seprator

“අමරදේව අඳුනන්නේ නැති මේ ගුවන්විදුලිය කේමදාසව කොහොමත් අඳුරන්නේ නැති වේවි.” එසේ කියු කේමදාසයන් පිටව ගියා.

seprator
03November 2016
blog_shape
ප්‍රියානන්ද විජේසුන්දර විසිනි
නිසල දිය ගැඹුරු වන්නාසේම එතුමන් ද නිසලය. ගැඹුරුය. නිර්මාණාවේශයේ දී නිසලව නිහඬව නිර්මාණකරයේ යෙදෙයි. එහෙත් නිර්මාණය වන්නේ ඉතා ගැඹුරු දේය. මේ ගැඹුරැ දේ මතුපිටින් සරළය. එහෙත් ඇතුලාන්තය ගැඹුරුය. මේ ඇතුලාන්තය තේරුම් ගන්නට අප බොහෝ දේ ඉගෙන ගත යුතු වෙයි. එයට අපගේ ජීවිත කාලයත් මදිවේ යැයි මට සිතේ. පණ්ඩිත් අමරදේවයන්ට 2014 දෙසැම්බර් 05 දා 87 ක් වන විය සපිරුනි. මේ කාලයෙන් හැට වසරකට අධික කාලයක් හෙළ සංගීත කේෂත්‍රයට එතුමා කළ මෙහෙවර පිළිබඳව කියන්නට මේ කාලය හා ඉඩ හසර ප්‍රමාණවත් වේද? මොරටුවේ කොරලවැල්ලේ මුහුදු තීරයත්, මේ තීරය හරහා හමා ආ කරදිය සුළඟත්, මේ සුළෙඟ් නැගුනු, බිඳුනු රළ රැලිත්, තම පියා සාදා දුන් වයලීනයත් අමරදේවයන් තම කතා බහේ දී කිසි දිනක අමතක නොකළේය. භාරත දේශයේ සංගීත අධ්‍යාපනය ලබන්නට ශ්‍රී ලාංකේය ජනතාව දුන් උදව් උපකාර ද එතුමාට කිසි දිනෙක අමතක වූයේ නැත. amaradeva-by-saamantha-tennege සැට වසරකට ආසන්න කාලයක් තුළ අමරදේවයන් යනු කවරෙක්දැයි, එතුමා දැන උගත්කම් ලබාගත්තේ කෙසේ ද? එතුමාගෙන් ශ්‍රී ලාංකේය ගීතයට සිදුවූ යුග මෙහෙවර කුමක්දැයි, පුවත්පත් ලිපි කීපයකත්, ගුවන්විදුලි නාලිකා වැඩ සටහන්වලත්, රූපවාහිනී නාලිකා සියල්ලෙත් කොතරම් කතා බහ කරන්නට ඇති ද? යලි යලිත් මේවා විස්තර කරමින් සම්ප්‍රදායික ලිපියක් ලිවීමෙන් පළක් වේයැයි මට නොසිතේ. මන්ද මේ තොරතුරු ඇති තරම් ඔබ දන්නා අතර ඔබට සොයා ගන්නට ද හැකි බව මට සිතෙන බැවිනි. නිසල දිය ගැඹුරු බව මා කලින්ම සඳහන්කර ඇත. මේ ගැඹුරු විද්වතාගේ, සංගීත වේදියාගේ නිසල බව මේ නිසල බවෙන් උපන් ගැඹුරු බව සොයා යන්නට මට සිතෙයි. එතුමන්ගේ සමකාලීනයන් "අමරේ" කියා කතා කරනවා අසා ඇති මා ඔහුගේ පසුකාලීනයන් කටපුරා එතුමා ආමන්ත්‍රණය කළේ "අමරදේව සර්" නැතහොත් "ඇඳුරුතුමා" "ගුරුතුමා" යන ගෞරවණීය නාමයන්ගෙනි. වරින්වර ගුවන් විදුලියේදීත්, ප්‍රසංග වේදිකාවේදීත්, ඇතැම් විට එතුමන්ගේ නිවසේදීත් මුණ ගැසුනු සෑම අවස්ථාවකදීම මට දැනුනේ මා මේ සිටින්නේ හෙළ සංගීතාවලිය එක්වන්ව ආලෝකමත් කළ මහා පහන් ටැඹ ඉදිරියේ කියායි. හෙළ බස, සකු බස, ඉංග්‍රීසි බස එකසේ දන්නා, මේ භාෂාවන් තුනෙන්ම යමක් පැහැදිලි කළ හැකි වෙනත් සංගීතවේදියෙකු ගැන මා දන්නේ නැත. තමන්ට ලැබුණු තනතුරුවලින් බැබලෙන්නට එතුමා උත්සාහ ගත්තේ නැත. එහෙත් එම තනතුරු තානාන්තර එතුමා නිසා බැබලූනු බව නම් මට කිව හැකිය. එවකට සෞන්දර්ය අධ්‍යයන ආයතනයේ අධිපති තනතුර ද, පසු කාලයක ගුවන් විදුලියේ සංගිත අංශයේ භාරකාරත්වය ද ලැබුණත් මේ තනතුරු දෙකෙහිම එතුමා සේවය කළේ ඉතාමත්ම කෙටි කලකි. නිදහසේ නිර්මාණ කිරිම හැරුණු විට මේ බැඳීම් මහා කරදරයක් සේ එතුමාට සිතෙන්නට ඇත. ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහයන්, මහගම සේකරයන්, මඩවල එන් රත්නායකයන් සමග ගුවන් විදුලිය තුළ, සිනමාව තුළ අමරදේවයන් කළ පෙළහර අතිමහත්ය. "සරසවිය" සිනමා පුවත්පත මෙහෙය වූ පළමු සරසවි සම්මාන උළෙල වෙනුවෙන් එවකට සරසවිය කතුවරයෙකුව සිටි විමලසිරි පෙර්රා මහතා මානවසිංහ ශූරීන් ලවා සරස්වතී අභිනන්දන ගීතයක් ලියවාගෙන, එවකට අමරදේවයන් පදිංචිව සිටි නාවල නිවසට ගොස් ගීතය භාර දී ඇත. "ජගන් මෝහිනී - මධුර භාෂිණී" යනුවෙන් ආරම්භවන මේ ගීතය තරම් සරස්වතී අභිනන්දන ගීතයක් මෙතෙක් නිර්මාණය වී තිබේ ද? පණ්ඩිත් අමරදේවයන් පසුකාලීනව මට නිරතුරු මුණ ගැසුනේ ගුවන්විදුලියේ "ස්වර වර්ණ" සංගීතමය වැඩ සටහනේදීය. මෙම වැඩ සටහනේ මුල් පිටපත් රචකයා මෙන්ම එහි නිෂ්පාදකවරයා වූයේ ද මඩවල එස් රත්නායක මහතාය. සාමාන්‍යයෙන් පැය භාගයක වැඩ සටහනක් වූ මෙයට අඩුම තරමින් ගීත 5 ක් අන්තර්ගත විය යුතුමය. දොරටු අවසරපත් වේලාසනින්ම පිළියෙල කරන රත්නායක මහතා අමරදේවයන් පැමිණෙන තුරු කොරිඩෝරයේ එහාට මෙහාට ගමන් ගන්නා ආකාරය අදටත් මගේ මතකයේ තිබේ. අමරදේවයන්ගේ "රෙනොල්ඩ්" වාහනය ගුවන් විදුලිය ඉදිරියේ නතරවන විට රත්නායක මහතාගේ මුවගට සිනා රැල්ලක් මතු වේ. ඒත් අමරදේවයන්ට කලබලයක් නැත. දිවා ආහාරයට නියමිත කාලය එනවිට ගීත තුනක් පමණ පටිගත කොට අවසන්ය. මඩවල එස් රත්නායකයන් කලබල වන්නේ අමරදේවයන් යන්නට සූදානම් වන විටය. "අමරේ කෝ ඉතුරු දෙක?" රත්නායකයන් ප්‍රශ්න කරයි. "තව දෙකක් ඕනම ද?" අමරදේවයන්ට කලබලයක් නැත. "ඕනෑ කියල අහන්නේ මම ගීත පහ දුන්නනේ තනු දාන්න." "හරි හරි කෑම කාල ඇවිත් ඉතුරු දෙක කරමු." ඇත්තටම අමරදේවයන් ඉතිරි ගීත සම්පූර්ණ කොට නැත. කෑම වේලාව අවසන් වූ පසු මැදිරියේ පියානෝව අසල හෝ සර්පිනාව අසල ඉඳගන්නා අමරදේවයන් ඉතිරි ගීත දෙක ද සම්පූර්ණ කරයි. ගීත පහ පටිගත වෙයි. කලින් හැදූ ගීතවල ද, කලබලයේ ක‍ෂණිකව සැදූ ගීතවල ද තනු මාධුර්යයේ වෙනසක් නැත. එකසේ ජනප්‍රිය වෙයි. මහගම සේකර ශූරීන්ගේ පළමු ගුණානුස්මරණ උත්සවය පැවැත්වූයේ ගම්පහ රදාවානේ පාසැලේදීය. තුංමං හන්දිය මා මුලින්ම දුටුවේ එදාය. මේ වකවානුවේම මැතිවරණයක් පැවැත්වීමට නියමිතව තිබු නිසා මැතිවරණ උණුසුමක් ද තිබුණි. අමරදේවයන් වේදිකාවේය. අනෙකුත් අය දේශපාලන ලොක්කන්ය. මහගම සේකරයන්ගේ ගී ගැයීමත්, සේකරයන් පිළිබඳව කතාවක් කිරීමටත් අමරදේවයන්ට නියමිතව තිබුණි. ප්‍රධාන පක‍ෂ දෙකේ නියෝජිතයන් මෙන්ම උදව් පදව් කාරයන් ද මෙය දේශපාලන වේදිකාවක් කර ගන්නා අයුරු පැහැදිලිවම පෙනෙන්නට තිබුණි. සේකරයන් පසෙක තබා තම තමන් ප්‍රදේශයට කළ කී දේත්, විරුද්ධවාදීන් නොකළ දේත් කියමින් සේකරයන්ගේ මුල්ම සමරු උළෙල දේශපාලන වේදිකාවක් බවට පත්වන විට අමරදේවයන් සෙමෙන් නැගිට වේදිකාවෙන් බැස එනු දුටු මා එතුමන් අසළට ගොස් "සර්" යැයි කීවෙමි. "මම යනවා යන්න. මෙතන වෙන්නේ වෙනම දෙයක්. සේකර ගැන කවුරුවත් කතා කරන්නේ නෑ." "කමක් නෑ සර්. සර් මෙතනට ආවේ සර්ගේ මිතුරා වෙනුවෙන්. සර්ගෙ කතාව සර් කරල යන්න." එදා මගේ කතාවට එතුමා ඇහුම් කන් දෙන්නට එතුමාට මා කවුද? "ඇත්ත තමයි" එසේ කියූ අමරදේවයන් යළිත් වේදිකාවේ අසුන් ගත්තේ ගැඹුරු බවත්, නිසල බවත් පැහැදිලි කරමිනි. "අසෝකමාලා" චිත්‍රපටිය වෙනුවෙන් අමරදේවයන් ඉන්දියාවට ගියේ ගවුස් මාස්ටර්ගේ සංගීත කණ්ඩායමේ වයලින වාදකයෙකු ලෙසටය. එහෙත් එහිදී එතුමාට සිදුවූයේ ගවුස් මාස්ටර්ගේ සහායකයා ලෙස ස්වර ලිපි පිටපත් කිරීමටත්, නිර්මාණ කටයුතුවලට සහභාගී වීමටත්ය. එම චිත්‍රපටියේ ගීතයක් ද ගායනා කරමින් තාපසයෙකුගේ චරිතයක් ද රඟපෑමට එතුමාට සිදුවිය. "මම මේ සිනමා පටිය නරඹන කොට පුදුමයට පත්වුනා. සහය සංගීත අධ්‍යක‍ෂවරයා ලෙස නාමාවලියේ මගේ නමත් දාලා