seprator

සැබෑ ජයග්‍රහණ යුතුකම් සහ සුදුසුකම්

  • Home
  • Feature
  • සැබෑ ජයග්‍රහණ යුතුකම් සහ සුදුසුකම්
seprator
14May 2018
blog_shape

තිලක් ගමගේ විසිනි (by Thilak Gamage)

නොබෝදා ප්‍රතිඵල නිකුත්වූ සාමාන්‍ය පෙළ විභාගයෙන් මා දන්නා එක් දරුවෙකු ලබා තිබුණේ B සාමාර්ථයක් C සාමාර්ථ තුනක් හා එක් සාමාන්‍ය සාමාර්ථයක් පමණි. ගණිතය සහ ඉංග්‍රිසි අසමත්ය. ප්‍රතිපල ඇසූ දරුවා ගේ ප්‍රතිචාරය කුමක් විය හැකිද ? ඔහු ඉහ වහා යන සතුටකින් වෙළී ගිය බව පමණක් සඳහන් කරමි. එම දෙමාපියන්ද එලෙසින්ම සතුටු වූයේ මේ දරුවා එතෙක් ලද මෙන්ම පවුලේ දරුවකු ලද ඉහළම ප්‍රතිපලය එය වීමයි. ඇතැම් විට දිවයිනේ දෙවන තැන් ලද සිසුන් තව ලකුණු කීපයක් ගත්තා නම් පළමු තැන ගත හැකිව තිබුණා නොවේ දැයි පසුතැවිලි වන අතරේ මේ දරුවා විඳි සතුට අපට දෙන පණිවුඩය කුමක්දැයි විමසා බැලිය යුතු නොවේද?
හැම තැනම පවතින්නේ අනෙකා පරයා ඉහළ නැගීමේ ආශාවකි. තම පාසැල තම පන්තිය අන් සියල්ලන් අභිබවා ප්‍රතිපල වලින් ඉහළටම ඔසවා තැබීමට දරන වෑයම කොතරම්ද ? මේ සඳහා දරන වෑයම තුළ විද්‍යාවට ගණිතයට A ලබන දරුවන් අන්තර්පුද්ගල සබඳතා, තීරණ ගැනීම, ආවේග සමහන් කරගැනීම සහානුභූතිය වැනි විෂයයන් ගෙන් ත‍ වලටත් වඩා පහළ ප්‍රතිපල ලබන බව දෙමාපියන්ට ගුරුවරුන්ට පමණක් නොව අධ්‍යාපන බල ධරයන්ටද පෙනෙන සැටියක් දක්නට නැත. ඔවුන් සැබවින්ම එම ප්‍රතිපල පෙන්වන්නේ වැඩිහිටියන් වී සමාජ ගත වූ විට ය. රටේ අධ්‍යාපන මට්ටම කොතරම් ඉහළදැයි කියතොත් පෙර පාසැල් දරුවන්ට පවා පාසැල් වේලාවෙන් පසුව අමතර පන්ති පවත් වනු ලැබේ. විෂයය දැනුමට මුල් තැන දෙමින් ජීවන කුසලතා අමතකකර දැමීමේ ප්‍රති විපාක නොබෝදා ලද ප්‍රතිපල දරා ගත නොහැකිවූ සිසුවියක් සිය දිවි හානි කර ගැනීමෙන්ම පැහැදිලි වේ. සම්පත් ඛෙදීයාමේ දැඩි විෂමතාවක් පවතින රටක ඇතැම් පාසැල් පමණක් අති විශිෂ්ට ප්‍රතිඵල ලැබීම මහ ලොකු අරුමයක් නොවේ. අරුමයක් වන්නේ පවතින උපරිම සම්පත් මැද එවන් ප්‍රතිඵල නොලැබුණා නම්ය. එම පාසැල් සතු සම්පත් වලින් කොටසක්වත් හවුලේ භුක්ති විඳිමට වරප්‍රසාද නොලත් පාසැල් වල දරුවන්ටත් අවස්ථාවක් ලබාදීමට පියවර ගත හැකි නම් මේ විෂමතාවන් තරමකට හෝ සමහන් වනු ඇත.
