top of page

රුසියාවට වඩා ඉරිසියාව ලොකුද...?

සමහර පාඨ එක වරක් ඇහුණොත්, එහෙම නැත්නම් දැක්කොත් අපේ හිතේ රැදෙන්නේ හරියට ගලක කොටපු අකුරු වගේ. මගේ යාළුවෙක් “රුසියාවට වඩා ලොකුයි ඉරිසියාව” කියන පාඨය දැකලා තියෙන්නේ ත්‍රීවීල් එකක පසුපස අලවලා තිබුණු සිටිකර් එකක. යාළුවා ඔය කතාව මට කියලත් දැන් අවුරුදු පහක් විතර ඇති. ඒ කියමන යාළුවාගේ වගේම මගේ හිතෙත් පච්ච කෙටුවා වගේ තැම්පත් වුනා.


රුසියාව කියන්නේ ලෝකයේ ලොකුම රට. ඉරිසියාව කියන්නේ අපට නැති, ඒත් අනික් අයට ඇති දේවල් ගැන අපේ හිතට දැනෙන වෙහෙසකර හැඟීමක්. ඒ වගේම අපට කළ නොහැකි, නමුත් අන් අයට කළ හැකි දේවල් ගැන හිතට දැනෙන අපහසුකාරී හැඟීමත් ඉරිසියාවම තමයි.


ඒත් ඇතැම් අයට මීට වඩා ප්‍රශ්නයක් තියනවා. ඒ තමයි, අපට තියන දේවල් අනික් අයට තිබීම ගැන ඇති නොකැමැත්ත. අන්න ඒ හැඟීම නම් ඉරිසියාවටත් වඩා පහත්. ඒ වගේම ඒක බරපතල ලෙඩක්. මම නිවැරදි නම් මාත්සර්යය (envy) කියන්නේ මෙන්න මේ හැඟීමට විය හැකියි.


දැන් හිතන්න කවුරු හරි දුක් විඳිනවා නම් ඒක බොහෝ විට අපටත් දුකක්. ඒත් එයා සැප විඳිනවා නම් ? ඒක නම් අපට ඉවසන්නම බැරි තරම් දුකක් ද? කාට හරි යමක් තේරුම් ගන්න බැරි නම් ඒකත් අපට දුකක්. ඒත් එයාලට යමක් අපට වඩා තේරුම් ගන්න පුළුවන් නම් ? ඒක නම් කාලා ඉන්න බැරි තරම් දුකක්…? එහෙම නම් ඒ ඇයි…? ඉරිසියාව නිසාද ?


ඒ වගේම දැන් කාට හරි යමක් කරන්න බැරි නම් ඒකත් බොහෝ විට අපට දුකක්. නමුත් එයාලා හොඳට වැඩ කරනවා නම් ? ඒකත් අපට ඉවසන්නම බැරි දුකක්ද ? දැන් බලාගෙන යනකොට අපේ මුළු ජීවිතයම දුකක් ද ? ඔන්න ඉතිං ඔහොම හිතාගෙන හිතාගෙන යනකොට තමයි තේරෙන්නේ ඉරිසියාව රුසියාවටත් වඩා ලොකුයි යන කියමන සහතික ඇත්ත බව.


සාමාන්‍යයෙන් සුද්දාගේ ඉරිසියාවයි, අපේ ඉරිසියාවයි අතර ලොකු වෙනසක් තියනවා. සුද්දා පුද්ගලිකව කාට හරි හරියනවට ඉරිසියා කරන්නේ නැහැ. ඒ වුනාට සාමාන්‍යයෙන් කාට හරි වරදිනකොට ඌ වැඩිය ගණන් ගන්නෙත් නැහැ. අපේ අය කාට හරි වරදින කොට ‘බොහෝ විට’ පැල් බැඳගෙන උදව් කරනවා. ඒත් කාටහරි හරියනවානම් ‘බොහෝ විට’ කරටියෙන්ම අඹරලවලා දාන්න බලන අයත් නැත්තෙම නෑ. බැරිම නම් කට කතාවක් හරි හදනවා.


කෝවිඩ් වෛරසය පාලනය පැත්තෙන් ලංකාව ඉන්නේ ඉහළම තැනක බව අද කෝවිඩ් වලින් බැට කන අපි අත් දකින දෙයක්. ලංකාව තමන්ට තියෙන අවම පහසුකම් භාවිතා කරලා හැම රෝගියාම බේර ගන්න දරන වෙහෙස ගැන ප්‍රසංසා කරන්න බැරි නම් ඒකට කියන්න ඕන මොකක්ද? ඒත් ඒ ජයග්‍රහණ අවතක්සේරු කරන අයගේ කතා සහ හැසිරීම තුළ අපට පෙනෙන්නේ ඉරිසියාවේ තවත් ස්වරූපයක් හැටියටද ? ඕස්ට්‍රේලියාව මැරීගෙන කොරෝනාවට එන්නත් හොයන බව ඇත්ත. ඒත් මිනිස්සු මැරෙන එක නවත්වා ගන්න එයාලා දැරූ වෙහෙස ප්‍රමාණවත් කියලා හිතන්න ටිකක් අමාරයි.


