seprator

කූඹියෝ සහ තම්බියෝ

  • Home
  • Feature
  • කූඹියෝ සහ තම්බියෝ
seprator
13April 2018
blog_shape

සාමන්ත තැන්නගේ විසිනි (by Saamantha Tennege)

දෙමළ භාෂාවෙන් බාල සහෝදරයා හඳුන්වනු ලබන්නේ තම්බි කියා ය. ඊට අමතරව තම්බි යන වචනය සහෝදරයා, මිත්‍රයා යන අරුතෙන්ද භාවිතා වන බව පෙනේ. ඒ අරුතෙන් ගත් කළ තම්බියෝ වනාහී සහෝදරයෝම ය.

ඉන්දියාවේ ජීවත්වන දෙමළ ජනතාව දළ වශයෙන් මිලියන හැට එකකි. ඉන් දෙමළ භාෂාව කතාකරන මුස්ලිම් ජනතාව මිලියන 3 – 4 අතර වන බව කියවේ. 2011 සංගණනයට අනුව ලංකාවේ දෙමළ ජනතාව මිලියන තුනකි. ශ්‍රී ලාංකික මුස්ලිම් ජනගහණය ආසන්න වශයෙන් මිලියන 1.9 කි. ඒ අනුව ලෝකයේ ප්‍රතිශතයක් වශයෙන් දෙමළ භාෂාව කතා කරන වැඩිම මුස්ලිම් ජනතාවක් වෙසෙන රට ලංකාව ය. තතු එසේ නමුත් තම බස දොඩන ලාංකික දෙමළ ජනතාව මුස්ලිම් ජනතාව හඳුන්වන්නට “තම්බි” නොහොත් “සහෝදරයා” යන වචනය භාවිතා නොකරන තරම් ය.
ලංකාවේ දෙමළ ජනතාව යටත් පිරිසෙයින් අනුරාධපුර යුගයේ පටන් ජීවත් වෙති. ඒ ලංකාවට මුස්ලිම් ජනතාව පැමිණෙන්නට බොහෝ කාලයකට පෙර ය. එසේ නම් සැබවින්ම අපේ මුල්ම සහෝදරයෝ විය යුතුව තිබුණේ දෙමළ ජනතාවය. නැතිනම් දෙමළ ජනතාවගේ “තම්බිලා” විය යුතුව තිබුණේ අපය. මේ දෙකම නොවී සිංහලයා, දෙමළෙන් මුස්ලිම් ජනතාවට “තම්බි” හෙවත් “සහෝදරයා” යනුවෙන් අමතන්නේ ඇයි ?
කාලයාගේ ඈවෑමෙන් වචනයක භාවිතාර්ථය වෙනස් වන බව සැබෑය. නමුත් හැම විටම වචනයක් යෙදීම ඇරඹෙන්නේ සහේතුකව ය. ඒ අනුව මුස්ලිම් ජනතාව අපට නිකම්ම “තම්බි”ලා වන්නට විදිහක් නැත. දෙමළ මිනිසුන්ට “තම්බි” කියා නොකියූ අප දෙමළෙන් මුස්ලිම් මිනිසුන්ට “තම්බි” යනුවෙන් ආමන්ත්‍රණය කිරීම සුළුවෙන් සැලකිය යුතු කරුණක් නොවේ. ඔවුහු හා අප අතර සැබෑ සහෝදරත්වයක් නොතිඛෙන්නට එවැනි දෙයක් සැබවින්ම සිදුවිය හැකි ද ? සහෝදරත්වයක් ඇතිවන්නේ එකෙක් අනෙකාගේ දුකට සැපට ළ`ගින් සිටිනා විට නොවේ ද ?

