seprator

මුරලිගේ අයිතිය සහ සදාචාරය

seprator
19August 2016
blog_shape
සාමන්ත තැන්නගේ විසිනි (by Saamantha Tennege) ඕස්ට්‍රේලියාවේ ක්‍රීඩා වංශකතාව තුළ ඉහළින්ම රැදී ඇති නම ඩොන් බ්‍රැඩ්මන්ය. ඩොන් බ්‍රැඩ්මන් යනු මෙතෙක් කාලයකට ලොව පහළ වූ හොදම පිතිකරුවා බව විවාදයෙන් තොරය. ඔහු එතරම්ම දක්ෂ පිතිකරුවෙකු වූයේ නිකම්ම නොව ඔහුගේ අප්‍රතිහත ධෛර්යය නිසාය. ඩොන් පිතිකරණය පුරුදු වූයේ විකට් පොල්ලකින් ගොල්ෆ් බෝලයකට පහර දීමෙනි. ටෙස්ට් තරඟ 52 කදී ලකුණු 6696 ක් රැස්කළ ඔහුගේ පිතිකරණයේ සාමාන්‍ය 99.94 කි. එදා මෙදා තුර බ්‍රැඩ්මන්ගේ පිතිකරණයේ සාමාන්‍ය අසලකටවත් ඒමට වෙනත් කිසිම පිතිකරුවෙකු සමත් වී නැත. ඩොන් බ්‍රැඩ්මන් ඕස්ට්‍රේලියාවටත්, ඕස්ට්‍රේලියානුවන්ටත් කළ සේවය හුදු පිතිකරණයේ සීමාවෙන් එහාට ගිය එකක් බව දන්නා අය අතලොස්සකි. 1930 ගණන් යනු ඕස්ට්‍රේලියාව ඉතා උග්‍ර ආර්ථීක අවපාතයකට ලක්ව පීඩාවිඳි යුගයකි. විරැකියාව, දුප්පත්කම හා උද්ධමනයෙන් ඕස්ට්‍රේලියානුවන් බැට කෑ ඒ යුගයේ ක්‍රීඩාවේ ප්‍රතිමුර්තිය බවට පත්වෙමින් බ්‍රැඩ්මන් ජනතාව පෙළුනු අසහනය මොහොතකට හෝ වෙනතකට හරවා ඔවුන්ට මදකට සතුටු වන්නට අවස්ථාවක් සලසා දුන්නේ ය. ලාංකිකයා එක්දාස් නවසිය අනූව දශකයට පය තැබුවේ දෙකොණ විලක්කුවකින් බැට කමිනි. එක් අතෙකින් දකුණේ මිනිස් ඝාතන රැල්ල අවසන් වූවා පමණි. අනෙක් අතින් තවදුරටත් උතුරේ යුද්ධය හිඟන්නාගේ තුවාළයක්ව පැවතුණි. පෙනෙනතෙක් මානයකවත් බහුතර ලාංකීය ජනතාවගේ අභ්‍යන්තර හා බාහිර ගැටලූ විසෙඳන සේයාවකුදු නොවීය. යුද්ධයෙන් බැට කෑ ජනතාවගේ ඔද්දල් වූ සිත් තුළට ජොතිශ්‍යකාරයෝත්, බණකාරයෝත්, බයිලාකාරයෝත් ඈ එකී මෙකී නොකී විජ්ජාකාරායෝ කුරුමාණම් අල්ලමින් සිටියහ. දකින්නට හරිහමන් සිහිනයකුදු නොවූ එකල ජනතාවගේ දැවෙන මනස මදකට හෝ නිවා සනසන්නට සමත් වූයේ හැමදාම පැරදෙමින් සිටි ශ්‍රී ලාංකික ක්‍රිකට් කණ්ඩායම ජයග්‍රහණයන්ගේ පහස ලබන්නට වීමත් සමගය. එසේ ඇරඹි ජයග්‍රාහී ශ්‍රී ලංකා ක්‍රිකට් වංශකතාව තුළ ඕස්ට්‍රේලියාවේ ඩොන් බ්‍රැඩ්මන් බඳු ලෝක පූජිත ක්‍රීඩා ප්‍රතිමුර්තියක් බිහිවූවා නම් ඒ මුත්තයියා මුරලිදරන් නොවේ ද ? විකට් පොල්ලකින් ගොල්ෆ් බෝලයට පහර දී පුහුණු වූ බ්‍රැඩ්මන්ට පිත්තකින් ලෙදර් බෝලයකට පහරදීම කජු කනවා මෙන් වන්නට ඇත. ඔහුගේ පිතිකරණයට හා සමතැන්ගන්නට තවත් වසර සීයක් ගත වුවද වෙනත් අයෙකුට හැකියාවක් ලැඛෙතැයි සිතීම අසීරුය. විකට්ටුවක් මත වීදුරුවක් තබා, ඒ වීදුරුවේ දාරය මත කාසියක් තබා, වීදුරුව නොවැටී හරියටම එම කාසිය පමණක් වැටෙන පරිදි පන්දු යැවිය හැකි අයෙක් සිටියා නම් ඒ මුත්තයියා මුරලිදරන් ය. ඔහු අතට පෙර දෙනෙතින් පිතිකරු මෙල්ල කරයි - මුලාකරයි. ඔහුට විදාගත් දෙනෙතින්ල සිතාගත් ඉලක්කයටල දෑස පියාගෙන වුවද පන්දු යැවිය හැකිය. ලෝක ක්‍රිකට් වංශකතාවේ පිතිකරුවෙකුට හිමිකරගත හැකි උසස්ම සම්මානය හිමිවන්නේ ඩොන් බ්‍රැඩ්මන්ටම ය. පන්දු යවන්නන් අතරින් ඒ සම්මානය හිමිවන්නේ මුරලිටම ය. බ්‍රැඩ්මන්ව හා මුරලිව සසඳා බලන්නට අපට සිතුණේ කරුණු දෙකක් නිසාවෙනි. ඉන් පළමුවැන්න නම් 2016 ජූලි මස ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වෙමින් සිටින ඕස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායමේ දඟ පන්දු යවන්නන් පුහුණු කිරීමට දින දහයක කොන්ත්‍රාත්තුවක් අත්සන් කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති කළ ප්‍රකාශ නිසාය. දෙවෙනි කාරණය වන්නේ 1996 පටන් මුරලිට එරෙහිව ඕස්ට්‍රේලියානු ක්‍රිකට් විනිසුරුවන්ගෙන් එල්ල වූ කෙණෙහෙලිකම්ය. මුලින්ම අපි දෙවෙනි කාරණය ගනිමු. 1996 මුරලිට එරෙහිව චෝදනා එල්ල කරන විට ඕස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායම කෙරෙහි ඇතිකරගත් බද්ධ වෛරය මෑතක් වන තෙක්ම අප තුළද පැවතුණු බව බොරුවක් නොවේ. ඕස්ට්‍රේලියාවේ ජීවත් වන ශ්‍රී ලාංකිකයෝ බොහෝ දෙනා අදටත් ඕස්ට්‍රේලියානු පිළට එම කාරණය නිසාම වෛර කරති. 1975 පැවති ලෝක කුසලානයේදී ඕස්ට්‍රේලියාව ශ්‍රී ලංකාව අතින් පරාජය නොවී බේරුණේ කායික අඩන්තේට්ටම් වලිනි. 1996 වන විට පන්දුවෙන් හානිකර තරඟ දිනන්නට හැකියාවක් නොතිබුණි. එසේ නම් කළ යුතුව තිබුණේ මානසික අඩම්තේට්ටම්ය. මුරලිට එරෙහි චෝදනා එම නාටකයේම කොටසක් වන්නට ඇත. එදා මුරලිට වෙනුවෙන් සටන් පෙරමුණේ ඉදිරියෙන්ම සිටියේ එවකට ක්‍රිකට් නායක අර්ජුන රණතුංගය. එදා පිටිය තුළත්, ඉන් පිටතත් අර්ජුන සිය නායකත්වය මැනවින් විදහා පෙන්විය. 1996 වන විට ලංකාවේ කුඩාදරුවාගේ පටන් ගමේ අත්තම්මා දක්වා සියල්ලෝම ක්‍රිකට් උන්මාදයෙන් පෙළුණහ. ලංකාවේදී අප සිතුවේ ඕස්ට්‍රේලියාවේ තත්ත්වයත් එබඳු බවය. ක්‍රිකට් යනු ඕස්ට්‍රේලියාවේ ජනප්‍රියම ක්‍රීඩාව නොවන බව තේරුම් ගැනීමට අපට මේ රටට එන්නටම විය. එමෙන්ම මේ රටේ ෆුටී, රගර්, ටෙනිස්, පාපන්දු හෝ ක්‍රිකට් යනාදී ක්‍රීඩාවන්ට සහාය දක්වන වෙන වෙනම පිරිස් සිටීමෙන් සමස්ථයක් වශයෙන් සියලූම ක්‍රීඩා උසස් තත්ත්වයක පැවතීමට හේතුවන බව අපේ අදහසය. ඕස්ට්‍රේලියාව හා ඉන්දියාව හෝ ශ්‍රී ලංකාව අතර ඕස්ට්‍රේලියාවේ ක්‍රිකට් තරඟයක් පැවතුණොත් මෙහි පුරවැසිබව ලබා සිටින ඉන්දියානුවොත්, ශ්‍රී ලාංකිකයෝත් ඔල්වරසන් හඬ නඟන්නේ ඕස්ට්‍රේලියාවට එරෙහිවය. ඕස්ට්‍රේලියාව හා නවසීලන්තය අතර රගර් තරඟයක් පවතින විට මෙහි සිටින නවසීලන්ත සම්භවයක් ඇති අය ඔල්වරසන් හඬ නගන්නේද ඕස්ට්‍රේලියාවට එරෙහිවය. ඕස්ට්‍රේලියාව හා ඉතාලිය අතර පාපන්දු තරඟයක් පවතින විට මෙහි සිටින ඉතාලි සම්භවයක් ඇති අය ඔල්වරසන් හඬ නඟන්නේද ඕස්ට්‍රේලියාවට එරෙහිවය. කවුරු ආවත් ගියත්, කාට කෑ ගැසුවත් ඕස්ට්‍රේලියාවේ ක්‍රීඩා කලමනාකරණය වැටෙන්නේ නැත. වැටුණත් ඔවුහු වහා ගොඩ එනවා නොවේ ද ? මෙවැනි තත්ත්වයක් ලංකාවේ තිබුණා නම්, අපට මොනවා වෙයිද ? අපි මොනවා නොකියයිද ? අපි මොනවා නොකරයි ද ? [caption id="attachment_1411" align="alignnone" width="776"]Murali by Saamantha Tennege Murali by Saamantha Tennege[/caption] 1996දී ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරු වූයේ ඩේව් වට්මෝර් ය. භෞත චිකිත්සක ඕස්ටේලියානු ජාතික ඇලෙක්ස් කොන්ටෝරිය. කිසිම ඕස්ට්‍රේලියානුවෙක් ඔවුන් කළ රැකියාවේ සදාචාරය ගැන විමසුවාද ? ලංකාව ලැජ්ජා විය යුත්තේ අදටත් අපේ අම්මලා ආරාබියට පටවා ගෙදර වියදම හොයා ගන්නා නිසා මිස ජාත්‍යන්තර තළයේ ක්‍රීඩා පුහුණුකරුවන් බිහිවීම නිසාද ? හතුරුසිංහ, වාස්, මහේල වැනි අයගේ උපදෙස් වෙනත් රටක් හෝ ලබාගන්නවා නම් එහි ඇත්තේ කවර වරදද ? එක්තරා ඇමතියෙක් තමන්ගේ අමාත්‍යාංශයට රැකියා නැති මිනිසුන් අර්ධ ශතකයක් උපදේශකවරු තනතුරු දී බදවා ගත්තා සේ රට වෙනුවෙන් ක්‍රීඩා කළ සියල්ලටම ශ්‍රී ලංකා කි්‍රකට් ආයතනයේ රස්සා දීමට හැකියාවක් නැත. නූගත්කමින් දෙන උපදෙස් වලට වඩා උගත් දෙයින් උපදෙස්දීම තරම් ආශ්වාදයක් තවත් කොයින් ද ? අපට සුද්දාගෙන් ඉගෙන ගත හැකි නම් සුද්දා අපෙන් ඉගෙන ගැනීම නොහොත් අපි සුද්දාට ඉගැන්වීම වරදක් වන්නේ කෙසේද ? ඔවුන් අපේ අයට ඔවුන්ට උගන්වන්නට ආරාධනා කිරීම අපට කරන ගෞරවයකි. එමෙන්ම එය අපට ආඩම්බරයකි. ගෞරවය හා ආඩම්බරය අප විඳගතයුත්තේ මධ්‍යස්ථව මිස හැඟීම් වලට වහල්වීමෙන් නොවේ. ඕස්ට්‍රේලියාවේ ජනගහනය ආසන්න වශයෙන් තවමත් ලංකාවේ ජනගහනයට සමානය. 2012 ඔලිම්පික් වල ඕස්ට්‍රේලියාව අට වෙනි තැන ගන්නා විට ලංකාව අන්තිම අඩියේය. මීට හේතුව ඕස්ට්‍රේලියාව ධනවත් රටක් වීමම ද ? ඔවුන්ගේ නිවැරදි