තරඟය බුවල්ලෙකු මෙන් සමස්ථ සමාජයම දැඩි සේ වෙළාගෙන ඇත. නිවසක් තැනීමේදී වාහනයක් මිලට ගැනීමේදී ගෙදරට ඇවැසි දෑ මිලදී ගැනීමේදී මුල් තැනදෙන්නේ ඒවායේ උපයෝගීතාවට වඩා අනෙකා පරයා යාමට ඒවාට ඇති හැකියාවටය. උත්සව සම්භාෂණද මේ තත්වයෙන් මිදී නොමැති බව වර්තමාන මංගලෝත්සව වලින් පෙනේ. පෝරුව සැරසිලි ඇඳුම් ආයිත්තම් නැටුම් ගැයුම් ආහාරපාන ඡායාරූප යන මෙකී නොකී සියලූ අංශ වලට අයත් වෙළෙන්දෝ මඟුල් දිනයට බොහෝ කලකට පෙර සිටම මනාල යුවළට පමණක් නොව දෙමාපියන්ටද අන්ද වති. ඔවුහුද බොහෝ කැමැත්තෙන් අන්දන්ටත් පෙර තමන්ම ඇඳගනිති. එතැන් පටන් අවශ්‍ය වන්නේ මුදල් පමණි. මංගල්ලය අවසන් වන්නේ දැරිය නොහැකි තරමේ ණය කන්දරාවක සියල්ලන් හිර කරමිනි. වෙළෙන්දෝ තවත් ගොදුරක් සොයා යති. පුදුමයට කරුණ නම් ම`ගුල නිම වී ටික දිනකින්ම මෙතෙක් පැළඳ සිටි කන්නාඩි ගලවා දමන නිසා සත්‍යය අවබෝධ වීමයි. “මේ දේවල් ගැන මුලින් සිතුවා නම්……” යයි සිතෙතත් එවිට පෙරහැර ගොස් හමාරය.
මමත්වය මුල් තැන ගෙන ඇත. තම නමට ආයතනයට පදවියට ඉහළම ලකුණු දමා ගැනීමට ඕනෑම දෙයක් කිරීමට බොහෝ දෙනා පෙළඹේ.
වෙනෙකක් තබා ආගම ඇදහීමද අද තරඟයක් වී ඇත. තම පූජාව අන් සියල්ලන්ටම වඩා ඉහළින් මෙන්ම මුලින් තැබීමට පුජ්‍ය පක්ෂයෙන් තමන් මුරුංග අත්තේ තබන අනුසාශනා ලැබීමට අසීමිත වූ කෑදර කමක් ඉහ වහා ගොස් ඇත. මේ සඳහා වන තරඟයේදී මූලික ආගමික සංකල්ප නොතකා හැරීමට වුව පෙළඹේ. තමන් දරන ආගමික මතවාදය පමණක් නිවැරදිය අනෙක් සියල්ල බොරුය යන හැඟීමෙන් යුතුව කටයුතු කිරීම නිසා ආගම් අතර ගැටුම් උග්‍ර වී ඇත. පිරිසක් අඳින්නට හරි හමන් ඇඳුමක් නැතිව තැවෙන අතර වාරයේ තවත් පිරිසක් චෛත්‍යයක් වටා රෙදි කච්චි පිටින් ඔතනු පෙනේ. කිරි නැතිව හඬන දරුවාගේ කුසගිනි නිවීමට මං සොයන මවුන් සිටින සමාජයක බෝධිය කිරෙන් නහවනු ලැබේ. හිසට වහළක් නොමැතිව අසරණව ගිය පිරිස් සිටියදී දෙමහල් තෙමහල් මන්දිර තනා පූජා කරනු කොතෙක් දැකිය හැකිය. අභියෝග වලට මුහුණ දීම සඳහා තමන් තුළ තිබිය යුතු ආත්ම ශක්තිය තනිවම ගොඩ නගා ගත නොහැකි යමෙකු මෙවන් වූ ක්‍රමවේදයන් උපයෝගී කරගෙන අභියෝග ජය ගැනීමට සිතන්නේ නම් කිරෙන් බෝධිය නැහැවීමෙන් පසුවවත් කිරි නැතිව හ`ඩන දරුවෙකුට කිරි සපයා දීමට දායක විය හැකි නම් එම පින්කම මහත් පල මහානිසංස ගෙන දෙනු නොඅනු මානය.
