seprator

කැඩපත කතුවැකිය – මැයි 2018

seprator
07May 2018
blog_shape
දිනක් බුදුන් වහන්සේ රාහුල පොඩිහාමුදුරුවන් වැඩ සිටි අඹ වනයෙහි කුටියට වැඩි සේක. රාහුල හිමියෝද බුදුරදුන්ගේ පා දෝවනය කොට උන්වහන්සේව ගෞරවයෙන් පිළිගත්හ. අනතුරුව බුදුරදුන් රාහුල හිමියන්ට දහම් අවවාදයක් දුන් සේක. "රාහුල මේ දිය නොමැති බඳුන දෙස බලන්න. මේ හිස් බඳුන බොරු කියන භික්ෂුව හා සමානය. එසේම රාහුල, යමෙක් මුසා බස් කියයි නම් ඔහු තුළ පවතින සීලයක් නැත." එදා බුදුන් වහන්සේ දුන් එම ඔවදන රාහුල හිමියන්ට පමණක් අදාල වන්නක් නොවේ. සමාජයේ සාමාජිකයන් ලෙස සලකන විට යම් ගිහියෙක් හෝ වේවා, පැවිද්දෙක් හෝ වේවා බොරුවක් කියයි නම් ඔහු සැබෑ බෞද්ධයෙකු විය නොහැකිය. ඒ සමග ම බුදුරදුන් විසින් තවත් නිදසුනක් රාහුල හිමියන්ට දෙනු ලබන සේක. "රාහුල රජකුගේ ඇත් සේනාවේ බලවත් ඇත් රජු යුද්ධයේ දී තම පෙර පාද, පසු පාද නළල (කුම්බස්තලය), ශරීරය, ඇත් දත් යුගළත් යොදා ගනිමින් සතුරන් මඩින්නේ ය. පවුරු පාසාද බිඳ දමන්නේ ය. එහෙත් ඔහු තම හොඬ උපයෝගී කර නොගන්නේ ය. ඔහු හැමවිටම තම හොඬය ආරක්ෂා කරගනිමින් සටන් කරන්නේ ය. රාහුල කුමක් නිසා ඔහු එසේ කරයි ද ?" "රාහුල හොඬය කැඩුණු ඇතෙකුගෙන් වැඩක් නැති බව මේ ඇතා දනී. හොඬය කඩා ගත් ඇතාට යුද්ධ කිරීමට බැරි බව ඔහු දනී. ඒ නිසා රාහුල මුසා බස් දොඩන බොරු කියන පුද්ගලයාගේ ශීලයත් ඒ හා සමානය. ඒ නිසා අප සුළු කොට සලකන මුසාවාදය බරපතළ පවක් බව එයින් තේරුම් ගත යුතුයි." මෙම වෙසක් සමයේ අම්බලට්ඪීක රාහුලෝවාද සූත්‍ර සාරාංශය සිහියට ගැනීම ඉතා කාලෝචිත යැයි අපි සිතමු. පසුගියදා ලංකාවේ සංචාරයකින් පසු පැසු පැමිණි අපේ මිතුරෙක් අප හා මෙසේ කීවේ ය. "ලංකාව හරිම හොඳයි. හැබැයි කිසිම කෙනෙක්ව විශ්වාස කරන්න බැහැ. ත්‍රී වීල් පදින මිනිසා කියන්නෙත් බොරු. බස් කාරයා කියන්නෙත් බොරු. හම්බ වෙන හැමෝම වගේ කියන්නේ බොරු. ජනාධිපති කියන්නෙත් බොරු. අගමැති කියන්නෙත් බොරු. මාධ්‍යවේදියෝ කියන්නෙත් බොරු. ආගමික නායකයෝ කරන්නෙත් බොරු. එයාලා කියන දේ නොවෙයි කරන්නේ. කරන දේ නොවෙයි කියන්නේ. උඩ ඉඳලා පල්ලෙහාටම යනකම් තියෙන්නේම බොරුව. බොරුව කොතරම් සමාජ ගත වෙලාද කියනවා නම් තමන් බොරු කරන බව එයාලට තේරෙන්නේ නැහැ. ඒක පේන්නේ පිටින් ගිහින් බලනකොට." එදා හෙළ දිව ග්‍රන්ථයේ රොබට් නොක්ස් කීවේ ලාංකිකයා බොරුව තරම් පිළිකුල් කරන දෙයක් නැති බව ය. එය එදා හෙළයාගේ අනන්‍යතාවය විය. නමුත් අද තත්ත්වය කෙබඳු ද ? අද ලොව කොතනක ජීවත් වුනත් හෙළයාගේ අනන්‍යතාවය ඊට ඉඳුරාම වෙනස් නොවේ ද ? අපට අප ගැන සැබවින්ම සතුටු විය හැකි ද ? නොහැකි නම් අප කළ යුත්තේ කුමක් ද ? ඒ ගැන සිතීම ඔබටම භාර කරමි. - සාමන්ත තැන්නගේ (Saamantha Tennege)
14August 2017
blog_shape
