top of page

විරාග කොල්ලය

සංවාද සටහන – ටියුඩර් අමරසේන විසිනි

චන්ද්‍රා මල්ලවආරච්චි නම් වූ ඕ තොමෝ චිත්‍ර ශිල්පිණියක, මූර්ති ශිල්පිණියක, කිවිඳියක, ගීත ප්‍රබන්ධකවරියක මෙන්ම අග්‍රගණ්‍ය සිංහල චිත්‍රපටියක් වූ “විරාගයේ” අර්ථපතිනියද වෙමින් ශ්‍රී ලාංකික කලා ක්ෂේත්‍රයේහි ප්‍රගමනය උදෙසා මහත් දායකත්වයක් දැක්වූ සාහිත්‍යකාමිනියක වන්නීය. එහෙත් වර්තමානයේහි “විරාගය” පිළිබඳව ගැටලූ මුසු විසංවාදී තත්වයක් සිනමා ක්ෂේත්‍රය තුළ පැන නැගී තිඛෙන හෙයින් ඒ පිළිබඳව අපි උත්සක විමු. එහි ප්‍රතිඵලයක් වශයෙන් මුල් වරට ඇය සිය මුනිවත බිඳ හැර කැඩපත සමග මෙසේ සංවාදයකට එක්වන්නීය.

කැඩපත ඃ ඔබ චිත්‍ර ශිල්පිනියක්, මූර්ති ශිල්පිනියක්, කිවිඳියක්, ගීත ප්‍රබන්ධකවරියක් එමෙන්ම විශිෂ්ටතම සිංහල චිත්‍රපටයක් වූ විරාගයේ නිෂ්පාදකවරියයි. බහුවිධ කුසලතාවන්ගෙන් පිරිපුන් ඔබ අගනා කලාගාරයක් පවත්වාගෙන ගිය බව අප්‍රකට කරුණක්. ඔබ කෙසේ ද මේ අයුරින් කලාවන් ස්පර්ශ කරන්නේ ? කෙසේ ද කලා ලොවට අවතීර්ණවෙන්නේ ?

චන්ද්‍රා ඃ මා කුඩා කල පටන්ම කාව්‍යකරණයට හා චිත්‍ර ඇදීමට දස්කම් දැක්වූවා. ඒ දේවල් ප්‍රගුණ කළා. පොත පත කියවීමට – එනම් මගේ වයසට වඩා බරෑරුම් පොත් පත් කියවීමට – ඇබ්බැහි වී සිටියා. හැම දේ ගැනම ගැඹුරින් සිතීමට පුරුදු වී සිටියා. මා කලාගාරයක් පවත්වාගෙන ගියා. එහි වූ චිත්‍ර, මූර්ති සියල්ලම පාහේ මගේ අතින් නිර්මාණය වූ දේවල්. මගේ කලාගාරයේ නම “පන්සිළු”. එයට නම තැබුවේ සෝමබන්ධු විද්‍යාපති. මගේ කලාගාරය තිබුණෙ ගාලූමුවදොර හෝටලය සහ හොලිඩේ ඉන් හෝටලය අතරමැද. මම හිතනවා මට කලාව පිළිබඳ උප්පත්ති හැකියාවක් තිබුණා කියා.

Chandara Mallawarachchi

Chandara Mallawarachchi


කැඩපත ඃ මාර්ටින් වික්‍රමසිංහගේ විශිෂ්ටතම නවකතාව වූ විරාගය නිෂ්පාදනය කිරීමට අර්ථපතීත්වය ලබා දෙන්නේ ඔබ. ඒ සඳහා ඔබ පෙළඹුණේ කෙසේ ද ? එය කවරකුගේ යෝජනාවක් ද ?

