seprator

අපෙ අම්මාගේ කැකිරි හොද්ද

  • Home
  • Feature
  • අපෙ අම්මාගේ කැකිරි හොද්ද
seprator
07May 2018
blog_shape

සාමන්ත තැන්නගේ විසිනි (by Saamantha Tennege)

එකල පොලීසියේ මහත්වරු කොම්පඤ්ඤ වීදියේ රාජකාරි කිරීමට මැළිකමක් දැක් වූ බව කියති. ඒ කිසියම් අවස්ථාවකදී පොලිස් වාර්ථාවක් ලිවීමට සිදුවන විට ස්ථානයේ නම හැටියට කොම්පඤ්ඤ වීදිය කියා ලිවීමට බොහෝ කොස්තාපල්වරුන්ට ඇති අපසුතාවය නිසාය. ඇතැම් අවස්ථාවල කොම්පඤ්ඤ වීදියේ අනතුරක් සිදු වූ විට අනතුරට ලක් වූ අයව ඒ අසල පිහිටි මැලේ වීදියට ගෙන ගොස්, මැලේ වීදියේදී අනතුර සිදුවූවාක් මෙන් වාර්ථා කළ බවද සමහර කටකැඩිච්ච කොල්ලෝ කියනවා මට මතකය.

දිනක් හා හාපුරා කියා කොම්පඤ්ඤ වීදියේ රාජකාරි කටයුතු වලට අනුයුක්ත කළ කොස්තාපල්වරයෙකුගේ නෙත ගැටුණේ අනතුරුදායක ලෙස බයිසිකලයක එළවළු පටවාගෙන එන අයෙකි. වහාම බයිසිකලය නැවැත් වූ කොස්තාපල් තැන, “මොනවද මේ ගෝනිවල තියෙන්නේ ?” කියා ඇසුවේලූ.

බයිසිකල්කරු ගත් කටටම “පිපිඤ්ඤා” කියා කීවේලූ. මද වේලාවක් හිසෙහි අතගසාගෙන කල්පනා කළ කොස්තාපල් “හා… අදට යනවා. ආය එහෙම මෙහෙම අහුවෙන්න එපා.” කියා ගෝරණාඩු කර බයිසිකල්කරුට යන්නට ඉඩ දුන්නේලූ. එදා රාජකාරි නිමවා නිවසට ගිය කොස්තාපල් පාසලේ වැඩට දක්ෂ තම දියණියගේ සිංහල පාඩම් පොත් බලා “හොඳයි ලියනවා බලන්න පිපිඤ්ඤා කියලා” යනුවෙන් කීවේලූ. අනතුරුව තම දියණිය ලියූ වචනය දෙස මද වෙලාවක් බලා සිට “හා බොහොම හොඳයි” කියා හොරෙන්ම තමාගේ සටහන් පොතේද එය සටහන් කර ගත්තේලූ.

දෙවෙනි දිනයේ නැවතත් ඔහු කොම්පඤ්ඤ වීදියේ රාජකාරියට ගියේලූ. එදිනද අනතුරුදායක ලෙස එළවළු පටවාගෙන එන බයිසිකල්කරුවාව ඈතදීම දුටු කොස්තාපල් බයිසිකලය නවත්වා, “ආ අදත් පිපිඤ්ඤා නේද ? බහිනවා බයිසකලෙන්…” කියා අණ දුන්නේලූ. “නෑ සර් අද තියෙන්නේ කැකිරි” බයිසිකල්කරු බයිසිකලයෙන් බසින අතර පැවසුවේලූ. “ආ එහෙනං ගොඩක් හොඳයි” කියා “මොකක්ද මේ වීදිය ?” කියා බයිසිල්කරුගෙන් ඇසුවේ කළ වරද සටහන් කරන්නටය. “කොම්පඤ්ඤ වීදිය, සර්” බයිසිකල්කරු කීවේලූ. නැවතත් හිසේ අත ගසාගත් කොස්තාපල්, එදිනද බයිසිකල්කරුට යන්නට ඉඩ දුන්නේලූ. එදින රාජකාරිය නිමවී යන අතර ඔහු කොම්පඤ්ඤ වීදියේ නාමපූරුව අසලට ගොස් එයද තම පොතේ සටහන් කර ගත්තේලූ.

