කැඩපත – සංස්කාරක සටහන – අප්‍රේල් 2016
තවත් භාෂාවක් ඉගෙන ගැනීම යනු එකම දේවල් හඳුන්වාදෙන විවිධ පද ඉගෙන ගැනීම නොව, විවිධ දේ ගැන තවත් ආකාරයකින් සිතන්නට ඉගෙන ගැනීමය. – ෆ්ලෝරා ලූවිස් සිංහල – හින්දු නොහොත් සිංහල – දෙමළ අලූත් අවුරුද්ද අත ළඟටම පැමිණ ඇත. මේ සිංහලයාගේ සූර්යය මංල්‍යය ය බව පිරිසක් කියති. තවත් අය පවසන්නේ මෙය සිංහල බෞද්ධයාට නොගැලපෙන බව ය. කවර නම් ගත්තද, කාට නොගැලපුනද අනාදිමත් කාලයක පටන් පැවතෙන මේ උත්සව සමය නිවර්තන කලාපීය රටවල ගහ කොළ මල් පුබුදුව, සතා සීපාවා පවා ප්‍රීතියෙන් ඇළලී, මංගල සිරියෙන් අසිරිමත් වන කාලයක් බව නොකිව මනා ය. මෙකී සූර්යය මංගල්‍යය රාජකාරිය, ක්‍රීඩාව සහ සිරිත් විරිත් එකම මේසයක් මත දිගහැරෙන අපූර්ව අවස්ථාවෙකි. ඒ කෙසේ ද ? ලොව උපන් හැම දෙනාටම නියමිත වූ යම්කිසි නියමිත රාජකාරියක් ඇත්තේ ය. එය මනාව ඉටු කිරීම අපගේ වගකීමකි. එසේ නමුදු කිසියම් කෙනෙක් රාජකාරියට පමණක්ම සිය කාලය වැය කළහොත්, පිරිහෙන්නේ ඒ ඒ අයගේම ශරීර සෞඛ්‍යය ය. එබැවින් ක්‍රීඩාවද අත්‍යාවශයම වන්නේ ය. හොඳින් විමසා බැලු විට අද අප නිරත රාජකාරිය සේම ක්‍රීඩාවන්ද ලඝුව ඇත්තේ ඉතා කුඩා වපසරියකට ය. ඒ මුදල් සෙවීමත්, ස්වාර්ථාභිලාශයන් සාක්ෂාත් කරගන්නටත් ය. මෙකී දිශාවන් අතර දෝලනය වන අපට අමතකව යන දේ බොහෝ ය. සිරිත් විරිත් ඒ අතර මුල් තැනක් ගන්නේ ය. සිරිත් යනු කළ යුතු දෑ ය. විරිත් යනු නොකළ යුතු දෑ ය. අපි කළ යුතු දෑ කළ යුතු වෙමු. නොකළ යුතු දෑ නොකළ යුතු වෙමු. එහෙත්, සියල්ල වාණිජකරණය වූ අද දවසේ අපි නොකළ යුතු දෑ කරමු. කළ යුතු දෑ නොකරමු. කුටුම්බ වටා විඳ ගැනීමට තිබුණු අවුරුදු උත්සව අද වන විට තවත් එක් මෙඝා උත්සවයක් බවට පත්ව ඇත. අද ඒවා කෙරෙන්නේ රූපවාහිනියටත්, ගුවන්විදුලියටත් අවශ්‍ය ආකාරයෙනි. අභ්‍යන්තරය ඔප නැංවූ සූර්යය මංගල්‍යය බාහිර ඔපය විසින් එසේ ගිලගත් කල්හි ලොකුම හානිය වන්නේ අනාගත පරපුරට ය. අපේ අනාගත පරපුර කඹ ඇදීම, සංගීත සංදර්ශන හෝ මත්පැන් පානය සිංහල අවුරුදු උත්සව ලෙස වරදවා වටහා ගතහොත් අපි පුදුම විය යුතු නොවෙමු. සිරිත් විරිත් ගිලිහී ගිය කල්හි භාෂාව ද වෙනස්ව යන්නේ එපරිද්දෙනි. සිරිත් විරිත් තිබුණා නම්, සිංහල – දෙමළ – මුස්ලිම්, බෞද්ධ – හින්දු – ඉස්ලාම් – කතෝලික අවුරුදු මංගල්යයකද උදා වීම පවා අරුමයක් නොවන්නේම ය.