seprator

මටත් හොරා මා පැටළූ – මොනර දැල

  • Home
  • විචාර
  • මටත් හොරා මා පැටළූ – මොනර දැල
seprator
07May 2018
blog_shape

ශ්‍රීනාත් මද්දුමගේ විසිනි (by Srinath Maddumage)

කවුරු හරි මගෙන් ඇහුවොත් කෘතියක් පරිවර්තනය කරන එක පහසුද අපහසුද කියල, මම ගත් කටටම කියනවා පහසුයි කියලා. ටිකක් හිතල ආයෙ කියනවා අපහසුයි කියලා. ඒක නිකං ඔව්ත් නැහැ, නැහැත් නැහැ වගේ හතරබීරි කතාවක් වගේ පෙනුනට ඒක තමයි ඇත්ත. මොකද පරිවර්තනයක් සඳහා පාදක වෙන කෘතියක් තියෙන නිසා පරිකල්පනීය කාර්යයෙන් මනස මිදෙන නිසා පහසුයි කියල කියන්න හිතෙනවා. ඒත් පරිවර්තනය අදාල භාෂිත සමාජයට හෘදයාංගම ලෙස සිදුකළ හැකිද යන අරුතෙන් ගත්විට පරිවර්තන කිරීම අපහසුයි කියල හිතෙනවා. මොකද තමුන් රචනා කරන කෘතියක් නම්, තමුන්ට නිදහසේ හිතූ හිතූ අත යන්න පුළුවන්. කාගෙන්වත් බාධාවක් නැහැ ඒකට. ඒත් පරිවර්තනයට සීමා බන්ධන තියෙනවා. එහිදී වැදගත් වන්නේ මුල් කෘතියට අගතියක් නොවන ආකාරයට පරිවර්තනය කිරීම. පාඨකයාට ගැලපෙන ලෙසත් ඔවුන්ට රුචිවන ලෙසත් පරිවර්තනය කිරීම. මේ සියලූ කාර්යයන් ජයගත හැක්කේ හොඳ භාෂා ඥානයක්, පරිවර්තන පරිචයක් ඇති කෙනෙකුටම විතරයි.

මේ සියලූ අටුවා ටීකා ටිප්පනි කියන්න සිද්ධ වුනේ ස්වර්ණකාන්ති රාජපක‍ෂ “මොනර දැල” ලෙස පරිවර්තනය කර තිබූ සමර්සෙට් මෝම්ගේ ‘The Painted Veil’ පොත එක හුස්මට කියෙව්වට පස්සෙයි. ස්වර්ණකාන්ති ඕස්ට්‍රේලියාවේ ජීවත්වෙන බවත්, ඇය සාහිත්‍යකාරණාවේ යෙදෙන බවත්, හොඳ පරිවර්තිකාවක් බවත් මම දන්නා දෙයක්. ඒත් මේ තරම්ම සාර්ථක පරිවර්තිකාවක් කියල දැනගත්තේ මොනර දැල කියෙව්වට පස්සෙයි. ඒක මූනිච්චාවට කියන මුසාවාදයක් නෙමෙයි. මම ලංකාවේ දැකපු සාර්ථකම පරිවර්තිකාව විභූතිභූෂණ බන්ධෝපාද්‍යා වැනි ඛෙංගාල ලේඛකයන්ගේ පොත් වංග බසින් සිංහලට පරිවර්තනය කළ චින්තා ලක්ෂ්මි සිංහාරච්චියි. මොනර දැල කියවා සසල වූ හදැතිව ස්වර්ණාකාන්ති රාජපක්ෂවත් චින්තා ලක්ෂිමි අසලින්ම තියන්න මම කැමතියි.
1971 තරුණ කැරැල්ලටත් 1989 තරුණ කැරැල්ලටත් තුඩු දුන්න දාර්ශනික මතවාදි ගාමක බලය රුසියන් සාහිත්‍ය බව රහසක් නොවෙයි. අද පරම්පරාව කොහොම වුනත් අපේ පරම්පරාව පුදුම විධියට රුසියන් සාහිත්‍යයට ඇලූම් කළේ, දැදිගම වී රුද්‍රිගු, ඩබ්. ඒ. අබේසිංහ, සිරිල් සී පෙරේරා වගේ කෘතහස්ත පරිවර්තකයන්ගේ අතිරමණීය පරිවර්තන නිසා. හැබැයි හැමදාම අපිට යුරෝපීය සාහිත්‍ය ඒ තරම් බද්ධවුනේ නැහැ. ඒකට හේතුව හැටියට මම දකින්නේ යුරෝපීය කෘති පරිවර්තනේදි දක්නට ලැබුණ නීරස බව වෙන්න ඇති.

