seprator

“නිහඬතාවය” – එයයි බලවත්ම නාදය… ඉඩ සාදා දීමේ ආමන්ත්‍රණය…

  • Home
  • Uncategorized
  • “නිහඬතාවය” – එයයි බලවත්ම නාදය… ඉඩ සාදා දීමේ ආමන්ත්‍රණය…
seprator
08June 2018
blog_shape

අඛිල රන්සිරි මලලගේ විසිනි (by Akhila Ransiri Malalage)

“සුරුවම්, සැරසිලි, යාතිකා, ගීතිකා කිසිවක් නැතිවත් ආගම පවතින බව, ඔබට එහි පැවතිය හැකි බව ඔබ සහතික ලෙසම දන්නවාද?”
“ආගම ඇත්තේ හිතෙයි” එය පොඩි දරුවෙකු වුණත් කියයි. නමුත් ඒ කීම කීමක්ම පමණයි. ආගම යන අකුරු තුන මුල්ව අද අපි අසන දකින විඳින දෑ අනුව ඉහත කියමන් බඩ කට පිරුණු කළ දෙතොල් අතරට එන වදන් පමණක්ම බව කොතෙකුත් පෙනෙන්නට තිඛෙනවා. විසි එක්වැනි සියවසත් පසුකළ ශිෂ්ටාචාරයකින් ඉහත ප්‍රශ්නය තවමත් නැගීමට සිදුව තිබීම ඛේදවාචකයක් මෙන්ම සරදමක්.

අඛිල රන්සිරි මලලගේ

ලෝක ඉතිහාසය පුරාම මිනිසුන් හට, ජීවිත, ප්‍රියයන්, උන් හිටිතැන් අහිමි කළ නින්දිත හිරිහැර ආගම් වල නාමයෙන් සිදුවුණා. ඒවායින් මිනිස්සු ඉගෙන ගත්තා. විද්‍යාව දරන්නන් නොවේ විද්‍යාව අදහන්නන්ද බිහිවුනා. ආගමත් එසේමයි. අත්තනෝමතික විද්‍යාව, උමතුවූ ආගම, නොමේරූ දර්ශනය, නරුම නිරාගමිකත්වයද මෙහි වෙනත් පැති ය.

නිහඬතාවය – එයයි බලවත්ම නාදය… ඉඩ සාදා දීමේ ආමන්ත්‍රණය…

සිනමා ප්‍රතිභාවෙනුත් හොලිවුඩ් ප්‍රභාවෙනුත් අගතැන්පත් සිනමාකාර මාර්ටින් ස්කෝර්සේසි (Martin Scorsese) ගේ 2016 වසරේ දී තිරගත වූ සයිලන්ස් (Silence) චිත්‍රපටයෙන් දිගහැරෙන්නේ ආදී ටොකුගාවා ජපානය කිතුදහමෙන් අස්වද්දන්ට දිවි කැපකළ රෝමානු කතෝලික ජේසු නිකායික පූජකයන් වහන්සේලාගේ සත්‍ය වෘතාන්තයයි. මේ සිනමා කෘතියට පාදකවන්නේ ජපාන ජාතික ලේඛක ෂූසකු එන්දෝ විසින් රචිත චින්මොකු නැමති නවකතාවයි.

