seprator

ඔසී නිළමේ – ජනවාරි 2017

seprator
05January 2017
blog_shape
ඔසී නිළමේ විසිනි පල්ලෙහා ගෙදර මිසිස් පෙරේරා දොර පලූවට තඩිබාන්ට තිබාගත්ත. ෂපාන් එකේ චිකන් ස්ලීප් එකක් දදා හිටපු නිළමේ සරමත් බඩ මැද්දෑවෙං ඇඳගෙන දොරටුපාල උනා. වුමන්ස් කාරය අලි තසිමක තියපු මයික්‍රෝ සයිස් කේක් කෑල්ලකුයි ඉරිච්ච බ්‍රවුන් පේපර් කොලේක ඔතපු බෝතල බාගෙකුයි අල්ලගෙන ඉන්නව ඕං. "මේව තැඹිලි වතුර වලින් පෙරාපු පිරිසදු වයින්. වතිකානුවෙවත් නෑ." වුමන්ස් කාරය ඇරියෙ නැතෑ පත කෝබ්‍රා පාරක්. හැබෑවටම අද නට්ටල්නෙ. සිදාදිය පැත්තෙ රවුමක් ගහල කිස්මස් සිරි බලංට හිතුන. ඒ වංගියෙංම හංදියෙ වීල් මල්ලිට ටෙස්සෙකක් කෙටුව. ටෙස්සෙක පෝං එකෙං යංටත් කලියෙංම කොල්ල වීල් එක ඇන්න මිදුලෙ. මූ යන්නෙ ආලෝක ප්‍රවේගෙං වෙංටෑ. "ගෝල්ඩ් පීස් පැත්තට කැපුනනං මරු දොරේ. මාර සීන්ස් තියනව අද." "යංකො එහෙනං" වයින් බාගෙත් ඇන්න නිළමෙ වීල් එකේ ජොංකොලොස් උනා. හොල්මංද පොල් කිවුවලූ. මාර ගහක් නොවැ ගෝල්ඩ් පීස් එක මැද්දෑවෙ හිටවල තියෙන්නෙ. "ලෝකෙ පට්ටම කිස් මස් ගහ ඕකනෙ. ලොක්ක" වීලා කියපි. "කිරි අප්පේ මේක හදංට ගොඩක් කාසි පණං යංට ඇති නේද?" නිළමෙ බලූප් වැල් දිහා බලාගෙන මෙන්ටල් පාරක් ගැහුව. "මොනවද අම්මා අද අපේ තියන පර් කැපිටා එකේ හැටියට මෙව්ව හදන එක කජ්ජක්ද?" කවුද ලෝං ඕන් හරහා පත සික්සර් එකක් ගැහුව හිහ් හී. මේ අපේ කිරිකැට් තුමානෙ. "ඔයාට මොටද කිස්මස් ට්‍රීර එකක්? හදනව නං ඕං ලයිට්ටවුසියක් වගේ එව්ව" නිලමෙ කිව්ව. වීල් නිළමෙට ඇහැක් ගහල මෙහෙම කියනව. "අර පල්ලියෙ උන්නාන්සේ පොඩ්ඩක් ෂේප්කර ගන්ට ඊළඟ චන්දෙට කලිං මයෙ හිතේ.....අද කැලෙ හැටියට මෙහෙම ගහක් වත් නැතුව බෑ දොරේ." නිළමෙ කැරකිලා ගිහිං ටයිකෝට් දාපු බුවෙක්ගෙ හැප්පුන. "බලාන්ට නිළමේ යේක තමා ගහ යේක තියෙන්ඩ තිබ්බේ විල්පත්තුවෙනේ. මට නං කපන්ටම තමා හිත. රොම්බ සයිස් අප්පා." නානා ගහ ඉඹගෙන ඉඹගෙන ගිහින් බුල්ඩෝසර් සයිස් පනාවක් දැම්ම. ගහ වටේ තව ටිකක් ඉතර කැරකෙන කොට නිළමෙට අමුතුම සෙට් එකක් හම්බ උනා. ලිප්ස්ටික් උලල කොටට ඇඳල හීල්ස් එහෙම දාපු කොල්ලො සෙට් එකක් පස්ස නටව නටව ඇඹරෙනවා. නිළමෙටයි වීල්ලටයි දෙකංසෙං හිනා ගියා. "ඔයාල මොකද මෙහෙ කරන්නෙ?" නිළමෙ එකියක්ගෙ අත කොනිත්තල ඇහුව. "අනේ මෙයා. අපි අවයව දන්සැලක් දෙනව." "යකඩෝ මේ වෙසක් කියල වෙංටෑ ඔය අවයව කිව්වෙ වකුගඩු අක්මාව වගේ ඒව වෙංටෑ." "අනේ මෙයා අහන ඒව. ඒක නං කියන්ට මොකක්ද වගේ." එකියක් නෝන වොයිස් එකෙන් පස්ස හරවගෙන කිව්ව. "හොඳා හොඳා පිං අතේ වැඩනෙ ඒවා. නැත්ද?" "ඔව් මෙයා. මේ ආත්මෙම පිං ලැඛෙනව. ඇමතිකමක් උනත් හම්බ වෙංට පුළුවං අනේ." ඒ එකියක්ගෙ හීල් එකට නිළමෙගෙ කකුල හිල් උනා. නිළමෙට අම්ම මතක් වෙලා හොඳ පදයක් කියැවුනා. "ඔයාලගෙ අම්ම" නෝනත් ඇරියෙ නෑ. හැබැයි නිළමෙට සීන් එක හැපුනෙ නෑ. කොහෙද ඉතිං උගුඩුවා වගේ එක හුස්මට වයින් බාගෙ බැස්සුවනෙ ගිනි මද්දහනෙ. දෙකක් වැදුනම නෙයියාඩං පෙනෙන්ට තිබාගන්නව. තව ටිකක් රෑ බෝ වෙනකොට තමා මරු සීන් එකක් දැක්කෙ. අපේ මල් පීඩා ගුණේ අයියා වාසි මල්ලි එහෙම එකතු වෙලා කවුද පොරකට අමුඩයක් එහෙම ගස්සලා කකුල්වල ග්‍රීස් ගානව. අප්පච්චියෝ. "මොකෑ ලොක්කව ගස් නග්ගන්ට වගේ හදන්නෙ. මේ අවුරුදු නෙවෙයිනේ." නිළමෙ ඇහුව. "දන්නව දන්නව නිළමේ. මුංදෑ ගහේ නග්ගල උඩින් තිබ්ඛෙ නැත්තං අපට හබක්. මුරුංග උනත් ග්‍රීස් උනත් අපට ලෙවල් නෑ." මෑන්ස් කාරය ජෑක් තියල පීරපු ඔලූව කහ කහ කිව්වා. ඊට පස්සෙ මන්තරයක් වගේ වචන සැට් එකක් මැතුරුවා. "කුමන්ත්‍රනේ. අධිරාජ්‍යවාදියා, ආර්ථීක ඝාතකයා, ලෝක බැංකුව." වගේ පිළුණු වෙච්ච පදදෙක තුනක් ඇහුණ. කවදාවත් මහා පරාක්‍රමයක් කරවු නැති බාහු කෙනෙක් ඇට්ලස් චූටි පෑනක් පිරිකරට තියල ගහට වඳිනවා. "මං මේ කාගෙනුත් ඉල්ලන්නෙ වහිංට කියල පුළුහං තරං පුද පූජා තියන්ට කියල හිටං." කිස්මස් ට්‍රී එකට වඳින්නේ අනිවා මැන්ස්ගේ මොලේට එන්කෙෆලයිටිස් පාරක් හැදිල වගේ. ගල්පර අස්සෙ කුඩ ඉහලගෙන ලව් කරන ඔවුන් ගණං කර කර සැන්ටා ක්ලෝස් මෑන් මොනවදෝ ගනං හදනවා. තෑගි දෙන්ට වෙංටෑ. "මුංටත් ලව් බද්දක් ගැහුවොත් ආදායම ඉහළ නංවංට පුලූහං. ඒකයි මේ ගණං කරන්නේ කපල් කීයක් ද කියල." සැන්ට දස ටෝක් එකක් දුන්න. තව හිටියොත් නිකං හිටං බද්දක් ගෙවන්ට වෙයි කියල බයවෙච්ච නිළමෙ වීල් මල්ලිගෙ දශරතේ නැගල සිං ගාල එතනිං වාෂ්ප උනා...