පශ්චාත් නූතනවාදයට පෙර ලේඛකයෙක් වන සමර්සෙට් මෝම් වැනි ප්‍රංශ ජාතකයෙකුගේ කෘතියක් ස්වර්ණකාන්ති තම වසඟයට ගෙන ඉන් අපද වසඟයට පත් කර ගැනීමට තරම් සාර්ථක වන්නේ මෙම කෘතියේ තියෙන හද බැඳ ගන්නා ගුණය නිසයි. එහිදි ඇය ඉතාම දක්ෂ ලෙස බස හසුරවනවා. කෘතිය මදක් කියවාගෙන යන විට එය ප්‍රංශ ජාතිකයෙක් විසින් 1925 යුගය පසුබිම් කරගෙන දෙවන ලෝක යුද්ධයෙන් පසු හොංකොං වෙත යන යුවළක් වටා නොරට බසකින් ලියවුනක් නොව සිංහලෙන්ම රචිත කෘතියක් වැනි හැඟීමක් ඇති වෙයි. ඊට හේතු යුක්ත වන්නේ ස්වර්ණකාන්තිගේ භාෂා විලාෂයයි.

මෙම මුල් කෘතියත් සමර්සෙට් මෝම්ගේ ඉතාම ඉහළ ආදායම් වාර්තා තැබූ කෘති තුන අතරින් එකක්. මීට පදනම් වී ඇත්තේ පළමුවන ලෝක යුද්ධයෙන් පසු යුගයේ 1925 දී ඈත පෙරදිග බ්‍රිතාන්‍ය යටත් විජිත පාලනය පසුබිම් කරගෙන රචනා වූවක්. මෙම කෘතියෙ යුරෝපයේ අලෙවි වුනේ මිලියන ගණනින්. බ්‍රිතාන්‍යයේ සිට හොංකොං වෙත පැමිණෙන වෛද්‍යවරයෙකුගේ තරුණ බිරිඳ වන කීටි ෆෙන් පෙම් පිපාසිත රූමතියකි. ඇගේ අසම්මත ප්‍රේමය ගැන දැනගන්නා සැමියා ඇය කොළරා වසංගතය පැතිරුණු හොංකොංහී ඈත සුළු නගරයක් වෙත ඇය කැඳවාගෙන යනවා. කම්පනීය ගැටලූ කිහිපයකට මුහුණ දෙන ඇය හෘද සාක්ෂිය විසින් නිද්‍රාවෙන් අවදි කරනු ලබනවා. මේ අපූරු කතාන්දරය ඔස්සේ ලේඛකයා විසින් ඉස්මතු කරනු ලබන්නේ ජීවිතයේදි මුහුකුරා යාමට, වෙනස්වීමට සහ කමා කිරීමට මිනිසා සතු සක්‍යතාවයයි.