කුණු හරුප නොකියනු - කේළාම් වචන නොකියනු විහිළු බොරු නොකියනු - ඇනුම් පද කිසිවෙකුට නොකියනු බොරු කීම කැතමය - ගැරඬි කුණටත් නොසමය ඇත්ත නම් කදිමය - මෙලොව රජ සැපතටත් උතුමය සිරිත් මල්දම - එම්.එල්. සිල්වා ගුරු මුහන්දිරම් මැතිතුමා අප උපන් ශ්‍රී ලංකාව දිනෙන් දින මහා ප්‍රපාතයක් කරා ගමන් කරන්නේද යන ගැටළුව ලොව පුරා විසිර ගිය නමුත් උපන් රටට හිතෛශී ශ්‍රී ලාංකික ඩයස්පෝරාවට දිනෙන් දින දැනෙන්නට පටන් ගෙන ඇති බව නොරහසකි. රට පාලනය කරන තට්ටු මාරු දේශපාලකයෝ මාරුවෙන් මාරුවට බලය හමුවේ දේවධර්මය කෙලසති. දේවධර්මය යනු පවට ඇති ලජ්ජා බය ය. පව යනු සාම්ප්‍රදායික වචනයක් කියා අපට අමතක කළ හැකිය. එහෙත් සදාචාරය යන වචනය අපි කෙසේ අමතක කරමු ද ? පාලකයන්ට එක නීතියකුත්, සාමාන්‍ය ජනතාවට තවත් නීතියකුත් පවතින රටක සදාචාරයක් කොයින් ද ? පාලන බලය යනු මිනී මරන්නට, හොරකම් කරන්නට, ස්ත්‍රී දූෂණය කරන්නට, කොමිස් ගහන්නට, බොරු කියන්නට, තම සිතැඟි පරිදි මහජන දේපල භුක්ති විදීමට හෝ මහජන දේපල විකුණා දමන්නට ලැඛෙන වරප්‍රසාදයකැයි සිතන අමන රැලක් තමන්ව පාලනය කරන්නට කවුන්සලේට තෝරා පත් කර යවන්නට සැදී පහැදී සිටින ජනතාවද මෙම තත්ත්වයට වග කිව යුතු නොවේ ද ? බුදුන් වහන්සේ අම්බලට්ඨික රාහුලෝවාද සූත්‍රයේදී රාහුල තෙරනුවන්ට දේශනා කළේ බොරු කියන පුද්ගලයාට නොකළ හැකි පාපයක් නැති බවය. අද අප අත්විඳින්නේ ඇත්ත නැත්ත කරන එමෙන්ම නැත්ත ඇත්ත කරන එකම පාලකයන් පිරිසකට නැවත නැවතත් රැවටීමේ ඛේදවාචකය නොවේද ? යුද්ධයෙන් හෝ සුනාමියෙන් පාඩම් ඉගෙන නොගන්නා ජාතියකට කුණුකන්දකට, ගංවතුරකට, නායයෑමකට, නියගයකට මතු නොව ඩෙංගු මදුරුවෙකුට පාඩමක් කියා දෙන්නට හැකි වෙතැයි සිතීමද විහිළුවකි. ලාංකිකයා එතරම් අවදානයක් යොමු නොකරන විදේශගත ශ්‍රී ලාංකික ඩයස්පෝරාවේ කොටස් දෙකකි. ඉන් එක් ඩයස්පෝරාවක් කැමති ලංකාවට කෙළවෙනවාට ය. අනික කැමති ලංකාව දියුණු රටක් වෙනවා දකින්නට ය. එසේ නමුත් දිනෙන් දිනම එකී දෙවෙනි ඩයස්පෝරාවට උරුම වන්නේ අපේක්ෂාභංගත්වය ය. අනෙක් අතට රටට හිතැති විදෙස් ගත අවසාන ඩයස්පෝරාව දැන් මහළුය. ඔවුන්ට දැන් පෙර මෙන් උපන් රට වනසා සතුටු වෙන ඩයස්පෝරාව හා කරට කර සටන් කරන්නට හැකියාවක්ද නැත. ඒ නිසා නුදුරු දිනකදී දේශ හිතෛශී ශ්‍රී ලාංකික ඩයස්පෝරාව අත් හැරීම පුරුදු පුහුණු කිරීම ශ්‍රී ලංකාවෙන්ම පටන් නොගන්නවා ඇතැයි කාට නම් කිව හැකි ද ? සාමන්ත තැන්නගේ
05July 2017
blog_shape
kadapatha-quotes මහජනයා අමතා කරන හොඳ කතාවක් කාන්තාවක අඳින සායක් හා සමානය. එය කථා කරන මාතෘකාව ආවරණය වන තරමට දිගු විය යුතුය. අවධානය දිනාගැනීමට සමත් වන තරමට කෙටි විය යුතුය. - වින්සන්ට් චර්චිල් බලය ලබා ගන්නා මුලින්ම නැති කරගන්නා දෙය නම් විනය යි. - අමිත් කලන්ත්‍රි ඕස්ට්‍රේලියාවේ ජීවත් වන අපි බොහෝ දෙනෙක් දිනපතා නොවේ නම් සතිපතා හෝ ශ්‍රී ලාංකික දේශපාලන වේදිකාවේ කතාවන්ට නොයේක් මාධ්‍යන් ඔස්සේ ඇහුම් කන් දෙමු. ඇතැම් ගුවන් විදුලි මාධ්‍යයන් ඔස්සේ එම කතාවන්ට ඇහුම් කන් දෙන විට අපට බොහෝ විට ඇතිවන්නේ අපුලකි. දිනක් අප සමග මෝටර් රථයේ ගමන් ගත් සිංහල භාෂාව නොදන්නා සුදු ඕස්ට්‍රේලියානුවෙක් එකී දේශපාලන කතාබහක් ඇසී ඉමහත් වික්ෂිප්තභාවයට පත් වූයේ කතාව ගැන නොව කතා කළ විලාසය ගැන ය. එකල ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ අප ඇසූ අර්ථ පූර්ණ, භාව පූර්ණ කතාවන් දැන් අපට නෑසෙන තරම් ය. මෙකී අප්‍රසන්න භාෂා හැසිරවීම අද ලාංකීය දේශපාලකයා, කලාකාරයා, මාධ්‍යවේදියා වෘත්තීයවේදියා මතු නොව පූජකයා පවා ආක්‍රමණය කර හමාරය. කොටින්ම එකල පුද්ගලික බස් කොන්දස්තරලා කඨෝර ලෙස බස හැසිරවීමට පිළිකුළෙන් බැහැර කළ බොහෝ දෙනා වූහ. අද ඇසෙන පෙනෙන ඇතැම් මාධ්‍ය සාකච්ඡා ඇසෙද්දී අපට දැනෙන්නේ හෙළ බස ප්‍රයිවට් බස්වල වැනූ බසටත් වඩා පල්ලම් බැසගිය සොබාවයකි. විනය යනු සියළු දෙනා තුළ පැවතිය යුතු මූලික අවශ්‍යතාවයකි. විනයක් නැති එබඳු අයෙකුට පාලක හෝ නායක ඔටුන්න පැළඳවීමෙන් වන අනිටු විපාකයන්ට මුහුණ දීමට සිදු වන්නේ මුළුමහත් සමාජයකටම ය. වත්මන් ශ්‍රී ලංකාවේ ජනාධිපති, අගමැති මතු නොව ප්‍රධාන පෙළේ අමාත්‍යංශ බාර ඇමතිවරුන්ගෙන් අපට ඉගෙන ගැනීමට බොහෝ පාඩම් තිබේ. ඉන් එකක් රාෂ්ඨ පාලනය නොදන්නා අය රාෂ්ඨ පාලනය කිරීමේ ආදීනව ය. දෙවැන්න කට පාලනය කිරීමට නොදන්නා අය කතා පැවැත්වීමේ අණුවනකම ය. තෙවැන්න මේ දෙකම නොදැන කරන යහ පාලනය ය. අවසාන වශයෙන් අප තේරුම් ගත යුත්තේ අඩුතරමින් නිවැරදිව කතාවක් පැවැත්වීමටවත් ඉගෙන නොගන්නා අයෙක් මරණාධාර සමිතියකටවත් වැද්ද නොගතයුතු බව නොවේ ද ? එය එහාටත් මෙහාටත් පොදු ධර්මතාවක් නොවන්නේ ද ? සාමන්ත තැන්නගේ විසිනි
17November 2016
blog_shape
පසුගිය මාසය තුළ අපට අසන්නට දකින්නට ලැබුණු ප්‍රවෘත්ති පුදුමාකාරය. ඇතැම් ප්‍රවෘත්ති ඇත්තය. තවත් ඒවා බොරුය. ඇතැම් ඇත්ත ප්‍රවෘත්ති බොරුය. බොරු ප්‍රවෘත්ති ඇත්තය. ඇත්ත නැත්ත ඇත්තටම සොයා ගැනීමට නොහැකි අන්තර් ජංජාලයක අප සැවොම පැටළී ඇති සේය. මේ සියලූ දේවල් ගැන ලියනවාට වඩා වසර දහස් ගණනකට පෙර සංස්කෘතයෙන් ලිය වී ඇති මහා පුරාණ ග්‍රන්ථ දහ අටෙන් එකක් වන ලිංග පුරාණයේ අප ජීවත් වෙන මෙම සමය එනම් "කලියුගය" ගැන දක්වා ඇති පූර්වකථන කිහිපයක් දෙසට මෙවර කතු ඇස යොමු කරන්නට සිතුවෙමු. ඉන් කිහිපයක් මෙසේ ය. කලියුගයේදී, - හොරු රජ වෙති. රජවරු හොරු වෙති. - පාලකයෝ දේපල රාජසන්තක කරගෙන ඉතා නින්දිත ආකාරයෙන් ඒවා අවභාවිත කරති. - පාලකයෝ ජනතාව ආරක්ෂා කිරීමෙන් වැළකෙති. - තරමක් දුරට ශාස්ත්‍ර හදාල පහත් මිනිසුන් ශාන්තුවරයෝ ලෙසින් පෙනී සිටිති. - රටින් රටට ඉබාගාතේ යන සරණාගතයෝ බිහිවෙති. - මව්වරුන්ගේ ගර්භාෂ තුළදීම කළලයන් විනාස කර දමති. - මිනිසුන් අසත්‍ය මත පිළිගැනීමට වඩාත් කැමති වෙති. - කිසිවෙකුට තවත් කෙනෙක්ව විශ්වාස කිරීමට හැකියාවක් නැති වෙයි. - මිනිස්සු එකිනෙකා කෙරෙහි ඊර්ෂ්‍යා සහගත වෙති. - වෙළෙන්දෝ නොකළයුතු වංචනික වෙළදාම් කරති. - හිඟන්නෝත්, විරැකියාවෙන් පෙළෙන්නෝත් බොහෝ වෙති. - හැමෝම අසභ්‍ය අශ්ශීල වදන් දොඩති. - මිනිස්සු ධනය සෙවීමට වෙහෙසෙති. ධතවත්තු බලවත්තු වෙති. - රාජ්‍ය නායකයෝ තවදුරටත් ජනතාව නොරකිති. ඒ වෙනුවට අසාධාරණ බදු පටවා ධනය උපයා ගනිති. - ජලය හිඟ වෙයි. - කලින් පිසින ලද ක්ෂණික ආහාර බහුල වෙයි.