කලකට පෙර වතුකරයේ දෙමළ ජනයා සිංහල අයට “අය්යා” කියා අමතනවා මට මතකය. දෙමළෙන් අය්යාට කියනුයේ “අන්නන්” කියා ය. සිංහල අපට “අන්නන්” කියා අමතනවාට වඩා අය්යා කියා අමතන විට හෘද්‍යාංගම බවක් දැනෙනවා නොවේ ද ? කවර හෝ හේතුවක් නිසා දෙමළ ජනයා අපට “අය්යා” කියා අමතන විට අප ඔවුන් ඇමතිව යුතුව තිබුණේ ඔවුන්ට දැනෙන අයුරින් “තම්බි” කියා නොවේ ද ?

ඕස්ට්‍රේලියාවට පැමිණි මුල් කාලයේ අපේ අබලන් රථය නිතර නිතර ලෙඩ දුනි. එමෙන්ම අතන මෙතන නැවතිණි. දිනක් අපේ අබලන් රථය මාර්ග සංඥා පද්ධතියක් ඉදිරියේම නැවතුණි. හතර වටින් අඳුරු වැටෙමින් තිබූ ඒ අවස්ථාවේ කිසිවක් කරකියාගත නොහැකිව සිටියදී පසුපස රථයේ පැමිණි අය වහාම රථයෙන් බැසවිත්, “සහෝදරයා (බ්‍රදර්) උඹට උදව්වක් ඕනෑද ?” කියා ඇසුවේ ය. මා ඔහුට උත්තරයක් දෙන්නටත් පෙර, “සහෝදරයා උඹ ඔහොමම වාහනය අයිනට ගන්න… මම තල්ලූ කරන්නම්” කියා ඔහු අපේ පවුලම වාහනය තුළ සිටියදී තනිවම වාහනය සංඥා පද්ධතියෙන් දකුණට වන්නට තිබූ මාර්ගයේ කෙළවරකට තල්ලූ කළේ ය.

ඉන්පසු ඔහු ඔහුගේ රථය කරා හනික ගියේ ය. ඔහුගේ රථය පදවාගෙන නැවතත් මා සිටි තැනට පැමිණ, “සහෝදරයා, උඹ ඔහොම ඉන්න මම ආයම එන්නම්” කියා යන්නට ගියේ ය. විනාඩි පහක් යන්නට මත්තෙන් ඔහු නැවත පැමිණියේ ය. ඒ මගේ උදව්වට තවත් සහෝදරයෙක්ද කැටුව ය.

“සහෝදරයා” නොහොත් “බ්‍රදර්” කියා අමතන සුදු ඕස්ට්‍රේලියානුවෝ නැත. ඔවුන් අමත්නේ “මේට්”, “මෑන්” හෝ “ඩියුඩ්” කියා ය. අපි “මචං” කියනවා වගේ ය. (ඇත්තෙන්ම “මචං” යනු දෙමළ භාෂාවෙන් මස්සිනා ය.) එහෙත් ඕස්ට්‍රේලියාවේදී ඔබට මුස්ලිම් අයෙකු හමුවුවහොත් ඔවුන් ඔබව අමතනු ලබන්නේ එක්කෝ “බ්‍රදර්” කියා ය. නැතිනම් “සිස්ටර්” කියා ය. ඒ ලාංකික අපට හුරුපුරුදු නොදන්නා අයට පවා “අය්යා” අක්කා නැන්දා මාමා අම්මා තාත්තා කියන්නා සේ ය.

කෙසේ හෝ එදා අපේ පිහිටට පැමිණි “සහෝදරයා” මට වැරදී තිබුණු තැනක් නිවැරදි කරගන්නටද උපකාර කළේ ය. මට වැරදුණේ මෙතැන ය.

