seprator

දන්සැල් වන්දනා

seprator
07May 2018
blog_shape

ධනුෂ්ක කාංචන ජයවීර විසිනි (by Dhanushka Kanchana Jayaweera)

මිනිස්සුන්ට තේරෙන බාසාවෙන් මාස නම් කර තියෙද්දිත් මේ මාසේ මොකද්ද කියලාවත් දන්නේ නැතිව අප්‍රේල් මාසේ උගේ අම්මගේ අප්පගේ බූදලය කියලා හිතාගෙන ලංකාවේ එකාලා තමන්ගේ කොහෝ කොහෝ නාදයට වහල් කරගෙන රූකඩ මෙන් නටවන සතා වන කොහා අවුවට වේලි වේලි වැස්සට තෙමි තෙමි අතන මෙතන ඉඳන් පිස්සෙක් වගේ… පිස්සෙක් වගේ… කෑගැසීම නිසා උගුර බැරැන්ඩි වීම හේතුවෙන් අප්‍රේල් අග හරියේදී වැල්මී සොයා තමන් පැමිණි රටට පිටත් වන අතර ඌ මැයි මාසයේ උගේ වැඩ බලන නිලධාරියා ලෙස තෝරාගත් මොහිදින් ඛෙග් මාස්ටර්ට සිය රාජකාරිය බාර දෙයි…

අවංක කොල්ලෙක් වූ මොහිදීන් ඛෙග් මාස්ටර් කොහාගේ රාජකාරිය නොපිරිහෙලා ඉටු කරමින් මැයි මාසය හෙවත් වෙසක් මාසය එන බව සිය බුදු ගුණ ගීත ඔස්සේ පවසයි…

අවුරුදු උත්සව සංවිධානය කර මාටියා ගහලා රහ වැටී සිටින අය මෙන්ම අවුරුදු කාලා හන්තර් වී මැයි මාසය ජීවත් වෙන්නේ කොහොමද කියා දහ අතේ කල්පනා කරමින් නියපොතු කමින් සිටින අයද මෙම ඛෙග් මාස්ටර්ගේ ගායනාවත් සමගම සිහිනෙන් අවදි වූවාක්මෙන් පිබිදී සිය සම්මාදම් එකතු කිරීමේ මහා ව්‍යාපාරය සුබ මොහොතින් අරඹති…

ඔබට මට අප සැමට දරුණු වේදනාවන් උරුම කර දෙන මෙම දන්සැල් සංවිධායකයන්ගෙන් බේරී සිටීමට නම් කිසිවෙකුට නොපෙනෙන සේ සිටීමට හැකි යයි විස්වාස කරන කලූවර අඳුන ගාගත යුතුය. යක්කුන්ගෙන් බේරී සිටීමට මන්තර ඇතත් සත්තුන්ගෙන් බේරීමට විවිධ උපක්‍රම ඇතත් විල්සන් කරුගෙන් බේරීමට ජීවන්ට හෝ විජේට හැකියාව ඇතත් දන්සැල් සම්මාදම් කාරයාගෙන් බේරීමට පුළුවන් එකෙක් මේ ලොව තවමත් බිහි වී නැත…

කල්ලි වශයෙන් හෝ යුගළ වශයෙන් හෝ තනි තනිව හෝ වෙසක් පෝයට මාසයකට පමණ කලින් “සත් සමුදුරු තරණය කර ආවා සත් කුළු පවු අතරින් දිව ආවා.. භවෙන් භවය පියමං සලකුනු දැක ඔබව සොයා ආවා” කියාගෙන අපේ නිවෙස් සොයා එන දන්සැල් කරුවා.. අම්මා තාත්තාවත් අපට නොපෙන්නන තරම් ආදරයක් පෙන්නා ඉතා පිළිවෙලට වගු සකසා ආධාර සටහන් කර ඇති පොත අපට පිළිගන්වන්නේ දෝතින්මය…