චන්ද්‍රා ඃ “විරාගය” මගේ සිත් බැඳගත් නවකථාව. මා මෙය බොහෝ වාරයක් කියවා තියනවා. සතුටට වඩා දුකේ දී හිතට ලැඛෙන වින්දනය වැඩියි. පාසලේ අනික් ළමයින් සමග සසඳද්දී මගේ වෙනසක් තිබුණා. ළමයි මට “විරාගය” යයි අන්වර්ථ නාමයක් ද පටබැඳ තිබුණා. ඒ පොත නිසා නොවෙයි. මගේ හැසිරීම මත. මාර්ටින් වික්‍රමසිංහ, සංවත්සර වැඩ සටහනක දී එතුමා විසින් ලියන ලද පොත්, රූපවාහිනියේ පෙන්වන අවස්ථාවකදී, විරාගය පොත උඩට විත් නැවතුණා. එයින් මගේ පරණ මතකය අවදි වුණා. මේ පොතෙන් සිනමා පටයක් කළ යුතුයැයි මට සිතුණේ එම මොහොතේයි. මම පමාවුණේ නැහැ. මා තිස්ස මුණ ගැසී විරාගය සිනමාවට නැගීම සම්බන්ධව සාකච්ඡා කළා. මේ යෝජනාව තිස්සට අදහා ගැනීමට බැරිවුණා. “විරාගය කරන්න තමුසේ” ඔහුගේ කටින් ඉබේටම පිටවුණා. “තමුසේ” යයි ඔහු මා ඇමතුවේ හිතවත්කමට. පොතේ සිනමා අයිතිය ලබාගැනීමට මම තිස්සට යෝජනා කළා. මෙහිදී තිස්ස ගැනත් යමක් කිව යුතුයි. තිස්ස මගේ පාසල් ගුරුවරයෙක්. මම ඔහුව දිගු කාලයක් තිස්සේ දන්නා හඳුනන අයෙක්.

කැඩපත ඃ චිත්‍රපටයේ නිෂ්පාදනයට අමතරව නළු, නිළියන් තේරීම, ගීත හා ගායන ශිල්පීන්ද තෝරා ගැනීමට ඔබ මැදිහත් වුණා.