තිබුණා. ගවුස් මාස්ටර් මට දැක්වූ එම ගෞරවයට මම එතුමාට සදා ණයගැතියි." අමරදේවයන්ගේ හඬින්ම කියූ මේ කොටස් ඇතුළත් පටියක් තවමත් මා ළඟ සුරැකිව තිඛෙනවා. ගුවන් විදුලියේ වැඩ සටහනක් අවසන් කළවිට මුදල් ලබා ගැනීමට වවුචරයක් ලැඛෙනවා. මා මේ කියන යුගයේ දී එදාම මුදල් ලබාගන්නවා නම් අවශ්‍ය වන්නේ නිෂ්පාදකවරයාගේ අත්සන පමණයි. එක් දිනක් වැඩ සටහනක් අවසන් වී නියමිත මුදල් ලබා ගන්නට අමරදේවයන් මුදල් කවුන්ටරය අසලට ගියා. අමරදේවයන් කවුන්ටරය අසලම. එතුමාට පිටුපසින් ප්‍රේමසිරි කේමදාසයන්. එතුමාට පිටුපසින් මමත් මගේ මුදල ලබා ගන්නට බලා සිටියා. කවුන්ටරයේ සිටි කාන්තාව අමරදේවයන්ගෙන් එතුමාගේ හැඳුනුම්පත බැලීමට අවශ්‍යයැයි කියා තිබුණා. ඒ මොහොතේ අමරදේවයන් අත හැඳුනුම්පත තිබුණේ නැහැ. ගුවන්විදුලි ගීතයේ එක් මහා පහන් ටැඹක් හඳුනා ගන්නට ගුවන්විදුලිය තුළදීම හැඳුම්පත ඉල්ලා සිටීම ගැන අමරදේවයන්ට දුකක් හිතෙන්නට ඇති. ඒත් කේන්ති ගියේ කේමදාසයන්ට. එතුමා මුදල් ගැනීම පසෙක ලා කෙළින්ම දිව ගියේ එවකට අධ්‍යක‍ෂ ජනරාල් රිජ්වේ තිලකරත්න මහතාගේ කාමරයටය. අමරදේවයන් කේමදාසයන් පසුපස දිව ගියා. "කේමා...... කේමා......" කියමින්. අමරදේවයන්ට අවශ්‍ය වුනේ කේමදාසයන් නතර කිරීමට. "රිජ්වේ - තමුන්නාන්සේගේ කවුන්ටර් එකට අඩුම තරමේ අමරදේවගේ මුණ දැක්කාම අඳුරන අයව දාන්න." "ඇයි ඇයි කේමා...?" කලබල වුනු තිලකරත්න මහතා ඇසුවා. "අර කවුන්ටර් එකේ ඉන්න නෝනා අමරදේවගෙන් අයි ඩී එක ඉල්ලනවා. ගුවන්විදුලිය ඇතුලෙම. ලැජ්ජයි නේද?" එසේ කියූ කේමදාසයන් තමා අත තිබූ වවුචරය රිජ්වේ මහතාගේ මේසයට විසි කළා. "අමරදේව අඳුනන්නේ නැති මේ ගුවන්විදුලිය කේමදාසව කොහොමත් අඳුරන්නේ නැති වේවි." එසේ කියු කේමදාසයන් පිටව ගියා. රිජ්වේ තිලකරත්න මහතාම කවුන්ටරය ළඟට ඇවිත් අමරදේවයන්ගේ මුදල් ලබා දුන්නා. ඇත්තටම මෙතන්දි කලබල විය යුත්තේ අමරදේවයන් නොවේ ද? එතුමා නිසලව උන්නා. 1998 වසරේ දී අමරදේව එතුමාගේ ප්‍රසංගයක් සඳහා නවසීලන්තයට ආවා. එතුමා හමුවීමට එතුමා නතර වී සිටි නිවසට ගිය මා එතුමාගෙන් ඇසුවේ "මොනවද සර් විශේෂයෙන් අවශ්‍ය" කියා. "ප්‍රියා කුකුල් කකුල්, සුදු බත් හැමදාම කාලා එපා වෙලා. කරෝල කෑල්ලක්. පොල් සම්බෝලයක්, කැකුළු හාලේ බත් ටිකක් කන්න ඇත්නම් හොඳයි." "හරි සර් මම අපේ ගෙදර ලෑස්ති කරන්නම්" මම එහෙම කිව්වත් එම ප්‍රසංග සංවිධායකයන් අමරදේවයන්ව මගේ නිවසට කැඳවාගෙන යෑමට විරුද්ධ වුණා. "මම ප්‍රියාගේ ගෙදරට යනවා. ප්‍රියා මම හඳුනන්නේ අද ඊයේ නෙමෙයි." එහෙම කියු අමරදේවයන් තම කැමැත්තෙන්ම මගේ නිවසට දහවල් කෑමට ආවා. එදා අමරදේවයන් මගේ නිවස ඉදිරියෙන් තිබු කලපුව දිහා බලාගෙන මහා සතුටෙන් ගී මුමුනන්නට පටන් ගත්තා. ඒ දවස හරියටම 1998 දෙසැම්බර් 05 දා. එදා අමරදේවයන්ගේ තවත් උපන් දිනයක් වීම සුවිශේෂ වු සිදුවීමක්. ඒ වගේම එදා රාත්‍රියේ තවත් නිවසක කෑමකට යෑමට තිඛෙන බවත්, එතුමාට අමතක වුණා. සිංහල ගීතයත්, අමරදේව යන නාමයත් කිසි දිනක වෙන්කොට විග්‍රහ කළ නොහැකියි. එතුමා ප්‍රගුණ කළ උත්තර භාරතීය රාගධාරී සංගීතය මුල්කර ගනිමින් අපේ ජන ගීතයට ද අවශ්‍ය මෙහෙවරක් කළ එතුමා අපගේ ජන ගීතය ඇසුරෙන් හෙළ සංගීතය නිර්මාණය විය යුතුය යන විවාදයේ දී මහත් සේ නිහඬ වූයේ මහා සම්ප්‍රදායේත්, චූල සම්ප්‍රදායෙත් පරතරය අවබෝධ කරගෙන සිටි බැවිනි. පසු කාලීනව