  • සාමන්ත තැන්නගේ
10October 2016
blog_shape
ධෛර්ය යනු පිරිසක් ඉදිරියේ නැගී සිට කතා කිරීමට කෙනෙකු තුළ තිබිය යුතු ගුණාංගයකි. එමෙන්ම කෙනෙකුට බාධා නොකර ඇහුම්කන් දීම පිණිස හිදගැනීමට අවශය වන්නේද ධෛර්යම ය ! - වින්සන්ට් චර්චිල් පොර කුකුලන් කෙටවීම සූදුවකි. ඒ නිසාම එය නීතියෙන් තහනම් ය. නමුත් එය නීතියෙන් තහනම් විය යුත්තේ එය සූදුවක් නිසාම නොව මිනිස්කමට නොගැළපෙන ක්‍රියාවක් නිසාය. අසරණ සතුන් දෙදෙනෙක් මරාගන්නා ආකාරය බලමින් ඔල්වරසන් දෙන්නෝ කවර අරුතෙන් ගත්තද ම්ලේච්ඡත්වය දොහොත් මුදුන් දී පිළිගන්නෝ වෙති. එසේ නමුත් මෙවැනි සූදු අවසානයේ දිනන්නේ ඔට්ටු අල්ලනඅයවත්, ඔල්වරසන් හඬනගන අයවත් නොව කුකුලන් කොටවන්නෝ ය. පොර කුකුලන් ගැන කීවේ දේශපාලන පොරපිටි ගැන කියන්නට ය. ඕස්ට්‍රේලියාවේ ජීවත් වන නමුත් ශ්‍රී ලාංකික සම්භවයක් ඇති බොහෝ අපි බොහෝ දෙනා දැන් නිතර නිතර අන්තර්ජාලය හරහා ලාංකීය දේශපාලකයන්, කාලාකාරයන්, විචාරකයන් අතර ඇතිවන වාදවිවාද නරඹමු. ප්‍රජා ගුවන් විදුලි නාළිකා තුළින් ඒවා අසමු. රූපවාහිනී නාළිකා තුළින් ඒවා නරඹමු. ඒත් ඒ හැම තැනකම අපට ඇසෙන්නේ ගිරිය පුප්පාගෙන කෑ ගසමින් එකිනෙකාට චෝදනා, ප්‍රතිචෝදනා එල්ල කරන අයගේ හඬය. ඒ හැරෙන්නට අපට ඒවායින් ගන්නට කිසිවක් නැත. කෙනෙක් කියන දේ අනෙකාට තේරෙන්නේ නැත. දෙදෙනාම කියන දේ අසන්නන්ටත්, නරඹන්නන්ටත් තේරෙන්නේ නැත. තියෙන තියෙන හැම නාළිකාවකම රිංගන්නට යන දේශපාලකයාටත්, අනෙක් අයටත් ඒවා බලන අයටත් අන්තිමේදී ලැඛෙන සෙතක් නැත. සෙතක් වී ඇත්තේ ජනමාධ්‍ය යැයි කියාගන්නා ආයතන වලටය. අවසානයේ උන් කරන්නේ තප්පුලන වේගරිද්මයේ මජර සංගීත රාවයක් ගුවනට මුසු කර අසන්නාටත්, නරඹන්නාටත් කොකා පෙන්නීම ය. අන්තර්ජාලයෙන් හෝ ස්මාර්ට් දුරකථනයෙන් මේ විගඩම් බල බලා කාලය කා දමන අපට හිතෙන්නේ අප දැන් ජීවත් වන්නේ මොහොතෙන් මොහොත දැනුම යාවත්කාලීන වන අතිනවීන යුගයක බවය. ඇමරිකානු ජනාධිපතිවරණයට ඉදිරිපත්ව සිටින හිලරි කිලින්ටන් සහ ඩොනල්ඩ් ට්‍රම්ප් අතර පැවත්වූ පළමු විවාවාදය නැරඹූ අය බොහෝමයක් ඇතිවාට සැක නැත. මෙම විවාදයෙන් අපට ඉගෙන ගත හැකි පාඩම් බොහෝමයකි. ඒ ඔවුන්ගේ ආර්ථීක ප්‍රතිපත්ති ගැන නොවේ. ඔවුන් ඉදිරිපත් නොකළ ආදායම් බදු වර්ථා ගැන හෝ ඔවුන් කතා කළ ඔවුන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශන ගැනද නොවේ. ඒ ඉන් එහාට යන දේවල් ය. වාදයට සහභාගී වන අපේක්ෂකයෝ නීති සහ රෙගුලාසි වලට ගරු කරති. තමන් කතා කරන කාරණා ගැන හොඳින් හදාරා සිටිති. කිවයුතු දේ කියති. නොකිවයුතු දේ නොකියති. පැහැදිලිව කතා කරති. අවේගශීලී නොවෙති. අසීරු අවස්ථාවන්හිදී පවා ඉවසීමෙන් කටයුතු කළයුතු ආකාරය ප්‍රගුණ කර ඇත. දැන් අප කළ යුත්තේ කුමක්ද ? අපට දේශපාලකයන්ව හෝ පදනමක් නැති වාදවිවාද කරන්නෝ නිවැරදි කිරීම කළ නොහැකිය. සියල්ල දන්නවා යැයි සිතන ජනමාධ්‍යවේදීහු නිවැරදි කිරීමද කළ නොහැකිය. එහෙත් මෝඩයන්ට සිය නිරූවත ලෝකයා ඉදිරියේ නිරාවරණය කිරීමට වේදිකාවන් සකසන අයව තනි තනිව හෝ ප්‍රතික්ෂේප කළ නොහැකි ද ? නරඹන්නාටත්, අසන්නාටත් ගරු නොකරන නළුවන්ගෙන් සහ අධ්‍යක්ෂකවරුන්ගෙන් අපට කවර නම් ඵලයද ? අප විශ්වාස කරන්නේ හුදු ජනප්‍රියත්වයට වඩා අනෙකාට ගෞරවය දැක්වීම අතිශයින්ම වැදගත් වන බවය.
11June 2016
blog_shape
තණකොළ පෙත්තාගේ සහ කුහුඹුවාගේ කතාව ඔබ අසා ඇතුවාට සැක නැත. වසන්ත කාලයේදී තණකොළ පෙත්තා උදේ පටන් රෑ වෙනතුරු විනෝදයෙන් කාලය ගත කළේය. වෙනත් වචන වලින් කියනවා නම් ජෝගි නැටුවේ ය. කුහුඹුවා කළේ වසන්තයේ මිහිරියාව විඳගන්නා අතරම ඉදිරියේදී ඇති වන වැසි සමයේදී මුහුණ දෙන්නට වන දුෂ්කර කාලය ගත කිරීමට අවශය කටයුතු සම්පාදනය කිරීමය. ඒ අනුව කූඹියා ගුල ප්‍රතිසංස්කරණය කර ආහාර ගබඩා කළේ ය. තණකොළ පෙත්තා කූඹියාට ඔච්චම් කළේ "මූද හත් ගව්වක් තියා අඹුඩේ ගහනවා" කියමිනි. වැසි සමය එළැඹිණ. ගුළ තුළට වැදි කූඹියා සිය ගත සිත දෙක උණුසුම්ව තබා ගත්තේය. තණකොළපෙත්තාට තරු පෙනෙන්නට පටන් ගත්තේ ය. ඉන්ට හිටින්නට තැනක් තබා කන්ට බොන්නටවත් නැතිව තණකොළපෙත්තාට මහත් දුකක් විඳින්නට සිදුවිය. අවසානායේ කුහුඹුවා තණකොළපෙත්තාටත් උදව් කළේ ය. ලෝකයේ රටවල් 172 ක් අතුරින් ස්වභාවික විපත් අවදානම් දර්ශකයේ ඉහළින්ම සිටින්නේ වනවාටු රාජ්‍යයයි. මෙම දර්ශකයට අනුව අගය වැඩිවන විට අවදානමද වැඩිවන්නේ ය. ඒ අනුව වනවාටුව 172 වෙනි තැන ගන්නා විට ශ්‍රී ලංකාවේ දර්ශක අගය 113 ය. වෙනත් වචනවලින් කියනවා නම් ලෝකයේ රටවල් 172 ක් අතුරින් වනවාටුව ස්වභාවික විපතක් අත්වීමේ පළමු තැන ගන්නා විට ලංකාව 59 වැනි තැන ගනී. ජපානය 14 ය. අපේ මවුබිමේ තත්ත්වය එතරම්ම සුබවාදී නොවන බව මින් ගම්‍ය නොවේ ද ? අපේ පාලකයන්ටත්, ජනතාවටත් මේවා නොපෙනේ ද ? ජපානය තරම් ස්වභාවික ව්‍යසනයකට පෙර සූදානමක් ඇති තවත් රටක් මිහිපිට නැති බව කියවේ. එසේ වුවද 2011 මාර්තු 11 වෙනිදින ඇතිවූ සුනාමිය නිසා ෆුකුෂිමා නි්‍යෂ්ඨික බලාගාරය බේරා ගැනීමට ඔවුන්ට නොහැකි විය. එසේ වූ නමුත් පෙර සූදානමක් නොතිබුණා නම් සහ ස්වභාවික ආපදාවක් විධිමත්ව කලමණාකරණය කර ගන්නා අයුරු නොදැන සිටියානම් ජපානය අදටත් සුනාමියට දොස් තබමින් ඉන්නට ඉඩ තිබුණි. සූදානම හා ආපදා කළමණාකරය නිසා වසරක් ගතවන්නට පෙර ජපන්නු පෙරටත් වඩා සවිමත්ව නැගී සිටියහ. + + + + ජූනි 5 වෙනිදා ලෝක පරිසර දිනය යි. පරිසර දින ඇත්තේ අවුරුද්දටම එකකි. ඒද සමරා පසුව වමාරන්නට නොවේ. තේරුම් ගැනීමටය. පරිසරය යනු අවසානයේ මුළු මහත් අහසත්, මේ මහා පොළවත් දෙක ය. අහස පොළව නොදත්, කද බඩ ගැන දත් පිරිසට අහස පොළව උරණ වූ කල්හි වතුර බෝතල් හෝ කෙසෙල් ඛෙද ඛෙදා ඉන්නවාට වඩා කරන්නට ඇති අන් දෙයක් නැත. ඉදිරි දැක්මක් ඇති සැලැස්මක් නැති වීම සොබාවික ව්‍යසනයකටත් වඩා විශාල ව්‍යසනයකි - විපතකි.
