seprator

ඉස්කෝලේ ගිහින් එන ගමන්

seprator
05July 2017
blog_shape
ප්‍රියානන්ද විජේසුන්දර විසිනි (by Priyananda Wijesundara) පසුගිය වතාවේ මව්බිමට ගියාම මං ආපසු ඉස්කෝලේ ගියා. 7 වන පන්තියේ ඉඳලා අ.පො.ස. (සා.පෙ.) දක්වා ඉගෙන ගත්තු පිළියන්දල මධ්‍ය මහා විද්‍යාලයට. ඉස්කෝලේ බලන්න ආසා හිතුනා. ඒත් ගේට්ටුවෙන් ඇතුළට යන්න ටිකක් අමාරු වුණා. මුර කුටියේ උන්නු නිලධාරීන් දෙදෙනාම කෙළින්ම විරුද්ධ වුනේ පෙර දැනුම්දීමක් නොමැතිව පාසල තුළට යන්නට තහනම් නිසා. ඒකට නම් කමක් නෑ කාගෙත් ආරක‍ෂාව අත්‍යවශ්‍යම නිසා. කොහෙද ඉඳලා ආවා වයසක මනුස්සයෙක්. එයාට මාව හඳුනා ගන්නට බැරි උනත් මම එයා හඳුනා ගත්තා. "ලයනල් අයියා" (නියම නම නෙමෙයි) එදා ඉස්කෝලේ අයිතිකාරයා වගේ දවල් රෑ නොබලා ඉස්කෝලේ ආරක‍ෂා කළ, අපිත් ආරක‍ෂා කළ ලයනල් අයියා. "ලයනල් අයියේ - මම විජේසුන්දර" "කවුද? මම දන්නේ නෑ" "මේ ඉස්කෝලේ ඉගෙන ගත්තෙ" "මේ ඉස්කෝලේ ඉගෙන ගත්තු කොච්චර අය ඉන්නව ද ?" ඇත්තටම බැලූවොත් මමත් ඒ අයගෙන් එක්කෙනෙක් විතරයි. "ලයනල් අයියේ මතකද ඉස්සර මේ පිට්ටනියේ සංගීත ප්‍රසංගවල නිවේදන කළේ" "හත්වලාමේ ප්‍රියානන්ද ළමයා" ලයනල් අයියා මා හඳුනා ගත්තා. මට හරිම ලෙන්ගතුකමක් දැනුනේ ඔහු මට "ළමයා" කියලා කතා කළාම. ඉස්කෝලේ යන කාලෙත් කතා කළේ "ළමයා" කියලා. මම ආ කාරණාව ලයනල් අයියාට කිව්වා. ලයනල් අයියා මුර කුටියේ නිලධාරීන්ට විස්තර කියලා මට පාසල ඇතුළට යන්නට අවසර අරන් දුන්නා. කෙළින්ම ගියේ ප්‍රධාන කාර්යාලයට. කවුරුවත් දන්නා හඳුනන අය නෑ. වටේ හැම බිත්තියකම තිබුනු ඡායාරූපවල මම ඉන්නා බව මම දන්නවා. කණිෂ්ඨ ශිෂ්‍ය භට බලකායේ, ජ්‍යෙෂ්ඨ බලකායේ සමූහ ඡායාරූපවල, අන්තර් පාඨශාලීය නාට්‍ය, ගායන තරඟවල සමූහ ඡායාරූපවල මම ඉන්නවා. වීදුරු අල්මාරියක - පලිහ හා කුසලාන. මේවායින් සමහරක් එදා අපි සමුහ වශයෙන් තරඟ කරලා ගත්ත ඒවා. "ඇයි ආවේ ?" එක්වරම කාර්යාලයීය සේවකයෙකු මගෙන් ඇහුවේ හරිම අකාරුණික විදියට. "මම මේ මාව බලනවා" පින්තූර බලන ගමන් මම ඔහුට කීවා. "ඇයි ඔහේ මේ පින්තූරවල ඉන්නව ද ?" "ගොඩාක් පින්තූරවල ඉන්නවා" "කොහොමද ඇතුළට ආවේ ?" "ගේට්ටුවෙන්" දැන් මටත් අකාරුණික ලෙස උත්තර දෙන්න සිදුවෙලා. අසල මේසයක උන්නු සේවිකාවක් ඇයගේ දබරැගිල්ල කීපවරක් හිසට තට්ටු කලේ මං ඔල්මාදකාරයෙකු කියලා වෙන්න ඇති. ඒත් මේ තත්වය වෙනත් පැත්තකට හැරුනේ පිළියන්දල මා දන්නා කෙනෙකු කාර්යාලයට පැමිණි නිසා ඔහු ඉස්කෝලේ ගුරුවරයෙක්. "ප්‍රියානන්ද අයියා කවද්ද ලංකාවට ආවේ ?" මම ඔහුට විස්තර කිව්වා. "දන්නවද මේ කවුද කියලා" ඔහු මගේ විස්තර කියාගෙන කියාගෙන ගියා. ඒ ඔක්කොම අවසන් උනාම මම කිව්වා. "ඒ ඔක්කෝටම වඩා මේ මම ඉගෙන ගත්තු ඉස්කෝලේ" කියලා. කොහොම කොහොම හරි ප්‍රින්සිපල් සර්වත් මුණ ගැහිලා මං අවසර ගත්තා ඉස්කෝලේ ටිකක් ඇවිදින්න. ලංකාවෙන් පිටත්වෙලා වසර විස්සකට පමණ කලින් මං ඉස්කෝලෙට කීප වතාවක් යන්න ඇති. ඒත් දැන් හොඳටම වෙනස් වෙලා. හැම තැනම ගොඩනැගිලි හැදිලා. අපේ සමහර පන්ති කාමර තිබුණු තැනක්වත් හොයා ගන්න බෑ. කුන්දිරා පොල් ගහ තිබුණු තැන හොයන්න මං කීප වතාවක් උත්සාහ කරලා අන්තිමේ අනුමානයෙන් හිතා ගත්තා කුන්දිරා ගහ තිබුණු තැන. මේ ගහ එතරම් උස නෑ. ඒත් කුන්දිරා කුරුම්බා වලූ වටේටම. ලයනල් අයියා මේ කුන්දිරා ගහට සාත්තු කළා. හොරෙන් කුන්දිරා බොන හැටි අපට ඉගැන්නුවේ ලයනල් අයියා. විභාග ළංවෙන කොට ටිකක් කළුවර වැටෙන කල් එකතු වෙලා පාඩම් කරන්න අවසර තිබුණා. ගෙඩි කඩන්නේ නැතුව කුන්දිරා බොන්නත් ඕනා. ලයනල් අයියා ගහේ ගෙඩි ගානත් දන්නවා. බුලත් විටක් කන්න ශත 25 ක් දුන්නාම කුන්දිරා ගෙඩියක් ඉල්ලා ගන්නත් පුළුවනි. ඒත් හොරෙන් බොන දඟකාරකමේ අගයක් තියනවානේ. යාළුවෙක් උපායක් ගෙනාවා. "සේලයින් බටයකින් උරලා බොමු" ඉස්පිරිතාලෙන් කටුවක් සහිත අලූත් සේලයින් බටයක් ඉල්ලා ගත්තේ පරීක‍ෂණයකට කියලා. දවසක් රෑ අපි එකතු වෙලා ලපටි කුන්දිරා කුරුම්බා ගෙඩියක් සේලයින් කටුවෙන් විද්දා. දැන් බලාපොරොත්තුව ඒ වල්ලේ ගෙඩි සේලයින් බටයෙන් උරා බොන්න. ඒත් බටය දිගේ කුරුම්බා වතුර එන්නේ නෑ. "ළමයි මොකද මේ කරන්නේ?" ලයනල් අයියාගේ කෑලි පහේ විදුලි පන්දම අපිට වැදුනා. "පරීක‍ෂණයක් කරනවා" "ලයනල" අයියා දන්නවද චුෂණය ගැන. චුෂණය කියන්නේ ඇදිලා එන එකට! ඉතින් අපි බලනවා චුෂණයෙන් මේ වතුර එනවද කියලා" අපේ එකෙක් උත්තර දුන්නා. ලයනල් අයියා දන්නා චුෂණයක් නෑ. "ඔහොම එන්නේ නෑ. ගෙඩියට කොහෙන් හරි හුලං එන්න ඕනේ. එකට කරන්න තියෙන්නේ තවත් හිලක් හදන එක." චුෂණයෙන් කුන්දිරා වතුර බොන ආකාරය ලයනල් අයියා අපිට කියා දුන්නා. ඊට පස්සේ පාඩම් කරලා ඉවර වෙනකොට ලයනල් පැඑයදා එකට කුන්දිරා බිව්වා. ක්‍රීඩා පිට්ටනිය දෙපැත්තේ එදා තිබුණේ පිරිමි සහ ගැහැණු නේවාසිකාගාර. සරඹ කාලය හරි කෘෂිකර්ම කාලය හරි පරීක‍ෂණාගාර කාලය හරි වෙනකොට හරිම බඩගිනියි. මේ වෙලාවට කරන්නේ ටීචර්ට මොකක් හරි කියලා පිරිමි නේවාසිකාගාරයට රිංගන එක. ඉස්කෝලේ ඇරිලා නේවාසික ළමයි එනකොට ඔවුන්ට දවල් ආහාරය මේසය දිගේ සූදානම්. ආහාර පිසින අය කුස්සියේ වැඩ. මේසය දිගේ දෙපැත්තේ කෑම පිඟන් තියෙන්නේ ළමුන්ගේ ගනනට. එක් මිතුරෙක් කුස්සිය මුර කරන කොට අනිත් අය හැම පිඟානෙන්ම ටික ටික කනවා. මේ වෙලාවට මේක දිව්‍ය භෝජනයක් වගෙයි. හැබැයි මුරුංගා, බණ්ඩක්කා, මුකුණුවැන්න, ගෝවා, නැට්ට තියන බිත්තර (වම්බොටු) නැට්ට නැති බිත්තර (බිත්තර) තමයි හැමදාම මාරුවෙන් මාරුවට තියෙන්නේ. මාලූ කෑල්ලක් තිබුණත් කන්න බෑ. බිත්තරය කන්නත් බෑ. ඒත් කොහොම හරි යන්තම් බඩ පුරවා ගන්නවා. එක් වතාවක් පිරිමි ළමයින් සහ ගැහැණු ළමයින් විනෝද අධ්‍යාපන චාරිකාවක් යන්නට සූදානම් වුණා. පාන්දරින්ම ගමනට පිටත්විය යුතු නිසා නේවාසික නොවූ ළමුන් පවා නේවාසිකාගාරවල නතර වුණා. පිළියන්දල 'සීදේවි' සිනමා ශාලාවේ 'ඒක් ටුල් දෝ මැලි' හින්දි චිත්‍රපටිය පෙන්වනවා ගමනට ගෙදරින් දුන්න රුපියල් දෙකෙන් ශත 55 ක් වියදම් කරලා අපි කට්ටිය සීදේවි ගැලරියට රිංගුවා. ඒත් ආපසු හොරෙන්ම නේවාසිකාගාරයට එනකොට වැඩේ වැරදිලා. මේ හොරකම අසුවූ නිසා පිරිමි ළමුන්ට මේ ගමන යන්න තහනම් කළා. දඬුවම ඒකයි. "කෙල්ලන්ට යන්න දෙන්නෙත් නෑ" උසස් පෙළ පන්තියක හිටපු අයියලා කීප දෙනෙකු කට මැත දෙඩෙව්වා. ඊබට් සිල්වා බස් දෙකක් නතර කර තිබුණත් බස් එකකට නැග්ගේ ගැහැණු ළමයි විතරයි. අපිට ගමන තහනම්. එක එක උසුළු විසුළු කරමින් විකාර කරමින් අපිව කෝප ගන්වා ඔවුන් පිටත්ව ගියා. අපි පුරුදු විදියට ඉස්කෝලේ ආවා. දවල් 10.00 ට 11.00 ට විතර චාරිකාව ගිය බස්රිය ආපසු පාසලට ආවා. අර කටමැත දෙඩූ අයියලා කොහොම හරි විද්‍යාගාරයේ දොර ඇරලා ඇස්ඛෙස්ටොස් පුළුන් අරගෙන බස් එකේ ආසනවලට දාලා. ඉතාම පුංචි කුඩු වගේ කාටවත් නොපෙනෙන මේ ඇස්ඛෙස්ටෝස් කුඩු හමේ ගෑවුනාම පලූ දමා කසන්නට පටන් ගන්නවා. බස් එක කෙළින්ම ගිහින් තියෙන්නේ පිලියන්දල රජයේ ආරෝග්‍ය ශාලාවට එතන නිලධාරීන් තමයි ආසන කීපයකම ඇස්ඛෙස්ටෝස් කෙඳි හොයාගෙන තියෙන්නේ. තවත් කාලෙකට පස්සේ ගැහැණු ළමනු් විතරක් තවත් චාරිකාවක් යන්න සූදානම් වුණා. කලින් වගේම සමහර සිසුවියන් ගැහැණු නේවාසිකාගාරයේ නතර වුණා. පාන්දර තුනට විතර නැගිටලා ළිඳ ළඟට ගිහින් මුහුණු සෝදා ලෑස්ති වෙන්නයි නියමය. රාත්‍රී කාලයේ දී ගැහැණු නේවාසිකාගාරයේ සිසුවියන් ගී ගයමින් සතුටු වුණා. පාන්දර තුනට ඔර්ලෝසුවල නලා ශබ්දයත් ඇහුණා. ඒත් විදුලි පහන් එකවරම දැල්වෙලා නිවී ගියා. පාසලේ අනිත් හැම තැනම විදුලිය තිබුණා. අපේ කට්ටිය මොකද කරලා තියෙන්නේ. හොරෙන්ම ගැහැණු නේවාසිකාගාරය ළඟට ගිහින් එලියේ විදුලි බල්බයක් ගලවලා. එදා තිබුණු තඹ සතයේ කාසියක් බල්බයට තියලා නැවත සවි කරලා. ප්‍රධාන ස්විචය දැමු ගමන් විදුලිය විසන්ධි උනා. පාන්දර යන්න තිබුණු ගමන ගියේ උදේ අටට පමණ. අ.පො.ස. විභාගය ලියලා ප්‍රතිඵල එනතුරු කාලය ඉතාම විනෝද ජනක කාලයක්. අපිට වෙනම පන්තියක් තිබුණා. ගුරුවර ගරුවරියන් එන්නේ ඉඳලා හිටලා. ඒත් අපි හැමදාම ඉස්කෝලේ යනවා. මේසවලට තට්ටු කරලා සිංදු කියනවා. "ආවා පෙම්වතා යන්නේ ඇයි ඔයා දෙනුකෝ පෙම්සිනා - ආදරෙයි කියා" ජෝති වගේම අගර දලා මේසයට තට්ටු කරමින් මම මේ ගීතය ගායනා කළා. යහළුවන් යෙහෙළියන් හරිම සතුටෙන් උන්නා. ඒත් එක්වරම ඔවුන් නිහඬ උනා. ඇත්තටම මං හිතුවේ මගේ ගායන දක‍ෂතාව නිසා ගීතය අහන්න ඔවුන් නිහ~ උනා කියලා. "පෙම්වතා - මෙහාට එමු" විදුහල්පතිවරයා කතා කරනා තුරු මම ජෝති වගේ සිංදුව කිව්වා. එම් ඒ ආර් කුරේ මහතා විදුහල්පති. යමු එමු කියලා තමයි කතා කරන්නේ. හරිම නීති කාරයා. සුදු කලිසම සහ කෝට් එක ඇඳලා වේවැල අරගෙන එන්නේ කිසිම කතාවක් නෑ දිග වේවැලෙන් පෙම්වතාගේ එක අතකට දහයයි. අනිත් අතට දහයයි. හතර හමාරට විදුහල්පති කාර්යාලය වසන තුරු එතනට වෙලා දන ගහගෙන ඉන්න මට සිදුවුණා. ඇත්තටම මේවා ඉතාම අහිංසක දඟකාරකම්. මම මේවා ඔබට කීවේ මා දන්නවා මේ ලිපිය කියවන විට හරි කියවා අවසන් වූ විට හරි ඔබ ඔබේ පාසල් බිමට යන බව. "අංකල් දැන් වෙලාව කිය ද ?" මගේ තාවකාලික පාසල් ශිෂ්‍යභාවය බිඳ වැටුනේ පාසලේ ඉගෙන ගන්නා දරුවෙකු මගෙන් වෙලාව ඇසූ විට. මේ දරුවාට මගේ වයසේ මාමා කෙනෙකු ඇති. මේ දරුවාගේ වයසේ දී මම මේ බිමේ අධ්‍යාපනය ලැබුවා. ජීවිතය ගොඩගත්තා. මං වයසට ගිහින්. තවදුරටත් මං මේ පාසලේ ශිෂ්‍යයෙකු නෙමෙයි. ඒත් ඉස්කෝලේ තවත් වයසින් අඩුවෙලා. ලස්සන වෙලා. මගෙන් වෙලාව ඇසු දරුවා දවසක මගේ වයසට ඒවි. "අංකල් වෙලාව කීයද ?" කියා සමහර විට මේ බිමේදීම ඔහුගෙන් ද තවත් දරුවෙකු අසාවි. ඒත් ඉස්කෝලේ වයසට ගිහින් නෑ.
