කළු සෙනසුරාදා
තිලක් ගමගේ විසිනි (by Thilak Gamage)
කරබාගත් දෑවැන්තයෙකු පරිද්දෙන් මහ වනය නිසොල්මනේ නැගී සිටින්නේ චිරාත් කාලයක් තිස්සේ සිදුවූ සහ සිදුවෙමින් පවතින කුදු මහත් ක්‍රියාවලි රැසක ප්‍රතිඵලයක් විලසිනි. පරිසරයෙන් පෝෂණය වෙමින් එයට රැකවරණය දෙමින් වසර සිය ගණනක් ජීවත්වූ පසුව තම දෑවැන්ත කාය රූපය පොළොවට එකතු කරන්නේ තම රැහේ හෝ නොවන දිසි අදිසි හැමටම පෝෂණයවීම් වස් සිය කයද පරිත්‍යාග කරමිනි. සියල්ල සන්සුන් ලෙසින් සමබරව පැවතෙද්දී මිනිසා වනය ආක්‍රමණය කළේය. ඉදිවෙමින් පැවති විසල් මහනුවරට ඇවැසි දැව සොයා ඔවුන් පැමිණියේ හිස් අතින් නොව අතිනවීන (එවකට) ආවුද මෙවලම් ද රැගෙනය. එහෙත් තම ඝාතකයන් වන්නට යන මේ මෙවලම් ඇතුළට ගෙන යාමට කුඩාවුන් කෙසේ වුවත් දැවැන්තයන් ඉඩදුන්නේ නැත. සෘජු මහ කය හා සුවිසල් අතුපතර මැඩ ගෙන ඉදිරියට යාමේ අපහසුවට පැරදී මිනිසා පසුබැස්සේ ඔහුටම පමණක් සුවිශේෂි අති දියුණු මොළයට ගැටළුව පවරමිනි. කටුඅකුල් පැටලී හට ගත් සීරීම් ඩහදිය නිසා දැවෙද්දී හෝ ගල් මුල් ඇනී පා වලින් ලේ ගලා යද්දී හෝ පොඩිව යන කොළ මල් වලින් නැගෙන අප්‍රසන්න ගන්ධයන් නාසය රිදවද්දී හෝ ඔවුන් පසුබෑවේ නැත. ඇතුළට ගෙන යා හැකි වූ සරල ආයුධ වලින් කුඩා ගස් සහ තරුණ ගස් කැතිපොලූ ගා බිම දමා පාගාගෙන ඉදිරියට යනවිට ඒ නොදරුවන්ගේ විලාපයන් ඔවුන්ට නොඇසුණා විය නොහැකිය. එහෙත් ඒ කිසිවක් නොතකා එසේ කපා ගත් වුන්ගේම දැව දඬු වලින් වනය විනිවිද යාමට මාවතක් ඉදිකිරීමට වැඩිකාලයක් ගතවූයේ නැත.