10October 2016
blog_shape

භද්‍රසාල විසිනි

යටගිය දවස නේක නේක මිත්‍යා දෘෂ්ටීන්ගෙන් ගහන ජම්බුද්වීපයේ මහරජු සදොවුන් රජුගේ පුත්‍ර ශ්‍රී සිද්ධාර්ථ කුමරුවෝ උපත ලදහ. සාර සංඛ්‍ය කල්ප ලක්ෂයක් පෙරුමන් පුරා එම භවයේ දී ම ත්‍රෛලෝක පූජිත ව සම්‍යක් සම්බුධත්වයට පත් වූවෝ දස මරුන් ඈ කෙළක් ඝෝර සේනා පරදමිනි. සකළ ලෝ සත භවාන්ධකාරයෙන් මුදවා නිවන නමැති අමාදියෙහි සනහන්නට අප මහා ශාස්තෲ වූ බුදු රජාණන් වහන්සේ ගම් නියම්ගම් හි වැඩම කළ සේක. අනේකප්‍රකාර වූ කෙළෙඹි පුත්‍රයන්ට, බ්‍රාහ්මණයන්ට, ආජීවකයන්ට අනගි දම් දෙසා වදාරා මිත්‍යාවෙන් ගලවා ගත් සේක. එපමණකුදු නොවෙන්නේ ය. නිල් මහනෙලක් වන ඒ ශ්‍රී බුද්ධ මුව පියුමෙන් මෙසේ වූ ගාථා පාඨයක් වදාළ සේක් නක්ඛත්ථ නම් ජාතක කථා රත්නය ඇවැත් මහණුන් විෂයෙහි දෙසා වදාරද්දී ය. "නක්ඛත්තං පතිමානෙන්තං අත්ථො බාලං උපච්චගා අත්ථො අත්ථස්ස නක්ඛත්තං කිං කරිස්සන්ති තාරකා" උත්තම ශ්‍රී සම්බුද්ධ වචනය රකින්නා වූ එක ම දිවයින යැ යි වහසි බස් ඛෙණෙන්නා වූ සසිරිබර මෙසිරිලක මෙකල බැලු බැලු අත බුද්ධ වචනය අලූයම් කාලයෙහි වූ කෙළ පිඩක් කෙරෙන්නා වූ මිත්‍යාමතිකයන් වැසි වැසලා ය. භද්‍රසාල වන මම් මේ කතාවස්තුව මෙවක කියන්නමෝ වෙයි. බැලු බැලු අත ඇත්තේ මිත්‍යාවය. කලක් එකල්හි රට පාලනය කළ රටේ මහරජ්ජුරුවන් අත වජ්‍රායුධය නම් මිත්‍යා දෘෂ්ටිකයන් අත තැබූ සුරුවමක් දිලූණේ ය. උහු තම පුත්‍රයා අත ද එවැන්නක් තැබුවෝ ය. ඒ යම් සේ ගොබ්බ මිත්‍යා අදහස් දරන්නා වූ කපටි මනුෂ්‍යයින් විසින් එම වජ්‍රායුධයෙන් වැසියන් වසී වන්නේ යැ යි කියා මහරජු රවටා තැබූ බැවිනි. විද්‍යාදී විවිධ ශාස්ත්‍රයන් කෙළ පැමිණි උත්තම බුද්ධි මනුෂ්‍යයන් පවා නේක විභාගයන් සමත්වන්නට දරුවන්ගේ ගෙලෙහි, හිණෙහි විවිධ සුර එල්ලා තබති. ලෝක ධාතුවේ කෙළවරක් නැති විද්‍යා ශාස්ත්‍රවලින් සොයා ගන්නා ලද විවිධ උපකරණ ඔස්සේ ද ඌ තුමූ කරන්නේ ම මිත්‍යා අදහස් වැපිරවී ම වන්නේ ය. ජනයා දැනුමෙන් පොහොණි කරන්නෙමැයි වහසිබස් දොඩන විවිධ මාධ්‍ය නමින් දන්නා පත්තර, රූප පෙට්ටි ඈ නේක ඒවායේ ද පවිටු ලෙස අභිප්‍රාය කරන්නේ මිත්‍යාව වැපිරවීම වන්නේ ය. එකී බාලගණයේ පත්තර නමින් දන්නා කඩමාලූ පුරා "වසී, වසී, වසී" යනුවෙන් ද "හැරගිය අය ගෙන්වන්නමෝ ය" යනුවෙන් ද අර කුල විල්ලියා මේ කුල විල්ලියා කතාන්දර පතුරවති. මිත්‍යාවට වසර දහස් ගණනකට පූර්වයෙහි නක්ෂත්‍ර යහපත්දෝ අයහපත්දෝ විචාළ කල්හි එක් බඳු ගාථා පාඨකයින් නක්ෂත්‍ර බැහැර කළේ වුව ද නිර්මල බුදු දහම අපේ අපේ යැ යි කියන්නා වූ ලක් වැසියෝ සැබෑ බුදුදහමට අනදර කොට මේ මිත්‍යාවට ආදර සත්කාර කෙරෙති. රට වැස්සේ මරණය, මඟුලට, උපතට, නම් තැබීමට, ගෙවල් හැදීමට, කතා කිරීමට, බත් කෑමට, ගෙයින් එළියට බැසීමට මතු නොව කිව නොහැකි තරම් දේවලට නක්ෂත්‍ර පිහිට පතන්නෝ ය. වන්නාට ය. ඒවා තම තම නැණ පමණින් දත යුතු කියා ඉවසිය හැකි වන්නේ වුව ද රට කරවන පාලක කාරකාදීන් ද රජුන් ඇමැත්තන් ද ඉතා නින්දා සහගත සහ අලජ්ජි ලෙස මිත්‍යා සරණ ගියෝ වෙති. නක්ෂත්‍රවලින් පළ කවරේ ද? තාරකාවන්ට කළ හැක්කේ කවරක් ද කියා අඥාන මනුෂ්‍යයෝ තේරුම් නොගන්නා ලෙස ම දුක්පත් රට වැස්සන්ගේ අඩ මස්ස පවා අය-බදු ලෙස උපයාගෙන රැකෙන උන් පාරක් තනන්නට ද ජනයාට ආරෝග්‍ය ශාලාවක් ඉදිකරන්නට ද රජුන් පත් කරන්නට ඡන්ද තබන්නට ද නක්ෂත්‍ර පිහිට පතති. මෙවන් මිත්‍යමතයන්ගෙන් බුද්ධ කාලයට පෙරාතුව ජම්බුද්වීපය පැවතුණේ ද කියාවත් හිතන්නට බැරි තරම් මිත්‍යාව ය. බැලු බැලු අත මිත්‍යාව ය. අඥානයන් රවටා මුදල් ගරන රාජ-රාජ මහාමාත්‍යයන්ගේ උදවුවෙන් රැකී දිලෙන මිත්‍යාව ය.
