top of page

මගෙ දුරකථනය අංකය මතක ද…… මට txt එකක් එවන්න

ප්‍රියානන්ද විජේසුන්දර විසිනි (by Priyananda Wijesundara)


කෙදිනක හෝ කවර මොහොතක හෝ පෙම් හසුනකට නොලියූ, ලැබුණු පෙම් හසුනක් නොකියවූ පෙම් හසුන් නිසා අපමණ ප්‍රීතියට හෝ අන්ත දුකට පත් වූ යෞවනියක හෝ යෞවනයකු සොයා ගත හැකිනම් ඒ තාක‍ෂණය දියුණු වූ වර්තමානයෙන් පමණි.

පෙම් හසුන් ඉතිහාසය ඉතා පැරණි එකක්. තල්පත්වල ලියූ පෙම්හසුන් දූතයන් අත හුවමාරු කරගත් අවස්ථා රජ සමයෙන් සොයාගත හැක. දස්කොන් ප්‍රමිලා පෙම් පුවත කාව්‍යමය පෙම් හසුන්වලින් පිරී පෙම් පුවතකි. ගජමන් නෝනා ද තම කවියෙන් පෙම් හසුන් ලියූ බව ගජමන් පුවත සොයා බලන්නෙකුට දැනගත හැක. රජ සමයේ දූතයන් අත පමණක් නොව තල්පත්වල ලියූ පෙම් හසුන් ඊතලයක අමුණා තමන්ට මෙම හීය නිවැරදිව පෙම් බැඳි කුමරියගේ කවුළු දොරින් මැදුර තුළට හෝ සඳළු තලයට විදිමින් පෙම් හසුන් යවා ඇත. තමන්ට හීය නිවැරදිව විදින්නට නොහැකිනම් තම හමුදාවේ දක්ෂ දුනුවායන් ලවා මේ කාර්යය කරගෙන ඇත. ලේසියෙන් හීලෑ කරගත හැකි පරවියන්, සැලලිහිණියන් අත ද පෙම් හසුන් හුවමාරු වූ බව වාර්තා වෙයි. එදා සිට මේ දක්වා ලියූ පෙම් හසුන් පෙම් හසුන් සාහිත්‍යයක් ගොඩනැගීමට තරම් ප්‍රමාණවත් වේයැයි මට සිතේ.

කාලිදාසයන් “මේඝදූතය” කළේ පෙම් හසුනක් ලෙසය. කරුණාරත්න අබේසේකර ශූරීන් තම පෙම් පුවතම තේමාකර ගනිමින් “එන්න මදනලේ ගොස් පවසන්න දුක මගේ” ගීතය රචනා කළේ පෙම් හසුන් සාහිත්‍යයට නව අරුතක් දෙමිනි. මේ හසුන් ලියන්නෙකු මුලින්ම කළ යුත්තේ තම ලිපිනය දෙවෙනි පාර්ශවයට ලබාදීමය. මේ සඳහා එදා යුගයේ විවිධ උපක්‍රම භාවිත කෙරුණි. ජනප්‍රියම උපක්‍රමය වූයේ බස් රථයේ කවුළුවකින් ලිපිනය විසි කිරීමය. එසේත් නැතිනම් එම පාර්ශවයේ හිතවතියක හෝ හිතවතකුගේ ආධාරයෙන් මෙම ලිපිනය ලබාදීමය. මෙසේ මුල් පියවර ඉටුකර ගනිමින් ලිපියක් ලැඛෙන තුරු කොතෙක් කල් බලා ඉන්නට ඇති ද? පිළිතුර කුමක්වේදැයි කොතෙක් පසුතැවෙන්නට ඇති ද?