05July 2017
blog_shape

කපිල කුමාර කාලිංග විසිනි

පසුගිය දිනවල ලංකාව පුරාම මහ වැසිය. ගංවතුරය. නාය යාම්ය. මධ්‍ය කඳුකරයට ද කාලගුණ වාර්තා බිඳ හෙළමින් වැසි ඇද හැලේ. පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ලලිතකලා අංශයෙහි දේශන කීපයක් යෙදී තිබුණු බැවින්, අයහපත් කාලගුණය නොතකා මට එහි යාමට සිදුවිය. ලලිත කලා අංශය පිහිටා තිඛෙන්නේ, සරසවි බිම මැදින් ඉහළට ඇදෙන උඩ පේරාදෙණිය පාරේ, උස් බිමකය. එය හුදෙකලා, නිශ්ශබ්ද ස්ථානයකි. උඩු මහලේ ඇති පුළුල් සඳළු තලයට ගියවිට අවට පරිසරයේ සුන්දර දසුනක් දැකගත හැකිය. මගේ දේශනවලට ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට අමතරව, අවට වනයේ සිටින වඳුරන් ද සහභාගීවීමට උත්සාහ කරන බැවින් ශාලාවේ දොර කවුළු නිතරම වසා තැබීමට සිදුවෙයි. පසුගිය දිනෙක මම ස්වභාවිකවාදී ගුරු කුලයේ නාට්‍යකරුවනට, ඩාවින්ගේ පරිනාමවාදී මතිමතාන්තර බලපෑ අයුරු විස්තර කරමින් සිටියෙමි. "සර්... සර්... වඳුරො ඇවිල්ලා" යි ශිෂ්‍යාවන් හඬ නැගුවාය. සුළඟින් විවර වු කවුළුවකින් වඳුරෙකු ඇතුළට එබී බලා සිටියේය. 'මිනිසා පැවත එන්නේ අපගෙනි' වැනි අදහසක්, වඳුරාගේ දෑසින් පළවුණි. "කැමති නං ඇතුළට එන්න. නැත්තං අපිට කරදර නොකර යන්න." මම කීවෙමි. සිසුන්ගේ සිනාහඬ මධ්‍යයේ වඳුරා ආපසු ගියේය. දහසක් දෙනා වෙසෙන තැනක් වුව ද මේ වැසිබර සන්ධ්‍යා කාලයන්හී, සරසවි බිම මහත් පාළු, ශෝකී ස්වභාවයක් ගනී. දේශන නිමවීමෙන් පසු ඉහළ මාලයේ සැදැල්ලට යන මම තවත් මොහොතක් එහි රැඳී සිටින්නේ ඒ පාළු, ශෝකී පරිසරය විඳ ගැනීමේ ආශාවෙනි. පේරාදෙණි සරසවි බිම හා හන්තාන කඳු වැටිය පිළිබඳව කොතෙක් කව්, ගී, කතා සාහිත්‍යයට එක්වී ඇද්ද? පේරාදෙණි සරසවි සුන්දරත්වය ගැන ඉතාම රමණීය වර්ණනය ඇත්තේ මහාචාර්ය සුචරිත ගම්ලතුන්ගේ "ගුරුගුණ සමර - මහාචාර්ය සරත්චන්ද්‍රයන් පිළිබඳ සැමරුම් ග්‍රන්ථයෙහි" යැයි සිතමි. එතුමන් පවසන අන්දමට, මුළු සරසවි උයනම සැණකෙළි වෙස් ගත් කලෙක මෙනි. සිහින ලෝකයක් වැන්න මනරම්ය. එක් පසෙකින් මිහිඳුම් සළුව වැළඳ සැරසෙන හන්තාන කඳු වැටි පෙළින් ද, අනෙක් පසින් මහවැලි නදියෙන් ද හමා එන සිහිල් පවන් රැල් අනේක කුසුම් සමූහයෙන් හමන බහුවිධ සුගන්ධයෙහි තැවරී හමාවිත් ගත වැළඳ ගනී... මෙබඳු අසිරි සිරිසර සපිරි සරසවියක් කෙසේ නම් ලක් මිහිමත පහළවීදැයි ඔහු මවිතයට පත්වෙයි. ගම්ලතුන්ගේ වරණනාවට ලක්වූයේ දශක කීපයකට ඉහත පැවති පේරාදෙණි සරසවි බිම වුව ද, තවමත් එය සාධාරණ යැයි සිතෙයි. වෙනසකට ඇත්තේ නම් ඒ එහි වෙසෙන මානවක මානවිකාවන් හා ඇදුරන්නේ ඇවතුම් පැවතුම්, ආකල්ප විකල්ප හා ජීවන තත්වයන් පමණි. පසුගිය දිනෙක, මද වැසි සහිත සැඳෑවක මම සරසවි බිම මැදින් දිවෙන පාරට පිවිස, ගලහ හන්දියට (නුවර පාරට) යනු පිණිස ත්‍රීරෝදයකට නැගුනෙමි. අතරමග තැනෙක තවත් ත්‍රීරෝදයක් නතර කොට තිඛෙනු දුටු අප රියැදුරා, එහි මදක් නවතා, කිසියම් ප්‍රශ්නයක්දැයි විමසීය. එහි රියැදුරා, ඉන්ධන ස්වල්පයක් ඉල්ලීය. තමන් සතුව ද ප්‍රමාණවත් ඉන්ධන නැති බව කියූ අප ත්‍රිරෝදකරු, ඔහුගේ වම්පාදය ඉදිරියට දමා, "ආබාධිත ත්‍රීරෝද රිය" තල්ලූ කරන්නට ගත්තේය. ඔහු, තරබාරු ශක්තිමත් පුද්ගලයෙකි. ඉදිරිපසින් යන ත්‍රීරෝදය, ගලහ හන්දිය දක්වාම තම පාදයෙන් ගෙනයාමට ඔහු සමත් විය. පොඩි එහා මෙහාවකින් තම පාදය තුවාලවීමට හෝ උළුක්කුවීමට ඉඩ තිබුණ ද, සම රැකියාවෙහි නියුතු එම නාඳුනන සගයාට උපකාර කිරීමට ඔහු නොපැකිළුණි. පසුපස අසුනේ සිටි මා තුළ ද, ඒ දැකීමෙන් ඇතිවූයේ සතුටකි. නුවර පාරේ බස් නැවතුමට මා යනවිට, වැසි තද කෙරුණි. ඒ සමගම එහි පැමිණි ත්‍රීරෝදයක සිටි රියැදුරෙක්, බස් නැවතුමේ සිටි කීපදෙනා දෙස බලමින් මෙසේ හඬ නැගුවේය. "රුපියල් පනහයි. නුවරට පනහයි යනව නං නගින්ඩ." මේ තවත් පරෝපකාරී රියැදුරෙකි. මම දෙවරක් නොසිතා එහි නැංගෙමි. මෙහි සිට මහනුවර නගරයට ත්‍රීරෝද ගාස්තුව රුපියල් දෙසීයක් පමණය. එහෙයින්, මේ වැසි වෙලාවෙ මෙය ලාභයකි. ඉක්මනකි. මදක් ඉදිරියට යද්දී ත්‍රීරෝදකරු මා දෙස හැරී, "මහත්තයා කොහෙටද යන්නේ ?" යැයි ඇසීය. "ඔරලෝසු කණුව ළඟ බස් ස්ටෑන්ඩ් එකට." "මම නං යන්නෙ ඉස්පිරිතාලෙ ළඟට." "කමක් නෑ මං එතනින් බැහැල පයින් යන්නං." මං එසේ පැවසුවේ එතරම් කැමැත්තකින් නොවේ. සුළු දුරක් හෝ මේ වැස්සෙ පයින් යාම කරදරයකි. අනික් අතට, "නුවර යනවා" යැයි මුලින් කීමෙන් මොහු කළේ වංචාවකි. අතරමගදී තවත් දෙදෙනෙකු නංවා ගත් ඔහු ඔවුන්ගෙන් රුපියල් සීයක්ම අයකර ගත්තේය. ඔවුහු මද දුරක් ගොස් රථයෙන් බැස ගත්හ. තවත් සුළු දුරක් ගමන් ගත් රථය, යළිත් නතර කෙරුණි. "මහත්තයා මට විනාඩි දහයක් දෙන්ඩ. නොම්බි අරින්ඩ වෙලාව කිටිටුයි. කැඳ එකක් තියෙනවා අරං එන්නං." රියැදුරා පාර පැන හෝටලයක් තුළට දිව ගියේය. තවත් විනාඩි දහයක් පමණ ගමන ප්‍රමාද විය. (බස් රථයක පැමිණියේ නම් මුළු ගමනටම ගතවනුයේ විනාඩි 20 -30 අතර කාලයකි. ගමන් ගාස්තුව රුපියල් 15 ක් පමණය.) දැන් මට සිදුවී ඇත්තේ බැඳගත් ඛෙරය ගැසීමටය. අධික වර්ෂාව නිසා, ත්‍රීරෝදයෙන් බැස බසයකට ගොඩවීම ද දුෂ්කරය. යළි ගමන් ඇරඹු රියැදුරා, නගරය දෙසට ගමන් නොකර රෝහල දෙසට ඇති අතුරු පාරකට රථය හැරවීමට උත්සාහ කළේය. "මේ කොහෙද යන්නෙ...?" මම විරෝධය පළ කළෙමි. "ඉස්පිරිතාලෙට." "මාව බස් ස්ටෑන්ඩ් එකෙන් දාල යන්ඩ. මෙහෙන් ගියාම මට සෑහෙන දුරක් පයින් යන්ඩ වෙනවනේ." "ස්ටෑන්ඩ් එකට ගියාම, මට ආපහු හරවගෙන එන්ඩ වෙනවා. මං මහත්තයව ටවුමටම ගිහිං දාන්නං මට ඒකට හයර් එක දෙන්ඩ." රුපියල් පනහට නුවර යාමට අඬ ගැසූ මොහු, දැන් තවත් කුලියක් ලබා ගැනීමට අර අඳී. අනික් අතට මේ කරන්නේ මහා වර්ෂාවට කොටුව සිටින මා ප්‍රාණ ඇපකාරයෙකු බවට පත්කර ගැනීමය. වැස්සෙ හෝ රථයෙන් බසින්නෙමියි තීරණයකර ගත් මම, බෑගය අතට ගත්තෙමි. "මාව මෙතනින් දාල යන්ඩ." එවිට රථය ඉදිරියට පැද වූ ඔහු, නගරයට ඈතින් ඇති 'ගුඩ්ෂෙඩ්' නම් බස් නැවතුමේ වතුර වළක් අසල එය නතර කළේය. "පව්නෙ... ඒකයි මෙතනටම ආවෙ. මං ආපහු හරවං යන්ඩත් ඕනේ... කමක් නෑ. පව්නේ..." ඔහු දැන් මට අනුකම්පා කරයි. "සල්ලි දුන්නේ නෑ." ඊළඟ මොහොතේ පවසයි. මම රුපියල් පනහ ඔහු අත තබා. බෑගය තුළින් කුඩය ගෙන දිග හරිමින් "ස්තුතියි" වත් නොකියා රථයෙන් බැස ගත්තෙමි. "ආ කුඩයක් තිබිල නේද?" ඔහු කියනු මට ඇසුණි. එහි යටි අදහස, කුඩයක් මා ළඟ ඇතැයි දැන ගත්තේ නම් මා අතරමගම දමා ඒමට තිබූ බව නොවේ ද ? උදෑසන සිටම, පේරාදෙණි සරසවි බිම රැඳී සිටීමෙන් සිතෙහි ඉපිද තිබූ සොම්නස් හැඟුම්, මේ කුඩා සිද්ධියෙන් පසු යටපත් වී ගියේය. ඔහුගේ සිතෙහි රජකළේ වංචනික සිතිවිල්ලකි. මුදල් තණ්හාවකි. අයහපත් කාලගුණය ද, තම වාසියට හරවා ගත් ඔහු කපටි පහත් පෙළේ උත්සාහයක යෙදුණේය. ඒ මොහොතේ ඔහුට දෙවියන් අමතක වුණි. ඒ මේ ලොවින් තවත් එකෙකි. මම ද ඔහුට "පව්" යැයි කියමි. මේ සිද්ධියට පසු දින උදෑසන, පේරාදෙණි සරසවියට ගිය මට අසන්නට ලැබුණේ සිත කම්පා කරවන ශෝචනීය පුවතකි. සරසවි ශිෂ්‍යාවක උපාධි ප්‍රදානෝත්සවයෙන් දින කීපයකට පසු, දුම්රියට ගෙල තබා හෝ ඊට හසුවී මිය ගොසිනි. බොහෝ දෙනා කියනා අන්දමට එය ප්‍රේම සම්බන්ධයක් බිඳී යාමෙන් ඇතිවූ සිත් තැවුල නිසා, සිය දිවි නසා ගැනීමකි. දැනටමත්, මේ ශිෂ්‍යාවගේ පාසල් ජීවිතයේ සිටම නොඑසේ නම් උපන්දා සිටම, තොරතුරු සොයා මාධ්‍යකරුවන් "ක්‍රියාන්විතයකට" බැස සිටිනු නිසැකය. මෙය විකිණිය හැකි "නියම ස්ටෝරි" එකකි. හාමතේ පසු වූ සිවලෙකුට, ගෙරි කුණක් හමුවු කලෙක මෙන් ලංකාවේ මාධ්‍ය ඉන් කුස පුරවා ගනු ඇත. මගේ ගැටලූව එතැන නොවේ. පේරාදෙණි සරසවිය වැනි සුන්දර පරිසරයක වසර ගණනාවක් කල් ගෙවූ අහිංසක මානවිකාවකට, එබඳු දරුණු මානසිකත්වයක් ඇතිවූයේ කෙසේ ද? මට එදින දෙසුමට විෂය වී තිබුණේ ඔගස්ටස් ස්ට්‍රින්ඩ්බර්ග්ගේ සුප්‍රකට නාට්‍යය "යුලී මෙනවිය" යි. යුලී මෙනවිය ද අවසානයේ දී තමන් සයනයට ගත් සේවකයාගේ දැලි පිහියෙන් ගෙළ සිඳගෙන මිය ගියාය. දිවි නසා ගැනීම යනු ආත්ම මූලික ගැළවීමක් ද? නොඑසේ නම් වෛරී සහගත පලිගැනීමක් ද? සෑම දිවි නසා ගැනීමකටම දඬුවම් ලැබිය යුත්තේ සමාජය යැයි මම සිතමි. මා ද ඒ සමාජයෙහිම එකෙකි.
19August 2016
blog_shape
සාමන්ත තැන්නගේ විසිනි (by Saamantha Tennege) ඕස්ට්‍රේලියාවේ ක්‍රීඩා වංශකතාව තුළ ඉහළින්ම රැදී ඇති නම ඩොන් බ්‍රැඩ්මන්ය. ඩොන් බ්‍රැඩ්මන් යනු මෙතෙක් කාලයකට ලොව පහළ වූ හොදම පිතිකරුවා බව විවාදයෙන් තොරය. ඔහු එතරම්ම දක්ෂ පිතිකරුවෙකු වූයේ නිකම්ම නොව ඔහුගේ අප්‍රතිහත ධෛර්යය නිසාය. ඩොන් පිතිකරණය පුරුදු වූයේ විකට් පොල්ලකින් ගොල්ෆ් බෝලයකට පහර දීමෙනි. ටෙස්ට් තරඟ 52 කදී ලකුණු 6696 ක් රැස්කළ ඔහුගේ පිතිකරණයේ සාමාන්‍ය 99.94 කි. එදා මෙදා තුර බ්‍රැඩ්මන්ගේ පිතිකරණයේ සාමාන්‍ය අසලකටවත් ඒමට වෙනත් කිසිම පිතිකරුවෙකු සමත් වී නැත. ඩොන් බ්‍රැඩ්මන් ඕස්ට්‍රේලියාවටත්, ඕස්ට්‍රේලියානුවන්ටත් කළ සේවය හුදු පිතිකරණයේ සීමාවෙන් එහාට ගිය එකක් බව දන්නා අය අතලොස්සකි. 1930 ගණන් යනු ඕස්ට්‍රේලියාව ඉතා උග්‍ර ආර්ථීක අවපාතයකට ලක්ව පීඩාවිඳි යුගයකි. විරැකියාව, දුප්පත්කම හා උද්ධමනයෙන් ඕස්ට්‍රේලියානුවන් බැට කෑ ඒ යුගයේ ක්‍රීඩාවේ ප්‍රතිමුර්තිය බවට පත්වෙමින් බ්‍රැඩ්මන් ජනතාව පෙළුනු අසහනය මොහොතකට හෝ වෙනතකට හරවා ඔවුන්ට මදකට සතුටු වන්නට අවස්ථාවක් සලසා දුන්නේ ය. ලාංකිකයා එක්දාස් නවසිය අනූව දශකයට පය තැබුවේ දෙකොණ විලක්කුවකින් බැට කමිනි. එක් අතෙකින් දකුණේ මිනිස් ඝාතන රැල්ල අවසන් වූවා පමණි. අනෙක් අතින් තවදුරටත් උතුරේ යුද්ධය හිඟන්නාගේ තුවාළයක්ව පැවතුණි. පෙනෙනතෙක් මානයකවත් බහුතර ලාංකීය ජනතාවගේ අභ්‍යන්තර හා බාහිර ගැටලූ විසෙඳන සේයාවකුදු නොවීය. යුද්ධයෙන් බැට කෑ ජනතාවගේ ඔද්දල් වූ සිත් තුළට ජොතිශ්‍යකාරයෝත්, බණකාරයෝත්, බයිලාකාරයෝත් ඈ එකී මෙකී නොකී විජ්ජාකාරායෝ කුරුමාණම් අල්ලමින් සිටියහ. දකින්නට හරිහමන් සිහිනයකුදු නොවූ එකල ජනතාවගේ දැවෙන මනස මදකට හෝ නිවා සනසන්නට සමත් වූයේ හැමදාම පැරදෙමින් සිටි ශ්‍රී ලාංකික ක්‍රිකට් කණ්ඩායම ජයග්‍රහණයන්ගේ පහස ලබන්නට වීමත් සමගය. එසේ ඇරඹි ජයග්‍රාහී ශ්‍රී ලංකා ක්‍රිකට් වංශකතාව තුළ ඕස්ට්‍රේලියාවේ ඩොන් බ්‍රැඩ්මන් බඳු ලෝක පූජිත ක්‍රීඩා ප්‍රතිමුර්තියක් බිහිවූවා නම් ඒ මුත්තයියා මුරලිදරන් නොවේ ද ? විකට් පොල්ලකින් ගොල්ෆ් බෝලයට පහර දී පුහුණු වූ බ්‍රැඩ්මන්ට පිත්තකින් ලෙදර් බෝලයකට පහරදීම කජු කනවා මෙන් වන්නට ඇත. ඔහුගේ පිතිකරණයට හා සමතැන්ගන්නට තවත් වසර සීයක් ගත වුවද වෙනත් අයෙකුට හැකියාවක් ලැඛෙතැයි සිතීම අසීරුය. විකට්ටුවක් මත වීදුරුවක් තබා, ඒ වීදුරුවේ දාරය මත කාසියක් තබා, වීදුරුව නොවැටී හරියටම එම කාසිය පමණක් වැටෙන පරිදි පන්දු යැවිය හැකි අයෙක් සිටියා නම් ඒ මුත්තයියා මුරලිදරන් ය. ඔහු අතට පෙර දෙනෙතින් පිතිකරු මෙල්ල කරයි - මුලාකරයි. ඔහුට විදාගත් දෙනෙතින්ල සිතාගත් ඉලක්කයටල දෑස පියාගෙන වුවද පන්දු යැවිය හැකිය. ලෝක ක්‍රිකට් වංශකතාවේ පිතිකරුවෙකුට හිමිකරගත හැකි උසස්ම සම්මානය හිමිවන්නේ ඩොන් බ්‍රැඩ්මන්ටම ය. පන්දු යවන්නන් අතරින් ඒ සම්මානය හිමිවන්නේ මුරලිටම ය. බ්‍රැඩ්මන්ව හා මුරලිව සසඳා බලන්නට අපට සිතුණේ කරුණු දෙකක් නිසාවෙනි. ඉන් පළමුවැන්න නම් 2016 ජූලි මස ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වෙමින් සිටින ඕස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායමේ දඟ පන්දු යවන්නන් පුහුණු කිරීමට දින දහයක කොන්ත්‍රාත්තුවක් අත්සන් කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති කළ ප්‍රකාශ නිසාය. දෙවෙනි කාරණය වන්නේ 1996 පටන් මුරලිට එරෙහිව ඕස්ට්‍රේලියානු ක්‍රිකට් විනිසුරුවන්ගෙන් එල්ල වූ කෙණෙහෙලිකම්ය. මුලින්ම අපි දෙවෙනි කාරණය ගනිමු. 