කැඩපත කතුවැකිය – මැයි 2018
දිනක් බුදුන් වහන්සේ රාහුල පොඩිහාමුදුරුවන් වැඩ සිටි අඹ වනයෙහි කුටියට වැඩි සේක. රාහුල හිමියෝද බුදුරදුන්ගේ පා දෝවනය කොට උන්වහන්සේව ගෞරවයෙන් පිළිගත්හ. අනතුරුව බුදුරදුන් රාහුල හිමියන්ට දහම් අවවාදයක් දුන් සේක.
“රාහුල මේ දිය නොමැති බඳුන දෙස බලන්න. මේ හිස් බඳුන බොරු කියන භික්ෂුව හා සමානය. එසේම රාහුල, යමෙක් මුසා බස් කියයි නම් ඔහු තුළ පවතින සීලයක් නැත.”
එදා බුදුන් වහන්සේ දුන් එම ඔවදන රාහුල හිමියන්ට පමණක් අදාල වන්නක් නොවේ. සමාජයේ සාමාජිකයන් ලෙස සලකන විට යම් ගිහියෙක් හෝ වේවා, පැවිද්දෙක් හෝ වේවා බොරුවක් කියයි නම් ඔහු සැබෑ බෞද්ධයෙකු විය නොහැකිය. ඒ සමග ම බුදුරදුන් විසින් තවත් නිදසුනක් රාහුල හිමියන්ට දෙනු ලබන සේක.
“රාහුල රජකුගේ ඇත් සේනාවේ බලවත් ඇත් රජු යුද්ධයේ දී තම පෙර පාද, පසු පාද නළල (කුම්බස්තලය), ශරීරය, ඇත් දත් යුගළත් යොදා ගනිමින් සතුරන් මඩින්නේ ය. පවුරු පාසාද බිඳ දමන්නේ ය. එහෙත් ඔහු තම හොඬ උපයෝගී කර නොගන්නේ ය. ඔහු හැමවිටම තම හොඬය ආරක්ෂා කරගනිමින් සටන් කරන්නේ ය. රාහුල කුමක් නිසා ඔහු එසේ කරයි ද ?”
“රාහුල හොඬය කැඩුණු ඇතෙකුගෙන් වැඩක් නැති බව මේ ඇතා දනී. හොඬය කඩා ගත් ඇතාට යුද්ධ කිරීමට බැරි බව ඔහු දනී. ඒ නිසා රාහුල මුසා බස් දොඩන බොරු කියන පුද්ගලයාගේ ශීලයත් ඒ හා සමානය. ඒ නිසා අප සුළු කොට සලකන මුසාවාදය බරපතළ පවක් බව එයින් තේරුම් ගත යුතුයි.”
මෙම වෙසක් සමයේ අම්බලට්ඪීක රාහුලෝවාද සූත්‍ර සාරාංශය සිහියට ගැනීම ඉතා කාලෝචිත යැයි අපි සිතමු. පසුගියදා ලංකාවේ සංචාරයකින් පසු පැසු පැමිණි අපේ මිතුරෙක් අප හා මෙසේ කීවේ ය.
“ලංකාව හරිම හොඳයි. හැබැයි කිසිම කෙනෙක්ව විශ්වාස කරන්න බැහැ. ත්‍රී වීල් පදින මිනිසා කියන්නෙත් බොරු. බස් කාරයා කියන්නෙත් බොරු. හම්බ වෙන හැමෝම වගේ කියන්නේ බොරු. ජනාධිපති කියන්නෙත් බොරු. අගමැති කියන්නෙත් බොරු. මාධ්‍යවේදියෝ කියන්නෙත් බොරු. ආගමික නායකයෝ කරන්නෙත් බොරු. එයාලා කියන දේ නොවෙයි කරන්නේ. කරන දේ නොවෙයි කියන්නේ. උඩ ඉඳලා පල්ලෙහාටම යනකම් තියෙන්නේම බොරුව. බොරුව කොතරම් සමාජ ගත වෙලාද කියනවා නම් තමන් බොරු කරන බව එයාලට තේරෙන්නේ නැහැ. ඒක පේන්නේ පිටින් ගිහින් බලනකොට.”
එදා හෙළ දිව ග්‍රන්ථයේ රොබට් නොක්ස් කීවේ ලාංකිකයා බොරුව තරම් පිළිකුල් කරන දෙයක් නැති බව ය. එය එදා හෙළයාගේ අනන්‍යතාවය විය. නමුත් අද තත්ත්වය කෙබඳු ද ? අද ලොව කොතනක ජීවත් වුනත් හෙළයාගේ අනන්‍යතාවය ඊට ඉඳුරාම වෙනස් නොවේ ද ? අපට අප ගැන සැබවින්ම සතුටු විය හැකි ද ? නොහැකි නම් අප කළ යුත්තේ කුමක් ද ? ඒ ගැන සිතීම ඔබටම භාර කරමි.
– සාමන්ත තැන්නගේ (Saamantha Tennege)