දැක්මක් සහිත කලමණාකාරිත්වය ද ? ක්‍රිකට් මුල් පුටුවට ඒමට වලිකන ඕස්ට්‍රේලියානුවන්ව අපි දැක නැත්තෙමු. එබඳු ලාංකිකයෝ නම් ඇති තරම් දැක ඇත. ඕස්ට්‍රේලියාවේ සභාපතිලාට ඇත්තේ අභිමානය ය. ලංකාවේ සභාපතිලාට නැත්තේ ලැජ්ජාව ය. ඕස්ට්‍රේලියානුවා මුරලිගෙන් දඟපන්දු යවන්නට ඉගෙන ගත් පමණින් ලංකාවේ සභාපතිගෙන් සභාපතිකම් කරන හැටි ඉගෙන ගන්න සිහිනෙන්වත් සිතනු ඇත්ද ? ජනතාව අතින් ප්‍රතික්ෂේපව පැරදුනද, පරාජය බාර නොගෙන යළි පස්සා දොරින් කරලියට පිවිසෙන්නට තරම් ලැජ්ජාවක් නැති අය මුරලිගේ සදාචාරය ගැන කතාකිරීම පවා ලැජ්ජාවක් නැතිවීම රටේම අභාග්‍යක් නොවේ ද ? පැරදුණේ නැතත් ලැජ්ජාවක් නැති අය හා තරඟ කිරීමෙන් වැළකී 1996 ලෝක කුසලානය දිනාගැනීමට මූලික අඩිතාලම දැමූ ආනා පුංචිහේවාගේ සේවය අහිමිවීමද කුදුමහත් රටකම අභාග්‍යක් නොවේ ද ? මට වැරදුණේ ඕස්ට්‍රේලියාවේ පදිංචියට පැමිණ බොහෝ කාලයක් යනතුරුත් ඕස්ට්‍රේලියානු ක්‍රිකට් පිළට මාද වෛර කිරීමය. මා දන්නා තරමට ඕස්ට්‍රේලියානු ජාතික විනිශ්චයකරුවන් හැරුණු කොට ප්‍රසිද්ධියේ මුරලිට එරෙහි වූ අයෙක් වූවා නම් ඒ හිටපු ඕස්ට්‍රේලියානු අගමැති ජෝර්න් හොවාඩ් පමණය. වෙනත් කිසිදු ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයෙක් මුරලිට එරෙහිව ගිය බවක් මම නොදනිමි. ශේන් වෝන් පවා කීවේ මුරලිගේම මානසික සහනය පිණිස ඔහුගේ පන්දු යැවීම පරික්ෂාවට ලක් කිරීම හොඳ බවය. මුරලිගේ පන්දු යැවීම නීතියානුකූල බව මුලින්ම සහතික කරනු ලැබුවේද ඕස්ට්‍රේලියාවේ පර්ත් නුවර පැවති පරීක්ෂණයකිනි. 2004 ඔහුගේ පන්දු යැවීම නිවැරදි බවට තහවුරු කළ අය අතර ඕස්ට්‍රේලියාවේ හිටපු ක්‍රිකට් ක්‍රීඩක මයිකල් ස්ලෙටර්ද විය. ඒ විතරක්ද ? බොහෝ ශ්‍රී ලාංකික ක්‍රීරඩකයන් අදටත් තමන්ගේ ශාරීරික ආබාධයන්ට ප්‍රතිකාර ලබාගන්නේද ඕස්ට්‍රේලියානු විශේෂඥයන්ගෙන් නොවේ ද ? අප අදටත් ඩෙංගු රෝගයට, පිළිකාවන්ට හෝ ඒඩ්ස්වලට ඛෙහෙත් හොයා ගත්තා යැයි කියන හොර තක්කඩින්ට පත්තර පිටුගණන් වෙන් කරන ජාතියකි. එහෙත් වෛද්‍ය ක්ෂේත්‍රයේ දියුණුවට ඕස්ට්‍රේලියාව කෙතරම් පරීක්ෂණ කරනවාද ? විවිධ පිළිකාවන්ට ප්‍රතිකාර සඳහා කෙතරම් පරීක්ෂණ කරනවාද ? ඒවා ලංකාවේ මෙන් සුද්දා හොරාගනිතැයි යන මුළාවෙන් එකට කෙටූ ශාකපත්‍ර ගැන නොදොඩන අත්භූත ඛෙහෙත් නොව හේතු සාධක මත ගොඩනැගුණු ඒවාය. නිදසුනක් මෙන් ඉතා මෑතකදී සිඩ්නි නුවර ජීවරසායන විද්‍යාඥ පිල්ප් හොග් කළ පරීක්ෂණය ගනිමු. තවමත් පරීක්ෂණ මට්ටමේ පැවතියද, ඔහු මුලින්ම කළේ පිළිකාවක සෛල විභේදනය වීමට අදාල ප්‍රෝටීනය හඳුනා ගෙන එම ප්‍රෝටීනය අකර්මණ්‍ය කළ හැකි ඔෟෂධයක් සොයාගැනීමය. මුරලි පන්දුව දමා ගසන බව කී ඕස්ට්‍රේලියානුවෝ ඔහු පන්දුව දමා නොගසන බව කියන්නේද අප මෙන් ආවේගයන්ට යටත්ව නොව විධිමත් පරීක්ෂණ ක්‍රමවේදයක් අනුගමනය කිරීමෙනි. අපේ සභාපතිලා කියන්නේ මුරලිව තුන්වතාවක් බේරාගත් නිසා මුරලි ඕස්ට්‍රේලියානුවන් පුහුණු කිරීම සදාචාර විරෝධීබවය. මුලින්ම කිවයුත්තේ සභාපතිට එහෙම කතාවක් කියන්නට පවා සදාචාරයක් නැති බවය. මක්නිසාදයත් කණ්ඩායමේ ක්‍රීඩකයෙකුට ප්‍රශ්නයක් ඇතිවන විට කලමණාකාරිත්වය එසේ කටයුතු කිරීමට කවුරුවත් කියනතුරු සිටිය යුතු නැත. එය ඔවුන්ගේ වගකීමක් මිස යුතුකමක් නොවේ. අනෙක් අතට අප ලැජ්ජා විය යුත්තේ ක්‍රීඩාවෙන් විශ්‍රාමගත් ක්‍රීඩකයෙකු කරන රැකියාව, එම ක්‍රීඩකයා වෙනුවෙන් ක්‍රිකට් සංගමය පෙර ඉටුකළ රාජකාරියට හිලව් වියයුතුයැයි සිතන සභාපතිවරයෙකු සිටීමය. කෙසේ වෙතත් තමන්ට එරෙහිව එල්ල වූ චෝදනාවන්ගෙන් නීත්‍යානුකූලව නිදහස්වීම නිසා මුරලිගේ ජනප්‍රියත්වය මතු නොව දක්ෂතාව පවා තව තවත් ඔප් නැගුනා නොවේද ? බොහෝ විට කෙනෙකුට ජීවිතයේ ඇතිවන බාධා කම්කටොලූ පසුකාලීනව ඔවුන්ගේ ජීවිතවලට ආලෝකයක් වෙයි. එබදු බාධක නොතිබුණානම් මුරලිගේ ජීවිත කතාවද තවත් එක් දඟපන්දු යවන්නෙකුගේ කතාවක් වියහැකිව තිබුණා නොවේද ? මේ සියලූ කාරණා සලකා බලන කළ අප ඕස්ට්‍රේලියානුවන්ට කෘතඥවිය යුතු නොවේ ද ? ඔවුන් නොවන්නට මුරලි මේ තරමට ජනප්‍රිය නොවන්නට ඉඩ තිබුණි. වෛරයෙන් වෛරය නොසන්සිදෙන බව උපදිනකොටම දැනසිටියේ අපය. පිළිපදින්නේ උන්ය. සමනළයෙක් මෙන් පියාඹා මී මැස්සෙක් මෙන් මුෂ්ඨි පහර දුන් මොහොමඩ් අලී අයිති ඇමරිකාවට විතරක් නොව මුලූ ලොවටමය. බොක්සිං වළල්ලේ අලී මෙන් තණතීරුව මත මුරලී පෑ රංගනයද අද අයිති ලංකාවට පමණක් නොව මුළු ලෝකයටමය. තණතිල්ල මත මා දුටු මුරලි එක් අතෙකින් නර්ථන ශිල්පියෙකි. අනෙක් අතින් චිත්ත ඒකාග්‍රතාව ප්‍රගුණ කළ මුණිවරයෙකි. එක් මොහොතක රොන් සොයා මලකට පියඹා යන සමනළයෙකි. අනෙක් මොහොතේ තමා කරා ඇදෙන සමනළයෙක් දෙස බලා සිටින මලකි. අද මුරලි ගැන ලස්සනම දේ කියන්නේ ඔහුගේ සමකාලීන ප්‍රතිවාදී කණ්ඩායම්වල සිටි විශේෂයෙන්ම ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයෝය. මැතිව් හේඩන්ට අනුව මුරලිගේ පන්දු යැවීම තමන්ට හැකිතරම් දෙනෙත් විවර කර පිතිකරුවා මුලාකර එකවිට පන්දු දාහතරක් තමන් දෙසට විදිනවා හා සමානය. ඔහු තම මුළු හදවතින්ම මුරලි නම් අසහාය මිනිසාට ගරු කරණ බවද කියයි. ජස්ටින් ලැන්ගර් කියන්නේ මුරලි ඔහුගේ තර්කය හා තීරණය සමඟ සෙල්ලම් කරන බවය. ඒ මුරලිගේ අත දිහා බැලු විට පන්දුව ඇතුළට දඟකැවිය යුතු බවට ඔහුගේ මොළය ඔහුට කියන නමුත් ඒ ආකාරයෙන්ම මුරලිට පන්දුව පිටතට දඟකැවීමටද හැකියාවක් ඇති බව ඔහුගේ සිත ඔහුට කියන බව ඔහු පවසයි. මේ තර්ක විතර්ක වලට මැදිවන පිතිකරුවාගේ කඩුල්ලට පෙර හිස සත්කඩකට පුපුරා නොයයිද ? මයික් හසී කියන්නේ මුරලිගෙන් බොහෝ දේ උගත් බවය. එමෙන්ම මුරලිගේ පන්දුව අහසේ දඟ කැවී තමන් දෙසට ඇදී එන හඬපවා ඔහුට ඇසෙන බවය. මුරලි දූස්රා පන්දුව යැවීමට උගත්තේ පකිස්තානයේ ෂක්ලේන් මුස්ටාක්ගෙනි. එහෙත් ෂක්ලේන් කියන්නේ ඔහු ලෝකයේ වඩාත්ම කැමති පන්දු යවන්නා මුරලි බවය. සැබවින්ම ඇතැම් ඕස්ට්‍රේලායානු ක්‍රීඩකයන් මුරලි ගැන අද කතා කරන්නේ මහා කවියෙකුගේ කවියක් විචාරන තවත් මහා කවියෙකු විලසිනි. එබඳු කාව්‍යාත්මක විචාරයක් සිංහල විචාරකයෙකුගෙන් නෑසෙන්නේ ඇයි ? මහේල ඉංග්‍රීසියෙන් කළ අදහස් දැක්වීමකදී මුරලි සිය අවසාන ටෙස්ට් තරඟයේ අවසාන පන්දුවට 800 වැනි කඩුල්ල දවා ගැනීම ගැන දක්වන්නේ නාට්‍යමය අදහසකි. මාහේල ඒ අපූරු මොහොත අදහස් දක්වන්නේ මෙසේය ! "ඔබට ඊටත් වඩා හොඳ තිර පිටපතක් ලිවීමට කෙහෙත්ම හැකියාවක් නැත !" අප භාවිතකරන මනහර සිංහල භාෂාවෙන් එබඳු අදහසක් නිරවුල්ව දක්වන්නන්ගෙන් අද අපේ දේශය සිස්ව ඇති නියා ය. කිසියම් දිනක මුරලිගේ කතාව චිත්‍රපටයකට නැගෙතැයි මම සිතමි. එය ශ්‍රී ලාංකික අධ්‍යක්ෂවරයෙකුගේ අතින් සිදුනොවන බවද මම සිතමි. මට වැරදුණු තවත් තැනක් නම් එදා ක්‍රිකට් පිටිය තුළ අර්ජුනගේ විශිෂ්ඨ නායකත්වය මෙදා ඔහුගේ දේශපාලනය තුළිනුත් විදහා පෙන්වනු ඇතැයි අපේක්ෂාසහගත වීමය. අර්ජුන දේශපාලන අජූතයෙක් නොවෙතැයි සිතීමය. මුරලිගේ චරිතාපදානය අපට කියා දෙන පාඩම් රැසකි. අපේ ගමනට කවුරු හෝ අභියෝයක් වූ පමණින් අප ඔවුන් හා සදාකාලික වෛරයෙන් පසුවීම සුදුසුද ? පළමුව අප කළ යුත්තේ නොසැලී එම අභියෝගයට මුහුණ දීමය. මුරලි නිසා අපි ඕස්ට්‍රේලියානුවා සමග වෛර බැද ගත්තද, ඕස්ට්‍රේලියානුවාට මුරලිත් සමග සදාකාලික වෛරයක් තිබී නැත. එසේ වුවා නම් කිසිදාක ඔවුන් මුරලිගේ සේවය යළි ලබා ගනීද ? මට හිතෙන්නේ ශ්‍රී ලාංකිකයට වඩා හොඳින් ඕස්ට්‍රේලියානුවා මුරලිව තේරුම් ගෙන ඇති බවය. වෛර නොකිරීමත්, ක්‍රෝධ නොකිරීමත්, පළි නොගැනීමත් ඇති තැන නැති වන එක් දෙයක් ඇත. ඒ පරාජයයි.