“අද මගෙ කුටියට – ඔබ ඇවිදින් තැන තැන කරදහි කැබලි වැටී ලිපියට තවමත් පිළිතුරු ලිව්වේ නෑ සිතක සතුට මට ලියන්න වචනත් නෑ”

යනුවෙන් අසංක ප්‍රියමන්ත ගායන ශිල්පියට මා ලියූ ගීතයෙන් කියැවෙන්නේ මේ කලබලයයි. මේ ගීතයේ “අද මගෙ කුටියට ඔබ ඇවිදින්” යනුවෙන් කියැවෙන්නේ ලිපියක් පැමිණි බව විනා ඇය පැමිණි බව නම් නොවේ.

පෙම් හසුන් සාහිත්‍යයේ ජනප්‍රියම කාලය පාසල් කාලයයි. කුමර කුමරියන්ගේ පොත්පත්වල මුලින්ම දකින්නට ලැඛෙන්නේ සමනල තටු, කුරුළු පිහාටු, බෝ කොල, අක්කපාන කොල, රසකැවිලි දවටන ආදියයි. පසුව මෙම තත්වය වෙනස් වී නලූ නිලි පින්තූර, ගායක ගායිකාවන්ගේ පින්තූර ක්‍රීඩකයන්ගේ පින්තූර පොත් පිටු අතරට එකතුවන විට ඊළඟට මෙම පොත් පිටු අතරට එන්නේ පෙම් හසුන්ය.

“සමනලූන්ගේ තටු, කුරුළු පිහාටු මෙතුවක් කල් තිබූ පොත් පිටු අතරේ කවුරුද පෙම් හසුනක් දැම්මේ”

යනුවෙන් මා තවත් ගීතයක් ලීවේ මේ පරිවර්තනය තේමාකර ගනිමින්ය.

පාසලේ පෙම් හසුනක් හුවමාරු වන්නේ නවකතා පොත්, සටහන් පොත් අතරේය. මේවා කෙළින්ම පොත් පිටු අතරේ හෝ පිට කවර ඇතුළේ සඟවා අතින් අත හුවමාරු වෙයි. මේ හුවමාරුව සඳහා පෙම්වතුන් පෙම්වතියන්ගේ හිතවතුන් හිතවතියන් මෙන්ම පහළ පන්තිවල සිසු සිසුවියන් ද යොදා ගනී. පෙම් හසුන්වලට ඇතුළත් වූ කවි ද අපූරු රසවත් භාවයකින් යුක්ත වූ ඒවාය. පෙම්වතුන් පෙම්විවතියන්ට මේ කවි ගොතන්නට බැරිනම් එයටද පාසලේ මේ කවි ගොතන්නට කෙනෙකු සිටීම ද නොවැරදීම සිදුවෙයි. නිසදැස් කාව්‍ය සම්ප්‍රදාය බිහිවීමත් සමගම පෙම් හසුන්වල කවි ද මෙම සම්ප්‍රදායට එක්විය.

එදා යුගයේ සිටි ජනප්‍රිය ගායක ගායිකාවන්ගේ ගීතවල ඇතැම් පද කොටස් පෙම්හසුන්වලට එකතුවීම සිදුවූයේ මේ කාලයේය. ජෝති – මිල්ටන් – මිල්ටන් මල්ලවාරච්චි – වික්ටර් – සනත් – මාලිනි – නිරංජලා ආදී ගායන ශිල්පීන් ශිල්පිනියන් ගැයූ ජනප්‍රිය ගීතවල කොටස් පෙම් හසුන් ආරම්භයට එක්විය. මෙයින් ජනප්‍රියම ගීත ගැයූ ගායන ශිල්පීන් වූයේ මිල්ටන් දෙදෙනාත්, ජෝතිපාලත්ය. මේ කාලයේ දීම පෙම් හසුන් නිසාම අපගේ සාහිත්‍යයට ද අපූරු ගීත ගණනාවක් එකතු විය.