1996 මුරලිට එරෙහිව චෝදනා එල්ල කරන විට ඕස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායම කෙරෙහි ඇතිකරගත් බද්ධ වෛරය මෑතක් වන තෙක්ම අප තුළද පැවතුණු බව බොරුවක් නොවේ. ඕස්ට්‍රේලියාවේ ජීවත් වන ශ්‍රී ලාංකිකයෝ බොහෝ දෙනා අදටත් ඕස්ට්‍රේලියානු පිළට එම කාරණය නිසාම වෛර කරති. 1975 පැවති ලෝක කුසලානයේදී ඕස්ට්‍රේලියාව ශ්‍රී ලංකාව අතින් පරාජය නොවී බේරුණේ කායික අඩන්තේට්ටම් වලිනි. 1996 වන විට පන්දුවෙන් හානිකර තරඟ දිනන්නට හැකියාවක් නොතිබුණි. එසේ නම් කළ යුතුව තිබුණේ මානසික අඩම්තේට්ටම්ය. මුරලිට එරෙහි චෝදනා එම නාටකයේම කොටසක් වන්නට ඇත. එදා මුරලිට වෙනුවෙන් සටන් පෙරමුණේ ඉදිරියෙන්ම සිටියේ එවකට ක්‍රිකට් නායක අර්ජුන රණතුංගය. එදා පිටිය තුළත්, ඉන් පිටතත් අර්ජුන සිය නායකත්වය මැනවින් විදහා පෙන්විය. 1996 වන විට ලංකාවේ කුඩාදරුවාගේ පටන් ගමේ අත්තම්මා දක්වා සියල්ලෝම ක්‍රිකට් උන්මාදයෙන් පෙළුණහ. ලංකාවේදී අප සිතුවේ ඕස්ට්‍රේලියාවේ තත්ත්වයත් එබඳු බවය. ක්‍රිකට් යනු ඕස්ට්‍රේලියාවේ ජනප්‍රියම ක්‍රීඩාව නොවන බව තේරුම් ගැනීමට අපට මේ රටට එන්නටම විය. එමෙන්ම මේ රටේ ෆුටී, රගර්, ටෙනිස්, පාපන්දු හෝ ක්‍රිකට් යනාදී ක්‍රීඩාවන්ට සහාය දක්වන වෙන වෙනම පිරිස් සිටීමෙන් සමස්ථයක් වශයෙන් සියලූම ක්‍රීඩා උසස් තත්ත්වයක පැවතීමට හේතුවන බව අපේ අදහසය. ඕස්ට්‍රේලියාව හා ඉන්දියාව හෝ ශ්‍රී ලංකාව අතර ඕස්ට්‍රේලියාවේ ක්‍රිකට් තරඟයක් පැවතුණොත් මෙහි පුරවැසිබව ලබා සිටින ඉන්දියානුවොත්, ශ්‍රී ලාංකිකයෝත් ඔල්වරසන් හඬ නඟන්නේ ඕස්ට්‍රේලියාවට එරෙහිවය. ඕස්ට්‍රේලියාව හා නවසීලන්තය අතර රගර් තරඟයක් පවතින විට මෙහි සිටින නවසීලන්ත සම්භවයක් ඇති අය ඔල්වරසන් හඬ නගන්නේද ඕස්ට්‍රේලියාවට එරෙහිවය. ඕස්ට්‍රේලියාව හා ඉතාලිය අතර පාපන්දු තරඟයක් පවතින විට මෙහි සිටින ඉතාලි සම්භවයක් ඇති අය ඔල්වරසන් හඬ නඟන්නේද ඕස්ට්‍රේලියාවට එරෙහිවය. කවුරු ආවත් ගියත්, කාට කෑ ගැසුවත් ඕස්ට්‍රේලියාවේ ක්‍රීඩා කලමනාකරණය වැටෙන්නේ නැත. වැටුණත් ඔවුහු වහා ගොඩ එනවා නොවේ ද ? මෙවැනි තත්ත්වයක් ලංකාවේ තිබුණා නම්, අපට මොනවා වෙයිද ? අපි මොනවා නොකියයිද ? අපි මොනවා නොකරයි ද ? [caption id="attachment_1411" align="alignnone" width="776"]Murali by Saamantha Tennege Murali by Saamantha Tennege[/caption] 1996දී ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරු වූයේ ඩේව් වට්මෝර් ය. භෞත චිකිත්සක ඕස්ටේලියානු ජාතික ඇලෙක්ස් කොන්ටෝරිය. කිසිම ඕස්ට්‍රේලියානුවෙක් ඔවුන් කළ රැකියාවේ සදාචාරය ගැන විමසුවාද ? ලංකාව ලැජ්ජා විය යුත්තේ අදටත් අපේ අම්මලා ආරාබියට පටවා ගෙදර වියදම හොයා ගන්නා නිසා මිස ජාත්‍යන්තර තළයේ ක්‍රීඩා පුහුණුකරුවන් බිහිවීම නිසාද ? හතුරුසිංහ, වාස්, මහේල වැනි අයගේ උපදෙස් වෙනත් රටක් හෝ ලබාගන්නවා නම් එහි ඇත්තේ කවර වරදද ? එක්තරා ඇමතියෙක් තමන්ගේ අමාත්‍යාංශයට රැකියා නැති මිනිසුන් අර්ධ ශතකයක් උපදේශකවරු තනතුරු දී බදවා ගත්තා සේ රට වෙනුවෙන් ක්‍රීඩා කළ සියල්ලටම ශ්‍රී ලංකා කි්‍රකට් ආයතනයේ රස්සා දීමට හැකියාවක් නැත. නූගත්කමින් දෙන උපදෙස් වලට වඩා උගත් දෙයින් උපදෙස්දීම තරම් ආශ්වාදයක් තවත් කොයින් ද ? අපට සුද්දාගෙන් ඉගෙන ගත හැකි නම් සුද්දා අපෙන් ඉගෙන ගැනීම නොහොත් අපි සුද්දාට ඉගැන්වීම වරදක් වන්නේ කෙසේද ? ඔවුන් අපේ අයට ඔවුන්ට උගන්වන්නට ආරාධනා කිරීම අපට කරන ගෞරවයකි. එමෙන්ම එය අපට ආඩම්බරයකි. ගෞරවය හා ආඩම්බරය අප විඳගතයුත්තේ මධ්‍යස්ථව මිස හැඟීම් වලට වහල්වීමෙන් නොවේ. ඕස්ට්‍රේලියාවේ ජනගහනය ආසන්න වශයෙන් තවමත් ලංකාවේ ජනගහනයට සමානය. 2012 ඔලිම්පික් වල ඕස්ට්‍රේලියාව අට වෙනි තැන ගන්නා විට ලංකාව අන්තිම අඩියේය. මීට හේතුව ඕස්ට්‍රේලියාව ධනවත් රටක් වීමම ද ? ඔවුන්ගේ නිවැරදි දැක්මක් සහිත කලමණාකාරිත්වය ද ? ක්‍රිකට් මුල් පුටුවට ඒමට වලිකන ඕස්ට්‍රේලියානුවන්ව අපි දැක නැත්තෙමු. එබඳු ලාංකිකයෝ නම් ඇති තරම් දැක ඇත. ඕස්ට්‍රේලියාවේ සභාපතිලාට ඇත්තේ අභිමානය ය. ලංකාවේ සභාපතිලාට නැත්තේ ලැජ්ජාව ය. ඕස්ට්‍රේලියානුවා මුරලිගෙන් දඟපන්දු යවන්නට ඉගෙන ගත් පමණින් ලංකාවේ සභාපතිගෙන් සභාපතිකම් කරන හැටි ඉගෙන ගන්න සිහිනෙන්වත් සිතනු ඇත්ද ? ජනතාව අතින් ප්‍රතික්ෂේපව පැරදුනද, පරාජය බාර නොගෙන යළි පස්සා දොරින් කරලියට පිවිසෙන්නට තරම් ලැජ්ජාවක් නැති අය මුරලිගේ සදාචාරය ගැන කතාකිරීම පවා ලැජ්ජාවක් නැතිවීම රටේම අභාග්‍යක් නොවේ ද ? පැරදුණේ නැතත් ලැජ්ජාවක් නැති අය හා තරඟ කිරීමෙන් වැළකී 1996 ලෝක කුසලානය දිනාගැනීමට මූලික අඩිතාලම දැමූ ආනා පුංචිහේවාගේ සේවය අහිමිවීමද කුදුමහත් රටකම අභාග්‍යක් නොවේ ද ? මට වැරදුණේ ඕස්ට්‍රේලියාවේ පදිංචියට පැමිණ බොහෝ කාලයක් යනතුරුත් ඕස්ට්‍රේලියානු ක්‍රිකට් පිළට මාද වෛර කිරීමය. මා දන්නා තරමට ඕස්ට්‍රේලියානු ජාතික විනිශ්චයකරුවන් හැරුණු කොට ප්‍රසිද්ධියේ මුරලිට එරෙහි වූ අයෙක් වූවා නම් ඒ හිටපු ඕස්ට්‍රේලියානු අගමැති ජෝර්න් හොවාඩ් පමණය. වෙනත් කිසිදු ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයෙක් මුරලිට එරෙහිව ගිය බවක් මම නොදනිමි. ශේන් වෝන් පවා කීවේ මුරලිගේම මානසික සහනය පිණිස ඔහුගේ පන්දු යැවීම පරික්ෂාවට ලක් කිරීම හොඳ බවය. මුරලිගේ පන්දු යැවීම නීතියානුකූල බව මුලින්ම සහතික කරනු ලැබුවේද ඕස්ට්‍රේලියාවේ පර්ත් නුවර පැවති පරීක්ෂණයකිනි. 2004 ඔහුගේ පන්දු යැවීම නිවැරදි බවට තහවුරු කළ අය අතර ඕස්ට්‍රේලියාවේ හිටපු ක්‍රිකට් ක්‍රීඩක මයිකල් ස්ලෙටර්ද විය. ඒ විතරක්ද ? බොහෝ ශ්‍රී ලාංකික ක්‍රීරඩකයන් අදටත් තමන්ගේ ශාරීරික ආබාධයන්ට ප්‍රතිකාර ලබාගන්නේද ඕස්ට්‍රේලියානු විශේෂඥයන්ගෙන් නොවේ ද ? අප අදටත් ඩෙංගු රෝගයට, පිළිකාවන්ට හෝ ඒඩ්ස්වලට ඛෙහෙත් හොයා ගත්තා යැයි කියන හොර තක්කඩින්ට පත්තර පිටුගණන් වෙන් කරන ජාතියකි. එහෙත් වෛද්‍ය ක්ෂේත්‍රයේ දියුණුවට ඕස්ට්‍රේලියාව කෙතරම් පරීක්ෂණ කරනවාද ? විවිධ පිළිකාවන්ට ප්‍රතිකාර සඳහා කෙතරම් පරීක්ෂණ කරනවාද ? ඒවා ලංකාවේ මෙන් සුද්දා හොරාගනිතැයි යන මුළාවෙන් එකට කෙටූ ශාකපත්‍ර ගැන නොදොඩන අත්භූත ඛෙහෙත් නොව හේතු සාධක මත ගොඩනැගුණු ඒවාය. නිදසුනක් මෙන් ඉතා මෑතකදී සිඩ්නි නුවර ජීවරසායන විද්‍යාඥ පිල්ප් හොග් කළ පරීක්ෂණය ගනිමු. තවමත් පරීක්ෂණ මට්ටමේ පැවතියද, ඔහු මුලින්ම කළේ පිළිකාවක සෛල විභේදනය වීමට අදාල ප්‍රෝටීනය හඳුනා ගෙන එම ප්‍රෝටීනය අකර්මණ්‍ය කළ හැකි ඔෟෂධයක් සොයාගැනීමය. මුරලි පන්දුව දමා ගසන බව කී ඕස්ට්‍රේලියානුවෝ ඔහු පන්දුව දමා නොගසන බව කියන්නේද අප මෙන් ආවේගයන්ට යටත්ව නොව විධිමත් පරීක්ෂණ ක්‍රමවේදයක් අනුගමනය කිරීමෙනි. අපේ සභාපතිලා කියන්නේ මුරලිව තුන්වතාවක් බේරාගත් නිසා මුරලි ඕස්ට්‍රේලියානුවන් පුහුණු කිරීම සදාචාර විරෝධීබවය. මුලින්ම කිවයුත්තේ සභාපතිට එහෙම කතාවක් කියන්නට පවා සදාචාරයක් නැති බවය. මක්නිසාදයත් කණ්ඩායමේ ක්‍රීඩකයෙකුට ප්‍රශ්නයක් ඇතිවන විට කලමණාකාරිත්වය එසේ කටයුතු කිරීමට කවුරුවත් කියනතුරු සිටිය යුතු නැත. එය ඔවුන්ගේ වගකීමක් මිස යුතුකමක් නොවේ. අනෙක් අතට අප ලැජ්ජා විය යුත්තේ ක්‍රීඩාවෙන් විශ්‍රාමගත් ක්‍රීඩකයෙකු කරන රැකියාව, එම ක්‍රීඩකයා වෙනුවෙන් ක්‍රිකට් සංගමය පෙර ඉටුකළ රාජකාරියට හිලව් වියයුතුයැයි සිතන සභාපතිවරයෙකු සිටීමය. කෙසේ වෙතත් තමන්ට එරෙහිව එල්ල වූ චෝදනාවන්ගෙන් නීත්‍යානුකූලව නිදහස්වීම නිසා මුරලිගේ ජනප්‍රියත්වය මතු නොව දක්ෂතාව පවා තව තවත් ඔප් නැගුනා නොවේද ? බොහෝ විට කෙනෙකුට ජීවිතයේ ඇතිවන බාධා කම්කටොලූ පසුකාලීනව ඔවුන්ගේ ජීවිතවලට ආලෝකයක් වෙයි. එබදු බාධක නොතිබුණානම් මුරලිගේ ජීවිත කතාවද තවත් එක් දඟපන්දු යවන්නෙකුගේ කතාවක් වියහැකිව තිබුණා නොවේද ? මේ සියලූ කාරණා සලකා බලන කළ අප ඕස්ට්‍රේලියානුවන්ට කෘතඥවිය යුතු නොවේ ද ? ඔවුන් නොවන්නට මුරලි මේ තරමට ජනප්‍රිය නොවන්නට ඉඩ තිබුණි. වෛරයෙන් වෛරය නොසන්සිදෙන බව උපදිනකොටම දැනසිටියේ අපය. පිළිපදින්නේ උන්ය. සමනළයෙක් මෙන් පියාඹා මී මැස්සෙක් මෙන් මුෂ්ඨි පහර දුන් මොහොමඩ් අලී අයිති ඇමරිකාවට විතරක් නොව මුලූ ලොවටමය. බොක්සිං වළල්ලේ අලී මෙන් තණතීරුව මත මුරලී පෑ රංගනයද අද අයිති ලංකාවට පමණක් නොව මුළු ලෝකයටමය. තණතිල්ල මත මා දුටු මුරලි එක් අතෙකින් නර්ථන ශිල්පියෙකි. අනෙක් අතින් චිත්ත ඒකාග්‍රතාව ප්‍රගුණ කළ මුණිවරයෙකි. එක් මොහොතක රොන් සොයා මලකට පියඹා යන සමනළයෙකි. අනෙක් මොහොතේ තමා කරා ඇදෙන සමනළයෙක් දෙස බලා සිටින මලකි. අද මුරලි ගැන ලස්සනම දේ කියන්නේ ඔහුගේ සමකාලීන ප්‍රතිවාදී කණ්ඩායම්වල සිටි විශේෂයෙන්ම ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයෝය. මැතිව් හේඩන්ට අනුව මුරලිගේ පන්දු යැවීම තමන්ට හැකිතරම් දෙනෙත් විවර කර පිතිකරුවා මුලාකර එකවිට පන්දු දාහතරක් තමන් දෙසට විදිනවා හා සමානය. ඔහු තම මුළු හදවතින්ම මුරලි නම් අසහාය මිනිසාට ගරු කරණ බවද කියයි. ජස්ටින් ලැන්ගර් කියන්නේ මුරලි ඔහුගේ තර්කය හා තීරණය සමඟ සෙල්ලම් කරන බවය. ඒ මුරලිගේ අත දිහා බැලු විට පන්දුව ඇතුළට දඟකැවිය යුතු බවට ඔහුගේ මොළය ඔහුට කියන නමුත් ඒ ආකාරයෙන්ම මුරලිට පන්දුව පිටතට දඟකැවීමටද හැකියාවක් ඇති බව ඔහුගේ සිත ඔහුට කියන බව ඔහු පවසයි. මේ තර්ක විතර්ක වලට මැදිවන පිතිකරුවාගේ කඩුල්ලට පෙර හිස සත්කඩකට පුපුරා නොයයිද ? මයික් හසී කියන්නේ මුරලිගෙන් බොහෝ දේ උගත් බවය. එමෙන්ම මුරලිගේ පන්දුව අහසේ දඟ කැවී තමන් දෙසට ඇදී එන හඬපවා ඔහුට ඇසෙන බවය. මුරලි දූස්රා පන්දුව යැවීමට උගත්තේ පකිස්තානයේ ෂක්ලේන් මුස්ටාක්ගෙනි. එහෙත් ෂක්ලේන් කියන්නේ ඔහු ලෝකයේ වඩාත්ම කැමති පන්දු යවන්නා මුරලි බවය. සැබවින්ම ඇතැම් ඕස්ට්‍රේලායානු ක්‍රීඩකයන් මුරලි ගැන අද කතා කරන්නේ මහා කවියෙකුගේ කවියක් විචාරන තවත් මහා කවියෙකු විලසිනි. එබඳු කාව්‍යාත්මක විචාරයක් සිංහල විචාරකයෙකුගෙන් නෑසෙන්නේ ඇයි ? මහේල ඉංග්‍රීසියෙන් කළ අදහස් දැක්වීමකදී මුරලි සිය අවසාන ටෙස්ට් තරඟයේ අවසාන පන්දුවට 800 වැනි කඩුල්ල දවා ගැනීම ගැන දක්වන්නේ නාට්‍යමය අදහසකි. මාහේල ඒ අපූරු මොහොත අදහස් දක්වන්නේ මෙසේය ! "ඔබට ඊටත් වඩා හොඳ තිර පිටපතක් ලිවීමට කෙහෙත්ම හැකියාවක් නැත !" අප භාවිතකරන මනහර සිංහල භාෂාවෙන් එබඳු අදහසක් නිරවුල්ව දක්වන්නන්ගෙන් අද අපේ දේශය සිස්ව ඇති නියා ය. කිසියම් දිනක මුරලිගේ කතාව චිත්‍රපටයකට නැගෙතැයි මම සිතමි. එය ශ්‍රී ලාංකික අධ්‍යක්ෂවරයෙකුගේ අතින් සිදුනොවන බවද මම සිතමි. මට වැරදුණු තවත් තැනක් නම් එදා ක්‍රිකට් පිටිය තුළ අර්ජුනගේ විශිෂ්ඨ නායකත්වය මෙදා ඔහුගේ දේශපාලනය තුළිනුත් විදහා පෙන්වනු ඇතැයි අපේක්ෂාසහගත වීමය. අර්ජුන දේශපාලන අජූතයෙක් නොවෙතැයි සිතීමය. මුරලිගේ චරිතාපදානය අපට කියා දෙන පාඩම් රැසකි. අපේ ගමනට කවුරු හෝ අභියෝයක් වූ පමණින් අප ඔවුන් හා සදාකාලික වෛරයෙන් පසුවීම සුදුසුද ? පළමුව අප කළ යුත්තේ නොසැලී එම අභියෝගයට මුහුණ දීමය. මුරලි නිසා අපි ඕස්ට්‍රේලියානුවා සමග වෛර බැද ගත්තද, ඕස්ට්‍රේලියානුවාට මුරලිත් සමග සදාකාලික වෛරයක් තිබී නැත. එසේ වුවා නම් කිසිදාක ඔවුන් මුරලිගේ සේවය යළි ලබා ගනීද ? මට හිතෙන්නේ ශ්‍රී ලාංකිකයට වඩා හොඳින් ඕස්ට්‍රේලියානුවා මුරලිව තේරුම් ගෙන ඇති බවය. වෛර නොකිරීමත්, ක්‍රෝධ නොකිරීමත්, පළි නොගැනීමත් ඇති තැන නැති වන එක් දෙයක් ඇත. ඒ පරාජයයි.