මුල් සටනේ විරුවන් ලෙස පසු නොබා සිටි දෑවැන්තයන්ට මෙවර මුහූණ පෑමට නවීන ආයුධ වලින් සන්නද්ධ වූ මිනිස් (නොමිනිස්) හමුදාවක් සමග නිසා සටන ඉතා බියකරුවිය. ටික දෙනෙකු පමණක් ඒ නවීන ආයුධ කඩා බිඳ මොට කරදැමීමට සමත් වුවත් වැඩි දෙනෙකු පරාජිතයන් ව මහපොළොව සිප ගනිද්දී නැගුණු විලාපයන් මහ වනය තුළ දෝංකාර දෙමින් වියැකී යනු ඇසූ සතුරු හමුදාවේ ඇතැමෙකු රැකියාවට සමුදී ගම්රට බලා ගියද හමුදා ශක්තියට ඒ එතරම් බලපෑමක් කළේ යැයි කිව නොහැක. තම සගයන් එකිනෙකා බිම දමා වුවද විඩාපත් වන සතුරන්ට ගිමන් නිවා ගැනීම් වස් සෙවන සැපයීමට ඇතැම් අය ඉදිරිපත් වූ අතර සිදුවන විනාශය නිසා තැවුළෙන් හඬමින් හමා යන සුළෙඟේ ද පිහිටෙන් සතුරන්ගේ කුස ගිනි නිවීමට ගඩා ගෙඩි ඔවුන්ගේ දෙපා මුළටම හෙළීමටත් ජීවන හුස්ම සැපයීමටත් තරම් මේ ගහකොළ මෙත් සිතින් යුතුවිය. මේ සියලූ ආගන්තුක සත්කාරයන් ලබමින් නොමිනිසා තම කටයුත්ත දිගටම කරගෙන යාමේ ප්‍රතිපලය වූයේ එතෙක් මහා දෑවැන්තයෙකු ලෙසින් විරාජමාන වූ මහ වනය කේඩෑරිව අඩනිරුවත්වීමයි. වනයේ මහා සම්පත් මළ කඳන් ලෙස පටවා රැගෙන යද්දී ඔවුන් ඉතිරි කර ගියේ ලී කුඩු ටිකක් පමණි. ඇතැම් ගස් ඇවැසි පමණට මෝරා ඇද්දැයි සෙවීමට කඳන් වටා කළ කැපීම් හේතුවෙන් මුල් වලට පෝෂණය නොලැබී යාම නිසා ඒවා අකාලයේ මිය පරළොව ගිය බව දැක්කේ සංවේදී පපුවක් තිබූ එකෙකු දෙන්නෙකු පමණි.
සපයාගත් මහා දැව තොගය යෙදා ගෙන මහා නුවර ඉදිවන්නට වැඩිකලක් ගතවූයේ නැත. මෝටර් රථ නගරයේ වීදි පුරවමින් දිව ගියේ දැලි දුම් වාතයට මුසු කරමිනි. නගරයේ කම්හල් වලින් පිටවූ විස දුම් කළු පැති වළාවන් ලෙසින් වාතලයට මුසු වන්නට විය. දැඩි උණුසුම හා ජල හිඟය නුවරුන්ට තදින්ම දැනෙන්නට විය. මේ නම් කුමන අරුමයක්දැයි විපිළිසර වූ ඔවුන්ට හේතුව පහදාදී විසඳුම් ගෙන එන්නට මහ මොළ කරුවන්ට නොහැකි වූයේ ඔවුන්ද නගරයේ සිරියෙන් මන්මත්ව සිටි නිසා විය හැකිය. දූවිලි දුඹුටු පිරි වාතය පෙරා දුන්නේත් වාතය උණුසුම් කිරීමට දායක වූ විෂ වායූන් උකහාගෙන පිරිසිදු සිසිල් වාතය ගෙන දුන්නේත් වැසි ජලය දරාගෙන දිය උල්පත් පෝෂණය කරමින් නදී ගංගාවන් හැඩ වැඩ කළේත් දෑවැන්ත මහා වනාන්තරයම බව ටික දෙනෙකු දැන සිටියත් ඔවුන්ගේ හඬ බොහෝ දෙනාගේ ඝෝෂා මධ්‍ය යේ යටපත්ව ගියේය.