කිතු දහම ජපාන භූමියට පා තබන්නේ කි.ව. 1549 දී. ඒ ජේසුනිකායික ධර්ම දූත, ශාන්ත ෆ්‍රැන්සිස් එක්සේවියර් තුමාණන්ගේ ආගමනයත් සමගයි. ඒ සමග නැගුනු කිතුනු පුනරුදයත් සමග ජපාන යුද්ධාධිපතීන් සය දෙනෙකු ඇතුළුව ඔවුන්ගේ අනුචර ප්‍රජාවගෙන් ලක්‍ෂයක් කිතු දහම වැළඳ ගත්තා. දහ හත්වැනි සියවස වනවිට ජපානය තුළ කිතු දහම තව තවත් විසිරි පැතිර යත්දී, එකල ජපානයේ බලය දරන ලද ටොකුගාවා ෂෝගන් පාලනය විසින් කිතු දහම ඇදහීම තහනම් කර දැමුවා. මිෂනාරී වරුන්ව රටින් පිටමන් කර දැමුවා. නමුත් පිරිසක් හොර රහසේ සිය කිතුනු වතාවත් වල යෙදුණා. 1637 දී අධිපතීන් වෙත බැඳී නොමැති සමුරායිවරු, එනම් රෝනින්වරු සහ තිස් හත්දහසක් ගොවි ජනයා එක්ව ටොකුගාවා පාලනයේ කිතුනු මර්දනයට එරෙහිව නැගී සිටියා. එය ශිමබාරා කැරැල්ල ලෙස හඳුන්වනවා. කැරැල්ල පරාජයට පත්වුණා. තුන් ලක්‍ෂයක් ජපාන කිතුනුවන් හට සිය ඇදහීම අත්හරින්නට බලකෙරුණා. ජේසුන් ගේ සහ ශුද්ධ වූ ත්‍රිත්වයේ රුව අඹන ලද පුවරු පාගා, ඒවාට කෙළ ගසා ආගම අත්හරින්ට බල කර සිටියදීත් එයට නොනැමුණු තවත් තුන් දහසක් කෲර ලෙස මරා දැමුණා.

සයිලන්ස් චිත්‍රපටයේ පෙළ දිග හැරෙන්නේ මෙවැනි කාලයක් පසුබිම් කරගෙනයි.

පෘතුගීසි ජාතික ක්‍රිස්ටාවෝ ෆිරෙයිරා පියතුමා (ලියම් නීසන් නිරූපණය කරන) නාගසාකියේ ධර්මප්‍රචාරයෙහි නියැලී සිටි කිතු දහමේ පුරෝගාමියෙක්. කලක් ගතවද්දී ධර්මදූතයන් පුහුණු කරන මැකාඕ හි ශාන්ත පෝල් විද්‍යායතනයේ ප්‍රචාරය වන ආන්දෝලනාත්මක පුවත නම් ක්‍රිස්ටාවෝ පියතුමා ආගම අතහැර ඇති බවයි. ධර්ම විද්‍යාලයේ සිටින ඔහුගේ ශිෂ්‍යයන් වන සෙබස්තියෝ රොද්රීගස් පියතුමාට (ඇන්ඩෘ ගාර්ෆීල්ඩ් නිරූපණය කරන) සහ ෆ්‍රැන්සිස්කෝ ගරූපෙ පියතුමාට (ඇඩම් ඩ්‍රයිවර් නිරූපණය කරන) එය ඇදහිය නොහැකි පුවතක්. මේ පුවතේ ඇත්ත නැත්ත සොයා දැනගැනීමේ අටියෙන් යුතුව, නැත්ත බව තහවුරු කරගැනීමේ පැතුමින් යුතුව තරුණ පියතුමන්ලා දෙදෙනා නාගසාකිය බලා පිටත් වනවා.

1989 වසරේ දී සයිලන්ස් අධ්‍යක්‍ෂ මාර්ටින් ස්කෝර්සේසි හට, ඔහු කට පුරා “සෙන්සේ” යැයි කියන සිය පරමාදර්ශී සිනමා ප්‍රතිරූපය, අකිරා කුරොසාවාගෙ ඩ්‍රීම්ස්

(Dreams) චිත්‍රපටයේ, චිත්‍ර ශිල්පී වින්සන්ට් වැන්ගෝ ගේ චරිතයට පණ දෙන්න ඇරයුම් ලැබුණා. ඒ වෙනුවෙන් ජපානය බලා ගිය ගමනේ දී ස්කෝර්සේසි ගුවන් තොටුපල සහ හෝටල අතර මග ගෙවන්නට සිදුවන කාලය වැය කළේ චින්මොකු නවකතාව කියවන්නයි.