ඒ 1995 වසරේ එක්තරා දිනයකි. ස්ථානය කටුගස්තොට නගරය මැදය. අප ගමන්ගත් වාහනය ඉදිරියෙන් ගිය වාහනයක හිසෙහි මුස්ලිම් අය පළදින තොප්පියක් පැළඳගෙන සිටි වයස අවුරුදු දොළහක පමණ කොළුවෙක් ගැටෙනු අපි දුටිමු. කොළුවා හැපුණු වාහනය විදුලි වේගයෙන් පළා ගියේ ය. අප වහා කොළුවා අපේ වාහනයට දමා ගෙන කටුගස්තොට රෝහල කරා ඇදෙන්නට විමු. විනාඩි දෙක තුනක් ගත වෙන්නටත් කලින් පිටුපසින් පැමිණි වෑන් රථයක් අපේ වාහනය හරස් කර නැවත් වීය. ඉන් බැස ගත් හත් අට දෙනෙක් පැමිණ අපේ වාහනයට අතින් පයින් පහර කීපයක් එල්ල කර “දීපං යකෝ අපේ ළමයා” කියා දරුවාව එළියට ගත්තේ ය. සිදුවූයේ කුමක්ද කියා ඔවුන්ට පැහැදිලි කරන්නටත් ප්‍රථම එම පිරිසෙන් එකෙක් මගේ මුහුණටත් පහර එල්ල කළේ ය. එදින මම එක් දෙයක් අධිෂ්ඨාන කරගතිමි. “ආය නම් තම්බින්ට උදව් කරන්නේ නැහැ” යන්න ය, ඒ. එකී අධිෂ්ඨානයට තිත තැබුණේත් “තම්බි”, “බ්‍රදර්” හෝ “සහෝදරයා” යන වචන වල සැබෑ අරුත වැටහුනේත් මගේ වාහනය මෙල්බර්න් නුවර මහ මග කැඩුණු දාය. සිංහලෙන් සහෝදර යන වචනය සැදෙන්නේ සහ + උදර යන වදන් අතරට ඕ ප්‍රත්‍ය එකතු වීමෙනි. මෙහි සහ යනු එකම දෙය ඛෙදාගත් යන අරැත දේ. එකම උදරය ඛෙදා ගන්නේ සහෝදරයෝ ය.

අප කුඩා කළ අපේ යාළු මුස්ලිම් දරුවන් සමග සහෝදරයන් මෙන් එක්ව සෙල්ලම් කළෙමු. අප තරුණ අවදියේදී ඔවුනුත්, අපත් ඛෙහෙවින් වෙනස් අය බවට පත්ව සිටියහ. දැන් අපේ ලංකාවේ දරුවෝ මුස්ලිම් දරුවන් සමගවත්, මුස්ලිම් දරුවෝ අපේ දරුවෝ සමගවත් සෙල්ලම් නොකරන තරම් ය. අඩු තරම්න් කතා කිරීමවත් කරනවාදැයි අපි නොදනිමු. කාලය කෙරතම් වෙනසක් මවා ඇත් ද ?

අවුරුදු දොළහක් මා කෙරෙහි පැවති අප්‍රසන්න හැඟීම පහව ගියේ ඕස්ට්‍රේලියාවේදී අපට හමු වූ සහෝදරයා නිසා ය. ඇත්තෙන්ම එකෙක් දෙන්නෙක් කළ දේවල් නිසා අප වෛරී සිතුවිලි පවත්වාගෙන යා යුතු නම් සැබවින්ම අප කෝප විය යුතුව ඇත්තේ අපේම අය සමග නොවේ ද ? හොඳින් විමසා බලනු ලැබුවහොත් පුද්ගලිකව අපට වඩාත්ම සතුරුකම් කර ඇත්තේ අපේම අය නොවේ ද ? එය අපට මෙන්ම ඒ අයටත් පොදු දහමක් නමුත් අපේ ගුල තුළ සිට බලන කල අප කාටත් නොපෙනෙන්නේත් එම සත්‍යයම නොවේ ද ?

ඊළඟට අප කතා කරන්නේ කූඹියෝ ගැනය.

