seprator

“නිහඬතාවය” – එයයි බලවත්ම නාදය… ඉඩ සාදා දීමේ ආමන්ත්‍රණය…

seprator
Andrew Garfield and Yôsuke Kubozuka in Silence
08June 2018
blog_shape

අඛිල රන්සිරි මලලගේ විසිනි (by Akhila Ransiri Malalage)

"සුරුවම්, සැරසිලි, යාතිකා, ගීතිකා කිසිවක් නැතිවත් ආගම පවතින බව, ඔබට එහි පැවතිය හැකි බව ඔබ සහතික ලෙසම දන්නවාද?" "ආගම ඇත්තේ හිතෙයි" එය පොඩි දරුවෙකු වුණත් කියයි. නමුත් ඒ කීම කීමක්ම පමණයි. ආගම යන අකුරු තුන මුල්ව අද අපි අසන දකින විඳින දෑ අනුව ඉහත කියමන් බඩ කට පිරුණු කළ දෙතොල් අතරට එන වදන් පමණක්ම බව කොතෙකුත් පෙනෙන්නට තිඛෙනවා. විසි එක්වැනි සියවසත් පසුකළ ශිෂ්ටාචාරයකින් ඉහත ප්‍රශ්නය තවමත් නැගීමට සිදුව තිබීම ඛේදවාචකයක් මෙන්ම සරදමක්. [caption id="attachment_3158" align="aligncenter" width="300"] අඛිල රන්සිරි මලලගේ[/caption] ලෝක ඉතිහාසය පුරාම මිනිසුන් හට, ජීවිත, ප්‍රියයන්, උන් හිටිතැන් අහිමි කළ නින්දිත හිරිහැර ආගම් වල නාමයෙන් සිදුවුණා. ඒවායින් මිනිස්සු ඉගෙන ගත්තා. විද්‍යාව දරන්නන් නොවේ විද්‍යාව අදහන්නන්ද බිහිවුනා. ආගමත් එසේමයි. අත්තනෝමතික විද්‍යාව, උමතුවූ ආගම, නොමේරූ දර්ශනය, නරුම නිරාගමිකත්වයද මෙහි වෙනත් පැති ය. නිහඬතාවය - එයයි බලවත්ම නාදය... ඉඩ සාදා දීමේ ආමන්ත්‍රණය... සිනමා ප්‍රතිභාවෙනුත් හොලිවුඩ් ප්‍රභාවෙනුත් අගතැන්පත් සිනමාකාර මාර්ටින් ස්කෝර්සේසි (Martin Scorsese) ගේ 2016 වසරේ දී තිරගත වූ සයිලන්ස් (Silence) චිත්‍රපටයෙන් දිගහැරෙන්නේ ආදී ටොකුගාවා ජපානය කිතුදහමෙන් අස්වද්දන්ට දිවි කැපකළ රෝමානු කතෝලික ජේසු නිකායික පූජකයන් වහන්සේලාගේ සත්‍ය වෘතාන්තයයි. මේ සිනමා කෘතියට පාදකවන්නේ ජපාන ජාතික ලේඛක ෂූසකු එන්දෝ විසින් රචිත චින්මොකු නැමති නවකතාවයි. කිතු දහම ජපාන භූමියට පා තබන්නේ කි.ව. 1549 දී. ඒ ජේසුනිකායික ධර්ම දූත, ශාන්ත ෆ්‍රැන්සිස් එක්සේවියර් තුමාණන්ගේ ආගමනයත් සමගයි. ඒ සමග නැගුනු කිතුනු පුනරුදයත් සමග ජපාන යුද්ධාධිපතීන් සය දෙනෙකු ඇතුළුව ඔවුන්ගේ අනුචර ප්‍රජාවගෙන් ලක්‍ෂයක් කිතු දහම වැළඳ ගත්තා. දහ හත්වැනි සියවස වනවිට ජපානය තුළ කිතු දහම තව තවත් විසිරි පැතිර යත්දී, එකල ජපානයේ බලය දරන ලද ටොකුගාවා ෂෝගන් පාලනය විසින් කිතු දහම ඇදහීම තහනම් කර දැමුවා. මිෂනාරී වරුන්ව රටින් පිටමන් කර දැමුවා. නමුත් පිරිසක් හොර රහසේ සිය කිතුනු වතාවත් වල යෙදුණා. 1637 දී අධිපතීන් වෙත බැඳී නොමැති සමුරායිවරු, එනම් රෝනින්වරු සහ තිස් හත්දහසක් ගොවි ජනයා එක්ව ටොකුගාවා පාලනයේ කිතුනු මර්දනයට එරෙහිව නැගී සිටියා. එය ශිමබාරා කැරැල්ල ලෙස හඳුන්වනවා. කැරැල්ල පරාජයට පත්වුණා. තුන් ලක්‍ෂයක් ජපාන කිතුනුවන් හට සිය ඇදහීම අත්හරින්නට බලකෙරුණා. ජේසුන් ගේ සහ ශුද්ධ වූ ත්‍රිත්වයේ රුව අඹන ලද පුවරු පාගා, ඒවාට කෙළ ගසා ආගම අත්හරින්ට බල කර සිටියදීත් එයට නොනැමුණු තවත් තුන් දහසක් කෲර ලෙස මරා දැමුණා. සයිලන්ස් චිත්‍රපටයේ පෙළ දිග හැරෙන්නේ මෙවැනි කාලයක් පසුබිම් කරගෙනයි. පෘතුගීසි ජාතික ක්‍රිස්ටාවෝ ෆිරෙයිරා පියතුමා (ලියම් නීසන් නිරූපණය කරන) නාගසාකියේ ධර්මප්‍රචාරයෙහි නියැලී සිටි කිතු දහමේ පුරෝගාමියෙක්. කලක් ගතවද්දී ධර්මදූතයන් පුහුණු කරන මැකාඕ හි ශාන්ත පෝල් විද්‍යායතනයේ ප්‍රචාරය වන ආන්දෝලනාත්මක පුවත නම් ක්‍රිස්ටාවෝ පියතුමා ආගම අතහැර ඇති බවයි. ධර්ම විද්‍යාලයේ සිටින ඔහුගේ ශිෂ්‍යයන් වන සෙබස්තියෝ රොද්රීගස් පියතුමාට (ඇන්ඩෘ ගාර්ෆීල්ඩ් නිරූපණය කරන) සහ ෆ්‍රැන්සිස්කෝ ගරූපෙ පියතුමාට (ඇඩම් ඩ්‍රයිවර් නිරූපණය කරන) එය ඇදහිය නොහැකි පුවතක්. මේ පුවතේ ඇත්ත නැත්ත සොයා දැනගැනීමේ අටියෙන් යුතුව, නැත්ත බව තහවුරු කරගැනීමේ පැතුමින් යුතුව තරුණ පියතුමන්ලා දෙදෙනා නාගසාකිය බලා පිටත් වනවා. 1989 වසරේ දී සයිලන්ස් අධ්‍යක්‍ෂ මාර්ටින් ස්කෝර්සේසි හට, ඔහු කට පුරා "සෙන්සේ" යැයි කියන සිය පරමාදර්ශී සිනමා ප්‍රතිරූපය, අකිරා කුරොසාවාගෙ ඩ්‍රීම්ස් (Dreams) චිත්‍රපටයේ, චිත්‍ර ශිල්පී වින්සන්ට් වැන්ගෝ ගේ චරිතයට පණ දෙන්න ඇරයුම් ලැබුණා. ඒ වෙනුවෙන් ජපානය බලා ගිය ගමනේ දී ස්කෝර්සේසි ගුවන් තොටුපල සහ හෝටල අතර මග ගෙවන්නට සිදුවන කාලය වැය කළේ චින්මොකු නවකතාව කියවන්නයි. ස්කෝර්සේසි ආත්ම තෘප්තිය උදෙසා කරන නිර්මාණයක් හැටිය චින්මොකු නවකතාව සිනමාවට නගන්න තීරණය කළා. සයිලන්ස් චිත්‍රපටය සිනමා තිරයට පැමිණියේ 2016 වසරේ වුවත් ඔහු මුලින්ම ඒ වෙනුවෙන් වැඩ කටයුතු ඇරඹුවේ 1990 තරම් ඈත කාලයකයි. එවකට ඔහු සිය සිනමා ජීවිතයේ වඩාත්ම ආන්දෝලනාත්මක නිර්මාණය එනම්, කුරුස ගසෙන් බැස ගිය යේසුස් ක්‍රිස්තූන්ගේ කතාව රැගත් "ද ලාස්ට් ටෙම්ටේෂන් ඔෆ් ක්‍රයිස්ට්" (The Last Temptation of Christ) නිම කර, දැඩි මතධාරී කිතුනුවන්ගේ තර්ජන ගර්ජන අවලාද වලට ලක්ව සිටි කාලයයි. හොලිවුඩ් සිනමා ලෝකයේ ස්කෝර්සේසි සිනමා ගමන්මග තුළ වෙන්ව හඳුනා ගන්නා ආගමිකත්වය වටා ගොඩ නැගුණු සිනමා පට ත්‍රිත්වයක් වනවා. ඒ ඉහත කී ද ලාස්ටෙම්ටේෂන් ඔෆ් ද ක්‍රයිස්ට් (1988), 14 වැනි දලායි ලාමා වහන්සේගේ ජීවන වෘතාන්තය රැගත් කුන්දුන් (Kundun - 1997) සහ අප මෙහි කතාවට ගනිමින් සිටින සයිලන්ස් යන චිත්‍රපටයයි. සයිලන්ස් චිත්‍රපටයේ වැඩ කටයුතු වසර 26 ක් තිස්සේ පමාකරන ලද්දේ ඇයි දැයි ප්‍රශ්න නැගෙද්දී, කාලය සමග වයසින් තවත් පරිණත වත්දී ඒ ගැන එන යන එන යන අදහස් තමන්ට වඩා වැදගත් බව කියා සිටියා. …ඉතින් ක්‍රිස්ටාවෝ පියනම සොයා ජපානයට යන තරුණ පියතුමන්ලා දෙපලට මග පෙන්වන්නෙකු මුණ ගැසෙනවා. ඔහු කිචිජිරෝ නාගසාකියේ ආගමික භීෂණයෙන් පළා ආ මසුන් මරන්නෙක්. පූර්ණ කාලින බේබද්දෙක්. කිචිජිරෝ සමග නාගසාකියේ ටොමොගි නම් ගම්මානයට පිවිසෙන පියතුමන්ලා දෙපළ එහි දිවි පරදුවට තබා ආගමික ලබ්ධිය අත් නොහැර සිටින ජපාන කිතුනුවන්ට දෙව්ලොවෙන් ලද ආශීර්වාදයක් බඳුයි. පියතුමන්ලා ඔවුනට වස්තුවක්. ඛෙදාගත නොහැකි වස්තුවක්. ජපාන තෙත් බිම් හි එදිනදො ජීවත් වීමේ කටුක ගමන කුරුසියත් සිය කර මත තබාගෙනම යන්න මේ ගැමියන් එකඟවී ඇත්තේ සතුටින්. මිනිසා වෙනුවෙන් ආගම පවතිනවාද? මිනිසා ආගම වෙනුවෙන් පවතිනවාද? ස්කෝර්සේසිගේ සයිලන්ස් චින්මොකු නවකතාව පාදක කරගත් දෙවැනි සිනමා කෘති අතරින් දෙවැන්නයි. 1971 වසරේදී එම නවකතාව හැටේ දශකයේ ජපාන නවරැල්ලේ ප්‍රමුඛ සිනමා කරුවෙකු වූ සමහිරෝ ෂිනෝදා අතින් සිනමාවට නැගී තිඛෙනවා. ස්කෝර්සේසි සයිලන්ස් චිත්‍රපටය වෙනුවෙන් පෙළ ලිවීම අරඹන්නේ 1991 තරම් ඈත කාලයකදී නමුත් පසු කලෙක තම චිත්‍රපට දෙකක්ම හොඳම අනුවර්තිත තිර පිටපත වෙනුවෙන් ලබන සම්මාන අතරට ගෙන ගිය තිර රචක ජේජ් කොක්ස් ව ස්කෝර්සේසි ඒ සඳහා හවුල් කරගත්තා. පුරා වසර 15 ක කාලයක් ඔවුන් එය යළි ලිවීම් වලට භාජනය කළා. පසුව එන්දෝ ගේ නවකතාව ඉංග්‍රිසියට පරිවර්තනය කළ, ජපාන සාහිත්‍ය පිළිබඳ මහාචාර්ය වරයෙකු වූ වෑන් සී. ගැසෙල් ගේ විශේෂඥ දායකත්වයද ඔවුන් ඒ වෙනුවෙන් ලබාගත්තා. එසේ ගොඩ නැගුණු තිර පිටපත අනුව සැකසුනු සයිලන්ස්, ෂූසකු එන්දෝ ගේ නව කතාව නිවැරදිව පිළිබිඹු කරන්නක් වූ බවයි බොහෝ විචාරකයන්ගේ අදහස වූයේ. සිනමා පටය පුරාවටම වඩාත් සංකීර්ණව ක්‍රියාකාරි වන චරිතය ලෙස අප දකින්නේ කිචිජිරෝ ගේ චරිතයයි. මිනිසුන් සඳහා උපන් ආගම රැකෙද්දී මිනිසුන් ඒ වෙනුවෙන් වැනසීයාම යන ප්‍රශ්නය සමග ඔහු නොදැන ගැටෙනවා. ශින්මෝකු හි කතාන්තරය එක් දෙබසකින්, එක් රූප රාමුවකින් ආගමක් තවත් ආගමකට නැගිටීමට නොඉඩදීම ලෙස වෙස් ගන්වන්න පුළුවන්. නමුත් ස්කොර්සේසි අතිශය ප්‍රවේශම් සහගත ලෙස කිසි ප්‍රේක්‍ෂකයෙකුට සිය ආගමික මතවාදය මත සිතින් අගතියට පත්වන්න හෝ සිතින් අසාධාරණයට ලක්වන්න හෝ ඉඩ තබන්නේ නැහැ. තිරය මත එය මුළුමනින්ම ගෙන හැර දක්වන්නේ මිනිසුන්ට තමන් කැමති ආගමික විශ්වාසයක් දැරීමේ අයිතිය අහිමි කරවීමේ දුෂ්ටත්වයයි. ඒ, ප්‍රේක්‍ෂකයා ගේ චිත්ත සන්තානයේ පතුලක ආගම කුමක් සඳහාද? ආගම මිනිසුන්ට කළ යුත්තේ නොකළ යුත්තේ කුමක්ද? යන ප්‍රශ්නකාරී බීජ නොවැනසෙන ලෙස තැන්පත් කර දමන අතරයි. සයිලන්ස් චිත්‍රපටය නැරඹීමේ අත්දැකීම ඒ පිළිබඳ කියවීමෙන් ගන්නට බැහැ. චිත්‍රපටයේ පසුබිම ගැන විනා පෙළෙහි එන සිද්ධි ලියා දැමීම එහි අත්දැකීම විනාශ කිරීමක් විය හැකියි. ඉතින් එදා ජපානයේ ලියලා වැඩීමට යාමෙන් හෙම්බත්වූ සමස්ත කිතු දහම වෙනුවෙන් සෙබස්තියෝ රොද්රීගස් පිය නමට එක් කියුමක් අසන්නට සැලසෙනවා. "ජපානය වගුරක්. පිටතින් එන කිසිවකට එහි මුල් අදින්නට බැහැ." ඩොලර් මිලියන 50 වියදමින් නිපදවන ලද සයිලන්ස් ඉපයූවේ ඩොලර් මිලියන 23.7 ක් පමණයි. සීමිත සිනමා ශාලා ගණනක ප්‍රදර්ශනය වීම, විනෝදාත්මක චිත්‍රපට පෙළක්ම සමග තරඟ කරන්නට සිදුවීම ආදී බොහෝ තැන් ගෙන හැර පානා බොහෝ හේතු සාධක අතරේ හොලිවුඩ් රිපෝටර් සඟරාව දක්වන හේතුව නම්, "අදාල වස්තු විෂය පිළිබඳව ප්‍රේක්‍ෂක උනන්දුව හීනවීම" යි. නමුත් විචාරකයන් එය ස්කෝර්සේසිගේ හොඳම සිනමා නිර්මාණ අතරෙහි තබන්නට කිසිසේත් මැළිවන්නේ නැහැ. අසූ නම වෙනි ඔස්කාර් සිනමා සම්මාන උළෙලේදී හොඳම සිනමාකරණය ලෙස සම්මාන ලබන්නේ සයිලන්ස් චිත්‍රපටයයි. එකල්හි "ඉවත දමන දඬුව වුවද දළුලා යළි පැලවේ" කියමින් පසසන්නට අපව හුරු කරවූ, දැන්වත්දී, සැනසීම සඳහා වනවාද, වැනසීම සඳහා වනවාද යැයි නොදන්නා නොහැඟෙන ඇදහීම් වනාන්තරයක සිටිමින් සයිලන්ස් නරඹත්දී "ජපානය වගුරක්. පිටතින් එන කිසිවකට එහි මුල් අදින්නට බැහැ." යන වැකිය අප තුළ ජනිත කරන්නේ උත්ප්‍රාසයක්. පසුකාලීනව කිසිවක් නොපැළවෙන වගුරු බිම දියුණු වුණා. ඉවත දමන දඬුව වුවද දළුලා යළි පැලවෙන භූමියේ සැබැවින්ම අනේකවිධ තැන් වලින් ඉවත දමන, සොරාගෙන එන, ඔහේ ඇද වැටෙනා ආදී නානාවිධ දඬු කැබලි පැළවුණා. ඇතැම් විටෙක මෙය කියවමින් සිටින ඔබගේ පා සටහන දරා සිටින්න සුරක්‍ෂිතව ඉඩක් ඉතිරි කරගන්නට පවා ඒ භූමිය අපොහොසත්වුණා. රොජර් ඊබර්ට් (RogerEbert.com) සිනමා විචාර වෙබ් අඩවියේ විචාරක මැට් සෝලර් සෙයිට්ස් (Matt Zoller Seitz) සයිලස් චිත්‍රපටය ගැන සඳහන් කරන්නේ මෙසේ ය. "සයිලන්ස් සංධිස්ථානමය සිනමා කෘතියක්. පොඹවන සුලූ‍ එකක්. ඥානාවබෝධය පිළිබඳව කිසි පොරොන්දුවක් නොකියාම ඔබව නිරය තුළට ඇද දමන එය නිකන්ම නිකන් ප්‍රශ්න සහ ප්‍රස්තුතයන් මාලාවක්, අත්දැකීම් සහ සංවේදන සමුදායක්... සයිලන්ස් හොඳයි හෝ නරකයි හෝ කිවහැකි චිත්‍රපටයක් නොවෙයි, එය අත්විඳ ජීවත් විය යුතු චිත්‍රපටයක්." උමතු ආගම, අත්තනෝමතික විද්‍යාව, නොමේරූ දර්ශනය, නරුම නිරාගමිකත්වය... මේ කිසිවක් ඔබට නිහඬතාවයේ නාදයට කන් දීමට ඉඩක් දෙන්නේ නැහැ.
08June 2018
blog_shape

