seprator

අපෙ අතීතයෙන් බිඳක්….

  • Home
  • Feature
  • අපෙ අතීතයෙන් බිඳක්….
seprator
28May 2018
blog_shape

ප්‍රියානන්ද විජෙසුන්දර විසිනි (by Priyananda Wijesundara)

දකුණු පයාගල මා උපන් ගමේ මගේ නිවසට තුන් මාසෙකට විතර දවසක් සිකුරාදා දිනක ජීප් රථයක් එනවා. මේ ජීප් රථයේ සෞඛ්‍ය දෙපාර්තමේන්තුව යනුවෙන් දොර දෙකේම ලියලා තියනවා. මගේ නැන්දාගේ සැමියා සෞඛ්‍ය පරීක‍ෂකයෙකු වීම මේ ජීප් රථය අපේ නිවසට ඒමට හේතුවක් වේ. මේ ජීප් රථය දැකීමත් එදා මට එක්තරා ආකාරයක සතුටක්. ජීප් රථයේ රියදුරු මහතා එදා රාත්‍රිය ගත කරන්නේ අපේ නිවසේ ඉදිරි කාමරයේ. සෙනසුරාදා උදේ පාන්දරින්ම මේ රියදුරු මහතා අවදි වෙනවාත් එක්කම මටත් ඉබේම ඇහැරෙනවා. පිටුපස ළිඳ ළඟට ගිහින් මුහුණ කට සෝදා ගන්නා රියදුරු මහතා ඊළඟට කරන්නේ ජීප් රථය ළඟට ගිහින් ඒකේ තිඛෙන පුංචි ලවුඩ්ස්පීකර දෙකක් වහලයේ ගැට ගසන එක. ඒකෙන් එන වයර් පොටවල් පිටුපස ආසන කොටසේ තිඛෙන මොකක් දෝ යන්ත්‍රයකට සවිකරනවා. මුලින්ම ඇම්ප්ලියර් කියන වචනය මම අහගත්තේ මේ රියදුරු මහතා ගෙන්.
“ජෝන් අයියේ උදේට කාලා තේ බීලා උන්නා නං හොඳයි.”
ඒ මාමාගේ ඉල්ලීම.
“මේක බලලම එන්නං” ජෝන් අයියාගේ උත්තරය.
ඔක්කෝම පිළිවෙළට එක්කාසු කළාට පස්සේ මයික්‍රෆෝනය අරගෙන දෙපාරක් තුන්පාරක් ඒකට පිඹලා ටොක් ටොක් ගාලා තට්ටු කරනවා.
තවත් මල්ලිලා – නංගිලා මේ මහ ගෙදර උන්නත් මේ මැජික් එක මට තරම් ඒ අයට ගානක් තිබුණෙ නෑ.
මමත් උදේට කාලා තේ බොන්නේ ජෝන් මාමා එක්ක. ඊට පස්සෙ ජෝන් මාමා එක්කම ජීප් එකේ නැගිලා ගම වටේ යනවා.
“සවන් දෙන්න, සවන් දෙන්න…. අද හවස හයට පයාගල පල්ලිය වත්තේදී මහා චිත්තර පටි දර්ශනය. ටාසන්ගේ වික්‍රම. ටිං ටිං ගේ හපන්කම් සමග අධ්‍යාපන දර්ශනය.”
ජෝන් අයියාගේ ගොරහැඩි කට හඬ වහලයේ සවිකරලා තියන පුංචි ලවුඩ්ස්පීකර දෙකෙන් මුළු ගමටම ඇහෙනව. ජීප් රථය වටේ එල්ලීගෙන කොල්ලෝ කුරුට්ටෝ හරිම කලබලේ. ජෝන් අයියා ඛෙදන විස්තර කොල අරගන්නට.
මේ කොල්ලෝ කුරුට්ටෝ අතර නිතර දෙවේලේ සෙල්ලම් කරන මගේ මිතුරන් උන්නත් අද මම ඒ අයව ගණන් ගන්නේ නෑ. මොකද ජීප් රියේ ඉදිරි අසුනේ මම වාඩිවෙලා. ජෝන් මාමා කතාව අවසන් කළාම මයික්‍රපෝනය දෙන්නේ මගේ අතට. මේකම මදෑ මට ආඩම්බර වෙන්න. (අද නම් මට ලැජ්ජයි)
ගම වටේ ගම ඇතුලෙ කඩ මණ්ඩිවල විස්තර නිවේදනය කරලා ආපසු මහ ගෙදරට එන්නේ හැන්දෑවේ දෙකට තුනට විතර.
