පියතුමනි අවසරද ?
මේජර් සුජිත් චමින්ද එදිරිසිංහ විසිනි
විවිධ ක්ෂේත්‍රයන්හි නියුතු පුද්ගලයින් දක්වන දක්ෂතා හා සේවා ඇගයීම් වෙනුවෙන් පදක්කම් පිරිනැමීම සමාජයේ කොතෙකුත් දැකිය හැකිය. ක්‍රීඩා ආදී ක්ෂේත්‍රයන්හි එය සුලභ වේ. ඒ අතරම රණවිරුවන් වෙතද පදක්කම් පිරිණැමේ. නමුත් ඒවා සමාජයේ අන් අයට ලැඛෙන පදක්කම් මෙන් නොව වෙනස් බවක් සේම අගයක්ද පවතී. ඊට හේතුව නම් එකී පදක්කම් බොහොමයක් වීරත්වය වෙනුවෙන් පිරිනමන ඒවා වීමයි. එම පදක්කම් තරඟ ජයග්‍රහණයකින් අත්කර ගන්නා දෙයක් නොවන අතර ජීවිතය හා සම්බන්ධ අතිශය තීරණාත්මක කරුණු මත පිහිටා හිමි වන්නකි.

ගෙවුනු තිස් වස තුළ රණවිරුවන් දිවි හිමියෙන් කැපව මව්බිම වෙනුවෙන් ඉටු කළ අමිල මෙහෙවර එවැනි පදක්කම් වලින් තක්සේරු කිරීම කිසිසේත් කළ නොහැකි වුවද සම්ප්‍රදායක් ලෙස ඔවුනට පදක්කම් පිරිනමනුයේ එමගින් ඔවුන් තුළ අභිමානයක් ඇති කරලීමත්, ඔවුන් කළ සේවයට ගෞරවයක් ලබා දීමත් අරමුණු කොට ගෙනය.
රණබිමේ වීරක්‍රියා සිදුකළ රණවිරුවන් සමුහයක් වෙත පදක්කම් හිමිගැන්වීමේ කටයුත්තක් සඳහා එක්තරා අවස්ථාවක මාහටද සහභාගී වීමේ අවස්ථාව ලැබිණ. එවක මා යුද හමුදා මූලස්ථානයේ රාජකාරී කරනු ලැබු අතර මතකයට අනුව එය 1998 වසර හෝ ඊට ආසන්න විය. එවක සිටි හමුදාපතිගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණු එම පදක්කම් හිමි ගැන්වීමේ අවස්ථාවට රණවිරුවෝ සියයකට ආසන්න පිරිසක් සහභාගි වුහ. උත්කර්ෂවත් හා ගාම්භීර ලෙස සංවිධානය කොට තිබු එම පදක්කම් පිරිනැමීමේ අවස්ථාවට සටනෙහි තුවාල ලැබ ආබාධිතවූ හමුදා සාමාජිකයින් පිරිසක්ද එක්ව සිටියේය. ඔවුන් සමඟ තම දෙමාපියන්, බිරින්දෑවරුන් හා දුවා දරුවන්ද පැමිණ සිටිනු දක්නා ලදී.
පදක්කම් පිරිනැමීමෙන් අනතුරුව ප්‍රධාන ආරාධිත අමුත්තා විසින් එම අවස්ථාව අලලා දේශණයක් සිදුකළ අතර ඊට පදක්කම්ලාභී රණවිරුවන් සේම ඔවුන්ගේ පවුල් වල සාමාජිකයන්ද මහත් උනන්දුවෙන් සවන් දෙනු පෙණින. එහිදී පදක්කම් හිමි කරගත් දෑස් අඳ රණවිරුවෙකු තම ඔඩොක්කුවේ සිය පුතු වාඩිකරවා ගෙන සිටින අයුරු එහි සිටි සැමට දැක ගත හැකි විය. එම කුඩා පුතු සිය අන්ද පියා පැලැද සිටි පදක්කම් ගොන්න මහත් උනන්දුවෙන් අතගාන්නට වූයේ එහි සිටි සැමගේ අවධානය ඊට යොමු වන අයුරිනි. සිය පියා සටනෙහි නිරතව දැස් අඳව තිබුණද එම පදක්කම් දෙස බලමින් ඔහුගේ පුතු ආඩම්බරයකින් පසුවන වගක් පෙන්නුම් කළේය. එම දර්ශනය බොහෝ හැගුම් බර එකක් වුයේ එහ සෙබළා කල්පනාවක නිමග්න වී සිටින අයුරක් පෙන්නුම් කළ නිසාවෙනි. තම දැස් නොපෙනුනද ඔහුගේ පුතුට මෙන්ම අනාගත පරම්පරාවටම දැස් දල්වා ඇවිද යා හැකි නිදහස් නිවහල් දේශයක් ඔහු උදාකරදී ඇති බැව් එය දුටු මා හට පසක් විය. ඔඩොක්කුවේ සිටි ඔහු තම පියාගෙන් කුමක් හෝ යමක් අසන්නාක් මෙනි. එසේම එම රණවිරුවාට පුතුගේ මුහුණ නොපෙනුනද ඔහු අසන්නට යන දේ ඔහුට දැනෙන්නා සේය.
ඉහත සිදුවීම හරහා මා තුළ මැවෙන්නට වුයේ අමුතුම කල්පනාවකි. එය පසු දිනෙක මා අතින් කොලයක සටහන් වුයේ ඔවුන් දෙදෙනා අතර සිිදුවිය යුතුව තිබූ දෙබස මේ යැයි අනුමාන කරමිනි. සැබැවින්ම පදක්කම් තරමටම එකී රණවිරුවන්ගේ මෙහෙවරද අඳුරේ වුව දිළිසෙනු නොඅනුමානය.
පියතුමණි අවසරද …
ගිලිහුණු කඳුළු ලේ දහඩිය බිම තෙමුණු දිලිසුණු පදක්කම් පවසයි නෙක කරුණු හෙළිවුණු කතා සටනෙහි විරුවන් මැරුණු මැළිවනු කිමද පියතුමණේ මට කියනු
දහඩිය කඳුළු ලේ ගැලූ බිම තවම තෙත විරුවන් හෙලු සුසුමින් උණුසුම්ව ඇත මතකය පන ලබා පිරුණට කඳුළු නෙත පවසමි පුතුනි සැඟවිය යුතු කිසිත් නැත
දුන් රැකවරණ පරපුරකට සුව කැන්ද අන් කිසිවෙකුට පියතුමණේ පුළුවන්ද සුන්කර දමා රුපු සේනා බළ බින්ද රන් වැට ඔබද සවි ඇති සිව් කොන බැන්ද
රට දැය සමය මිස රණවිරුවෙකුට වෙන සැපතක් නොමැත දෙවෙනිය පුත ඔහුගෙ පණ නිවටුන් ඉදිරියේ නොනමා බිමට දණ වනසා දමති එරෙහිව එන සතුරු වින
බිය සැක නොහඳුනන එඩිතර ගති පිරුණි පියතුම නුඹෙ කතා මගෙ හිත දිරි ගැනුණි වයසට වඩා සිත ගත සවි බළ දැණුනි පය ඔසවන්න රණබිම වෙත මට සිතුණි
හරි මග නොදැන ගිය අය මං මුලාවිය බැරි නැත පුතුනි නිවැරදි කළ හැකිය එය දිරිගෙන තබා නිසිලෙස පෙරමුණට පය සරි කර ගනින් දුර ඈතක නොවේ ජය