ස්කෝර්සේසි ආත්ම තෘප්තිය උදෙසා කරන නිර්මාණයක් හැටිය චින්මොකු නවකතාව සිනමාවට නගන්න තීරණය කළා. සයිලන්ස් චිත්‍රපටය සිනමා තිරයට පැමිණියේ 2016 වසරේ වුවත් ඔහු මුලින්ම ඒ වෙනුවෙන් වැඩ කටයුතු ඇරඹුවේ 1990 තරම් ඈත කාලයකයි. එවකට ඔහු සිය සිනමා ජීවිතයේ වඩාත්ම ආන්දෝලනාත්මක නිර්මාණය එනම්, කුරුස ගසෙන් බැස ගිය යේසුස් ක්‍රිස්තූන්ගේ කතාව රැගත් “ද ලාස්ට් ටෙම්ටේෂන් ඔෆ් ක්‍රයිස්ට්” (The Last Temptation of Christ) නිම කර, දැඩි මතධාරී කිතුනුවන්ගේ තර්ජන ගර්ජන අවලාද වලට ලක්ව සිටි කාලයයි. හොලිවුඩ් සිනමා ලෝකයේ ස්කෝර්සේසි සිනමා ගමන්මග තුළ වෙන්ව හඳුනා ගන්නා ආගමිකත්වය වටා ගොඩ නැගුණු සිනමා පට ත්‍රිත්වයක් වනවා. ඒ ඉහත කී ද ලාස්ටෙම්ටේෂන් ඔෆ් ද ක්‍රයිස්ට් (1988), 14 වැනි දලායි ලාමා වහන්සේගේ ජීවන වෘතාන්තය රැගත් කුන්දුන් (Kundun – 1997) සහ අප මෙහි කතාවට ගනිමින් සිටින සයිලන්ස් යන චිත්‍රපටයයි. සයිලන්ස් චිත්‍රපටයේ වැඩ කටයුතු වසර 26 ක් තිස්සේ පමාකරන ලද්දේ ඇයි දැයි ප්‍රශ්න නැගෙද්දී, කාලය සමග වයසින් තවත් පරිණත වත්දී ඒ ගැන එන යන එන යන අදහස් තමන්ට වඩා වැදගත් බව කියා සිටියා.

…ඉතින් ක්‍රිස්ටාවෝ පියනම සොයා ජපානයට යන තරුණ පියතුමන්ලා දෙපලට මග පෙන්වන්නෙකු මුණ ගැසෙනවා. ඔහු කිචිජිරෝ නාගසාකියේ ආගමික භීෂණයෙන් පළා ආ මසුන් මරන්නෙක්. පූර්ණ කාලින බේබද්දෙක්.

කිචිජිරෝ සමග නාගසාකියේ ටොමොගි නම් ගම්මානයට පිවිසෙන පියතුමන්ලා දෙපළ එහි දිවි පරදුවට තබා ආගමික ලබ්ධිය අත් නොහැර සිටින ජපාන කිතුනුවන්ට දෙව්ලොවෙන් ලද ආශීර්වාදයක් බඳුයි. පියතුමන්ලා ඔවුනට වස්තුවක්. ඛෙදාගත නොහැකි වස්තුවක්. ජපාන තෙත් බිම් හි එදිනදො ජීවත් වීමේ කටුක ගමන කුරුසියත් සිය කර මත තබාගෙනම යන්න මේ ගැමියන් එකඟවී ඇත්තේ සතුටින්. මිනිසා වෙනුවෙන් ආගම පවතිනවාද? මිනිසා ආගම වෙනුවෙන් පවතිනවාද?

ස්කෝර්සේසිගේ සයිලන්ස් චින්මොකු නවකතාව පාදක කරගත් දෙවැනි සිනමා කෘති අතරින් දෙවැන්නයි. 1971 වසරේදී එම නවකතාව හැටේ දශකයේ ජපාන නවරැල්ලේ ප්‍රමුඛ සිනමා කරුවෙකු වූ සමහිරෝ ෂිනෝදා අතින් සිනමාවට නැගී තිඛෙනවා.