21June 2016
blog_shape
ප්‍රියානන්ද විජේසුන්දර විසිනි (by Priyananda Wijesundara) අපගේ සංගීත උරුමය ගැන සොයාගෙන යනවිට ලැඛෙන තොරතුරු අපට අප කවුරුන්දැයි සොයාගත හැකි උල්පතක් වගෙයි. ඒත් වර්තමානයත්, අනාගතයත් දෙස බලන කොට මේ උල්පත සිඳී ඇතැයි මට හිතෙන වාර අනන්තයි. කවුද අමරදේව කියන්නේ. වික්ටර් - සනත් - නන්දාමාලිනී - කේමදාස - ගාමිණී ෆොන්සේකා - මාලිනි - විජය - නිහාල්සිංහ - සුනිල් ආරියරත්න කවුද මේ ? මොනවද මේ අය කරල තියෙන දේවල් ? මේ වගේ ප්‍රශ්න අනාගත පරපුර නොඇසුවොත් තමයි ප්‍රශ්නය. වර්තමානයේ කෑ මොර දෙන සුපිරි තරු සූකිරි බටිල්ලන් පවා දිනයකින් දෙකකින් අතීතයට ඇදී අමතකව යනවිට මා කලින් සඳහන් කළ අය කවර තැනක තැබිය යුතුදැයි මට නොතේරෙන දෙයයි. සින්දුව, ගීතය, ගීය, ගේය කාව්‍යය ආදී වශයෙන් කවර අයුරකින් නම් කළත් අවසානයේ අර්ථ දැක්විය හැක්කේ සාහිත්‍යයේත් - සංගීතයේත් සුසංයෝගය හැටියටයි. යක‍ෂ ගෝත්‍රික ජනතාවගේ පාලකයා වූ රාවණා රජු සමයේ අප රටේ ඉතා දියුණු සංගීත කලාවක් පැවති බවට සාක‍ෂි රාමායණය තුළින් සොයාගත හැක. රාවණා රජ මැදුරේ සෑම විටකම විවිධ සංගීත නාද පැවතුනු බව ද රාමායනය සඳහන් කරයි. වීනා වාදනයේ අතික‍ෂයෙකු වූ රාවනා රජු ලංකාධානී නම් රාගයේ නිර්මාතෘ වරයාය. රාවනාගේ ලංකා පුරයේ පරම හතුරා වූ ඉන්දියාවේද "රාවනා හස්ත්‍රීම්" නම් වූ තනි තතකින් හෝ තත් දෙකකින් වාදනය කළ හැකි වීණාවක් තිබේ. [caption id="attachment_1244" align="alignnone" width="417"]The Ravanahatha (variant names: ravanhatta, rawanhattha, ravanastron, ravana hasta veena) is an ancient bowed violin, once popular in Western India and Sri Lanka. The Ravanahatha (variant names: ravanhatta, rawanhattha, ravanastron, ravana hasta veena) is an ancient bowed violin, once popular in Western India and Sri Lanka.[/caption] අපේ සංගීත ඉතිහාසය හා අපේ ඇත්තන්ගේ සංගීත ඥානය පිළිබඳව බොහෝ දේ සඳහන් කළ හැකි වුවත් මෙම ලිපියේ මූලික පරමාර්ථය එය නොවන නිසා එය පසුවට තබන්නම්. තාක‍ෂණයත් සමග අප ඉදිරියට යා යුතුමය. ඒත් කවරදාකවත් අප තාක‍ෂණයේ වහලූන් නොවිය යුතු බව මගේ අදහසයි. ඒත් වත්මන් සංගීත නිර්මාණකරණයේ දී අපගේ ගායන ශිල්පීන් - සංගීත අධ්‍යක‍ෂවරුන් මුළුමනින්ම තාක‍ෂණයේ වහලූන් වී ඇති බව මගේ මතයයි. මා එසේ සඳහන් කරන්නේ මේ තාක‍ෂණය නිසා අපගේ සංගීත නිර්මාණවල සොඳුරු බව හා මිහිරි බව පලා යන බව මට පෙනෙන බැවිනි. සංගීත භාණ්ඩ විවිධ කුල කීපයකට ඛෙදන බව සංගීතයේම සඳහන් වේ. සෑම නාදයක්ම උපදින්නේ කම්පනයකිනි. මෙම කම්පනය, වාතලේ - ජලයේ - තත්වල - ඝන ද්‍රව්‍යවල කම්පනයත් විය හැකිය. එහෙත් අද සංගීතයේ නාද උපදින්නේ මෙවන් කම්පනවලින් ද? අද ගායන ශිල්පීන් ශිල්පිනියන්ගේ හඬ පෞරුෂය බිහිවන්නේ උගුරේ ස්වරාලයේ ස්වර තන්තුවල කම්පනයකින් ද? මෙම ප්‍රශ්න දෙකටම දිය හැකි පිළිතුර වන්නේ "එහෙම නොවේ" කියා නොවේ ද? මෙම නිර්මාණ කාර්යය අද මුළුමනින්ම පැවරී ඇත්තේ පරිගණක මෘදුකාංග වලටය. යම් ගායන ශිල්පියෙකු හෝ ශිල්පිනියකගේ ගායනයේ දී නියම ස්වර සවන වලට යෑමට තරම් උනන්දුවක් ගැනීම අද අවශ්‍ය නොවේ. විවිධ පරිගණක මෘදුකාංගවල පිහිටෙන් මෙම වැරදි ස්වරස්ථාන නිවැරදි තැනට ඇදගත හැකිය. 99% ක්ම අද සංගීත නිර්මාණ බිහිවන්නේ පරිගණක මෘදුකාංග වලිනි. එහෙමත් නැතිනම් නූතන තාක‍ෂණයේ දියුණුවත් සමග නිර්මාණය වී ඇති ණැහ ඊද්රා එක මගිනි. මේ නිසා අපට නැතිවී යන භාණ්ඩ අපෙන් අමතකව යන භාණ්ඩ බොහෝ ගණනකි. මෙයට හේතුව මෙම භාණ්ඩවල හඬ මා සඳහන් කළ පරිගණක මෘදුකාංගවලින් නිර්මාණයකරගත හැකි වීමය. වීනාව - සන්තූර් - සිතාර් - ජලතරංඟ - බටනලාව වැනි ඉතා මිහිරි වාදන කළ හැකි සංගීත භාණ්ඩ කීපයක්ම අද අපෙන් ඈත්ව ගොස් තිබේ. පැරණි සංස්කෘතික ඉතිහාසයට අනුව තත් සියයක් ඇති වීනාව ශතතන්ත්‍රි වීනා යනුවෙන් සන්තූරය හඳුන්වා තිබේ. මෙම වීනාවට සන්තූර් යන නාම දී ඇත්තේ පර්සියානුවන් විසිනි. ඉන්දියාවේ කාශ්මීර ප්‍රාන්තයේ - ශාස්ත්‍රීය ගායනවලට වාදනවලට සහාය භාණ්ඩයක් ලෙස සන්තූර් මුලින්ම වාදනය කර ඇති බව ඉතිහාසය දක්වයි. ඉන්දියාවේ මෙම සන්තූර් භාණ්ඩයට සමාන වූ භාණ්ඩ විවිධ රටවල විවිධ නම්වලින් හඳුන්වා ඇතත් මෙහි මුල් බිහිවීම ඉන්දියාවේ කාශ්මීර ප්‍රාන්තයයි. මගේ කලා දිවියේ ඉතාම මිහිරි හඬක් නිකුත්වන එක් භාණ්ඩයක් ලෙස තැන්පත් වී ඇත්තේ සන්තූර් භාණ්ඩයයි. මෙම භාණ්ඩය පටිගත කිරීමක් සඳහා යොදා ගැනීමේ දී ඇතිවූ එකම ගැටලූව සුසර කිරීමට (Tune) ගතවන කාලයයි. තත් 100 ක් හෝ 75 ක් ඇති මෙම භාණ්ඩයේ සෑම තතක්ම සුසර කිරීමට කාලයක් ගත වේ. ගීතය හෝ සංගීතය පටිගත කරන්නට බොහෝ වේලාවකට කලින් සන්තූර් වාදන ශිල්පියා තම භාණ්ඩය සුසර කරන්නට පටන් ගනී. ඒත් අද මේ භාණ්ඩයේ හඬ පරිගණක තාක‍ෂණයේ Key Board එකෙන් සොරකම් කරගෙන තිබේ. සුසර කරන්නට කාලය ගතවන්නේ නැත. අවශ්‍ය වන්නේ පරිගණක මෘදුකාංගයේ Santhur යන වචනය Click කිරීම පමණි. එවිට පරිගණකය අපට ලබාදෙන්නේ සන්තූර් භාණ්ඩයේ හඬයි. ඉතින් නියම සන්තූර් භාණ්ඩය කුමකට ද? අද සන්තූර් වාදන භාණ්ඩය පිළිබඳව සංගීත විද්‍යාලයක දී හෝ ඉගෙන ගන්නා සිසුන් විරලය. ශාස්ත්‍රීය ගායනයක දී හෝ වාදනයක දී හැරුනු විට මෙම භාණ්ඩය යොදා ගන්නේ ද නැත. පටිගත කිරීමකට යොදා නොගැනීම නිසා මෙම භාණ්ඩය වාදනය කිරීමට ඉගෙන ගන්නවාට වඩා පරිගණක මෘදුකාංගය හැසිරවීමට ඉගෙන ගත්විට මුදලක් උපයාගත හැකිය. එසේම සංස්කෘත භාෂාවෙන් ජලතන්ත්‍රි වීනා ලෙස හඳුන්වන්නේ ජලතරංග නම් වූ භාණ්ඩයයි. ජලය යොදාගෙන සුසර කරනා එකම භාණ්ඩය මෙම ජල තරංඟයයි. හිස් වූ බඳුනකට ලීපටියකින් තට්ටු කිරීමේ දී යම් නාදයක් උපදී. මෙම බඳුනට ජලය ස්වල්පයක් දමා එලෙසම තට්ටු කළවිට නාදය වෙනස්වෙයි. ජල මට්ටම ක්‍රම ක්‍රමයෙන් විවිධ කරමින් බඳුනට තට්ටු කළ විට නාදයේ වෙනස්වීම අපට අවබෝධකරගත හැක. ජල තරංඟ වාදනය සඳහා විවිධ පරිමානයේ පෝසිලේන් බඳුන් 15-24 ප්‍රමාණයක් යොදා ගනී. උච්ච තාරතාව සඳහා කුඩා බඳුන් ද, මධ්‍ය තාරතාව සඳහා මධ්‍යම පරිමාණයේ බඳුන් ද, පහළ තාරතාව සඳහා විශාල බඳුන් ද යොදා ගැනේ. බඳුන් තබන්නේ විරල ලී වර්ගයකින් තැනූ පුවරුවක් මතය. ඇතැම් විට එක් බඳුන සඳහා එක් පුවරුවක් බැගින් ද යොදා ගනී. බඳුනේ ගැට්ටට තට්ටු කිරීම සඳහා වේවැල්වලින් සැදූ කෝටු දෙකක් භාවිත කරයි. වාදනය කිරීමේ දී විසිරෙන ජලය මෙම ලී පුවරුව මගින් උරා ගැනීම සිදුවුවත් භාණ්ඩයේ හඬට බලපෑමක් නොවීම මෙම ලී වර්ගයේ විශේෂත්වයයි. මෙම භාණ්ඩ සුසර කිරීමට ද කාලයක් ගත වේ. බඳුන්වල ජල ප්‍රමාණය වෙනස් කරමින් නියමිත ස්වරය මතුකර ගැනීම සිදුකරයි. මෙම ජල තරංඟ වාදනය පටිගත කිරීම්වලට යොදා ගැනීමේ දී මතුවන ගැටලූ කීපයක් ඇත. කාමරයේ ජල වාෂ්ප ප්‍රමාණය අනුව බඳුන්වල ජලය වාෂ්ප වී යයි. වායු සමීකරණය කළ පටිගත කිරීමේ මැදිරියක දී නැතිනම් උණුසුම් ශාලාවක දී මෙම ජලය වාෂ්පවීම ප්‍රශ්නයක් වෙයි. වාදනය කරන අතරතුරේ දී ඇතැම් විට පටිගත කිරීම නතර කොට බඳුන්වල ජල මට්ටම් වෙනස්කර ගැනීම සිදුකළ යුතු වේ. මෙය පටිගත කිරීම්වල දී කාලය ගතවන දෙයකි. බොහෝ විට මෙම ප්‍රමාදයෙන් මැදිරියේ ගාස්තු මීටරය ඉහළ යයි. සංගීත පටිගත කිරීම්වල දී මෙම භාණ්ඩය ඉවත්වීම මුදල විසින් කළ දෙයක් දැයි මට සිතේ. මෙම භාණ්ඩය වාදනය කළ හැකි අයෙකු අප රටෙහි සොයා ගැනීමට ද අපහසුය. ඒත් පරිගණක මෘදුකාංගයෙන් නම් මෙම භාණ්ඩය වාදනය කළ හැකි සිය දහස් ගණනක් සොයාගත හැකිය. මෙවන් බොහෝ භාණ්ඩවල නාදය අද Key Board එකෙන් අයිතිකරගෙන තිබේ. ශාස්ත්‍රීය ගායනයේ දී එකල වාදනයට ගැනුනු තාම්පුරුව අද කුඩා විද්‍යුත් පෙට්ටියක් බවට පත්ව ඇත. එසේත් නැතිනම් Smart Phone එකක App එකක් බවට පත්ව ඇත. මේ බව මා දුටුවේ Aukland නගරයේ පැවති ඉන්දීය ගායන ශිල්පිනියකගේ ප්‍රසංගයකදීය. ඇයට අවශ්‍ය වූයේ තබ්ලා වාදන ශිල්පියෙකු, ණැහ ඊද්රා ශිල්පියෙකු පමණි. තාම්පුරුව වෙනුවට ඇයගේ i-Phone එකෙන් තාම්පුරා නාදය ලබාගත්තා. සහය සන්තූර් නාදය - සිතාර් නාදය වයලීනය, බටනලාව Key Board එකට භාර දී තිබුණා. මෙම ප්‍රසංගය කැමරා කරණය කරන්නට නොගියානම් මුල්ම ගීතයේ දී මා ශාලාවෙන් පිටතට එනු ඒකාන්තයි. දැනටමත් අපි පරිගණක බවට පත්වෙලා ඉදිරියේ දී අපට ඉතුරු වන්නේ  i-Phone App විතරයි. මේවා නැතුව කැකුළු හාලේ බත් ටිකක් කරවල බැඳුමක් පොල් සම්බෝලයක්, කිරිහොද්දක් එක්ක බත් වේලක් කන්නට වෙන්නේ නෑ. මන්ද මේවා හදන හැටි අපේ කාන්තාවන්ට අනාගතයේ දී බලන්නට වෙන්නේ App එකකින් නිසා. රූපවාහිනී ගුවන්විදුලි නාලිකා වැසී යාවි. එකම නාලිකාව වෙන්නේ අන්තර් ජාලයයි. බණ අහන්නට පන්සලකට යන්නට ඕන වෙන්නේ නෑ. බණ App ඕනෑ තරම් තියනවා. කොටින්ම කිව්වොත් නිවන් දකින්නට හෝ ස්වර්ගයට යන්නට App එකක් නිර්මාණය කරාවි. එදා ගුවන් විදුලියේ තිබූ ජල තරඟ භාජන බිඳී ගිහින්. ඇතැම් බඳුන් රෙදි මල්ලක දාලා ගැට ගහලා මුල්ලක තනිවෙලා. මුලින්ම විදුලි ඕගනයක් ගුවන් විදුලි පටිගත කිරීමට ගෙන එන්නට උත්සාහ කළ වික්ටර් රත්නායකයන්ට එම භාණ්ඩය ඇතුළට ගෙන ඒම පවා තහනම් කළා. අන්තිමේ දී යොදා ගන්නා සංගීත ඛණ්ඩය කුමක්දැයි පහදා දීමෙන් පසුවයි එම භාණ්ඩය සංස්ථාව තුළට ගන්නට අවසර ලැබුණේ. අද සංස්ථාව සතුව නවීන පන්නයේ විදුලි ඕගනයක් තිඛෙනවා. සත් සමුදුර තේමා ගීතය පටිගත කරන්නට යොදාගත් සංගීත ශිල්පීන් ස්ථානගත කරන්නට එම මැදිරියේ ඉඩ තිබුණේ නැති බව මගේ එක් ගුරුවරයෙකු වූ ලාල් දිසානායක මහතා මා සමග පැවසුවා. සංගීත ශිල්පී ජගත් වික්‍රමසිංහ මෙම ගීතයේ අනුවාදනය තම Key Board එකෙන් තනිවම වාදනය කළා. ගායන ශිල්පීන්ගේ හඬ පවා ගත්තේ Key Board එකෙන්. සත්සමුදුර නිර්මාණය වුණේ 60 දශකයේ. ජගත් වික්‍රමසිංහයන් ගීතයේ අනුවාදනය නිර්මාණය කළේ 80 දශකයේ දී 2020 වනවිට වාදන ශිල්පීන් හැම කෙනෙකුටම තමන්ගේ ප්‍රවීණතාව ලබාගත් භාණ්ඩය මුල්ලකට දමා Key Board එකත් පරිගණක මෘදුකාංග ගැනත් ඉගන ගන්නට වේවි. මේ භාණ්ඩ මුලූගැන්වන්නේ මිහිරියාවත් එක්ක නොවේ ද?