දැන් ඉතින් ඉක්මනටම ලෑස්ති වෙන්න ඕනේ චිත්තර පටිය බලන්න යන්න. ඔක්කෝටම කලින් නාලා, ටැල්කම් පුයර දාලා, පොල්තෙල් ගාලා ඔළුව පීරලා මම ලෑස්තියි ජෝන් මාමා එක්ක පල්ලිය වත්තට යන්නට. ගෙදර අනිත් කට්ටිය එන්නේ හවසට. මට හුඟාක් වැඩ තියෙනවා ජෝන් මාමා එක්ක කරන්නට. පල්ලිය වත්තේ පොල්ගස් දෙකක සුදු තිරය අදින්නට ගමේ තරුණයන් කීප දෙනෙකු ජෝන් මාමාට උදව් වෙනවා. ජීප් එකෙන්ම ගන්නා මේස කෑල්ලක මි. මී. 08 ප්‍රොජෙක්ටර් එක තියලා පටිය දාලා කරකවලා බලනකල් මට ඉවසිල්ලක් නෑ. ඒකට ඉතින් ඇඳිරි වැටෙන කල් ඉන්නට ඕනේ. සද්දේ පිටවෙන්නේ ජීප් එක උඩ උදේම සවිකළ පුංචි ලවුඩ්ස් පීකර දෙකෙන්. ජෝන් මාමා මේසය වටේ ලණුවක් අදිනවා. මේ ලණුව ඇතුළට කාටවත් එන්න දෙන්නේ නෑ. හැබැයි මම ලණුව ඇතුලේ.
කලූවර වැටෙනකොට ඉස්පාසුවක් නෑ. පල්ලිය වත්තේ සෙනග පිරිලා. මගේ සෙල්ලම් යාළුවෝ එක්ක මහ ගෙදර නංගිලා මල්ලිලා ඉස්සරහින්ම වාඩිවෙලා. ඇඳිරි වැටීගෙන එනකොට ජෝන් මාමා ජෙනරේටරය පන ගන්වනවා. ඒ කාලේ ගමට විදුලි බලය තිබුණෙ නෑ. ටික වේලාවකින් මාමා ඇවිත් ගමේ අයට පුංචි කතාවක් පවත්වනවා. ඊට පස්සේ ඔන්න ජෝන් මාමා ප්‍රොජෙක්ටරය ක්‍රියාත්මක කරනවා. මුලින්ම කාටුන්. ඊට පස්සේ ටාසන් අන්තිමට සෞඛ්‍ය අධ්‍යාපනය පිළිබඳව කොහෙන්දෝ රටකින් ලැබුණු චිත්තර පටියක්. ඇත්තටම මම එදා මේ එක චිත්තර පටියක්වත් බැලූවේ නෑ. මම බලාගෙන හිටියේ ප්‍රොජෙක්ටර් එක වැඩ කරන හැටි.
තවත් දවසක අපේ ගමට කෝටාල් වෑන් එක එනවා. කෝටාල් කිව්වේ වේදනා නාශක ඛෙහෙත් පෙත්තක්. කෝටාල් වෑන් එකේ චිත්තර පටි පෙන්නකොට නම් මමත් වාඩි වුණා ඉස්සරහම බිම. මොකද කෝටාල් වෑන් එකේ මම දන්න අඳුනන අය නෑ.
මේ කාලයේම කෙයාර් නම් සංවිධානයකින් ගමේ අපිට නොමිලයේ කිරි දුන්නා. කිරි ඛෙදීම බාරදීලා තිබුණේ ගමේ කාන්තාවකටයි. උදේම නැගිටලා පිරිසිදු භාජනයක් අරගෙන කිරි ගේන්න යන්නේ ගෙදර වැඩි හිටියෙක්. ගමේ බොහෝ දෙනෙකු තම දරුවන් සමගම මේ නිවසට එනවා. කිරි ඛෙදා දුන්නු ගමන්ම තම දරුවන් අත තියන බඳුන්වලට වත් කරලා ඒ දරුවන්ට බොන්නට දෙනවා. ඒත් අපේ ගෙදර අය අපිට බොන්නට දුන්නේ කිරි උණු කරලා. ගමේ බල්ලන් ඇතිකළ නිවෙස්වල අය මේ කිරි බල්ලන්ට බොන්නට දෙනවා කියන ආරංචිය උඩ අඩු ආදායම් ලබන පවුල්වලට පමණක් කිරි ඛෙදාදීම සිදුවීමත් එක්ක අපේ නිවසට කිරි ලැබුණේ නෑ. මහ ගෙදර වැඩිහිටියන් හැම කෙනෙකුම රජයේ රැකියාවල් කිරීම හේතුවක් උනා.