08September 2016
blog_shape
භද්‍රසාල විසිනි තවද යුගන්ධර සාගරය සේ අනන්ත වූ ගුණ මුහුදට ගලා යන්නා වූ සියුම් නුවණ ඇති සර්වඥයන් වහන්සේ තෙවරක් වැඩම කරන ලද්දා වූ ශ්‍රී ලංකාද්වීපය නම් දිවයිනෙහි වාර්ෂිකව පැවැත්වෙන්නා වූ පුස්තක ප්‍රදර්ශන සැණකෙළියක් අරභයා මේ කතාව දැක්වෙයි. යටගිය දවසක ශ්‍රී ලංකාද්වීපයේ අගනුවරාසන්න තෙනක පිහිටි "කලාභවන" නම් වූ තෙනෙහි ඉතා ක්ෂුද්‍රයෙන් ඇරඹියා වූ මේ පුස්තක ප්‍රදර්ශනය මෙසමයෙහි බොහෝ ජනී ජනයා කළම්බාලමින් සහසක් දෙනා රැස් කන පුස්තක අලෙවි කෙරෙන්නා වූ එකක් බවට පත්ව තිඛෙන්නේ ය. පුස්තක වනාහී රජුන්ට වඩා බලවත් වන්නේ ය. රත්රන්වලට වඩා වටනා වන්නේ ය. මුක්ත මාණික්‍යයන්ට වඩා අගනා වන්නේ ය. කිකලෙකත් ඒ එසේ ම ය. ගරු කටයුතු වන්නේ ය. එසේ ද වුවත් මෙකී සැණකෙළියේ දී පුස්තකයන් ට වඩා වෙනත් අංග ප්‍රත්‍යංග උත්කර්ෂයට නැංවෙන්නේ ය. පුස්තක අලෙවිය වැඩි කරගන්නමෝ යැ යි කියමින් විවිධ කූටෝපායන් යොදමින් ගොම රිටි වැනි වූ පුස්තකයන් ද මහරු මාණික්‍යය යැ යි හඟවමින් උලූප්පාලති. මෙකී කූට වාණීජ වෙළඳ පිරිස් වෙත රැවැටෙන හුදී ජනයෝ බඩා සා දුකින් පෙළෙමින් පවා රැක ගත් මස්ස-කුඩ මස්ස වියදම් කොට එකී හඩු පුස්තකයෝ ද මිලට ගනිති. තවද බෝ ජනයින් මෙකී පුස්තක ප්‍රදර්ශන සැණකෙළිය නරඹන්නට පැමිණෙන්නමෝ 'කොල අපිදු ඊ වෙත යා යුත්තෙමු. පුස්තකයෝ පරිශීලනය නොකළ ද නොගොසින් සිටියහොත් අප මූඪයන් ලෙස ගන්නට බැරි නැත. නොගොසින් සිටීම් නම් අපට තරම් නොවෙති' ආදී චින්තාවෙනි. දහස් ගණනක් පුස්තක කෙරෙහි ප්‍රේමයෙන් ඇදෙන ජනයා අතුරෙහි අප මහා සම්බුදු රජාණන් වහන්සේගේ දිවමන් ව වැඩ හුන් කාලයේ පැවැති ආකාරයේ "ගිරග්ග සමජ්ජ" ඈ සැණකෙළි වැනි සැණකෙළියකැයි මේද සිතා පැමිණෙන්නෝ ද සිටිති. එය නම් උහුගේ වරදක් ද නොවෙති. කෙසේ ද යත්, අගනගර මහා ඛාද්‍ය භෝද්‍ය අලෙවි වෙළෙන්දෝ ද සිය අලෙවි සැල් එහි සිය රස මසවුළු ද සමඟින් පවත්වාගෙන යන හෙයිනි. ඒවා ප්‍රදර්ශනය කෙරෙන්නේ පුස්තකයන්ට වඩා අනභිභවනීය පරිද්දෙනි. එකී ඛාද්‍ය භෝද්‍යන්ගේ මිල පුස්තකයන්ගේ මිලට වඩා බොහෝ සෙයින් වැඩි ව ඇත්තේ ය. ඒ අතර වෙසෙස් නූඩ්ල්ස් වර්ගයක් පුස්තකවලට වඩා වැඩියෙන් අලෙවි වන්නේ බෝ කලෙක සිට ය. එක්තරා වතාවක මෙකී නූඩ්ල්ස් වර්ගය කල් පන්නා ඇති තොග ජනයාට භෝද්‍ය ලෙස අලෙවි කළැ යි චෝදනා ලද්දෝ ය. ඒ කෙසේ වෙතත්, චෝදනාවෝ ඇති පදම් ලැබුණත් මෙකී නූඩ්ල්ස් වර්ගය නම් පුස්තකයන්ට වඩා එහි රජ කරන්නේ වෙයි. ඉක්බිති මේ මහත් පුස්තක ප්‍රදර්ශනය අරභයා කියටි කියන අය ද වෙත්. උහු ඛෙණෙන්නෝ "එම්බා ජනයිනි, යොදුන් ගණන් සිට පුස්තක ප්‍රේමයෙන් පැමිණෙන කෙළක් පමණ ජනයා අසූ කෙළක් පමණ පොත් මිලයට ගන්නා හ. එතෙකුදු වුවත්, ලංකාද්වීපය නම් එන්න එන්න ම ගර්හා කටයුතු බවට ම වැටේ. පුස්තක කෙරේ ලොල් වඩනා වූ ජනයා සිටින රටකුත් මෙලෙස මෙතරම් පරාභවයට යා ද?" ආදී වශයෙන් පරිහාස ඛෙණෙති. මෙකියන පුස්තක ප්‍රදර්ශන සැණකෙළියාවසනායේ "ස්වර්ණ පුස්තක" යනුවෙන් වැහැරෙන පුස්තක කිහිපයක් වරණය කෙරෙති. මෙකී වරණය තෙල පොත් ඉතා වැඩියෙන් අලෙවි වන්නට හේතු භූත වන්නේ ය. වරණයෙන් ලැඛෙන දහසින් බැඳි පියල්ල ද මහා අලෙවිය ද කරණ කොට ගෙන පුස්තක ලේඛක ඥාණවෘද්ධ, ගුණවෘද්ධ පුරුෂයෝ ද නේක නේක කූටෝපායන් කෙරෙහි නැමෙන්නට වෙති. උහු ඇමගේ සිතිවිලි ඇම එකඟ නොවෙයි, නානාච්ඡන්ද ය. එබැවින් වික්ෂෝභයන්ට කරුණු නොවෙති. සුරාවට, මත්ද්‍රව්‍යට හෝ අවිආයුධයන්ට ධූර්තවීම වැලිත් සෑම කල්හි ම පරාභවයට හේතු වන්නේ වෙයි. පුස්තකයන්ට ධූර්තවීමෙන් කිසිවෙක් කිසිකලෙකත් පරාභවයට නොයන්නේ ය. එබැවින් කියටි නොකියා පුස්තක ප්‍රදර්ශනය අනගි වන්නේ යැ යි පැවසිය යුතු ය.