පායනා කාලේදී
රෑ දවල් මහන්සි වී
කන්න දේ රැස් කරත් කූඹියෝ

සීතෙනුත් වැස්සෙනුත්
බේරිලා ඉන්නවා
ගේ සදන් එක්වෙලා කූඹියෝ

උන් ඉතා ඉක්මනින්
යන්නෙ මේ සන්තොසින්
කම්මැලී නෑ කිසිත් කූඹියෝ

දැන් අපත් ඒ වගේ
ඉන්නවා නම් හොදයි
කම්මැලී නෑ වගේ කූඹියෝ

ඉහත දැක්වූයේ කුඩා කල අපට ඉබේම කටපාඩම් වූ ගීතයකි. එකල කුඩා දරුවෝ එක්කෝ කූඹින්ට බය වූහ.
නැතිනම් බය නොවූහ. කූඹින්ට බය නොවූ දරුවෝ කොටස් දෙකකි. ඉන් පළමු කොටස ගෙදර දොර වත්ත පිටියේ කඩිසරෙන් ඇවිද යන කූඹියෙක් දෙන්නෙක් මරන්නට පවා බිය නොවූහ. තවත් පිරිසක් කූඹින්ට බය නොවූ නමුත් කූඹි මරන්නට බය වූහ. එම කොටසට අයත් වූවෝ බොහෝ විට බුදු දහමෙන් හික්මවනු ලැබූ දරුවෝ ය.

ගීතයේ කියවෙන කූඹිහු රෑ දවල් මහන්සි වී වැඩ කරන්නෝ ය. සැබවින්ම ලෝකයේ සත්ව කොලනි අතරින් අතිශයින්ම සංකීර්ණ සත්ත්ව කොලනියකි, කූඹි කොලනිය. එය දෙවෙනි වන්නේ මිනිස් කොලනියකට පමණි. ආහාර පාන රැස් කිරීම, ගබඩා කිරීම, කොලනිය පවත්වාගෙන යාම, සතුරු ආක්‍රමණ වැළැක්වීම, ඉදිරි පරම්පරාව වෙනුවෙන් කළයුතු දේ යනාදී දහසකුත් එකක් දේ ජාති, ආගම්, කුල මල ආදියෙන් ඛෙදී වෙන් වී සිටින මිනිසුන්ටත්, එසේ නොබිඳුනු කූඹීන්ටත් පොදුය. නමුත් මිනිස් කොළනියක සහ කූඹි කොලනියක එකී පොදු අරමුණ සාක්ෂාත් කරගන්නා පිළිවෙල එකිනෙකට සපුරාම වෙනස් ය. ඒ නිසාම මිනිසාට කූඹින්ගෙන් ඉගෙනගත හැකි යමක් ඇතැයි යන කාරණය සත්‍යයකි. මිනිසුන් තමන්ගේ අරමුණු කරා යන්නේ සැලැස්මක් ඇතිවය. එමෙන්ම මොන වැඩකටත් අපට නායකයෙක් අවශය ය. සැලැස්මක් හෝ නායකයෙක් නැති තැන මිනිසාට සාක්ෂාත් කරගත හැකි කිසිම පොදු අරමුණක් නැත.

එනමුත් කූඹීහු සිය අරමුණු කරා යන්නේ කිසිම පූර්ව සැලැස්මකින් තොරව ය. රැජිනක සිටියද, ඇයට කොළනිය තුළ කරන්නට වෙනම කර්තව්‍යයක් ඇත. සේවකයින්ට අණදීම හෝ බලය පෙන්වීම ඊට අයත් නොවේ. එබැවින් කූඹි කොලණියක් කි්‍රයාත්මක වන්නේ දේශපාලන න්‍යායකින් නොව ජීව විද්‍යාත්මක ක්‍රම ලේඛනයකට