තමාගේ නිර්මාණ කටයුතුවලදී වික්ටර් රත්නායක, සනත් නන්දසිරි මෙන්ම ඔවුන් දෙදෙනාගේ ද ගෝලයෙකු වු රෝහණ වීරසිංහයන් ද සම්බන්ධ කර ගනිමින් තමාට ද ඔවුන් ලවා ගී තනු නිර්මාණය කර ගත්තේ එදා දුටු ගීතයේ අනාගතය වික්ටර්, සනත්, රෝහණ මුල් කරගෙන බිහිිවේය යන දුර දක්නා නුවණින් විය යුතුය. එහෙත් ගැටලූව මෙතනින් නතර වී ඇතැයි මට සිතේ. වික්ටර් - සනත් - රෝහණ හෙට දවස භාර කරන්නේ කාට ද? පණ්ඩිත් අමරදේවයිනි, ඔබේ නිසල බව නොවුනත්, ඔබේ ගැඹුරු බව කාට හෝ දෙන්න. (2014 දෙසැම්බර් - කැඩපත) Illustration by Saamantha Tennege amarasara
14June 2016
blog_shape
හුදෙකලාකරැවෙකුගේ සටහන් - කවිය වැටහෙයි කවියා නොවැටහෙයි මොළය හදවත දෙකම පැටළෙයි...... ලොව කවර භාෂාවකින් ලියවුනද කවිය මොළයට වඩා හදවත පිරිමදින බව හුදෙකලාකරුවාගේ අදහසය. ඒ නිසාම හුදෙකලාකරුවා කවියෝ නොවනා කවි වනන්නට කැමතිය. එසේ නමුදු ගසකින් පොත්තක් වෙන් කළද, කවියකින් කවියා වෙන් කළ හැකි ද ? අප වැළඳගත යුත්තේ කවියා ද, නැතිනම් කවිය ද ? මෙම උභතෝකොටිකය හිසට වද දෙන්නේ අද අපට හමුවන විවිධාකෘති තුළට වැද විකෘති වූ කවියෝ නිසාවෙනි. එක් අතකින් කවියකට කවියාද විශ්මයට පත්කළ හැකිය. අනික් අතින් වශී කළ හැකිය. විශ්මය පසුපස විමසීම එයි. එහෙත් වශි වූ කළ සත්‍ය වසං වෙයි. මමත්වය එතුළින් නැගැ එයි. එසේ බිහිවන කවියෝ මෙකල්හි බොහෝ වෙති. කවියා යන ගෞරවාර්ථ නාමය ඇතැම් විට ඔවුන්ට අනර්ථයක්ව ඇති සේ ය. තමන් ලියූ කවි වනන උහු අන් කවීන් නොඉවසන්නේ මන්ද ? ගැරහීම, පෑගීම, පුරසාරම මෙබඳු කවීන්ට උරුම වූයේ කෙසේ ද ? මෑත දිනක ප්‍රවීණ කිවි කපිල කුමාර කාලිංග සමග අපි කතා කළෙමු. කවිය තුළින් අපට සම්මුඛ වන කවියෝ, මිනිසුන් වශයෙන් අපට සම්මුඛ වූ කල්හි මේ තරම් පරස්පරතාවයක් ඇත්තේ ඇයි ? මම ඔහුගෙන් ඇසුවෙමි. අපි ඒ ගැන දීර්ඝ වශයෙන් කතා කළෙමු. අවසානයේ සත්‍ය සිදුවීමක් පාදක කරගෙන කපිල කුමාර කාලිංග අතින් ලියවුනු කවියක් අපවෙත එවා තිබුණි. කවියේ මුලින්ම සඳහන් වූයේ "මිතුරන් අතරේ පමණයි" යන සටහනය. එසේ නමුත් පසුව එම කවිය කැඩපතෙහි පළකිරීමටත්, ඊට අදාල නිමිත්ත සටහන් කිරීමේ වැදගත්කමත් ඔහු අපට කියා සිටියේ ය. හුදෙකලාකරුවෙකුගේ සටහන් පෙළ ඇරඹෙන්නේ ඒ අනුව ය. මුණ නොගැසිය යුතුය, කවියන් පුදුමයකි ! කොතරම් සරළද ඔවුන් සාමාන්‍යයටත් වඩා සාමාන්‍යය අනෙක් මිනිසුන් වගේමය ඔවුන්ගේ කවි තුළදුටු අමුතු මිනිසුන් කොහි වෙද ? මධුවිත අතට ගත් කල ඔව්හු ද ගයති, කම්කරුවන් හෝ බස් රියදුරන් සේ ම අමරදේව නොව ජෝතිපාල ! අනුන්ගේ කවි වරුන අතරම මතින් දොස් ද දකිති, සසඳති වහසි බස් දොඩති කෙළිකවටකම් අතරේ පුරසාරම් ද කියති රුවැති කවි පේළි මත රතු තීන්ත වගුරමින් වනසති මහ හඬින් බිම හෙළා මධු විතද බිඳලති රුසිරු ළඳක දුටු සැණින් අමතකව යයි උපන් දිනයද මුණ නොගැසිය යුතුය කවියන් කිසි විට ඔවුන් තුළ නැත කවිය තුළ අප දකින අන් මිනිසා සරළය ඔහු පොළවටම නැඹුරු වූ දැක පුරුදු අසල්වැසියෙකි සාමාන්‍යයටත් වඩා සාමාන්‍යය වූ - කපිල කුමාර කාලිංග කවියේ තේමාව "මුණ නොගැසිය යුතුය කවියන්" ය. එහෙත් කවියේ අවසානයේදී මෙසේ කියයි..... සරළය ඔහු පොළවටම නැඹුරු වූ දැක පුරුදු අසල්වැසියෙකි සාමාන්‍යයටත් වඩා සාමාන්‍යය වූ අප මුණගැසීමට කැමති සාමන්‍ය මිනිසුන් නොවේ ද ? අසාමාන්‍ය මිනිසුන් මුණගැසීමට