පොත දකින නිවැසියාගේ ඇඟේ මවිල් ටික කෙලින් වී හිස මුදුනෙන් රැස් පිට වී අමුතු කලන්තයක් ඇති වේ. පොතේ අන්තර්ගත සටහන අනුව අල්ලපු ගෙදර එකා දාහක් දීලාය.. ඊට එහා එකා හෙවත් අපට නිතරම පෙස්සන් ගහන එකා පන්දාහක් දීලාය.. එම නිසා උන්ට සෙකන්ඩ් වෙන්නට බැරි කමට පර්ස් එකේ හරස් පැත්තේ හතර පහට නවා ගහගෙන ඉන්නා රුපියල් දාහ අමාරුවෙන් එළියට ඇදලා දන්සැලට පිදීම සිදු වේ. එහෙත් අප පොතේ දුටුවේ මායාකාරී දසුනක් බවත් අප විසින් දුන් දාහේ අගට තව බින්දුවක් එක්කහු කොට දහදාහ කර සකස් කරන බවත් අපට නොවැටහීම ජාතියේ අවාසනාවක් වන අතර එය දන්සැල් කරුවන්ගේ වාසනාව වේ.

මෙසේ වෙස්සන්තර රජු පරද්දමින් තමන් සන්තකයේ තිබූ රුපියල් දහස දන්සැල්කරුවන්ගේ හෙට දවස ලස්සන කරන්නට පුදදෙන වැසියන් සිය ජීවිතය ගැටගහගැනීමට ප්ලෑන් බී එක ලෙස තෝරාගන්නේ ඌරාගේ මාලු ඌරාගේ තියා කපන්නාක් මෙන් දුන්න සල්ලි වලට හරියන්න දන්සැලෙන් කමු යන අදහසයි..

දන්සැල යන වචනයේ අර්ථය දානය දෙන ස්ථානය වුවද එතන ඉන්න එවුන්ගේ ගැම්ම එක්සත් ජාතීන්ගේ මහා සම්මේලනේ අධ්‍යක්ෂ මන්ඩලේවත් නැත. මැණික් මල්ලක් තමන් ඉදිරියේ තියාගෙන ඉන්න තරම් ආරක්ෂා සහිතව තමන් ඉදිරියේ තියාගෙන ඉන්න පරිප්පු බේසම හෝ අඟුණ කොල මැල්ලුම හෝ පපඩම් පරිස්සම් කරගන්නට වෙර දරන ඔවුන් යමක් දෙසැරයක් ඛෙදා ගන්නට කවුරු හරි ආවොත් උන් දිහා බලන්නේ සවුදම් ජෙමා දිහා බලනවා වගේය.

ආධාර එකතු කරන්නට එනකොට ගේන පොතේ දන්සැලේ පිලිගන්වන ආහාර මෙනු එකත් අමුනාගෙන ඒම ආධාර එකතු කරන්නන්ගේ සිරිතය… එම මෙනු එක කියවන එවුන්ගේ කටට කෙළ උනන්නේ නිරායාසයෙනි. ඒ තරම්ම මෙනු එක මරුය
කිරි සම්බා බත්..
අල තෙල් දාලා..
බටු මෝජු..
පපඩම් හා මිරිස්..
ලෙස පොතේ සඳහන් වුවත් දන්සැල දවසට ගිහින් බැලූ විට කෑමට ඇත්තේ

බෙරි කරන ලද නාඩු සහල්…
කොහෙන් හරි වත්තකින් කඩාගත් දෙල් වලින් උයාගත් දෙල් මාළුව…
කාගේ හරි පිලිකනු වලින් වැල් දිගේ බඩගා කඩාගෙන ඇවිත් හදා ගත් අඟුණ කොල මැල්ලූම සහ පපඩම්ය…

ගමේ සිටින ඇහැට කනට පේන නංගිලා දන්සැලේ කෑම ඛෙදන අංසයට යොමු කරන අතර ගමේ අම්මන්ඩිලා සහ පණ්ඩිත සෙට් එක කෑම සකසන සහ උයන පිරිස වේ. කසියා පාරක් ගහලා චොර වෙලා ඉන්න අංකල්ලා සෙට් එක දර හෙවීම වලං හේදීම ආදියට යොමු කර ඇතත් ඔවුන්ගේ වැඩි කැමැත්ත ඇත්තේ එයට නොව කරටි කැඩෙන්නට කසියා පාරක් ගහලා දන්සැල ඉදිරිපිට තියා ඇති බෆල් වලින් ඇහෙන සින්දු වලට නැටීමටය..

වෙසක් බලන්නට යන පිරිස් වල දෙවන අවශයතාවය වන්නේ වන්දනා මාන කිරීම වන අතර ඒ සඳහා…

මල් ..
හන්ඳුන් කූරු..
තෙල්..
ආදිය අවශය වේ..