මධුමල ලෙස මුදු මගේ ප්‍රියාදර මිහිරාවිය වෙතටයි (මිල්ටන් මල්ලවාරච්චි)

එක ගිනි කූරයි – මුළු ගෙදරට තිබුණේ ඒකෙන් කුප්පි ලාම්පුව දල්වා ඔබට ලියන්නට ඉදගත්තා (ශ්‍රීමති තිලකරත්න)

අවසන් ලිපියයි ඔබට ලියන්නේ විරහ කඳුළු පිරි පෑනෙන් (ෂෙල්ටන් පෙරේරා)

තරු අත් අකුරෙන් ලියා එවමි ඔබට පෙම්පත ඔඛෙ සෙවන පමණි මිහිපිට ඇති එකම සම්පත (ආචාර්ය වික්ටර් රත්නායක)

මෙම ගීතවලින් මගේ මතකයට එන ගීත කීපයකි. ඔබේ මතකයට තවත් ගීත ඒවි.

වසන්ත හා මධුරී මා අධ්‍යාපනය කළ පිළියන්දල මධ්‍ය මහා විද්‍යාලයේ අපට ඉහළ පන්තිවල අධ්‍යාපනය ලැබූ දෙදෙනෙකි. මුලින් බලවත් විරෝධතා තිබී පසුව දෙපැත්තේම ආශිර්වාදය මැද විවාහ වූ මේ දෙදෙනාගේ මංගල දිනයේ දී මිතුරෙකු කළ කතාවකින් ඔවුන්ගේ පෙම් හසුන් ගනුදෙනුව එළිවිය.

මධුරි ගේ දෙමාපියන් තදින් විරුද්ධ වූ නිසා මධුරිගේ පාසල් ගමන ද අතරමග නතර විය. මධුරිගේ වත්තේ නිවස ඉදිරියේ දැවැන්ත දෙල් ගසක දෙල් කොලයක් යට පෙම් හසුන් තැබීමට වසන්ත පියවර ගත්තේය. හැම සෙනසුරාදා දිනයකම වත්ත අතුගෑමට එන්නේ මධුරිය. එකක් මත එකක් වැටී ඇති දෙල්කොළ යට අනිවාර්යයෙන් වසන්තගේ පෙම් හසුන ඇති බව මධුරි දනී. මධුරිගේ ලිපිය තැඛෙන්නේ ද තාප්පයට ළඟින් වැටී ඇති එක මත එක ඇති දෙල්කොළ යටින්ය.

ජයසිරි – තිලකාට පෙම් හසුන් දුන්නේ විවේක කාලයට පාසලේ වැට අයිනට කඩල විකුණන්නට එන කඩල වෙළෙන්ඳා අතින්ය. පසු කලක මා උගැන්වීම කළ හොරණ විද්‍යාරත්නයේ ශිෂ්‍යයෙකුගේ පෙම් හසුනක් ගුරුවරයෙකුගේ අතට අසුවිය. මෙය පෙම් හසුනක් වුවත් කිසිම ගුරුවරයෙකුට මෙම පෙම් හසුන කියවන්නට නොහැකි විය. ලිපිය ලියා ඇත්තේ ද සිංහල භාෂාවෙනි. එහෙත් මේ ලිපිය කියවන්නට නොහැක. ශිෂ්‍යයාට අවවාද කරන්නට හෝ දඬුවම් කරන්නට ද නොහැක. මන්ද පෙම් හසුන කාටවත් කියන්නට බැරි කමිනි. වෙනත් ගුරුවරුන්ට නොහැකි වූ මේ ප්‍රහේළිකාව මට විසඳන්නට හැකිවිය. මෙම ශිෂ්‍යාට ඉතාමත් හිතවත්ව කතා කොට ලිපිය කුමක්දැයි මට කියන ලෙස ඉල්ලා සිටියෙමි. මේ පිළිබඳව ඔහුට දඬුවම් නොකරන බවත් ලිපියේ රහස හෙළි නොකරන බවටත් මගේ පොරොන්දුව විය. අවසානයේ දී ලිපියේ රහස ඔහු හෙළි කළේය.