කවුරු නම් කැමති වේ ද ? කන, බොන, රවන, ඔරවන, ගොරවන මිනිස්සු අසාමාන්‍ය නොවෙති. නොකන, නොබොන, සිනාසෙන, පසසන, වන්දිබට්ටකම් කරන මිනිස්සු සාමාන්‍යද නොවෙති. කපිල කුමාර මෙම කවිය හරහා අපව එකිනෙකට පරස්පර විරෝධී අන්ත දෙකක රඳවයි. ඒ අනුව කියවන්නා තුළ වෙනත් කියවීමකට අවකාශයක් තනයි. ඒ තුළින් තේමාව කුමක් වුවද,  "කවියන් මුණ ගැසීමෙහි ඇත්තේ කවර නම් වරදද ?" යන ප්‍රශ්නය විමසනවා නොවේ ද ? කපිලගේ උත්ප්‍රාසය කැටි වූ තේමාවද තවත් කවියක් නොවේ ද ? පසු දිනක අප අතර ඇති වූ කතාබහ වෙනස් දිශාවකට එල්ලවිය. අප කථා කළේ අද අපට හමුවන සාමාන්‍යයටත් වඩා සාමාන්‍ය කවියෝ ගැන නොව අසාමාන්‍යයටත් වඩා අසාමාන්‍ය කවියෝ ගැනය. අපේ ගැටලූව බහුතර වත්මන් කවියෝ සාමාන්‍ය නොවීම ය. පොළවේ පය ගසා නොසිටීමය. "ඕකට හොඳ උත්තරයක් මට ලැබුණා. මගේ "මුණ නොගැසිය යුතුය කවියන්" කියවලා ඒක එවලා තිබුණේ නිමල් ජයරත්න කියලා මගේ යාලූවෙක්."  එසේ කී කපිල කුමාර පසුව නිමල් ජයරත්න ඔහුට එවූ කවිය අපට පෙරළා එවුවේ ය. කවියෙක් අතින් වීදුරුවක් බිඳිය හැක ඉර හඳ ගලගෑව සඳ කිරි කටගෑව තරු කිනිත්තෙන් පැන් වැඩුව කැකුලූ පෙති වල සෙනෙහසම තැවරුව මානව ප්‍රේමයේ පෙර ගමන් කරු වෙන කවුරුන් වෙද කිවියෝ හැර ඉරබටු තරුව වටකුරු ලා රෝස පැහැයෙන් දිදුල අත මිටෙන් මොලවා සෙමින් ඛෙලි කටුවක් තුල හෙවූ හැටි මොන තරම් අපූරුද මුතු ඇටය විශ්වයේ පුංචීම අංශුව නිමකලේ වෙන කවුරුත් වෙද කිවියෝ හැර මඟ දෑල මල් පඳුරු යට තුරු ගොමු උයන් සෙවනැලි වදුල යට විස සපුන් සැඟවී සිටින වග පැවසුවේනම් ඔබට මට වෙන කවුරුන් වෙද කිවියෝ හැර සුර බඹුන් විමන් ප්‍රාසාද වල සුර ලඳුන් හා සැන්දෑ සාද වල ඇරයුම් ලැබුවානම් වෙන කවුරුන් වෙද කිවියෝ හැර වීදුරු ගෙවල් වල හිඳ කොටුව ජීවිතය ආවඩන්නට සුදු පිරුවට මැතිඳුන්ට එරෙහි වූවෝ වෙන කවුරුන් වෙද කිවියෝ හැර කවි කෙතේ වල් පැල උගුල්ලන විට කාන්සියට ලාබ සින්දුවක් ගැයුවා වුවද මධු විතක් පිරුනු බඳුනක හැඩය ලලිත රූ අකුරු වලින් ගෙතුව කවියෙක් ඉතාම සාමාන්‍යය ය එහෙත් ඔහු අතින් වීදුරුවක් බිඳිය හැක - නිමල් ජයරත්න නිමල් ජයරත්නගේ කවිය අප තුළ උපදින බොහෝ ප්‍රශ්නාර්ථයන්ට කදිම පිළිතුරකි. ඔහු කවියෙකු යන එන තැන් ගැන අපට කියයි. ඔහු පවසන පරදි ඉර හද තරු මුතු මතු නොව සුර බඹුන්ගේ විමන්හිද කවීහු කරක් ගසති. ඒ ඒ තැන්හි තුතුද පවසති. එනමුදු කවීහුද මනුෂ්‍යයෝ ය. එබැවින් ඔවුනතින්ද වීදුරුවක් බිදුනේ නම් එය පුදුම විය යුතු කාරණයක් ද ? "කවියෙන් කවියා ගැන විනිශ්චය නොකරන්න. කවිය ඇත්තේ කියවන්නාට තමාවම අධ්‍යයනය කිරීමට ද ?" ඒ එසේ මුත් බොහෝ වත්මන් කවීහු කවි ලිවීමෙන් නොනවති. ඒ ගැන දොඩති. කියවති. එහෙත් තමන් ලියූ කවි නොකියවති. කවි කීමත්, කියවීමත් එකක් නොව දෙකක් බව නොදනිති. ඒ නිසාම කියවන්නෝද නොමග යවති. තමන් ලියූ කවි කියවා නොමග ගිය කියවන්නන් පිරිසක් යළි යහමගට ගත් අපූරු කවියෙක් ගැන කවියක් අපට කියවන්නට එවා තිබුණේ ශිරාන් විෙජ්රත්න ය. එලිදැක්ම.... කිවිඳුනි ඔබැ කිවි විශිෂ්ඨයැයි ඇදුරෝ වැනූහ හෘදය ඉරිසියාවෙන් මත්වනැයි සිසුහු කෙඳිරෑහ ස්ත්‍රි වැනුමටමැ උපනෙකැයි අයෙක් බිනූහ සියවසේ කොවුලා නුඹමැයි දනෝ සාධුකර දුන්හ මහද තත් පිරිමැදියැයි ගඳඹෝ තුති පුදකළහ ස්ත්‍රි සිතැ සිතැ හඳුනන භාව පුරැෂ රත්නයකැයි ළඳහු පෙමින් වෙළුණහ ඉනික්බිති