එහෙත් ඔවුන්ගේ පළවෙනි අවශයතාව හෙවත් පලමුවෙනි චේතනාව වන දන්සැල් වැඳීම සඳහා අවශය භාණ්ඩ කට්ටලය මෙසේය..
සවු එකතු කර ගැනීමට කට ලොකු බෝතලයක්….
බීම එකතු කරගැනීමට මෙගා බෝතලයක්…
විස්කෝතු එකතු කරගැනීමට ෂොපින් බෑග් කීපයක්..
මයියොක්කා සහ කඩල එකතු කරගැනීමට ලංච් ශීට්..

මෙකී කලමනා සකසාගෙන පොල් පටවන්නා සේ හිර වී වාහනයට ගොඩ වන පිරිස මහත් විමසිල්ලෙන් සිය උකුසු ඇස් ඉදිරිපස පාර දෙසට යොමු කරන අතර යන්තම් හෝ කොඩියක් වනනු දුටුව හොත් ඉහේ මල් ගොන්නක් පිපේ. කොඩිය වනන්නේ සුදු නංගි කෙනෙක් නං දන්සැලේ දෙන්නේ මැහි තෙල් හෝ කුරේටර් කැට වුවත් නොපැකිලව ඒවා කෑමට දන්සැල් වන්දනාවේ යන තරුණයන් සැදී පැහැදී සිටිති. එසේ නංගියෙකු විසින් කොඩිය වැනීමත් සමගම රියදුරා ගහන බ්‍රේක් පාරින් පිටිපස්සෙ සීට් වල එවුන් ඉස්සරහට විසිවී ඉස්සරහ සීට් වල දත් ඇඳි හැපී ජරමර ගොඩක් සිදු වුවද එම වේදනා කඳුළු සුසුම් සෝ සන්තාපයන් සුළෙ`ග් පාකර දමා වාහනයෙන් එළියට පැන ගොදුරු ලොබින් පියාසර කරන ගිජුලිහිනියන් පිරිසක් සේ උසේන් බෝල්ට් පරදවන තරම් වේගයෙන් දන්සැල දෙසට දුව ගොස් පෝළිමට එකතු වන්නේ ප්‍රමාදය විනාසයට හේතු වේ යන බුදු වදන සිහිගන්වමිනි. පැයක් පමණ පෝළිමේ සිටිමින් නංගිලාට විහිළු සපයමින් උන්ගේ අම්මාලාගෙන් බැනුම් අසමින් ඉදිරියටම යන තරුණයන්ට සිහින යනු සබන් බෝල බඳු නැසෙන සුළු දෙයක් බව පසක් කරමින්..

අල ..
පරිප්පු…
බටු මෝජු..
බෝංචි..
සිහින බොඳ වී ඒ වෙනුවට…
දෙල් ..
අඟුණ කොල..
නම් වූ යථාර්තයට දුකෙන් වුවද මුහුණ දීමට දන්සැල තුළදී සිදු වේ..

එහෙත් සෑම කටු අත්තකම සුවඳ මලක් පිපේ යන යතාර්ථය පසක් කරමින් දෙල් හා අඟුණ කොල ඛෙදන සුදු නංගි බබාලා දකින තරුණයන්ගේ වත කමල් හිරු දුටු පියුම් පෙති සේ විකසිත වී යයි… වෙනදාට බත් ඛෙරි වී ඇතැයි අම්මාට බැණ වදින පුත්තු අද සුදු නංගිලා ඛෙදන කිරිබත් වගේ ඛෙරි වූ බත් කන්නේ “රසයි ඈ..” කියමිනි.. වෙනදාට දෙල් කන්නට බෑ කියා නූඩ්ල්ස් පැකට් එකක් හදාගෙන කන හිතුවක්කාර පුත්තු අද දන්සැලේ සුදු නංගිලා ඛෙදන දෙල් මාලුව කන්නේ “ෂහ් මේවා තමයි අප්පා නියම කෑම” කියා වරුනනා කරන ගමන්ය.. වෙනදාට “අපෝ අම්මේ මට නං ගොටුකොළ එපා තිත්තයි ඔවුවා” කියා විසි කරන යවුවනයන් සුදු නංගිලා විසින් “අයියාහ් මේ අඟුණ කොළ මැල්ලූම් ඛෙදන්නද ?” කියා හුරතල් වී අසත්ම “අහ් දෙන්න නංගී දෙන්න.. ඕවා තමයි නියම ගුණ කෑම” කියා කල්කදුරු තිත්ත අඟුණ කොල මැල්ලූම් අහුරු පිටින් ගිල දමයි..
බත් දන්සැල් වල පසුබිම මෙසේ වන අතර එය පැයකට වඩා කාලයක් පවත්වාගෙන යා නොහැක්කේ දන්සැලේ සාමාජිකයන්ගේ සහ සංවිධායකයන්ගේ පවුල් වල උදවිය යාපනයේ නියඟයට ගොදුරු වූ ජනතාව වතුර සොයාගෙන ඒමට බාල්දි බේසම් පනිට්ටු කලගෙඩි රැගෙන එන්නාක්මෙන් බාස්කට් බාල්දි රැගෙන පැමිණ ඒවා පිරෙන්නට බත් සහ එලවළු රැගෙන යාම නිසා දන්සැලට එන එවුන්ට කන්නට දීමට දෙයක් නොමැති වීම නිසාය..

