ප්‍රජාතන්ත්‍රවාදය අමු ප්‍රෝඩාවකි..!
ප්‍රජාතන්ත්‍රවාදය ආරම්භ වන්නේ ක්‍රිස්තු පූර්ව පස් වෙනි සියවසේ ග්‍රීසියේ ඇතෑන්ස් නුවර මුල් කර ගෙන ය. සැබවින්ම Democracy යනු ග්‍රීක වචනයකි. මේ වචනයේ කොටස් දෙකකි. ග්‍රීක් භාෂාවෙන් demos ඩිමෝස් යනු ජනතාව ය. (kratos) යනු පාලනය ය.
එබැවින් ඩිමෝක්‍රසි යනු ජනතාවගේ පාලනය කියා කෙටියෙන් කිව හැකිය. ඒ කෙසේ වෙතත් අප ප්‍රජාතන්ත්‍රවාදය කියා අද කථා කරන්නේ එදා ඒ ග්‍රීසියේ ඇති වූ සංකල්පයේම දිගුවකට ය. ඊට අමතරව ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමයක් තුළ බල හුවමාරුව සිදු විය යුත්තේ සාමකාමීව යන අදහසත් මුළ ඉඳන්ම පැවත එන එකකි. ඒ නමුත් ග්‍රීසියේ ඇතෑන්ස් නුවර මුල් කරගෙන ඇති වූ ප්‍රජාතන්ත්‍රවාදය අද තියෙන ප්‍රජාතන්ත්‍රවාදයට වඩා තරමක් වෙනස් එකකි.
ඇතෑන්ස් ප්‍රජාතන්ත්‍රවාදයට අනුව සියලුම වැටිහිටි පුරවැසියෝ රටේ පාලනයට සම්බන්ධ විය යුතුව තිබුණි. නමුත් ඒ ක්‍රමය තුළ ස්ත්‍රීන්, ළමුන් සහ වහල් සේවකයෝ පුරවැසියෝ හැටියට නොසළකා හැර තිබුණි.
මුල් කාලීන ග්‍රීක ප්‍රජාතන්ත්‍රවාදයට අනුව සෑම වසරකම පුරවැසියන් අතුරින් 500 දෙනෙක් තෝරාගනු ලැබේ. ඒ 500 දෙනා කෙළින්ම රාජ්‍ය සේවයට සම්බන්ධ විය යුතුව තිබුණි. රාජ්‍යයේ නීති සම්පාදනය කළේ ඔවුන් විසිනි. අලුත් නීති සම්මත කරගනු ලැබුවේ පුරවැසියන්ගේ බහුතර ඡන්දයෙනි. යම් විදිහකින් එදා ස්ත්‍රීන්ටත් ඡන්ද බලය තිබුණා නම්, බැලූ බැල්මට අපට හිතෙන්නේ මේ ක්‍රමය සාධාරණ ක්‍රමයක් කියා නොවේ ද?
එසේ නමුත් මෙකී ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමයට මුළ ඉඳන්ම විරුද්ධ කෙනෙක් විය. ඒ අන් කවුරුත් නොව බටහිර ග්‍රීක දර්ශනවාදයේ පියා ලෙස සැලකුම් ලැබූ සොක්‍රටීස් ය. එසේ නම් එදා සොක්‍රටීස් ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමයකට විරුද්ධව නැගී සිටියේ ඇයි ? ඔහු ප්‍රජාතන්ත්‍රවාදයට වෛර කළේ කුමන කරුණු පදනම් කරගෙන ද ?
සොක්‍රටීස් යනු කිසිම සටහනක් ලියූ කෙනෙක් නොවේ. ඔහු ගැන ලියූ එක් අයකු වන්නේ ප්ලේටෝ ය. ප්ලේටෝගේ Republic කෘතියේ හයවෙනි ග්‍රන්තයේ සොක්‍රටීස් සහ ඇඩිමැන්ටන්ටස් නම් කෙනෙක් සමඟ කළ සංවාදයක් දැක්වේ.
ඒ සංවාදයේ සොක්‍රටීස් ප්‍රජාතන්ත්‍රවාදී සමාජය හා නැවක් උපමා කරමින් ඇඩිමැන්ටස්ගෙන් ප්‍රශ්න කරන්නේ ය.
“හිතන්න, මහ මුහුදේ නැවක කපිතාන් කෙනෙකු හැටියට ඔබ තෝරා ගන්නේ කවුද? ජනතාව අතරින් තෝරා ගත්ත කෙනෙක්ද - එහෙම නැත්නම් තමන් යාත්‍රා කරන කාලය, ඝෘතු, සුළඟ, අහසේ තරු වැනි නාවුක විද්‍යාවට අදාල සියළු දේ ප්‍රගුණ කළ කෙනෙකු ද?”
“සත්තකින්ම නාවුක සාස්ත්‍රය ප්‍රගුණ කළ කෙනෙක්” කියා මෙහිදී ඇඩිමැන්ටස් පිළිතුරු දුනි.
එවිට සොක්‍රටීස් “එහෙනම් වැඩිහිටියන්ගේ ඡන්දෙන් පමණක් රටක පාලකයෝ තෝරා ගැනීම නිවැරදියි කියා තීරණය කරන්නේ කෙසේද ?” කියා පෙරළා ඇඩිමැන්ටස්ගෙන් ප්‍රශ්න කළේ ය.
සාමන්ත තැන්නගේ - 5 June 2022