23June 2016
blog_shape
සාමන්ත තැන්නගේ විසිනි (by Saamantha Tennege) https://youtu.be/b1KRtUEbEn8 ඉගෙනීම යනු කටපාඩම් කිරීම නොවේ. කටපාඩම් කළ පමණින් අපි දැනුම් තේරුම් ඇත්තන්ද නොවෙමු. ඒ හැමටම වඩා අපට සම්මුඛ වන වැඩිමනත් දැනුම් තේරුම් ඇත්තන්ගේ දැනුම බොහෝ විට ප්‍රායෝගික තලයේදී ක්‍රියාත්මක වන්නේ නොදරුවන්ගේ මට්ටමකිනි. ඉගෙන ගෙන කටපාඩම් කර ගත් නොයේක් කරුණු වලින් අපේ ජීවිත වලට අවැඩක් සිදු වී නැති බව සැබෑ ය. එහෙත් උගත් කරුණු වලින් එපිටට නොසිතීම නිසා එක් අතෙකින් අපි උගත් කරුණු වලින් අපේම මනස සිරගත කරගමු. අනෙක් අතින් දැන උගත් කරුණු විවෘත මනසකින් පරිහරණය නොකිරීමෙන් නොදැනුවත්වම අපේ අතින් පරිසරයටත්, අනෙකුත් ජීවීන්ටත් සිදුවන හානියද සුළුපටු නොවේ. "කෑම කෑමෙන් පසුව අත සහ පිඟාන සෝදා ඉවතට හලන ඉඳුල් වතුර ටිකත් සතෙකුට ආහාරයක් වේවා කියා පතමින් ඉවතට විසි කරන්න. සිතාගැනීමට පවා නොහැකි අති විශාල කුසල් සම්භාරයක් දිට්ඨධම්මවේදනීය කුසල කර්මයක් වශයෙන් තමා පසුපස හඹා එන සෙවණැල්ල මෙන් ඔබ කරා හඹා එනු ඇත. මුළු දිවියම සමෘද්ධිමත් ලෙස ඔබටත්, ඔබේ පවුලේ අයටත් ගත කිරීමට හැකි වනු ඇත. දීර්ඝායුශ ලැඛෙනු ඇත. නිරෝගී සුවය, ප්‍රඥාව ඇතුළු මහත්ඵල මහානිසංස සමග ධනයද ඔබ වෙත අනිවාර්යයෙන්ම ළඟා වනු ඇත." ඉහත දැක්වූයේ ධර්ම දේශනා වලට සවන් දීමෙන්, දහම් පොත පත කියවීමෙන් සහ නොයේක් අය සමග සාකච්ඡා කිරීමෙන් අපේ සිතිවිලි සහ දෛනික ක්‍රියාකාරකම් කෙරෙහි බලපෑමක් ඇති කළ අදහසක සාරාංශයකි. දැනුම් තේරුම් ඇති දා පටන් අපට අසන්නට ලැබුණු ඒ අදහස ගැන අදටත් අප තුළ ඇත්තේ සුභවාදී ආකල්පයකි. එහෙත් පසු කාලීනව ඉතිරි වූ බත් ඇටය පවා සතෙකුට ආහාර වේවා යි සිතමින් ඉවතට විසි කරන විට අප තුළ ඇති වූ පුන්‍ය චේතනාව කෙබඳු වන්නට ඇත් ද ? මා සම්බන්ධව නම් එය හුදෙක් තවත් එක් යාන්ත්‍රික ක්‍රියාවලියක් පමණක් වූ වා යැයි පැවසීම නිවැරදි ය. අප තුළ ක්‍රිරයාත්මක වන්නට යෙදුනු මෙම යාන්ත්‍රික පින් රැස්කිරීම ගැන ගැඹුරින් කල්පනා කිරීමට සිතුණේ අප විසින් නිතර නිතර රැස්කරගන්නා යාන්ත්‍රික පව් නිසා ය. කලක් මා ඕස්ට්‍රේලියාවේ සේවය කළ ආයතනයක ඉවතලනු ලබන ප්‍රතිචක්ක්‍රීයකරණය කළ හැකි දෑ නිවැරදි ලෙස බැහැර කිරීමට කටයුතු කිරීමද මගේ රාජකාරියේම කොටසක් විය. ඒ නිසාම කුණු කසළ මෙන්ම ප්‍රතිචක්ක්‍රීයකරණය කළ හැකි දෑ ප්‍රවාහනය කරන රියදුරන් කීප දෙනෙක් සමඟම සමීපව ඇසුරු කරන්නට අපට අවස්ථාව ලැබුණි. අනෙක් රාජකාරිවලදී මෙන් නොව මෙවැනි බර වැඩ වලට නිතරම ආවේ ගියේ සුදු ඕස්ට්‍රේලියානුවන් ය. මේ අතර දිනක් එක් මහලූ කාන්තාවක අප කරා පැමිණියේ පරණ බැටරි දමා තිබුණු බෑගයක් අතැතිව ය. ඇය අපෙන් විමසා සිටියේ එම බැටරි ඉවතලෑම පිණිස සුදුසුම තැන කුමක්ද කියා ය. මට හිතන්නට දෙයක් නැත. මම ඇයට එක එල්ලේම පිළිතුරු දුන්නෙමි. "ගාබේජ් බින් එකට දාන්න." ඇය මොහොතක් දවා අළු කරන බැල්මක් මවෙත හෙළා මට පිටුපා ගස්සාගෙන ගියේ මුවින් වචනයකුදු නොදොඩා ය. ඊළඟට ඇය කෙළින්ම ගියේ ආයතනයේ කළමනාකාරු වෙතය. මගෙන් ඇසූ ප්‍රශ්නය ඇය එයාකාරයෙන්ම කළමණාකරුගෙන්ද විමසා සිටියා ය. ඔහුගේ පිළිතුර ප්‍රායෝගික මතු නොව හෘද්‍යාංගම එකක්ද විය. "ඔබ මේ ගැන කරදර වෙන්න එපා. අපේ කවුන්සිල් එකේ පරණ බැට්රි, ටෙලිපෝන් වගේ දේවල් එකතු කරන තැනක් තියෙනවා. මම එතෙන්ට ගිහින් දාන්නම්." මහළු කාන්තාවට එයාකාරයෙන් පැවසූ ඔහු සිය දෝතින්ම ඇය අතේ තිබුණු කිලෝ එකක් හෝ දෙකක් පමණ බරැති බැටරි මල්ල ගත්තේ ය. මහළු කාන්තාව අතිශ්‍ය සතුටට පත් වූ අයුරු මම ඇගේ මුහුණින් දුටුවෙමි. කළමණාකරුට නොසෑහෙන්නට ස්තූති කළ ඇය ඉවතට යන අතර මා දෙසද බැලීමට අමතක නොකලාය. ඒ, ඉවතලන දෙයක් දෙස බලන අයුරිනි. ඇය එදා මවෙත හෙළූ එම බැල්ම නිසාම ඕස්ට්‍රේලියානුවන්ගේ ප්‍රතිචක්‍රීයකරණ ක්‍රියා දාමයන් ගැන හොයා බලන්නට මම තරයේ අදිටන් කර ගත්තෙමි. ඊට අනුරූපව විවිධ ද්‍රව්‍ය ප්‍රතිචක්‍රීයකරණය කරන්නට ඕස්ට්‍රේලියාවේ පවතින පහසුකම් හා ඒ වෙනුවෙන් ඔවුන් දරන්නා වූ වෑයම ගැන දල අදහසක් ලබා ගන්නට අපට හැකිවිය. මගේ ඇඟ කිලිපොලා ගියේ අපට හැකි දේ පවා ප්‍රතිචක්‍රීය නොකිරීමෙන් පරිසරයට අප විසින් සිදුකරණු ලබන හානිය කෙතරම්ද යන කාරණය තේරුම් යාමත් සමග ය. යකඩ සහ ඇලූමීනියම්, කාඩ්බෝඩ් සහ පත්තර, ප්ලාස්ටික්, වීදුරු, ෆ්ලෝරසන් සහ අනෙකුත් විදුලි ලාම්පු, ඉලෙක්ට්‍රෝනික් අපද්‍රව්‍ය සහ බැටරි යනාදිය ප්‍රතිචක්‍රීය කළ යුත්තේ ඇයිද යන කාරණා කතාකරන්නට මෙම ලිපිය ප්‍රමාණවත් නොවේ. එබැවින් මෙවැනි ලිපියක් ලිවීමට පාදක වූ බැටරි ගැනත්, ෆ්ලෝරසන් බල්බ ගැනත් කෙටි සටහනක් තබමු. වසර 2012 කරන ලද සමීක්ෂණයකට අනුව ඕස්ට්‍රේලියානුවෝ වසරකට බැටරි මිලියන 350 ක් මිළදී ගනිති. ඉන් තුනෙන් දෙකකට වැඩි ප්‍රමාණයක් කිසිදු ප්‍රතිචක්‍ර ක්‍රියාදාමයකට භාජනය නොවී ඉඩම් ගොඩකිරීම් ආදියට යොදා ගැනෙන බවද එම වර්තාවේම සඳහන්ව තිබුණි. එය එතරම්ම අතිභයානක අන්තරාදායක අපද්‍රව්‍යක් වන්නේ කෙසේ ද ? බැටරි නිපදවන්නට භාවිතා කරන කැඩ්මියම්, නිකල්, මර්කරි (රසදිය) සහ ඊයම් මිනිසුන්ටත්, පරිසරයේ ජීවත් වන සතුන්ටත් විෂ (Toxic) ද්‍රව්‍ය වේ. වගවිභාගයක් නැතිව මර්කරි අඩංගු බැටරි සහ ෆ්ලොරසන් බල්බ ඉවතලෑම නිසා ආහාර දාමයන් පවා කෙළෙසී යයි. නිදසුනක් ලෙස අද වනවිට මිනිසා පරිභෝජනය කරන මුහුදු මසුන් තුළ පවා මර්කරි අන්තර්ගතව පවතී. එමෙන්ම ඕස්ට්‍රේලියාවේ වසරකට ප්‍රතිචක්‍රකරණය නොකර බැහැර කරනු ලබන ෆ්ලෝරසන් බල්බ ගණන මිලියන 50 ත් 60 ත් අතර වන බවද පැවසේ. මෝටර් රථ බැටරි වලින් සියයට 98 ක් නැවත ප්‍රතිචක්‍රකරණය කළ හැකිය. ලෙඩ් ඇසිඩ් බැටරි වලින් ලෙඩ් හෙවත් ඊයම් ඉවත් කර ගැනීම ලෝපස් වලින් ඊයම් ලබා ගැනීමට වඩා පහසුය. සෑම මෝටර් රථ බැටරියකින්ම සල්පියුරික් අම්ල ලීටර් දෙකත්, තුනක් අතර ප්‍රමාණයක් ලබා ගත හැකිය. ඒවායින් සෝඩියම් සල්ෆේට් නිපදවා ගත හැකිය. සෝඩියම් සල්ෆේට් වලින් ඩිටර්ජන්ට් නොහොත් කුණු ඉවත්කරන ද්‍රාවණ, වීදුරු සහ රෙදිපිළි නිපදවා ගැනීමට පුළුවන. ඉවතලන බැටරි වලින් ලබා ගන්නා නිකල්, මළ නොබඳින වානේ නිපදවීමට භාවිතයට ගැනීමට පුළුවන. එමෙන්ම බැටරි ප්‍රතිචක්‍රකරණය කර ලබා ගන්නා අනෙකුත් ද්‍රව්‍ය මගින් අලූත් බැටරි, පොහොර, කුණු කූඩ  සහ මල් පෝච්චි වැනි දෑ නිපදවා ගැනීමටද පුළුවන. වසර 2012 දී පමණ භාවිතා කළ එක් පරිගණක යන්ත්‍රයක් නිපදවීමේදී විවිධ රසායන ද්‍රව්‍ය කිලෝ 22 ක්, ජලය කිලෝග්‍රෑම් 1500 ක්, ඉන්ධන කිලෝ 240 ක් භාවිතා වූ බව www.SITA.com.au වෙබ් අඩවිය නිරීක්ෂණ වාර්ථා පදනම් කරගෙන සඳහන් කරයි. මේ සියලූ කරුණු සොයා බලාගෙන යනවිට ඕස්ට්‍ර්ලියාවේ ජීවත් වන අප සියලූ දෙනාටම යටත් පිරිසෙයින් අප්‍රද්‍රව්‍ය ඉවතලන්නට සෑම කවුන්සිලයක් මගින්ම බඳුන් දෙකක් හෝ තුනක් (සාමාන්‍ය, ප්‍රතිචක්‍රීයකරණය