කැඩපත ලේඛක අඛිල රන්සිරි මලලගේ තරැණ මහතාගේ හදිසියේ අභාවප්‍රාප්ත වූ බව අතිශය සංවේගයෙන් දැනුම් දෙමු. එම මහතා පුරා වසර තුනක් පමණ කැඩපතට ලියූ විවිධ ලිපි තුළින් ඕස්ට්‍රේලියානු සිංහල පාඨකයන් අතර ප්‍රසාදයක් දිනාගත්තේ . බටහිර සිනමා කෘති සම්බන්ධව ඔහු ලියූ විචාරයන් බෙහෙවින් ජනප්‍රිය විය. කැඩපත මාසික සඟරාව වෙනුවෙන් ඔහු අවසන් වරට “The Silence” චිත්‍රපටිය ගැන ඔහු ලියූ විචාරය වයසට වඩා ඔහුගේ පරිණත බව විදහා පෙන්වන කැඩපතක් වන්න. අපි අපේ සහෘද අඛිල රන්සිරි මලලගේ මහතාට නිවන් සුව ප්‍රාර්ථනා කරමු.

11April 2018
blog_shape

වසර 35 ක දේශීය හා විදේශීය පලපුරුදු ආයුර්වේද වෛද්‍ය විශේෂඥ හා ජ්‍යොතිශ්‍ය විශාරද දේශාභිමානී ආයුර්වේද හා ජ්‍යෙතිශ්‍ය චක්‍රවර්ති නාමලාභී ආයුර්වේද වෛද්‍ය ස්ටැන්ලි ධර්මකුමාර විසිනි.