ස්කෝර්සේසි සයිලන්ස් චිත්‍රපටය වෙනුවෙන් පෙළ ලිවීම අරඹන්නේ 1991 තරම් ඈත කාලයකදී නමුත් පසු කලෙක තම චිත්‍රපට දෙකක්ම හොඳම අනුවර්තිත තිර පිටපත වෙනුවෙන් ලබන සම්මාන අතරට ගෙන ගිය තිර රචක ජේජ් කොක්ස් ව ස්කෝර්සේසි ඒ සඳහා හවුල් කරගත්තා. පුරා වසර 15 ක කාලයක් ඔවුන් එය යළි ලිවීම් වලට භාජනය කළා. පසුව එන්දෝ ගේ නවකතාව ඉංග්‍රිසියට පරිවර්තනය කළ, ජපාන සාහිත්‍ය පිළිබඳ මහාචාර්ය වරයෙකු වූ වෑන් සී. ගැසෙල් ගේ විශේෂඥ දායකත්වයද ඔවුන් ඒ වෙනුවෙන් ලබාගත්තා. එසේ ගොඩ නැගුණු තිර පිටපත අනුව සැකසුනු සයිලන්ස්, ෂූසකු එන්දෝ ගේ නව කතාව නිවැරදිව පිළිබිඹු කරන්නක් වූ බවයි බොහෝ විචාරකයන්ගේ අදහස වූයේ.

සිනමා පටය පුරාවටම වඩාත් සංකීර්ණව ක්‍රියාකාරි වන චරිතය ලෙස අප දකින්නේ කිචිජිරෝ ගේ චරිතයයි. මිනිසුන් සඳහා උපන් ආගම රැකෙද්දී මිනිසුන් ඒ වෙනුවෙන් වැනසීයාම යන ප්‍රශ්නය සමග ඔහු නොදැන ගැටෙනවා. ශින්මෝකු හි කතාන්තරය එක් දෙබසකින්, එක් රූප රාමුවකින් ආගමක් තවත් ආගමකට නැගිටීමට නොඉඩදීම ලෙස වෙස් ගන්වන්න පුළුවන්. නමුත් ස්කොර්සේසි අතිශය ප්‍රවේශම් සහගත ලෙස කිසි ප්‍රේක්‍ෂකයෙකුට සිය ආගමික මතවාදය මත සිතින් අගතියට පත්වන්න හෝ සිතින් අසාධාරණයට ලක්වන්න හෝ ඉඩ තබන්නේ නැහැ. තිරය මත එය මුළුමනින්ම ගෙන හැර දක්වන්නේ මිනිසුන්ට තමන් කැමති ආගමික විශ්වාසයක් දැරීමේ අයිතිය අහිමි කරවීමේ දුෂ්ටත්වයයි. ඒ, ප්‍රේක්‍ෂකයා ගේ චිත්ත සන්තානයේ පතුලක ආගම කුමක් සඳහාද? ආගම මිනිසුන්ට කළ යුත්තේ නොකළ යුත්තේ කුමක්ද? යන ප්‍රශ්නකාරී බීජ නොවැනසෙන ලෙස තැන්පත් කර දමන අතරයි.

සයිලන්ස් චිත්‍රපටය නැරඹීමේ අත්දැකීම ඒ පිළිබඳ කියවීමෙන් ගන්නට බැහැ. චිත්‍රපටයේ පසුබිම ගැන විනා පෙළෙහි එන සිද්ධි ලියා දැමීම එහි අත්දැකීම විනාශ කිරීමක් විය හැකියි.

ඉතින් එදා ජපානයේ ලියලා වැඩීමට යාමෙන් හෙම්බත්වූ සමස්ත කිතු දහම වෙනුවෙන් සෙබස්තියෝ රොද්රීගස් පිය නමට එක් කියුමක් අසන්නට සැලසෙනවා. “ජපානය වගුරක්. පිටතින් එන කිසිවකට එහි මුල් අදින්නට බැහැ.”