12June 2016
blog_shape
භද්‍රසාල විසිනි වත්මන් දවස ලංකා රට මෛත්‍රී නම් නායකයෙක් පාලන කරන සමයෙක් හි සිදුවුණු මහා ජල විපතක් අරභයා මේ කතාව රචනා කෙරෙයි. ඒ කෙසේ ද යත්, "දේවෝ වස්සතු කාලේන සස්ස සම්පත්ති හෝතුච පීතෝ භවතු ලෝකෝච රාජා භවතු ධම්මිකෝ" පාලක කාරකාදීන් දැහැමි වන්නමෝ නම් අටු කොටු පිරෙන බවත්, නිසි කලට වැසි වසින බවත් යනු කී හෙයිනි. ලංකාද්වීපයේ නම් පෙර කල අප ත්‍රෛලෝක තිලකායමාන වූ සම්මා සම්බුදුන් වහන්සේ සිටි සමයේ මෙන් ලිච්ඡවි ඈ රජුන් කිකලෙකවත් පහළ වී නැත්තේ ම ය. කිකලෙකවත් දැහැමියැ යි කියන්නට මුඛය හරින්නට හැකි පාලකයෙක් පහළ වී නැත්තේ ම ය. එක් වන ම චණ්ඩ සුළං කුණාටු ගුගුරවමින් අග්නි කල්පයකට පසුව වසින්නාක් මෙන් වර්ෂාවක් වටනට වන්නේ ය. යම් සේ ද මොර ඵල සූරන්නාක් මෙන් ය. මහත් පාෂාණ කැට වර්ෂාවක් වටනාක් මෙන් ය. එකල් හි කුරුබිලියන්වලින් තම නිවෙස්වලට වන් ගහපතියන් කල්පාන්ත මුරුගසං වර්ෂාවක් වන් මේ වර්ෂාව දැන් ඉකුත් වෙතියි දැන් ඉකුත් වෙතියි බලා බලා හුන්හ. ගොනු පසු පස එන ගැලක්හු පරිද්දෙන් දිනෙන් දිනට ඇදෙමින් ඇදෙමින් වර්ෂාව නොනවත්වා වසින්නට වන්නේ ය. දුගී දුප්පත් මනුෂ්‍යයින් කුලී මලී වැඩකුදු කරගැන්මට නොහී දුක්ඛිත ව අවසඟව යන්ට වන්නෝ ය. ධනීය ගෝපාලයන් වන් මහත් ධනපතීහු, කුමාරවරු ඈ නෙක උන් සිව් මහල් ප්‍රාසාදයන්හි වැජඹෙන්නෝ බැවින් උහුට මෙහි වගේ වගක් නැත්තෝ ය. අන්තයක් නොහී වට වර්ෂාවෙන් ඉක්බිත් ලංකාද්වීපයේ මහා කඳු පන්තීන් ගැලැවී දුගී දුප්පතුන්ගේ වාසස්ථාන මත්තෙහි වැටෙන්නට පටන් ගත්තේ ය. ඒ කෙසේ ද යත්? මහී මව් තොමෝ හට නොයෙක් අතවර කෙළි කෙළිමින් කඳුකර වනී වනාන්තර සුනු විසිණු කරමින් පාලකයන් කළ අකටයුතුකම්වල ප්‍රතිඵලම මිස අනෙකක් නොවේ. දිවි කල් ගෙවන්නට දුගියන්ට සුදුසු රක්ෂාස්ථාන නැති කමින් උහු එවැනි අන්තරායකර අඩවිවල ම දවසරිති. මෙකී මහා තුංග වර්ෂාවෙන් නාය ගිය කඳු පංක්තීන්ට යටවැ බොහෝ දුගී ජනා සැනෙන් මරු වසඟට ගියෝ ය. සිය ගණනකි. ඉනුදු අවසරක් නැත්තේ ය. අහවරක් ඉඩවරක් නැත්තේ ය. වසින්නේ ය. වසින්නේ ය. කොළඹ නමින් වූ ලංකාද්වීපයේ නෙක සල්පිල් ආදිය ඇති ප්‍රධාන පුරයාසන්න මනුෂ්‍යයන්ගේ වාසස්ථාන යට කරමින් එකී වර්ෂාවෙන් වට වට ජලය උතුරා යන්නට වන්නේ ය. මහත් භයංකර වෙසක් ගෙනායේ කල්‍යාණ නදී අසබඩ නිවැසි මනුෂ්‍යයින්ට ය. නොවලහා වටනා වැස්සෙන් යට වී ගිය නිවාස රක්ෂාස්ථාන නිසායෙන් එක් එක් උසැති ස්ථානවල ඉදිවූ අනාථ සරණාස්ථානයන්ගේ පුරය පිරී ගියේ ය. මහත් වර්ෂාවෙන් පීඩාවට පත් ව සිය ජීවිත කාලය පුරා දුක්මහන්සියෙන් හරි හම්බකරගන්නා ලද සියලූ වස්තූන්ට අස්වාමිකව හඳිනා කඩකට පමණක් සස්වාමිකව තැන් තැන්වල වැද හොත් ජනයා ය. කිරි ඉල්ලා හඬන නොදරුවෝ ය. යම් සේ ද යත් බුදුන් කල විසාලා මහනුවර සේ දිස් වී ය. මේ අනාථභාවයට පත් වූවනට සරණ විය යුතු වන්නා වූ ආණ්ඩුවට පාණ්ඩුව නම් රෝගයක් වැළඳී ඇත් දෝ හෝ යි සිතෙන තරමට සරණ සැපයුම් කටයුතු මඳ මඳ වේගයෙන් කෙරන්නට වී ය. එක්තරා පරිගණක නම් යන්ත්‍රයක් මූලික කොට ගෙන මිතුරු සන්ථවයන් ගොඩ නගා ගත් යොවුනන් මේ පාණ්ඩු ආණ්ඩුවට වඩා වැඩ කළෝ ය. දෙදෙව් ලොවට අධිපති සක්‍රයා ගේ පාණ්ඩු කම්භල ශෛලාසනයවත් හුණු වූයේ නැත්තේ ය. ඒ අවු අස්සේ ම රට පාලන කටයුතු කරනා නායකයෝ යැ යි කියා ගන්නවුන් ද, රට පාලනය කරන්නට මතු බලාපොරොත්තු ඇති වුන් ද "බලව් මට ජනතා ප්‍රිය වන්නට අනායාස අවස්ථාවකැ" යි ඛෙනෙමින්, අනාථව වැදහොත් ජනයාට පිහිට වන්නා වූ නියායෙන් අසරණ අනාථව හුන් අයගේ මතු කැමැත්ත එකතු කරන්නට වන්නෝ ය. තෙල ප්‍රයෝගයෙන් මම ද ප්‍රයෝජන ගන්නෙමැ යි පිළිසන් දුන් සුජීව නමැති ඇමැත්තෙක් ද තමා අප්‍රමාද වීම වෙනකෙක් එතැනට යාමෙන් පාඩු වෙතැ යි සිතා ජනතාවට කෙසෙල් ගෙඩිය බැගින් ඛෙදන්නට වන්නේ ය. එකල්හි එබඳු විසිලූවක් තවත් නැතැයි මුවෙන් මුව පැතිර ගියේ ය. ලංකාද්වීපයෙන් දුරස්වැ ගොස් සිටින්නා වූ ලංකාද්වීපයේ මනුෂ්‍යයන් ද කොළ ජනයිනි, අප අපගේ සෝවුරන්ට උදව් කරන්නමෝ වේ දැ යි සිතුව ද පෙර අකුසලයක් ඔවුන්ගේ ද සිහියට ආයේ පෙර කලෙක ලංකාද්වීපයට මුහුද ගොඩ ගැලු කල ඛෙදූ ඛාජ්‍ය භෝද්‍ය මිල මුදල් ඈ ආධාරයන් ගසා කෑ අන්දමයි. එසේ ද වුවත් උහු තමන්ගේ හැකි පමණින් ජනයාට පිහිට වූ බව පෙනී ගියේ ය. මෙලෙස සියක් දහසක් දෙනා අනාථ ව ගොස් සිටින කල්හි වර්ෂාව මඳින් මඳ පහවැ ගියේ ය. පාලකයෝ නිතොර නේක අනේක අයබදු වැඩි කරමින් හුදී ජනයාගේ පඩි පත චෞරයන් මෙන් පැහැර ගත්ත ද යම් අකාර ව්‍යසනයක දී ජනතාවට සරණ වන්නට උහු අසමර්ථයෝ ය. ඉදින් මෙවන් පාණ්ඩු ආණ්ඩුවකින් තමන්ට කම් නැතැ යි ජනයා කියන්නට වන කාලය ඉතා නුදුරේ බව පෙනී යන්නේ ය.