මිනිසාට ඇතැයි කියන පරිදි මහා මොළයක් නොමැතිව වුවද ලද පරාජය හමුවේ පසුනොබා සෙමෙන් සෙමෙන් එහෙත් ස්ථාවරව ක්‍රියාත්මක වීමට ඇවැසි නුවණත් සාමූහික හැඟීමත් සුන් බුන්ව ගිය වනයේ ඉතිරිව සිටි ගහකොළ වලට තිබිණි. අකල් වැස්සකින් වුව ලැඛෙන මඳ ජල ප්‍රමාණය පවා සුරුකිව මිහිමව තුරුළේ සඟවා ගෙන අරපිරිමැස්මෙන් පරිහරණය කරමින්ද වියපත්ව හැළෙන කුදු මහත් සෑම පත්‍රයක්ම පවා අදිසි මිතුරන්ගේ සහායයෙන් බිඳ හෙළා පෝෂණය වෙමින්ද ඔවුහු ක්‍රමයෙන් නැවත ප්‍රකෘතිමත් වන්නට වූහ. එවිට මේ වන ලැහැබට පිවිසෙන කෙනෙකුට තැනින් තැන සිටගත් මහ ගස් අතර යටිරෝපණය ලෙස හැදීගෙන එන කුඩා පැළ දිස් වූයේ කුඩාවුන් රැසක් වට කරගෙන ඔවුනට සිප් සතර කියාදෙන ගුරු මව් වරුන් පියවරුන්ගෙන් සැදුම් ලත් සිප්හළක් පරිද්දෙනි. රැහැයියන්ගේ කන්කරච්චලය නිසා එම සිතිවිල්ල තව තවත් පෝෂණයවේ. කුරුල්ලන් ගී ගයන්නට වූ අතර තුරු මුදුන් මද පවනේ ලෙලෙන්නට විය. ඒ වන විට මිනිසාටද මොළේ පෑදී තිබීම හේතුවෙන් නීති රීතිද දැඩිව ක්‍රියාත්මක වෙමින් පැවතිණි. දැන්වත් තමන්ට රිසිසේ වැඩෙමින් අතුරු අන්තරා වලින් තොරව සතුටින් සිටින්නට හැකියයි සිතූ ගස්වැල්වල ඉහේ මල් පිපී පල බරවී දුටුවනට රසඳුනක්ම බඳුවිය… ඒ තුළට වැද සිරි නරඹන පරිසර හිතකාමීන්ට දැනුණු සිහිලස වායු සමීකරණ රැසක් එකවිට ක්‍රියාත්මක කළද ලබාගත නොහැකි තරම්විය.
සියල්ල යහපත් අයුරින් සිදුවෙමින් පැවැති අතර වාරයේ නොවිය යුත්තක්ම සිදුවිය. ඒ 2009 වසරේ පෙබරවාරි මස හත්වන සෙනසුරාදාය.. ගිම්හානයේ ගිනිදවන සුළං රැල් වනය පීරා හමා යමින් තිබිණි… ළැව් ගිනි වලින් විය හැකි අනතුරු පිළිබද අවදානම ඉහළ ගොස් තිබූ නිසා ගිනි නිවන කණ්ඩායම් සිටියේ ඉතාමත් සීරුවෙනි. ස්වේච්ඡා සේවකයෙකු ලෙස ගිනි නිවීමේ කටයුතු වලට සම්බන්ධව සිටි හතළිස් හතර හැවිරිදි බ්‍රෙන්ඩන් තම රථය වනය තුලින් පදවමින් විමසිලිමත් වූයේ ගින්නක සේයාවක්වත දැනුනොත් වහා ක්‍රියාත්මක වීම සදහාය. එතෙකුදු වුවත් දුම් වැටියක් ඉරීමේ පුරුද්දෙන් ඒ මොහොතේ පවා වැළකී සිටීමට බ්රෙන්ඩන්ට හැකිවූයේ නැත…
මුවග රැඳුණු දුම් වැටියේ අවසන් කොටස හිටිවනම මුවෙන් ගැලවී පතිත වුයේ ඔහුගේ උකුළ මතටය. වහා ක්‍රියාත්මකවූ බ්‍රෙන්ඩන් කඩදාසියකින් දුම්වැටිය දවටා තද කර වාහනයේ කවුළුව හැර එය ඉවතට වීසි කළේය. ඔහු සිතුවේ දුම් වැටිය නිවී යන්නට ඇතැයි කියාය.