ඒ මහා කිවිඳානෝ සබා ඇමතූයැ සබාගැබැ මීයට පිම්බා වැනි වියැ සබඳ එමතු නොවේයැ තොපැ මනස් විකල්යැ තොපට මා මනස්ගැබ පසක් නැත මම හඟිමි කලට අවකල් නොකල අකලට අවකල් කලමැයි නිතින් මට වද දෙන මගේ වල් හිතමයැ පදවැල්හි එබූයේ යැයි එතුමෝ ගොරනාඩු කළහ’... - ශිරාන් විජේරත්න මෙහි දැක්වූ කවි තුනම කිසියම් තැනක පළ කිරීමේ උවමනාවකින් රචනා නොවූ බව මම දනිමි. අහම්ඛෙන් අප අත් පත් ඒ කවි අතර අපූර්ව සහසම්බන්ධය ගැන තව දුරටත් සිතන්නට ඉඩ සලසා මෙවර හුදෙකලාකරුවාගේ සටහන නිමා කරමි. සාමන්ත
15October 2015
blog_shape
d f kariyakarawana by saamantha tennege ටියුඩර් අමරසේන විසිනි සිංහල භාෂාව මෙන්ම පුවත්පත් කලාව උදෙසා විශිෂ්ඨ මෙහෙවරක් ඉටුකළ ශ්‍රි ලංකාවේ ජ්‍යෙෂ්ඨතම මාධ්‍යවේදියා වූ ඩී. එෆ් කාරියකරවන මහතා පසුගිය 21 වැනි දා දැයෙන් සමු ගත්තේය. සීග්‍රයෙන් පිරිහී යමින් පවතින සිංහල භාෂා සම්ප්‍රදාය රැකගැනීම වෙනුවෙන් ඉමහත් පරිශ්‍රමයක් දැරූ එතුමා මියයන තෙක්ම සිංහල වියරණය, පද සාධනය හා අක්ෂර වින්‍යාස පිළිබඳව නිරතුරුව විද්‍යාර්ථීන් වෙනුවෙන් ලිපි සම්පාදනය කළේය. අපගේ භාෂා සම්ප්‍රදාය රැක ගැනීමේ වගකීම සහ එහි අගය පිළිබඳව නිබඳවම ඔහු පෙනී සිටියේය. පුවත්පත් කලාවේදියෙකු වශයෙන් ඔහු සතුව තිබූ භාෂා කෞශල්‍යය, චිත්‍ර ශිල්පීය ප්‍රාගුණ්‍යය, පරිණත බව සහ අදීන බව කාරියකරවන නාමයට අන්වර්ථ වූයේය. දේශපාලන බලවතුන්ගේ දෙපා ලොවමින් දේපොළ, ඉඩකඩම්, ඉසුරු සම්පත්, විදෙස් සවාරි යදින මාධ්‍ය යදියන් අතර කාරිකරවන සැබෑම කාරිය කරවන්නෙකු වූයේ නොහොබිනා පුවත් පළ කරන මෙන් තමන්ට බලපෑම් කළ බලවත් මැති ඇමතිවරුන් සිය ප්‍රබල හඬින් මෙල්ල කොට පළවා හැරීමෙනි. එබැවින් ඔහු මාධ්‍යවේදීන්ට ආදර්ශයක් වන්නේය. එසේම ගුරුවරයෙකු ද වන්නේය. 1922 පෙබරවාරි මස 8 වන දා මනුවෙල් කාරියකරවන සහ ඉයුජින් ෆොන්සේකා යුවතිපතීන්ගේ වැඩිමහල් දරුවා වශයෙන් මීගමුවේ උපත ලද ඩීග එෆ් මුලික අධ්‍යාපනය ගමේ පාසලෙන් ලබා 1942 දී පේරාදෙණිය ගුරු අභ්‍යාස විද්‍යාලයට ඇතුළත් වූයේය. 1944 දී ජාඇල ක්‍රිස්තුරාජ විද්‍යාලයේ ගුරුවරයෙකු වශයෙන් සේවයට බැඳෙන ඔහු එහි සේවයේ යෙදෙන අතරතුර “මිහිර” නමින් සඟරාවක් ආරම්භ කළේය. එහි හරවත් ලිපි, සම්භාව්‍ය කෙටිකතා, ආදිය අඩංගු වූයෙන් එය ඉතා ජනප්‍රියත්වයට පත් වූයේය. එකල පාසල් පරීක‍ෂණයට පැමිණි මහාධිකාරීවරයා ඩී. එෆ් ගේ “මිහිර” සඟරාව දැක, ඔහු සතු කුසලතා හැඳින, ඔහු කැටුව ගොස් 1945 ඥානාර්ථ ප්‍රදීපයෙහි උප කර්තෘවරයෙකු ලෙස පත්වීමක් ලබාදීමට කටයුතු කළේය. යොවුන් වියෙහි සිටි ඩී. එෆ් ගේ චින්තනය, සිතුම් පැතුම් හා ක්‍රියාකාරකම් ඥානාර්ථ ප්‍රදීපය සමග නොපෑහිණ. එබැවින් මහත් කලකිරීමකට පත්ව සිටි ඔහුගේ පිහිටට පැමිණියේ කේ. එම් සිරිසේන නම් වූ පත්‍ර කලාවේ දී යෞවනයායි. ටයිම්ස් ආයතනය මගින් “ලංකාදීප” නමින් නවතම පුවත්පතක් ආරම්භ කිරීමට සැලසුම් කොට ඇති බව පවසා මහා පත්‍ර කලාවේදී ඩී. බී ධනපාලයන් හමුවට ඩීග එෆ් පමුණුවන ලද්දේ කේ. එම් සිරිසේනයන් විසිනි. එහිදී ඩී. එෆ් සංස්කරණය කරන ලද “මිහිර” සඟරාව දැක මහත් ප්‍රසාදයට පත්වූ ධනපාල මහතා එසැණින්ම කාරියකරවන සිය කතු මඩුල්ලට බඳවා ගත්තේය. ලංකාදීපයේ විදෙස් පුවත් සංස්කරණය ඔහුට පැවරිණි. සන්නිවේදන තාක‍ෂණය නොදියුණු එකල්හි පුවත්පතක මුල් පිටුව සැකසීම අසීරු කාර්යයක් විය. ඒ සඳහා චිත්‍ර ශිල්පීය දැනුමක් අවශ්‍ය වූ අතර පළමුවන පිටුවෙහි ප්‍රධාන ප්‍රවෘත්තිය පළ විය යුතු අයුරු විශාල හිස් පිටුවක චිත්‍රණය කළ යුතු විය. ලංකාදීපයේ මුල් පිටුව සකසන ලද්දේ ප්‍රධාන කර්තෘ ධනපාලයන් විසිනි. 