15May 2016
blog_shape
භද්‍රසාල ලියයි තවද යටගිය දවස, ලංකාද්වීපයෙහි මෙත්පල් නම් නිරිඳෙක් රාජ්‍ය විචාරන සමයෙක අධිකරණ මන්ත්‍රණ සභායෙහි ද වෙනත් පරසිදු තන්හි තන්හි ද කොලහල කරන භික්ෂු පිරිසක් අරභයා මහත් ඝෝෂාවක් පැන නැංගේ ය. ඒ කෙසේ ද යත් ? ලංකාද්වීපය වනාහි, තිලෝගුරු අපමහා සම්‍යක් සම්බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී පාද කමලයෙන් පහස ලැබූ භූමියක් වන්නා සේ ම නොයෙක් ජනී ජනයා අප තිලොගුරු පියාගේ සැබෑ දහම ඇත්තේ නම් මෙහි යැ කියමින් අන් ආගම් පරවම්භනය කෙරෙමින් ඉන්නා තැනෙකි. එපමණෙක් ද නොවේ. සකල ලෝ ධාතුවෙන් ම අපි තරම් උතුම් ජාතියක් නැත්තමෝ වේදැ යි ද මෙකී ජනයා නිරන්තරයෙන් ඛෙණෙති. වන්නාට ය. බොහෝ කොට ම පෙනෙනුයේ අතීත ශ්‍රී විභූතිය, නේක ශ්‍රීය වර්ණනා කරමින් අතීතය බුදිමින් සිටින ජනයා ම දැන් දැන් වැඩි වන්නා බව ය. අප මහා ලොව්තුරු බුදු පියාණන්ගේ ශ්‍රී සම්‍යක් සම්බුද්ධ ධර්මය වනාහී අනුන් ගැන නොව තමන් ගැන ම සොයන්නැ යි දෙසා වදාරන දහමකි. එමතු ද නොවේ. ශීල, සමාධී, ප්‍රඥා ඈ නොයෙක් පිළිවෙත් ම උතුම් කොට ගන්නා දහමකි. බුද්ධ පුත්‍රයාණෝ කෙනෙකු කෙබඳු විය යුත්තමෝ දැ යි අපි තිලෝගුරු අමා මහ බුදුරජාණන්වහන්සේ නොයෙක් තන්හි සඳහන් කර ඇත්තේ ය. කෙළෙස් තැවීම ම ගුරු කොට ගන්නා ශ්‍රී සම්‍යක් සද්ධර්මය පිළිපදින සග ගණ පිරිවර ජම්බුද්වීපයේ යටගිය දවස ඇති කළේ මහත් ජන ප්‍රසාදයක් වෙති. උහුගේ ඇවැතුම් පැවැතුම් චණ්ඩ නොවෙති. බැලු බැලු දනන් නෙත් සිත් සනහන ප්‍රසන්න ස්වභාවය ම දරති. මුවින් වෑහෙන වදන් කවරක් ද අමොද බිඳු සේ ය. චතුමධුර සේ ය. තමා ගැන ම සොයන්නෝ ය. එකල අප තිලොවග පියා දිවමන්ව සිටි දඹදිව් තලයේ ජනී ජනයා මහණ රුවක් සුබ ලකුණක් සේ සැලකුවෝ ය. චණ්ඩ ප්‍රචණ්ඩ සොබා ඇති සුනාපරන්තය වැඩ ම කළ පුණ්ණ තෙරණුවෝ තම දිවි තොර කළත් අබැටක කොවක් නොදරන්නමැ යි ශපථ කරමින් බවුන් වැඩුවෝ ය. මෙකල්හි ලංකාද්වීපයෙහි, අප ත්‍රෛලෝක තිලක වූ මහා සම්බුදු පියාණන්ගේ බුදු දහමේ මුර දේවතාවුන් යැ යි කියාගන්නා යම් බඳු තෙරණු පිරිසක් පහළ ව සිටිති. එවර්ගයේ භික්ෂුන් ටිකෙන් ටික ගණනින් වැඩි වන බවත් පෙනෙති. උහු කිකලෙකවත් පෙර අප තිලොවග පියාණන්ගේ පිරිවර භික්ෂූන් බඳු ශාන්ත ස්වභාවයන් නොදරති. බැලු බැලු අත ආක්‍රොශ ඛෙණෙති. පරිභව කෙරෙති. තමන් ගැන සොයන්නැ යි කියා ධර්මයේ ඇතිදු රාජ්‍ය පාලනය හෝ වෙනත් අටානූවක් දෘෂ්ටීන් ගැන මිසෙක තමා ගැන කිසිත් නොසොයති. සම්බුදු දහම වෙනුවෙන් පෝරිසාදයන් සේ වුව ද සටන් කරන්නමෝ වේ දැ යි වහසිබස් ඛෙණෙති. රජුන්ට අර්ථය ධර්මය දෙසන්නට ම සැදී පැහැදෙති. කාය බල වඩවන්නට සටන් ශාස්ත්‍ර උගනිති. මෙකී චණ්ඩ පබ්බජිතයන් දුටු දුටු තන්හි පුහුදුන් සිත නිවා සනහන දැක්මක් නොවන්නේ ම ය. තමන් ගැන සොයන්න, අනුන්ගැන නොසොයන්න යන බුදු වදන සේ ම කෙළෙස් තැවූ කල භික්ෂුව වෙසෙහි පහළ වන ශාන්ත සොබා දන්නාවූ ජනයින්ට මේ චණ්ඩ පබ්බජිතයන්වහනදෑලාගේ ඇවැතුම්-පැවැතුම් උසුලූ-විසුලූවක් වන්නේ ය. තව ද මේ චණ්ඩ පබ්බජිතයින්ට වෙනස් ව බුද්ධ වචනයට සපුරා ම වෙනස් පිළිවෙත් පුරන විකල් පබ්බජිතයන් වහනදෑලා පිරිසක් ද පහළව යෙති. උහු ද අප මහා තිලොවග පියා වදාළ දහමේ එන උතුම් පිළිවෙත් පූජා අලූයම ලු කෙළ පිඩක් සේ පසෙක ලා ආමිස පූජාවන් ම කෙරෙති. මන්දපෝෂණයෙන් විකල් ව පෙර බුද්ධ කාලයෙහි සුනීත, සෝපාක වැනියවුන් සේ කෙළක් දරුවන් හාමත දරද්දී චෛත්‍යයන් වටා ආහාර කඳු ගොඩ ගැසීම බඳු අරුම පුදුම පිළිවෙත් පුරති. පෙර අපමහා සම්බුදුරජණානන් වහන්සේ පැවැසූ පරිද්දෙන් ම ශ්‍රී සද්ධර්මය උන්වහන්සේගේ ශාසනය තුළින් ම විනාශ මුඛයට යෙමින් ඇත්තේ, ලංකාද්වීපයේ දී ම ය. අබබ්බ පබ්බජිතයන්, චණ්ඩ පබ්බජිතයන් කෙරෙනි. චණ්ඩ පබ්බජිත වස්තුව මෙතෙකින් නිමියේ ය෴෴෴
revolutionist by saamantha tennege
18January 2016
blog_shape
