seprator

යථා ස්වභා

seprator
09May 2018
blog_shape

සටහන – සාමන්ත තැන්නගේ විසිනි (by Saamantha Tennege)

සිතුවම – චන්ද්‍රා මල්ලවආරච්චි (Illustration by Chandra Mallawarachchi)

චන්ද්‍රා මල්ලවආරච්චි ප්‍රවීණ චිත්‍ර ශිල්පිනියකි. එමෙන්ම ශ්‍රී ලාංකේය සිනමා වංශකථාවේ මුදුනෙහි තැබිය හැකි, 1987 වසරේ හොඳම නිෂ්පාදනයට හිමි OCIC සහ සරසවි සම්මාන ද්විත්වයම ලත් “විරාගය” චිත්‍රපටයේ නිෂ්පාදිකාව ය. 2007 වසරේ “ගැහැණිය” නම් වූ ඇයගේ පළමු කාව්‍ය සංග්‍රහයට පසු ඇයතින් නිමැවෙන දෙවන කාව්‍ය සංග්‍රහය “යථා ස්වභා” ය. “ගැහැණිය” කාව්‍ය සංග්‍රහය තුළින් කාන්තා දිවියේ විවිධ අවස්ථා කෙරෙහි සිය කවි ඇස යොමු කළ චන්ද්‍රා මෙවර “යථා ස්වභා” තුළින් මනුෂ්‍ය චරිතය සහ මනුෂ්‍ය සමාජය විවිධ මංපෙත් ඔස්සේ විනිවිද දකින්නට ගන්නා උත්සාහය ප්‍රසංශනීය ය.

ලෙනාඩෝ ඩාවින්චිට අනුව කවිය යනු වචනවලින් කළ සිත්තමකි. සිතුවමක් යනු වර්ණ වලින් කළ කවියකි. එය එසේනම් චන්ද්‍රා වචනයෙන් අඳින සිත්තම් සමූහය තුළ තවරන්නට වෙර දරන පැහැයන් හඳුනා ගැනීමට ගන්නා උත්සහාය සැබවින්ම සොඳුරු අත්දැකීමකි. එමෙන්ම එහි තැන තැන ඇති ඇය විසින් කළ සිතුවම් තුළින් සිත්තමෙන් කවි ලිවීමට ඇය තුළැති පරිචයද මනාව පසක් කරවන්නේ ය.

ඇය මෙසේ පවසන්නී ය.

“එකම කවිය විවිධාකාරයෙන් ලිවිය හැකි නමුත්, සරලව ලිවීමට හැම විටම මම උත්සාහ කරමි. වියළි, කර්කශ, අපුල යෙදුම් උවමනාවෙන්ම බැහැර කළෙමි. මගේ තෙළිතුඩටත්, පෑන් තුඩටත් තද නීති රීති පැනවීමෙන් වැළකී සිටීමට බොහෝවිට වැර දරමි. වචන පෙළ ගස්වා මගේ කවියට වියළුණු රසයක් පමණක් ලබාදෙන්නට මා අකමැති ය.”

මෙහි පද්‍ය රචනාවෝ 92 ක් අන්තර්ගතය. ඇය එම කව් තුළින් විවිධ සිදුවීම් සහ අවස්ථාවන් යටින් දිවෙන යථා ස්වභාවයන් ඉස්මතු කරන්නී, පාඨකයාට අලූතින් යමක් සිතන්නට අවකාශයක් සලසමිනි.

ඇයගේ “වියතා” කවිය, සැබෑ වියතෙකුගේ “යථා ස්වභාවය” ගැන කියවෙන්නකි. අදද සැබෑ වියතුන් ඇසූ කන් නෑසූව සිටිනු අපි දකිමු. හුදු වාණිජ පරමාර්ථයන් පෙරදැරි කරගත් ජනප්‍රියත්වයට ලංසු තබන්නන් අතර අදත් එදත් වියත්හු නිහඬය හ. සකලවිධ මාධ්‍ය සංදර්ශන පවත්වන්නේත්, පත්තර පිටු පුරා පිරෙන්නේත් වියතුන්ගෙන් රූප හෝ කතා ගැන නොව අවියත් බොළඳ නළු නිළියන්ගේ ඕපාදූප ගැනය. ඔවුහු නොදන්නා දෙයක් නැත. එමෙන්ම දන්නා දෙයක්ද නැත. එකල්හි වියතුන් වුව කුමක් කරන්න ද ? අවියත් දන මැද වියතුන්ද අවියත් අය සේමැ වෙසෙන්නේ ඔවුන්ගේ ඇති වියත් බව නිසාමය. චන්ද්‍රා එබඳු වියතෙකු හඳුනාගත් අයුරු සියුම්ව විමසා බලන්න.