17June 2016
blog_shape
කපිල කුමාර කාලිංග විසිනි (by Kapila Kumara Kalinga) මීට කලකට ඉහත අපේ ගමේ විසූ පුද්ගලයෙකුගේ නම වුයේ බිළිඳු ය. එය ඔහුට උප්පැන්නයෙන්ම ලැබුණු නමදැයි කියන්නට මම හරිහැටි නොදනිමි. බිළිඳාගේ රැකියාව ගල් වෙඩි බැඳීමය. වෙඩි නූලට ගිනි තබන්නට කලින් ඔහු "ගල්බෝරේ" යනුවෙන් ගමටම ඇසෙන්නට කෑ ගසන හඬ මට තවමත් මවාගත හැකිය. ගල් කැඩිමට අමතරව ඔහු රා මැදීම ද කළේය. බිළිඳාගේ රා ඉස්තරම්ය. රා බෝතලයක මිළ රුපියල් පහළොවකි. පසුව එය තිහක් විය. නමින් බිළිඳා වුව ද ඔහු අඩි හතකට කිට්ටු උස් දේහයක් ඇති හැඩි දැඩි පුරුෂයෙකි. උස වැඩිකම නිසාදෝ මදක් කුදුව සිටී. උස් හඬින් කතා කරයි. පොල්ලෙල්ලක් බඳු, ඝන උඩු රැවුල නිසා නපුරු පෙනුමක් තිබුණ ද, බිළිඳාගේ හැසිරීම කතාව යටහත් පහත්ය. අසුව දශකය අගදි මියයන විට බිලිඳාගේ වයස ද අසූව පැන තිබුණි. එබඳු වෘධ පුද්ගලයෙකුට "බිළිඳා" යැයි ඇමතීම හාස්‍ය ජනක බව සැබෑ වුව ද ඊට හුරුව සිටි ගැමියන්ට එය දැනුණේ නැත. මිනිසුන්ට, නමක් ලැඛෙන්නේ, සමාජය තුළ ඔහුට අනන්‍යතාවක් හිමිකර දීමටය. උප්පැන්නය යනු ඔහු වෙනම පුද්ගලයෙකු වශයෙන් ලියාපදිංචි කිරීමකි. එහෙත් පුද්ගල නාමයන් සමග සමාජ දේශපාලන කාරණාවන් ද බැඳි තිබේ. බොහෝ විට වාසගමක් හෝ පෙළපත් නමක් සමග කුල පරම්පරාවන් ද හෙළි වේ. සිල්වා, පෙරේරා, අල්මේදා, ද මැල්, ආබෘෘ, සොයිසා ආදී වාසගම් තුළින් කුල ක්‍රමය පමණක් නොව, ලාංකීය ඉතිහාසයේ යටත් විජිත බලපෑම ද කියැවෙයි. පරංගි නම් ලැබුණේ පහත රැටියන්ට හා උතුරේ මිනිසුන්ටය. ඉංග්‍රීසීන්ට යටත් වීමෙන් පසු උඩරැටියෝ ද මහත් අභිරුචියෙන් ඉංග්‍රීසි නම් ගත්තෝය. ඉංග්‍රීසීන් විසින් කෘෘර ලෙස මරා දැමුණු, උඩරට වංශවතුන්ගේ පවා පසුකාලීන පරම්පරාවල වාසගමට මුලින්, ඉංග්‍රීසි නම් දෙක තුනක්ම ඇඳුනි. ඡන්ද පොළවල දී තවමත් එබඳු ඉංග්‍රීසි නම් කියැවෙනු ඇසිය හැකිය. පොඩි මිනිස්සු, සුද්දන්ගේ නම් සිංහල ඌරුවට සකසා ගත්හ. ග්‍රෙගරි ගිරිගෝරිස් විය. හර්මන් හරමානිස් විය. ඇන්ඩෘෘ අන්දිරිස් බවට ද, ඒබ්‍රහම් අබරන් බවට ද හැරුණි. ජනප්‍රිය බයිලාවක ද කියැවෙන පරිදි අයිරින්, ජොසපින්, කැතරින්, ඇන්ජලින් ලාගෙන් කාන්තා සමාජයේ ද අඩුවක් නැතිවිය. සුදු බංගලාවක මෙහෙකාරකමට ගිය ගැමි ගැහැණියක එහිදි අසන්නට ලැබුණු වචනයක් යොදා ගනිමින් සිය දියණියට "පෑන්චි නෝනා" යැයි නම් තැබුවාය. මෙසේ, පොල් ලෙලි තලන එළිසබත්ලා, පොල් කඩන ජෝන්ලා, බස් එළවන චාල්ස්ලා, අතුරේ යන විලියම්ලා රට පුරා පැතිරෙද්දි ලාංකිකයාගේ නම්වල තිබූ දේශිය අනන්‍යතාව වැනසී ගියේය. අලංකාර, ගාම්භීර දීර්ඝ පෙළපත් නම් තිබූ උදවිය, පෝර්ම පිරවීම වැනි කටයුතුවල දී මුහුණපාන ප්‍රායෝගික දුෂ්කරතා නිසා ඒවා කෙටිකර ගත්හ. සමාජයෙන් ලැඛෙන නිග්‍රහය නිසා ඇතැම් පැරණි කුලගොත් හඟවන නම් ඇත්තෝ ද නීත්‍යනුකූල ලෙසම ඒවා වෙනස්කර පුවත්පත් දැන්වීම් ද පළකර රටට දැනුම් දුන්හ. ඒ අනුව, අපේ පැරණි නම්ගම් බොහෝමයක් සැඟවී, මැකී යමින් පවතී. අලූත් පරම්පරාවට වාසගම් නැත. ඇත්තේ නම් දෙකකි. ලසිත් මාලිංග, අමල් චාමර, රුවන් මධුශංක, රුවන් මාලිකා, මිත්‍ර නදීශා, මල්කා ප්‍රියානි යනාදි වශයෙනි. එක අතකට මෙහි වරදක් නැත. නමක් ඇත්තේ අනෙකාගෙන් වෙන්ව හඳුනා ගැනීමටය. පරංගිගෙන් ලැබුණු නමක් හෝ කුල පරම්පරාවෙන් උරුම වූ නමත් නිසා නුතන සමාජයෙන් අපහාස විඳින්නට සිදුවෙනවා නම් එය වෙනස්කර තමන් කැමති සුන්දර නමක් භාවිත කිරීමේ අයිතිය සැමට හිමිය. එහෙත් අපේකම තිබූ ඇතැම් පැරණි නම්ගම් සැඟවී මැකී යාම පිළිබඳව මා තුළ සියුම් කණගාටුවක් ද උපදී. මැතක දි, වාර්තා චිත්‍රපටයක් රූගත කරනු පිණිස උඩරට ගමකට ගියෙමි. ඔවුන් කුවේණියගෙන් පැවැතෙන්නෝය. පෙළපත් නාමයට ඊට දෙස් දෙයි. ඒ නම සෑදුණු අයුරු කියැවෙන කව් පෙළක් ද ඔවුන් සතුය. එහෙත් ඒ මුළු ගමම දැන් තම පැරණි නම් වෙනස්කර වෙනත් නමක් ගෙන සිටිති. අනාගතයේ පර්යේෂණ පවත්වන මානව විද්‍යාඥයින්ට මේ ජනසමාජ හඳුනා ගැනීමට, "තෝම්බු මිටි" පෙරලීමට සිදුවනු ඇත. ජැක්සන් ඇන්තනී, කලකට ඉහත මෙහෙය වූ රූපවාහිනි වැඩ සටහනකට පැමිණි එක් මහතෙකුගේ නම, "ඔළුපැලියාව" විය. මුඛරි ජැක්සන් එය සරදමකට ගනිමින් මෙසේ ඇසුවේය. "ඔබතුමා, අපේ ඔළු පලන්නෙ හෙම නෑ නේද?" ඔළුපැලියාව මහතා ද, සරදම් සිනාවකින් යුතුවම මෙසේ කීවේය. "ජැක්සන් මහත්තයා, අපිට තියෙන්නේ බොහොම පරණ හොඳ සිංහල නමක්. ඒ නම පිටුපස්සේ ලොකු කතාවකුත් තියෙනවා." මුහුණ රතු වූ ජැක්සන් ඇන්තනී වහාම කතාව වෙනතකට හැරවීය. සෑම කෙනෙකුටම තම නම ගැන ආඩම්බරවීමේ අයිතිය ද ඇත. එසේ තිබිය දී සමාජයට බියෙන් නම් වෙනස් කිරිම, බියගුළු ක්‍රියාවක් ලෙස ද කෙනෙකුට තර්ක කළ හැකිය. ශේක්ස්පියර්ගේ ප්‍රකට කියමනකට අනුව නාමයෙන් අදහස් වන දේ නොවැදගත්ය. රෝස මලකට වෙනත් නමකින් ඇමතුව ද, ඉන් විහිදෙන්නේ රෝස සුවඳමය. හැම විටම නමට වඩා වැදගත් වන්නේ ක්‍රියාවය. නම දිදුලන්නේ ක්‍රියාවෙනි. රූපං ජීරති මච්ඡානං, නාම ගොච්ඡං නජීරතී යනුවෙන් බුදු දහමෙහි ද කියැවෙන්නේ එහෙයිනි. බාල කාලයේ දී "මෙයා මට නම් වනම් කියනවා" යැයි අප වැඩිහිටියනට පැමිණිලි කරන්නේ විකට නම් කීම ගැනය. පාසල් දිවියේ දී විකට නම් නොහොත් භසජනබ්පැි නොහැදෙන කෙනෙක් නැති තරම්ය. කාර්යාලවල ද එබඳු නම් හැදේ. දේශපාලනඥයින්ටද විකට නම් ඇත. නම කැතකර ගන්න එපා යැයි කියමනක් ද අප අතර වෙයි. පහත් වැඩක් කරන්නට සැරසෙන්නෙකුට "පිටින් එලියට බහිනවා" යැයි බැණ වදින්නේ ද එහෙයිනි. එක රටක නමක් තවත් රටක දී විහිළුවක් පමණක් නොව හරුපයක් ද විය හැකිය. උච්චාරණයද වෙනස්වීම නිතර දැකිය හැකිය. (විදේශීය ක්‍රිකට් විස්තර විචාරකයින්, අපේ ඇතැම් ක්‍රීඩකයින්ගේ නම් උච්චාරණය කරන ආකාරය මතකයට නඟන්න නිදසුනක් මාලිංග වෙනුවට මලිංකා යැයි කීම) මෙම නුහුරු නම් හා උච්චාරණ ගැටලූ නිසා බිහිනුණු රසවත් සිනා කතා ද බොහෝය. කිසියම් කටයුත්තක්කර ගැනීම සඳහා ඇමෙරිකානු රාජ්‍ය ආයතනයට ගිය ඉන්දියානුවෙක්, අදාළ පෝර්මයේ තම නම සහ අවශ්‍යතාව ලියා දී පසෙකට වී බලා සිටියේය. පැය දෙක තුනක් ගෙවුණ ද, ඔහුට ඇමතුමක් නොලැබුණෙන්, ඔහු විමසීම් කවුන්ටරයට ගොස් ඒ ගැන විමසුවේය. "අපි ඔබේ නම කීප සැරයක්ම අනවුන්ස් කෙරුවනේ." පිළිගැනීමේ නිලධාරිණිය කීවේ පුදුමයෙනි. "නෑ නෑ මට ඇහුනේ නෑ." ඉන්දියානුවා කීවේය. ඔහුගේ නම අනන්තරාමන් සුබරාමන් (Anantharaman Subbaraman) ය. අමෙරිකානු කාන්තාව එය උච්චාරණයකර තිබුණේ "අනදර්මෑන් සුපර්මෑන් (Anotherman Suberman) යනුවෙනි. තවත් අවස්ථාවක ධර්ම ප්‍රචාරක වැඩ සටහනක් සඳහා එංගලන්තයට වැඩම කළ අපේ භික‍ෂූන් වහන්සේලා පස් නමක්, හිත්රු ගුවන් තොටුපළේ කවුන්ටරය අසළට ගොස් තම ගමන් බලපත්‍ර ඉදිරිපත් කළහ. එය පරීක‍ෂා කළ නිලධාරියා, ඔවුන් දෙස බලමින් සිනාමුසුව හිස වැනුවේය. “Five btrothers from the same family ?” (එකම පවුලේ සහෝදරයායො පස් දෙනෙක්...? "No No we are not" භික‍ෂුවක් පිළිතුරු දුන්නේය. පුදුමයට පත් නිලධාරියා ගමන් බලපත් දෙස බලමින් මෙසේ ඇසීය. "එහෙනං කොහොමද පස් දෙනාටම එකම වාසගම තියෙන්නේ ථෙරෝ. ථෙරෝ. ථෙරෝ...? "then now come you all have the same surname thero" ------------ පැරිසියේ අවන්හලක බීම කවුන්ටරයේ විදේශිකයෝ දෙදෙනෙක් බීර බොමින් සිටියහ. එක් අයෙක් චීන ජාතිකයෙකි. අනෙකා අමෙරිකානුවෙකි. මොහොතකට පසු අමෙරිකානුවා දෙසට හැරුණු චීනා, මිත්‍රශීලී සිනාවක් පාමින් අත දිගු කළේය. "මගේ නම ඔන්ග් චෝ පෙන්ග්. මම චීනෙන්." අමෙරිකානුවා ද "හව්ඩි" කියමින් අතට අත දුන්නේ තමාව ද හඳුන්වා දෙමිනි. "මම රොබට් ගෝල්ඩ්බර්ග්. අමෙරිකාවෙන්" ඔවුහු යළිත් බීර බොන්නට වූහ. මොහොතකට පසු අමෙරිකානුවා අතමිට ගුලිකර චීනාගේ හක්කට තද පහරක් එල්ල කළේය. තරු විසිවුණු චීනා අමෙරිකානු දෙස කෝපයෙන් බැලූවේය. "ඇයි තමුසෙ මට ගැහුවෙ?" "තමුසෙලා පර්ල් හාබර් එකට බෝම්බ දැම්මට" "ඒ වුණත් ඒක කෙරුවෙ අපියැ ජපන්නුනෙ" "ජැපනීස්. චයිනීස් මොකද්ද වෙනස?" අමෙරිකානුවා සමච්චල් සිනාවක් පෑවේය. දෙදෙන යළිත් බීර බොන්නට වූහ. එකවරම චීනාද අතදිග හැර අමෙරිකානුවාගේ කම්මුලට වැරෙන් පහරක් දුන්නේය. වේදනලාවටත්, කෝපයටත් පත් අමෙරිකානුවා චීනා දෙසට හැරුණේය. "ඇයි තමුසෙ මට ගැහුවෙ?" "තමුසෙලා ටයිටැනික් ගිල්ලෙව්වට" "පිස්සුද චීනෝ, ටයිටැනික් ගිල්ලූවේ අපියැ. අයිස්බර්ග් එකක හැපිලනේ." "අයිස්බර්ග්, ගෝල්ඩ්බර්ග් මොකක්ද වෙනස?" චීනා නැගිට ගියේය. නම්වල පැටලිලි ඔහොමය. එසේ නම් 80 හැවිරිදි බිළිඳාට බිළිඳා යැයි කීමේ ඇති වරද කිම ද?
21April 2016
blog_shape

කපිල කුමාර කාලිංග විසිනි (by Kapila Kumara Kalinga)

70දශකයේ අගභාගයේ එක් දිනෙක, දකුණු පළාතේ ඈත ගමක තරුණයෙක්, පාන්දර බසයේ නැගී කොළඹට ළඟා වූයේ, ගුවන්විදුලියෙන් ගීතයක් ගායනා කිරීමේ ආශාවෙනි. ගුවන් විදුලි සංස්ථාවට පැමිණි ඔහු පිවිසුම් දොරටුවෙහි සිටි ආරක‍ෂක නිලධාරියෙකුට තමන් පැමිණි කාරණය කියා සිටියේය. අත්දිග කමිසයක් හැඳ, කොලරයේ බොත්තම ද දමාගෙන, දිග කලිසමක් හිරට ඇඳගෙන සිටි මොහු බැලු බැල්මටම, මෝඩ පහේ අහිංසක ගැමි තරුණයෙකි. එහෙයින් ආරක‍ෂක නිලධාරියා ද අනුකම්පාවෙන් යුතුව, වාදක මණ්ඩලයේ කෙනෙකුට ඔහු පැමිණි කාරණය කියන්නට සැළැස්වීය. "අනේ මල්ලි, එහෙම එකපාරටම ආපු ගමන් සිංදුවක් කියන්න බැහැනේ, ඉස්සෙල්ලම මෙහේ පරීක‍ෂණයට පෙනී ඉඳලා, ඒකෙන් සමත් වෙන්න ඕනේ." වාදන ශිල්පියා, සංස්ථාවේ ක්‍රමය කියාදුන් නමුදු, තරුණයා දිගින් දිගටම පෙරැත්ත කරන්නට වූයේ, ඔහුගේ මානසික තත්වය ද එතරම් හොඳ නැති බව එහි සිටියවුන්ට පෙන්නුම් කරමිනි. "අනේ මහත්තයා, මං අපෙ අම්මට කියල ආවෙ මං අද රේඩියෝ එකෙන් ලංකාවටම ඇහෙන්න සිංදුවක් කියනවා කියලා. අම්මා දැන් අහගෙන ඇති." තරුණයාගේ කතාව, ඒ මොහොතේ එහි රොක්ව සිටි මා ඇතුළු කීප දෙනෙකුගේම සිත් සසල කරන්නට සමත් වූවා පමණක් නොව එය ජීවිතයේ කිසිදා අමතක කරන්නට බැරි සිදුවීමක් බවටද පත්වුණේය. (පසුව, ආරක‍ෂක නිලධාරින් පසුව දිනක එනමෙන් දන්වා සම්‍යක් ප්‍රයෝගයෙන් ඔහු ආපසු පිටත්කර හැරි බව දැනගන්නට ලැබුණි.) ගුවන් විදුලියෙන් ගීතයක් ගැයීම, එකල දිවයින පුරා විසිර සිටි බොහෝ දෙනා තුළ පැවති සිහිනයකි. එකල අද මෙන් පෞද්ගලික නාලිකා හෝ ගීත පටිගත කරගත හැකි ශබ්දාගාර පහසුකම් ද නොවීය. එහෙයින් ගීතයක් ගයා, ප්‍රචාරය කිරීමට තිබූ එකම තැන 'වන් ඇන්ඩ් ඔන්ලි' රේඩියෝ සිලෝන්මය. ගායනයෙහි දක‍ෂතා තිබුවන්ට ගුවන් විදුලි දොර ඇර ගැනීමට තිබූ හොඳම ක්‍රමය වූයේ සරල ගී පරීක‍ෂණයට ඉදිරිපත්ව (ඔඩිෂන්) ඉන් සමත්වීමය. විශිෂ්ඨ, ඒ, බී සහ සී යනුවෙන් ශ්‍රේණිගත කිරීමක් ද සිදු කෙරුණු අතර 'බී' සහ 'සී' ශ්‍රේණිවල ගායක ගායිකාවන්ට, විනාඩි 15 ක වැඩසටහනක් වාර්ෂිකව ලැබුණි. ගීත සංඛ්‍යාව තුනකට සීමා විය. 'සී' ශ්‍රේණියේ ගායකයන්ට හිමිවූයේ වෙළඳ සේවයේ වැඩ සටහනකි. බයිල ගායකයින්ට ද වෙනම වැඩ සටහනක් ලැබුණි. වැඩසටහන සඳහා කැඳවීමක් ලැබීම, සරල ගී ශිල්පීන්ට බොහෝ සතුට දනවන කරුණකි. ඔවුහු ලහි ලහියේ ගීත රචනා සොයාගෙන, තනු නිර්මාණය කරගෙන වැඩ සටහනට සූදානම් වෙති. ප්‍රාදේශීය ගීත රචකයින්ට හා සංගීතඥයින්ට ද මේ තුළින්, අවස්ථාවක් සැළසෙන නමුදු, සරල ගී වැඩසටහන්වල ගැයෙන ගී අතරින්, තැටි බවට පත්ව, ගුවන්විදුලි තැටි ගබඩාවට යාමේ වාසනාව උදා වන්නේ හොඳම ගීතයකට පමණි. අනෙක් බොහෝ ගී සරල ගී පටියෙහිම තිබි පසුව මකා තමයි. ඇතැම් විට පිට පළාත්වල දී අපට මුණ ගැසෙන ආධුනික ගායකයින් තමන් හඳුන්වා දෙන්නේ ද "මම ගුවන් විදුලියේ 'බී' ග්‍රේඩ් ගායකයෙක්" යනුවෙනි. සැබවින්ම ඔවුන්ට එය ආඩම්බරයකි. එහෙත් කණාටුවට කරුණ වන්නේ ඔවුන්ගේ එකම ගීතයක් හෝ අප අසා නොතිබීමයි. කොතරම් දුරක සිට පැමිණියත්, ඒ කාලයේ සරල ගී ගායකයෙකුට විනාඩි පහළොවේ වැඩ සටහන සඳහා ලැබුණේ, රුපියල් පනහක හැටක ගෙවීමකි. එය ප්‍රමාණවත් ගෙවීමක් නොවුණ ද, පටිගත කිරීමෙන් පසු ශිල්පියා විසින් වාදක මණ්ඩලයේ අයට 'සංග්‍රහයක්' පැවැත්වීම ද චාරිත්‍රයක්ව තිබුණි. අතින් පාඩුකර ගනිමින් හෝ ඔහු එම චාරිත්‍රය ඉටු කරන්නේ සිත් සන්තොසිනි. ඉඳහිට මුණ ගැසෙන කොළඹ ගුවන්විදුලි මිතුරන්ගේ ඇසුර හා ඔවුන්ගේ කතා බහ ඔහුට බොහෝ වටී. ඔහු පෙරළා තම ගමට හෝ පාසලට ගිය විට අනෙක් අය හා ඒවා රසකර කියමින් සතුටක් ලබයි. මට ද, ගීත රචකයින්ගේ ලෝකයට එක්වන්නට ලැබුණේ, අප නිවස අසල විසූ බී ශ්‍රේණියේ සරල ගී ගායකයෙකුගේ පිහිටෙනි. නවරත්න අබේකෝන් නමැති ඔහු හින්දි ගීතයන්ට දැක්වූ මහත් ඇල්ම නිසාම කොළඹ ගොස් ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලයෙන් මෙහෙය වූ හින්දි පන්තිවලට සහභාගීව හින්දි බස හැදෑරුවෙක් ද විය. ගුවන් විදුලියෙන් රාත්‍රියෙහි ප්‍රචාරය වන "ආකාශ්වාහිනි" සේවාව ශ්‍රවණය සඳහා නවරත්න මට ද ඇරයුම් කරයි. හින්දි බසින්ම හින්දි ගීත ලියා ගන්නා ඔහු මට ඒවායේ අරුත් පහදා දෙයි. "හින්දි කියන්නේ හරිම ගීතමය භාෂාවක්, හින්දි ගීතවල එන සමහර යෙදුම් වෙනත් බසකින් කියන්න අමාරු තරම්. ඒවා හින්දියටම ආවේණික සුන්දර යෙදුම්." නවරත්න එසේ කියයි. කෙසේ වෙතත් අපි ඇතැම් හින්දි ගීත සිංහලට පරිවර්තනය කළෙමු. එකල පළ වූ ඇතැම් ගීත පොත් සඳහා ද නවරත්න, හින්දි ගීත හා සිංහල අරුත් සම්පාදනය කළේය. නවරත්නට ලැබුණු ප්‍රථම සරල ගී වැඩ සටහන සඳහා මවිසින් රචනා කරන ලද "සහන් සුමුදු සුවය රැගෙන" නමැති ගීතය සංගීතවත් කළේ ස්ටැන්ලි පීරිස් විසිනි. එකල ඔහු අපට නුදුරු නගරය වූ කටුගස්තොට ශාන්ත අන්තෝනි විද්‍යාලයෙහි චිත්‍රකර්ම ගුරුවරයාව සිටියේය. වැඩ සටහනට ඇතුළත් වු අනෙක් ගීත දෙක රචනා කර තිබුණේ ප්‍රේමකීර්ති ද අල්විස් හා ආනන්ද එස් විෙජ්සිරි විසිනි. එම ගීත සඳහා තනු නිර්මාණය කළේ එවකට ගුවන්විදුලි වාදක මණ්ඩලයෙහි සේවය කළ ඔස්ටින් මුණසිංහයන්ය. පටිගත කිරීම සඳහා මම ද සහභාගී වුණෙමි. එදා එහි පැමිණ සිටි නවාගේ මිත්‍රයෙකු වූ සොබා නොහොත් සෙබස්ටියන් ජයවර්ධන ද සී ශ්‍රේණියට අයත් බයිලා ගායකයෙකි. එදා "සරල ගී සත්කාරය" සූදානම් කෙරුණේ සොබාගේ කාරුණික අනුග්‍රහයෙනි. දහඅට හැවිරිදි වියේ වූ මට මත්පැන් පානය පිළිබඳව තිබුණේ "සැර නැති" අත්දැකීම් දෙක තුනක් පමණි. එහෙත් එදින ස්ටවුට් බෝතලයක් බොන්නැයි සොබාගෙන් කෙරුණු ඉල්ලීම මම සතුටින් ඉවසුවෙමි. මොහොතකට පසු ඔස්ටින් අයියා මගේ කළු පැහැති ස්ටවුට් වීදුරුව දෙස බලමින්, "ඕකට ලෙමන් ජින් පනහකුත් දාගත්තම හරි රසයි." යනුවෙන් උපදෙසක් දුන්නේය. සොබා වහාම එය ක්‍රියාත්මක කළ අතර මම එය ද සතුටින් ඉවසුවෙමි. ගුවන් විදුලි ගීත රචකයෙකු වූ පළමුදාම සහභාගී වු එම ප්‍රිය සාදය නිමා වූයේ මධ්‍යම රාත්‍රියට ආසන්නවය. එවිට ගායකයාගේ හා සංගීතඥයින්ගේ පමණක් නොව ආධුනික ගීත රචකයාගේ ද 'රතු දුර' පැන තිබුණි. කෙසේ වෙතත් එම රාත්‍රිය අදද සිහිවන විට දැනෙන්නේ 'ජින් ඇන්ඩ් ස්ටවුට්' බඳු මිහිරි රසයකි. ඉන්පසුව මට සරල ගී ලියන්නට අවස්ථාව ලැබුණේ මහනුවර විසූ සංගීත ගුරුවරයෙකු වු නිමල් ආරියරත්නයන්ගේ හා ප්‍රකට ටේලර්වරයෙකු වු එච් එම් වංසාගේ වැඩසටහන් සඳහාය. මැලේ ජාතිකයෙකු වූ වංසාට තිබුණේ ඛෙග්ට සමාන ගැඹුරු හඬකි. සිංහල වචන උච්චාරණය ද එසේම විය. ඔහු සංගීතය ද හදාරා තිබුණෙන්, තනු නිර්මාණය කොට ඒවාට වචන ද යෙදුවේය. මට බාරවූයේ එම 'සක්ක වචන' සංශෝධනය කොට අලූතින් ලිවීමකි. එහෙයින් ඒවා මගේම ගීත නොවුනත්, වංසා මට ගෙවීමක් ද කළේය. එය රුපියල් විස්සක් හෝ තිහක් වුව ද, ඒ කාලයේ හැටියට මා වෘත්තීය ගීත රචකයෙකුගේ තත්වයට ඔසවා තැබීමක් විය. පසු කලෙක ද මා ඔහුට ගීත කීපයක් ලියා දුන්න ද ඒවා පටිගත නොවීය. එහෙත් ගෙවීම් සමග පොඩි අඩියක් ද ලැබුණි. භාරතයේ දී සංගීතය හදාරා පැමිණ සිටි නිමල් ආරියරත්නයන් එකල අම්පිටියේ ඛෙරවට්ස් විදුහලේ සංගීත ගුරුවරයාය. ඒ ශ්‍රේණියේ ගායකයෙකු වූ බැවින් ඔහුගේ වැඩසටහනට ගීත 4 ක් හෝ 5 ක් ඇතුළත් කළ හැකිවිය. ආරියරත්න, මට අතදිග හැර ගීත ලියන්නට නිදහස දුන්නේය. එහෙත් ඔහු ද වඩා ප්‍රිය කළේ තනුව කලින් නිර්මාණය කොට ඊට වදන් යොදා ගැනීමටය. වංසා හා ආරියරත්න යන දෙදෙනාම විවාහකව දු දරුවන් ලබා සිටි වැඩිහිටියන් වූ හෙයින් දෝ මා ඔවුනට ආමන්ත්‍රණය කළේ "මිස්ටර්" කෑල්ල මුලට යොදමිනි. එහෙත් ඒ දෙදෙනාම මට සැළකුවේ සම වයසේ මිත්‍රයෙකුට මෙනි. ගීතයක් ලියා ගැනීමට අවශ්‍ය වූ විට නිමල් ආරියරත්න මට ඔහුගේ ගුරු නිවාසයට ආරාධනා කරයි. පානයක් සමග කට ගැසුම් ද "සංවිධානය" කරන ඔහු, ක්ලැරිනටයෙන් හෝ හැර්මෝනියම් වාදනයෙන් තනුව වයා පෙන්වයි. ඉන්පසු ඔහු zzපදම් වී, ලී ඉරන්නට පටන් ගන්නා අතර මම මගේ කාමරයට වී පදවැල් ලියන්නට වෙමි. එසේ ලියූ "ගිම්හාන ගීතේ" නමැති ගීය, තැටි ගත වී නිතර නිතර ප්‍රචාරය කෙරුණි. මගේ ප්‍රථම වේදිකා නාට්‍යය වූ "ශුද්ධවන්තයෙක් ඇතුළු කීප දෙනෙක්" සඳහා සංගීතය සැපයුවේ ද නිමල් ආරියරත්නයන්ය. එහි වූ මිහිරි තනු ඒවා ගැයූවන්ට හා ඇසුවන්ට තවමත් මතකය. පසු කලෙක රෝගී වූ නිමල් ආරියරත්නයන්ගේ ඇස් පෙනීම දුර්වල විය. ඔහුට කලාභූෂණ වැනි රාජ්‍ය සම්මානයක් පිරිනැමීමට පෙර විස්තර විමසීමට පැමිණි සංස්කෘතික නිලධාරියෙක් මෙසේ ප්‍රශ්නකර තිබුණි. "ඔබ මීට පෙර ලබා තිඛෙන සම්මාන මොනවා ද?" "අපි ප්‍රසිද්ධිය හෝ සම්මාන බලාගෙන වැඩ කරපු අය නෙවෙයි. මම නිහඬ සේවයක් කළ ගුරුවරයෙක්. අපෙන් ඉගෙනගෙන සමාජයට ගිය ළමයි තමයි අපි ලබාපු සම්මාන." සම්මානයක්, උපහාරයක් පිදීමට එම පිළිතුරම ප්‍රමාණවත් වුව ද නිමල් ආරියරත්නයන්ට 'කලාභූෂණයත්' පිරිනැමුණේ නැත. එය රෝගී හා වියපත් එම අහිංසක කලාකරුවා කනස්සල්ලට පත් කරන්නට ඇතැයි මට සිතේ. මෙම ලිපියෙහි මා සඳහන් කළ ගායකයින් හෝ සංගීතඥයින් කිසිවෙක් අද ජීවතුන් අතර නැත. එහෙයින්, මෙය ඔවුන්ගේ ද, අප්‍රකටව මියගිය වෙනත් සරළ ගී ශිල්පීන්ගේ ද, ඔවුන්ගේ ගීත රචකයින්ගේ ද නාමයන් ඉදිරියෙහි තබන පුෂ්පෝපහාරයක් වේවා !
kadapatha
15April 2016
blog_shape
ඩබ්ලිව්. එච්. උපසේන විසිනි (by W. H. Upasena) "එහෙ ලංකාවෙ වගේ නෙවෙයි හැම වෙලේම හාමුදුරුනමක්ම පිණ්ඩපාතෙ වඩිනවා. ඒ නිසා මෙහෙදිම පිරිකර ටිකත් ලෑස්ති කර ගෙන යමු." යෙහෙලියන්ගේ කීම අනුව මගේ බිරිඳ කල් තබාම පිරිකර ලෑස්ති කර ගත්තාය. විවිධ ඇට වර්ග මෙන්ම ඉරිඟු පියලිද ඒ අතර විය. මේවා පුජාකර ඇය ඉටු කර ගැනීමට වෑයම් කරන ප්‍රාර්ථනා රැසකි. බුදු දහම අනුව ජීවත්වීම යනු දන්දීම පමණක් නොව සිත දියුණු කර ගැනීමට කටයුතු කිරීම බව මම ඇයට නොයෙක් විට පහදා දී ඇත්තෙමි. මේ හේතුවෙන් නොයෙක් වර අප අතර වාද විවාද ඇති වෙයි. වෙනත් රටක සංචාරය කරන විට පන්සල්, පල්ලි හා දේවාල නරඹන තරමටම එම රටවල ජන ජීවිතයට එබී බැලීමද වැදගත් බව මම නිතරම සිතූ දෙයකි. ගියවර ලංකාවට ගිය ගමනේදීත් යාල සංචාරයට කාලය වෙන් කර ගැනුනේ මගේ කටේ බලයෙනි. ගමනේ සියයයට අනුූවක්ම පන්සල් දේවාල වලට කැප කොට හමාර වන විට අප කපටි වංචාකාරයින්ගේ ගැට වලටද හසු වී හමාරය. කෙසේ වෙතත් තායිලන්තයට පා තබා පහන් වූ පළමු දිනයේදීම අප හෝටලයෙන් පිටට බැස අවට ජනාකීර්ණ වීදි දිගේ ඇවිද යන විට පා ගමනින් වඩින, එමෙන්ම තැන් තැන් වල වාඩි ගෙන සිටින භික්ෂූන් වහන්සේලා දැක ගැනීමට අපට හැකි විය. මේ විදි දිගේ ආගමත්, පදික වෙළදාමත්, දාන පාරමිතාවත් එකට බද්ධව ඇති බව එක්වරම මගේ සිතට නැගුණි. වෙළඳුන් කෑ කෝ ගසමින් විවිධ කෑම බීම වර්ග මෙන්ම රෙදිපිළි විකුණමින් සිටින මේ ජනාකීර්ණ පටු මාවත් වල වාහන මාරුවීමද සිදු කෙරෙනුයේ ඉතා අසීරුවෙනි. කුණු කාණු වලින් හමන දුගද ද නැහැය හකුලූවයි. එහෙත් ඇගේත්, මගේත් දාන පාරමිතාව සපුරා ගනු වස් මේ කලබගෑනි අතරම පාත්‍රයක් අත දරා වැඩ සිටි භික්ෂුවකි. දන් පිරිනැමීමට එන සැදැහැවතුන්ට වාඩිවනු පිණිස උන් වහන්සේ ඉදිරියේ පලසක් ද එලා ඇත. අප සකස් කර ගෙන ආ පිරිකර පූරා කොට වැඳ නමස්කාර කරත්ම එම ස්වාමීන් වහන්සේ පෙරළා අපට සෙත් පතා පාලි ගාථාවක් ද සජ්ජායනා කළහ. අප මෙන් නොව තායි ජාතික බැතිමත්හු ඒ අසලම පදික වේදිකාවේ පිළියෙළ කර තිබූ බත් සහ මාලූ පිණි සහිත බඳුන් පූජා කොට සෙත් පතා ගත්හ. වැඩි කෑම දැමීම සඳහා උනවහන්සෙලා ළඟම තවත් විශාල පෙට්ටියක් ද වෙයි. ඇවිදින භික්ෂුවක් නම් තවත් කෙනෙක් මේ කෑම දමා ගැනීම සඳහා අත් කරත්තයක් ද ගෙන යයි. මේ ක්‍රියාවලිය බලා සිටින්නෙකුට බැතිමතුන්ගේ දාන පාරමිතාව එක්තරා අන්දමක ව්‍යාපාරයට මං පාදා ඇති බව සිතා ගැනීම අපහසු නොවේ. මේකී සිතුවිලි මැදින් නැවතත් හෝටලය වෙත පෙරළා එන ගමනේදී පදික වේදිකාව දිගට කෙරෙන මේ දානය පිළිබඳ ම'සිත වූ පැහැදීම දෙදරා ගියේය. වෙනත් වචන වලින් පවසනවා නම්, පිණ්ඩපාතය පිළිබඳ මා තුළ වූ පැහැදීම එක්තරා අන්දමකට සසල විය. අප සකස් කර ගෙන පැමිණි පිරිකර මල්ලෙන් අඩක්වත් තවමත් එහෙමම ය. මේවා කාට හෝ පිරිනැමිය යුතුව තිබුණේ ඇතැම් පිරිකර අපේ මිත්‍රයින් අපට පිරිනැමූ හෙයිනි. පසුදින පන්සල් ගණනාවක් තිබූ අයුද්දයා ප්‍රදේශයට ගියද, පිණ්ඩපාත භාර ගන්නා භික්ෂූන් එහිදී සොයා ගැනීම අපහසු විය. අපට ලැබුණු තොරතුරු අනුව පේළියට පිණ්ඩපාතයේ වඩිනා භික්ෂූන් ඕනෑ තරම් තායිලන්තයේ සිටින හෙයින්, එබැවින් මේවා පිරිනැමීම එතරම් දුෂ්කර කාර්යයක් නොවන බවකි. කරුමයට මෙන් මෙහි එය එසේ නොවීය. එසේත් නැතහොත් මෙය, ලාඛෙට ඇඳුම් පැළඳුම් මිලට ගැනීම සඳහා බිරින්දෑවරුන් සමග අනිවාර්යයෙන් සහභාගි වියයුතු නීරස සාප්පු චාරිකා වෙනුවෙන් කෙරෙන උප්පරවැට්ටියක් විය නොහැකි ද ? දිවා කාලයේ විදියේ එක් කොණක මෙලෙස බෞද්ධ භික්ෂූන් වහන්සේලා පිරිකර බාර ගැනීමට සැදී පැහැදි සිටින විට රාත්‍රී අඳුරත් සමඟ අනෙක් කොණෙන් නිශාචර කතුන් මතුවෙන මේ වීදිය ඔබේ චරිතය තියුණු විමසුමකට ලක් කරයි. කෝකටත් කියා එක් වැහිබර දිනක කාටත් නොකියා මම වීදියට බැස්සෙමි. මගේ සිතේ දාන පාරමිතාවක් හෝ අන් කවර හෝ අරමුණක් නොවීය. පාන්දර හතර පහේ පටන් අවදිවන පදික වේදිකාවේ ජීවිතය දැක ගැනීමේ කුතුහලය ම'සිත මඬනා ලද බව නම් කීම වඩාත් නිවැරදිය. ප්‍රධාන වීදිය දිගේ ඇවිද ගිය මම එකවරම අතුරු මාවතකට පිවිසුනෙමි. වෙලාව උදේ පහට පහ හමාර පමණ වන්නට ඇත. එහෙත් ඒ වන විටත් වැසී තිබුණු වෙළඳසැල් මුවා කරගෙන පදික වෙළෙන්දෝ ගජ රාමෙට පාර අහුරා ගෙන තම වෙළඳාම පටන් ගෙන තිබුණි. තැනෙක මාලූ හෝ කැවිලි ගැඹුරු තෙලේ බැදෙන අතර තවත් තැනක තැම්බූ එළවළුය. කැම