10April 2016
blog_shape
තවත් භාෂාවක් ඉගෙන ගැනීම යනු එකම දේවල් හඳුන්වාදෙන විවිධ පද ඉගෙන ගැනීම නොව, විවිධ දේ ගැන තවත් ආකාරයකින් සිතන්නට ඉගෙන ගැනීමය. - ෆ්ලෝරා ලූවිස් සිංහල - හින්දු නොහොත් සිංහල - දෙමළ අලූත් අවුරුද්ද අත ළඟටම පැමිණ ඇත. මේ සිංහලයාගේ සූර්යය මංල්‍යය ය බව පිරිසක් කියති. තවත් අය පවසන්නේ මෙය සිංහල බෞද්ධයාට නොගැලපෙන බව ය. කවර නම් ගත්තද, කාට නොගැලපුනද අනාදිමත් කාලයක පටන් පැවතෙන මේ උත්සව සමය නිවර්තන කලාපීය රටවල ගහ කොළ මල් පුබුදුව, සතා සීපාවා පවා ප්‍රීතියෙන් ඇළලී, මංගල සිරියෙන් අසිරිමත් වන කාලයක් බව නොකිව මනා ය. මෙකී සූර්යය මංගල්‍යය රාජකාරිය, ක්‍රීඩාව සහ සිරිත් විරිත් එකම මේසයක් මත දිගහැරෙන අපූර්ව අවස්ථාවෙකි. ඒ කෙසේ ද ? ලොව උපන් හැම දෙනාටම නියමිත වූ යම්කිසි නියමිත රාජකාරියක් ඇත්තේ ය. එය මනාව ඉටු කිරීම අපගේ වගකීමකි. එසේ නමුදු කිසියම් කෙනෙක් රාජකාරියට පමණක්ම සිය කාලය වැය කළහොත්, පිරිහෙන්නේ ඒ ඒ අයගේම ශරීර සෞඛ්‍යය ය. එබැවින් ක්‍රීඩාවද අත්‍යාවශයම වන්නේ ය. හොඳින් විමසා බැලු විට අද අප නිරත රාජකාරිය සේම ක්‍රීඩාවන්ද ලඝුව ඇත්තේ ඉතා කුඩා වපසරියකට ය. ඒ මුදල් සෙවීමත්, ස්වාර්ථාභිලාශයන් සාක්ෂාත් කරගන්නටත් ය. මෙකී දිශාවන් අතර දෝලනය වන අපට අමතකව යන දේ බොහෝ ය. සිරිත් විරිත් ඒ අතර මුල් තැනක් ගන්නේ ය. සිරිත් යනු කළ යුතු දෑ ය. විරිත් යනු නොකළ යුතු දෑ ය. අපි කළ යුතු දෑ කළ යුතු වෙමු. නොකළ යුතු දෑ නොකළ යුතු වෙමු. එහෙත්, සියල්ල වාණිජකරණය වූ අද දවසේ අපි නොකළ යුතු දෑ කරමු. කළ යුතු දෑ නොකරමු. කුටුම්බ වටා විඳ ගැනීමට තිබුණු අවුරුදු උත්සව අද වන විට තවත් එක් මෙඝා උත්සවයක් බවට පත්ව ඇත. අද ඒවා කෙරෙන්නේ රූපවාහිනියටත්, ගුවන්විදුලියටත් අවශ්‍ය ආකාරයෙනි. අභ්‍යන්තරය ඔප නැංවූ සූර්යය මංගල්‍යය බාහිර ඔපය විසින් එසේ ගිලගත් කල්හි ලොකුම හානිය වන්නේ අනාගත පරපුරට ය. අපේ අනාගත පරපුර කඹ ඇදීම, සංගීත සංදර්ශන හෝ මත්පැන් පානය සිංහල අවුරුදු උත්සව ලෙස වරදවා වටහා ගතහොත් අපි පුදුම විය යුතු නොවෙමු. සිරිත් විරිත් ගිලිහී ගිය කල්හි භාෂාව ද වෙනස්ව යන්නේ එපරිද්දෙනි. සිරිත් විරිත් තිබුණා නම්, සිංහල - දෙමළ - මුස්ලිම්, බෞද්ධ - හින්දු - ඉස්ලාම් - කතෝලික අවුරුදු මංගල්‍යයකද උදා වීම පවා අරුමයක් නොවන්නේම ය.
10February 2016
blog_shape
අප බුද්ධිමතුන් වන්නේ යට ගිය මතක අනුස්මරණය කිරීමෙන් නොව අනාගතය පිළිබඳව අපට ඇති වගකීම තේරුම් ගැනීමෙනි. - ජෝර්ජ් බර්නාඩ් ෂෝ එක්තරා විහිළු කතාවකට අනුව නොයේක් රටවලින් අපායට පැමිණෙන අය සඳහා වෙන් වූ වලවල් තිබේ. මේ වලවල් ආරක්ෂා කිරීමට යමපල්ලන් මුරට සිටියද අපේ රටෙන් පැමිණි අයට අයත් වලේ කිසිම යමපල්ලෙක් මුරට සිට නැත. ඊට හේතුව වී ඇත්තේ කිසියම් කෙනෙක් වලෙන් ගොඩට ඒමට යත්න දරන්නේ නම් වලේ සිටින අන් හැම එකතු වී ඔහුව නැවතත් ඒ වලටම ඇද ගැනීමය. මෙම කතාව අසා අපි සිනාසෙමු. එහෙත් අපි මේ සිනාසෙන්නේ අපටම නොවේ ද ? අප උපන් ශ්‍රී ලංකාවට නිදහස ලැබී වසර හැට අටක් ගෙවී යන මේ අවස්ථාවේ අපි ඉහත කතාවේ ඇතුළාන්තය ගැන මදක් සිත යොමු කරන්නට සිතුවෙමු. වසර හැට අටක් යනු එක් අතකින් දීර්ඝ කාලයකි. රටකට නම් කිහිපවරක් දියුණුවේ හිනි පෙත්තටම නැගීමට ඒ කාලය ප්‍රමාණවත්ය. අනෙක් අතින් එය ඉතා කෙටි කාලයකි. මක්නිසාද යත් අපේ රටවල් හදන්නට එන අයට අවුරුදු හැට හැත්තෑව පිරුණද කළ සේවයෙන් සෑහීමට පත් වූ බවක් පෙනෙන්නට නැති වීමය. ඊළඟට අපට වැදගත් වන්නේ දියුණුව යනු කුමක්ද යන කාරණය තේරුම් ගැනීමය. නවීන සහ ක්‍රමවත් මංමාවත්, මල්වතු, කෙත්වතු, කම්හල් යනාදිය ඉදිවේ නම් එවැනි තැනක බාහිර