තෙවෙනි දිනයේද සුපුරුදු පරිදි බයිසිකල්කරුවා එළවළු රැගෙන ආවේලූ. “ආ… අදත් ආවද ? අද වට්ටක්කද ?”

“නෑ සර් අදත් පිපිඤ්ඤා.”

“කමක් නැහැ බහිනවා… බහිනවා… අද බේරෙනවා බොරු…” පිපිඤ්ඤා, සහ කොම්පඤ්ඤ ලිවීමට උගත් කොස්තාපල් ගෝරනාඩු කළේ ය. “මොකක්ද කිව්වේ රස්සාව ?” කොස්තාපල් බයිසිකල්කරුගෙන් ඇසුවේලූ.

“ස්පාඤ්ඤෙට පිපිඤ්ඤා යවනවා.” එදිනද බයිසිකල්කරු ගැලවී ගියේ එසේලූ.

බයිසිකල්කරුගේ නම අසන්නට කොස්තාල්ට සිතුනේ සිව්වෙනි දවසේ ය. “හරි හරි දැන් කියනවා තමුසෙගේ නම ?”

“පුඤ්ඤදාස.”

“මොකක් කිව්වා… පුඤ්ඤදාස ?” ආය එහෙම අහුවෙන්නේ නැහැ.

පස්වෙනි දිනයේ කොස්තාපල් චණ්ඩියෙකු මෙන් බයිසිකල්කරුව බයිසිකලයෙන් බැස්සුවේය. “තමුසෙගේ නම මොකක්ද කිව්වේ ?”

“පුඤ්ඤදාස.”

‘සම්පූර්ණ නම… කියනවා… සම්පූර්ණ නම…”

“ඒ. කේ. පුඤ්ඤදාස.”

“ඒ. කේ. කිව්වේ…?”

“අඤ්ඤා කොණ්ඩඤ්ඤගේ…?”

කොම්පඤ්ඤ වීදියේ පිපිඤ්ඤා වෙළෙන්දා තවත් දවසක් කොස්තාපල්ගෙන් ගැලවුනේ එසේ ය.

පිපිඤ්ඤා, කැකිරි කිරීම එකල අප නිතර දෙවේලේ කළ කී දෙයකි. පිපිඤ්ඤා කියා ලියනවාට වඩා කැකිරි කියා ලිවීම පහසුය. එසේ නමුත් කැකිරි මාළුව පිසීම අපහසුය. පිපිඤ්ඤා සළාදය හැදීම ඊට වඩා පහසුය.

ඒ කතාව කිවේ අපේ අම්මාගේ කැකිරි හොද්ද ගැනත් යමක් කීමටය.

එකල අම්මාත් සමග පොළට ගිය ඇතැම් දිනවල ඇය පිපිඤ්ඤා මිලට ගත්තා ය. තවත් දිනවල ඇය මිලට ගත්තේ කැකිරි ය. කිසිම විටෙක ඇය පිපිඤ්ඤාත්, කැකිරිත් යන දෙකම එකම දිනක මිලට නොගැනීමට වග බලා ගත්තා ය. කෙසේ වෙතත් එකල මට නම් පිපිඤ්ඤාත්, කැකිරිත් පෙනුනේ එකම විදිහටය. එකල ඒ දෙකටම අපට තිබුණේ දැඩි අකමැත්තකි. පසුකාලීනව ඇයගේ පිපිඤ්ඤා සලාදයත්, කැකිරි හොද්දටත් අපි ඛෙහෙවින් ඇළුම් කරන්නට විමි. ඒ ද හේතුවක් ඇතිවය. නිවසින් පිටව ගොස් නගරයේ දහ ජරාව කන්නට පුරුදු වූ පසුවය, අම්මාගේ කැකිරි හොද්දේ තරම වැටහෙන්නට වූයේ.

අම්මාගේ පිපිඤ්ඤා සළාදය කඩිනමින් සකසාගනු ලබන සරල කෑමකි. ඇය මුළින්ම කරන්නේ පිපිඤ්ඤා ගෙඩියේ නැට්ට පැත්තට වෙන්නට පෙත්තක් කපා එම කැපූ පෙත්තෙන්ම කැපූ තැන රවුමට පිරිමැද තිත්ත යැවීම ය. තිත්ත යැවූ පසු පොත්ත ඉවත්කර පිපිඤ්ඤා පෙති රවුමට කපා ගන්නී ය. ඉන්පසු දික් අතට කැපූ ලොකු ළූණු, පෙති කැපූ තක්කාලි, සිහින්ව ලියා ගත් අමුමිරිස් සහ ගම්මිරිස් කුඩුත් සමග පිපිඤ්ඤා පෙති එකට කලවම් කරන්නී ය. අවසානයේ ලූණු සහ විනාකිරි ස්වල්පයක්ද ඊටම එකතු කරන්නී ය.