මෙල්බන් නුවර

අලුත් අවුරුදු උදාව - 2018 අප්‍රේල් මස 14 වන සෙනසුරාදා දහවල් 12.20 ට පුන්‍ය කාලය - 2018 අප්‍රේල් මස 14 වන සෙනසුරාදා උදේ 5.56 සිට සවස 6.56 දක්වා ආහාර පිසීම - 2018 අප්‍රේල් මස 14 වන සෙනසුරාදා දහවල් 11.22 ට (උතුර බලා ළිප් බැඳ ගිනි මොළවා නිල් පැහැති වස්ත්‍රයෙන් සැරසී ආහාර පිසීම ශුභයි. හකුරු තල මිශ්‍ර ආහාර සමග අනුභවය ඉතා ශුභයි.) ආහාර අනුභවය, වැඩ ඇල්ලීම හා ගනුදෙනු කිරීම - 2018 අප්‍රේල් මස 14 වන සෙනසුරාදා දහවල් 12.35 ට (නිල් පැහැති වස්ත්‍රයෙන් සැරසී උතුර බලා ආහාර අනුභවය ඉතා ශුභයි.) හිස තෙල් ගෑම - 2018 අප්‍රේල් මස 16 වන සඳුදා උදේ 11.00 ට (උතුර බලා) රැකියාවට පිටවීම - 2018 අප්‍රේල් මස 19 වන බ්‍රහස්පතින්දා උදේ 6.52 ට (උතුර බලා)

ඇඩිලේඩ් නුවර

අලුත් අවුරුදු උදාව - 2018 අප්‍රේල් මස 14 වන සෙනසුරාදා දහවල් 12.03 ට පුන්‍ය කාලය - 2018 අප්‍රේල් මස 14 වන සෙනසුරාදා උදේ 5.53 සිට සවස 6.33 දක්වා ආහාර පිසීම - 2018 අප්‍රේල් මස 14 වන සෙනසුරාදා දහවල් 11.15 ට (උතුර බලා ළිප් බැඳ ගිනි මොළවා නිල් පැහැති වස්ත්‍රයෙන් සැරසී ආහාර පිසීම ශුභයි. හකුරු තල මිශ්‍ර ආහාර සමග අනුභවය ඉතා ශුභයි.) ආහාර අනුභවය, වැඩ ඇල්ලීම හා ගනුදෙනු කිරීම -  2018 අප්‍රේල් මස 14 වන සෙනසුරාදා දහවල් 12.28 ට (නිල් පැහැති වස්ත්‍රයෙන් සැරසී උතුර බලා ආහාර අනුභවය ඉතා ශුභයි.) හිස තෙල් ගෑම -  2018 අප්‍රේල් මස 16 වන සඳුදා උදේ 10.52 ට (උතුර බලා) රැකියාවට පිටවීම -  2018 අප්‍රේල් මස 19 වන බ්‍රහස්පතින්දා උදේ 6.50 ට (උතුර බලා)

බ්‍රිස්බේන් නුවර

අලුත් අවුරුදු උදාව - 2018 අප්‍රේල් මස 14 වන සෙනසුරාදා දහවල් 12.41 ට පුන්‍ය කාලය - 2018 අප්‍රේල් මස 14 වන සෙනසුරාදා උදේ 6.16 සිට සවස 7.16 දක්වා ආහාර පිසීම -  2018 අප්‍රේල් මස 14 වන සෙනසුරාදා දහවල් 10.40 ට (උතුර බලා ළිප් බැඳ ගිනි මොළවා නිල් පැහැති වස්ත්‍රයෙන් සැරසී ආහාර පිසීම ශුභයි. හකුරු තල මිශ්‍ර ආහාර සමග අනුභවය ඉතා ශුභයි.) ආහාර අනුභවය, වැඩ ඇල්ලීම හා ගනුදෙනු කිරීම - 2018 අප්‍රේල් මස 14 වන සෙනසුරාදා දහවල් 11.53 ට (නිල් පැහැති වස්ත්‍රයෙන් සැරසී උතුර බලා ආහාර අනුභවය ඉතා ශුභයි.) හිස තෙල් ගෑම -  2018 අප්‍රේල් මස 16 වන සඳුදා උදේ 10.19 ට (උතුර බලා) රැකියාවට පිටවීම -  2018 අප්‍රේල් මස 19 වන බ්‍රහස්පතින්දා උදේ 6.08 ට (උතුර බලා)

ඩාවින් නුවර

අලුත් අවුරුදු උදාව - 2018 අප්‍රේල් මස 14 වන සෙනසුරාදා දහවල් 12.54 ට පුන්‍ය කාලය - 2018 අප්‍රේල් මස 14 වන සෙනසුරාදා උදේ 6.20 සිට සවස 7.24 දක්වා ආහාර පිසීම -  2018 අප්‍රේල් මස 14 වන සෙනසුරාදා දහවල් 11.24 ට (උතුර බලා ළිප් බැඳ ගිනි මොළවා නිල් පැහැති වස්ත්‍රයෙන් සැරසී ආහාර පිසීම ශුභයි. හකුරු තල මිශ්‍ර ආහාර සමග අනුභවය ඉතා ශුභයි.) ආහාර අනුභවය, වැඩ ඇල්ලීම හා ගනුදෙනු කිරීම -  2018 අප්‍රේල් මස 14 වන සෙනසුරාදා දහවල් 12.40 ට (නිල් පැහැති වස්ත්‍රයෙන් සැරසී උතුර බලා ආහාර අනුභවය ඉතා ශුභයි.) හිස තෙල් ගෑම - 2018 අප්‍රේල් මස 16 වන සඳුදා උදේ 10.51 ට  (උතුර බලා) රැකියාවට පිටවීම -  2018 අප්‍රේල් මස 19 වන බ්‍රහස්පතින්දා උදේ 6.11 ට (උතුර බලා)

පර්ත් නුවර

අලුත් අවුරුදු උදාව - 2018 අප්‍රේල් මස 14 වන සෙනසුරාදා දහවල් 10.38 ට පුන්‍ය කාලය - 2018 අප්‍රේල් මස 14 වන සෙනසුරාදා උදේ 4.23 සිට සවස 5.16 දක්වා ආහාර පිසීම -  2018 අප්‍රේල් මස 14 වන සෙනසුරාදා දහවල් 11.13 ට (උතුර බලා ළිප් බැඳ ගිනි මොළවා නිල් පැහැති වස්ත්‍රයෙන් සැරසී ආහාර පිසීම ශුභයි. හකුරු තල මිශ්‍ර ආහාර සමග අනුභවය ඉතා ශුභයි.) ආහාර අනුභවය, වැඩ ඇල්ලීම හා ගනුදෙනු කිරීම - 2018 අප්‍රේල් මස 14 වන සෙනසුරාදා දහවල් 12.26 ට (නිල් පැහැති වස්ත්‍රයෙන් සැරසී උතුර බලා ආහාර අනුභවය ඉතා ශුභයි.) හිස තෙල් ගෑම -  2018 අප්‍රේල් මස 16 වන සඳුදා උදේ 10.56 ට (උතුර බලා) රැකියාවට පිටවීම - 2018 අප්‍රේල් මස 19 වන බ්‍රහස්පතින්දා උදේ 6.45 ට (උතුර බලා)  
07May 2016
blog_shape

අනිතය දුකය අනතය යන ළකුණු තුන

අනිතය දුකය අනතය යන ළකුණු තුන පන්සාළිස් වසක් දනහට ඛෙදා දුන තුන් ලෝ පියාගේ මහා කරුණා නයන සැතපෙන සෙල්මුවා පිළිමෙහි බැෙඳයි මන දයා විජේසූරිය

ලොවට පුදකළ මහඟු නිමවුම

පෙර රජුන් දා හෙළ කලාකරු බුදු බැතින් සිත පහදවා ගෙන නව ගුණෙන් පිරි බුදු සිරිත දැක ලොවට හඬ ගා කියන අටියෙන මෙත් සිතින් ගත සවිය වැයකොට ගල් කුලක බුදු සිරිත අඹමින ලොවට පුදකළ මහඟු නිමවුම සිහල ඔද තෙද සදා නොමැකෙන ජයසේන කොඩිතුවක්කු

බුදු සිරුර වුව අනියතයි

තුන් වරක් බුදු සමිඳු සිරිපා පහස ලැබු ලක් දෙරණ අපගේ කලාකරුවන් නෙළූ විස්මිත සෙල් පිළිම ඇත අප තිලෝනාගේ පිරිනිවුනු කළ ඔත් ලෙසින් දිසි කඳුළු නංවන දකිව සැමගේ බුදු සිරුර වුව අනියතයි දැන එතෙර වුව මැන සසර ඕගේ කල්‍යානි තෙන්නකෝන්

ගල් වඩුවෙක්ද ?

මහා කලූගලක් සංවරයෙන් පදම් කළ ගල් වඩුවෙක්ද ? දෙව් ලොව සිට පැමිණියෙ ද ? නුදුටු බුදුරදුන් සැතපෙන අයුරු දැක ඔබ නෙලූවාද සැතපෙන බුදු හිමිගෙ රුව දිලිණි ප්‍රේමරත්න

කළොත් වැඳුම් පිඳුම් එමට

පොළොන්නරුවේ ගල්වෙහෙරේ සැතපෙන බුදු රුව සොළොස් මසක් මදි වැන්දත් මතකයෙ ඇති රුව මෙලොවත් පරලොවත් අනිත දහමක් දෙසු දැව කළොත් වැඳුම් පිඳුම් එමට නිවන් දකින බව ඩේසි ඒ සිල්වා

සැතපෙන සුවෙන් සිඳ දුක්ගිනි

දෙතිස් මහා පුරුෂත් ගුණ උතුරුවමින් සැතපෙන සුවෙන් සිඳ දුක්ගිනි සසර බැඳුම් දකිනට නිමක් දුක් කරදර පෙරටු කරන් දෙව් මිනිසුන් පුදති සැමදා සුවඳ කුසුම් නිසන්සලා අතපත්තු

යොමුකර දෙනෙත්

දූෂණ වංචා හැම හදවත් වන සන්නේ සැතපී හිදල නෑ හිමියනි විසදුම් එන්නේ යොමුකර දෙනෙත් මේ විපතින් අප ගොඩ ගන්නේ තෙමඟුල් දිනේවත් බණ පදයක් දෙසනු මැනේ ඩල්සි ධනසිරි

දහඩියෙන් පොඟවා

දහඩියෙන් පොඟවා නෙළූ කලූගල් පිළිම අවුරැසින් වැසි දියෙන් නැහැ වී ඛෙදයි ලොව දසත මෙත් සිසිල නිම්මි සමරසිංහ

ඇවැත්නි !