චන්ද්‍රා ඃ වාචික අවසරය ලැබීමෙන් පසු නළු නිළියන් ගැන කතාකරගැනීමට මම තිස්සව මුණ ගැසුණා. මෙහි චරිත සම්බන්ධව මගේ දැඩි අවධානයක් තිබුණා. ලෙස්ටර් මහතාට ලියූ පරණ “විරාගය” තිර පිටපත කියවද්දී, ඒ ඒ චරිත සඳහා, නළු නිළියන් මගේ සිතේ ඇඳුණා. මේ චරිත සම්බන්ධව මගේ සිතේ ලොකු බයක් තිබුණා. සමහර අවස්ථාවලදී තමාට සම්බන්ධ නැතිනම් තමා වටේ සිටින අයට ඒ අවස්ථා ලැඛෙන බව මා අවබෝධ කොට ගෙන සිටියා. අධ්‍යක‍ෂක අභිබවා යාමත් පරිස්සමෙන් කළ යුතු වුවක් බව මා දැන සිටියා. එදා සිදුවූ දෙබස් මා එයාකාරයෙන්ම සඳහන් කරන්නම්. විරාගයේ ප්‍රධාන භූමිකාව වන “අරවින්ද” වෙනුවෙන් මම “සනත් ගුණතිලකගේ” නම යෝජනා කළා. මේ නම ඇසූ පමණින් තිස්ස කලබලයට පත්වී, එකහෙළා එය ප්‍රතිකේෂප කළා. ඔහු මෙසේ පැවසුවා. “මොනවා… අරවින්දට සනත් ?” “ඔව් සනත් තමයි” මම උත්තර දුන්නා. “සනත්ට ඕක කරන්න බැහැ. සනත් කවදාවත් ගැඹුරු චරිතයක් කර නැහැ. ඇරත්, අරවින්ද චරිතයට සනත් ලස්සණ වැඩියි.” ලස්සණ ස්වරූපයක් මිනිසුන්ගේ සිත් ඇඳ බැඳ ගන්නා බැව් මම පැවසුවා. “සනත්ව කීයටවත් ඕකට හරියන්නේ නැහැ. අරවින්දට මම “ලක්ෂ්මන් විජේසේකර” තෝරගෙන ඉවරයි.” තිස්ස කීවා. විරාගය සිනමාගත කිරීමේ මූලික බලාපොරොත්තුව එවෙලේම මගේ සිතින් ගිලිහී ගියා. ඒත් මම කලබල වුණේ නැහැ. මම සෙසු චරිත ගැන කතා කළා. මම සරෝජනීට ශ්‍රියාණිව යෝජනා කළා. තිස්ස එයට ද අකමැති වුණා. සරෝජනී ගේ චරිතයට දෙදෙනෙක් ගත යුතුයැයි අධ්‍යක‍ෂවරයා පැවසුවේ මාව තවදුරටත් අන්ද මන්ද කරමින්. මම එයට විරුද්ධ වුණා. “සරෝජනීට වයස වැඩියි” තිස්ස කීවා. සරෝජනී වෙනුවෙන්, ඔහුගේ යටිසිතේ වෙනත් චරිතයක් ඇති බව මට වැටහුණා. සරෝජනීගේ බාල කලට වෙනත් අයෙක් ගතයුතු බව ඔහු පැවසුවා. ඔහු අභිබවා යාම පරිස්සමෙන් කළයුතු බව මා අවබෝධ කොට ගෙන සිටියා. ශ්‍රියාණිගේ screen test එකක් කරන්න කියා මම පැවසුවා. එවිට තිස්ස නිශ්ශබ්ද වුණා. screen test එයින් පසුව වෙන යෝජනාවක් ගේන්න තිස්සට බැරිවුණා.) මේනකාට- සුනේත්‍රා සරච්චන්ද්‍ර අරවින්දගේ පියාට – ජෝ අබේවික්‍රම බතීට – සබීතා පෙරේරා කැරොල් ගීය ගැයීම සඳහා – සනත් නන්දසිරි යන අය තෝරා ගත්තේද මා විසින්මයි. සියල්ල මෙසේ සිදුවද්දී, මටත් නොකියා තිස්ස “අරවින්ද” චරිතය රඟපෑම සඳහා ලක්ෂ්මන් විජේසේකරට ආරාධනා කොට තිබුණා. බලපිටියේ දී අසංකා යොදවා බතී චරිතය කරන බවට මට තර්ජනය කළා. හේතුව වූයේ සබීතා පාකිස්ථානයේ හෝ සිංගප්පූරුවේ හෝ රූගත කිරීමක යෙදී සිට තරමක් පමාවීම හේතුවෙන්. “location එකේ 52 ක් ඉන්නවා. මම අසංකව දාලා බතී චරිතය කරනවා” ඔහු මට ගෝරනාඩු කළා. මම තද තීරණයක් ගතයුතු වුණා. “52 ක් හිටියට කමක් නැහැ. සබීතා එනකන් සේරම අකුලගෙන එන්න” මම පැවසුවා. චිත්‍රපටයේ තවත් බොහෝ දේ රූගත කිරීමට තිබුණත්, සබීතා පිට දමා තම සිතැඟි ඉටුකර ගැනීමට ඔහු උත්සාහ කළ එක් අවස්ථාවක් මෙය. අරවින්ද සඳහා ලක‍ෂමන් විජේසේකර මහතා තෝරාගත් බව කිසිම කෙනෙක් විශ්වාස කළේ නැහැ. උදා: සිඩ්නි නුවර පැවති සංගීත සංදර්ශනයකට ලක‍ෂමන් විජේසේකර මහතා සහභාගී වූ අවස්ථාවේ මට ඔහුට ටෙලිපෝනයෙන් කතා කිරීමට හැකිවුණා. තිස්ස අරවින්ද චරිතයට ආරාධනා කළ බව ඔහු පෞද්ගලිකව මට පැවසුවා. 20011 අප්‍රේල් මස “ජයන්ත ආනන්දප්පා” අයිලන්ඩ් පුවත්පතේ දක්වා ඇති පරිදි ඔහු ලක්ෂ්මන් විජේසේකර පෞද්ගලිකව back satage එකේ දී මුණ ගැසී මෙය සැකහැර දැනගන තිබුණා. තවත් කීප දෙනෙක් ලක්ෂ්මන්ගෙන් ඒ ගැන විපරම්කර එම පිළිතුරම ලබා තිබුණා. කැඩපත ඃ මෙය තිරගත කළ 1988 වකවානුවේම ඔබ ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය වෙනවා. ඒ මන්ද? චන්ද්‍රා ඃ 1988/89 මම ඕස්ට්‍රේලියාවට ආවේ දරුවාගේ අධ්‍යාපනය සඳහා පාසලකට ඇතුළත් කිරීමට. ඒ කටයුතු එකලස් කරන තුරු මට නවතින්න සිදුවුණා. ඒ අතරතුර ලංකාවේ ඔවුන්ට හැකි තරම් බොරු ප්‍රචාර ප්‍රචලිත කිරීම සිදුවුණා.