(Biological Programe)  අනුව ය. එබැවින් කූඹි ගුල් තුළ ස්වකීය කොලනි සාමාජිකයන් අතර අඩදඹර ඇතිවීමේ සම්භාවිතාව ඉතා අවම බව කියවේ. අවස්ථා දෙකකදී කූඹි ගුලක එවැනි අඩඳඹර ඇතිවිය හැකිය. එකක් රැජිනට තවදුරටත් බිත්තර දැමීමට ඇති හැකියාව නැතිව යාමය. දෙවැන්න වෙනත් කොළණියක කූඹියෙක් යැයි වරදවා වටහා ගැනීම ය. කූඹීන් තම කොළණියේ සාමාජිකයින් හඳුනා ගන්නේ සුවඳිනි. සුවඳ වෙනස් නම් එක්කෝ එකී කූඹියා මරා දැමීම හෝ ගුළෙන් පන්නා දැමීම සිදුවේ.

එකල මිනිසුන් තම විරුද්ධවාදීන් මරා දැමුවේ එක්කෝ ශරීරයේ වර්ණය වෙනස් වූ නිසාවෙනි. නැතිනම් කලාපීය සම්භවයේ වෙනසට අනුවය. පසුකාලීනව වෙනත් භාෂාවක් කතාකිරීම විරුද්ධවාදීන් මරාදැමීමට හේතු පාදක කරගත් බව පෙනේ. නමුත් වර්තමානයේ පාට හෝ ජාතියට වඩා වෙනත් ආගමක් ඇදහීම යන කාරණය එකිනෙකාට එරෙහිව යුධවැදීමට ආසන්නම හේතුව බවට පත්ව ඇත්තේ ය.

ශී්‍ර ලාංකීය මුස්ලිම් ජනයා පසුගිය කාලය පුරාවටම වැඩකළේ කූඹියෝ ලෙසි නි. තම වර්ගයාගේ දියුණුව වෙනුවෙන් හෝ ඔවුහු ඉතා පැහැදිලි මාවතක ගමන් ගත්හ. නිකරුනේ කාලය ගත කළ අයෙක් ඔවුන් අතර සිටියා නම් ඒ ඉතා කලාතුරකිනි. කූඹින්ගෙන් ඉගෙන නොගත් දෙය අඩු තරමින් අපි අපේ සහෝදරයින්ගෙන්වත් ඉගෙන ගත යුතු නොවේ ද ? එහෙත් නිතරම අප කළේ උගත යුතු දෙය පවා අපේ පුද්ගලික අරමුණු වෙනුවෙන් යොදා ගැනීම ය.

නිදසුනක් ලෙස අප කුඩා කාලයේදී ඇසුනු සරණගුප්ත අමරසිංහ ගායනා කළ “පායනා කාලෙදී” ගීතයේ තනුව හා සමාන ගීතයක් බොහෝ දෙනාට නිතැතින්ම මතකයට ඒ.

සාදුකින් පෙළෙන උන්
දැන් ඉතිං නැගිටියව්
අන්තිම සටනට සැරසෙයව්

සමාජවාදී පක්ෂයේ ජාත්‍යන්තර ගීතයේ තනුවත් හා කූඹියෝ ගීතයේ තනුව සමාන වන්නේ කෙසේද යන කාරණය අපි නොදනිමු. කලකට පෙර මිනිසුන්ට තිබුණු දැවෙන ප්‍රශ්නය වූයේ බඩගින්න ය. බඩගින්න රටක පාලනය බලය ලබා ගැනීමට පාවිච්චි කළේ එබැවිනි. දැන් බඩගින්න පෙන්වා බලය ලබා ගැනීම උගහටය. සැබවින්ම දැන් බඩගින්නට වඩා මුහුණු පොත බලය ලබාගැනීමට සුදුසුය.