ඇවැත්නි සැතපෙනු කැමැත්තෝ සතපවා සැතපෙමි ශිරාන් විජේරත්න

සියුම් රැළි

ඉර එළියට නොපෙනෙන සියුම් රැළි පහන් එළියට පෙනෙන හැටි ! සාමන්ත

කුලිච්චම

සිරි පතුළ - කුලිච්චම හද පතුළ පිරිමදියි වඳිම් විඳි වඩුවාට නිවුනු සැනසුනු නිසැක තිමිර විනිවිද Kadapatha May45
15April 2016
blog_shape
ප්‍රියානන්ද විජේසුන්දර විසිනි (by Priyananda Wijesundara) අප්‍රේල් මාසය කොයි කාට උනත් සතුට ලැඛෙන මාසයක්. ඒ අපේ පාරම්පරික සිංහල අලූත් අවුරුදු මාසය නිසා. ඒත් 1971 අප්‍රේල් මාසය නම් කාට කාටත් සතුට නැති කරපු මාසයක් කියල කියන්නම වෙනවා. අතීතයේ පැවති රාජ්‍ය විරෝධී කැරලි ගැන අපි දන්නේ ඉතිහාසය පොත්වලින්. ඒත් 1971 දී අපි මුල්වරට අත් විඳපු රාජ්‍ය විරෝධී කැරැල්ල දැන් දැන් කාගේ කාගේත් හිත්වලින් අතීතයටම යන්නට ගිහින්. මම මොනම ආකාරයකින්වත් කැරලිකාරයෙකු නොවෙයි. ඒත් කැරලි කාරයෙකු නොවී රාජ්‍ය විරෝධී කැරලි දෙකෙන්ම බැට කෑ කෙනෙකු හැටියට මේ කතාව ඔබට කියන්නට පුළුවනි. මේක අතිශයින්ම මගේ පුද්ගලික කතාවක්. මේ කතාව ඔබට වැදගත් වන්නේ නෑ. වැදගත් වන්නේ මේ කතාව තුළින් එදා ඔබ අප අත්විඳි රාජ්‍ය විරෝධී කැරලි දෙකේම මතකයන් ඔබට යළිත් මතකයට ඒවි කියලා මට හිතෙන නිසා. ඒත් මේ ලිපියට මාතෘකාවක් හිතනකොට පසුගිය කැඩපත කලාපයේ වගේම මෙවර කලාපයේත් ටියුඩර් අමරසේනයන්ගේ "මරණයේ සෙවණැලි...." මාතෘකාව මේ ලිපියට දමන්නට තිබුණා නම් හොඳයැයි මට හිතුණා. ඒත් දැන් ප්‍රමාද වැඩියි. 71 අප්‍රේල් මාසයට කලින් මමත් මගේ මිතුරන් කීප දෙනෙකුත් උපාලි, රත්නායක, තිලක් එකම කාමරයක වරින්වර නතර වී උන්නා. තිලක්ගේ ගම ගාල්ලේ. රත්නායක පිළිමතලාවේ. උපාලිත් මමත් පිළියන්දල කොලමුන්නේ. තිලක් බැංකුවක රැකියාවක් කළා. රත්නායක දෙවනවර අපොස උසස් පෙළ විභාගයට පෙනී සිටින්නටත්, රැකියාවක් හොයා ගන්නටත් කොළඹ ඇවිත් උන්නා. තිලක්ට නතර වෙන්නට හොයාගත් කාමරය පිළියන්දල ප්‍රසිද්ධ ක්‍රීඩාංගණය අසල අල්විස් මහතාගේ නිවසේ උඩු මහල. අඩක් නිමවී තිබූ මේ නිවසේ උඩු මහල් පේළි කාමර දෙකකින් එකක තිලක් නතර උනා. රත්නායකත් කොහොම හරි තිලක් හඳුනාගෙන ඒ කාමරයේම නතර වුණා. රැකියාවක් හොයන අතරම වියදමට කීයක් හරි හොයා ගන්නට රත්නායක කළේ ළමයින් කීප දෙනෙකු හොයාගෙන ඔවුන්ගේ නිවෙස්වලට ගොස් රසායන විද්‍යාව ටියුෂන් දීම. ජීව විද්‍යාවටත්, භෞතික විද්‍යාවටත් ගණිතයටත් ගුරුවරුන් කීප දෙනෙකු හොයාදෙන ලෙස දෙමව්පියන් ඉල්ලා සිටීම නිසා උපාලිටත්, මටත් ඒ අවස්ථාව ලැබුණා. මම ජීව විද්‍යාවත්, භෞතික විද්‍යාවත්, උපාලි ගණිතයත් ටියුෂන් දෙන්නට පටන් ගත්තා. මේ නිසාම තිලක්ගේ කාමරය වරින්වර අපේ කාමරය ද වුණා. උපාලිගේත් මගේත් නිවෙස් පිහිටා තිබුණේ මේ කාමරයට පයින් ඇවිද යන දුරින්. තව තවත් දෙමවිපියන් අපෙන් ටියුෂන් බලාපොරොත්තුවීම නිසා හැමෝටම ටියුෂන් දෙන්නට කාලය මදි. ඒ අතරම උසස්පෙළ විභාගයට පාඩම් කිරීමටත් කාලය අවශ්‍යයයි. ජාතික සේවක සංගමයේ එවකට ලේකම්වරයාව සිටි සිරිනාල් ද මෙල් මහතා (මෙල් අයියා) ගේ මාර්ගයෙන් පිළියන්දල නගරයේම ඔහුට අයත්ව තිබූ නිවසක් අපිට ලැබුණා. පිළියන්දල නගරයේ මුල්ම ටියුෂන් පන්තිය "තක්සලා" නමින් ආරම්භ වුණේ මේ නිවසේ. පිළියන්දල පන්සලේ මේ වනවිට රාත්‍රී ඉංග්‍රීසි පන්තියක් තිබුණත් එය වැඩිහිටි පන්තියක්. ඒත් ඔවුන්ගේ කතාවන් අපේ කතාවලට වඩා වෙනස්. ඔවුන් අප සමග කතා කළේ රාජ්‍ය විරෝධී දේවල්. "පාඩම් කරලා විභාග පාස්වෙලා මොනවා කරන්න ද? අපිට තියනවා හොඳ වැඩ පිළිවෙළක්. අපිත් එක්ක එකතු වෙලා මේ ක්‍රමයට විරුද්ධව සටන් රමු." ඔවුන්ගේ අදහස් අපිට එල්ල කළා. මේ අතර ජනතා විමුක්ති පෙරමුණේ පත්තර පත්‍රිකාත් අපිට දුන්නා. ඔවුන්ගේ පන්තිවල ඔවුන්ට උගන්වන දේවල් ඔවුන් අපිට උගන්වන්නට උත්සාහ කළා. ඒත් අපි හතර දෙනාගේ අදහස් ඒ අදහස්වලට වෙනස් බව තේරුම් ගත් ඔවුන් අන්තිමට කීවේ, "අපි බලය අතට ගත්තාම උඹල හතර දෙනාව අර පිට්ටනියට අරන් ගිහින් වෙඩි තියලා මරලා දානවා" කියලයි. දැන් අප්‍රේල් මාසයට ආසන්නයි. ඒත් දිනක් හැන්දෑවේ අපි තිලක් අයියාගෙන් සටන් පුහුණු වෙන නිවසට පොලිසියෙන් පැන්නා. එතන උන් අය සියලූදෙනාවම පොල්වත්තට අරගෙන ගිහින් වෙන වෙනම ප්‍රශ්න කළා. මෙල් අයියා ගාමිණී ලොකුගේ මහතා ඇතුළු මේ පිරිස එක්සත් ජාතික පාක‍ෂිකයන්වීම තවත් ප්‍රශ්නයක්. කොහොම උනත් මෙල් අයියාත්, ලොකුගේ මහතාත් මැදිහත්වීමෙන් ප්‍රශ්නය විසඳුනා. සටන් පන්තියත්, ටියුෂන් පන්තියත් දෙකම එදා සවස නතර වුණා. අප්‍රේල් මාසය උදාවුණා. අපි ලහි ලහියේ විභාගයට පාඩම් කරනවා. රසායන විද්‍යාවේ ආවර්තිතා වගුව ඇඳපු අති විශාල සටහනක් එක්ක රසායන විද්‍යාවේ උද්භික විද්‍යාවේ සත්ව විද්‍යාවේ ගණිතයේ භෞතික විද්‍යාවේ අනන්ත වූ සමීකරණ බිත්තියේ තැන් තැන්වල තිබුණා. අඳුරු රාත්‍රියක මැදියමේ මේ කාමරයටත් පොලිසිය ආවා. විවිධ තුවක්කු ඔවුන් අත තිබුණා. පිස්තෝලයක් අමෝරාගත් ස්ථානාධිපතිවරයා මහා හඬින් මොර දුන්නා. "ජයන්ත කවුද ? නිමල් කවුද ? කෝ ශාන්ත ?" අපි තුෂ්නිම්භීතව බලා උන්නා. "තොගේ නම මොකක්ද බල්ලෝ" "උපාලි" "උඹේ නම?" "තිලක්" "කෝ එතකොට ජයන්තලා" "ඒ අය සර් එහා කාමරේ" ස්ථානාධිපතිවරයා අතින් සංඥා කළා පොලිස් පිරිසෙන් කීප දෙනෙක් එහා කාමරයට දිව්වා. දොරට තට්ටු කරන ශබ්දයත්. පසුව දොර කඩන ශබ්දයත් අපට ඇසුණා. "සර් කාමරේ කවුරුවත් නෑ" විවිධ පත්‍රිකා, විදුලි බල්බ් කටු කම්බි ඇන ආදිය තිබූ මලූ කීපයක් ඔවුන් ගෙනැවිත් තිබුණා. "සර් මුන් තමයි අර සිරිනාල් මහත්තයගේ ගෙදරත් ෆයිට් පුරුදු වුණේ" එක් පොලිස් නිලධාරියෙකු ස්ථානාධිපතිවරයාට කිව්වා. "තොපි මොකද මෙතන කරන්නේ ?" "පාඩම් කරනවා සර්" "හා පාඩම් කරල විශ්ව විද්‍යාලවලට ගිහින් උපාධි අරගෙන අපි ලව්වා සර් කියලා සැලියුට් දමාගන්න නේද ? මොකක්ද යකෝ මේ නෝටිස්" "ඒ සර් ආවර්තිතා වගුව රසායන විද්‍යාවේ මේ තියෙන්නේ මේ පොතේ." රත්නායක හේඩ් ගේ භෞතික රසායන විද්‍යාව පොත අරගෙන ස්ථානාධිපතිවරයාට විස්තර කළා. තිලක් ඉඳලා හිටලා අරක්කු කාලක රහ බලනවා. රත්නායක දුම්පානය කරනවා. හිස් අරක්කු බෝතල කීපයක් ඇඳයට තිබුණා. දැවී ගිය දුම්වැටි ඛෙලෙක් ටින් එකක තිබුණා. ඒ අතර මා ලියූ ගීත කවි පොත් ද තිබුණා. මේ වනවිට මගේ මුල්ම ගීතය මා ලියා තිබුණා. මොහොතකින් කාමරය යකුන් නැටූ පිට්ටනියක් වගේ වුණා. "අර........ වුන්ද ගැන උඹලා දන්නේ නැද්ද?" "දන්නේ නෑ සර්. ඒ අය කවදාවත් අපිත් එක්ක කතා කරල නෑ. කතා කරන්න එන්නෙත් නෑ" තිලක් උත්තර දුන්නා. උපාලිගේ පියා කොළඹ එලවළු වෙළඳ පොලේ කඩ බක්කියක හිමි කරුවෙක්. පිළියන්දල පොලිස් කුස්සියටත් එලවළු දාන්නේ ඔහු. "සර් මගේ තාත්තා තමයි පොලිසියට එලවළු දෙන්නේ" "ආ පියසේන මුදලාලිගේ පුතා" "සර් මගේ අම්මගේ අයියා දෙහිවල ඒ එස් පී කන්තෝරුවෙ වීරසේකර" අපි බේරෙන්න හැම දෙයක්ම කිව්වා. "උඹල දෙන්නට මේ කාමරේ ඉන්න පුළුවනි. උඹල දෙන්නා මේ දැන් ගෙවල්වලට යන්න ඕනේ. හැමදාම උදේ 10.00 ට පොලිසියට ඇවිත් පෙනී ඉන්න ඕනේ." තිලක්ටත් - රත්නායකටත් කාමරේම නතර වෙන්නට අවසරය ලැබුණා. උපාලිත් මමත් ගෙවල්වලට ගියා. මරණයට ඇති බය කුමක්දැයි මුල්වරට තේරුම් ගියේ මේ සිදුවීමෙන් පසුවයි. ජීප් රථයක හඬක් ඇසෙන විට පවා හිත බියපත් වුණා. 71 කැරැල්ල නිමාවට පත්වී අවුරුදු ගණනාවකට පසුව එනම් 77 දී අලූත් රජයක් බිහිවුණා. ජයන්ත - නිමල් - ශාන්ත ඇතුළු පිරිස යළිත් අපට මුණ ගැසුණා. මේ රජයෙන් විවිධ වාසි හා විවිධ තනතුරු ලබාගත් මේ අය අද ධනපතියන්. රාජ්‍ය විරෝධී දෙවන කැරැල්ල ක්‍රියාත්මක වවිට මම හොරණ විද්‍යාරත්න විද්‍යා පීඨයේ ගුරුවරයෙක්. තිලක් බැංකු කළමනාකාරවයෙක්. රත්නායකටත් උපාලිටත් හොඳ රැකියාවක් ලැබී තිබුණා. ගුරුවරයෙකු වීමට අමතරව මේ වනවිට කලාවට සම්බන්ධවීම නිසා මා කවුදැයි රටේ බොහෝ අය දැනගෙන ඉන්නට ඇති. දෙවන කැරැල්ලේ ද කැරලිකරුවෙකු නොවී බැට කන්නට සිදුවුනේ කලාකරුවෙකු හා ගුරුවරයෙකුවීම නිසා වන්නට ඇති. ගෝනි බිල්ලන් මගින් තරුණයක් තරුණියන් හඳුනා ගැනීම. ටයර් සෑයවල් - හිස නැති මල කඳන් හමුවුණේ මේ කාලයේ. රාජ්‍ය නොවන හා රාජ්‍ය ඇඳිරි නීති ක්‍රියාත්මක වුණෙත් මේ කාලයේ. ත්‍රිවිධ හමුදා නිලධාරීන්ට මෙන්ම සාමාන්‍ය වැසියන්ටත් මරණ තර්ජන තිබුණා. සතුරෙකු මරා දැමීම ඉතා සුළු දෙයක්. නොම්මර තහඩු නොමැති වෑන් රථ එහෙ මෙහේ ගියා. නිවසේ තිබූ වාහන එක්කෝ ත්‍රිවිධ හමුදාවෙන් එහෙත් නැත්නම් සහෝදරයන් විසින් අරගෙන ගියා. පිළියන්දල පොලිසියේ එවකට හිටි ස්ථානාධිපතිවරයාත්, පොලිස් නිලධාරීන් මගේ මිතුරන්ට සිටීම මට තවත් ප්‍රශ්නයක් වුණා. ඇඳිරි නීතිය මැද්දේ හිටි ගමන් පොලිස් නිලධාරීන් සමග ස්ථානාධිපතිවරයා මගේ නිවසට එනවා. "යමු ගෝනි බිල්ලෙක් දාන්න." ඔහු මාද ජීප්රියේ නංවාගෙන යන්නේ අල්ලාගත් තරුණයන් තරුණියන් පිරිසක් මැදට. මම කොහොම හරි ජීප්රියෙන් බසින්නේ නෑ. ඒත් ගෝනි බිල්ලා හිස වනා අල්ලා ගන්නා තරුණ තරුණියන් ජීප්රියට ගොඩවනවිට මමත් ඒක ඇතුලේ. මේ තරුණ අයගෙන් බොහෝ දෙනෙකු මා දැක පුරුදු අය. "අයියා කොහොමද මාට්ටු උනේ" ඔවුන් මගෙන් රහසින් ප්‍රශ්න කරනවා. මට උත්තර නෑ. මරණ බිය මගේ සිතට එන්නේ පාවා දෙනනෙකු ලෙස මට හංවඩුවක් ගැසේවි යැයි බියෙන්. පාවා දෙන්නන්ටත් දඬුවම මරණයයි. මේ කාලයේ මා විවාහ වී උන්නා. වැඩිමල් දරුවාට අවුරුද්දක් වයසයි. එක්තරා රූපවාහිනී ආයතනයක ප්‍රවෘත්ති කියවීමද කළා. ගුරු වෘත්තියට අමතරව හැරල්ඩ් පෙරේරා මහතාගේ Videographic ආයතනයේ සේවය කළා. ප්‍රවෘත්ති කියවන්නන්ට මේවා තහනම් කළේ මේ කාලයේ. ඒත් හමුදාවේ විශේෂ කාර්ය බලකායේ ජීප් රථයක් වරින්වර මගේ නිවසට ඇවිදින් ප්‍රවෘත්ති ප්‍රකාශයට මා බලෙන් රැගෙන ගියා. ප්‍රවෘත්ති ප්‍රකාශ කොට නිවසට එන්නේ මරණ බියෙන්. ප්‍රේමකීර්ති ද අල්විස්, සාගරිකා ගෝමස්, රිචඩ් ද සොයිසා ආදීන් ඝාතනයට ලක්වුණේ මේ කාලයේ. ඊළඟ ඉලක්කය මා වන්නට පුළුවනි. මගේ හිත නිතරම මට කිව්වා. මෙම කැරැල්ලට සම්බන්ධ මගේ ගම් ප්‍රදේශයේ තරුණයන් බොහෝ දෙනෙකු මම හඳුනනවා. හිතේ තිබුණු මරණ බිය නිසාම එක් තරුණයෙකු මාර්ගයෙන් ඔවුන්ගේ ප්‍රාදේශීය නායකයා හමුවන්නට ද ගියා. "අපෙන් ප්‍රශ්නයක් නෑ අයියේ අපි දන්නවා ගෙදරට ඇවිත් අයියාව අරගෙන යන බව. ඔයාට අපෙන් කරදරයක් නෑ. ඒත් ආණ්ඩුවෙන් ප්‍රවේශම් වෙන්න." මගේ සිතට තරමක සැනසීමක් ආවේ මෙයින් පසුව. ආණ්ඩුව එක්ක මගේ ප්‍රශ්නයක් නෑ. මම මොන පක‍ෂ දේශපාලනයවත් කරලා නෑ. මම මගේ හිත සනසා ගත්තා. ඒත් ප්‍රශ්නය වෙන පැත්තකට හැරුණා. දවසක් හැන්දෑවේ පිළියන්දල පොලිස් ස්ථානාධිපතිවරයා මගේ නිවසට ආවා. "යමු පොලිසියට" ඔහුගේ කතාව මිතුරු හමුවකට වඩා වෙනස්. පොලිසියට යනතුරු ඔහු මා සමග කතා කළේ නෑ. මට මේක තේරුම් ගන්නට බැරි දෙයක්. කෙළින්ම මා අරගෙන ගියේ ඔහුගේ කාර්යාලයට. "ප්‍රියානන්ද මම ඔයාව මගේ ළඟට ගත්තේ ඔයාගේ ආරක‍ෂාවට" "ඇයි සර්" "කැස්බෑව පන්සලේ හමුදා කෑම්ප් එකෙන් මට පණිවුඩයක් ආවා ඔයාව අත්අඩංගුවට ගන්න එන බවට. ඊට කලින් මම ඔයාව ගත්තා. දැන් නිලධාරියෙක් ඒවි. එයත් එක්ක යන්න. අහන ප්‍රශ්නවලට උත්තර දෙන්න. දැන් ඔයාට කරදරයක් වෙන්නේ නෑ." "ඇයි සර් මොකක්ද හේතුව." "JVP එකේ ගුවන්විදුලි ප්‍රචාරය ක්‍රියාත්මක වෙන්නේ ගම් තුනක ඉඳලාය. එකේ නිවේදන කටයුතු කරනනේ ඔයා කියලා පෙත්සමක් ගිහින්." "මම එහෙම දේකට සම්බන්ධ නෑ සර්. කවුද එහෙම කියලා තියෙන්නේ." "මගෙන් ප්‍රශ්න අහන්න එපා. ඒක කරල තියෙන්නේ කාන්තාවක්. එච්චරයි මම දන්නේ." මොහොතකින් හමුදා නිලධාරියා පොලිසියට ආවා. ස්ථානාධිපතිවරයාගේ කාර්යාලයෙන් මා පිටතට යැවූ ඔවුන් පැයක පමණ කාලයක් කතා කරමින් උන්නා. හමුදා නිලධාරියා පිටත්ව ගියාට පසුව ස්ථානාධිපතිවරයා මා ළඟට ආවා. "හරි ප්‍රශ්නය ඉවරයි. ඔයා එහෙම දෙයක් නොකළ බව ඒ අයත් දන්නවා. ඒත් ඔයාට ගෙදර යන්න දෙන්න බෑ. දවස් දෙක තුනක් මා එක්ක ඉමු." මේ කාලයේ පොලිසි වලටත්, පොලිස් නිලධාරීන්ටත් අගුණ කාලයක්. "මම ගෙදර ඉන්නම් සර්" ඔහු කිසිම දෙයක් කතා කළේ නෑ. එදා රාත්‍රියේ ඔහු ඔහුගේ නිලනිවසට මා කැඳවාගෙන ගියා. "ප්‍රියානන්දට වෙඩි තියන්න පුළුවන් ද?" "ඔව් සර් ඉස්කෝලේ ශිෂ්‍ය භට බලකායේ ඉන්දැද්දී මම රයිපලයකින් වෙඩි තිබ්බා." "මේ පිස්තෝලේ තියා ගන්න. අපේ ගෙවල්වලට ගහන්න එනවානේ. එහෙම කවුරු හරි ආවොත් කාට හරි කමක් නෑ කොකා අදින්න." ජීවිතේ මුල්වරට පිස්තෝලයක් අතට ලැබුණා. දින තුනක් රාත්‍රී කාලයේ මේ නිවසේත්, දහවල් කාලයේ පොලිසියේත් ගත කළා. එක්තරා ලොතරැයියක් දිනුම් ඇදීම