මෙහිලා සඳහන් කිරීම උචිත යයි හැඟෙන එක් සිදුවීමක් මගේ සිහියට නැගේ. නොබෝදා පැවති පිංකමකදී ස්වාමීන් වහන්සේ වෙත අටපිරිකරක් පූජා කිරීම සඳහා යුවළක් සූදානම්ව ඉදිරියට යන විට එක් වියපත් කාන්තාවක් ඒ දෙස ඉතා ඕනෑ කමින් බලා සිටිනු දක්නා ලදී. විස්තර කළ නොහැකි අන්දමේ දයානුකම්පිත සිතිවිල්ලකින් වෙළීගිය පිරිකර අතැතිව සිටි කාන්තාව සැමියාට යමක් පවසන අතරම ආපසු හැරී ඒ වියපත් කාන්තාව අබිමුවට ගොස්
“අම්මේ….. අම්ම ගිහින් මේ පිරිකර පූජා කරන්න..” කියමින් තමන් ගෙනා පිරිකර ඇයට දී පසෙකට වී එම අසරණ කාන්තාව පිරිකර පූජා කරන දෙස ඉමහත් සෙනහසින් යුතුව බලා සිටියාය. ආත්මාර්ථයම රජයන ලොවක මෙවන් උතුම් ක්‍රියාවන් තුළින් අපට ගතහැකි ආදර්ශය කොතරම්ද ? යහපත් ක්‍රියාවක් තුළින් සිත සතුටින් පිනා යාමම පින ලෙස දහමෙහි දැක්වේ. ඒවා පින්කම් තරමටම යුතුකම් ද වේ.
තමන් විසින් කරනු ලබන සද්කාර්යයන්හිදී පවා දැනුවත්ව හෝ නොදැනුවත්ව බරපතළ වැරදි සිදුවන අවස්ථා එමටය. එක්තරා සුබසාධක සංගමයක් මගින් තම බල ප්‍රදේශය තුළ පහසුකම් අඩු දරුවන් සඳහා ශිෂ්‍යත්ව පිරිනැමීමේ උතුම් කාර්යයක් ක්‍රියාවට නංවා තිබිණි. ඔවුන්ගේ ක්‍රමවේදය වූයේ වාර්ෂික සභා වාරයේදී එම දරුවන් වේදිකාවට කැඳවා එම ශිෂ්‍යාධාර පිරි නැමීමයි.
කල් තබා දැනුම් දී තිබුණද බොහෝ දරුවන් මෙම ආධාර ලබා ගැනීමට පැමිණියේ නැත. එතෙකුදු වුවත් එයට හේතුව විමසීමට අවශ්‍යතාවක් නිලධරයනට වූ බවක් පෙනෙන්නට නොතිබිණි. මට පෙනී ගිය ආකාරයට හේතුව වූයේ ප්‍රසිද්ධියේ එවන් ආධාර ලබාගෙන තම ආත්ම ගෞරවය පළුදු කර ගැනීමට දරුවන් අකමැති විමයි. යහපත් චේතනාවෙන් කරන කටයුත්තකදී පවා අකටයුත්තක් සිදු විය හැකි බව මින් පෙනේ. කොතෙක් අසරණ වුවද තම ආත්ම ගෞරවය රැක ගැනීමට කවුරුන් වුවත් කැමතිය. මේ බව සාමාන්‍ය වැඩිහිටියන් පමණක් නොව දරුවන් සමග සමීපව කටයුතු කරන පාර්ශව පවා දැන සිටින බවක් නොපෙනෙන තවත් සිදුවීමක් මතකයට නැගේ. මනෝ උපදේශන නිලධාරිණියකගේ මග පෙන්වීම යටතේ පාසැලක අඩු පහසුකම් සහිත දරුවනට පාසැල් උපකරණ ඛෙදා දීමක් සංවිධානය කරන ලදුව එම කළමනාද රැගෙන පාසැලට ගිය විට විදුහල්පති වරයා යෝජනා කළේ වහාම රැස්වීමක් කැඳවා එම ආධාර පිරි නැමීමටය. එහිදී විදුහල්පතිවරයා සහ ආධාර රැගෙන ගිය කණ්ඩායම අතර සිදුවූ සංවාදය එලෙසින්ම දැක්වීම සුදුසුයයි සිතේ.
“අපි රැස්වීමක් කැඳවමු. එතකොට ඔබ තුමන්ලා අතින්ම මේව ඛෙදල දෙන්න පුළුවන්.”
“කාටද මේව ඛෙදන්නෙ ?”
“ඉස්කෝලෙ ඉන්න දුප්පත්ම ළමයින්ට…. අපි හොඳට හොයල බලල තමයි තෝර ගත්තෙ.”