කළ හැකි සහ ගෙවත්තේ අපද්‍රව්‍ය සඳහා) සපයා ඇත්තේ ඇයිද යන කාරණය පැහැදිලි නොවේ ද ? ඊට අමතරව ජංගම දුරකථන, පරිගණක, බැටරි, මෝටර් රථ වලින් බැහැර කරන ලිහිසි ද්‍රව්‍ය යනාදිය බැහැර කිරීමට විවිධ මධ්‍යස්ථාන වල පහසුකම්ද සපයා තිබේ. ඒ පමණක් නොව ප්ලාස්ටික් බඳුන් - විශේෂයෙන් විවිධ උත්සව ආදියට අද අප භාවිතා කරන ප්ලාස්ටික් පිඟන් කෝප්ප ආදිය - ප්‍රතිචක්‍රීයකරණය බහාලූමකට දමන්නට කලින් යම්තාක් දුරකට සෝදා පවිත්‍ර කළ යුතුව තිබේ. නමුත් අද අප වැඩිපුරම දකින්නේ ඒවා කෙලින්ම සාමාන්‍ය අපද්‍රව්‍ය සමඟ බැහැර කිරීම ය. එක්තරා බෞද්ධ දානමය පුන්‍ය කටයුත්තක් අතර තුර ප්ලාස්ටික් පිඟන් තරමක් දුරකට හෝ සෝදා ප්‍රතිචක්‍රීයකරණය කළ යුතු බවට එය සංවිධානය කළ උවැසියකට මම යෝජනා කළෙමි. එදින ඇය අපට ප්‍රතිචාර දැක්වූයේ "කුණු ලෝබයා" යන නම්බු නාමයෙනි. තවත් අවස්ථාවක අසන්නට ලැබුණේ ඒවා සේදීමට වතුර වලට ඊටත් වඩා මිලක් යන බවය. අද අප ප්‍රතිචක්‍ර නොකර පරිසරයට බැහැර කරන ප්ලාස්ටික් බොහෝමයක් දිරා යාමට අඩු තරමින් වසර 500 ක් ගත වන බව දැක්වේ. එමෙන්ම ප්ලාස්ටික් ආහාරයට ගැනීම නිසා කොතරම් නම් සතුන් පිරිසක් දිනපතා මිය යන්නේ ද ? මෙවැනි ප්‍රශ්න වලට ලැඛෙන උත්තර වල ගණන් මිනුම් අපට අදහා ගැනීමට පවා අපහසු බව ඔබ දන්නවා ද ? කාලාන්තරයක් පුරාවට අපට ඇහෙන්නේ දන්දීමේ ආනිසංසය. ඒ නිසාම අපි ඉඳුල් වතුර ටික පවා සතුන්ට ආහාර පිණිස දන්දෙමු. එහෙත් පරණ බැටරි හෝ ප්ලාස්ටික් කිසිඳු බයක්, සැකක් නැතිව පරිසරයට මුදා හරිමු. එවැනි දේ හරහා ඝෘජුවත්, වක්‍රවත් ප්‍රාණඝාතයට හවුල් වෙමු. සතෙකුට පවා කන්න දීම හොඳය. එහෙත් නොදැනුවත්ව හෝ සතුන් මැරීම හොඳ ද ? එසේනම් අප කළ යුත්තේ කුමක් ද ? ඇත්තෙන්ම අපට කළ හැකි දේ බොහෝය. ඒ අතරින් කරුණු දෙකක් ඉතා වැදගත් බව අපේ අදහස ය. එකක් පරිසරයට හානි දායක දේ භාවිතය අවම කර වෙනත් විකල්පයන් කරා යෑමය. අනෙක් කාරණය වන්නේ හැකි හැම විටම ඉවතලන දෑ නිවැරදිව ප්‍රතිචක්‍රීයකරණය කිරීම ය. වරක් පාවිච්චි කර ඉවතලෑමට පෙර දෙවරක් සිතීම සුදුසු නොවේ ද? එවැනි දේ වෙනුවට නැවත නැවත ප්‍රයෝජනයට ගත හැකි දෑ යොදා ගත යුතු නොවේ ද ? අප කුඩා කල ලංකාවේ ගොයම් ගස් අතරින් මාලූ පීනා ගියහ. කක්කුට්ටෝද සිටියහ. පසුකාලීනව අප ගොයම් මැස්සා විනාශ කළේ ගොයමට හිතකර වෙනත් සතුන්ද මරා දමමිනි. එකල ලංකාවේ රජරට වකුගඩු රෝගයක් තිබුණු බව අපි දැන නොසිටියෙමු. මේ සියල්ලම හෙට දවස ගැන නොසිතා අද දවසේ බඩ වියත රැක ගැනීමට දැරූ උත්සාහයක ප්‍රතිඵල නොවිය හැකි ද ? කෙසේ හෝ වේවා මෙම කරුණු ගැන ගැඹුරින් හිතන්නට පෙළඹුණේ මගේ වැරදි උපදෙස නිසා මදෙස නොමනාපයෙන් බැලු මහළු ඕස්ට්‍රේලියානු කාන්තාවක නිසාය. කරුණු තේරුම් ගැනීමත් සමඟ ඒ පිළිබඳව මගේ සිතේ ඇති වූ බලවත් ප්‍රසාදය පසු දිනෙක ඇය ඉදිරියේ පවසා සිටියෙමි. මම ඇයට ඛෙහෙවින් ස්තූතිවන්ත විමි. ඒ මට වැරදුනු තැනක් හදාගන්නට ඇය මග පෑදූ නිසා ය. එදින ඇය බලවත් සතුටට පත්ව "ගුඩ් මෑන්" කියා අපට කීවා ය. මම "කුණු ලෝබයා" හා "ගුඩ් මෑන්" සසඳා බැලූවෙමි. "කුණු ලෝබයා" කියා කීවේ භක්තිමත් බොදුනු උපාසිකාවකි. අප දන්නා තරමට ඇය බොහෝ පින්කම් කරන්නී ය. "ගුඩ් මෑන්" කියා කීවේ එවැනි කෙනෙකු නොවේ. අප දන්නා තරමට ඕ දැන දැන පවුකම් නොකරන්නී ය. https://youtu.be/3N8EdY76xPs
12April 2016
blog_shape
සාමන්ත තැන්නගේ විසිනි (by Saamantha Tennege) දැනට දශක දෙකකට පමණ පෙර අප හොඳින් දැනසිටි එක්තරා වයස්ගත අයෙකු ඉතා අසාධ්‍ය ලෙස රෝගාතුරව රෝහල් ගත කෙරිණි. ඔහු එතරම්ම මා සිත් ගත් අයෙකු නොවීය. එමෙන්ම සපුරා ප්‍රතික්ෂේප කිරීමට තරම් ඔහු කෙරෙහි අකමැත්තක්ද අප තුළ නොවීය. ඔහුගේ යම් යම් මතිමතාන්තර හා යල් පැන ගිය අදහස් මගේ සිත් නොගන්නට හේතු වන්නට ඇත. අනෙක් අතට, ඒ වන විටත් අධ්‍යාපනය ලබමින් සිටි අපේ අතේ මිටේ ඉඳහිට මුදලක් තබන්නට තරම් නිර්ලෝභී වූ නිසාවෙන් ඔහුව ප්‍රතික්ෂේප කරන්නට තරම් හේතුවක් නැති වන්නටත් ඇත. ඒ නිසාම ඔහු රෝහල්ගතව සිටිද්දී හැකි අවස්ථාවන්හිදී ඔහුව බැලීමට මම රෝහලට ගියෙමි. අසනීප වූ පසු ශරීරය හා සමානුපාතිකව ඔහුගේ දැඩි මතවාද අන් අයට සවන් නොදීමේ පුරුද්දද දුර්වලව ගියේ ය. ඔහු දුර්වල වන්නට වන්නට යම්තාක් දුරකට එතෙක් ඔහු කෙරෙහි ලිහිල්ව පැවති මගේ ආධිපත්‍යය ප්‍රතිලෝම වශයෙන් ශක්තිමත් වන්නට විය. කලින් ඉඳහිට අප හමුවන හැම අවස්ථාවකදීම ඔහු අපට උපදෙස් දුන්නේ ය. ඔහු වැඩිපුරම අපට කීවේ "හොඳට ඉගෙන ගන්ට" කියා ය. නාඹර කොල්ලෝ නොමිලේ ලැඛෙන එබඳු උපදෙස් තරම් නොඉවසන අන් කිසිවක් නැත. අසනීප වූ පසු ඔහු අප දකින හැම විටම මුව වසාගෙන අහක බලාගත්තේය. දැන් මගේ වාරය පැමිණ ඇත. ඒ වන විට අවුරුදු විස්සක්වත් නොපිරුණුද, එහෙන් මෙහෙන් අසා කියවා තිබූ "බණ" මම ඔහු ඉදිරියේ නිර්ලෝභීව දෙසා වදාරන්නට විමි. හොඳින් සිටින විට පවා "බණ" තරම් හේ නොඉවසූ අන් කිසිවක් නොතිබූ තරම් ය. ඒ නිසා මා දෙසූ බණ ඔහුගේ දෙසවනට එතරම්ම සුවදායක නොවන්නට ඇත. "ලෙඩවලට බය වෙන්න එපා..... වැඩිපුරම ලෙඩ හැදෙන්නේ හිතේ..... හිත හදාගන්න....." මම ලෙඩ ඇදේ සිටි ඔහුට කීවෙමි. ඔහු මුවින් නොබැණ ඉවත බලාගත්වනම සිටියේ ය. ඇඳුමක් මාරු කරන්නට, මුහුණ සෝදන්නට, නහවන්නට හෝ වැසිකිලියට කැදවාගෙන යාමට පවා ඔහු නොවේ අපට ඉඩ දුන්නේ. කොටින්ම අප ඔහුගේ සිරුර ස්ඵර්ශ කිරීමද රිස්සුවේ නැත. ඒ නිසා අපට ඔහුට "බණ" කියනවාට වඩා වැඩි දෙයක් කරන්නට තිබුණේ ද නැත. ආණ්ඩුවේ රෝහලින්, ඔහුගේ නිවසටත්, ඔහුගේ නිවසින් නැවත ආණ්ඩුවේ රෝහලටත් යමින් එමින් මාස කීපයක් ගතවිය. හදිසියේම එක්තරා දිනක රෝහලේ සිටියදීම ඔහු මෙලොව හැර ගියේය. එදින ජීවිතයේ පළමු වරට මම මෝචරියකටත්, මල් ශාලාවකටත් ගොඩවිමි. ඒ මතු නොව ප්‍රාණය නිරුද්ධ ඔහුගේ සිරුර එම්බාම් කර අවසන් වන තෙක් ඒ අසලටම වී බලා සිටියෙමි. පසුව මම රෝහලෙන් ලැබුණු රෝහල් වාර්ථාව කියවා බැලූවෙමි. ඔහුගේ මරණයට හේතුව ලෙස රෝහල් වාර්තාවේ වචන දෙකකින් හැඳින් වූ රෝගයක් සඳහන්ව තිබුණි. එම වචන දෙකෙන් මා සිත් ගත්තේ පළමු වචනය යි. ඊට හේතුව සාමාන්‍ය පෙළ සෞඛ්‍ය පාඩමේදී අප එම වචනයට ළඟින් යන රෝගයක් ගැන තරමක් දුරට උගෙන තිබූ නිසාවෙනි. ඒ "සමාජ රෝග" යටතේ ය. මම ඒ ගැන මිය ගිය අයගේ දියණියකට කීවෙමි. ඇය ඛෙහෙවින් දුකටත්, කම්පනයටත් පත් වූවා ය. වාසනාවට මෙන් ඇයගේ කම්පනය පෙරළා මාද කම්පනයට ලක් කළේ ය. ඒ නිසාම මගේ "පූර්ව විනිශ්චයන්" සහ "කුණු රස සොයා ඇදෙන මානසිකත්වය" එතැනින් එහාට නොගියේ ය. මේ අතීත මතකය අවුස්සා බලන්නට සිතුවේ පසුගියදා කුලියාපිටිය ප්‍රදේශයේ ඒඩ්ස් වැළදී ඇතැයි සැකකරන දරුවෙකු පාසලකට ඇතුළත් කර ගැනීම අරඹයා පැවති කලබගෑනිය නිසාය. එමෙන්ම ඒ ඔස්සේ ඉස්මතුවන මනුෂ්‍යත්වය පිළිබඳ කරුණු කිහිපයක් වෙනස් මානයකින් දැකීමට ය. මේ කරුණ අරඹයා බොහෝ දෙනා කුලියාපිටිය