එහෙත්… බ්‍රෙන්ඩන්ගේ මෙන්ම තවත් බොහෝ දෙනෙකුගේ අවාසනාවට අළු යට සැඟව තිබූ ගිනි පුපුර ඔහු දුටුවේ නැත. ඕනෑම මොහොතක දැවෙන්නට තරම් කර්කශව වියළිව තිබූ කොළ රොඩු ගිනි ගන්නා තරමට රත්වීමට ගතවූයේ සුළු මෙහොතක් පමණි. හමා ආ උණුසුම් සුළං රැල් අඬන්නට හිටි එකාට ඇඟිල්ලෙන් ඇන්නාක් මෙන්විය. ඇවිළුණු කුඩා ගිනි දැල් වේගයෙන් පැතිරෙන්නට විය… කැමැත්තෙන්ම ගින්නට පැනගත් වියළි කොළරොඩු වලින් නිකුත් වූ තාපය අමු කැලෑවද ගිනි ඇවිලවීමට සමත්විය. අපේ පරිසරවේදියා පෙර දුටු වනය සහමුළින්ම ගිනි ගත්තේය. තුරු දරුවන් මුළින්ද වැඩිහිටියන් පසුවද ගින්නට ගොදුරුවිය. ඇතැම් මාංසල ගසකින් මතුව ගලා ආ දියර හමුවේ රුදුරු ගිනිදැල් මඳක් පසුබෑවද උන්ගේ අතිමහත් ශක්තියට අභියෝග කරන්නට තරම් එය කිසිසේත් ප්‍රමාණවත් වූයේ නැත. චුරු චුරු ගාමින් ගින්නට සාප කරමින්ම එම ගසද අන් සියලූ ගස්වැල් පරිද්දෙන්ම ගිනි ජාලාවට මැදිව අළුවී ගියේ මුල් පමණක් ඉතිරි කරමිනි.
කඩදිසි ගුලියක් තරම් වූ කුඩා තැනකින් ඇරඹුණු ගින්න දිගු ගමනක් ආරම්භ කළේය. වනතීරු ඉක්මවා ගිය ගින්න ජනාවාස දෙසටද දත් විළිස්සන්නට සුදානමින් සියේය.
ගින්න පිළිබඳ සැළ වූ ගිනි නිවන හමුදාව අනතුරු ඇඟවීමේ නිවේදනය නිකුත් කළද කවර හෝ සංනිවේදන දෝෂයක් හේතුවෙන් එය ජනපද වාසීන් වෙත ලැබී තිබුණේ නැත. හාත්පසින් වට කරමින් සිත්පිත් නැති වල්කන් (ගිනි දෙවියා) නගර ගම් නියම් බිළි ගන්නට පටන් ගත්තේ තම දේවතා වේශය හැරපියා යක්ෂාරූඩ වෙමිනි. අනතුරු හැඟවීම් නොලද වැසියනට අනතුර සංනිවේදනය වූයේ ගිනි දැල් සමගමය. ඒ නිසා ඔවුනට සූදානම් වීමටවත් අවකාශයක් නොවීය. බොහෝ දෙනෙකු තම නිවෙස් වල රැඳි සිටි අතර නිවාඩු දිනයේ වැඩිහිටියන් නිවසේ අත්‍යවශය කටයුතු වලද කුඩා දරුවන් කෙලි දෙළෙන්ද ගත කරමින් සිටියා විය හැකිය. ඇතමුන් ගින්නෙන් පළායාමට උත්සාහ කරන අතරද තවත් අය නිවෙස් වලදීම ගින්නට බිළි විය. නැගුණු ගිනි දැල් ඇතැම් තැනෙක මීටර් 30ක් තරම් (ශ්‍රී ලංකාවේ සුනාමි රළ තරම්) ඉහළට විහිදගිය අතර හිරු රැස් මුවා කරමින් මහා කළු දුමාරය හාත්පස පැතිර යන්නට විය. හිරු විළිකුන් සුරත් පලයක් බවට පත්වූයේ අස්තයට යන්නට පෙර මහ දාවලෙහිමය. මහත් සේ කෝපයට පත්ව වත ලේ රතු පැහැ ගැන්ව තිබුණද හිරුගේ චණ්ඩ ප්රහාරයන් ගන වලාකුළු මගින් වළක්වා තිබිණි.