කැඩපත ඃ පසුකාලීනව චිත්‍රපටයේ අධ්‍යක‍ෂ තිස්ස අබේසේකර, සනත් ගුණතිලක වැන්නන් ඔබව විවේචනයට ලක් කරනවා. සමහර පොත්පත්වලින් පවා ඔබව විවේචනය කරනවා. ඒත් ඔබ මුනිවත රකිමින් සිටිනවා. මේවාට පිළිතුරු නොදෙන්නේ මන්ද ?

චන්ද්‍රා ඃ මේ අසාධාරණ දේවල් අතොරක් නැතිව සිදුවෙද්දී මට රටම එපා වුණා. සනත් ගුණතිලක සක්සුදක් සේ දන්නවා එයාව තෝරා ගත්තේ මා බව. මේ මෑතක් වනතුරුම ඔහු එය අනුමත කළා. මම ටෙලිපෝනයෙන් කතා කළ හැම වාරයක් පාසාම ඔහු “ඔයා මාව ගත්තා කියල මම හොඳටම දන්නව චන්ද්‍රා” කියා පැවසුවා. නමුත් මේ මෑතක සිට මගේ ෆොන් කෝල් වලට කතා කළේ නැහැ. මගේ නම කී පමණින් ෆෝන් එක කීප සැරයක් විසන්ධි කළා. තිස්සත් එක්ක අමනාප වීමට සිදුවූ කරුණු කාරණා පොතක් ලිවිය හැකි තරම්. විරාගයට චරිත තෝරා ගැනීමෙන් පසු විශේෂයෙන්ම අරවින්ද චරිතය නිසා තිස්සට කට උත්තර නැතිවුණා. ඔහු මහ උජාරුවෙන් හැමෝටම පැවසුවේ අරවින්ද චරිතයට සනත් එයාගේ එකම තෝරා ගැනීම ලෙස. මේ හැම දෙයක්ම පත්තරවල තිබුණා. කලියුගයේ ඇලන්ව දුටුවිට විරාගයට සනත්ව තෝරාගත් බව පුවත්පතකට පවසා තිබුණා. එසේ නම් මුලින්ම සනත්ට ඇරයුම් කළ යුතුව තිබුණා නොවේ ද ? ලක්ෂ්මන් විජේසේකරට ආරාධනා කළේ කුමකට ද ? මගේ විරුද්ධත්වය මත විරාගය පැය 4 කට නිම කළා. එවර මා පැවසුවා පැය 4 ක සිනමා පට නැරඹීමට බත් මුලක් හා පැදුරක් ප්‍රේක‍ෂකයාට දිය යුතුයි කියා. මන්ද දර්ශන 3 ඉවර වෙන්නේ එළිවන යාමයේ. ඒ කාලේ JVP කලබල. මා නැවතත් යෝජනා කළා පැය 4 චිත්‍රපටය කොටස් දෙකකට කරන්න කියා. අරවින්ද ගෙදරින් පිට වී බතීගේ ගෙදර පදිංචියට යන තැන සිට දෙවෙනි කොටස පටන් ගන්න කියා. එලෙස කළා නම් විරාගය පළමු කොටස බලපු අය දෙවෙනි කොටස නොබලා ඉදියි ද ? පැය 4 ක දීර්ඝ සිනමා පටයක් යනු චිත්‍රපට දෙකකි. පසුව එය පැය 3.20 ට අඩුකළේ ඔහුමයි. මේ හේතුවෙන් කිසිම පිටරට සිනමා උත්සවයකට චිත්‍රපටය ඉදිරිපත් කිරීම වැළකුණා. මොස්කව් තරඟකාරි අංශයෙන් ඉවත්කර පැනෝරාමා අංශයට ඉදිරිපත් කිරීමට සිදුවුයේ සිනමා පටයේ දීර්ඝකම හේතුවෙන්. සංස්ථාවේ තදබල ඉල්ලීමටවත් ඔහු ඇහුම්කන් දුන්නේ නැහැ. බැරිම තැන විනාඩි 10 අඩු කළේ ඔහු විසින් චිත්‍රපටයේ ලස්සණම දර්ශනය කපා හැරීමෙන්. විරාගයට ලැබිය යුතු වූ අනගි සම්මානයක් නොලැබී ගිය බව මට සංස්ථාවෙන් දැන්වූයේ තරඟකාරී අංශයට යැවීමට බැරිවීම නිසා. මොස්කව් ගිය අතරතුර මටත් නොකියා විරාගය ලන්ඩන් නුවරට ගෙන ගියේ තිස්ස. එහි ප්‍රදර්ශනය