මෙහි වැදගත්කම වන්නේ කිටි ෆෙන්ගේ හෘද අභ්‍යන්තරයේ අරගල කරන ආත්ම හීලනය, ගැහුණුකම ඉදිරියේ අසරණ වන ඇගේ ප්‍රේමාග්නියේ ශෝකය ස්වර්ණකාන්ති මනා ලෙස සිංහල බසින් වර නැගීමයි. කිටි ෆෙන් ශාන්තිය සොයා යන අනියම් ප්‍රේමය, අවසානයේ ඇයම දවන අග්නි දාහයක් වෙනවා. එය ඉතා සියුම් හැඟීම් කැටියක්. එහි කම්පනය අපටත් දැනෙන ආකාරයට ස්වර්ණකාන්ති සිය පරිවර්තනය වියමන් කරනවා. කතාවේ අන්තර්ගතයට හානියක් නොවන පරිද්දෙන් ඉතා සියුම් සැතකින් කරන විච්ෙජ්දනයක් ලෙස ඇය කිටිගේ, වෝල්ටර්ගේ සහ ඇගේ පෙම්වතා චාලි ටවුන්සෙන්ඩ්ගේ සබඳතාවයන් අපූරුවට අපට හැෙඟන ලෙස බද්ධ කරන්නේ එහි ඇති මානව දයාව සපිරි රසය නුසුන්වන ආකාරයටයි.

කිටිගේ අනියම් ඇසුර වෝල්ටර් දැනගත් බව ඇයට දැනෙන අවස්්ථාවේ ඉතා කම්පිත කුතුහලයෙන් පිරි තිඛෙනවා.

“ඔහු එළිපත මත නිමේෂයක් රැඳි සිටියදි දෙදෙනාගේ දෑස් හමුවිය. ඇගේ හදමඬල කිඳා බැස්සාය. හදිසියේම පැතිර ගිය සීතල නිසා සියොළඟ ගැහුණාය. එය වනාහි කිසිවෙකු තම මිනීවලට උඩින් ගමන් කරනා මොහොතක් වැනි හැඟීමක් ය. ඔහුගේ අචංචල අපාරගම්‍ය දෑස අද්භූත ලෙසින් විශාල වී තිබිණි. ඔහු සියල්ල දන්නේය.” (මොනර දැල – පිටුව 52)

ස්වර්ණකාන්තිගේ බසෙහි පොහොසත් බව සහ බුහුටිබව පාඨකයා එක සීරුවට ඊට ඇද බැඳ තබා ගැනීමට සමත් වෙයි. ඒ යටින් සැඟවුන මරණයේ භීතියක්ද ඇත. කොළරාව සුළු නගරය ආක්‍රමණය කර ඇත. කිටී පැමිණ ඇත්තේ මරණයේ අඩවියකටය. වෝල්ටර් ෆෙන් සැබවින්ම සැලසුම් සහගත ලෙස ඇය මෙහි රැගෙන පැමිණියාදැයි පාඨකයා කුහුලට පත්වෙයි. එහෙත් එවැනි ප්‍රකම්පන අතරින් ස්වර්ණකාන්ති සිය පරිවර්තන බස හසුරුවන අපූරුව.

“කන්‍යාරාමයේ මෙහෙවර කිටිගේ ආත්මයට නැවුම් ප්‍රබෝධයක් ගෙන දුන්නාය. සෑම උදෑසනකම හිරු පායා මඳ වේලාවකින් එහි ගිය ඇය පෙරළා බැංකුවට පැමිණියේ අවර බලා යන හිරු පටු නදීතලාව මෙන්ම එය අසබඩ සුන්බුන් වසා දමමින් රන් රැස් වතුර පිටාර යවන මොහොතේදීය.” (මොනර දැල – පිටුව 153)

හොංකොං අප දේශය නොවන බව සැබෑය. එහෙත් ස්වර්ණකාන්තිගේ භාෂා භාවිතය නිසා එය අපේ වෙයි. පරිසරය පිළිබඳ මුල් කෘතියේ ඇති සඳහන් සියල්ල ඉතා මැනවින් සිංහලට නගා ඇත. අතින් අත නෑර එක හුස්මට එය කියවා පසෙකලීමට සිත උත්සුක කරවයි. එසේම අනියම් ප්‍රේම සම්බන්Aධතා පිළිබඳ කතාවල දකින්නට ලැඛෙන ජුගුප්සාව ද මෙහි නැත. එහි ඇත්තේ ප්‍රේමය සහ අනුරාගය පිළිබඳ ඛේදවාචකයයි. ගැහැණියගේ කම්පිත දිවියක වේද කාව්‍යයයි.