කැකිරි හොද්ද හැදීම ඊට වඩා තරමක් සංකීර්ණ ය. ඇය මුලින්ම කැකිරි ගෙඩියේද, පිපිඤ්ඤා ගෙඩියේ මෙන්ම තිත්ත හරින්නී ය. කැකිරි ගෙඩිය සෝදා පොත්තත් සමගම කොටු හැඩැති කැබැලි වලට කපා ගනී. ඉන්පසු ඒවා මැටි බඳුනකට දමයි. කරපිංචා, කහ, තුනපහ තේ හැන්දක් පමණ, රම්පෙ, කුරුඳු පොතු කැබැල්ලක්, එම මැටි බඳුනටම දමයි. අමු මිරිස් දිග අතට ලියා එයද ඊට එකතු කර ගනී. සුද්ද කළ රතුළූණු හොඳින් සෝදා සිහින්ව ලියා ඒවාද ඊටම එකතු කරයි.

ඉන්පසු හාල් මේස හැන්දක්, පොල් රොඩු මේස හැඳි දෙක තුනක්, සූදුරු තේ හැන්දක්, සුදුළූණු බික් තුන හතරක් වෙනම මැටි කබලක දමා හොඳින් බැදගනී. එසේ බැඳගත් මිශ්‍රණය මිරිස් ගලේ දමා අඹරාගනී.

දැන් ඇය කරන්නේ කපාගත් කැකිරි හට්ටියකට එකතු කර පහේ කුඩු හොඳින් අනා වතුර සමග ළිපේ තැබීම ය. කැකිරි කැබැලි හොඳින් තැම්බුන පසු දියකිරි කෝප්ප දෙකකට පමණ අඹරාගත් පොල් හාල් මිශ්‍රණය එකතුකර කැකිරි බඳුනටම දමා අඩු ගින්දරේ පිස ගනී. ලුණු එකතු කරන්නේ අවසානයට ය.

තම්බපු හාලේ බත් සමග කැකිරි මාළුවත්, කරවල බැදුමකුත්, වට්ටක්කා කොළ මැල්ලුමකුත් එක් වූ කළ සිංහල අපට දැනෙන රසය දිව බොජුන් පරදවන්නේ ය.

අපේ අම්මාගේ කැකිරි හොද්ද මගේ මතකයට ආවේ පසුගියදා අපට කියවන්නට ලැබුණු ඉතා සංවේදී පුවතක් නිසාවෙනි. 2018 අප්‍රේල් මස 25 දින දිවයින පුවත්පතේ අන්තර්ජාල කලාපයේ පළ වී තිබුණු මෙම වාර්ථාව ලියූ අයගේ නම සඳහන්ව තිබුණේ නැත. වාර්ථාව මෙසේ ය.

කැකිරි තොගයක්‌ අලෙවිකර ගැනීමට දඹුල්ල ආර්ථීක මධ්‍යස්‌ථානයට රැගෙන ගිය ගොවියකුට මුහුණ පෑමට සිදුවූ අකරතැබ්බයක්‌ ගැන ඉබ්බන්කටුව ප්‍රදේශයෙන් වාර්තා වෙයි. සමගි මාවතේ පදිංචි ආර්. බී. එAකනායක (70) සිය අත්දැකීම පසුගිය 19 දා අපට මෙසේ විස්‌තර කළේය.