කළ බව දැන ගන්නට ලැබුණා. මිනිසුන් විරාගයට ලොබ බඳිද්දී උප ශීර්ෂ පිටපත රැගෙන ලොව වටා යාමට තිස්සට වුවමනා වුණා. ඒ පිටපත මට දිය නොහැකි බවත්, අවශ්‍ය නම් තවත් එකක් සාදාගන්නා ලෙසත් මට දැන්වූවා. මම එයට එකඟ වූයේ නැහැ. ඊට පසු මට දිගට හරහට පුවත්පත්, පොත් මගින් පහර ගැසීමට ඔහු පටන් ගත්තා. මහා මුදල් සම්භාරයක් යොදා නිමකළ මේ දැවැන්ත නිපැයුම ලොව වටා ගෙන ගොස් මුදල් උපයාගන්න කාටවත් දීමට මට උවමනා වුණේ නැහැ. මේ චෝදනා අතර මා සිනමාහල්වලට ගොස් විරාගය කපා කොටා දැමූ බවට අධ්‍යක‍ෂ සෑම පත්තරයකටම පවසා තිබුණා. තිස්ස නිම කළ සිනමා පටයේ ධාවන කාලය එලෙසින්ම සිනමා ශාලාවල තිරගත කළා. මා පිටපත් ලබා දුන්නේ එයාකාරයෙනුයි. සමහර සිනමා ශාලා හිමියන්, රීල් පිටින් අයින්කර ප්‍රදර්ශනය කළා. තමා කළ වරද මගේ පිට පැටවීමට “කපා කෙටු” වග ප්‍රචාරය කළේ තිස්ස. “විරාගයට මුදල් යෙදවූයේ මෙලෝ හසරක් නොදත් වෙළෙන්දෙක්, නැතිනම් සිනමා මුදලාලි කෙනෙක්” යැයි ඔහු පත්තරවලින් මට ගැරහුවා. ඔහු කියූ බොරු සඳහන් පත්තර පිටු දෙකක් මා සතුව තිඛෙනවා. ඒ සම්බන්ධව එනම් “සිනමා ශාලා හිමියන් රීල් පිටින් ඉවත්කර චිත්‍රපටය ප්‍රදර්ශනය කළා යනුවෙන්. ඒ සේරම සිදුවූයේ ඔහුගේත්, ඔහු වටේ සිටි බහුශ්‍රැතයන්ගේත් නොතේරුම්කම නිසා. මා මුනිවත රකින බවට, හේතුව ඔබ විමසනවා. මට මේ රටේ සිට කළ හැකි දේ සීමා සහිතයි. මාධ්‍යකරුවන්, වුව ද සත්‍ය හෙළි කිරීමට මැලියි. බැරිම තැන මා “විරාගය-විචාරය හා මම” යනුවෙන් පොතක් ලියුවා. එය මුද්‍රණයට භාර දුන්නා. ඒ අතරෙදි තමයි අධ්‍යක‍ෂවරයා මියගියේ. එහි සඳහන් කරුණුවලට පිළිතුරු දීමට ඔහු සිටිය යුතු හෙයින් මා මුද්‍රණයෙන් පොත ආපසු ලබාගත්තා. එම පොතේ සවිස්තරාත්මකව තොරතුරු සටහන්ව තිඛෙනවා. මට දැනගන්න ලැබුණා එම පොතේ (Press එකෙන්) පිටපතක් එළියට ගිහින් ඇති බව. තිස්ස ජීවත්ව දිටිද්දී එම පොත එළියට ආවානම් ඔහු මැරුණේ ඒ නිසා යයි තවත් චෝදනාවක් මට එල්ල වන්න ඉඩ තිබුණා. මන්ද ඔහුට ඒවාට දිය හැකි පිළිතුරක් නොමැති හෙයින්. මා මුනිවත රැකීමට එක් ප්‍රබල හේතුවක් වූයේ පෙරළා ලංකාවට නොයෑම. සනත් ගුණතිලක මාව විවේචනයට ලක්කරන්නේ නම් ඒක නිර්ලජ්ජිත කමක්. මගේ තේරීම නොවන්නට එම චරිතය කිසිම හේතුවක් මතවත් ඔහුට නම් ලැඛෙන්නේ නැහැ. ඒක අවංකව ඔහු පිළිනොගන්නේ නම් (අන්‍යයන් ඉදිරියේ) ඒක ගුණමකු කමයි. විරාගයේ අරවින්ද චරිතය ඉතිහාසගත වී හමාරයි. එයම මගේ තෘප්තියට සෑහේ.