ජාතික රූපවාහිනියට තහනම් උනා. ඒත් නීතියේ හැටියට ලොතරැයි දිනුම් ඇදීම නතර කරන්නට බැහැ. මා සේවය කළ Videographic ආයතනයේ හැරල් මහතා රජයේ ප්‍රධාන ඇමතිවරයෙකුගේ පුතෙකුවීම නිසා මේ ලොතරැයි දිනුම් ඇදීම අප ආයතනයට පැවරුනා. හොර රහසේම මේ දිනුම් ඇදීම කළේ කොළඹ කොටුවේ. ආදායම් බදු දෙපාර්තමේන්තු කාර්යාලයේ ඉහළම මාලයේ ආයතනයේ වාහනයේ නම සඳහන්ව තිබීම නිසා කැමරා ආම්පන්න ඇතුළු අනිත් දේ රැගෙන ගියේ වෙනත් වාහන දෙකක. මා ඇතුළු කාර්මික ශිල්පීන්. නිවේදක නිවේදිකාවන්, විනිශ්චය මණ්ඩලය එතැනට ආවේ වෙන වෙනම. කැරැල්ලේ කරදර නිමාවට පත්වන තුරුම මේ පටිගත කිරිම හොර රහසේම කළා. කාගෙ කාගේත් අතමිටට හොඳ මුදලක් ලැබුණා. කැරැල්ල අවසන් වීමෙන් පසුවත් මේ කටයුත්ත අපටම කරන්නට ලැබේයැයි අප සිතුවත්. මෙතෙක් හොඳ තත්වයක් තිබූ අපේ වැඩ සටහන කැරැල්ල නිම වී රට යථා තත්වයට පත්වීමත් සමග ඉතාමත් දුර්වල අඩුපාඩු සහිත වැඩ සටහනක් බවට පත්ව අපට අහිමි වුණා. ඉතාමත් භයානක රාත්‍රියක නිවෙස්වල පහන් දැල්වීම පවා තහනම් කර තිබුණා. රාත්‍රී ආහාර ගෙන නින්දට යාමට සූදානම්වන විටම නිවසේ ගේට්ටුවේ අගුල ඇරෙන ශබ්දය අප කාටත් ඇහුණා. මේ වනවිට ඉටිපන්දමක එළියෙන් මගේ බිරිඳ අවුරුද්දක් වයස මගේ පුතාට කිරි දෙමින් උන්නා. "ලොකු පුතේ ඔයා යන්න එපා. මම යන්නම්." තාත්තා කිව්වා. කවුරුන් ගියත් වැඩක් නෑ. නිල අනුග්‍රහයෙන් හෝ නිල නොවන අනුග්‍රහයෙන් මරා දැමූ කලාකරුවන් මට සිහිවුණා. "අපෙන් ප්‍රශ්නයක් නෑ. ආණ්ඩුවෙන් පරිස්සම් වෙන්න" JVP ප්‍රාදේශීය නායකයා මට කී වදන් සිහිවුණා. සෙමින් දොරට තට්ටු කරන ශබ්දය ඇසුණා. "අපි දෙන්නම යමු. මම පුතාවත් අරගෙන එන්නම්" සන්ධ්‍යා මට කීවා. "ප්‍රියානන්ද අයියා ඉන්නවද?" ඒ හඬේ නම් තිබුණේ ඉතාම කාරුණික බවක්. මම එළියට ආවා. තාත්තාව බිලි දෙන්න බෑ. තරුණයන් දෙදෙනෙකු එළියේ උන්නා. පරිසරය කට්ට කළුවරයි. "අයියේ අපිට පුංචි වැඩක් කර ගන්න ඕනේ ලාල් අයියගේ Record Bar එකේ මේ කැසට් එකෙන් කොපි 100 ක් හෙට උදේට ගහලා ඕනේ." "මොකක්ද මේකේ තියෙන්නේ." "විජේවීර සහෝදරයාගේ දේශනයක්" ලාල්ගේ Record Bar එක "සංදීපනි" පිළියන්දල මුල්ම Record Bar එක. මමත් එකේ කොටස් කාරයෙක්. "හෙට දවල් 12.00 ට කලින් කවුරු හරි ඒවි." ඔවුන් යන්න ගියා. ගෙදර කවුරුත් කතා කළේ නෑ. මේ මහ රෑම මම Record Bar එකට ගියා. ඉදිරියෙන් පිළියන්දල පොලිස් ස්ථානය. අපි ශබ්දය නොනැගෙන සේ ක්‍රියාත්මක වෙමින් දහවල් 12.00 ට පෙර කැසට් 100 ක් පිටපත් කළා. ඒත් මේ වනතුරු ඒවා ගෙනියන්නට කවුරුත් ආවේ නෑ. තවත් දවසක් නිල නොවන ඇඳිරි නීතිය සහ නිල ඇඳිරි නීතිය දෙකම ක්‍රියාත්මක වුණා. මගේ දුරකථනය නාදවුණා. "මහත්තයෝ ළමයින්ට කන්න දෙන්න විදියක් නෑ. හාල් ඇටයක් පන්සලේ නෑ. ගමේ අය එන්නෙත් නෑ." මට කතා කළේ කිදෙල්පිටියේ ළමා නිවාසයේ හාමුදුරුවන්. "හරි මම හාල් අරගෙන එන්නම්" මෝටර් බයිසිකලයට නැගී මම කෙළින්ම ගියේ පොලිසියට. "සර් මට ඇඳිරි නීති අවසර පතක් ඔනේ" ස්ථානාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියා. "මොකටද යකෝ මේ රෑ ?" මම විස්තරය කිව්වා. ළමා නිවාසයත් දන්නා ස්ථානාධිපතිවරයා මට අවසර පතක් දුන්නා. පිළියන්දල හන්දියේ රවුම් කඩේ මගේ මිතුරු මුදලාලිව අමාරුවෙන් අවදිකරගෙන හාල් කිලෝ 10 ක් අරගෙන මම භයානක ගමනක් පිටත් වුණා. කිදෙල්පිටියේ වෙල දිගේ ටයර් සෑයවල් ඇවිලෙනවා. දෙතැනක දී මාව පොලිසියෙන් නතර කළා. හැම දෙනෙකුම පිළියන්දල පොලිසියේ මා දන්නා රාලහාමිලා. එදා රෑ මම පහන් කළේ පන්සලේ. ආපසු එන ගමන භයානක නිසා. මගේ ඉස්කෝලේ පන්තිවල දරුවන්ට මම අධ්‍යාපනය වගේම හොඳ නරකත් කියා දුන්නා. අරගල කිරීමේ වරද සහ භයානක කමත් වරින්වර කිව්වා. මේ නිසාම ඇතැම් සිසුන් මා හැඳින්වුවේ කැස්බෑවේ ගාමිණී ලොකුගේ මන්ත්‍රීතුමාගේ සහචරයෙකු හැටියට. හිරිමුතුගොඩ නම් ශිෂ්‍යයෙකු න‍ඪඡ ශිෂ්‍ය නායකයෙක්. දවසක් උදේම පත්‍රියා වගයක් ඛෙදන්නට ගිහින් මේ ශිෂ්‍යයා විදුහල්පති හිමියන් අතට අසුවුණා. විදුහල්පති හිමියන්ගේ පහරදීමෙන් බේරගන්නට කාර්යාලයට ගියේ මම. හරියටම මේ වෙලාවටම හොරණ පොලිස් ස්ථානයෙන් පැමිණ හිරිමුතුගොඩ ශිෂ්‍යයාව අත්අඩංගුවට ගත්තා. මෙම ඔත්තුව දුන්නේ කවුරුන්දැයි කියන්නට මම දන්නේ නෑ. ඒත් හිරිමුතුගොඩ පොලිස් අත්අඩංගුවට පාවා දුන්නේ මා විසින්යැයි සිසුන් වරදවා සිතාගෙන තිබුණා. පසුදා මා පාසලට එනවිට ළමුන් සියලූදෙනාම එළියට බැහැලා. මට විරුද්ධව බැනර් අල්ලාගෙනයි ඔවුන් සිටියේ. මම ගේට්ටුවෙන් ඇතුළට එනවිටම ළමයින් හූ කියන්නත් කෑගහන්නටත් පටන් ගත්තා. "මහත්තයෝ - හිරිමුතුගොඩගෙ ප්‍රශ්නෙ නිසා හොරණ ඉස්කෝලවල ළමයින් සියලූම දෙනා එළියට බැහැලා. තව මොහොතකින් මුළු කළුතර දිස්ත්‍රික්කයේම ළමයි එළියට බහිනවා." මම බයිසිකලයට නැගී කෙළින්ම ගියේ හොරණ උසාවියට. හොරණ උසාවියේ මහේස්ත්‍රාත්වරයා ගායන ශිල්පී සනත් නන්දසිරි මහතාගේ ගෝල ශිෂ්‍යාවකගේ මාමා. මේ නිසාම මම එතුමා හඳුනනවා. උසාවියේ එළියේ හිටගෙන ඉන්නා මා දුටු මහේස්ත්‍රාත්වරයා තම තෝල්ක මුදලි මා වෙතට එව්වා. මහේස්ත්‍රාත්වරයා හමුවීමට අවශ්‍යයැයි මා කී විට මහේස්ත්‍රාත්වරයා උසාවිය මදකට නතරකොට එතුමාගේ කාමරයට ගියා. "සර් මට මේ ළමයව එළියට අරන් දෙන්න." මම මුළු විස්තරයම එතුමට කිව්වා. "එළියට අරන් දෙන්න මට බෑ. මම මගේ ළඟට ගන්නම් අද දවස ඉවර වෙනකල් උසාවි හිරකූඩුවේ තියාගෙන හවසට පොලිසියට බාර දීලා ආපසු උදේට ගන්නම්. දෙකෙන් එකක් වෙනතුරු අපි එහෙම කරමු." එතුමා එවෙලේම පොලිසියට කතා කොට හිරිමුතුගොඩ තමා භාරයට එවන ලෙස ඉල්ලා සිටියා. මේ සුභ ආරංචිය කියන්නට මම ඉස්කෝලෙට යනවිට වෙන්න තියන දේ වෙලා. පොලිසිය ඉස්කොලේට ඇවිත් ළමයින්ට කඳුළු ගෑස් - බැටන් පොලූ පහරවල් දීලා. උඩු මහල්වලින් පැනපු ළමුන් අතපය කඩාගෙන. මේ තත්වයත් ආපසු මගේ පැත්තට හැරුණා. මම පොලිසියට ගිහින් ළමුන් ගැන කියා ඔවුන් මෙල්ල කරන්නට ඉල්ලා සිටියා යැයි ළමුන්ට වැරදි අදහසක් කවුරුන් විසින් හෝ දී තිබුණා. "මහත්තයට මරණ තර්ජන තියනවා. සතියක් දෙකක් මහත්තයා ගෙදර ඉන්න." නායක හිමියන් මට අවවාද කළා. "වෙන දෙයක් උනාවේ. මම ඉස්කෝලේ එනවා හාමුදුරුවනේ." මම හැමදාම ඉස්කෝලේ ගියා. ගුරු කාමරයේ මගේ ලාච්චුවේ මරණ තර්ජන ලිපි ගණනාවක් තිබුණා. මට හිතවත් සිසුන් නිතරම මා වටා උන්නා. දිනක් මා උගන්වමින් සිටින විට මගේ පන්තියේ උන් සරත්චන්ද්‍ර ලේ පෙරාගෙන ශාලාව හරහා දිව එනු දුටු මගේ පන්තියේ සිසුන් මා වටකර ගත්තා. සරත්චන්ද්‍ර දුවගෙන ඇවිත් මා ළඟ දනින් වැටුණා. "මට සමාවෙන්න සර්" "මොකෝ සරත්චන්ද්‍ර මේ ?" "සර් මම හිටියේ පොලිසියේ. උන් මාව අරගෙන යන්නේ පුච්චන්න. ඊට කලින් මට සර්ගෙන් සමාව ඉල්ලන්න ඕනේ. මේ හැමදෙයක්ම කළේ මමයි සර්. සර්ගේ ලාච්චුවට ලියුම් දැම්මේ සර්ව මරන්න නෙමෙයි. බය කරන්න. සර් අවංකව කරපු දේ මම දැන ගත්තේ දැන්. මට සමාවෙන්න සර්. මම යනවා." සරත්චන්ද්‍ර යාමට සූදානම්වන විට මා ඔහු නතර කළා. "සරත්චන්ද්‍ර මම ඔයාව බේරගන්නම්. යමු අපේ ගෙදර." ඒත් සරත්චන්ද්‍ර මගෙන් බේරි පලා ගියා. "සර් සරත්චන්ද්‍රව හොරණ ඩිපෝ එක ඉස්සරහ ටයර් එකක දාලා පුච්චලා" ඒ ආරංචිය මා දැනගත්තේ ඊට පසුදා. කොහොම උනත් ළමයින් මාව තේරුම්ගත් එක ලොකු දෙයක්. ආගිරිස් කොස්තා - පිළියන්දල විදුහලේ මගේ පන්තියේ උන්න මිතුරෙක්. ඔහුගේ බිරිඳ චන්ද්‍රානී උන්නෙත් මගේ පන්තියේ. මේ කැරලි සමයේදී ආගිරිස් කොස්තාව පිළියන්දල කහතුඩුව හොරණ පොලිස් ස්ථානවලින් හොයන්නේ ඔහු JVP නායකයෙකු නිසයි. පාසල අවසන් වී මගේ වාහනයේ මම කොළඹ මගේ අනෙකුත් රාජකාරිවලට යමින් සිටින විට කහතුඩුව වෙල වංගුවේ දී කෙනෙකු පාර මැදට පැන මගේ වාහනය නතර කළා. මේ මගේ මරණය යැයි මා සිතුවත් තුවා එකකින් හිස සහ මුහුණේ අඩක් වසා සිටි ඔහු බලෙන්ම මගේ වාහනයට නැංගා. "ආගිරිස් කොස්තා" "අප්පට සිරි මේ ප්‍රියානන්දනේ" "මම වාහනය නතර කළා." "නවත්වන්න එපා. අපි යමු මම වෙල පැන්නම බහිනවා." වෙල වංගු දෙකම පහු උනාම කොස්තා බැහැලා ගියා. කහතුඩුව හන්දියේ පොලිස් මුරපොලේ මහා කලබලයක්. මගේ වාහනයත් නතර කළා. ධෂක‍ මහින්ද මහත්තයා ඇතුළු පිරිස පිස්තෝල තුවක්කු ඔ 56 අමෝරාගෙන. "ඇයි සර්" "අර ආගිරිස් කොස්තා කියන පරයා මේ හරියේ කැරකෙනවා. අද ඕකව මරනවා." ඒත් එදා රාත්තිරියේ ආගිරිස් කොස්තාගේ දරු පවුල නන්නාදූනන තුවක්කු කරුවන් විසින් මරා දමා තිබුණා. එහෙම කළේ අවසාන කටයුතුවලට කොස්තා ඒවි කියලා හිතාගෙන. නිල නොවන හමුදා නිලධාරීන් පොලිස් නිලධාරීන් මල ගෙදර සිටියාලූ. මමත් සහභාගී වුණා. ආගිරිස් කොස්තා තම දරු පවුල බැලීමට මල ගෙදර ආවා. ඒත් කාටවත් ඔහු හඳුනා ගන්නට පුළුවන් උනේ නෑ. හඳුනාගත් අය ද ඇස් කොනෙන් වත් ඔහු දෙස බැලූවේ නෑ. ඔහු මල ගෙදර ආවේ නවීන පන්නයේ පැජරෝ රථයකින්. සුදු ජාතික ඇඳුමක් ඇඳගෙන. ආරක‍ෂක නිලධාරීන් කීප දෙනෙකු ඔහු පසුපස ඔහු වටකරගෙන සිටියා. ඒත් පසු දවසක ආගිරිස් කොස්තා අත්අඩංගුවට ගත්තා. මේ මගේ අත්දැකීම්. මොනම අන්දමකටවත් කැරලිකාරයෙකු නොවී අනියම් ලෙස කැරලි දෙකේම විත්තිකාරයෙකු වුණේ ඔය විදියට. මේ සිදුවීම් සිහිපත් වනවිට අද හිතට දැනෙන්නේ සියුම් සතුටක්. මගේ කතාවත් එක්කම අපි අත්විඳි කැරලි දෙකම ගැන යලිත් වරක් ආවර්ජනය කරන්නට ඔබට මාතෘකාවක් ලැබේවි.
25February 2016
blog_shape
පොඩි මෑන්ස් විසිනි ගෙදර පොන් එකට එන කෝල් ගන්න කවුරැත් කැමති නැත්තෝය. ඒ ගොඩාක් කෝල් එන්නේ අපේ නෑදෑයෝ කවුරැත් නැති ඉන්දියාවෙන්ය. එයාලා ඉස්සරෝම අහන්නේ අපිට කොහොමද කියලා ය.  අප්පච්චිගෙන් එහෙම ඇහුවොත් එයා කියන්නේ “අපිට කොහොම වුනත් උඹට මොකද ?” කියලා ය. අම්මාගේ නම කියලා එයා ඉන්නවද කියලා ඇහුවත් එයා කියන්නේ “එයා ගෙදර නෑ” කියලා ය. ඉතිං ළමයි හැටියට අපි වුනත් ඉගෙන ගන්නේ අම්මා තාත්තා කරන කියන විදිහට නිසා අපිටත් ඒ විදහටම පුරැදු වෙලාය. බැරි වෙලාවත් අපි ඒ කෝල් එකකට හොදයි කිව්වත්, නොට් ටූ බෑඩ් කිව්වත් අන්තිමට වෙන්නේ ටයිගර්ගේ ටේල් එක අල්ලා ගත්තා වැඩකි. ටයිගර්ගේ ටේල් එක අත ඇරියොත් ඌ අපිව කති. අල්ලාගෙනම හිටියොත් අපට වෙන වැඩක් කරන්න බැරිවෙති. ඌටත් එසේම වෙතැයි සිතෙමි. සෙනසුරාදා උදේ ලංකාවෙන් කෝල් එකක් ආවෙමි. ආන්සර් කළේ අප්පච්චි ය.  ලංකාවෙන් කෝල් ආවොත් හරි අපි ලංකාවට කතා කළොත් හරි අපි ඉස්සරෝම කරන්නේ ඉස්පීකර් පෝන් දැමීමය. එතකොට ගෙදර ඔක්කොටම කතා කරන්න පුලුවන් වෙති. ඒ වගේම ඔක්කොටම අසන්නටත් පුලුවන් වෙති. “හලෝ… මම මේ කතා කරන්නේ ලංකාවෙන් ………”  “හලෝ කොහොමද අක්කේ….. කටහඬ අහන්නත් සංතෝසයි.” අප්පච්චි කිව්වෙමි. “අපි මේ හොඳටම බය වෙලා ඉන්නේ…. මල්ලිලාට කරදරයක් නෑ නේ ද ?” “අනේ නෑ අපි හොදින්….. ඇයි අක්කා එහෙම ඇහුවේ ?” “නෑ මල්ලී…. මෙහේ ආරංචිය යන විදිහට මුලු ඕස්ට්‍රේලියාවේ නවත්ගන්න බැරි තරමට ගිනි ගන්නවලු.” “ආ ඇත්තද ? පොඩ්ඩක් ඉන්න මම හොයලා බලන්නම්…” කියලා අප්පච්චි අම්මාගෙන් “මෙහේ බුෂ් පයර්ද ?” කියලා ඇසුවෙමි. “මං කොහොමද අනේ දන්නේ ?” අම්මා කිව්වෙමි. එදා දවල් අපේ අම්මා ලංකාවට කෝල් එකක් ගත්තෙමි.  “මොනවද අනේ මේ ලංකාවේ වෙන්නේ ? ඇඹිලිපිටියේ පොලිසියෙන් මනුස්සයෙක් මරලා කියන්නේ ඇත්ත ද ? හෝමාගම උසාවියේ අලි කලබලයක්ලු නේද ?” “අපි දන්නේ නෑ නංගී….. පොඩ්ඩක් ඉන්න මම හොයලා බලන්නම්….” එහෙනුත් කිව්වෝ ය. හවස අප්පච්චි ලංකාවට ආයම කෝල් දෙක තුනක්ම ගත්තෝය. “මොකද මචං මුන්ට පිස්සුද බං…. කාලෙන් කාලෙට එක එක කෝලං… දැන් අපේ උන්ට තියෙන්නේ මිනිස් ලේ ද? නැත්තං සිංහ ලේ ද ?” “මට තේරෙනේ නෑ..…උඹ මොනවද කියන්නේ කියලා….” අප්පච්චිගේ මචං යාලුවා කිව්වෙමි. “ඇයි…. දැන් ලංකාවේ සිංහ ලේ කියලා අලුත් කෝලමක් නටනවලු නේ ද ? අප්පච්චි එහෙම කිව්වාම ඒ අන්කල් කිව්වේ “මම ඒ ගැන දන්නේ නෑ හොයලා බලලා කියන්නම්” කියලාය. එදා රෑ ලංකාවෙන් තවත් කෝල් එකක් අවෙමි. ආන්සර් කලේ අම්මා ය. “අනේ නංගිලා හොඳින් නේද ? අපි මේ බය වෙලා ඉන්නේ….” එහෙන් කිව්වෙමි. “ඔව් අපි හොඳින්…. ඇයි අක්කා එහෙම ඇහුවේ…. ?” “නෑ අපිට ආරංචි වුනේ ඕස්ට්‍රේලියාවට හොදටම ගංවතුර කියලයි.” “පොඩ්ඩක් ඉන්න බලන්න….” කියලා අම්මා අප්පච්චිට කතා කරලා…. “මේ….. ඒ…යි මෙහාට ගංවතුරද ?” කියලා ඇහුවෙමි. “මම දන්නේ කොහොමද අනේ….” අප්පච්චි කිව්වෙමි. ඊට පස්සේ අම්මා ඒ ඇන්ටිට මෙහෙම කිව්වෝය. “මේකනේ අක්කේ…… ඕස්ට්‍රේලියාව කියන්නේ මහා විසාල මහද්වීපයක්නේ… මේකේ කොච්චර නම් දේවල් වෙනවද…. ඒවා හොය හොයා ඉන්න ගියොත් අපිට වෙන වැඩක් කරන්න බැරි වෙනවා නේ…. හරියට පිදුරැ ගොඩේ වැටුණු ඉදිකට්ටක් හොයනවා වගේනේ…..” “එකත් ඇත්තනේ නංගී…” එහාපැත්තේ ඇන්ටී එහෙම කිව්වාම අම්මා තවත් ප්‍රශ්ණයක් ඇසුවෙමි. “ඒක නමේ අක්කේ කොටදෙණියාව පැත්තේ පුංචි ගෑණු ළමයෙක්ට කරදරයක් වෙලා කියන්නේ ඇත්ත ද ?” “අපි හරියටම දන්නේ නෑ නංගී…. පුංචි වුනාට මොකද මේකත් මහ ඉදිකටු කන්දක් වගේනේ… ඒකේ අස්සේ වැටිලා තියෙන පිදුරැ කෑලි අපි කියලා කොහොම හොයන්න ද ?” ඒ ඇන්ටිත් ඇසුවෙමි.  අම්මා පොන් එක දඩස් ගා තිබ්බෙමි. මීට පොඩි එකා