බඳුන් සහ සුප් බඳුන් සමග ඇතැම් කරත්ත දුම් දමයි. කාණු වලින් හමන පල් දුගඳත්, මාලූ බැදෙන සුවඳත් එකට එක්වීමෙන් නැගෙන්නේ අමුතුම දුගඳකි. තවත් තැනක කාන්තාවෝ සිරුර සම්බාහනය කර දෙන්නට සැදි පැහැදී සිටිති. ඉන්දියානු හා ශ්‍රී ලාංකික අවන්හල් වල දොර පලූ දෙක තුනක් ඇරෙමින් ඇත. පාරේ ඉඩ නැති බැවින් වාහන ඇඟේ වැදී නොවැදී සීරුවෙන් මාරු වන්නේ නළා හඬක්වත් නොනගාය. මේ අප අත්විඳින්නේ සැබෑ තායිලන්ත නාගරික ජන ජීවිතයමද ? මෙලෙස ඒ වීදිය දිගේ් ඇවිද ගොස් හමු වූ මුල්ම වංගුව හරියේ දී කරත්තයක් අසල වාඩි ගෙන සිටියේ තරුණ ස්වාමීන් වහන්සේ නමකි. උන්වහන්සේගේ මුහුණ දුටු වනම මට කිසියම් සුපුරුදු දසුනක් මතකයට නැගී ආවේ ය. මම නැවත වරක් උන් වහන්සේ දෙස බලත්ම මදහසක් නගා හිස පහත් කොට උන්වහන්සේ මට ආචාර කළහ. මම ද දෑත් එකතු කොට හිස නමා එතැනින් ඉදිරියට ගියෙමි. අලූත් රටකට පැමිණි විට හැම මුහුණම පෙනෙන්නේ එක විදියටය. ඇත්තටම මම පසු වූයේ එක්තරා අන්දමක ඉච්ඡා භංගත්වයකින් යැයි කීම නිවැරැදිය. මට අවශ්‍ය වූයේ බොහෝ පදනම් විරහිත යැයි පෙනෙන ආගම් චාරිත්‍ර වලට ඔබ්ඛෙන් ගිය බුදු දහමේ මහ ඉහළින් උගන්වන විපස්සනා භාවනා වැඩසටහන් පවත්වන, එමගින් සිත දියුණු කර ගත හැකි ස්්ථානයක් නැරඹීමට ය. එමගින් සන්සුන් කර ගෙන හික්මවා ගත යුතු අවිනීත සිතද දිනෙන් දින ඔද්දල් වෙන්නට බලන ගතට ද මෙම සංචාරය මගින් කිසියම් ප්‍රබෝධයක් ලබා දෙනු ඇතැයි යැයි මම බලාපොරොත්තු වුනෙමි. එහෙත් අප මෙහිදි කරන්නේ දන් දී පරලෝක සැපය සඳහා හැකි තරම් ආයෝජනය කිරීමය. එමගින් ලබන ආත්මයද රක්ෂණය කර ගැනීමය. ස්වභාවයෙන් ම මා තුළ පවතින නොසන්සුන්කම එසේත් නැත්නම් ඉක්මණින් ප්‍රතිඵල ලබා ගැනීමේ අභිප්‍රාය මේ තත්ත්වය තවදුරටත් ව්‍යාකූල කරමින් තිබුණි. ඊයේ අප සංචාරය කළ පාවෙන වෙළඳ පොළේදී ද මට යමුවන්නට ඔන්න මෙන්න තියා මග හැරී ගියේ මේ භික්ෂුවමද ? අප ඇතුලූ පිරිස අසා තිබුණේ මේ වෙළඳ පොළේ දිය වීදි දිගේ බෝට්ටු වලින් යන විට ස්වාමීන් වහන්සේලා ඔරුවල නැගී පිඩු සිගා වඩිනා බවකි. එහෙත් මන්දාරම් අහස මෙන් කලූ පැහැ ගැන්ව කැලතුනු දියත්, කොහු ලෙලි වලවල් සිහි ගන්වන දිය අගලූත් එකිනෙක ගැටෙමින් ඒ මේ අතට මාරුවන බෝට්ටුත් එසේ දන් පිරිනැමීමට තිබුණු ඉඩකඩ අහුරා ලිය. මහළු දුබල ගැමි වෙළෙන්දියෝ පලතුරු හා බැදපු කට ගැස්ම ටිකක් අසුරා ගෙන හබල් ගසමින් පැද එන ඔරු මුවා කරගෙන යාන්ත්‍රික බෝට්ටු ඇදෙයි. ඉවුරු දෙපස සිටින වෙළෙන්දෝ ඔවුන් ළඟ තිඛෙන බඩු භාණ්ඩ වලට ගිනි ගණන් කියති. ඇත්තටම මේ කලබල වීදිය අතරින් භික්ෂූන් වහන්සේලා තිදෙනෙකු රැගත් කුඩා ඔරුවක් අප අසලින් මාරු වන්නට ආවේය. මම වහා පිරිකරක් ගෙන එක නමකට පිරිනමන්නට සැරසුනද යාත්‍රා දෙකේ ගමන් වේග සම නොවීමත් යාත්‍රා දෙක අතර පරතරය පිළිබඳ හැගීමක් නැතිකම නිසාත් එය උන්වහන්සේ වෙතට පිරිනමන්ට මත්තෙන් අර අඳුරු පැහැති දියමත වැටී සැඟව ගියේය. කමක් නැහැ යන සංඥාව දක්වමින් උන්වහන්සේ හිස පහත් කළහ. මෙය නම් සංචාරකයින් අද්දවා ගැනීමේ උප්පරවැට්ටියක් මිසක අන් යමක් නොවේ යැයි මට ඒ මොහොතේම සිතුණි. එහෙත් මහාම අවුල සිදුවූයේ කොටි අසපුවේදීය. බැංකොක් වලින් පිටත්ව බොහෝ දුර ගෙවා පැමිණි මේ ප්‍රදේශය ඛෙහෙවින් ශ=ෂ්ක ය. චණ්ඩ හිරු රශ්මියත්, දුහුවිලි වළා නැගෙන හාත්පස පරිසරයත්, අතු ඉපල් බේරුණු ගහකොළත්, වෙහෙසකර ගත තව තවත් වෙහෙසට පත් කළේ ය. ළාබාල කොටි රැහැන් වලින් බැඳ කවර හෝ ඛෙහෙතක් ලබා දී නිදි කරවා තිබුණු අතර අපට ඡායාරූප ගැනීමට ඉඩ සලසා තිබුණේද උන් සමගය. සමූහ ඡායාරූප ගැනීම සඳහා එක්වීමට භික්ෂූන් වහන්සේ නමක් එහි අසුන් ගෙන සිටියහ. ඡායාරූප ගැනීමෙන් පසු මම පිරිසෙන් මඳක් වෙන්ව එතරමි හිලෑ නැති හැඩි දැඩි කොටි රඳවා තිඛෙනවායි කියූ ලෙන් වෙත කල්තබා පා නැගිමි. බොරළු වලින් පිරි අඩි පාරකින් පැමිණ එම ලෙන් තුළට එබී බැලිය යුත්තේ ඉහළ සිටය. හොඳින් හැදුනු වැඩුනු කොටි දෙතුන් දෙනෙක් සිටියේ කූඩු කරන ලද කාමරවල වෙන් වෙන්ව ය. වරින් වර උන් ගොරවන හඬද ඇසෙන්නට විය. හිටිහැටියේම මා කලබලයට පත් වූ අවස්ථාවක් උදා විය. ගේට්ටුවක් ඇරෙන හඩක් ද, දම්වැලක් ගැසෙන හඩක් ද, ඒ සමගම මේ සතූන් රැක බලා ගන්නා කෙනෙක් යැයි කිවහැකි අයෙකුගෙන් වහාම මෙතැනින් පලා යන්නැයි හැගවෙන සංඳාවක් ද ලැබුණි. එක කොටියකුගේ ගෙරවිලි හඬද ළං ළංව ඇසුණේ ය. කළ හැකි කිසිවක් නොවුනෙන් මම පය ඉක්මන් කරමින් ඉහළ කඳු ගැටයක පිහිටා තිබුණු අසපුව දෙසට දිව ගියෙමි. එහෙත් පටු අඩිපාරේ හමුවන කුඩා ගල් කුලක් පසු කරත්ම එහි සිටි භික්ෂුවක් මුහුණට මුහුණ මුණ ගැසිනි. වටාපතක් අත දරා සිටි උන් වහන්සේ වැඩියේ සන්සුන්ව ය. "බාහන්ටේ...." මට ඉබේම කියැවිණි. "ටයිගර් ...... ටයිගර්.... ප්ලීස් ස්ටොප් ඇන්ඩ් රන් බෑක්...." උන්වහන්සේ පිළිතුරු දුන්නේ සිංහලෙනි. "මහත්තය මම නං නැවතිල ඉන්නෙ. මහත්තයනෙ තවමත් දුවන්නෙ. කලබල වෙන්න දෙයක් නැහැ. මේ කොටින්ට කෑම දෙන වෙලාව.... උන් එතකොට ටිකක් කලබල කරනව....." අදෝමැයි ! මේ අර පාවෙන වෙළඳ පොළේදී මා පිරිනැමූ පිරිකර භාර ගන්නට සැදී පැහැදුනු ස්වාමීන් වහන්සේමය. තායි භික්ෂුවක් මා ඉදිරියේ මෙසේ සිංහලෙන් කතා කරනු දැක මම විපිලිසරව බැලූවෙමි. "මම කාලයක් පෑලියගොඩ විද්‍යාලංකාර පිරිවෙනේ ඉගෙන ගත්ත. සිංහල ඇත්තො මට හොඳට හුරුයි.." මෙහි සංචාරයට පැමිණියේ මෙලෙස සෙනඟ අද්දවා ගැනීමට තිඛෙන කොටි ආරාම හා සංචාරකයින් අලි පිටේ ගෙන යාම දැකීමට නොව බුදු දහම හොඳින් පිළිපදින දේශයක් දැක ගැනීමේ ආශාවෙන් බව මම උන්වහන්සේට කියා සිටියෙමි. මගේ ඉච්ඡා භංගත්වය මුහුණේ සටහන් ව තිඛෙන්නට ඇත. එය උන් වහනසේ හොඳින් කියවා ගෙන ඇති සේය. "හොඳ දේ සොයා ගන්න වෙන්නෙ මේ අවුල් වියවුල් අතරින් ම තමයි..මහත්තය...ඒකට කාලයත් විනයත් ඕන වෙනව....."
11April 2016
blog_shape
මුනිදාස වංශපුර විසිනි (Munidasa Wanshapura) මේ පොලෝ තලය මත මිනිස් සේයාවක්වත් දක්නට නොවූ අවදියේදී පවා ඉර හඳ තාරකා හා ග්‍රහලෝක මෙන්ම විවිධාකාරයේ ආලෝක ධාරාවන්ද ඒ මේ අත ඇදීයන දීප්තිමත් වස්තූන්ද අද මෙන්ම ඈත අහසෙහි දර්ශනය වන්නට ඇත. තම ගල්ගුහා තුළට වී රාත්‍රී අහස දෙස විශ්මයෙන් බලා සිටි අපේ මුතුන් මිත්තෝ මෙම දර්ශන පිළිබඳව කලින් කල විවිධ විශ්වාස, ජනප්‍රවාද හා සංකල්ප ගොඩනගන්නටද ඇත. එදා ඔවුන්ගේ සිත්වල නැගුනු දේ අතර පිට සක්වල ඇත්තන් හා ඔවුන්ගේ යනාවන් පිළිබඳව යම් අදහසක්ද තිබු බවට අවුරුදු දහස් ගණනකට පෙර ඇඳි ඇතැම් සිතුවම් අපට යම් ඉඟියක් ලබා දෙයි. එහෙත් අහසෙහි වරින් වර දර්ශනය වන අද්භූත යානාවන් "පියාඹන පීරිසි" ලෙස හඳුන්වන්නට පටන් ගත්තේ මෑත කාලයේදීය. බොහෝ දෙනා විසින් මෙම පදය භාවිතයට ගත්තේ 1957 දී පමණ ඇමෙරිකානු ගුවන් නැවියෙකු වූ කෙනත් ආර්නෝර්ඩ් විසින් තමන් විසින් දුටු අදිසි යනාවන් සමූහයක් පිරිසි හැඩයෙන් යුක්ත එවා ලෙස විස්තර කිරීමත් සමගය. එහෙත් වඩාත් විදුහුරු වන්නේ අවසන් නිගමනයට එළඹෙන තෙක් මෙවැනි දෑ හඳුනා නොගත් පියාඹන වස්තූන් ලෙස හැඳින්වීමය. අභ්‍යාවකාශ යුගයේ ආරම්භයත් සමග නිපදවුනු විවිධ ගගන යාත්‍රාවන්ද, විශ්වය පිළිබඳව පෙරීමකින් තොරව ජනතාව වෙතට ගලා ආ තොරතුරුද, පිටසක්වල ඇත්තන් හා පියාඹන පීරිසි පිළිබඳ පොදු ජනයාගේ කුතුහලය මෙන්ම උනන්දුව වඩාත් තිව්‍ර කිරීමට හේතුවිය. මේ නිසාම අදත් ලෝකයේ නන් දෙසින් පියාඹන පීරිසි පිළිබඳ තොර තුරු ගලා එන අතර මෙම හඳුනා නොගත් අකාශ වස්තූන් ගැන ගවේශණය කිරීම සඳහා පුළුල් වැඩසටහන්ද ක්‍රියාත්මක වෙමින් පවතී. මේ අතර සැබෑ විද්‍යාත්මක ගවේශණ වලින් හෙලිවන කරුණු අතරට ඇදහිය නොහැකි ප්‍රබන්ධද එකතුවේ. ඒ, අද "පියාඹන පීරිසි" පිළිබඳ සංකල්පය ඇතැමුන්ගේ තවත් උන්මාදයක් බවට පත්ව ඇති නිසාය. තවත් විටෙක පියාඹන පීරිසි පිළිබඳ මිනිසුන් තුළ ඇති කුකුස සංචාරකයින් ඇදගැනීමේ උපාය මාර්ගයක් ලෙස ප්‍රයෝජනයට ගන්නා අවස්ථාවන්ද ඇත. ඕස්ට්‍රේලියාව තුළද හඳුනා නොගත් පියාඹන වස්තූන් ගැන සමීක්ෂණ කරන ප්‍රධාන ගවේශක කණ්ඩායම් ගණනාවක් ක්‍රියාකාරීව සිටිති. ඔවුන් වෙතද පියාඹන පීරිසි පිළිබඳව තොරතුරු නිරතුරුවම සැපයේ. පියාඹන පීරිසි දුටු අවස්ථා පමණක් නොව, පිටසක්වල ඇත්තන් හමු වූ අවස්ථාවන් ගැන මෙන්ම පියාඹන පීරිසියක් විසින් තම මෝටර් රථය ඉහළට ඔසවාගෙන ගිය අවස්ථාවක් ගැන තොරතුරුද ඒ අතර වෙයි. ඒවායේ සත්‍ය අසත්‍ය තාවයන් කුමක් වුවත් මීට අවුරුදු පණහකට පමණ පෙර මෙල්බර්න් නගරයට නුදුරු ක්ලේටන්හි වෙස්ටෝල් උසස් පාසල ආසන්නයේ දකින්නට ලැබුණු පියාඹන පීරිසිය සුවිශේෂී එකකි. ඒ මක්නිසාදයත් එය දහවල් කාලයේදි සිය ගණනක් දෙනා විසින් වැඩි කාලයකදී හොඳින් දුටු සිදුවීමක් නිසා මෙන්ම මේ සිදුවීම දුටු බොහෝ දෙනා අදත් ජීවතුන් අතර සිටියදීත් අඩ සියවසක් ගෙවීගිය මේ මොහොතේ පවා එය තවමත් පැහැදිලි කළ නොහැකි අබිරහසක්ව පැවතීමයි. ලෝකයේ නන් දෙසින් නිතර වාර්තාවන පියාඹන පීරිසි වලින් බොහොමයක් රාත්‍රී කාලයේ දක්නට ලැඛෙන ඒවා නිසා ඒවායේ නියම ස්වරූපය විස්තර වන්නේ මදවශයෙනි. එසේම ඒවා ගමන් කරන අධික වේගයත්, නිරීක්ෂකයා අතර ඇති අධික දුර ප්‍රමාණයත් නිසා කෙනෙකුට නිවැරදි විස්තරයක් කිරීමද අසීරු වෙයි. එමෙන්ම මෙවැනි අකාශ වස්තුවක් එකවිට නිරීක්ෂණය කරන්නට ලැඛෙන්නේද ඉතා ටික දෙනෙකුටය. ඒ අතින් "වෙස්ටෝල් පියාඹන පීරිසිය" වඩාත් ඉදිරියෙන් සිටී. එය වෙනත් ඒවා මෙන් නොව පැහැදිලි දවාලක, විනාඩි විස්සක පමණ කාලයක් තුළ ලොකු කුඩා සිය ගණනකට හොඳින් දර්ශනය වූවකි. ඒ එක්දහස් නවසිය හැටහයේ අප්‍රේල් හයවනදා උදෑසන කාලයයි. එය හේමන්තයේ තවත් ප්‍රභාමත් දිනයක් වූ අතර වෙස්ටෝල් උසස් පාසලේ සිසුන්ද ඒ අසල් වැසියන්ද සුපුරුදු වැඩ කටයුතුවල නිරතව සිටියහ. එහෙත් උදෑසන එකොළහට පමණ එක්වරම පාසලට ඉහළින් ඇදී යන්නට වූ අද්භූත යානයක් නිසා පාසල තුළද අවට පරිසරයේද නිහඬතාවය සැනෙකින් බිඳී ගියේය. මෝටර් රථ දෙකක් තරම් විශාල වූ පීරිසි හැඩගත් එම යානය පළමුවෙන්ම දුටු ක්‍රීඩාංගණයේ සිටි ළමුන් විශ්මයෙන් ඒ මේ අත දුවමින් කෑගසන්නට වූ අතර ඒ හඬ අසා පංති කාමරවල සිටි ගුරුවරුන් හා ශිෂ්‍යයෝද වහ වහා පිටතට පැමිණ සිදුවන්නේ කුමක්දැයි බලන්නට වූහ. නොඉවසිලිමත් වූ ඇතැමෙක් ඒ දෙසට දිව යන්නට වූහ. හදිසියේ තම කැමරාව ගැන මතක් වූ රසායන විද්‍යා ගුරුතුමිය කඩිනමින් මේ ආගන්තුක යානයේ ඡායාරූප ගන්නට උත්සුක වූවාය. මේ අතර සෙමින් ගමන් කළ නිල් අලූ පැහැති ලෝහමය දිලියුමක් තිබූ මෙම යානය ගිනිකොන දෙසට ඇදීගොස් පයින් ගස් වලට ඔබ්ඛෙන් වූ හිස් බිමට පහත් විය. මෙය දුටු අසල්වැසි කාන්තාවක් පවසා තිබුණේ ගොඩ බෑම සඳහා තැනක් සොයමින් මෙන් පාසලට ඉහළින් කරකැවුනු මෙම යානය පසුව තණබිම දෙසට පහත් වූ බවය. කෙසේ හෝ යානාව පහත්වනු දුටු ළමෝ පාසල් මායිම තෙක් දිව ගියහ. ඇතැමෙක් වැටට උඩින් පැන ඒ දෙසට ළඟා වීමට තැත්කළහ. එහෙත් ස්වල්ප වේලාවකින් එම යාන මුඩුබිමින් ඉහළට ඇදී නිරිතදිග දිශාවටම ගමන් කරන්නට විය. ඒ සමගම කුඩා ගුවන් යානා පහක් පමණ එය ලූහුබඳ යනු දකින්නට ලැබුණු නමුත්, වේගයෙන් ගමන් කරන්නට පටන්ගත් එම ආගන්තුක යානාව ආසන්නයට වත් එවාට