“පසුගිය සතියේ දඹුල්ල ආර්ථීක මධ්‍යස්‌ථානයට මම වගා කළ කැකිරි කිලෝ 55 ක්‌ රැගෙන ගියා. එAවා අලෙවි කර මට ලබාගත හැකිවූයේ රුපියල් 100 යි. කැකිරි තොගය ත්‍රීවිල් එකෙන් ප්‍රවාහනය කිරීමට රුපියල් 450 යි. මමත් බිරිඳත් ගිනි අව් කාෂ්ටකයේ මේ වගාව කළේ බලාපොරොත්තු ඇතිවයි. කැකිරි වගා කිරීමට යෙදූ අක්‌කර භාගයේ ඉඩමේ සී සෑමට පමණක්‌ ට්‍රැක්‌ටර් කුලිය රුපියල් 3500 ක්‌ වැයවුණා. ඉබ්බන්කටුව ජලාශයේ සිට අඩි හත්අටසියයක්‌ බට යොදා මෝටරයකින් ජලය පොම්ප කිරීමට සිදුවුණා. එහෙව් වියදමක්‌ දරා ලබාගත හැකිවූයේ රුපියල් 100 ක්‌ නම් ගොවියාගේ අනාගතය ගැන කවර කතාද ? නමුත් සුපර් මාර්කට්‌ හා වෙළෙඳ සල්වල කැකිරි කිලෝවක්‌ රුපියල් 25 ත් 30 ත් අතර මිලකට අලෙවි වෙනවා. ගොවියාගේ එළවළුවලට සාධාරණ මිලකට අලෙවි කර ගැනීමට නොහැකි නම් එම වගාවෙන් ඉවත් වීම හැර වෙනත් විකල්පයක්‌ නෑ. මා ඇතුළු ප්‍රදේශයේ ගොවීන් බලධාරීන්ගෙන් විමසන්නේ එම ප්‍රශ්නයයි” යි පැවසීය.

ලංකාවේ සංචාරය කරන විට අප දකින දෙයකි, එහි බොහෝ එළවළුවල මිල ගණන් ඕස්ට්‍රේලියාවේ එළවළු මිළට වඩා ඛෙහෙවින් වැඩි බව. එමෙන්ම ඒවායේ පෙනුම සහ ගුණාත්මක බවද ඛෙහෙවින් අඩු ය. පසුගිය වෙසක් දා විකුණාගත නොහැකි වූ රුපියල් ලක්ෂ පහක් වටිනා වට්ටක්කා දන්සැලක් දේවහූව ප්‍රදේශයේදී පැවති බවද ඇතැම් පුවත්පත් වාර්ථා කොට තිබුණි. වට්ටක්කාද, කැකිරි හොද්ද තරම්ම රසවත් ව්‍යාංජනයකි. මෙල්බර්න් නුවර හොඳ තත්ත්වයේ වට්ටක්කා ඇට ග්‍රෑම් සියයක් අඩු තරමින් ඩොලර් තුනක්වත් වෙයි. එසේ වනුයේ ඒ තරමටම වට්ටක්කා ඇටවල ගුණයක් ඇති නිසාය. එහෙත් ලංකාවේ තත්ත්වය කෙතරම් ශෝචනීය ද ?

එකල මිනිසුන් මාලු කල් තබා ගැනීමට වියළා කරවල කළෝ ය. අදටත් අපි එය කරමු. එහෙත් කරවල වේලනවාට වඩා, අව්වේ වේලා මුදල් කළ හැකි දෑ කොතෙක් නම් ඇත්ද ? විජලනය කළ එළවළු කොතෙක් නම් අපට ඕස්ට්‍රේලියාවේදී ලබා ගත හැකි ද ? බටර් නොකා අලිගැටපේර ආලේප කර පාන් කෑමට තරම් බුද්ධිමත් ඕස්ට්‍රේලියානුවාගෙන් යමක් ඉගෙනගන්නට ලංකාවේ සිට මෙහි ඉගෙන ගන්නට එන තම පුතාලා බලන්නට එන ඇමතිලාටවත් නොපෙනේ ද ? කැකිරි, පිපිඤ්ඤා, වට්ටක්කා යනාදී එළවළු එකල කිසිම ඛෙහෙතක් නොගසා වගාකළ භෝග ය. මස් මාළු සහ ෆ්‍රරයිඩ් රයිස් වල රසයට වහල් වූ පසුකාලීන ලාංකිකයාට දැන් දැන් එළවළු වල රස නොදැනෙන තරම තේරෙන්නේ එකල අප හැදුනු වැඩුනු ගම් බිම් වල මෙකල සැරිසරන විට ය. අම්මාගේ කැකිරි හොද්දේ තරම තේරුම් ගැනීමට අපටද බොහෝ කාලයක් ගත විය. එය අපට වැරදුණු තැනකි.