නුඹ ජීවත්ව සිටි සඳ
නුඹෙන් පල නොගත්
බොහෝ දෙන
නෙත් විවර කර බැලූවේ
නුඹ මිය ගිය පසුය
එහෙත්
ඔවුන්ව නොපෙනෙන්නට
නුඹ ද
ඇස් වසා සිටි බව
පෙනෙන්නේ දැන් ය

වියතුන් සූජීවත්ව සිටිනා කළ බොහෝ දෙනා ඔවුන් දෙස නොබලති. දුටුවද නොදැක්කා සේ සිටිති. තොරොම්බල් කාරයෝ කවර වෙස් ගෙන පැමිණියද බොහෝ දෙනා ඔවුහු පසුපස ගොස් උන්ට ආවඩති. අවාසනාවකට මෙන් වියතුන් මියගිය පසු ඔවුන්ගේ මිනිය කරට ගන්නේද පෙරකී තොරොම්බොල් කාරයෝ ය. ජීවත්ව සිටින කල වියතුන්ට මුහුණ දීමට තරම් පෞරුෂයක් නැත්තෝ වියතාගේ මළකෙඳන් හැකි නම් මල්මාලයක් සදා තම තමන්ගේ ගෙලවල්ද සරසවාගන්නවා ඇත. මෙකී තොරොම්බල් කරුවන්ව නොපෙනෙන්නට වියතා ජීවත්ව සිටියදී ඇස් වසා සිටි බව කිවිඳිය දකින්නී ය. ඒ තුළින් ඇය අපට පසක් කරදෙන්නේ වියතාගේ සැබෑ වියත් බවම නොවේ ද ?

සිතුවම නම් කාව්‍ය තුළින්ද මෙකී විපරිත සමාජයේ මුග්ධ ස්වභාවය ඇය අපට කියන්නී ය. එය අපට එක්තරා සෙන් කතාවක් මතකයට ගෙන එන්නේ නිරාසයෙනි.

කැන්වසය මැද
තිතක් තබා
බලා හිඳී
මහ සිත්තර

මාධ්‍යකරුවන් වට වී
පත්තර – සඟරා පුරවන්නට
යමක් සොයයි

විදුලි කෙටීමකි
ඡායාවට නැගීමට
දහසක් – අර්ථ කථන
කොළ පිරෙන්නට

සිනාසෙයි
බඩ අල්ලාගෙන
ඒ මහා සිත්තර

සෙන් කතාවට අනුව රජු එක්තරා දක්ෂ චිත්‍ර ඇදුරෙකුට ඔහු විසින් කළ හොඳම චිත්‍රය ඇඳ දෙන මෙන් ඉල්ලීමක් කරයි. ශිල්පියා දින ගනනාවක් ගෙන සුවිශාල කැන්වසයක් මැද ඉතා කුඩා තිතක් තබා එම සිතුවම රජුට පිරිනමයි. ඉන්පසු විචාරකයෝ විවිධ පැති වලින් එකී තිත නිර්වචනය කරති. ඒ සිතුවම ගැන පත්තර පිටු ගණන්ද ලියැවෙයි. බොහෝ දෙනා කතා කරන්නට පටන් ගනිති. දිනක් රජුට මෙකී චිත්‍රශිල්පියාගෙන්ම තිත ගැන විචාරන්නට සිතෙයි. එදා චිත්‍ර ශිල්පියා රජුට මෙසේ කියයි. “ඇත්තටම රජතුමනි, ඒ තිත නෙමෙයි සිතුවම.”

“එහෙනං…” රජු පුදුමයෙන් අසයි.

“ඇයි රජතුමනි, ඔබ කවුරුත් කැන්වසයේ තිත වටා පිහිටි හිස් අවකාශය දැක්කේ නැද්ද ?”