මීළඟට අපි පසුගියදා අවසන් වූ “කූඹියෝ” ටෙලි නාට්‍යට හැරෙමු. එහි තේමා ගීතය වූයේද “පායනා කාලෙදී” ගීතය ය. නමුත් එම ටෙලිය පුරාම අප දුටුවේ රුයක් දවාලක් නැතිව වැඩ කරන කූඹියෝ නොව ගේම් ගහන්නට වලිකන අය ය. පොල්කටු හැන්දත් රටින් ගෙන්වන ලාංකිකයාට කලකට පසු කිසියම් බුද්ධිමය සංවාදයක් ඇති කරගත හැකි කලා කෘතියක් ලංකාවේම බිහිවීම සතුටට කාරණයකි. එනමුත් අනුන් වෙනුවෙන් තමන් කඩේ යන බව නොදන්නා අයට දිය හැකි නම වෘෂභයෝ යන්න මිස කූඹියෝ නම් නොවන්නෝ ය. සැබවින්ම කූඹියෝ කතාවට සමාන්තරව ඇදෙන තවත් කතාවක් තිබේ. ඒ ගරිල්ලා මාර්කටින් ය. තැන තැන කූඹි ගුල් හැදෙන්නේත් බුද්ධිමත් තරුණ පිරිසක් ලෙස සිතාගත් පිරිසක් ඒ කරා ඇදෙන්නේත් ඊට අනුරූපව ය. බල සේනා, රවණා බලකා, අසපු ආදී නානාවිධ වූ ඇමට නොවැටුනු පිරිසක් ආකර්ෂණය කර ගන්නට එකී කූඹි ගුල් සමත් විය. එහෙත් අවාසනාවකට මෙන් මොන ගුලකට වැදුනත් ගුල්වලට වැදෙන හැම එකාම එක හා සමානය. තවත් නොබෝ දිනකින් පාතාලයේ ගේම් කාරයින්ට “කූඹියෝ” කියා කීවොත් පුදුම වන්නට දෙයක් නැත.
සහෝදරයා, තම්බි බවට පත්වීම සාධාරණ නමුත් තම්බි, තම්බියෝ බවට පත් වන්නේ භාවිතය තුළට ඉරිසියාවත් කෝපයත් එකතුවීමෙන් මෙනි.

සමස්ථය වෙනුවෙන් ඇපකැපවීම “කූඹියෝ” යන වචනය තුළ ඇත. ස්වාර්ථයම වෙනුවෙන් ගේම් ගහන, තමන් විකිණෙන බව නොදැන විකෙන්නන් ගැන කථා කිරීමට “කූඹියෝ” කොහෙත්ම ගැලපෙන්නේ නොවේ. එහි අරුත කිසිසේත්ම නිර්මාණය උසස් නොවන බව නොවේ.

කූඹියෝ කතාව වටා රොක් වුනු පිරිස හා සමාන පිරිසක් අප මීට පෙර දැක තිබුණේ රට පුරා පැතිර ගිය “අසපු ආගමික සම්ප්‍රදාය” තුළිනි. කූඹියෝ අපට උගන්වන්නේ අනාගතය වෙනූවෙන් රැස් කරන්නටය. අසපු අපට උගන්නන්නේ අනාගතය වෙනුවෙන් අතහරින්නටය. නමුත් අප සැබවින්ම රැස් කළ යුත්තේ ආදරය, කරුණාව, සහකම්පනය යනාදී ගුණාංග නොවේ ද ? අප අත හැරිය යුතු වන්නේ වෛරය, ක්‍රෝධය තරහ නොවන්නේ ද ? දියුණු යැයි සමාජයක් සම්මත වන්නේ එවිට ය. මෙය සිදු නොවන්නේ නම් ජාතීන් අතර ඇතිවිය හැක්කේ කවර සහෝදරත්වයක් ද ? කවර සංහිදියාවක් ද ?