ලෝකයේ නූගත්ම මිනිසුන් වාසය කරන ස්ථානය ලෙස නම් කරති. මෙය කෙතෙක් දුරට සාධාරණද ? කුලියාපිටිය ඇත්තේද ලංකාව තුළය. කිසියම් විදියකින් ලංකාවේ වෙනත් ගමක මෙවැනි දෙයක් වූවා නම්, කුමක් සිදුවනු ඇත් ද ? ඒ ගැන තීරණය කරන්නට ඔබටම බාර කරමි. දැන් "මට වැරදුණු තැන"ක් ගැන මුලින්ම විමසා බලමු. අපි අපොස සාමාන්‍ය පෙළට පෙනී සිටින අවධියේ සෞඛ්‍ය විෂය සඳහා නිර්දේශිතව තිබුණු පොත කටපාඩම් කළෙමු. ඒ නිසා අදටත් එහි තිබූ දෑ අපේ මතකයේ ඇත. අපි ලෙඩ රෝග ගැනත්, තරමක් දුරට ප්‍රථමාධාර ගැනත් ඉගෙන ගත්තෙමු. එහෙත් අවුරුදු දොළහක පාසැල් කාලයේදිත්, ඉන් පසුව උසස් අධ්‍යාපනය ලබන කාලයේදීත් වාචික අඩම්තේට්ටම් කිරීම (bully),  හිරිහැර කිරීම (harassment), වෙනස් ලෙස සැලකීම  (discrimination) ඇඟට දැනෙන තරමට උගත් බව මතක නැත. අපි ඒවා ගැන ගැඹුරින් තේරුම් ගත්තේ ඕස්ට්‍රේලියාවේදී ය. කොටින්ම ශාරීරික දුබලතා, ලෙඩ රෝග, ස්ත්‍රී පුරුෂ භාවය, ජාතිය, ආගම හෝ වර්ණය යන කවර හේතුවක් නිසා හෝ ඕස්ට්‍රේලියාවේදී ඔබට තවත් කෙනෙකුව බුලි, හැරස්මන්ට් හෝ ඩිස්ක්‍රිමිනේට් කිරීම "නීතියෙන්" තහනම් ය. කායික මානසික රෝගී අයට ඒ හේතුව නිසාම වෙනස් ලෙස සැලකීම ඔවුන්ගේ මානව අයිතියට එරෙහිව යාමක් බවද අපට තේරුම් ගියේ එහේ දී නොව මෙහේ දීය. ඒ මතු නොව ඔවුන්ව නොසලකා හැරීමද වැරදි ය. මට මතක හැටියට පාසලේදී අවුරුදු දොළහටම මා උගත්තේ ලෙඩ්ඩු දෙන්නෙකුට උපස්ථාන කළ හැටි ය. ඉන් එක් ලෙඩෙක් නයෙකි. අනෙක් ලෙඩා රහතන් වහන්සේ නමකි. නයාගේ සිරුරේ තිබූ ගෙඩියක් පළා සුව කළ බුද්ධදාස රජතුමා ගැන සිංහල පෙළ පොතකින් උගත්තෙමි. කුෂ්ඨ රෝගයකින් පෙළුනු පූතිගත්තතිස්ස තෙරණුවන්ව නහවා පිරිසිදු කළ බුදුරජාණන් වහන්සේ ගැන බුද්ධ ධර්මය පෙළ පොතකින් උගත්තෙමි. එකල අපි උපදංශ, ගොනෝරියා, හර්පීස් යනාදී සමාජ රෝග ගැන උගත්තෙමු. ඇතැම් සමාජ රෝග නිසා සිරුරේ ඇති වන තුවාල, වණ, දද, කුෂ්ඨ ගැනද උගත්තෙමු. "ඒඩ්ස් මාරයා" ගැනද උගත්තෙමු. ඒ සමඟම පූතිගත්තතිස්ස තෙරණුවන්ට බුදුන් වහන්සේ කළ උපස්ථාන ක්‍රමක්‍රමයෙන් අපේ මතකයෙන් ඈත් ව ගියේ ය. අප ලත් නිදහස් අධ්‍යාපනයේ පිහිටෙන් නොදැනුවත්වම ලෙඩ්ඩු ලේබල් ගත කිරීමේ සාපලත් පුරුද්ද වැඩිණ. එක්තරා රෝගයකින් මට අවැසි කොටස පමණක් මා උපුටා ගත්තේ අප තුළ නිසඟයෙන් පවත්නා අනෙකාගේ කුණු අවුස්සා මගේ "කුණු රසය" සංතර්පණය කරගැනීමේ සැඟවුණු ආශාව නිසා බව පැහැදිළි ය. අප තුළ සැඟව නිදා සිටින මෙකී මජර ආශාවෝ අවධි වන්නට අප දන්නා අයෙකු සමාජ රෝගයක් වැළඳ මිය යන්නටම අවශය නැත. අහක යන වෙඩිල්ලක් වැදී හෝ පිහි පාරක් වැදී ඔබ (මම) හෝ ඔබේ (මගේ) ළඟම ඥාතියෙකු මිය ගියා යැයි සිතන්න. එකල්හි පස්චාත් මරණ පරික්ෂණ පවත්වා විනිශ්චය ලබා දෙන්නට පුළ පුළා බලා සිටින්නේ අන් කවුරුත් නොව "මම"ම (නැතහොත් ඔබම) නොවේ ද ? මට පුදුම මා සතෙකු නොවී මිනිසෙකු වීම ගැන ය. බුදුහු වදාළ ගාථා දෙකක දෙවන කොටසේ "අත්තානං උපමං කත්වා - න හන්‍යෙය න ඝාතයේ" යනුවෙන් දැක්වේ. එහි අදහස "තමා උපමා කොට සිතා අනුන් නොනැසිය යුතුය. නොමැරිය යුතුය" යන්න ය. අපි කෙසේ නම් "අපවම උපමා කොට" සිතමු ද ? කවර හෝ හේතුවක් නිසා අපට සමාජ රෝගයක් හෝ ගත වැහැරී අබල දුබල වන අසාධ්‍ය රෝගයක් වැළඳුනේ යයි සිතමු. අපේම වරදක් නිසා හෝ රෝගීව පීඩා විඳින අපට ප්‍රතිකාර කිරීම නවතා ඔබ අපට එරෙහිව විරෝධතාවයක යෙදෙනවා දකින්නට අපි කැමති නොවෙමු. අප හා සැතපෙන්නට ඇතැයි ඔබ සිතන කාන්තාවන් ගණනත්, උන්ගේ පැටිකිරියක් සොයා යනවාට අපි අකමැති වෙමු. අපට දැන් අවශය ප්‍රතිකාරත්, මානසික සහනයත් නොවේ ද ? එසේ නම් අන් අයට ලෙඩක්, දුකක්, කරදරයක් ඇති වූ විට අප විසින් කළ යුත්තේද එයම නොවේ ද ? ඊළඟට ඉතාමත් වැදගත් වන්නේ "තමා උපමා කොට සිතා අනුන් නොනැසිය යුතුය. නොමැරිය යුතුය" යන්නෙන් අදහස් වන දේ ය. මේ ලිපියේ මුලින්ම දැක් වූ මා කළ වරදෙහි දිග පළළ මැන ගත හැක්කේ ඒ අනුව ය. මට දැනෙන හැටියට කෙනෙකුගේ "චරිත ඝාතනය" අයත් වන්නේද නැසීම හෝ මැරීම යන ගොඩටම ය. මා කරන්නට යත්න දරා තිබුණේද එබඳුම වූ චරිත ඝාතනයක් නොවේ ද ? ජීවත්ව සිටින අයෙකුගේ චරිතය ඝාතනය කිරීම මෙන් නොව මිය ගිය අයෙකුගේ චරිතය ඝාතනය කිරීම සමාව දීමට නොහැකි වරදකි. මිය ගිය අයට කොහොමටත් දුක නොදැනෙන බැව් අපි දනිමු. එසේ නමුත් අප මිය ගිය අයගේ චරිත ඝාතනය කර ලබන්නේ කවර නම් සතුටක් ද ? එසේ කිරීමෙන් මිය ගිය අයට සමීප අයගේ චරිත ඝාතනය ලක්කරන්නට ඇති හැකියාව "අපේ යටි සිත" හොඳින් දන්නේ ය. ඒමතු නොව අපේ උඩු සිත රවටා හදවතේ සැඟව ඇති මජර ආශාවෝ සංතර්පනය කර ගන්නා ආකාරයද යටි සිත හොඳින් දන්නේ ය. එසේ නම් අප කළයුතුව ඇත්තේ කුමක් ද ? කවර රෝගයකින් පෙළුනද, කවර රෝගයකින් මියගියද, මනුෂ්‍යත්වයේ නාමයෙන් ඔවුන් හටද, මිනිසුන්ට මෙන් සැළකීම නොවේ ද ? එය කරන්නේ කෙසේ ද ? පළමුව නොදන්නා දේ නොදොඩා සිටීමෙනි. දෙවනුව අපි දන්නා දේ තුළ පවා නොදන්නා දේ ඇති බව තේරුම් ගැනීමෙනි. දැන් නැවතත් අපි කුලියාපිටියට යමු. මෙකී සිද්ධිය අරඹයා කුලියාපිටියට ආසන්න ගමක උපන් මගේ මිත්‍රයෙක් කුලියාපිටිය තුම්පනේට සමාන කරමින් මා හා කථා කළේ ය. ඔහු වැරදි දෙකක් කළ බව මම කීවෙමි. තුම්පනේට නිගා කිරීම මා අනුමත නොකරන්නේ යම් සේද, එක් සිද්ධියක් අරඹයා කුලියාපිටිය ලේබල් කිරීමද මම නොඉවසමි. බොහෝ විට කෙනෙකුට එරෙහි වන්නේ ඔහුට හෝ ඇයට ඉතාම ළඟින් සිටින අයෙකි. ඉන්දියාව, ලංකාව දියුණු වනවාට අකමැතිය. උතුර දියුණු වනවාට දකුණ අකමැති ය. කුලියාපිටිය, තුම්පනේට උපමා කළ මිතුරාට තිබුණේද ඒ රෝගයම ය. ඔහු කළ වරද මම උපමාවකින් පැහැදිලි කළෙමි. කුලියාපිටියේ දරුවාගේ මව රූපවාහිනියෙන් කථා කර මෙසේ කීවා ය. "මගේ සැමියා අවුරුදු දෙකකට කලින් මැරුණා. දැන් මාව පවුලෙනුත් අයින් කරලා. මට කවුරුත් නෑ..... ළමයට ඉස්කෝලෙකුත් නැහැ." කවර හෝ හේතුවක් නිසා කෙනෙකු අසරණ වූ විට බොහෝ විට ළඟම අයද ඔවුන්ව තනිකර ඉවත බලාගන්නේ ය. නැතිනම් ඒ අය අසරණ වෙන්නට බල පෑ කරුණු කාරණා එකතු කරමින් යන්නේ ය. අන්තර්ජාලයෙන් අප දුටු වීඩියෝ වලට අනුව මානව හිමිකම් සංවිධාන වල නිළධාරීන්ටත්, වෛද්‍යවරුන්ටත්, ගුරුවරුන්ටත් ඇහුම් කන් දෙන්නට එම පාසලේ උගනුම ලබන දරුවන්ගේ දෙමාපියන්ට ඉවසීමක් නොතිබුණු සේ ය. ඔවුහු හැසිරුණේ උගත්, බුද්ධිමත්, සියල්ල දන්නා විශේෂඥයන් මෙනි. පරීක්ෂණ කළ විශේෂඥයෝ පවා දරුවාට ඒඩ්ස් නැති බව යළි යළිත් සපථ කරද්දී පවා දෙමාපියෝ එය පිළිගන්නට සූදානම් නැත. අල්ප දැනුම සහ නොදැනුවත්කම, පුහු මානය සහ කායිකවත් මානසිකවත් තවකෙකුට අඩම්තේට්ටම් කිරීම යන මනෝභාවයන් සමඟ අත්වැල් බැදගත් කල්හි උපදින්නේ අමුතුම සතෙකි - අමනුෂ්‍යයෙකි. මේ එදා අප උගත් "ඒඩ්ස් මාරයා" යන පාඩම වෛද්‍ය විද්‍යාවේ දියුණුවත් සමඟ යාවත් කාලීන නොවීමේ ඵල විපාකයකි. ඒ විතරක් නොව මෙහි තවත් නොපෙනෙන