දියුණුවක් ඇත. විනීතව මංමාවත් වල ගමන් කිරීමට, රිය පැදවීමට, ගහ කොළ සතා සීපාවා, කෙත්වතු, මල්වතු, කම්හල් ආරක්ෂා කරගැනීමට, අන්‍ය ජාතීන්ට, ආගමිකයන්ට ගරු කළ හැකි තැනක ඇත්තේ අභ්‍යන්තර දියුණුව ය. නමුත් නිදහස ලැබී ගතවුනු හැට අට වසර තුළ අපට බාහිරවත්, අභ්‍යන්තරවත් ලබා ඇති දියුණුව ගැන සතුටු විය හැකි ද ? පසුගිය හැට අට වසර පුරාවටම ලංකාවේ සිටියත්, ලංකාවෙන් පිට සිටියත් අපායේ යමපල්ලාගේ රාජකාරියෙන් එහාට යමක් කර ඇත්නම් ඒ අපේ අයගෙන් ඉතාම අතලොස්සක් නොවේ ද ? දැන්වත් අපි අපේ වගකීම් නිවැරදිව තේරුම් ගත යුතු නොවෙමු ද ? මෙතෙක් කලක් අප කර ඇත්තේ අපේම වැරදි හදාගැනීම පසෙක ලා අන් අයගේ වැරදි හොය හොයා ළතවෙන්නටත්, වැඩක් කරන අයෙකු වේ නම් උගේ කකුලෙන් ඇදීමටත් කාලය මිඩංගු කිරීම නොවේ ද ? මහා ජලාශයක් වුවද පිරී ඇත්තේ පුංචි පුංචි ජල බිඳු රාශියක එකතුවෙනි. තනි තනිව ගත් කළ අප මහා ජලාශ බවට පත් විය යුතුම නොවේ. එකම එක පිරිසිදු එක් දිය බිඳක් වන්නට හැකිනම් එය අපට මේ මහා ජලාශයට කළ හැකි උසස්ම සේවය නොවේ ද ? එය ඔබේත්, මගේත් වගකීමකි. වගකීම් ඉටුකරන තැන පෙරළා යම් දෙයක් අපි දායාද වශයෙන් ද ලබමු. ඒ නිදහසයි. ඇඟට පතට නැතත් හිතට දැනෙන නිදහස ද ගෙන එන්නේ අපමණ සතුටකි - එමෙන්ම ආශ්වාදයකි.
12January 2016
blog_shape
දියමත ඇවිදීම හාස්කමක් බව මිනිස්සු කියති. එහෙත් මා සිතන්නේ කෙනෙකුට සමකාමීව මේ මිහිමත ඇවිදයාමට ඇති හැකියාව ඊටත් වඩා සැබෑ හාස්කමක් බවය...... - පූජ්‍ය තිච් නෑන් හෑන් වසරක් ගෙවී නව වසරක් එළැඹෙන මේ මොහොතේ අප බොහෝ දෙනා පසුවන්නේ වෙනදාට වඩා උද්‍යෝගයෙනි. නැවුම් අදහස් වලින් අප කාගේත් සිත් සතන් පිරී ඇතුවාට සැක නැත. අතපසු වූ වැඩකටයුතු නොපමාව අවසන් කිරීමටත් අලූත් අලූත් වැඩකටයුතු වලට අත ගැසීමටත් මෙය ඉතා සුදුසුම කාලයකි. අලූතින් නොසිතා පුද්ගලයෙකුට මතු නොව සමාජයකට පවා ඉදිරියට යන්නට ඇති ඉඩකඩ සීමිත ය. එහෙත් අප අතරින් කී දෙනෙකු නම් අලූත් දෙයක් සිතන්නේ ද ? අලූත් වැඩකට අත ගසන්නේ ද ? අවාසනාවකට මෙන් අප අද අහන දකින අලූතින් යමක් කරනවා යැයි පාරම්බාන අය වචන පුණරුච්චාරණය කරනවාට වඩා යමක් නොකරති. ඔවුහු කරන්නේ තවත් කවුරු හෝ සාර්ථක ලෙස කරගෙන යන යමක් මතුපිටින් පමණක් අත ගා අනුකරණය කිරීම ය. අනෙක් අතට නැවත නැවත ප්‍රචාරය කිරීමෙන් අසත්‍ය පවා සත්‍ය ලෙස සමාජගත වන බව අපි බොහෝ දෙනා දනිමු. ඒ නිසාම ඊනියා ප්‍රචාරය නැමති එකී උගුලට දැනුවත් හෝ නොදැනුවත්ව ඔබත් මමත් අසු වෙමු. අවසානයේ සිදුවන්නේ සියල්ලම විපරිත වීමය. එකල්හි මුතු මැණික් දිය යටට ගොස් ගොම රිටි දිය මත පාවෙන්නට පටන් ගන්නේ ය. කවර ක්ෂේත්‍රයක වුවද බොහෝ විට අප අද ඔල්වරසන් නගන්නේත්ල අත්පොළසන්දෙන්නේත් එකී ගොමරිටි වලට නොව් ද ? මෙකී උගුලෙන් ගැලවෙන්නට ඉහත දැක් වූ පූජ්‍ය තිච් නැන් හැන්ගේ කියමන මදක් විමසා බලන්න. හැම දෙනාම මිහි මත ඇවිද යති. ඒ නිසාම කිසිවෙකුට එහි විශේෂත්වයක් නොපෙනේ. නමුත් කවරෙකු හෝ දිය මත ඇවිද ගියේ නම් අපි මහත් ප්‍රාතිහාර්යයක් වූවා මෙන් එදෙස බලා සිටිමු. නමුත් අද අප මේ මිහි මත ඇවිද යන්නේ කෙබඳු ආකාරයකින් ද ? අපේ සිත්තුළ ඇත්තේ කෙබඳු සිතිවිලිද ? ඒ ගැන සිතන විට සාමය, මෛත්‍රීය, කරුණාව, දයාව, උපේක්ෂාව, සමාවදීම යන සිතිවිලි දරාගෙන මිහි මත කෙනෙක් ඇවිද යා නම් එයම අද දවසේ සැබෑ ප්‍රාතිහාර්යයක් නොවන්නේ ද ? සාමාන්‍ය දෙයක් දෙස උන්වහන්සේ අලූත් ඇසකින් බලා ඇති ආකාරය කෙතරම් අගනේ ද ? සාමාන්‍යයෙන් අසාමාන්‍ය දේ ගැන විමසිලිමත් වන ඔබටත්ල අපටත් සාමාන්‍ය දේ තුළ සැඟව ඇති අසාමාන්‍යත්වය ගැන අලූතින් සිතන්නට හැකි සුබ නව වසරක් වේවායි ප්‍රාර්ථනා කරමු !