1949 වසරේ දිනෙක කිසියම් හේතුවක් මත ධනපාල මහතා සේවයට නොපැමිණි බැවින් එවකට සහකාර කතුවරයා වූ නිමල් කරුණාතිලක මුල් පිටුව සැකසීමේ වගකීම කාරියකරවනට පැවරීය. ඉතා උද්‍යෝගයෙන් එය භාරගත් කාරියකරවන සුනිසි අක‍ෂර රටා භාවිත කරමින් රමණීය ලෙස ලංකාදීප මුල් පිටුව සකස් කරනු ලැබුවේය. ධනපාල මහතා ඉන්පසු දින දෙකද නොපැමිණියෙන් කාරියකරවන තම චිත්‍ර ශිල්පීය කුසලතා විදහා දක්වමින් ලංකාදීප මුල් පිටුව අලංකාර ලෙස සකස් කළේය. දින තුනකට පසුව පැමිණි ධනපාල මහතා කාරියකරවන සකසන ලද මුල් පිටු දැක මහත් ප්‍රසාදයට පත්ව එම කාර්යය ඔහුටම පැවරුවේය. මෙනයින් අලංකාර වූ මුල් පිටුව ලංකාදීපයේ අළෙවිය ඉහළ නැංවීමට සමත් විය. ධනපාල යුගය සමග බැඳි “ලංකාදීපය” අතිශය සාර්ථක පුවත්පතක් බවට පත් කිරීම නිසා කාරියකරවනගේ කීර්තිය ද ඉහළ නැගිණ. මේ වනවිට “දිනමිණ” පුවත්පත අළෙවියෙන් ඉතා පහළට වැටී එය ප්‍රතිසංවිධානය කිරීමේ අවශ්‍යතාවක් පැන නැගී තිබිණ. මේ පිළිබඳව අවධානය යොමුකළ ලේක් හවුස් ප්‍රධානී එස්මන්ඩ් වික්‍රමසිංහ, කාරියකරවනගේ කුසලතා දැන හැඳින දිනමිණ සමග එක්වන ලෙස ඔහුට ආරාධනා කළේය. ඇරයුම පිළිගත් කාරියකරවනට දිනමිණේ පිටු සැලසුම භාර දුන්නේය. මාසයක් තුළ දිනමිණ සීග්‍ර ලෙස වර්ධනය විය. පිටු අලංකාර විය. අළෙවිය ඉහළ නැගිණ. කාරියකරවනයන්ගේ නැග්මද එයම විය. 1953 මාර්තු 05 දින සෝවියට් රුසියානු නායක ජෝශප් ස්ටාලින්ගේ මරණය සිදුවිය. එම පුවත පිළිබඳ තොරතුරු ලේක් හවුසියට ලැඛෙන විට රාත්‍රී සේවයෙහි නිරතව සිටියේ කාරියකරවන පමණි. බලධාරීන් නොසිටිය ද පුවතෙහි වටිනාකම හඳුනාගත් ඔහු දිනමිණ විශේෂ මුද්‍රණයක් ලහි ලහියේ සැළසුම් කළේය. ඒ අතරතුර එස්මන්ඩ් වික්‍රමසිංහ දුරකථන ඇමතුමක් දී එපුවත පිළිබඳ විමසීමක් කොට ඒ අනුව පිටු සකසන ලෙස කාරියකරවනට දැනුම් දුන්නේය. සිතැඟි පරිදි සිය කාරිය කළ කාරියකරවන විශේෂ මුද්‍රණයේ ‘ඩමිය’ සකස් කොට මුද්‍රණයට යැව්වේය. මදකින් එහි මුල් පිටපත විමර්ශනය කිරීම සඳහා ඔහු පහත මාලයට ගියේය.ඒ සමගම කලබලයෙන් එස්මන්ඩ් වික්‍රමසිංහ එහි පැමිණියේය. එම දිනමිණ මුල් පිටුව දැකීමෙන් ඔහු මහත් විමතියටත්, ප්‍රසාදයටත් පත්විය. පසුදින උදෑසනම ලේක් හවුස් ආයතනයට පැමිණි එඩ්මන්ඩ් වික්‍රමසිංහ, කාරියකරවන දිනමිණ ප්‍රධාන කතුවරයා ලෙස පත් කළේය. ඒ 1953 මාර්තු මස 6 වන දිනයේය. ඔහු තිස් එක් හැවිරිදි වියේදීය. ඉනික්බිති ඔහුට “ජනතා” පත්‍රයේ කර්තෘ පදවිය ද භාර දුන්නේය. 9000 ක අළෙවියක් තිබූ ජනතා පත්‍රය 60,000 දක්වා වැඩි කිරීම නිසා පරිපාලනය ඔහුගේ ශක්‍යතාව මැනවින් හඳුනා ගත්තේය. අනතුරුව යොවුන් ජනතා, ක්‍රීඩා පුවත්පත්වල ප්‍රධාන කතුවරයා බවට පත් කළ ඔහුට සිළුමිණ ප්‍රධාන කර්තෘ පදවිය ද පැවරුවේය. එහි දී පුවත්පත් කලාවේ යම් වෙනසක් කිරිමට සිතූ ඔහු අත් අකුරින් කතු වැකිය ලිවීම ආරම්භ කළේය. එය ලොව මාධ්‍ය කේෂත්‍රයේ නව පිවිසුමක් ලෙස ගිනිය හැකිය. එබඳු හපන්කම් කළ කාරියකරවනගේ දීර්ඝ පුවත්පත් දිවියේ අභාග්‍ය සම්පන්න කාලය උදා වූයේ 1989 දීය. මහියංගනයේ ගම් උදාව පවත්වන විට කොළඹ නගරය පුරා පෝස්ටර් අළවන්නේ මන්දැයි විමසමින් ඔහු කතු වැකියක් ලීවේය. එය බලධර උදහසට ලක්විය. ඔහු පත්‍ර කලා සංගමය පවත්වාගෙන ගිය ස්ථානය ඔහුට අහිමි විය.