කපිල කුමාර කාලිංග විසිනි එය හැත්තෑවේ දශකයේ මැද භාගයයි. රැකියා හා ආහාර ද්‍රව්‍ය හිඟය රටපුරාම වසංගතයක් සේ පැතිර තිබුණි. ජීවිතය ගොඩනගා ගනු පිණිස දිවයිනේ නන් දෙසින් කොළඹට ඇදී ආ තරුණ පිරිස් තැන් තැන්වල ලැගුම් ගෙන, බලාපොරොත්තු දැල්වුණු දෑසින් අනාගතය දෙස බලා සිටියහ. එසේ පැමිණි බොහෝ දෙනෙකුට හරි හමං රැකියා නොලැබුණි. ඔව්හු මොන මොනවා හෝ කරමින් දවසේ වියදම සොයා ගත්හ. මග දෙපස කුඩා හෝටල්වල වීදුරු අල්මාරි හිස්ව ගොසිනි. වියලී ගිය බතල හෝ මයියොක්කා කැබලි කීපයක් සහිත තසිම් මිස වෙන කෑම වර්ග නොතිබූ තරම්ය. සහල් ඇතුලු ආහාර ද්‍රව්‍ය කීපයකටම සීමා පැනවී තිබුණි. ඇඟලූම් කර්මාන්තය ද නොතිබුණෙන්, කමිසයක් කලිසමක් මසා ගැනීම ද විශාල ප්‍රශ්නයක් විය. එහෙයින් එය වැහැරුණු මිනිසුන්ගෙන් වෙසඟනන්ගෙන්, දුගී මගී යාචකාදීන්ගෙන් අගනුවර පිරී ගිය මහා මූසල, කාලකණ්ණි, දුක්ඛිත සමයක්ම විය. පිකාසෝ වැනි චිත්‍ර ශිල්පීන්ගේ කලා දිවියේ ඇතැම් යුග, විවිධ වර්ණ නාමයන්ගෙන් හැඳින්වූවාක් මෙන් මා කියන මේ 70 දශකයේ මුල් භාගය ද කහ පැහැති යුගයක් සේ නම් කළ හැකිය. මේ අවධියේ පුවත්පත් කලාවේදීන්, නාට්‍ය කරුවන්, ලේඛකයින්, නළුවන් හා සංගිතඥයින් වනු පිනිස කොළඹට ආ පිරිසක් ද වූ අතර ඔවුන් නිතර මුණ ගැසෙන ස්ථාන කිහිපයක් ද විය. නාට්‍ය පුහුණුවීම් කෙරුණු "සුදර්ශිය" ඉන් එකකි. මරදානේ සුප්‍රකට එල්ෆින්ස්ටන් රඟහලට යාබදව වම් පසින් පිහිටි ඩේවිඩ් මාවතේ දෙකෙළවර මුද්‍රණාල දෙකක් පිහිටා තිබුණි. එහි පහළ කෙළවර වූයේ "අයි පී බී සෝමේ" නමින් කලා කෙෂත්‍රයේ පතල වූ සෝමපාල හේවාකපුගේ සහ ඔහු සොහොයුරාගේ "අයි පී බී" මුද්‍රණාලයයි. ඉහළ කෙළවරේ වූයේ මල්ලිකා තිලකරත්න නමැති ධනවත් ගුණවත් කාන්තාව සතු වූ "ග්ලෝබ්" මුද්‍රණාලයයි. අයි පී බි මුද්‍රණාලය නාට්‍ය පෝස්ටර් මුද්‍රණයෙහි නම් දැරූ හෙයින් රටේ ප්‍රකට නාට්‍යකරුවන් හා නළුවන් නිතර එහි ගැවසෙනු දක්නට ලැබුණි. සෝමපාල ද ව්‍යාපාරිකයෙකුට වඩා කලා ලොවේ හිතවතෙකු වීම ඊට තවත් හේතුවක් විය. ග්ලෝබ් මුද්‍රණාලයට ද නිතර එන යන තරුණ පිරිසක් විය. ඔවුහු කලා ලොවට පාර සොයමින් සිටින්නෝ වූහ. පසු කලෙක චිත්‍රපට විචාරකයෙකු ලෙස නමක් දිනාගත් පත්‍ර කලාවේ දී ගුණසිරි සිල්වා එකල ග්ලෝබ් මුද්‍රණාලයේ අක‍ෂර සංයෝජකයෙකි. ඔහුට වැටුප් ලැබුණේ වැඩ කරන ප්‍රමාණයටය. ඒ අතරම ගුණසිරි "සකුරා" නමින් කලා පුවත්පතක් ද සංස්කරණය කළේය. ප්‍රසන්න විතානගේ නමැති යෞවනයෙක් ද එකල "සකුරා" පුවත්පතට ලිපි ලියාගෙන ගුණසිරි සොයා එහි ආවේය. රනිල් ඇල්විටිගල, පී එල් ආරියපාල, ජයන්ත කළුපහන, අනුර හෑගොඩ, වී එන් නිහිෂාන්, බර්ටි කුඩාහෙට්ටි, ගුණරත්න වික්‍රමගේ වැනි අය ද ග්ලෝබ් මිත්‍ර සමාගමයෙහි සාමාජිකයෝ වූහ. කොළඹ නවාතැන් ගන්නට පෙර, ගුවන්විදුලි නාට්‍ය පිටපත් රැගෙන මසකට වරක් දෙවරක් නුවර සිට දුම්රියෙන් එව මට ද මරදානෙන් බැස "ග්ලෝබ්" මුද්‍රණාලය වෙත යන්නේ මිත්‍ර සේවනයෙහි යෙදීමටය. ගුවන් විදුලියට ලිවීම මගේ ප්‍රධාන ආදායම් මාර්ගය වී තිබූ හෙයින් මගේ මිතුරෝ මට "අක‍ෂර වෙළෙන්දා" යයි නම් තැබූහ. "ග්ලෝබ්" අධිපතිනිය වූ මල්ලිකා තිලකරත්න මහත්මියගේ පුත් කෝසල ද අප වයසේම තරුණයෙක් විය. එසේම ඔහු කලා රසිකයෙකු ද වූ හෙයින් ග්ලෝබ් හි ඉදිරිපස කුටියේ රස්තියාදුවන තරුණ කැළ හා ප්‍රසන්න වූ ද, සුහද වූ ද ඇසුරක් ගෙන ගියේය. මත්පැන් පානය ආදී "විනෝද කටයුතු" ස‍ඳහා අපට ප්‍රමාණවත් මුදල් හදල් නොතිබුණ ද, කාගෙ කාගෙ හෝ දායකත්වයෙන් එයද අඩුවක් පාඩුවක් නැතිව සිදුවුණි. කෝසල ද අපගේ එක් අනුග්‍රාහකයෙකි. "ග්ලෝබ්" හි ඉදිරිපස තිබූ ඇඳි පුටුව අප නම්කර තිබුණේ, "අලස" පුටුව යනුවෙනි. එහි හිඳ සිටින එකෙකු නැගිටින විට තවකෙකු හිඳ ගනී. තේ විවේකයේ දී ගුණසිරි පැමිණ පාරෙන් අනෙක් පස ඇති දුම්රිය දෙපාර්තමේන්තු කැන්ටිමට අප කැඳවාගෙන යයි. හකුරු පෙත්තක් සමග කහට කෝප්පයක් පානය කරන අතරේ නොයෙකුත් කතා බස් ද, කවටකම් ද කෙරෙයි. මේ කාලයේ, අගනුවරට නුදුරු කුඩා නගරයක සිට අප කලින් නොදැන සිටි තරුණයෙක් ගුණසිරි හමුවන්නට පැමිණියේය. අපි ඔහුට "මැක්සි" යැයි කියමු. මිටි තරුණයෙකු වූ මැක්සිට තියුණු දෑසක් ද, ජේ ආර් ගේ නාසයෙන් බාගයක් ද තිබුණි. ඔහු දැඩි මාක්ස්වාදියෙකු බව මුල් කතා බහෙන්ම වැටහුණෙන්, වාමාංශික උණෙන් පෙළුනු අප මිත්‍ර සමාජය ඔහුටද ඉතා ඉක්මණින්නම අලස පුටුව භාවිතයට ඉඩ දුනි. "ග්ලෝබ්" මිතුරන්ගෙන් වැඩි දෙනෙකුටම ස්ථීර රැකියා නොතිබුණ ද ඔව්හු නිකමෝ නොවුණහ. හැම කෙනෙකුටම කීයක් හෝ හොයා ගැනීම සඳහා කුමක් හෝ රාජකාරියක් තිබුණි. එහෙත් "මැක්සි" නිකමුන්ගේත් නිකමෙකි. ඔහු ශ්‍රී ලාංකීය විප්ලවයෙන් පසු රැකියාවක් කිරීමේ බලාපොරොත්තුවෙන් සිටියෙකු සේය. සෑම දෙයක්ම මාක්ස්වාදී න්‍යායන්ගෙන් විග්‍රහ කළ "මැක්සි" කිසිදු වැඩක නොයෙදුණත් "ග්ලෝබ්හි" යාවජීව සාමාජිකයෙකු වී දිනපතාම එහි එන්නට පටන් ගත්තේය. දුම්රිය