පැත්තක්ද ඇත. ඕස්ට්‍රේලියානු දරුවෝ ගුරුවරුන්ව අමතන්නේ ඔවුන්ගේ නමිනි. එහෙත් ඔවුහු ගුරුවරු බොහෝ දේ දන්නා බව දනිති. ලංකාවේ දරුවෝ ගුරුවරුන්ට වදිති. පුදති. එහෙත් අන්වර්ථ නාමයක් නැති ගුරුවරයෙක් නැති තරම් ය. උගත් බුද්ධිමතුන්ට ඇහුම්කන් නොදෙන "අසංවර දෙමාපියෝ" තමන්ගේම දරුවන්ට යහපත් පූර්වාදර්ශයක් නොවීම, අසුන්දර අනාගතයක පෙර නිමිත්තක් නොවෙතැයි කාට නම් කිව හැකිද ? එකල මෙන් නොව මෙකල ගුරු දෙගුරුන්ගෙන් ගුරුහරුකම් ගන්නා සිසුන් අඩු ය. එමෙන්ම ගමේ පන්සලේ ස්වාමීන් වහන්සේලාට කන් දෙන්නෝද නැත. ගුරුවරු බලන බලන අත ටියුෂන් කඩ දමාගෙන ය. පන්සල් එක්කෝ දේශපාලනයට බරය. නැතිනම් ව්‍යාපාර වලට බර ය. කුලියාපිටියේ දරුවා වෙනුවෙන් කතා කළ එකදු ස්වාමීන්වහන්සේ නමකුදු මම නුදුටිමි. කුලියාපිටියේ දෙමාපියන්ට පූතිගත්තතිස්ස තෙරුන්ගේ කතාව මතක් කර දෙන්නට ඉදිරිපුත් වූ එකදු ස්වාමීන්වහන්සේ නමකුදු මම නුදුටිමි. ඇතැම් විට උන්වහන්සේලා ධර්ම ප්‍රචාරය සඳහා වෙනත් රටවලට වැඩ සිටිනවා විය හැකි ය. එකල වැඩ හුන් නාරද, පියදස්සි, ආනන්ද මෛත්‍රී, වල්පොල රාහුල වැනි පැවිදි මිණි පහන් දැන් නිවී ගොසිනි. දැන් මෙහි ධර්ම ප්‍රචාරයට වඩින්නේ චෛත්‍ය, මධ්‍යස්ථාන, සාත්තු නිවාස හෝ මොකක් හෝ ගොඩනැගිල්ලක් මූලික කරගෙනය. දිනෙන් දින කුරිරු ගති සොබාවයන් වැඩෙන පුහුදුන් සිත් වලට සරණක් වෙන්නට කවුරුත්ම එහි නැති ගාණය. හිටියත් ඉන්නේ "බලකායක්" හෝ "අසපුවක්" බඳු මොකක් හෝ බෝඩ් ලෑල්ලක් යට ය. එවැනි සමාජයකට "සමාජ රෝග" හැදීම ගැන කවර කථා ද ? සැබවින්ම අප උපස්ථාන කළ යුත්යේ ඒඩ්ස් රෝගය වැළඳුනා යැයි සැක කරන දරුවාට නොව, එවැනි දරුවෙකු කොන් කරන්නට ඉදිරිපත් වන රෝගී සමාජයට ය. මම දැන් නැවත කල්පනා කරමි. එදා අසරණව රෝගීව සිටි මහල්ලා, මා ඔහුව ස්පර්ෂ කරන විට ඊට විරුද්ධ වන්නට ඇත්තේ ඇයි ? එකල මා සිතුවේ ඔහුගේ අහංකාරකම නිසා එසේ කරන්නට ඇති බව ය. එහෙත් දැන් මම මෙසේ සිතමි. ඔහු එසේ හැසිරෙන්නට ඇත්තේ කිසියම් විදිහකින් අපටත් ඒ රෝගය වැළදීමට ඇති ඉඩකඩ අහුරාලන්නට විය නොහැකි ද ? දැන් ඉතා සියුම් වේදනාවක් මගේ සිතට දැනෙන්නේ ය. ඒ අන් කිසිවක් නිසා නොව ලෙඩ ඇදේ වැටී සිටි ඒ මහල්ලාට මා කියූ බණ ගැන ය. මා කළ යුතුව තිබුණේ මුවින් වදනකුදු නොදොඩා කරුණාවෙන් ඔහු දෙස බලා හිදීම පමණක්ම නොවේ ද ? රෝගීහු අසරණය හ. එකී අසරණ රෝගීන්ට සරණ නොවන්නෝ රෝගීන්ටත් වඩා අසරණය හ. රෝගීන්ට හෝ දුකට පත් අයට නින්දා අපහාස කරන්නන්ගේ අසරණකම ගැන කියන්නට දැන් අපට වචන නැත. මුළු ලෝකයම වැසී යන ලෙස සාත්තු මධ්‍යස්ථාන ගොඩ නැගීමට වඩා කවර හෝ හේතුවක් නිසා අසරණභාවයට පත් අය කෙරෙහි දයා සිත් ඇති එකම එක මිනිසෙක් බිහි කිරීමට කටයුතු කිරීම ප්‍රඥාගෝචර නොවේ ද ? කුලියාපිටියේ දරුවාගෙන් කෙනෙක් මෙසේ ඇසුවේ ය. "පුතා ලොකු වුනාම මොකද කරන්නේ ?" දරුවා මෙසේ උත්තර දුන්නේ ය. "මම දොස්තර කෙනෙක් වෙනවා." අපිදු එය එසේම වේවා යැයි පතමු. අසරණ නොදරුවාට එරෙහිව සිදු වූ සියලූ දේ ඔහු කරා වෙස්වලාගෙන පැමිණි ආශිර්වාදම බවට පත් වෙනු ඇත. දෛවයේ සරදමක් ලෙස අද ඔහුට එරෙහිව නැගී සිටි වියපත් වැඩිහිටියෝ මතු දිනක ඔහුගේ දෙපා අසල දැවටී ඛෙහෙත් සීට්ටුවක් ලියවා නොගනිතැයි කාට නම් කිව හැකි ද ? එදාට තමන්ට ගල් මුගුරු එල්ල කළ අය කෙරෙහි වෛරි සිතක් ඇති කර නොගෙන ඛෙහෙත් සීට්ටුවක් ලියා දෙන්නට ඔහුට හැකි වෙතැයි අපි සිතමු. අධ්‍යාපනය සහ ධර්මය ඇත්තේ එබඳු මිනිසුන් බිහිකරන්නට ය. සමාජය, රෝගී කරන්නට නොවේ. "සමාජ රෝග" ව්‍යාප්ත වන්නට ඉහත කී ආයතන වල වග විභාගයක් නැති කි්‍රයා කලාපද හේතු නොවූ බව කාට නම් කිව හැකි ද ?
13March 2016
blog_shape
සාමන්ත තැන්නගේ විසිනි (by Saamantha Tennege) ගේය පද යනු ගයනා කළ හැකි යන අරුත් දෙයි. ගායනා කරන්නේ ගීත ය. සිංහලයේ කව් සීපද ගායනා කළ හැකි ගණයටම වැටේ. එහෙත් සුලභව යෙදෙන කටවහරට අනුව නම් අපි "කවි කියනවා" කියාත් "ගී ගයනවා" කියාත් කියමු. එමෙන්ම සිංහලයේ "ගී කීම" ලෙසත්, "කවි ගායනා කිරීම" ලෙසත් යෙදෙන අවස්ථාද ඇත. නිසදැස් කාව්‍ය නොහොත් නිදහස් කාව්‍ය වැටෙන්නේද කවි ගොඩටම ය. එහෙත් ඒවා ගැයීමට අපහසු ය. කීමට පහසු ය. කවි ගායනා කිරීමට සංගීතය අත්‍යාවශ්‍යයම නොවේ. නමුත් ගීතයක පසුබිමෙහි සංගීතය මුසුව ඇත. එහි අදහස සංගීතයෙන් තොරව ගීත ගැයීමට නොහැකි බව නොවේ. කාලය මාත්‍රාවන්ට ඛෙදා, වෙනස් වන නාද රටා ඊට මුසු කර නිමවාගත් ආකෘතිය තුළට ගේය පද මුසු කළ කල්හි අපට ලැඛෙන්නේ ගීත ය. මෙහි විලෝමයද සත්‍ය වන්නේ ය. එනම් ගේය පද තුළට නාද රටා මුසුකර කාල මාත්‍රාවන්ට අවනතව ගැයූ කල්හිද අපට ලැඛෙන්නේ ගීත ය. ගේය පද තුළ ඇත්තේද අප එදිනෙදා අහන කියන වචනම ය. නමුත් එම වචන පෙළගස්වන පිළිවෙලත් උච්චාරණය කරන පිළිවෙළත් වෙනස් ය. එකී වෙනස නිසා අසන්නා තුළ කිසියම් භාවාත්මක හැඟීමක් උත්තේජනය වන්නේ ය. නොහොත් උද්දීපනය වන්නේ ය. නිදසුනක් ලෙස මයිකල් ජැක්සන් “Black or White” ගීතය ගායනා කරන විට අපි නටමු.“Heal the World” ගායනා කරන විට අපි අඬමු. ගීත, සංගීතය උපයෝගී කරගත්තද, සංගීතය යනු ගීතම නොවේ. එය විශ්ව භාෂාවකි. එසේ වන්නේ කෙසේ ද ? පාසලේදී ඉතා දුර්වල සිසුවෙකු වූ ඇල්බර්ට් අයින්ස්ටයින් වයලීනය වයන්නට ඉගෙන ගත්තේ වයස අවුරුදු පහේ පටන් ය. වයලීනය නොවන්නට මුල් කාලයේ තමාට පාසැල් ජීවිතයක් නොතිඛෙන්නට පවා ඉඩ තිබුණු බව ඔහු පසුකාලීනව කියා සිටියේ ය. විශ්වයේ රහස් ගණිතය නම් විශ්ව භාෂාවෙන් අර්ථදැක් වූ අයින්ස්ටයින් තමා ඛෙහෙවින් ප්‍රිය කළ මහා සංගීතඥ මොසාට් ගැන මෙසේ කීවේ ය. "මොසාර්ට්ගේ සංගීතය ඉතා පිවිතුරුය. එමෙන්ම සුන්දර ය. මා එය දකින්නේ විශ්වයේ අභ්‍යන්තර සුන්දරත්වය විදහා පෙන්වන පිළිඹිබුවක් ලෙසිනි." ජීවිතයේ ඉතා අමිහිරි හෝ අසහනකාරී අවස්ථාවන්හිදී අයින්ස්ටයින්ගේ පිහිටට සිටියේ ගණිතය නොව සංගීතය බව බොහෝ දෙනාට රහසකි. ඔහු මෙසේද කීවේ ය. "මගේ ජීවිතයේ මා ලැබූ උසස්ම වින්දනන් මා වෙත ගෙන ආවේ මගේ වයලීනය බව මම දනිමි." කවි, ගීත හා සංගීතය ගැන කතා කළේ මට වැරදුණු අවස්ථා දෙකක් ගැන කියන්නට මුල පුරන්නට ය. නව වන ශ්‍රේණියේ උගෙනුම ලබන කාලයේ පාසලේ සාහිත්‍ය සංගමයේ රැස්වීමට අපේ පංතිය නියෝජනය කරමින් ගීතයක් ගායනා කරන්නට මට සිදු විය. ඒ සඳහා මා තෝරා ගත්තේ ඒ දිනවල රූපවාහිනියේ විකාශනයට නියමිතව තිබුණු හින්දි චිත්‍රපටි ගීතයකි. එකල රූපවාහිනියේ චිත්‍රපටයක් ප්‍රචාරය වීමට පෙර සති ගණනාවක් ඒ ගැන පූර්ව දැන්වීම් කෙරේ. පූර්ව දැන්වීමකදී ඇසුනු ඒ ගීත කණ්ඩය කවර හෝ හේතුවක් නිසා මගේ සිත තදින්ම බැද ගත්තේ ය. චිත්‍රපටය විකාශනය වන දා රූපවාහිනිය අසලට වී ඉතා ඉක්මණින් මම ඒ ගීතයේ වචන සිංහලෙන් ලියාගතිමි. එම ගීතයට කොතරම් කැමැත්තක් තිබුණාද කියනවා නම් වරක් දෙවරක් කියවූ සැනින් ලියාගත් පද පෙළත්, තනුවත් සිතෙහි ධාරණය විය. එම