ජර්මනියට ප්‍රවෘත්ති සැපයූ ඔහුගේ ප්‍රවෘත්ති සේවය ද අත්හිටවනු ලැබීය. මේ අතර ඔහු විශ්‍රාම යන වයස ළඟා විය. ලේක් හවුස් පාලනාධිකාරිය ඔහුගේ සේවය අපේක‍ෂා කළ ද තමා තවදුරටත් එහි රැඳී සිටියහොත් ඉහළට ඒමට දක‍ෂතා ඇති තරුණයන්ට එම අවස්ථා ගිලිහෙන බව පවසා වයස 60 දී කාරියකරවන විශ්‍රාම ලැබුවේය. එහෙත් ඒ රැකියාවෙන් පමණි. සිය දෙස, බස, රැස වෙනුවෙන් කළ යුතු කාර්යයන් ඔහු පෙර පරිදිම පෙරට ගෙන ගියේය. අන්තර්ජාතික පත්‍ර කලා සංගමයේ ශ්‍රී ලංකා සභාපතිකම දැරූ ඔහු ලාංකීය මාධ්‍යවේදීන්ට විදේශ මාධ්‍ය ආයතන සමග සබඳතා ගොඩනගා ගැනීමට ද, විවිධ ශිෂ්‍යත්ව සඳහා අවස්ථා ලබාදීමට ද කටයුතු කළේය. කොළඹ විශ්ව විද්‍යාලයේ ජනමාධ්‍ය පාඨමාලාව ආරම්භ කිරීමට උපස්තම්භක වූයේ ද ඩී. එෆ්. කාරියකරවනය. කාරියකරවන අගනා ග්‍රන්ථ රාශියක් ද පාඨක සහෘදයන්ට පිළිගැන් වූයේය. දශක සතක මතක, මතක පොතේ ඉතිරි හරිය, මතක පොතෙන් තවත් ටිකක්, සංක්‍රමණය, කරට කර ආදී ග්‍රන්ථ ඉතා රසබර නිර්මාණ සේ දැක්විය හැක. ‘අරුත්-නිරුත්’ හෙළ වදන් විවරණය කරන අගනා කෘතියකි. 1990 සිට මියයන තෙක්ම සිළුමිණට ලියූ දොස් – නිදොස් වියරණ ලිපි මාලාව ඔහුගේ අග්‍ර ගණ්‍ය මෙහෙවර ලෙස මම අගය කරමි. එමගින් “ෆේස් බුක්” සඳහා දැනට වහරන “මුහුණු පොත” යන්න නොගැළපෙන ඍජු පරිවර්තනයක් බවත්, ඊට වඩාත් සුදුසු “වත ගත” යන්න බවත් ඔහු යෝජනා කර තිබිණ. එය ඉතා අර්ථ පූර්ණ සුනිසි යෙදුමකි. ලංකාදීපයට ලියූ “කාරිගේ තීරුව” හා දිනමිණට ලියූ “චීන පටස්” අගය කළ හැකි තීරු ලිපි වේ. 2006 දී පමණ මා “පහන” සංස්කාරක වශයෙන් කටයුතු කරන සමයෙහි, අහඹු ලෙස ලද ‘පහන’ සඟරාවක් කියවා එහි බස් වහර, කාලීන ලිපි හා සාහිත්‍යාංග ප්‍රශංසාවට ලක් කරමින් කාරියකරවනයන්ගෙන් ලිපියක් ලැබිණ. අනතුරුව මගේ අයැදුම මත තම ලිපි කිහිපයකින් “පහන” සැරසීමට තරම් මේ මහා ලේඛකයා නිහතමානී වූයේය. සිංහල භාෂාව පිළිබඳ ආචාර්ය, මහාචාර්යවරුන් පවා බස නසමින් කෘති සම්පාදනය කරන මෙකල්හි නිවැරදි හෙළ බසෙහි ප්‍රගමනය උදෙසා මෙතුමන් දිවි ඇති තෙක් කරන ලද මෙහෙවර ලංකාවේ එකදු විශ්ව විද්‍යාලයක අවධානයට පත් නොවීම, ඇගයීමකට ලක් නොවීම ජාතියේ අවාසනාවකි. කාරියකරවන ශූරීහු තමන් අනුගමනය කරන දරු පරපුරක් ද තැනූහ. ඔහු ගිය මග යමින් මුදිත කාරියකරවන පුතු ද, කුරුලූ කාරියකරවන මුණුපුරා ද මාධ්‍යවේදීන් බවට පත්ව සිටිති. උපතින් කතෝලික බැතිමතෙකු වූ කාරියකරවන, තරුණ වියේ දී වෙසක් පොහොය දිනයක බුදු දහම වැළඳ ගත්තේය. මෙයට වසර කිහිපයකට පෙර ඔහුගේ දයාබර බිරිය වූ ලලිතා අබේසේකර මහත්මිය ද අභාවප්‍රාප්ත වූවාය. 2015 අප්‍රේල් මස 21 වනදා වයස අවුරුදු 94 ක් ආයු වළඳා අභාවයට පත් කාරියකරවන, සිය අවමංගල්‍ය කටයුතු ද ආදර්ශයක් වන පරිදි සැලසුම් කොට තිබිණ. එතුමන්ගේ ඉල්ලීම අනුව අභාවයට පත් දිනයේම පවුලේ ඥාතීන්ගේ සහභාගීත්වයෙන් පාංශකූලය පූජා කිරීමෙන් අනතුරුව පස්වරුවේ දී මෘත දේහය මාලබේ වෛද්‍ය විද්‍යාලයට පිරි නැමුවේය. අර්ථවත් ජීවිතයක ගුණ සුවඳ මරණය හමුවේ ද ප්‍රකට කළ එතුමන්ට නිවන් සුව පතමු.
seprator
shape
Copyright © Kadapatha 2018. All rights reserved. Solution by saamArt