ගාස්තු හා ආහාරපාන අසරණ ගුණසිරිගෙනි. ඉදහිට දිනක ගුණසිරි ඔහුට සුළු වැඩක් පවරයි. "මැක්සි මේ පෝර්ම ටික නවල දෙනව ද?" "මට බෑ මං මොකට ද නිකං වැඩ කරන්නෙ." තමන්ගේ දෛනික වියදම සපයාදෙන මිතුරාගේ ඉල්ලීම ඔහු ප්‍රතිකෙෂ්ප කරන්නේ එය ශ්‍රමය සූරාකෑමක් ලෙස සළකමිනි. (සමහරවිට එය මැක්සි තුළ වූ අභිමානයක් නිසා විය හැක) මාසෙ අන්තිමට මැක්සිට ගුණසිරිගෙන් වැඩි මුදලක් අවශ්‍ය වෙයි. "මං කොළඹ එන්නේ රස්සාවක් කරනව කියලනෙ. කොච්චියෙ යාළුවො සෙට් වෙනකොට මාත් ගාණක් දාන්ඩ එපායැ." මැක්සි එසේ කියන්නේ එය ගුණසිරි නමැති ඇපකාර පියාගෙන් ඉටුවිය යුතු දෙයක් ලෙස සළකමිනි. කලකට පසු "ග්ලෝබ්" හා අයි පී බී මුද්‍රණාල ද වැසී ගියේය. මිත්‍ර සමාජය ද විසිරුණි. අද ඔවුන් හැම දෙනාම වාගේ තම තමන්ගේ කෙෂ්ත්‍රයන්හී ප්‍රවීණයෝය. "මැක්සි" සුළු රැකියාවන් කීපයක යෙදුණු බැව් අපට වරින්වර ආරංචි වුණි. කෙසේ වෙතත් කාලයා විසින් ඔහු අපගෙන් දුරස් කරනු ලැබීය. මෑතක දී මා සේවය කළ පුවත්පත් ආයතනයට පැමිණි වියපත් පෙනුමින් යුත් මිටි පුද්ගලයෙක් මගේ මේසය අසල නතර වී ඇඳුරුම් සිනාවක් පෑවේය. සැණෙකින් මම ඔහු හඳුනා ගතිමි. ඔව් ඒ මැක්සිය. "මේක මං කරපු පොතක්. පත්තරේ පොත්පත් තීරුවෙ පොඩි කෑල්ලක් දාල දෙනව ද?" මැක්සි කුඩා පොත් පිංචක් දෑතින්ම මට පිරිනැමුවේය. එය බෝධි පූජා හා වන්දනා ගාථා පොතකි. වැඩි කතාවකට ඉඩ නොතබාම නික්ම යන මැක්සි දෙස මා බලා සිටියේ සසල වූ සිතිනි. Illustration by Saamantha Tennege
09December 2015
blog_shape
ලියැව්වේ වොම්බැට් විසිනි මං මේ ටයිප් ගහන තුංවැනි වංගිය. එක වංගියක් ලියැව්ව එක හරි මදිය කියාල හිතල මංම බැක් ඉස්පේස් යතුර ඔබාගෙන ඔබාගෙන ගියා කොලේ හිස් වෙනකම්ම. අනික් වංගියෙ බාගයක් ලියාල හිට පොඩි හදිසියකට පුටුවෙං නැගිට්ට. ඇවිල්ල බලද්දි අපේ මැණිකෙ කොම්පීටරේ අකුලල සේව් කොරන්නෙ නැතුං. හැම තිස්සෙම කරන්ට් නහත්ති කොන්නෝ කියල. දන්න සිල්ප දාල ලියැව්ව ටික හොයැව්වා හොයැව්වා.... ම්හු...කොහෙද ? "හොඳවැඩේ තොගෙ කලබොලේට" කියාල මං මටම කියාගෙන තමා මේ ආයෙත් ඉඳගත්තෙ. අම්මපා. හැබැයි ඉතිං කොයි දේත් වෙන්නෙ හොඳටයි කියනවනෙ, නේදෑ ? ආං ඒ වගේ මට ඕං හිතීගෙන එනෝ කලිං ලියන්ට හිතූ මාතෘකාව වෙනස් කොරන්ට. ඕං එතකොටම ආපි අපේ උන්ද රණ්වරා කෝප්පෙකුත් ඇන්න. රණවරා සුවඳට අම්මපා හිත ගොහිං නැවතුනේ දුංහිඳ අද්දර. ඕං එතකොට ආයෙත් හිතෙන්ට ගත්ත දෙවෙනි මාතෘකාවත් බල්ලට දාල හඳගොම මහත්තැංගෙ දුංහිඳ අද්දර ටෙලිය ගැන ලියන්ට. මගෙ පිරියතම නලූ බට්ටත් හිටිය නොවැ. නෑ නෑ රුක්මල් නිරෝසං නෙමෙයි. මැල්කොං මචාඩෝ. එක්කො ඔන්නොහෙ ඒකත් අත ඇරල මං මැණිකෙත් එක්ක හොරෙං දුංහිඳ බලන්ට ගියහැටි ලියන්ටත් හිතෙනෝ. ඒත් කටිං එලියට පැන්නෙ වෙනම පුරස්නයක්. "කොහෙන්ද රණවරා ?" "ඇයි මොකෝ ? මං ලංකාවෙං ගෙන්න ගත්තෙ ?" මං දන්නෝ අපේ මැණිකෙ ඒ තාලෙං යුද්ද පෙකාස කොරන්නෙ උන්දගෙං මොක්කාක් හරි වැරැද්දක් උනොතිං ඉතරක් බව. පෙදානම හේතුව තමයි අපි ලබන මාසෙ ලංකාවට යන්ටත් ඉද්දි මැණිකෙ මෙහෙව් විපරීතයක් කිරීම තම සුවාමියා වන වොම්බැට්ටා විසිං කිසිසේත්ම අනුමත නොකොන්න බව උන්ද දන්නෝ. ඕං මට මාතෘකාවක් හම්බුනා. මැල්බොං වාසී අපේ මැණිකෙට ගෙවල් දොරවල් හරීයට මතක් වෙනෝ කවුරු හරි ලංකාවට යනෝ කියැව්වොත්. නැහ්නං ලංකාවෙං එනෝ කියැව්වොත්. තමනුත් මේ ළඟදීම යන්ට උන්නත්, ලංකාවට ගොහිං ඇහිල්ල මහ කාලයක් නොගිහිං තිබුනත් ඕං කවුරු හරි යනෝ කියැව්වොත් සොකලැට් ටොපී මල්ලක් හදනෝ ඒ යන කෙනා අතේ යවන්ට. කිලෝ පහ තමා අඩුම බර. එහෙමත් නැහ්නං මී පැණි කුප්පියක් හරි ගෙන්න ගන්ට බලනෝ අර ලංකාවෙං එන කාගෙ හරි අතේ. හැබෑටම ඒ මක්කැයි කියාලද ඔබ තමුන්නාන්සෙල හිතන්නෙ ඈ ? අර බඩු අදින එකා ලංකාවට යන්නෙත් ගොහිං එන්නෙත් හත් අවුරුද්දකට සැරයක් වෙන්ට පුලුහං. නැහ්නං අවුරුදු පතාම යනෝ කියමුකො. ඒත් ඉතිං උන්දටත් නැද්ද නෑ සනුහරයක් ටොපි සොකලැට් දෙන්ට ? යවන්නෙ බේතක් හේතක් නං කාරියක් නෑ. එහෙ ගන්ට නැති පොතක් පතක් වගේ නං ඒත් කාරියක් නෑ. යකෝ එහෙ අනන්ත ලාබ ඇඳුං තියෙද්දි මෙහෙං යවන්ට හදනෝ වින්ටර් ජැකට්. ඔහෙලගෙ ගෙවල් අහනං මෙහෙම විපිරියාස වෙන්නෙ නෑ. ඒක මං සහසුද්දෙං දන්නෝ (මං හිතන්නෙ). මං මේ කියන්නෙ අපෙ මැණිකෙගෙ රණවරා ඉට්ටෝරි කතාව ඕං ඈ ? ඉතිං අම්මාපල්ලා මං මේ ගිය මාසෙ තමා දැක්කෙ අපෙ මැණිකෙ වින්ටර් ජැකට්ටුවක් අඹරල මිරිකල කරකෝල දාන්ට හදනෝ අඟල් හයේ හයේ මල්ලකට. "මේ මොකෝ අලියෙක් කූඹි ගුලකට රිංගවන්ට තනන්නෙ ?" මං පුරුස දහිරිය ඇන්න ඇහැව්වා. "ශීල අනිද්ද ලංකාවට යනව අනේ. බලන්නකො එයා කියැව්වෙ නෑනෙ මට අනිද්ද යන වගක්. නැහ්නං ටොපි සොකලැට් චීස් ටිකකුත් අරං යවන්ට තිබුණ. ගෙයි හරියෙ කිසි දෙයක් නෑ යවන්ට. හොඳ වෙලාවට මේ ජැකට් එක පුතාට දැං මදි. අලූත් පාටට තියනත් එකේ මේකවත් යවනෝ." "කාටෙයි යවන්නෙ ?" "නංගිගෙ පොඩි එකාට." "මැණිකෙට නුවරඑළියෙ නංගිල නෑනෙ. එකම නංගි ඉන්නෙත් කහටගස්දිගිලියෙනෙ ? උන්දල ගෙවල් විකුණල නුවරඑළි ගොහිල්ලැයි ?" "නෑ අනේ !!! අයියෝ ඔයාට කොමන් සෙන්ස් නෑ වොම්බො. එයාල තාම ඉන්න කහටෙ තමා අනේ ?" "එහෙනං අහවල් කැකිරි ගෙඩියකට ජැකට් යවනවැයි කහටෙට ?" "ඉඳා !! මේ බලහල්ලකො කතාවක් ? ඇයි නංගිල නුවරඑළියන්නෙ නැද්ද ? විනෝද ගමං ?" "ඉතිං කවුදෑ ඕක දෙන්ට කහටෙ යන්නෙ ?" "ශීල කියැව්ව එයාල ඒ පැත්තෙ ට්‍රිප් එකක් දා ගෙනලු ඉන්නෙ." මං කියැව්ව නංගිලෑ ගෙදර යන්ට ලන්ච් හරි ඩිනර් හරි කියාල. එතකොට ඒ ගමනිං මේ වැඩේ කෙරෙනවනෙ. කොහොමද මගෙ ටිකිරි මොළේ ? නැහ්නං ඉතිං නංගිල රත්නපුරේ ශීලගෙ මහ ගෙදර ගොහිං ගන්නෙ නැතෑ." "ශීලලැයි කී දෙනෙක් ඉතර කහටෙ යයිද දන්නෑනේ ?" "වැඩිය නෑ කියැව්ව. පහළොහක් ඉතර....." අනේද කියන්නෙ. මට ඇඟේ ඉන්න ලූල්ලු සාලයො හාල්මැස්සො ඔක්කොම උඩ පැන පැන නටනෝ වගේ දැනුන. (මගෙ ඇඟේ තෝරු මෝරු නෑ ආයිබොවං). දැං ඉතිං අර ගොයි තැනක් බතක් කොරාන ඉන්න උංසන්තකේම වියදං කොල්ල කෑම හදාවි අක්කණ්ඩිගෙ වින්ටර් ජැකට්ටුව වෙනුවෙං. කාට කියන්ට දෑ ? "හැබැයි ඕං මේ පාර අපි ලංකාවට යන එක ගැනනං කා එක්කවත් කටේ කෙළ බින්දුවක් හලන්ට එපා වොම්බො ඔයා ඕං ඈ ? එහෙම උනොත් අපේ බඩු ගෙදර තියාල, රටේම උංගෙ නෑයින්ට බඩු අදින්ටයි අපිට වෙන්නෙ. මං ළමයින්ටත් කියැව්ව."
09December 2015
blog_shape
උපේක්ෂා සේනානායක විසිනි (by Upeksha Senanayake) නොවැම්බර් මාසෙ ආරම්භක සතියෙ උදෑසනක සේවා ස්ථානයෙ රථ ගාලෙදි මට "අලි" ව මුණගැහුණා. අලි මගෙ කාර්යය මණ්ඩලයෙම සේවය කරන පර්යේෂකයෙක්. ඉරාන ජාතික සම්භවයක් සහිත අලි කදිම උඩුරැවුලක් වවා තිබුණා. මගේ ඇස් ඒ උඩු රැවුල වෙත යොමු වූ නිසා "මොවැම්බර්" යැයි සිනාසී පිළිතුරු දුන් ඔහු සමුගත්තා. එදා හැන්දෑවෙ මං මුළුතැන්ගෙයි ඉඳිද්දි දුවගෙන ආපු අපෙ දෝණි ඇගේ ක්‍රීඩා ගුරුතුමා ගැන විශේෂ සඳහනක් කළා. "අම්මා දන්නවද මිස්ටර් බ්‍රවුන් උඩු රැවුලක් වවනවා, මොකටද දන්නවද.... මොවැම්බර් වෙනුවෙන්" මගේ කුතුහලය ඇවිස්සුණා. මොකක්ද මේ මොවැම්බර්? ඇයි මොවැම්බර් වෙනුවෙන් උඩුරැවුලක් වවන්නෙ. මං විකිපීඩියා වෙත පිවිසිලා මේ ගැන කියවලා බැලූවා. පසුව මගේ සමීපතම මිතුරියක වන චාන්ටෙල්ට දුරකථන ඇමතුමක් දීලා ඇහුවා ඕස්ට්‍රේලියානුවන් මොවැම්බරය ගැන මෙතරම් උනන්ඳු ඇයි කියලා. ඇය මුලින්ම කලකට පෙර පුරස්ථී ග්‍රන්ථීයේ හටගත් පිළිකාවක් හේතුවෙන් මියගිය ඇගේ වැඩිමහල් සොහොයුරා- "ජේසන්" ගැන මට සිහිපත් කළා. ජේසන්ට අයත් විශාල ගොවිපලක් තිබුණා නිව්සවුත්වේල්සයේ පිටිසරබද පළාතක. ඔහුගෙ දරුවන් පස්දෙනා සිය අධ්‍යාපනය නිමා කරළා ඕස්ට්‍රේලියාවෙ විවිධ පළාත් වල සේවය කරමින් ඉන්නවා. අර විශාල ගොවිපළේ ජේසන් සිය බිරිඳ මේරි සමඟ ප්‍රීතිමත් සැන්දෑ සමයක් ගෙවමින් හිටියා. ජේසන් වෙනදාට වඩා ඉක්මනින් වෙහෙසට පත්වෙන බව මේරිට තේරුම්ගිය නිසා වෛද්‍යවරයකු හමුවන්නට යමු යැයි ඇය කිහිප වරක්ම යෝජනා කළා. නමුත් ජේසන් තමන්ගෙ සෞඛ්‍ය තත්ත්වය ගැන හිටියෙ අධි තක්සේරුවක. "මං ගොවියෙක්, හැමවෙලේම වෙහෙසිලා වැඩ කරන නිසා තමයි මට මෙහෙම අපහසුවක් දැනෙන්නෙ" ඔහු හැමවිටම වෛද්‍ය පරීක්ෂණ ප්‍රත්ක්ෂේප කළා. අවසානයේ ඔහුගේ පුරස්ථී ග්‍රන්ථී පිළිකාව හඳුනාගන්නා විට ඔහු මරණයේ එළිපැත්ත පැන සිටියා. චාන්ටෙල් ඇගේ සොහොයුරා ගැන සිහිපත් කළේ මොවැම්බර් සංකල්පයේ ආරම්භය විස්තර කරන්න. බොහොමයක් පිරිමින් තමන්ගෙ මෝටර් රථය නිසි කිලෝමීටර් ගණන ළඟා වන විට කාර්මිකයකු ලවා වාහන පරීක්ෂාව සිදුකරගන්නවා. තමන්ගෙ පරිගණකය හෝ ජංගම දුරකථනයේ අකර්මන්‍යතාවයක් පැන නැගුණොත් වහාම එය අදාල ශිල්පියෙකුට පෙන්වා පිළිසකරකරගන්නවා. නමුත් තමන්ගෙ නියමිත වෛද්‍ය පරීක්ෂණ නිතරම මගහරිනවා. (more…)
seprator
shape
Copyright © Kadapatha 2018. All rights reserved. Solution by saamArt