කැඩපත ඃ ඔබ “විරාගය” චිත්‍රපටය සිංගප්පූරු සමාගමක ආරක‍ෂාවට තබා ඇතැයි ද විවේචනය කරනවා. එහි සත්‍යය කුමක් ද ?

චන්ද්‍රා ඃ විරාගය චිත්‍රපටය සිංගප්පුරුවේ තබා ඇති බව බොරුවක්. ඒක මුලින්ම තිබුණේ හොංකොං මුවි ලැබ් එකක. ඩිල්මන් ජයරත්න මහතා යටතේ. ඒක කොහේ තිබ්බත් කාටවත් ඇති ප්‍රයෝජනය කුමක් ද ? මාගේ පෞද්ගලික ධනය හා සංස්ථාවෙන් හා බැංකුවෙන් ගත් ණය චිත්‍රපටය නිම කිරීමට වැයවුණා. පිටින් කිසිම මුදලක් චිත්‍රපටය සඳහා ලබාගත්තේ නැහැ.

කැඩපත ඃ නිෂ්පාදකවරිය වශයෙන් “විරාගයේ” හිමිකාරිය ඔබයි. එහෙත් 2014 දී විරාගය ටොරානා සමාගමෙන් DVD නිෂ්පාදනයක් සේ වෙළඳපළට එනවා – ඔබේ අනුමැතියකින් තොරව. එසේ කිරීමට සදාචාරමය හෝ නෛතික අවසරයක් හෝ නැහැ. ඔබ මීට එරෙහිව ගත් පියවර කවරේ ද?

