මොවැම්බර් (යාරා ඉවුරැ තෙර සිට)
උපේක්ෂා සේනානායක විසිනි (by Upeksha Senanayake)
නොවැම්බර් මාසෙ ආරම්භක සතියෙ උදෑසනක සේවා ස්ථානයෙ රථ ගාලෙදි මට “අලි” ව මුණගැහුණා. අලි මගෙ කාර්යය මණ්ඩලයෙම සේවය කරන පර්යේෂකයෙක්. ඉරාන ජාතික සම්භවයක් සහිත අලි කදිම උඩුරැවුලක් වවා තිබුණා. මගේ ඇස් ඒ උඩු රැවුල වෙත යොමු වූ නිසා “මොවැම්බර්” යැයි සිනාසී පිළිතුරු දුන් ඔහු සමුගත්තා. එදා හැන්දෑවෙ මං මුළුතැන්ගෙයි ඉඳිද්දි දුවගෙන ආපු අපෙ දෝණි ඇගේ ක්‍රීඩා ගුරුතුමා ගැන විශේෂ සඳහනක් කළා.
“අම්මා දන්නවද මිස්ටර් බ්‍රවුන් උඩු රැවුලක් වවනවා, මොකටද දන්නවද…. මොවැම්බර් වෙනුවෙන්” මගේ කුතුහලය ඇවිස්සුණා. මොකක්ද මේ මොවැම්බර්? ඇයි මොවැම්බර් වෙනුවෙන් උඩුරැවුලක් වවන්නෙ. මං විකිපීඩියා වෙත පිවිසිලා මේ ගැන කියවලා බැලූවා. පසුව මගේ සමීපතම මිතුරියක වන චාන්ටෙල්ට දුරකථන ඇමතුමක් දීලා ඇහුවා ඕස්ට්‍රේලියානුවන් මොවැම්බරය ගැන මෙතරම් උනන්ඳු ඇයි කියලා. ඇය මුලින්ම කලකට පෙර පුරස්ථී ග්‍රන්ථීයේ හටගත් පිළිකාවක් හේතුවෙන් මියගිය ඇගේ වැඩිමහල් සොහොයුරා- “ජේසන්” ගැන මට සිහිපත් කළා. ජේසන්ට අයත් විශාල ගොවිපලක් තිබුණා නිව්සවුත්වේල්සයේ පිටිසරබද පළාතක. ඔහුගෙ දරුවන් පස්දෙනා සිය අධ්‍යාපනය නිමා කරළා ඕස්ට්‍රේලියාවෙ විවිධ පළාත් වල සේවය කරමින් ඉන්නවා. අර විශාල ගොවිපළේ ජේසන් සිය බිරිඳ මේරි සමඟ ප්‍රීතිමත් සැන්දෑ සමයක් ගෙවමින් හිටියා. ජේසන් වෙනදාට වඩා ඉක්මනින් වෙහෙසට පත්වෙන බව මේරිට තේරුම්ගිය නිසා වෛද්‍යවරයකු හමුවන්නට යමු යැයි ඇය කිහිප වරක්ම යෝජනා කළා. නමුත් ජේසන් තමන්ගෙ සෞඛ්‍ය තත්ත්වය ගැන හිටියෙ අධි තක්සේරුවක.
“මං ගොවියෙක්, හැමවෙලේම වෙහෙසිලා වැඩ කරන නිසා තමයි මට මෙහෙම අපහසුවක් දැනෙන්නෙ” ඔහු හැමවිටම වෛද්‍ය පරීක්ෂණ ප්රත්ක්ෂේප කළා. අවසානයේ ඔහුගේ පුරස්ථී ග්‍රන්ථී පිළිකාව හඳුනාගන්නා විට ඔහු මරණයේ එළිපැත්ත පැන සිටියා. චාන්ටෙල් ඇගේ සොහොයුරා ගැන සිහිපත් කළේ මොවැම්බර් සංකල්පයේ ආරම්භය විස්තර කරන්න. බොහොමයක් පිරිමින් තමන්ගෙ මෝටර් රථය නිසි කිලෝමීටර් ගණන ළඟා වන විට කාර්මිකයකු ලවා වාහන පරීක්ෂාව සිදුකරගන්නවා. තමන්ගෙ පරිගණකය හෝ ජංගම දුරකථනයේ අකර්මන්‍යතාවයක් පැන නැගුණොත් වහාම එය අදාල ශිල්පියෙකුට පෙන්වා පිළිසකරකරගන්නවා. නමුත් තමන්ගෙ නියමිත වෛද්‍ය පරීක්ෂණ නිතරම මගහරිනවා. රුධිරගත සීනි ප්‍රමාණය, සංතෘප්ත මේද අම්ල ප්‍රමාණය සහ විටමින් ඩී ප්‍රතිශතය මත ඇතැම් රෝග පිළිබඳව පෙරැයීම් සිදුකර තවදුරටත් පරීක්ෂා කර දරුණු රෝග තත්ත්වයන් අනාවරණය කරගන්නට පුළුවන් බව වෛද්‍ය මතයයි. කාන්තාවන් නොවරදවා සිය පැප් (PAP) පරීක්ෂාවන් නිසි කළට සිදු කළත් පුරුෂ පාර්ශවය සිය සෞඛ්‍ය තත්ත්වය ගැන දක්වන්නේ ඉතාම අඩු අවධානයක්. මේ නිසා කල් ඇතුව වලක්වා ගතහැකි රෝග (preventative diseases) වලින් මිදෙන්න තිඛෙන මහඟු අවස්ථාව ඔවුන් අහිමි කරගන්නවා. මොවැම්බරය වෙන්වී තිඛෙන්නේ ඔවුන්ට සිය වෛද්‍ය පරීක්ෂණ සඳහා යොමුවීම සිහිපත් කිරීම සඳහායි. එය සංකේතවත් කරමින් ඔවුන් සිය උඩුරැවුල වැවීම සිදුකරනවා. සිය උඩුරැවුල දකින හැම විටම සිය මග හැරුණු වෛද්‍ය පරීක්ෂණ ඔවුන්ගේ මතකයට එනවා. mo යනු moustache යන පදයෙන් බිඳී ආවක් නිසා උඩුරැවුල වවන නොවැම්බරය “මොවැම්බර්” ලෙසින් හඳුන්වනවා.
No shave month ලෙසිනුත් මොවැම්බරය හඳුන්වනවා. ඇතැම් ස්වේච්ජා ආයතන පිළිකා වැඩසටහන් සහ මොවැම්බර් පදනම වෙනුවෙන් ප්‍රතිපාදන එකතුකිරිමේදී උඩුරැවුල වැවීම ප්රචාරක අංගයක් ලෙසිනුත් භාවිතා කරනවා. දැන් නොවැම්බරයත් ගෙවී ගිහින්. තවමත් ඔබ නියමිත වෛද්‍ය පරීක්ෂණ සඳහා යොමු නොවුණා නං අදම ඔබේ වෛද්‍යවරයා අමතන්න අමතක නොකරන්නැයි යාරා ඉවුරේ සිට ඉල්ලා සිටිනවා…….