චන්ද්‍රා එම කතාවෙන් කිසියම් පෝෂණයක් ලබන්නට ඇත. එහෙත් ඇය ඉන් වෙනත් අරුතක් නංවන්නී ය. නම ගිය අයෙකු නම් ඔහු තිතක් තිබුවද, ඉරක් ඇන්දද එයා කෝටි ගණනට විකිණෙන කලා කෘතියකි. නම නැති එකා මොනලිසා පරදන සිතුවමක් ඇන්දද එය තිත කි. චන්ද්‍රාගේ “යථා ස්වභා” සැබවින්ම යථා ස්වභා මතු කරවන කැඩපතක් වන්නේ එසේ ය.

ඉහත අප උපුටා දැක් වූ කවි වලින් ඇය නූතන කිවිඳියක යැයි කියියම් කෙනෙකුට හැඟීගියහොත් එය නිවැරදි නොවන බව කිව යුතුය. චන්ද්‍රා මල්ලවආරච්චි නම් කිවිඳියගේ බොහෝ කව් තුළින් ගමේ ගොඩේ කරක් ගසා, ලද අත්දැකීම් විමසා බලා උගත් තැනැත්තියක අපට දිස්වන්නේ ය. “පෙර දවසක මා” කවිය විමසා බලන්න.

කකුලෙන් ඉරි ඇඳපු – වැලිමළුවෙ පන්සලේ
පනුවෙක් වෙලා ඉපදේවි යැයි මතු භවේ
නිකමට නොවේ අම්මා මාව බය කළේ

ඉරි ඇන්දේ සාදු – මම නොදැනුම් කමට
අදින් මනත – සංවර වී සිරුවට
පණුවෙක් වෙලා – ඉපදෙන්නට බය කමට
මම ඇවිදින්නෙ සාදු – ඇවිදින ලෙසට

සුදු මල් පිච්ච
එකිනෙක දා කෙණ්ඩියට
පැන් පුරවා
බෝධිය නාවන ලෙසට
මව කීවත් – එය නොඇසුණ ගානකට
සුදු මල් එකින් එක
පැලඳුවෙමි හිසට

අම්මා පිටුපසින් විත්
ටොක්කක් ඇනලා
කන කැරකුවා හොඳට
මා කළ වරද
තේරුණ නෑ – පොඩි කමට
කඳුළුවලින්
කෙණ්ඩිය පිරුණා හොඳට

පන්සල මායිම ළඟ ඇති
පිනි ජම්බු ගසේ
රෝස පාට මල් හැළිලා
බෝකොළ ගොඩ මතේ
වට පිට බලලා සාදුල
අවට එහෙම නැතේ
වැටෙන් පැනල මල් අහුලා
දාගත්තා කටේ

තෙල් දමමින් පානෙන් පානට
බෝධිය වටේ
හැම එකෙන්ම තෙල් ටික ටික
ගා ගත්තා හිසේ
තේරුණෙ නෑ පුංචි කමට
මට තිබුණට විසේ
පුංචි ගඟකි – කණ දෙපැත්තෙ
නැවතුණ උරහිසේ

“යථා ස්වභා” හි අප සිත් වසඟ කළ තැන් බොහෝ ය. වරු ගණන් කතා කළ හැකි තැන්ද බොහෝ ය. බොහෝ කාලයක් මුළුල්ලේ සිඩ්නි නුවර වාසය කරමින් සිත්තමින් සහ කවියෙන් අප සිත් නිහඬව සනහන චන්ද්‍රාවන්ට අපි අපේ හෘද්‍යාංගම සුභාෂිංශන එක් කරමු.

අවසාන වශයෙන් ඇයගේම වදන් කිහිපයකින් අපි මෙම සටහන නිමා කරමු.

“හාස්‍ය විරහව හෝ සංතුෂ්ටිය වේවා, ජීවිතයේ දී අප ලබන්නා වූ අත්දැකීම් විශ්ලේෂණය කිරීමක් හෝ වේවා, කවිය හදවතට කතා කළ යුතුය. නැතිනම් පණිවුඩයක් දිය යුතුය යන්න මගේ හැඟීමයි.”

Please follow and like us:
  • This article is very delightful.

  • Leave a Comment

    Your email address will not be published. Required fields are marked *

    shape
    Copyright © Kadapatha 2018. All rights reserved. Solution by saamArt