දින කිහිපය තුළ බාහිර කිසිම දෙයකට මගේ සිතේ ඉඩක් නොතිබුණි. මා ජීවත් වුනේ එම හින්දි ගීතයත්, එහි තනුවත් තුළය. ගීතය ගායනා කළ පසු, සිසුන්, ගුරුවරු ඇතුළු සියළු දෙනා මාගේ ගායනය ගැන කතා කරන අයුරු මම නින්දෙන් පවා දුටුවෙමි. මා දුටු දවල් සිහින ගැන අන් කවර කථා ද ? කෙසේ හෝ සාහිත්‍ය උත්සවය ඇරඹිණ. මා තෝරාගත් ගීතය ගායනා කර වේදිකාවෙන් බැස එන විට වේදිකාවේ සිටි ගුරුවරු ඔවුනොවුන්ගේ මුහුණු බලාගත් හ. අපේ පංති භාර සිංහල ගුරුතුමිය වූ රාජපක්ෂ මහත්මිය වචනයකුදු නොදොඩා බිම බලාගත් වනම සිටියා ය. කිසිවෙක් අඩු තරමින් මා ගැයූ ගීතය "හොඳයි" කියාවත් කීවේද නැත. ඊට දින කිහිපයකට පසුව පැවති පංති සාහිත්‍ය රැස්වීමේදී මා ගායනා කළේ වික්ටර් රත්නායකගේ "දෙව්රම් වෙහෙරේ" ගීතය ය. එදා රාජපක්ෂ ගුරුතුමිය ඉතා කාරුණිකව මගෙන් මෙසේ ඇසුවා ය. "තැන්නගේ, ඇයි ඔය වගේ සිංදුවක් එදා කිව්වේ නැත්තේ ? එදා ඔයා කිව්වේ ඔයාටවත් තේරෙන්නේ නැති මොකක්ද එකක්......" ඉන්පසුව ඇය තවදුරටත් අවස්ථාවට අනුකූලව උචිත අනුචිත දේ තෝරා බේරා ගැනීමේ ඇති වැදගත්කමද අපට පැහැදිලි කර දුන්නා ය. අයර්ලන්තයේ සිට ඕස්ට්‍රේලියාවේ වාසයට පැමිණි පැට්‍රිෂියා මගේ දිගුකාලීන මිතුරියකි. එක්තරා රූපවාහිනී වැඩසටහනක් නරඹන අතර ස්කොට්ලන්තය නිජබිම කරගත් බෑග්පයිප් (Bagpipe) නම් සංගීතය භාණ්ඩය වයනු දැක මම ඇයට මෙසේ කීවෙමි. "මේ තමයි මම මේ ලෝකයේ අහන්න අකමැතිම සංගීත භාණ්ඩය." මා ඇයට එසේ පැවසීමේදී අනාදිමත් කාලයක පටන් අයර්ලන්ත සහ ස්කොට්ලන්ත වැසියන් අතර පවත්නා නොහොඳ නොක්කාඩුකම් ගැනද නොසිතුණාම නොවේ. ඇය තම ඉනෙහි අත්දෙක තබාගෙන දවා අලූ කරන බැල්මෙන් මොහොතක් ම'දෙස බලා සිට මෙසේ කීවා ය. "සෑම්, මම හිතුවේ නැහැ උඹ ඔය තරම් පටු විදිහට හිතන කෙනෙක් කියලා. ඒක එයාලගේත්, යුරෝපයේ වෙනත් රටවලටත් පැතිරුණු ඇතැම් විට මඟුලකට මරණයකට පවා නැතිවම බැරි සංස්කෘතිකාංගයක්." ඇය මට එල්ල කළේ අතුල් පහරකි. එදින නිවසට එන අතර මම ඇය කී කතාව ගැනත්, ශ්‍රී ලාංකික අපට ආවේණික සංස්කෘතිකාංග ගැනත් ගැඹුරින් සිතුවෙමි. එක්වරම මගේ සිතට ආවේ දළදා පෙරහැරය. ඉන්පසුව ඇසුණේ හේවිසි හඬ ය. ඊළඟට හොරණෑ හඬ ය. නැවතත් බෑග්පයිපයේ හඬ ඇසුණි. මට දැනෙන හැටියට ලංකාවේ හොරණෑවේ හඬට ළඟින්ම යන සංගීත භාණ්ඩයක් ලෝකයේ කොහේ හෝ ඇත්නම් ඒ ස්කොට්ලන්තයේ බෑග්පයිපයේ හඬ ය. කිසියම් කෙනෙකු තමන් මේ ලෝකයේ අසන්නට අකමැතිම සංගීත භාණ්ඩය හොරණෑව කියා කීවා නම්, මට දැනෙන හැඟීම කෙබඳු විය හැකිව තිබුණිද ? මේ සියලූ කාරණා යළි මතකයට නැගී ආවේ ආසන්න සිදුවීම් දෙකක් නිසාවෙනි. පළවෙනි සිදුවීම නම් පසුගියදා සිරස රූපවාහිනියේ විකාශනය වූ ගීත වැඩසටහනකදී භාෂී මධුභාෂිනී නම් ආධුනික ගායිකාව ගැයූ "හන්තාන අඩවියේ" ගීතයට ලැබුණු ප්‍රතිචාර ය. ඒ නන්දා මාලිනිය ගැයූ ගීතය කි. මධුභාෂිනී එම ගායනාව කළේ බටහිර උරුවකිනි. ඇය ගායනා කළ අනෙක් ගීතද එබඳු ය. අප මෙහිදී වැඩිමනත්ම කතා කරන්නේ ඇයගේ ගායනාවේ හරි වැරුද්ද ගැන නොව විනිශ්චය මණ්ඩලයේ සහ අනෙකතුත් මාධ්‍ය හා ශ්‍රාවක ප්‍රතිචාර ගැන ය. ඇයගේ ගායනයට එරෙහිව ප්‍රතිචාර දැක් වූ ඇතැම් ප්‍රබුද්ධයෝ පවා ඇයව ආමන්ත්‍රණය කළ වචන පවා අනුමත කරන්නේ කෙසේ ද ? ඇය කළේ ප්‍රවීණයන්ගේ ගීත ආධුනික හඬින් ගායනා කරන වැඩසටහනකට සහභාගි වී සිය හැකියාව පෙන්නුම් කිරීම ය. ඇය එම ගීතය තමන්ගේම කරගෙන ඊට අලූත් මානයක් එකතු කිරීම දඩුකඳේ ගැසීමට තරම් වරදක්දැයි අපි නොදනිමු. එහෙත් විනිශ්චය මණ්ඩලයේ සිටි එක් අයෙක් "යුගයේ ගායිකාව" යනුවෙන් ප්‍රකාශ කළේ ය. ඒ ඇයගේ දන්නාකමට වඩා නුවණ මදකම නිසා බව නම් පැහැදිළි ය. කතාකරන විට බස හැසිරවීමේ අපහසුතාවක් ඇති ගායකයෝ ගැන අපි දනිමු. එහෙත් ගීත ගායනා කරන විට ඔවුහු කිසිවෙකුට දෙවෙනි නොවෙති. ඒ අවස්ථාවන්හිදී ගායනය හා ගීතය ඔවුනට දෙකක් නොව එකකි. තමා යන හැඟීම පවා අමතක කර සමවදින ඒ නිමේශය ඔවුහු විඳිති. භාෂි මධුභාෂිනී කළේද එයම නොවේද ? ප්‍රේක්ෂකයෝ රසවිඳිය යුත්තේ ගායකයා ද, නැතිනම් ගීතය ද ? පෙර ඇසූ හෙයින් මතුවටත් එලෙසින්ම ඇසිය යුතු බවට සිතෙහි නොමැකිය හැකි ලෙසින් නිධන්ගතවන පූර්වාභිලාශය ද ? මම වචන ඉක්මවා යන්නට කැමැත්තෙමි. උච්චාරණය කෙබඳු වුවද මට කම් නැත. මම අවස්ථාව විඳින්නටද කැමැත්තෙමි. සංගීතස්වරයන්ට මේ විශ්වයේ යා නොහැකි තැනැක් ඇත් ද ? මෙම සිද්ධිය, එනම් භාෂි මධුභාෂිනී සහ ඇයගේ විනිශ්චය මණ්ඩලයේ සාමාජිකාවත් ඃ සිංහල සාහිත්‍ය රැස්වීමේදී හින්දි ගීතයක් ගැයූ මාත්, රාජපක්ෂ ගුරුමාතාවත් එකිනෙකාට සමපාත කර බැලීමට මම කැමැත්තෙමි. ඇයද මා මෙන්ම නොගැලපෙන තැනක (රටක) නොගැලපෙන දෙයක් කළා ද ? එහෙත් එක් දෙයක් මම දනිමි. සිංහල සාහිත්‍ය රැස්වීමකදී වුවද හින්දි ගීතයක් ගැයීමට පෙරත්, ගයනා කරන කල්හිත් මා වින්දේ අපමණ සතුටකි. මදුභාෂිනීද ඒ සතුට ඒ වනතෙක් විඳින්නට ඇත. ඒ ගැන සිතෙන විට කිසියම් උපේක්ෂා සහගත හැඟීමකින් ම'සිත වෙලී යයි. ඒ හැඟීම පැහැදිලි කිරීමට තරම් මගේ වාග් කෝෂය පොහොසත් නැත. මෙම ලිපියට පාදක වූ ඊළඟ සිද්ධිය නම්, 68 වන නිදහස් උත්සවය දා කිෂානි ජයසිංහ නම් වූ ප්‍රවීණ ඔපෙරා ගායිකාව ගායනා කළ "දන්නෝ බුදුන්ගේ" ගීතය අරඹයා පැවති ආන්දෝලනයයි. කිසියම් සිද්ධියක් නිසා කතිකාවතක් ඇති වීම කවර අතින් ගත්තද සමාජයට යහපතකි. එහෙත් කතිකාවත වෙනුවට සංගීත ශිල්පීහු අපා, දෙපා, සීපා සතුන්ටත්, උන්ගේ හඬටත් උපමා කිරීම කෙතරම් ශෝචනීය ද ? මෙහි ඇති වඩාත්ම ඛේදවාචකය නම් වෘත්තීයවේදීන්ව සීපාවන්ටත්, උභයජීවීන්ටත් උපමා කරන අගමැතිවරයෙකුද ලංකාවේ සිටීම ය ! අපි අප කතා කරන භාෂාව ලෝකයේ ඇති සුන්දරම බසෙකැයි උදම් අනමු. සුද්දාගේ බස නොදියුණු බවද කියමු. අපි අදහන ආගම තරම් උතුම් ආගමක් නැති බවටද වහසි බස් දොඩමු. බස කෙතරම් සොදුරු වුවද ජනමාධ්‍යය, පාර්ලිමෙන්තු මන්ත්‍රීවරු සහ පොදු ජනතාව දොඩන්නේ අමිහිරි අශෝබන සුනරුත් වදන් නම් සොඳුරු බසක් තිබීමෙන් ඇති ඵලය කිම ? ඉංග්‍රීසි භාෂාව කොතරම් දුර්වල නමුත් ඔවුහු ඒ බස ඇසුරු කරමින් හඬක්, සුවඳක්, රසයක් හා හැඟීමක් විස්තර කරන්නේ අපට වඩා ගව් ගණනක් ඉදිරියෙන් සිට නොවේ ද ? ඉවසීමත්, සංයමයත්, පිළිසඳරත් නැති තැන විශ්වයේ නිර්මලතම දහම ඇදහුවද ඉන් අපට සැලසෙන සෙත කුමක් ද ? ජෝන් ද සිල්වා විසින් සිරිසඟ බෝ නාට්‍යට ලියූ දන්නෝ බුදුන්ගේ ගීතය මුලින්ම ගායනා කර ඇත්තේ ඩබ්ලිව් ඒ සිල්වා, ඩබ්ලිව් ඒ අප්පුසිංඤො සහ ඩබ්ලිව් ඩී ඇස් ජේමිස් යන අයවළුන්ය. එහි සංගීතය විශ්වනාත් ලවුජිගෙනි. ලවුජිගේ බොහෝ ගී තනු වලට ඉන්දියානු රාගධාරී ජන ගී ඇසුර ලැබී ඇති බවද කියවේ. ඇතැම් අය පවසන්නේ මෙය ජර්මනියේ රිචර්ඩ් වැග්නර්ගේ organ concerto එකකින් උපුටා ගත් ගීත ඛණ්ඩයක් බව ය. එදිරිවීර සරත්චන්ද්‍ර මහතා එක් තැනක මෙසේ දක්වා ඇත. "දන්නෝ බුදුන්ගේ යන ගීය හියුබට් රජපක්ෂ මහතා (ජීවමානව හෝ තැටියකින්) ගයනා කරනවා අසා ඇත්තේ කීයෙන් කී දෙනාදැයි නොදනිමි. යුරෝපයේ පුහුණු කරගත් (ටෙනර් වර්ගයේ) කටහඬක් ඇති, ඔහු, එය ගයන්නේ මුලූමනින්ම බටහිර ශෛලයෙන් ය. මේ නිසා පහාඩි රාගයෙන් නිර්මාණය කරන ලද මෙම ගීයේ රසයට එයින් හානියක් පැමිණ නැතැයි කිව හැකි ද ?....." කෙසේ වුවද දැනට අපට ඇසීමට ඇති පැරණිම දන්නෝ බුදුන්ගේ ගීතය 1920 දී තැටි ගත කරන ලද හියුබට් රාජපක්ෂගේ ගීතය යි. https://youtu.be/_Ds_CMOa3J8 ඉන්දියානු රාගධාරී සංගීතය සහ බටහිර සංගීතය හා සැසඳූ කල ශ්‍රී ලාංකික සංගීතය කඳෝපැණියෙකි. තිත්ත මුත් ඒ කටුක සත්‍ය පිළි නොගෙන අපි කෙසේ නම් ඉදිරියට යමු ද ? දැන් අපි යාන්තමින් එහාට මෙහාට වෙනවාට ඇත්තටම අකමැති ඇත්තටම අපටම අයිතිව තිබූ දෙයකට ද ? දන්නෝ බුදුන්ගේ ගීතයට ඇති ජර්මන් සම්බන්ධය පසෙකට කළද පහාඩි රාගයෙන් එය මුදවා ගන්නට අපට හැකියාවක් ඇත් ද ? දළදා පෙරහැරට අයත් දේවාල දෙකකම කාවාඩි නටති. ඇත්තටම සිදුව ඇත්තේ දේවාල පෙරහැර වලට දළදා පෙරහැර එකතු වීම ය. අපි ඉතා කුඩා කල දළදා පෙරහැරේ ඛෙරයක් වයමින් ජපන් හිමිනමක් ගමන් කරනවා දැක නැත්තෙමු. පසුකාලීනව දැක්කෙමු. ජීවමාන සංස්කෘතියක ලක්ෂණය වන්නේ ලත් තැනම ලොප් වීම නොව දේවාල පෙරහැරට දළදා පෙරහැර එක් වූවාක් මෙන් කාලීනව යාවත්කාලීන වීම නොවේ ද ? අද මෙන්ම එදාත් පිටින් ආ යහපත් දේ විමසා නොබැලූවානම් අද අපට පාරම්බාන්නට බුද්ධාගමක්වත් කොයින් ද ? https://youtu.be/plaKsOtC3b8 ඔපෙරාවට ඔරවන අපි බොහෝ දෙනා සජීවීව අඬහැරය පානු අසා ඇත්දැයි සැක ය. මින් වසර විසිපහකට තිහකට පෙර වත්තේගම ප්‍රදේශයේදී අපට අසන්නට ලැබුණු අඬහැරය තවමත් අපේ හදේ නිදන්ව ඇත. අතීතයේ, කෙතේ අඬහැරය පෑවේ රටේ සංගීත විශාරදයෝ නොව සාමාන්‍ය ගොවියෝ ය. 1990 පමණ ජර්මනියෙන් බිහිවූ එනිග්මා (Enigma) සංගීත කණ්ඩායමේ ගීත පසුබිමෙන් අපේ අඬහැරයේ හඬ ඇසෙද්දී මම පුදුමයට පත්විමි. අපි උන්ගෙන් හොරා ගන්නා විට උනුත් අපෙන් හොරා ගත්තා ද ? අපේ නම් දරාපු විශාරදායෝ කරන්නේ ගීත ඛණ්ඩයක් දෙකක් සොරාගැනීම ය. එහෙත් උන් කරන්නේ අප ළඟ ඇති, අපට අගයක් නැති හොඳම වස්තුව සොරා ගැනීම ය. පසුගියදා නිමාවූ ඉන්දීය ඕස්ට්‍රේලියානු ක්‍රිකට් තරඟාවලියේදී විටින් විට නරඹන්නන්ගේ අවධානය දිනා ගැනීමට අපේ "පපරේ බෑන්ඩ්" කණ්ඩායම උපයෝගී කරගත් ආරම්භක සංගීත කණ්ඩය භාවිතා කෙරිණි. කිසිදු ඕස්ට්‍රේලියානුවෙකු ඊට එරෙහි ව නැගී සිටිය බවක් නොදුටුවෙමි. කිසියම් දිනක යුරෝපයේ ඔපෙරා ශාලාවකට අපේ අඬහැරක් පැවොත් ලංකාවට ඇහෙන තරම් සද්දෙට සුද්දා අත්පොළසන් ගහනවා සත්ත ය. ඒ සුද්දාගේ හැටි ය. නිදහස් උත්සවයදා අපි අඬහැර ශෛලයෙන් ගීයක් කීවා යැයි සිතමු. ඒ ශිල්පියාට වෙන්නෙත් දන්නෝ බුදුන්ගේ ගීතය ඔපෙරා ශෛලයෙන් ගායනා කළ කිෂානිට වෙන්ට තිබුණු දේමය. එනම් ගඩොල් බාගයකින් පහර කන්නට ය. ඒ අපේ හැටි ය. අඬහැරයට කන් දුන් කල්හි අපට ඇසෙන්නේ වචන නොව දුක, දොම්නස, සතුට, සොම්නස, උපේක්ෂාව, ආදරය, කරුණාව ආදී මානව සංතානයේ තෙරපෙන, වැළපෙන, ඉපිලෙන සහ ලෙලදෙන මනෝ භාවයෝ ය. එදා අපේ අහිංසක ගොවියා කෙතේදී මී ගවයා අමතන්නේ "අප්පච්චි" හෝ "අම්බරුවෝ" හෝ "වහු දරැවෝ" කියා ය. මහා හඬකින් රැව් දෙන ගවයා අමතන එකී "අප්පච්චි" නම් වචනයට පෙර කී මනෝ භාවයන් එක්කර වා තළයට මුදාහැර හේ අපමණ සතුටක් ලබන්නට ඇත. අඬහැරයේ ඉහළ පහළ ගිය හැම ස්වරයකම තැවරී තිබුණේ අසන්නාගේ හද ඒ අනුව අනුනාද කරවන මනෝභාවයෝ ය. එදා අඬහැරය තුළ නිධන්ගත වූ මනුෂ්‍යයත්වය නොහොත් විශ්වීය ගායනය කෙතේ හුන් මී ගවයාටත් වැටහෙන්නට ඇත. ඒ විශ්ව භාෂාවක ස්වභාවය ය. අතීතයේ අපි සතා සීපාවා ඉදිරියේ පවා එයාකාරයෙන් සංද්වනි පැවැත් වූ ජාතියකි. අද සංද්වනියක හඬ ඇසෙන විට සතා සිව්පාවට මතු නොව මිනිසුන්ටත් ගඩොල්බාග එල්ල කරන්නට සැරසෙන ජාතියකි. ඒ නයින් ගත්කල දියුණු සමාජයක ජීවත් වන අපේ රසවිඳීමේ හැකියාව ගැන ලැජ්ජාවනවාට වඩා කළ හැක්කේ අන් කවරක් ද ? සිංහලයාගේ ඔපෙරාව අඬහැරය බව අපි කියමු. එක් වතාවක් හෝ නෙත් පියාගෙන අඩහැරය විඳි අයෙකුට ඔපෙරා ගායිකාවක වෙත ගඩොල් භාගයක් තබා පුළුං ඇටයක්වත් විසි කළ හැකි ද ? මේ අප විඳවීමම, විඳීම කරගත් සංදර්භයෙන් නික්ම යෑමට කාලය නොවේ ද ? කෙසේ වෙතත් කිෂානී ජයසිංහ නම් යුරෝපයේ සුපතළ ගායිකාවකගේ ගායනය වෙනුවෙන් දැන උගත් බොහෝ පිරිසක් පෙනී සිටියහ. ඔපෙරා ශෛලයෙන් ගායනා කිරීමෙන් එම ගීතයට හානියක් නොවූ බව ඔවුහු පෙන්වා දුන්හ. එය අපේ අමන්දානන්දයට හේතු වෙයි. කිෂානි වෙනුවෙන් කතාකළ අය අතර මධුෂානි නම් වූ ගායිකාව අපමණ ගර්භාවට ලක්කළ අයද වූහ. එය නම් අපේ මනාපයට හේතු නොවන්නේ ය. නැවතත්, සිංහල සාහිත්‍ය රැස්වීමේදී හින්දි ගීතයක් ගායනා කළ එමෙන්ම ස්කොට්ලන්තයේ බෑග්පයිපයට අපහාස කළ මා ගැනම මම සිතමි. රාජපක්ෂ ගුරුමාතාව ගැනත්, පැට්‍රිෂියා ගැනත් සිතමි. ඔවුහු නොවන්නට මා වැරද්දක් කළ බව අදටත් මට නොදැනෙන්නට තිඛෙන ඉඩකඩ වැඩි ය. දෙනෙත් පියාගෙන සංගීතයට ඇහුම් කන් දෙන විට අයින්ස්ටයින් පවසන පරිදි විශ්වයේ අභ්‍යන්තර සුන්දර රහස් එකිනෙක අප ඉදිරියේ දිගහැරෙන්නේය. ගණිතයෙන් විශ්වයේ රහස් සොයා ගිය ඇල්බර්ට් අයින්ස්ටයින්ගේ ඥානය සංගීතය සමග අත්වැල් බැඳගෙන කෙතරම් අපූර්ව ලෙස සුසර වන්නට ඇත් ද ? ඔහු මෙසේද කීවේ ය. "මම නිතරම සංගීතයෙන් සිතමි. මම දවල් සිහින දකින්නේද සංගීතයෙනි." සංගීතයෙන් හිතන්නත්, දකින්නත් හැකි බව පරම සත්‍යයකි. ලිපියේ මුලින්ම "සංගීතය විශ්ව භාෂාවක් වන්නේ කෙසේ ද ?" යනුවෙන් අපමැ විමසූ පැනය ගැන සාධාරණ විමසුමක් මෙහි අන්තර්ගත වන්නට ඇතැයි සිතමි. සංස්කෘතිය එක් අතකින් පහනකි. අනෙක් අතින් විළංගුවකි. සංස්කෘතිය පහනක් කරගන්නෝ ඉන් එළිය දකිති. විළංගුවක් කර ගන්නේ දැඩි පුහු මානයක් ඇති කරගනිති. පුහුමානය ඇති තැන මමත්වය රජයයි. සංගීතය මෙන්ම ගණිතයද විශ්ව භාෂාවකි. අයින්ස්ටයින් එකී මමත්වය පහත ගණිතමය සූත්‍රයකින් (කියමනකින්) ඉතා අපූරුවට පැහැදිලි කරන්නේ ය. "මමත්වය = 1 / දැනුම" දැන් අපි මෙම සූත්‍රයට අගයන් ආදේශ කර බලමු. දැනුම බින්දුව හෝ ඊට ආසන්න අගයක් ගන්නා විට මමත්වය අනන්තය කරා යයි. වෙනත් වචන වලින් කියනවා නම් දැනුම අඩුවන්නට අඩුවන්නට මමත්වය වැඩිවීමත්, දැනුම වැඩිවන්නට වැඩිවන්නට මමත්වයේ අඩුවීමකුත් සිදුවේ. අනෙක් අතට දැනුම යනු යමෙකු තමා අසා, කියවා, කටපාඩම් කළ ප්‍රමාණය නොව දත් දේ ප්‍රායෝජනයට ගන්නා පිළිවෙලය. සිංහල සාහිත්‍ය රැස්විමේදී මා ගැයූ හින්දි ගීතයේ වචන තවමත් එලෙසම මගේ මතකයේ රැඳී තිබේ. ඒ නිසාම දිනක් 'නවී' නම් ඉන්දියානු මිතුරිය ඉදිරියේ මේසයකට තට්ටු කරමින් ඒ "හින්දි" ගීතය ගායනා කළෙමි. ඇය මගේ ගීතය සාවධානව අසා අවසානයේ මෙසේ කීවා ය. "සෑම්...... ඔය වගේම අපේ හින්දි සිංදුවකුත් තියනවා."
seprator
shape
Copyright © Kadapatha 2018. All rights reserved. Solution by saamArt