ආයුර්වේදයට අනුව කැකිරි වල මුත්‍රා මාර්ගයේ රෝග සුවකිරීමේ හැකියාවක් ඇති බවත් මූත්‍රාශයේ ගල් නැති කිරීමට හොඳ බවත් කියවේ. එමෙන්ම කැකිරි වල මුත්‍රා පිරිසුදු කිරීමේ ගුණයක් තිඛෙන අතර කැකිරි ඇට පණු රෝගවලටද භාවිතා කරයි. පිරිමින්ගේ පුරස්ථී ග්‍රන්ථී ආශ්‍රිත රෝගවලට ගුණ දෙන බවද කියවෙයි. තවද කැකිරි ආහාරයට ගැනීමෙන් මුත්‍රා හොඳින් පහවීමත්, දැවිල්ල නැති වෙන බවත් ආහාර පහසුවෙන් දිරවන බවද කියවේ. අද ලාංකිකයාගේ ජාතික ආහාරය බවට පත්ව ඇති, ඕස්ට්‍රේලියාවේ පන්සල්වල ආහාර පොළවල්වල පවා උණු කැවුම් මෙන් විකිණෙන කොත්තු, බුරියානි, ෆ්‍රරයිඩ් රයිස්වල බඩ සහ දිව පිනවීම හැර කැකිරි කෑල්ලක ඇති ගුණයෙන් අල්පමාත්‍රයක්වත් ඇතැයි කිව හැක්කේ කාට ද ?

සැබවින්ම සමස්ථ ලාංකිකයා සාසනයෙන් පටන් ගෙන ඔවුන්ව පාලනය කරන පාලකයා හරහා ගොවියා දක්වාම මෙතරම් පිරිහුනු කාලයක් ඉතිහාසයේ අන් කවරදාවත් නොතිඛෙන්නට ඇත. එකතකින් ලිමසීන් වලින් වැඩ ඉස්සෝ, කකුළුවෝ, පෝර්ක් වළඳවන දාන මානය. අනික් අතින් රටින් ගෙනෙන ඇපල්, මිදි වලින් කරන ස්ථූප පූජා ය. දුප්පත් ගොවියාගේ කැකිරි ගෙඩියට දෙයියන්ගේම පිහිටය.

ළඟදීම අපිට විකුණාගත නොහැකිව අද දන්සල් දෙන වට්ටක්කා වලින් සුද්දා බටර් හදා අපටම එවනවාට සැක නැත. මාලු නරක් වන්නට නොදී කරවල හැදූවේ අපේ මුතුන් මිත්තෝ ය…. නරක් වන වට්ටක්කා වලට කළ හැකි දෙයක් හිතාගන්න බැරි අපට වඩා අපේ මුතුන්මිත්තෝ කොතරම් බුද්ධිමත් ද ? එදා ගොවියාගේ විද්‍යාගාරය වූයේ ඔහුගේම කෙත ය. ඔහු අලුත් අලුත් දේ අත්හදා බැලූවේ එහිදීය. අද කෙත පත්ව ඇත්තේ ගොවියාගේ සොහොන් බිම බවටය.

තමන්ගේ වැරදි තේරුම් ගැනීමට නොහැකි අපේ කෘෂිකර්මාන්ත ඇමතිලා කරන්නේ හිස් ගොඩනැගිලි වලට කෝටි ගණනින් බදු ගෙවීම ය. කැකිරි කිලෝ පනස් පහකට රුපියල් සීයක් ලැබුණු බව අසා අපට ඇතිවන සංවේගය උන්ටත් ඇතිවෙනවා නම් ? කොටින්ම වරද්ද වරද්දා පිපිඤ්ඤා ලිවීමට උගත් කොස්තාපල්ලා කටට මැෂින් සවිකරගෙන පුටු රත්කරන ඇමතිලාට වඩා හොඳ ය. ඒ ඌ නොදන්නා දේ ඉගෙනගැනීමට තරම් අවංක වූ නිසාය. ස්පාඤ්ඤයට පිපිඤ්ඤා පටවන අඤ්ඤා කොණ්ඩඤ්ඤලාගේ පුඤ්ඤදාසලා ඊටත් වඩා හොඳ ය. ඒ උන් නිර්මාණශීලී නිසා ය.

Please follow and like us:

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

shape
Copyright © Kadapatha 2018. All rights reserved. Solution by saamArt