී ඒක වචන සියල්ලම අවසන් වන්නේ “ආ” කාරයෙනි. හොඳින් විමසා බැලු විට ඒ සියලූ විශේෂණ පද කණ වැකුණු විගස එබඳු ආබාධයකින් නොපෙළෙන අයෙකුට එබඳු ආබාධයක් ඇති අය කෙරෙහි දයාබර මිත්‍රශීලී හැගීම් ඇති නොවන්නේ ය. ඒ ඔවුහු හෙළා දැකීමක් හෝ පහත් කර හැඳින්වීමක් ඒ තුළ ගැබ්ව ඇති නිසාය. වචන යනු ශබ්ද මාත්‍රයක් බව සැබවි. එහෙත් ඒ ශබ්ද තුළ ආදරය, දයාව, කරුණාව, මෛත්‍රිය ස්ථාපිත කළ හැකිය. ලංකාවේ සිටියාට වඩා මෙහිදී පෙර කී “ආ” කාරයෙන් අවසන් වන සිංහල භාෂාවේ වදන් අතිශ්‍ය සුපරික්ෂාකාරීව හසුරුවන්නට අපි වගබලා ගනිමු. කවර හෝ කායික මානසික ආබාධයකින් නොපෙළෙන අයෙකු කොහෙන් සොයා ගන්න ද ? අනෙක් අතින් අප හැම දෙනාගේම ඥාතියෙකු, මිතුරෙකුද ඒ අතර සිටිනවා නොවේ ද ? එසේනම් එකී වචන දිගින් දිගට පුනරුච්චාරණය කල කල්හි කාගේ හෝ සිත රිදෙනවා නොවේ ද ? “සාදු වාචාය සංවරෝ” යන්නෙන් වචනයෙන් සංවර වීම සාදු ගුණයක් නොහොත් සුචරිත ගුණයක් යන අර්ථය දෙයි. එය පුහුණු විය යුතු ගුණාංගයකි. මෙහි පැමිණෙන ඇතැම් දේශකයානන් වහන්සේලා සිංහලෙන් පවත්වන දේශනා ඉංග්‍රිසියට හැරෙව්වා නම් වැටෙන්නේ “ඩිස්ක්‍රිමිනේෂන්” ගණයට බව නම් නොකියාම බැරිය.

සුනාමියට වසර එකොළහයි 230,000 කට අධික පිරිසකට මරු කැඳවමින් 2004 දෙසැම්බර් 26 වෙනිදා ඉන්දියන් සයුරේ ඉන්දුනීසියාවේ සුමාත්‍රා දූපත ආසන්නයේ හටගත් සුනාමිය තවත් බොහෝ කාලයක් ගත වන තුරු ශ්‍රී ලාංකිකයන්ගේ මතකයෙන් ගිලිහී නොයනු නොඅනුමානය. එය, වාර්තාගත ඉතිහාසයේ ඇති වූ අතිශය දරුණු ස්වභාවික ආපදාවන්ගෙන් එකකි. මෙහිදී මුදා හැරුණු ශක්තිය ටීඑන්ටී මෙගාටොන් 26 ක සමාන බව පැවසේ. වෙනත් වචනවලින් පවසනවා නම් හිරෝෂිමාවට හෙළන ලද පරමාණු බෝම්බය මෙන් 1500 ගුණයකි.

Tsar Bomba 2004 දී ඇතිවූ සුනාමිය, මෙතෙක් මිනිසා විසින් පුපුරුවා හැර ඇති සුවිශාලම න්‍යෂ්ටික බෝම්බය වූ Tsar Bomba නම් වූ හයිඩ්‍රිජන් බෝම්බයට වඩා මුදා හළ ශක්තිය අතින් අඩුය. සෝවියට් රුසියාව විසින් 1961 ඔක්තෝබර් 30 වෙනි දින අත්හදා බලන ලද මෙම බෝම්බය ටීඑන්ටී මෙගාටොන් 50 ක ධාරිතාවයකින් යුතු විය. මිනිසා විසින් මේ වනතුරු මේ මිහිමත පුපුරුවා හරින ලද ඉතාමත් බලසම්පන්නම බෝම්බය මෙයයි.

ඇගේ වෛරය මිනිසා තරම් වෛර සහගතව ක්‍රියා කරන තවත් ප්‍රාණියෙකු මේ තුන් ලෝක ධාතුවේම සිටීදැයි අපි නොදනිමු. අනෙකා මරන්නට තමන්ගේ ඇග බෝම්බයක් කර ගන්නට තරම් එකී වෛරය ප්‍රභලය. ටීඑන්ටී මෙගාටොන් සියයක ප්‍රමාණයට නිපද වූ Tsar බෝම්බයක් අත්හදා බලා නැත්තේ එය හෙළනු ලබන ගුවන්යානයට පවා එම බෝම්බය පිපිරෙන අවස්ථාවේදී ඉන් ගැලවී යාමට නොහැකි නිසා බව කියවේ.

සිව් වෙනි ලෝක යුද්ධය තුන් වෙනි ලෝක යුද්ධයේදී භාවිතා කරනු ලබන ආයුධ කෙබඳු වේදැයි මම කිසිත් නොදනිමි. නමුත් සිව් වෙනි ලෝක යුද්ධයේදී ගල් සහ මුගුරු භාවිතා වන බව මට විශ්වාසය. – ඇල්බර්ට් අයින්ස්ටයින්

ඉවසීම සහ සාමය ඉවසීම තරම් කෝප විස නසන ඔසුවක් නැති බව බෞද්ධ පොත පතෙහි දැක්වේ. එකී ඔසුව නැති තැන සාමයක් කොයින්ද ?

පවුකාරයාට සමාව දෙනු මැනව ඔබට එරෙහිව මිනිසුන් කළා වූ පාපයන්ට සමාව දුන හොත් දෙවි පියාණන් වහන්සේ ඔබට සමාව දෙන සේක. ඔබ මිනිසුන්ගේ පාපයන්ට සමාව නොදෙන්නේ නම්, පියාණන් ඔබ කළා වූ පාපයන්ටද සමාව නොදෙනු ඇත. – ශු බයිබලය

3 views0 comments

Recent Posts

See All

හිතන්නට හිතීම දරුවන්ට ඉගැන්විය යුත්තේ හිතන්න මිස හිතිය යුත්තේ කුමක්ද කියා නොවේ. – මාග්‍රට් මීඩ් එක ඛෙදීම හතළිස් හතර තුනේ පංතියේදී අපේ පංතියේ සිටි ළමුන් ගණන හතළස් හතරකි. ඒ හතළිස් හතරෙන් පංතියට මිහිර ප

එකල භාවිතා කළ කොළ අසූව දශකයේ මුල් බාගය වනතුරුම ගමේ ගොඩේ අය බත් එතුවේ කොළපොතේය. වෑංජන එතුවේ කෙසෙල් කොළ වලය. අපේ අත්තම්මලා එකල ආහාර පිසුවේ ආදරයත්, කරුණාවත් මුසු කරමිනි. එසේ පිසූ බත එතුවේ කොළපොතේය. පොලොස

bottom of page