ඒත් සුද්දා කියන්නෙත් ඉරිසියාවෙන් තොර සත්ත්වයෙක් නෙමෙයි. සුද්දා වැඩියම ඉරිසියා කරන්නේ සුද්දා පටන් ගත්ත දේවල් සුද්දටත් වඩා හොඳට කරන අනික් අයත් එක්ක. ඒ කිව්වේ චීනේ, දකුණු කොරියාව, රුසියාවත් එක්ක සුද්දට තියෙන්නේ පරම්පරාවෙන් එන වෛරයක්. දැන් රුසියාවේ ඉන්නෙත් සුද්දෝ තමයි. ඒත්, සුද්දෝ හිතන්නේ රුසියාවේ සුද්දෝ නිකං අත පල්ලෙන් වැටිච්ච උන් කියලා. බටහිර ඈයෝ කියන විදිහට ඉන්න අය ගැන උන් එච්චර අවධානය යොමු කරන්නේ නෑ. ඒත් උන්ව පහු කරගෙන යන්න පුළුවන් කියලා හිතුණ ගමන් උන් කෙක්කෙන් හරි කොක්කෙන් හරි ඒක වලක්වනවා. කෙක්ක තමයි සම්බාධක. කොක්ක තමයි අර උඩට යන්න හදන එවුන් අතරින්ම සාම්පලයක් තෝරාගෙන උන් උන්වම වනසාගන්න වෛරස් බවට හැරවීම.


කෝවිඩ් ආපු කාලේ ඉඳන්ම එන්නතක් හොයා ගන්න උත්සාහ දරපු රටවල් අතරින් ඕස්ට්‍රේලියාව හිටියේ මුල්ම තැනක. කොටින්ම මේ වෛරසය රසායානාගාරයකදී මුලින්ම පිටපත් කළෙත් ඕස්ට්‍රේලියාවේදී. ඒත් සුද්දන්ට කාලා ඉන්න බැරි වුනේ රුසියාව එන්නතක් හොයා ගත්තා කියන ප්‍රවෘත්තිය. ඕස්ට්‍රේලියාවේ මාධ්‍ය සාමූහිකව කරන දෙයක් තමයි බටහිර නොවන රටවල් වල (විශේෂයෙන් චීනය, රුසියාව) සොයා ගැනීම් අවතක්සේරු කිරීම. ඒවා ගැන අවිශ්වාසයක් ඇති වන විදිහට ප්‍රවෘත්ති ප්‍රචාරය කිරීම.


රුසියාව 1957 ස්පුට්නික් 1 අභ්‍යවකාශයට යැවීමත්, 1961 යූරි ගගාරින් අභ්‍යවකාශයට යෑමත් ඇමරිකාව දරා ගත්තේ ඉතා ආයාසයෙන්. ඇමරිකාවට මේ සිද්ධිය දැනුනේ ලොකුම ලොකු මදිකමක් හැටියට. ඒත් ඒ අවමානය නැති කරගන්න ඇමරිකාව හිතුවේ කෙළින්ම හඳටම ගිහින්. ඒත් ඇමරිකාව ඇත්තටම හඳට මිනිස්සු යවන්නට ඇත්ද ?


ඉතා ඉක්මනින්ම ඕස්ට්‍රේලියාව කොරෝනා එන්නතක් සොයා ගනීවි. ඒත් රුසියාව හෝ චීනය ගැන බටහිරයන්ට ඇති ඉරිසියාවත් හරියට අපේ අයට අපේම එකෙක් දියුණු වෙනවාට ඇති ඉරිසියාව වගේම වෙන්නැති. අපේ අයගේ ඉරිසියාව පුද්ගල කේන්ද්‍රීය යි. උන්ට එහෙම පුද්ගල කේන්ද්‍රීය ඉරිසියාවක් නැති තරම්. ඒ පැත්තෙන් නම් සුද්දා ගේරේට්. නමුත් උන්ගේ ඉරිසියාව හරිම විස්තීර්ණයයි. ඒ නිසාම හරිම ජාතිවාදියි.


ඉරිසියාවත් හරියටම වෛරස් වගේ තමන්ගේ හැඩය අවස්ථානුකූලව වෙනස් කර ගන්නවා. ඒත් මේ රුසියාවටත් වඩා ලොකු ඉරිසියාවට හොඳම බෙහෙත අපට හමු වන්නේ සතර බ්‍රහ්ම විහරණ වල තුන් වෙනි ගුණාංගයෙන්. ඒ තමයි මුදිතාව. මුදිතාව කියන්නේ අපට නැති දේවල් අන් අයට තිබීම ගැන අපේ සිතේ ඇති වන සතුට ට. ඒ වගේම අපට කරන්න බැරි දෙයක් වෙනත් කෙනෙක් කළාම අපේ හිතටත් දැනෙන අසීමිත ප්‍රීතියට. අන්න ඒ ගුණාංගය නම් අපටයි, උන්ටයි දෙගොල්ලන්ටම ඕන කරන දෙයක්.


© සාමන්ත තැන්නගේ ‍| Saamantha Tennege : 23 Aug 2020

73 views0 comments

Recent Posts

See All

ජූලියස් භූමිකාව සහ හරී..ඊ..හීන්, පණ-නෑ-ඩෝ…

මරණයෙන් බේරැණ රෝහණ පණපිටින් නොමරා මරන්න ජුලියස් භාවිතා කළේ අමුතු අමුතු උපක්‍රම. ජුලියස් කවදාවත් රෝහණට, රෝහණ කියලා කිව්වේ නැහැ. කිව්වෙම රොහාන

නිරෝ දානේ...

අපෙ නිළමෙට නිකම්ම නිකම් ඉන්ට බෑනෙ. ඒ උනාට මේ දවස් වල එහෙමට කියල රස්සාවත් නැතුව ඔන්ලයින් පාංකඩවල ඔලුව ඔබාගෙන ඉන්නෙ. ඔපීසියෙ ලොක්ක එක්ක වෙබ්බෙකේ මීටිම තියනකොට උඩ බාගෙට ටයි කෝට්ද යටිබාගෙට අරික්කාලෙ ෂෝට්

bottom of page