සැබවින්ම දියුණු රටවල් සියල්ලම පාහේ පාලනය කරන නායකයෝ සැබෑ කුහුඹුවන්ගෙන් උගත් පිරිසකි. ඔවුන් නායකයන් වුවද තමන්ට කරන්නට රාජකාරියක් ඇති බව දන්නෝ වෙති. නොදියුණු රටවල් පාලනය කරන්නේ ඊනියා “කූඹියෝ” නාට්‍යයෙන් අප දුටු පිරිස හා සමාන අයවළුන් ය. ඔවුහු තම පැවැත්ම උදෙසා නොකරන දෙයක් නැත. ජාතීන් අතර ආරවුල් ඇතිවන තරමට, ආගම් අතර අවුල් වියවුල් ඇතිවන තරමට ඔවුන්ට තම පැවැත්ම පවත්වාගෙන යාම පහසුය. ඔවුහු කිසිදාක සිංහල, දෙමළ, මුස්ලිම්, බෞද්ධ, හින්දු, ඉස්ලාම් යන ජාති ආගම් අදහන සහෝදරවරු බිහිවන්නට ඉඩ දෙතැයි සිතිය හැකි ද ?

අන් කවරක් නැතත් තවත් පරම්පරා ගණනකට සරිලන තරමට අපි පන්සල්, පල්ලි, කෝවිල් වලින් ස්ව්‍යංපෝෂිත වූ ජාතියකි. එසේ තිබියදීත් සංහිදියාව නමින් අපේ රටේ පාලකයෝ තව තවත් පන්සල්, පල්ලි, කෝවිල් බිහි වන්නට ඉඩ හැර බලා සිටිති. නැත්නම් පෞරාණික වටිනාකමකින් යුතු සිද්ධස්ථාන ඩෝසර් කරනු දැක දැකත් නොදැක්කා සේ සිටිති. මේ දෙකම වැරදි ය. රට හදන්නට කලින් කළ යුතුව ඇත්තේ එකම එක දෙයකි. එනම් සැමට සාධාරණ නීතියක් ස්ථාපිත කිරීම ය. සෑම ගැටුමක් පසුපසම දිවෙන එකම කතාව නීතිය එක එකාට එක එක විදිහට ක්‍රියාත්මක වීම නොවේ ද ?

අදින් හරියටම වසර දෙසීයකට පෙර 1818 තරම් ඈත අතීතයේ එවකට මහනුවර දෙගල්දොරුව රාජමහා විහාරාධිපතිව වැඩ විසූ කංකුනාවේ නායක ස්වාමින් වහන්සේ විසින් එවකට රට මුහුණ දී තිබූ විනාශකාරී තත්ත්වය පිළිබඳව කම්පාවට පත්ව කුහුඹි ගුලක් දෙස බලමින් කියූ කවියක් අදටත් වලංගු වන්නේ ය.

අනේ කුහුඹුවනේ තොපටත් රජෙක් ඉන්නේ
මොකදෑ කරන්නේ – අපේ කරුමේ අපට වන්නේ
රජෙක් ලැබුනෝතින් – කැවුම් කිරිබත් කන්නම්
පෙරහැර කරන්නම් – සාධු නාදෙන් ගිගුම් දෙන්නම්

යමෙක් මුස්ලිම් සහ දෙමළ ජනතාව නැවතත් සිංහලයාගේ “මල්ලිලා” නොහොත් “තම්බිලා” වනු දකින්නට කැමති වෙත්ද, ජාති ආගම් භේදයකින් තොරව හැමෝම කූඹින් මෙන් වැඩ කරන්නට පෙළ ගස්වනු ලබත්ද, එවැනි නායකයෙක් ලැඛෙනතෙක් අපට වෙන විසඳුමක් නැත. එදාට අපේ වැඩ පොළවල් සහ පන්සල්, පල්ලි, කෝවිල් අතර වෙනසක් නොවනු ඇත.

Please follow and like us:
  • තම්බි සහ කූම්බි අතර දෝලනය වන අන්නාගෙ කතාව වින්ඳෙමි

  • Leave a Comment

    Your email address will not be published. Required fields are marked *

    shape
    Copyright © Kadapatha 2018. All rights reserved. Solution by saamArt