චන්ද්‍රා ඃ මේකට දීර්ඝ පිළිතුරක් දිය යුතුව තිඛෙනවා. අධ්‍යක‍ෂවරයා, චිත්‍රපටයට යැයි පවසා මාර්ටින් වික්‍රමසිංහ භාරකාර මණ්ඩලයෙන් රුපියල් ලක‍ෂ තුනක් (රු 300,000/}) ඉල්ලා තිබුණා. මේ ගනුදෙනුව ගැන මම කිසිත් දන්නේ නැහැ. මුදල් ඉල්ලා මම ඔවුන්ට කතා කළේත් නැහැ. ගිහින් එම මුදල් ගෙනත් දෙන ලෙස අධ්‍යක‍ෂවරයා මගෙන් ඉල්ලීමක් කළා. ඒ අනුව මම ඔවුන් වෙත ගියා. 10% ක පොලියකට මුදල් ගත් බවට මගෙන් ලියවිල්ලකට අත්සන් ගත්තා. එම මුදල් එන ගමන්ම අධ්‍යක‍ෂකට දී මම ගෙදර පැමිණියා. ඒ මුදල් ඔවුන්ගේ ඕනෑ එපාකම්වලට පාවිච්චි කළ බව මට දැනගන්න ලැබුණේ චිත්‍රපටයේ මූලික වියදම් කෙරී අවසන්ව තිබූ බැවින්. ඒ සමගම චිත්‍රපටයේ ප්‍රචාරක කටයුතු කඩාකප්පල් කළ ඔහු හවායි හා ලංඩන්වලට චිත්‍රපටය සමග ගියා. මේ විස්තරය ඉතා සවිස්තරාත්මකව ඉදිරිපත් කළ යුත්තක්. මේ මුදල් පියවා ගැනීමට මාර්ටින් වික්‍රමසිංහ භාරකාර මණ්ඩලය මට නඩුවක් දැම්මා. මුදලූත් චිත්‍රපටයේ පිටපතකුත් ඉල්ලා සිටියා. පොලියත් සමග චිත්‍රපටයේ පිටපත ඔවුන්ට ඕනා කළේ ලෝකේ හැමතැනම ගෙනියන්න. මේ සේරම අධ්‍යක‍ෂගේ පටලැවිලි. මා තිස්සට ලබාදුන් ඔවුන්ගෙන් ගත් මුදල ආපසු දෙන්න පොරොන්දු වුණා. ඒත් සමථයකට නොආවේ පිටපතේ ප්‍රශ්නය නිසා. පසුව මා රටින් බැහැරව සිටියදී ඒකපාර්ශ්විකව තීරණයක් ගන්න ඇති. ඔවුන් විරාගය චිත්‍රපටය රූපවාහිනී නාළිකාවල බොහෝ වරක් පෙන්වා මුදල් අයකර ගත්තා. Torana එකත් එක්ක මොන ගනුදෙනුවක් කළාද මා දන්නේ නෑ. මට කිසිම තැවීමක් නෑ. මම ඔය චිත්‍රපටය කළේ අවංකව, එයට අති ආදරය නිසාමයි – මුදල් සොයන්න නොවෙයි – මගේ සිතේ තෘප්තිය සඳහා පමණයි. මගේ සතුට. ලක‍ෂ 3 ක මුදලකට, ලක‍ෂ 50 ක් පමණ වැය කළ සිනමා පටයක් හිලව් කළ හැකි ද ? මේ චිත්‍රපටයට කළ බරපතළ හානිය කළේ අධ්‍යක‍ෂවරයා හා වටේ සිටි බහුශ්‍රැතයින් යැයි කියා ගන්නා පිරිසයි. විරාගයට ලැබිය යුතු වූ උපරිමය නොලැබී යාමට එයත් එක් හේතුවක්. චිත්‍රපටය විදේශ රටවල් දෙකකට අළෙවි කිරීමට තිබුණු අවස්ථාවන් දෙකක් වැළැකී යාම සිදුවූ තවත් හානියක්. මෙම චිත්‍රපටය මෙයාකාරයෙන් නිමකර අපේ සිනමාවට එක් කිරීමයි මගේ ධනය. මෙහි සඳහන් නොකළ සවිස්තරාත්මක කරුණු කාරණා බොහෝය. විරාගය නිපදවා අවුරුදු 20 ක් යනතුරුත් කිසිම නිෂ්පාදකයෙක් මෙම අධ්‍යක්ෂකවරයා සමග චිත්‍රපටයක් නොකිරීම විමසා බැලීම වඩාත් සුදුසුය. අපේ සිංහල සිනමාවට මෙවන් නිර්මාණයක් එක් කිරීමට