“එතකොට විදුහල්පතිතුමා කියන්නෙ මේ ඉස්කෝලෙ ඉන්න දුප්පත්ම ළමයි ටික වේදිකාවට කැඳවල අනික් සේරම ඉස්සරහ මේ ආධාර ඛෙදන්න කියලද?”
“ඔව්.. ඔව්…”
“එතකොට.. මේ විදුහලේ ඉන්න දුප්පත්ම ළමයි තමයි මේ… කියල අනික් ඔක්කොම අය දැන ගන්න එක ගැන මොකද හිතෙන්නෙ ?’
විදුහල්පතිවරයාට තමන් කරන්නට ගිය ක්‍රියාවේ බරපතළකම වැටහුණේ එවිටය.”
“දුප්පත් උණත් ඒ දරුවන්ටත් ආත්ම ගෞරවයක් තියෙනව…ඒක බිඳ දමන විදියේ පාප කර්මයකට හවුල් වෙන්න නෙමේ අපි ආවෙ… මේ තෑගි ටික බාර ගන්න. අපට ඔබතුමා විස්වාසයි… ඒව අනෙක් අයට නොදැනෙන විදියට ඛෙදන්න ක්‍රමයක් හදාගන්න ඔබතුමාට හැකි වේවි කියල අපි හිතනව.”
අඩුපහසුකම් ඇති අයට ආධාර ඛෙදීම් ජයටම සිදුවන අප රටේ එම උතුම් ක්‍රියාවේ යෙදෙන දානපතියන් මේ ගැනද සිතීම ඉතා වැදගත් යයි සිතේ.
දේශපාලනයෙන් තොරව හුස්මක් ගැනීමටවත් නොහැකි රටක මෙම අදහස් හුදෙක් මනෝමූලික නොවේදැයි කෙනෙකුට සිතෙන්නට පිළිවන. අන් අය කෙසේ කළත් මේ කරුණු ගැන සංවේදී වන සුළු පිරිසකටවත් මේ අදහස් ක්‍රියාවට නංවීම උවමනාවක් තිබේ නම් අපහසු නොවේ යයි සිතමි.
පරිත්‍යාග කිරීමේදී මෙන්ම ඒවා ලබා ගැනීමේදීද සැලකිලිමත් විය යුතුය. ද්‍රව්‍යමය හෝ නිලතල වරප්‍රසාද ආදිය පිරිනමන විට නිකං දෙනවනං ඉසේකැක්කුම උනත් කම් නැත යන ආකල්පයෙන් මිදී එම දෙනදේ ලැබීමට තමන් සුදුසු වන්නේදැයි සිහි නුවණින් යුතුව විමසා බැලිය යුතුය. හුණුවටය නාට්‍යයේ කියැවෙන පරිදි දෙන දේ සුදුස්සාටම ලැබිය යුතුය. තනතුරක් ලබාගැනීමේදී තමන් එමට සුදුස්සෙකු ද යන්න විමසා බැලිය යුතුය. පසුගිය දිනෙක මුහුණු පොතේ සටහනක දැක්වුණේ පාර්ලිමේන්තු මන්ත්‍රි වරයෙකු වීමට උපාධියක් තිබීම සුදුසුබවයි. වර්තමානයේ උපාධිධාරී මන්ත්‍රිවරුන් හා අනෙකුත් මන්ත්‍රී වරුන් ගේ කියුම් කෙරුම් හොඳින් විමසා බැලීමෙන් මේ ප්‍රකාශයේ වලංගුතාව පිරික්සිය හැකිය.පෙනෙන හැටියට උපාධියක අවශ්‍යතාව හොඳින් පෙනේ.එහෙත් එය දේශපාලන විද්‍යාව ආර්ථික විද්‍යාව හෝ මූල්‍ය කළමනා කරණයට අදාලව නොව මනුෂ්‍යත්වය මැනවින් හදාරා ලබා ගත්තක් විය යුතුය.එවැනි පිරිසකගෙන් සමන්විතවූ පාර්ලිමේන්තුවක් බිහිවූ දිනක සිට රටේ සැබෑ සංවර්ධනය පිළිබඳ සිහිනය සැබෑ වන දිනයට ඇති කාලය ඉතා අඩුවනු නොඅනුමානය.

Please follow and like us:

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

shape
Copyright © Kadapatha 2018. All rights reserved. Solution by saamArt