සාමාන්‍යයෙන් අප ලියන්නේ වමේ සිට දකුණටය. මෙම පාසල් පෙම්වතුන් යුවල ලිපි ලියන්නේ දකුණේ සිට වමටය. මේ රහස දන්නේ ඔවුන් දෙදෙනා පමණි. ඉතින් සිංහල භාෂාවෙන් ලියූ මේ පෙම් හසුන කාට නම් කියවිය හැකි ද? එසේ ලියන්නට මෙන්ම කියවන්නට ද මනා හුරුවක් තිබිය යුතුමය.

එක්තරා පාසලක විදුහල්පතිවරයාගේ පුතා එම පාසලේම ශිෂ්‍යාවකට පෙම් හසුනක් දී ඇත. ශිෂ්‍යාව කර ඇත්තේ මෙම පෙම් හසුන පිළිබඳ පුවත මුළු පාසලේම ප්‍රචාරය කොට පෙම් හසුන විදුහල්පතිවරයා අතට දීමය. ඉතාමත් සැර පරුෂ මෙම විදුහල්පතිවරයා ගේ තත්වය කුමක් වන්නට ඇති ද? විදුහලෙන් විදුහලට පැතිර ගිය මෙම ආරංචිය නිසා අවසන් ප්‍රතිඵලය වූයේ විදුහල්පතිවරයා දිවි නසා ගැනීමෙනි.

පාසැල් පෙම්වතුන් පෙම්වතියන් මේ ලිපි ලියන්නේ තම සටහන් ලියන අතර වාරයේ විය යුතුය. පෙම් පැතුම් බිඳි වැටුණු බොහෝ විට මෙම පෙම්වතුන් පෙම්වතියන් කරන්නේ පෙම් හසුන් සියල්ලම ගිනි තබා අතීතය අමතක කර දැමීමය.

එක් පෙම් යුවලකගේ ප්‍රේමය බිඳී ඔහු හෝ ඇය වෙනත් පෙම්වතෙකු හෝ පෙම්වතියක සොයා ගත්විට සිදුවන්නේ එක් අයකුගේ පෙම් හසුන් නව පෙම්වතා හෝ පෙම්වතිය අතට පත්කිරීමය. ආදරය අවසානය වෛරයක් වන්නේ මෙලෙසය. මෙම ලිපිය කියවන ඔබට පෙම්හසුන් පිළිබඳව මතකයට ඒවි. ඇතැම් විට ලියූ දේත් පෙම් හසුන් හුවමාරු කරගත් ආකාරයත් මතකයට ඒවි. කොහොම උනත් ඒ අතීතය අතිශය රසවත් එකක් නේ ද?

ඒත් මේ පෙම් හසුන් සාහිත්‍ය ටිකෙන් ටික බොඳවී යන්නට පටන්ගෙන ඇති බව සිහිවන විට ඇතිවන්නේ කණගාටුවකි. පෙම් හසුන් සාහිත්‍ය දුරකථන පෙම් කතාවලට මාරුවූයේ තාක‍ෂණයේ දියුණුවත් සමගින්ය. දුරකථනය සෑම නිවසකම ආලින්දයේ නිදන කාමරවල කුස්සියේ පමණක් නොව නාන කාමරයේ ද අත්‍යවශ්‍ය භාණ්ඩයක් වීමත් සමගම පෙම් හසුන්වලට හිමිව තිබූ තැන දුරකථන විසින් හිමිකර ගත්තේය. එදා පෙම් හසුන් ලිවීම පිළිබඳව ඇස යොමා සිටි දෙමව්පියන්ට සිදුවූයේ තම දරුවන්ගේ දුරකථන සංවාදවලට ඇහුම්කන්දීම සහ දුරකථනය අතින් ඇල්ලීම පවා තහනම් කිරීමය.