හැකිවීම මා ලද භාග්‍යක් ලෙස මා සලකනවා. මේ සිනමා පටය ප්‍රදර්ශනය සඳහා වනතුරු සූදානම් කිරීමට, මට පාරමිතා පිරීමට සිදුවුණා. මා එසේ නොඉවසුවේ නම් ඔහු අතින් කලින් රූගත කරන ලද “මංමුලා වැල්” සිනමා පටයට වූ දේ විරාගයට අත්විය හැකිව තිබුණා. මා විරාගය නිම නොකරන බව බොහෝ දෙනාගේ අදහස වුණා. මගේ ඉවසීමේ ශක්තිය නොවන්නට එය එසේ වන්ට තිබුණා. එක උදාහරණයක් දෙන්නම්, විරාගයේ මූලික සාකච්ඡාවක් සඳහා අධ්‍යක‍ෂගේ නිවසේ විද්වතුන් පිරිසක් සමග වටමේස සාකච්ඡාවක් ඔවුන් අතර පැවැත්වූවා. මුළු රටම දන්නා උගතෙක් (නම සඳහන් නොකරමි) මට ඉඳගැනීමට පුටුවක් ගෙනැවිත් තැබුවා. එක පාරටම එතනට කඩා වැදුණු අධ්‍යක‍ෂවරයා “මෙයාට මෙතන වැඩක් නැහැ” කියමින් තම අතින්ම පුටුව ගෙනගොස් ඈත කෙළවරක තැබුවා. මට ඉවත්වීමට සිදුවුණා. මට පසුව වැටහුණේ මම එතන සිටීමෙන් නළු නිළියන් තෝරා ගැනීම සම්බන්ධව සාකච්ඡා කිරීමට අධ්‍යක‍ෂවරයාට නොහැකි බව. මූලික අවස්ථාවේ පටන් ඔහු හැමෝටම ඉඟි කළේ කිසිවක් නොදන්නා ගැහැණියක් චිත්‍රපටයකට මුදල් යොදවන බවයි. එවෙලේ පැවැත්වූ සාකච්ඡාව මා නිෂ්පාදනය කිරීමට අපේක්ෂිත චිත්‍රපටය වෙනුවෙන් කරන ලද්දක්. අද ඔබ දකිනා විරාගයේ ප්‍රධාන චරිත 6 ම මගේ තෝරා ගැනීම. එහෙත් අධ්‍යක‍ෂගේ තීරණය වූයේ එතැන ඉදගැනීමට මට අයිතියක් නැති බව. මේක රහසක් නොවේ. එදින එතැන සිටි දස දෙනෙකු පමණ මේ සිද්ධියට සාක‍ෂි දරුණු ඇත. මා කෙතෙක් ඉවසුවේද යන කාරණය මැන ගැනීමට මෙය ඔබට හොඳ නිදසුනක් වේවි. එදා මා නොඉවසුවා නම් අද විරාගය බඳු නිර්මාණයක් අපට කොයින්ද ? මෙම චිත්‍රපටය කිරීමේදී පොත තෝරා ගැනීම, අධ්‍යක‍ෂ තෝරා ගැනීම, ප්‍රධාන චරිත තෝරා ගැනීම – අරවින්ද ඃ සනත්, සරෝජනී ඃ ශ්‍රීයානි, බතී ඃ සබීතා, අරවින්දගේ පියා ඃ ජෝ, අරවින්දගේ අක්කා ඃ සුනේත්‍රා සරච්චන්ද්‍ර සහ කැරොල් ගීය සඳහා විශාරද සනත් නන්දසිරි තෝරාගත්තේ මා විසිනි. මේ දේවල් මෙසේ නොවන්නට මා අතින් තවත් ඉතා උසස් සිනමා පට බිහිවන්නට තිබුණා. මේ ප්‍රශ්න තිබියදීත් ජයසේන ජයකොඩිගේ “අස්වැන්න” නව කතාව ම’විසින් තිස්සට ලබාදුන්නත් ඔහු එය බැහැර කළා. ඒ සිනමාවට මගේ තිබූ ආදරයයි.

32 views0 comments

Recent Posts

See All

හම, හම ගසා නාකි වීම

අපගේ වයස්ගතවීම සිදුවන්නේ හරිම වේගයකින්. මේ වයසට යාම පිටතට නොපෙන්වන්නට අප කොතරම් උත්සාහ කරනවාද? කොතරම් වියදම් කරනවා ද? ඒ පිටතින් පමණයි. නමුත්

bottom of page