කැඩපත කතුවැකිය – ජූලි 2017

මහජනයා අමතා කරන හොඳ කතාවක් කාන්තාවක අඳින සායක් හා සමානය. එය කථා කරන මාතෘකාව ආවරණය වන තරමට දිගු විය යුතුය. අවධානය දිනාගැනීමට සමත් වන තරමට කෙටි විය යුතුය. – වින්සන්ට් චර්චිල්
බලය ලබා ගන්නා මුලින්ම නැති කරගන්නා දෙය නම් විනය යි. – අමිත් කලන්ත්‍රි
ඕස්ට්‍රේලියාවේ ජීවත් වන අපි බොහෝ දෙනෙක් දිනපතා නොවේ නම් සතිපතා හෝ ශ්‍රී ලාංකික දේශපාලන වේදිකාවේ කතාවන්ට නොයේක් මාධ්‍යන් ඔස්සේ ඇහුම් කන් දෙමු. ඇතැම් ගුවන් විදුලි මාධ්‍යයන් ඔස්සේ එම කතාවන්ට ඇහුම් කන් දෙන විට අපට බොහෝ විට ඇතිවන්නේ අපුලකි. දිනක් අප සමග මෝටර් රථයේ ගමන් ගත් සිංහල භාෂාව නොදන්නා සුදු ඕස්ට්‍රේලියානුවෙක් එකී දේශපාලන කතාබහක් ඇසී ඉමහත් වික්ෂිප්තභාවයට පත් වූයේ කතාව ගැන නොව කතා කළ විලාසය ගැන ය.
එකල ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ අප ඇසූ අර්ථ පූර්ණ, භාව පූර්ණ කතාවන් දැන් අපට නෑසෙන තරම් ය. මෙකී අප්‍රසන්න භාෂා හැසිරවීම අද ලාංකීය දේශපාලකයා, කලාකාරයා, මාධ්‍යවේදියා වෘත්තීයවේදියා මතු නොව පූජකයා පවා ආක්‍රමණය කර හමාරය. කොටින්ම එකල පුද්ගලික බස් කොන්දස්තරලා කඨෝර ලෙස බස හැසිරවීමට පිළිකුළෙන් බැහැර කළ බොහෝ දෙනා වූහ. අද ඇසෙන පෙනෙන ඇතැම් මාධ්‍ය සාකච්ඡා ඇසෙද්දී අපට දැනෙන්නේ හෙළ බස ප්‍රයිවට් බස්වල වැනූ බසටත් වඩා පල්ලම් බැසගිය සොබාවයකි.
විනය යනු සියළු දෙනා තුළ පැවතිය යුතු මූලික අවශ්‍යතාවයකි. විනයක් නැති එබඳු අයෙකුට පාලක හෝ නායක ඔටුන්න පැළඳවීමෙන් වන අනිටු විපාකයන්ට මුහුණ දීමට සිදු වන්නේ මුළුමහත් සමාජයකටම ය. වත්මන් ශ්‍රී ලංකාවේ ජනාධිපති, අගමැති මතු නොව ප්‍රධාන පෙළේ අමාත්‍යංශ බාර ඇමතිවරුන්ගෙන් අපට ඉගෙන ගැනීමට බොහෝ පාඩම් තිබේ. ඉන් එකක් රාෂ්ඨ පාලනය නොදන්නා අය රාෂ්ඨ පාලනය කිරීමේ ආදීනව ය. දෙවැන්න කට පාලනය කිරීමට නොදන්නා අය කතා පැවැත්වීමේ අණුවනකම ය. තෙවැන්න මේ දෙකම නොදැන කරන යහ පාලනය ය.
අවසාන වශයෙන් අප තේරුම් ගත යුත්තේ අඩුතරමින් නිවැරදිව කතාවක් පැවැත්වීමටවත් ඉගෙන නොගන්නා අයෙක් මරණාධාර සමිතියකටවත් වැද්ද නොගතයුතු බව නොවේ ද ? එය එහාටත් මෙහාටත් පොදු ධර්මතාවක් නොවන්නේ ද ?
සාමන්ත තැන්නගේ විසිනි