කැඩපත සංස්කාරක සටහන – නොවැම්බර් 2016
පසුගිය මාසය තුළ අපට අසන්නට දකින්නට ලැබුණු ප්‍රවෘත්ති පුදුමාකාරය. ඇතැම් ප්‍රවෘත්ති ඇත්තය. තවත් ඒවා බොරුය. ඇතැම් ඇත්ත ප්‍රවෘත්ති බොරුය. බොරු ප්‍රවෘත්ති ඇත්තය. ඇත්ත නැත්ත ඇත්තටම සොයා ගැනීමට නොහැකි අන්තර් ජංජාලයක අප සැවොම පැටළී ඇති සේය. මේ සියලූ දේවල් ගැන ලියනවාට වඩා වසර දහස් ගණනකට පෙර සංස්කෘතයෙන් ලිය වී ඇති මහා පුරාණ ග්‍රන්ථ දහ අටෙන් එකක් වන ලිංග පුරාණයේ අප ජීවත් වෙන මෙම සමය එනම් “කලියුගය” ගැන දක්වා ඇති පූර්වකථන කිහිපයක් දෙසට මෙවර කතු ඇස යොමු කරන්නට සිතුවෙමු. ඉන් කිහිපයක් මෙසේ ය. කලියුගයේදී, – හොරු රජ වෙති. රජවරු හොරු වෙති. – පාලකයෝ දේපල රාජසන්තක කරගෙන ඉතා නින්දිත ආකාරයෙන් ඒවා අවභාවිත කරති. – පාලකයෝ ජනතාව ආරක්ෂා කිරීමෙන් වැළකෙති. – තරමක් දුරට ශාස්ත්‍ර හදාල පහත් මිනිසුන් ශාන්තුවරයෝ ලෙසින් පෙනී සිටිති. – රටින් රටට ඉබාගාතේ යන සරණාගතයෝ බිහිවෙති. – මව්වරුන්ගේ ගර්භාෂ තුළදීම කළලයන් විනාස කර දමති. – මිනිසුන් අසත්‍ය මත පිළිගැනීමට වඩාත් කැමති වෙති. – කිසිවෙකුට තවත් කෙනෙක්ව විශ්වාස කිරීමට හැකියාවක් නැති වෙයි. – මිනිස්සු එකිනෙකා කෙරෙහි ඊර්ෂ්‍යා සහගත වෙති. – වෙළෙන්දෝ නොකළයුතු වංචනික වෙළදාම් කරති. – හිඟන්නෝත්, විරැකියාවෙන් පෙළෙන්නෝත් බොහෝ වෙති. – හැමෝම අසභ්‍ය අශ්ශීල වදන් දොඩති. – මිනිස්සු ධනය සෙවීමට වෙහෙසෙති. ධතවත්තු බලවත්තු වෙති. – රාජ්‍ය නායකයෝ තවදුරටත් ජනතාව නොරකිති. ඒ වෙනුවට අසාධාරණ බදු පටවා ධනය උපයා ගනිති. – ජලය හිඟ වෙයි. – කලින් පිසින ලද ක්ෂණික ආහාර බහුල වෙයි.
සාමන්ත තැන්නගේ