12February 2016
blog_shape
පේලේටෝ දක්වන පරිදි  සංගීතය යනු නිවැරදි සහ වැරදි භාවිතාව කුමක්දැයි අර්ථදැක්වෙන එක්තරා නීතියකි. එය විශ්වයේ ආත්මය යි. මනසට පියාපතකි. https://youtu.be/beLg7ovlvZA
17January 2016
blog_shape
රත්න ශ්‍රී විජේසිංහ විසිනි (by Rathna Sri Wijesinghe) https://youtu.be/YSYIp2r9P8I පාළු අඳුරු නිල් අහස මමයි ඈත දිලෙන තනි තරුව ඇයයි යුගයෙන් යුගයට හදවත් ඉල්ලන බලාපොරොත්තුව පැතුම ඇයයි අසාර වූ මහ පොළොව මමයි ගලාබසින දිය දහර ඇයයි යුගයෙන් යුගයට හදවත් ඉල්ලන සදාකාලිකවූ සැපත ඇයයි කැලෑව මැද කටු පඳුර මමයි පිපී වැනෙන මල් පොකුර ඇයයි යුගයෙන් යුගයට හදවත් පුරවන අඳුරු වේදනා කැටිය ඇයයි පද රචනය ඃ මහගම සේකර සංගීතය හා ගායනය ඃ විශාරද අමරදේව විශාරද අමරදේවයන්, භාවික ගුණ සපිරි ඔහුගේ මධුර ස්වරයෙන් ගයන මේ ගීය නාද මාධ්‍යයට පෙරළුණේ ද ඔහු අතිනි. මීට දශක හතරකින් එපිට දී ගුවන් විදුලියේ "මධුවන්ති" වැඩසටහනක් සඳහා මේ ගීය රචනා කළේ මහගම සේකර කවියාය. ප්‍රේමය නම් විශිෂ්ඨ මනෝභාවය, මානවයාගේ ප්‍රබල කායික මානසික චර්යාව, ආරම්භයේ දී පටන් ම ඔහුගේ ජීවිතය ඉමිහිරි කළේය. එදා පටන් කවීහු ද සෙසු කලාකරුවෝ ද මේ සියුමැලි හැඟුම් සරණියේ මහිමය කලාත්මකව නිරූපණය කරන්නට තැත් කළාහු ය. එහි කවර වරදක් ඇද්ද ? සැබැවින් ම ස්ත්‍රී පුරුෂ ප්‍රේමයේ සුකුමාරතාව කවියට නැගුවෝ කවීහු පමණක් නොවෙත්. සෙස්සෝ ද මේ චමත්කාරය හමුවේ කවියෝ වූවාහුය. මහගම සේකර කවියා මේ පෙළහර පෑමෙහි පළමුවැන්නා නොවුව ද දශක තුනකට වැඩි කලක් බොහෝ තරාතිරම්වල පිරිස් රස විඳි මේ ගීය අදත් ප්‍රේම ගීත විෂයයෙහි ආදර්ශ රූපයක් වැන්න. අව්‍යාජත්වය හා සරළ බවත් සේකර කවියා සතු වාගීෂ්වරතාවත් මෙහි රස උල්පත් ඇරඹෙන තැන්ය. කවියා ඔහුත් ඇයත් අතර ප්‍රේමය සරල ලෙස ද අව්‍යාජ ලෙස ද සංක‍ෂිප්ත ලෙස ද රූපකාලංකාරයකට පිඬුකරයි. ඔහු පාලූ අඳුරු නිල් අහස වන අතර ඇය ඒ පාලූ අඳුරෙහි ඈත දිලෙන තනි තරුව වන්නීය. තනි තරුවක් ඇති අහසට අන් විකල්පයක් තිබේ ද ? ඔහු අසාර වූ මහ පොළොව වන කලට, ඈ ඒ බිම ගලා බස්නා දිය දහර වන්නීය. එසේ ම ඔහු කැලෑව මැද කටු පඳුර වන කලට, එය සරසා පිපී වැනෙන මල් පොකුර වන්නී ද ඇය ය. මේ රූපක පෙළ සරල වනු මෙන් ම එකිනෙකා පැහි සැසෙඳන්නේ එකී පරිසර තුළ අනොන්‍යව ගැලපිය හැකි අනෙකක් ඇතැයි සිතන්නට ඉඩ නොතබාය. තනි තනිව ගත් කල අහස, තරු, පොළොව, දිය දහර ආදී යෙදුම්වල සැබවින්ම චමත්කාරයක් නැත. එහෙත් ඒවා උචිත වැකි - වචන පරිසරයන් හි යෙදුණු කල ඇති කරන්නේ අපූර්ව චමත්කාරයක් මය. එමෙන් ම තනි තනිව ගත් කල නූපදනා ව්‍යංගයක් ද ධ්වනියක් ද එම ප්‍රකරණයෙන් උපදින්නේ ය. ඔහුට ඇයත් ඇගේ ආදරයත් කෙතරම් ඕනෑ කරන්නේ දැයි පළකරනු සඳහා ලොව ඇති තාක් අමිහිරි, කටුක, නිසරු දේ හෙතෙම තමාට පවරා ගනියි. එබඳු අමිහිරක් මිහිරි කරන්නට ද සොඳුරු හා සසාර කරන්නට ද හැකි ඇයට ම බැව් පැවසෙන රූපකාර්ථ ඉක්බිතිව හේ මැනවින් පෙළගස්වයි. [caption id="attachment_673" align="alignnone" width="325" class="centre"]Asara vu maha polawa by saamantha tennege Asara vu maha polawa by saamantha tennege[/caption] වරෙක සෝවියට් කිවිවරයෙකු වූ රසුල් ගම්සටොව් ලියූ කවියක ද මෙබඳු යෙදුමක්, ලේඛන විලාසයක් වූ බැව් මට මතකය. ඒ කවිය දැන් මට අමතක වුවත් ඔහු ද, ලොව දුෂ්කර ගිරිදුර්ග ඔහුට පවරා ගෙන, ඇයට සොඳුරු තැනිතලා පවරා දී තිබු බව නම් මට සිහිවේ. මේ නෑකම් ඇත්තේ කවි සිත්හි මිස ජාති, කුල, ගෝත්‍රයන්හි නම් නොවේ. අසාර වූ මහා පොළොව තෙමා ගලා බස්නා දිය දහර, ගුණීභූත ව්‍යංගයෙන් සරුවූ සිරි ගුණසිංහ කවියාගේ "මතක වස්තුව" නම් කවි පෙළ ද සිහි කරවයි. "පාළු අඳුරු නිල් අහස" ගීයෙහි රචනා රීතිය ගොඩනැගී ඇත්තේ කවර මූලාශ්‍ර ඇසුරේ දයි විමසා බැලීම ද සුදුසුය. දුර සහ සමීප රූපාවලින්ට ඡේදනය කරවන සිනමාරූපි දශ්‍ය ගෝචර රචනා උපක්‍රමයක් මෙහි දී සේකර කවියා යොදාගෙන ඇතැයි බොහෝ විචාරකයෝ කීහ. පාළු අඳුරු නිල් අහසත්, ඈත දිලෙන තනි තරුවත් රූපකාර්ත වශයෙන් ප්‍රතිමුඛ කොට රස භාව ඉපදවීම මෙහි අනුදත් රීතියයි. එබන්දක් අපේ චිරන්තන ගැදි සාහිත්‍යයේදී දැක ගත හැකි වන විසිතුරු අවස්ථාවක් ඇත. විදුසක්විති මහා ගැදි කවියාගේ නාලාගිරි දමනයේ රූපාවලිය, ඔබේ ඒ මතකය අවදි කරවනු ඇති. "ඈත දුලින් වැසී ගිය ඇත් රජයැ. මෑත සවණක් ඝණ බුදුරසින් සැදීගිය බුදුරජාණෝය. ඈත කෝපයෙන් රත්වැ ගිය යවට වැනි ඇස් ඇති ඇත් රජයැ. මෑත කරුණායෙන් තෙත්වැ ගිය නිල් මහනෙල් පෙති පරයන ඇස් ඇති බුදුරජාණෝය. ඈත එබු එබු පයින් මහා පොළොව පළා පියන්නාක් සේ දිවෙන ඇත් රජයැ. මෑත එබු එබු පයින් මිහිකත සහන සඳහා වඩනා බුදුරජාණෝය." රචනයේ දක්නා මේ රූපකාර්ථ ප්‍රතිමුඛ කිරීම් හෙවත් මුණගැස්වීම් සැබැවින් ම සිදුවූයේ කෙසේදැයි අමරදේවයෝ වරක් මා සමග කීහ. එකල සේකර කවියා රාජගිරිය හේවාවිතාරණ විද්‍යාලයේ ගුරුවරයකුව සේවය කරමින් සිටියේය. ඔහුගේ නවාතැන වූයේ ඒ අවට කලබලයෙන් තොර, වෙල්යායක් ඉදිරිපිට වූ නිවෙසකි. චිත්‍රසේනයන් ගේ නල දමයන්ති නිර්මාණය වූයේ ද එකලය. සැන්දෑවේදී මේ කලාකරුවෝ සේකරගේ නවාතැනේ දී මුණ ගැසෙති. මද අඳුර ගලා එද්දී මිදුලට බට සේකර නිහඬව මඳ වේලාවක් අහස දෙස බලා සිටියේය. වෙල්යාය ඉස්මත්තේ වන ලන්දෙහි මල් පිපී වැදිණ. සඳ අහසේ මෝදු වන විට ම තාරකාවක් ද ඈතින් එබිකම් කළේය. අමරදේවයන් කීයේ එදා ඒ දුටු පාරිහාරික විචිත්‍රත්වය ම සේකර අතින් ගීයට නැඟුනු බවයි. සිතුවම - සාමන්ත තැන්නගේ Painting by Saamantha Tennege
shape
Copyright © Kadapatha 2018. All rights reserved. Solution by saamArt