බත් දන්සැල් අශ්‍රිත පසුබිම මෙසේ නිර්මාණය වෙද්දී කොත්තමල්ලි කිලෝවකින් මේ මුළු විශ්වයට පමණක් නොව චක්‍රාවාටයටම දිය හැකි තරමටම වතුර කලවම් කර දෙන කොත්තමල්ලි දන්සැල්ද දියවැඩියාකාරයන්ට දෙන මට්ටමේ සීනි රහිත සිසිල් බීම දන්සැල්ද අතරින් පතර වාර්තා වේ. සිසිල් බීම දන්සැල් වලට නම් මොකා නොආවත් හති දාගෙන දිව එළියට දාගෙන පස්ස පැත්තේ කරගැට එන තුරු පුට් බයිසිකල් පැදගෙන කොහේ හෝ දුර ඈත විහාරයකට යන පොඩි එවුන් රංචු වලින් නම් අඩුවක් නැත. බයිසිකලේ ගහකට හේත්තු කර හෝ දන්සැල ඉදිරියේ පෙරළා දමා දන්සැලට පනින උන් ටික උගුඩු පැටවුන් සේ බීම වීදුරු අට බැගින් බී පිටේ එල්ලාගෙන එන මල්ලේ ඇති මෙගා බෝතලේටද බීම පුරවා ගනිති.. උන්ට බීම වල ප්‍රමිතිය හෝ සීනි සංයුතිය අදාල නොවේ. ඒ වගේ කාණ්ඩ හතරක් පහක් ආවිට ලංකාවේ ඕනෑම සිසිල් බීම දන්සැලකට අත් වන ඉරණම සෝක ජනක වේ..
සවු දන්සැල් වල සිදුවන ඛේදවාචකය නම් බොන්නට ගන්නා පළවෙනි සවු උගුරෙන්ම දිව සහ තල්ල ගිනිකඳු විධාරණයෙන් ගලා යන ලාවා වලට පිච්චුනා සේ පිච්චී යාමය. ඉන් පසු විලඳ සහ මීපැණි දෙන දන්සැලක් අහු උනත් වැඩක් නැත්තේ දිව පිච්චුන පසු කොයි යම් හෝ රහක් නොදැනීම නිසාය.

අරං එන විට අතේ සිට පහළට වැලමිට තෙක් වැගිරෙන අයිස් ක්‍රීම් දන්සැල් මෙන්ම ටවුමේ ඩෙන්ටල් එකේ දොස්තරගේ පූර්ණ අනුග්‍රහයෙන් පැවැත්වෙන දත් කැඩී යන පරිදි සකස් කළ අග්ගලා දන්සැල්ද වෙසක් සමයේ කැපී පෙනෙන අතර දන්සැල් වන්දනාව වෙසක් සමයේ සියලූ වන්දනා අභිබවා යන ජාතියේ වන්දනාවක් බව නම් පැහැදිලි වන්නේ දන්සැල් වල ඇති පෝලිම් දකින විටය.

Please follow and like us:

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

shape
Copyright © Kadapatha 2018. All rights reserved. Solution by saamArt