06December 2015
blog_shape
සාමය සාක්ෂාත් කර ගත හැක්කේ තේරුම් ගැනීමෙනි. බලහත්කාරයෙන් නොවේ. - ඇල්බර්ට් අයින්ස්ටයින් ජේසුතුමා මෙසේ කීහ. "මම ඔබලාට අලූත් අණක් පණවමි. අසල්වැසියාට ප්‍රේමකරන්න. මා ඔබට ප්‍රේම කළේ යම්සේද ඔබද එසේම අනෙකාට ප්‍රේම කළ යුත්තේ ය." කුරාණයේ මෙබඳු කියමනක් ඇත්තේ ය. "අනෙකුත් ප්‍රාණීන්ට අනුකම්පා නොකරන අයෙකුට අල්ලාද අනුකම්පා නොකරන්නේ ය." භගවත් ගීතාවේ මෙසේ දැක්වේ. "පාලනය නොකළ මනස (ඔබේ) සතුරෙකු මෙන් (ඔබට එරෙහිව) ක්‍රියාත්මක වන්නේය." බුදුහු මෙසේ කීහ "වෛරයෙන් වෛරය නොසන්සිඳේ. අවෛරයෙන්ම වෛරය සංසිඳේ." මේ ලෝකයේ අපට හමුවන අතිශය සුන්දරම වදන් ඇත්තේ කවර හෝ ආගමික ලියවිල්ලක් තුළය. එමෙන්ම අද ලෝකයේ සිදුවන තරමක් අතිශය භයානකම ක්‍රියාවන් කෙරෙන්නේද අන්තවාදී අනුගාමිකයෝ අතිනි. එය බෞද්ධ, හිංදු, ක්‍රිස්තියානි හෝ මුස්ලිම් කියා වෙනසක් නැත. මිනිස් සංහතියේ යහපත, සුගතිය පිණිස බිහි වූ ආගම් සහ දර්ශනයන් නිසා අද මිනිස් සංහතිය කොතරම් ඛෙදා වෙන් වී ඇත්දැයි මදක් කල්පනා කර බලන්න. මෙය ආගම් ශාස්තෘවරයන් විසින් කිසිසේත්ම බලාපොරොත්තු වූ දෙයක් නොවන බවද පැහැදිලිය. ආගම් හතරකින් කළ ඉහත උපුටාගැනීම් ගැන ඒවා එකී ආගම් වලින් වෙන්කර මදක් කල්පනා කර බලන්න. ඒවා එකක් අනෙක හා බැඳී වෙලී පැටලී ඇත්තේ ය. ඒ කිසිදු කියමනක් එක් ආගමකට හෝ දර්ශනයකට තනිවම අයත් බූදලයක් නොවේ. යහපත් දේ කොහෙන් ආවත්, කොහේ තිබ්බත් ඒවා ලෝ වැසි අප සියල්ලන්ටම පොදු දේපළකි. පොදු දේපළ ආරක්ෂා කිරීම පොදු ජනතාවගේ වගකීමකි. කොටිවලිගයක් මෙන් නොගැලපෙන සහ එකග විය නොහැකි තැන් අල්ලා ගෙන වචන නැමති හිරගෙයක කොටුව දුක් විඳින්නට අවශයතාවයක් ඇත්තේ කාට ද ? එහෙත් අප බහුතරයක් විහින්ම එකී සිරදඩුවම් විඳිමු. මේ ඉන් මිඳීමට කාලය නොවේද ? ලෝකය ඛෙදී වෙන් කරනවාට වඩා එකට එක් කිරීමේ වගකීම අප සියළු දෙනාටම ඇත. එය අනෙකාට පවරා, කර ඇරීම කොතරම් සදාචාරාත්මක ද ? ඒ නිසා අපි සියලූ දෙනාම එකාවන්ව අනෙකාට වෛර නොකරමු. මනස් පාලනය කර ගනිමු. සියලූ ප්‍රාණීන්ට අනුකම්පා කරමු. එමෙන්ම අසල් වැසියාට ප්‍රේම කරමු. ඔබ සැමට සුභ නත්තලක් වේවා ! සාමන්ත තැන්නගේ විසිනි (by Saamantha Tennege)
shape
Copyright © Kadapatha 2018. All rights reserved. Solution by saamArt