කමලා දාස් කියන ලෙස ගැහැණිය අනුරාගයේ නොව ප්‍රේමයේ බැඳෙයි – පිරිමින් ප්‍රේමයේ නොව අනුරාගයේ බැඳෙයි යන කියමන සත්‍ය වෙයි. පිරිමින්ගේ කෙසේ වුනත් ගැහැණියකගේ අනුරාගය ප්‍රේමයේද මුසුවකි. ඇය ඉන් කිසියම් ශාන්තියක් අපේක්ෂා කරයි. කිටී ෆෙන්ද එවැන්නියකි. සිය ප්‍රේමයේ බීකන් පහන ලෙස විශ්වාස කළ මිනිසා කපටි වංචනියෙක් ලෙස ඇය පසුව වටහා ගනියි. එතැන් සිට ඇය ඇගෙ කුටුම්භ ජීවිතයෙන් විතැන් නොවීමට වගබලා ගන්නා අතර, ස්වාමියාගේ සීතල ඉදිකටු තුඩු මත ආත්මය වැතිරවයි. ස්වර්ණකාන්ති රාජපක‍ෂ ඒ වෘතාන්තය පාඨක අපද බන්ධනය කරමින් මනා ලෙස වියමන් කරයි. නිසැකවම මා මෙන් ඔබද ස්වර්ණකාන්ති වියමන් කළ මොනර දැල කෘතිය අතට ගතහොත් ඊට නතුවනු නිසැකය.

මතුපිටින් පෙනෙන ස්ථරයට අනුව කුටුම්භ ජීවිතය ගැන කියැවෙන ජනප්‍රිය කතිකාව තුළ විරාගික සැමියෙකුගේ සමඟ දිවි ගෙවන අනුරාගික ගැහැණියගේ හෘද අභ්‍යන්තරයේ මනෝ විශ්ලේෂණාත්මක අර්ථකතනයක් මින් මනා ලෙස ප්‍රඛට වෙයි. ලෝකයා නොදකින පවුල් කටුම්භයේ අභ්‍යන්තර අනේකවිධ ගැටුම් සහ ගැහැට මනාව විදාරණය වෙයි. ඒ අනුව “මොනර දැල” හුදු පදානුගත පරිවර්තනයකට වඩා සංදර්භීය අවකාශය මනා ලෙස ග්‍රහණය කරගත් ලියවිල්ලකි. එබැවින් එය යටත් විජිත සමයේ නොගැලපෙන විවාහ සමඟ ඈත පෙරදිගට පැමිණි නිළධාරින්ගේ ජීවිත වඩා සංවේදනාත්මකව චිත්‍රනය කරනු ලබයි. මෙහි ඇත්තේ සුදු හෝ කළු චරිත නොව අළු චරිතය. චාලි ටවුනසෙන්ඩ් පවා මා දකින්නේ අළු චරිතයක් මෙනි. මේ අයුරින් නිළධාරියෙකුගේ සහ ඔහුගේ බිරිඳගේ කුටුම්භ ජීවිතයේ අතු, ඉති රිකිළි පමණක් නොව ශාක පත්‍ර පවා මේ කෘතිය තුළ ඉතා සියුම්ව සාකච්ඡාවට ලක් කරයි.

Please follow and like us:

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

shape
Copyright © Kadapatha 2018. All rights reserved. Solution by saamArt