ඊට පස්සේ කාලයක ඉස්කෝලේ බනිස් හා කිරි ඛෙදාදීම පටන් ගත්තා. මේ කාලයේ මම කලූතර තිස්ස මධ්‍ය මහා විද්‍යාලයේ උගෙනීම කළා. නාම ලේඛනයේ තීරු දෙකක නම් ලකුණු කරනවා. එක තීරුවක් නිල් පාට පෑනකින්. අනිත් තීරුව රතුපාට පෑනකින්. නිල්පාට පෑනෙන් පැමිණීම ලකුණු කළ අතර රතුපාට පෑනෙන් බනිස් හා කිරි අවශ්‍ය අය ලකුණු කෙරුණා. හැබැයි කිසිම කෙනෙකු බනිස් – කිරි එපා කීවේ නෑ. කාබන් පෑන් නොතිබුණු මේ කාලයේ ගුරුතුමා හෝ ගුරුතුමිය තීන්ත පෑන්වලින් මේ ලකුණු කිරීම සිදුකරළා තීන්ත පොඟන කඩදාසියෙන් තීන්ත පොඟවනවා.
හැම ශිෂ්‍යයෙකුටම හා ශිෂ්‍යාවකටම ඛෙලෙක් කෝප්පයක් තිබුණා. පන්තියේ ළමයින් කීප දෙනෙකු විවේක කාලයට කලින් කිරි හා බනිස් ඛෙදන තැනට ගිහින් පන්තියේ ළමුන් ප්‍රමාණයට බනිස් හා කිරි අරගෙන එනවා. විවේක කාලයේ සීනුව නාද වන්නට විනාඩි 05 කට කලින් පේලි හැදිලා බනිස් ගෙඩියක් හා කිරි කෝප්පයක් අරගෙන යනවා. පහුවෙනකොට කිරි නැතිව බනිස් විතරක් ලැබුණා. පුංචි අපි නම් එදා බනිස් කාලා කිරි බිව්වා. ඒත් ඉහළ පන්තිවල ළමයි මේ බනිස්වලින් බෝල ගැහුවා.
මේ කාලය වනවිට ගම අතහැරලා පිළියන්දල පදිංචියට ඇවිත් පිළියන්දල මධ්‍ය මහා විද්‍යාලයට යන කාලෙත් අපිට බනිස් ලැබුණා. ඒ වනවිට අට වෙනි පන්තියේ උන්නු අපි කළෙත් බනිස්වලින් බෝල ගහපු එකයි. මේ බෝල ගැහිල්ල හරියටම කෙරුනේ වැසි දිනවල දී. වතුරෙන් පොඟවා ගන්නා බනිස් පන්තියේ ඒ මේ අත යන්නේ විදුලි වේගෙන්. වතුරෙන් පෙඟ වූ බනිස් පහර වැදුනොත් හොඳටම රිදෙනවා. වියලි බනිස් බෝල වගේ නෙමෙයි. විවේක කාලය ආසන්න බව අපට දැනෙන හේතු දෙකක් තිබුණා. පළමු වැන්න බනිස්වල සුවඳ. දෙවැන්න පන්ති කාමර ළඟට හරියටම වෙලාවට එන බල්ලන් හා බළලූන්.
සීනුව ගහන වෙලාව හරියටම දන්නේ මේ සතුන්. මුලින් පන්ති කාමරවලට ඈතින් බලා ඉන්නා උන්, සීනුව වදින්න ළං වෙනකොට පන්තියේ දොර ළඟටම ඇවිත්.
පාසල් දරුවන්ට සරම්ප එන්නත දුන්නෙත් මේ කාලෙමයි. මහජන සෞඛ්‍ය පරීක‍ෂකවරයා සමග හෙදියන් කීප දෙනෙකු පාසලට එනවා. ස්ප්‍රීතු ලාම්පුවකින් රත්කර ගන්නා පුංචි තුඩකින් අතේ සම තුවාල කොට ටියුබයකින් ගන්නා සුදු පැහැති දියරයක් මේ තුවාලය මත අතුරනවා. කොහොම උනත් ඊට පසුදා පන්තිවල සිසු සිසුවියන් අඩුයි. මේ තුවාල කළ තැන්වල පුංචි බිබිලි මතුවෙනවා. සිරුරෙ උෂ්ණත්වය ඉහළ යනවා. වැඩිහිටියන් අප දැනුවත් කළේ සරම්ප රෝගය ඉතා සුළුවෙන් අපට වැළෙඳන බවත්, එයින්ම සිරුරේ ප්‍රතිශක්තියක් ඇතිවී මහා පරිමාණයෙන් සරම්ප වැළඳීම සිදු නොවන බවත්. කොහොම උනත් වසූරිය නම් භයානක රෝගය මේ ක්‍රමයෙන් මුලින්ම නැතිවෙලා ගියා.

Illustration by Saamantha Tennege

Please follow and like us:

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

shape
Copyright © Kadapatha 2018. All rights reserved. Solution by saamArt