ඩොලර් මිලියන 50 වියදමින් නිපදවන ලද සයිලන්ස් ඉපයූවේ ඩොලර් මිලියන 23.7 ක් පමණයි. සීමිත සිනමා ශාලා ගණනක ප්‍රදර්ශනය වීම, විනෝදාත්මක චිත්‍රපට පෙළක්ම සමග තරඟ කරන්නට සිදුවීම ආදී බොහෝ තැන් ගෙන හැර පානා බොහෝ හේතු සාධක අතරේ හොලිවුඩ් රිපෝටර් සඟරාව දක්වන හේතුව නම්, “අදාල වස්තු විෂය පිළිබඳව ප්‍රේක්‍ෂක උනන්දුව හීනවීම” යි.
නමුත් විචාරකයන් එය ස්කෝර්සේසිගේ හොඳම සිනමා නිර්මාණ අතරෙහි තබන්නට කිසිසේත් මැළිවන්නේ නැහැ. අසූ නම වෙනි ඔස්කාර් සිනමා සම්මාන උළෙලේදී හොඳම සිනමාකරණය ලෙස සම්මාන ලබන්නේ සයිලන්ස් චිත්‍රපටයයි.

එකල්හි “ඉවත දමන දඬුව වුවද දළුලා යළි පැලවේ” කියමින් පසසන්නට අපව හුරු කරවූ, දැන්වත්දී, සැනසීම සඳහා වනවාද, වැනසීම සඳහා වනවාද යැයි නොදන්නා නොහැඟෙන ඇදහීම් වනාන්තරයක සිටිමින් සයිලන්ස් නරඹත්දී “ජපානය වගුරක්. පිටතින් එන කිසිවකට එහි මුල් අදින්නට බැහැ.” යන වැකිය අප තුළ ජනිත කරන්නේ උත්ප්‍රාසයක්.

පසුකාලීනව කිසිවක් නොපැළවෙන වගුරු බිම දියුණු වුණා. ඉවත දමන දඬුව වුවද දළුලා යළි පැලවෙන භූමියේ සැබැවින්ම අනේකවිධ තැන් වලින් ඉවත දමන, සොරාගෙන එන, ඔහේ ඇද වැටෙනා ආදී නානාවිධ දඬු කැබලි පැළවුණා. ඇතැම් විටෙක මෙය කියවමින් සිටින ඔබගේ පා සටහන දරා සිටින්න සුරක්‍ෂිතව ඉඩක් ඉතිරි කරගන්නට පවා ඒ භූමිය අපොහොසත්වුණා.
රොජර් ඊබර්ට් (RogerEbert.com) සිනමා විචාර වෙබ් අඩවියේ විචාරක මැට් සෝලර් සෙයිට්ස් (Matt Zoller Seitz) සයිලස් චිත්‍රපටය ගැන සඳහන් කරන්නේ මෙසේ ය.

“සයිලන්ස් සංධිස්ථානමය සිනමා කෘතියක්. පොඹවන සුලූ‍ එකක්. ඥානාවබෝධය පිළිබඳව කිසි පොරොන්දුවක් නොකියාම ඔබව නිරය තුළට ඇද දමන එය නිකන්ම නිකන් ප්‍රශ්න සහ ප්‍රස්තුතයන් මාලාවක්, අත්දැකීම් සහ සංවේදන සමුදායක්… සයිලන්ස් හොඳයි හෝ නරකයි හෝ කිවහැකි චිත්‍රපටයක් නොවෙයි, එය අත්විඳ ජීවත් විය යුතු චිත්‍රපටයක්.”
උමතු ආගම, අත්තනෝමතික විද්‍යාව, නොමේරූ දර්ශනය, නරුම නිරාගමිකත්වය… මේ කිසිවක් ඔබට නිහඬතාවයේ නාදයට කන් දීමට ඉඩක් දෙන්නේ නැහැ.

Please follow and like us:

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

shape
Copyright © Kadapatha 2018. All rights reserved. Solution by saamArt