දෙතුන් වතාවක් ඔබ ඇමතූවෙමි සැපදුක් සොයා බලන්න මගේ දුරකථනයෙ අංකය මතක ද මොහොතක් කතා කරන්න

කරු අයියා එසේ ලියා මිල්ටන් පෙරේරා මෙම ගීතය ගායනා කළේ පෙම් හසුන් දුරකථනයට මාරුවීමත් සමගය. පෙම් හසුන් ක්‍රමක්‍රමයෙන් අපෙන් සමුගෙන යයි. අද පෙම්වතුන් පෙම්වතියන් පෙම් හසුන් ලියනවාදැයි සිතන්නටත් බැරිය. දුරකථන සංවාදවලට මාරුවූ පෙම් කතා බහ අද SMS වලට මාරුවී ඇත. ජංගම දුරකථනයක් අතේ නොමැති දරුවෙකු අද ඇත්නම් ඒ ඉතාම කලාතුරකිනි. යම් දෙමව්පියෙකු තම දරුවාට ජංගම දුරකථනයක් ලබා නොදුන්නේ නම් දරුවා සිටින්නේ සතුටින් නම් නොවේ. ඇතැම් පාසල්වල පාසල් කාලයේ ජංගම දුරකථන භාවිතය තහනම් කර ඇත. ඒත් පාසලෙන් පසුව හෝ විවේක කාලවල දී කාට නම් මේවා තහනම් කළ හැකි ද? SMS පෙම් හසුන් නතර කළ හැකි ජගතෙකු සිටී ද? එහෙත් SMS පෙම් හසුන් එදා පෙම්වතුන් පෙම්වතියන් ලියූ පෙම් හසුන් මෙන් රසවත් අර්ථවත් ඒවා නම් නොවේ. මන්ද ඒවායේ ඇත්තේ ඉතාම කෙටි පණිවුඩ පමණි. අඩුම තරමින් I Love You කියා ලියන්නේ I L U කියාය. උත්තර ලැඛෙන්නේ I L U 2 කියාය. අනේ මේවා රසවත් වන්නේ කොහොම ද? ජංගම දුරකථනය පමණක් නොව මුහුණු පොත (Facebook) ද අද පෙම් හසුන් මාධ්‍යයක් බවට පත්ව ඇත. එක් වයස් සීමාවකට පහළ අයට මුහුණු පොතේ ගිණුමක් ලබාගත නොහැක. එහෙත් මෙම දරුවන් පවා වැඩිහිටි මිතුරු මිතුරියන් මගින් මුහුණු පොත ගිණුම් විවෘතකරගෙන තිබේ. මෙම පෙම් හසුන් ජංගම දුරකථන SMS පෙම් හසුන් වලට වඩා රහසිගතය. Chat කළොත් කියවන්නට හා ලියන්නට හැක්කේ ඒ දෙදෙනාට පමණි.

එදා අපේ යුගයේ අය පෙම් හසුන් ලියූ බව හා ඒවා හුවමාරුකරගත් ආකාරය දරුවන්ට කියන්නට හැකිනම් ඔවුන් කොක් හඬලා අපට සරදම් කරනු ඇත. මෙම මාධ්‍යවලින් පෙම් හසුන් යැවීම පමණක් නොව Video Phone එකෙන් Skype හරහා කළ නොහැකි දෙයක් නැත.

කරුණාරත්න අබේසේකර ශූරීන් අද ජීවත් වූවානම් “දෙතුන් වතාවක් ඔබ ඇමතූවෙමි” ගීයේ මෙසේ ලියනු ඇත.

දෙතුන් වතාවක් ඔබ ඇමතුවෙමි සැපදුක් සොයා බලන්න මගෙ දුරකථනය අංකය මතක ද මට txt එකක් එවන්න

43 views0 comments

Recent Posts

See All

හම, හම ගසා නාකි වීම

අපගේ වයස්ගතවීම සිදුවන්නේ හරිම වේගයකින්. මේ වයසට යාම පිටතට නොපෙන්වන්නට අප කොතරම් උත්සාහ කරනවාද? කොතරම් වියදම් කරනවා ද? ඒ පිටතින් පමණයි. නමුත්

bottom of page