ඕස්ට්‍රේලියානු ඉතිහාසයේ මහාම ලැව් ගින්න වූ එය මැඩ පැවැත්වීමට හැකිවූයේ පුරා සති හයකට පමණ පසුවය. ඒවන විට වර්ග කිලෝමීටර 4500 ක ප්‍රෙද්ශයක් තම ග්‍රහණයට ලක්කරගෙන සිටි වල්කන් (ගිනිදෙවියා) නගර ගම්නියම් වගාබිම් වන රක්ෂිත හා ජාතික වනෝද්‍යානයන් රැසක්ද නිවාස 4000 පමණද ජීවිත 178 ක්ද බිළිගෙන තිබිණි.
වරදකරු හඳුනා ගන්නා ලදී. නඩු විභාගයකින් අනතුරුව බ්‍රෙන්ඩන් සොකාලූක්ට වසර 18 ක සිර දඬුවම් නියම විය. ඔහු පැවසුවේ එය හුදු අත් වැරැද්දක් බවත් කිසිවිටෙකත් සිතා මතා කළ දෙයක් නොවන බවත්ය. සාමාන්‍ය පුද්ගලයෙකුට වඩා ගිනි නිවන භටයෙකු ලෙස රාජකාරියේ නිරතව සිටි බ්‍රෙන්ඩන් මීට වඩා සැලකිලිමත් විය යුතුව තිබිණි. මේ අත් වැරැද්ද සුළු කොට තැකිය හැකි නොවේ. සිද්දියේ වින්දිතයෙකු වූ කාන්තාවක පැවසුවේ බ්රෙන්ඩන්ට දුන් සිර දඬුවමින් තමන්ට කිසිදු පළක් නොමැති බවත් පෞද්ගලික දේපළ හානි නැවත පිළිසකර කළ හැකි වුවත් දරුවන්ට මාපියන්වත් මාපියන්ට දරුවන්වත් බිරින්දෑවරුන්ට සැමියන්වත් සැමියන්ට බිරින්දෑවරුන්වත් නැවත කිසිසේත් නොලැඛෙන බවය.
කළු සෙනසුරාදාට වසර එකොළහකට පමණ පසු එම වනයට පිසිසෙන සංචාරකයන්ට වනය දෙවන වතාවටත් පුනරුත්ථාපනය වී ඇති අයුරු දැකගත හැකිය… ගින්නෙන් දැවී නොගොස් ඉතිරි වූ ගස් තම සුපුරුදු වර්ණ රටාව වෙනුවට කළු පැහැය දවටා ගෙන ඇත. මුළුමනින්ම පාහේ විනාශ වී ගිය මහා දෑවැන්තයන්ගේ ඉතිරි කොටස් කළු කුහර විලසින් තැන තැන දැකිය හැක. ඇතැම් ඉයුකැලිප්ටස් ගස් මේ ඛෙදවාචකය සියැසින් දුටුවාද නැතිනම් සිසාරා යන මඳ නළ රහසේ මිමුණූ නිසා දැන ගත්තාදැයි කිව නොහැකිය. ඒවාට මේ දුක තවමත් වාවාගනු නොහැකිව කඳුළු වෙනුවට ලේ ගලා යවමින් වැලපෙනු කිංලේක් වනාන්තරය තුළ සංචාරය කරන අතරේ විමසුම් ඇසින් බලන ඕනෑම අයෙකුට තවමත් දැක බලා ගත හැකිය. ඒ ලේ කඳුළු නැවත මෙවන් වූ ව්‍යසනයක් හිතා මතාම හෝ අත් වැරැද්දකින් හෝ නොවන්නට හැම දෙනා තුළම මෙත් සිතිවිල්ලක් පහළ කිරීමට හේතු වනු නො අනුමානය.