ළඟාවිය නොහැකි විය. අවසානයේ එය දර්ශන පථයෙන් ඉවතව ගියද ආරම්භයේ සිට විනාඩි විස්සක පමණ කාලයක් පමණ මෙම පරිශ්‍රයේ රැඳී සිට ඇත. කඩිමුඩියේ දිවගොස් පයින් ගස්වලට ඔබ්ඛෙන්වූ තණබිමට ළඟාවූවන්ට යානය තිබූ තැන වලයාකාර ප්‍රදේශයක තණකොල වැතිරී තිඛෙනු දැකිය හැකිවිය. එහෙත් එහි තණකොළ පිච්චීමකට ලක්ව තිබුනේ නැත. මේ අතර එම ස්ථානයට ඔබ්ඛෙන් තවත් එවැනිම තණකොල පොඩිවීගිය වලයාකාර ප්‍රදේශයක් දකින්නට ලැබුණු බව ඇතැම්හු කීහ. ඒ අනුව මෙම යානයට අතිරේකව තවත් යානයක් එහි පැමිණ තිඛෙන්නට ඇත. මේ අතර මෙම අබිරහස් යනාව පහත් කළ ස්ථානයට මුලින් ළඟා වූ එක් දැරියක් සිහිසුන් තත්ත්වයක වැටී සිටි අතර ඇය ගිලන් රථයකින් රෝහල් ගත කෙරිණ. හදිසියේ ඇතිවූ මෙම නුහුරු අත්දැකීම නිසා කලබලයට මෙන්ම කුතුහලයට පත් මෙහි සිටි සියල්ලන්ගේම සිත් තුළ ප්‍රශ්නාර්ථ රැසක් ගොඩ නැගෙමින් පැවතුණි. පීරිසි හැඩයගත් මෙම ආගන්තුක යානය කුමක්ද ? එය පැමිණෙන්නට ඇත්තේ කොහි සිටද? එය අසල මුඩුබිමට පහත්වූයේත් එකවරම වේගයෙන් ඈදී ගියේත් ඇයි? එය ලූහුබැඳ ගිය යානාවන් මෙනවාද ? ඒවායේ ගුවන් නියමුවන් කවුරුන් විය හැකිද ? සියල්ල තවත් ව්‍යාකූල කරමින් මේ ප්‍රශ්න වැල අතරට තවත් ප්‍රශ්නාර්ථයන් රැසක් එකතු වූයේ පසුව ඇතිවූ සිදුවීම් පෙළත් සමගය. යානය දකින්නට ලැබී වැඩි වේලාවක් යන්නට මත්තෙන් ප්‍රවෘත්ති වර්තාකරුවන් පාසලට පැමිණි අතර අතර ඔවුහු ගුරුවරුන්ගෙන්ද ශිෂ්‍යයින්ගෙන්ද තොරතුරු විමසන්නට වූහ. එහෙත් මෙම සිදුවීම සම්බන්ධව රොසී ජෝන්ස් සැකසූ වාර්තා වැඩසටහනකට අනුව ඒ සමගම එහි පැමිණි පොලිස් නිලධාරීහු මාධ්‍යට තොරතුරු සැපයීම වැලැක් වූ අතර මේ පිලිබඳ කිසිත් කතා නොකරන ලෙස සිසුන්ට හා ගුරුවරුන්ට අනතුරු හැ`ගවූහ. https://www.youtube.com/watch?v=DDlHRCmD4As මේ අතර විදුල්පතිවරයා විසින් රසායන විද්‍යා ගුරුතුමියගේ කැමරාව බාර දෙන ලෙසද බලපෑම් කර ඇත. පසුව නිල් පැහැති නිල ඇඳුමකින් පැමිණි අයෙකු ඡයාරූපගත් එම කැමරාව තබාගැනීම නීති විරෝධී බව පවසා තම බාරයට ගෙන ඇත්තේය. අවසානයේ හදිසි රැස්වීමක් පැවත් වූ විදුහල්පතිවරයා, ළමුන් දැක ඇත්තේ කාලගුණ බැලුනයක් බව පවසා තව දුරටත් කියාසිටියේ මින් පසු මේ ගැන කිසිවෙකු සමග කතා නොකරන ලෙසය. මේ අතර නිල අඳුම් ඇඳගත් පිරිසක් වාහන දෙකකින් පැමිණ යානය තිබූ ස්ථානය පරීක්ෂාකර ගොස් ඇත. මෙම අබිරහස් යානාව හා එය හඹාගිය යනා පිළිබඳ ගුවන් තොටුපල පාලක මධ්‍යස්ථාන හා ඕස්ට්‍රේලියානු රාජකීය ගුවන් බලකායෙන් විමසූ විට ඔවුන් පවසා ඇත්තේ එවන් යාත්‍රාවන් ගැන ඔවුනට දැනගන්නට ලැබී නැති බවය. කෙසේ හෝ එක් පුවත් පතක් මෙම සිදුවීම පිළිබඳ තොරතුරු සවිස්තරව පලකොට තිබූ අතර කුමන හේතුවක් නිසා හෝ අනෙක් පුවත්පත් මේ ගැන සැළකිල්ලක් දක්වා තිබුණේ නැත. පසුව මේ පිළිබඳව මාධ්‍යට තොරතුරු හෙලිකළ ළමුන්ට පංති තහනමක් පැනවුනු අතර මේ ගැන තමා දුටු දේ පැවසූ විද්‍යා ගුරුවරයාට හමුදාව විසින් මරණීය තර්ජන එල්ලකර තිබූ බවටද ඇතැම් වර්තා වල දැක් වේ. තවද නවතා තැබූ යානය සමීපවම දුටුවේ යයි සිතන රෝහල් ගත කළ ටානියා නමැති දැරිය සුවය ලැබූ නමුදු යලිත් කිසිදිනෙක පාසලට පැමිණ නැත. මේ පිලිබඳව චැනල් 9 මගින්ද වැඩසටහනක් සකසා තිබුණද පසුකාලයක ඒ පිළිබඳව සොයා බලනවිට හමු වී ඇත්තේ එම වීඩියෝව තිබූ කවරය පමණි. කුමන පදනමක් මත ක්‍රියාත්මක වුවද මෙම පශ්චාත් සිදුවීම් සියල්ල ආගන්තුක යානය පිළිබඳ නිවැරදි තීරණයකට එළඹීම තවත් ව්‍යාකූල බවට පත් කළේය. කෙසේ වෙතත් මෙය සිදුවූ මුල් දිනවලම Victorian Flying Saucer Research Society (VFSRS) yd Phenomena Research Australia (PRA) - මෙම ස්ථානයට පැමිණ පාසලින් හා සිද්ධිය දුටු අසල්වාසීන්ගෙන්ද තොරතුරු විමසා විධිමත් සමීක්ෂණයක් කර තිබේ. ඉන් පසුවද ගෙවී ගිය අඩ සියවසක කාලය තුළ වරින්වර තනිව හා කණ්ඩායම් ලෙසද මෙම "වෙස්ටෝල් පියාඹන පීරිසිය" පිළිබඳව විවිධ මට්ටමේ සමීක්ෂණ පවත්වා ඇත. මා ඉහත සඳහන් කළ විස්තරද මෙම සමීක්ෂණ මගින් පොදුවේ හෙලි වූ කරුණු මත පදනම් වූ ඒවාය. එහෙත් අදටත් ඒ සියල්ලන්ටම ප්‍රකාශ කළ හැකිව තිඛෙන්නේ මෙය අඳුනා නොගත් ආකාශ වස්තූන් පිළිබඳව ඕස්ට්‍රේලියාවෙන් වාර්තාගත වූ නිශ්චිත තීරණයක් දිය නොහැකි වූ එහෙත් සුවිශේෂී සිදුවීමක් බව පමණි. කරුණු එසේ වුවද සියල්ල කාලයත් සමග වැලලී යාමට ඉඩනොදී වෙස්ටෝල් පියාඹන පීරිසිය පිළිබඳ මෙම අභිරහස ලොවට හෙලිදරව් කිරීමේ හැකියාව තවමත් ඉතිරිව පවතී. මක්නිසාද යත් මෙම සිදුවීම සියැසින් දුටුවන් බොහෝ දෙනෙකු අදත් ජීවතුන් අතර සිටින නිසාත්, කුමන හේතුවක් නිසා හෝ එහි තොරතුරු සැඟවීමට තැත් කළ අයගෙන්ද කිහිප දෙනෙකු හෝ තවමත් ජීවතුන් අතර සිටිය හැකි නිසාත්ය. සත්‍යයේ නාමයෙන් ඔවුන් දැන්වත් තම මුණිවත බිඳින්නේනම් එය කෙතරම් අසිරියක් වේද?
28March 2016
blog_shape
මම ඉපදුණේ ෛඑතිහාසික පුරවරයක් වූ තිස්සමහාරාමයේ දී. මා ජීවත් වූ නිවස ඉදිවෙලා තිබුණේ ගැමුණු කුමාරයත් - තිස්ස කුමාරයත් කුඩා කාලයේ සෙල්ලම් කරන්න පැමිණි පිට්ටනියකට අයත් භූමියක. මගේ මහ ගෙදර වටේටම තිබුණේ ගල් කණු. සමහර ඒවා කෙළින් අතට එහෙමම තිබුණා. සමහර ඒවා ඒ පැත්තට මේ පැත්තට ඇලවිලා. සමහර ඒවා බිම වැතිරිලා. මගේ දෙමව්පියන් කියන අතීත කතා වලට අනුව මේ ඉඩමේ මාලිගාවක් තිබිලා තියනවා. මාලිගාවක් විතරක් නෙමෙයි පැරණි පන්සලකුත් තිබුණාලූ. වගාවන් සඳහා ඉඩම කොටන සමහර අවස්ථාවල දී මේ පොළවෙන් ගල්පිලිම ආදී පෞරාණික දේවල් මතුවෙන්න පටන් ගත්තා. අන්තිමේ දී මගේ සීයා අපේ ඉඩම පන්සලක් වෙනුවෙන් පරිත්‍යාග කළා. ඉස්කෝලේ ඇරිලා ගෙදර ඇවිත් හැන්දෑවේ ඒ ගල්කඳු උඩ වාඩිවෙලා මම සිංදු කියනවා. ඒ කාලයේත් මට දැනුනු දෙයක් තමයි මා වටේ කවුරුන් හෝ ඉන්නා බව. පලාත හරිම සුන්දරයි. ඉද්ද ගැසුවා වාගේ ගුරු පාරවල් - වැව් කණ්ඩි - වෙලේ නියරවල් - හේන් දිගේ මම පුළුවන් තරම් සෙල්ලම් කළා. රතු මිරිස්, බඩ ඉරිඟු, වට්ටක්කා, කැකිරි යායවල්. වටේ පිටේම කුරුල්ලන්ගේ ගී හා වැස්ස දිහා මම බලාගෙන හිටියේ හරිම ආශාවකින්. ඇත්තටම වැස්ස කියන්නේ ලස්සන ගීතයක්. හැන්දෑවේ වැඩ අහවර වෙලා අම්මා තාත්තා නිවසේ මිදුලේ වාඩිවෙලා කතාකර කර ඉන්නවා. තාත්තා සිංදු කියනවා. මම අම්මගේ උකුලට හිස තියාගෙන මේවා අහගෙන ඉන්නවා. දන්නෙම නෑ මට නින්ද ගිහින්. තාත්තාගේ මල්ලීට, ඒ කිව්වේ මගේ බාප්පට සංගීත කණ්ඩායමක් තිබුණා. සර්පිනාව - තබ්ලාව - ඩොලැක් එක - වයලීනය තමයි ඒ අයගේ සංගීත භාණ්ඩ. බාප්පා සර්පිනාව වයනකොට මම කාමරේ දොර රෙද්දේ එල්ලිලා ඒ දිහා බලාගෙන ඉන්නවා. පස්සේ පස්සේ බාප්පාගේ සංගීත කණ්ඩායම ගමේ ගෙවල්වල සාජ්ජ දානකොට මමත් ගිහින් සිංදු කිව්වා. මේක මගේ ආරම්භය වෙන්නට ඇති. තිස්සමහාරාමයේ ඉඳලා මගේ අම්මා තාත්තා අටුලූගම වැලන්ටයින් වත්ත මිලයට අරගෙන මල්ලිලා දෙන්නත් නංගිත් සමග එහි පදිංචියට ආවා. මේ වත්තේ පරිසරයත් එක්ක තිස්සමහාරාම පරිසරයේ වෙනසක් මට දැනුනේ නෑ. https://youtu.be/25M9lvCaFuU රුවන්වැල්ලේ රාජසිංහ මහා විද්‍යාලය මගේ පාසල උනා. එහිදී මම නැටුම් කලාව විෂයයක් ලෙස හැදෑරුවා. හැබැයි සංගීතය නම් කළේ නෑ. සිංදු කිව්වා. ඒ කාලේ ජනප්‍රිය ගායිකාවන්ගේ ගීත ඔහේ කිව්වා. තවමත් ඒ ගීත කැසට් පටයක පටිගත කරලා මා ළඟ තියනවා. ස්වර දැනුමක් නැතුව මම ඒ ගීත හොඳින් ගායනා කරලා තියනවා කියලයි හැමෝම කියන්නේ. මගේ ජීවිතයේ අලූත්ම වෙනසක් ඇතිවූවේ මේ කාලයේ. ඒ මට ප්‍රියා මුණ ගැසීම. අපි විවාහ වුනේ 1987 දී. ලෝචන සහ පසිඳු මගේ දරුවන් දෙදෙනා. මගේ ගීත ඇසූ ප්‍රියා (ප්‍රියානන්ද විජේසුන්දර) මගේ කැසට් පටියක් කිරීමට අදහසක් ගෙනාවා. ප්‍රියාගේ බිරිඳ වූ මට ඒ කාලයේ කැසට් පටයක් කිරීම හරිම ලේසි දෙයක්. ඒත් මාධ්‍යය තුළ ප්‍රියාට තිබූ අවිවේකී බව නිසා ඒ අදහස දවසෙන් දවස කල් ගියා. 1995 දී අපි නවසීලන්තයට ආවා. ඒ කාලයේ නවසීලන්ත උත්සවවලට නැටුම් නිර්මාණය කරන්නට කිසිවෙකුත් හිටියේ නැහැ. නැටුමක් නිර්මාණය කළා නම් එහෙම කළේ පැරණි වීඩියෝ පටයක තිබුණු කාගේ හෝ නැටුමක් දිහා බලාගෙන නැටුමක් නිර්මාණය කර ගැනීම. ඒත් 1995 නවසීලන්ත නත්තල් සාදය වෙනුවෙන් නවසීලන්ත දැරියන් දෙදෙනෙකුට "රූ රැසේ අඳිනා ලෙසේ" ගීතය අනුව නැටුමක් නිර්මාණය කර නවසීලන්ත ඉතිහාසයේ මුල්ම නිර්මාණාත්මක රංගනය ඉදිරිපත් කරන්නට මට හැකිවුනා. මෙයින් පසු නවසිලන්ත එක්සත් ශ්‍රී ලංකා සංගමයේ එවකට හිටපු ලේකම්වරයා වූ ජිත්මන් රාමචන්ද්‍ර මහතා මට ආරාධනා කළා නවසීලන්ත දරුවන්ට නැටුම් පුහුණු කොට ප්‍රසංගයක් කරන්නට. ඒ අනුව 1996 සිංහල අලුත් අවුරුදු උළෙල වෙනුවෙන් "හෙළ මිහිර" නම් ප්‍රසංගයක් අතිසාර්ථකව පැවැත්වුවා. තවමත් මේ "හෙළ මිහිර" ප්‍රසංගය පැවැත්වෙනවා. වසර කීපයක්ම නවසීලන්ත දරුදැරියන්ට මම නොමිලයේ රංගන පුහුණුව කළා. නවසීලන්ත පාසැල්වල සිංහල සංස්කෘතික කණ්ඩායම් මුලින්ම බිහිවුණේ මගෙන් නැටුම් ශිල්පය හැදෑරු දරුවන්ගෙන්වීම මට ආඩම්බරයක්. මගේ ගුරු උපාධියේ කටයුතුත් දරුවන්ගේ අධ්‍යාපනයත් නිසා මේ සියලු කලාවන් තාවකාලිකව නතර වුණා. පසු කාලයක නවසීලන්ත ප්‍රසංග වේදිකාවක "සවන මධු" ප්‍රසංගය සඳහා මම ප්‍රියා සමග යුග ගීතයක් ගායනා කළා. මෙයත් අලුත් ආරම්භයක් වුණා. එදා ඉඳලා නවසීලන්ත හැම ප්‍රසංගයකම ගී ගයන්නට මට ආරාධනා ලැබුණා. නවසීලන්ත සෑම සිංහල සංවිධානයකම ප්‍රසංග වේදිකාවල ගී ගයන්නට මට ආරාධනා ලැබුණා. ප්‍රවීන ගායන ශිල්පීන් - ටී එම් ජයරත්න, කරුණාරත්න දිවුල්ගනේ, ප්‍රියංකර පෙරේරා, රනිල් මල්ලවාරච්චි ආදීන් සමග යුග ගී ගයන්නට මට අවස්ථාව ලැබුණා. කලාශූරී විජේරත්න වරකාගොඩ අලුත් උදෑසනක් වේදිකා නාට්‍යයේ "ලන්දු" ගේ චරිතයත්, කලාශූරී රෝහන බැද්දගේ නිර්මාණය කළ "අලකලංචිය" වේදිකා නාට්‍යයෙ "කඩේ හාමිනේ" චරිතයත් නවසීලන්තයේ රනුක පෙරේරා නිර්මාණය කළ "සත්‍යය ඇණ ගසයි" පාස්කු නාට්‍යයේ 'මරිය මව් තුමියගේ' චරිතයත් රඟපාන්නට මට අවස්ථාව ලැබුණා. සුමිත්‍රා රාහුබද්ධ නිෂ්පාදනය කළ "සාරා" ටෙලිවෘත්තාන්තයේ "සමින්ද්‍රා" ගේ චරියත් මම රඟපෑවා. මේ අතර "පස් මල් පෙති" නමින් අපි පස් දෙනෙකු එකතුවෙලා ගී ප්‍රසංගයක් ආරම්භ කළා. මෙහි අරමුණ වුණේ යම් මුදලක් එකතු කොට ශ්‍රී ලංකාවේ දරුවන්ට පරිත්‍යාග කරන්නට. මේ අනුව මුල් "පස් මල් පෙති" ප්‍රසංග දෙකේ සම්පූර්ණ ලාභය කිදෙල්පිටියේ පගද්දලා ළමා නිවාසයටත්, අවසන් "පස් මල් පෙති" ප්‍රසංගයේ ලාභය ප්‍රීතිපුර ළමා නිවාසයටත් පරිත්‍යාග කළා. සංයුක්ත තැටියක් නෙවෙයි. ගීතයක් දෙකක් අලූතින් කරන්නට මටත් ආශාවක් තිබුණා. ඒත් ප්‍රියාගේ අදහස වුණේ ගීත එකතුවක්ම කරන්නට. මගේ ඒක පුද්ගල ගීත එකතුවේ සිහිනය යලිත් වරක් ප්‍රියා මතු කළා. අන්තිමේ දී "නිද්‍රාව බිඳිනු මැන" නමින් ගීත තැටියක් නිර්මාණය කළා. කුඩා කල සිටම මගේ ජනප්‍රියම ගායන ශිල්පියා වුුණේ ආචාර්ය වික්ටර් රත්නායක. වික්ටර් අයියාගේ තනුවකට ප්‍රියා ලියූ ගීතයක් ගයන්නට මට මහත් ආශාවක් තිබුණා. මේ සංයුක්ත තැටියට මම කොහොම හරි ඒ ආශාව ඉටුකර ගත්තා. වික්ටර් රත්නායකයන් ඔහුගේ අගනා නිර්මාණයක් මා වෙනුවෙන් නිර්මාණය කළා. ශ්‍රී ලංකාවේ තවත් ප්‍රවීණ සංගීත අධ්‍යක‍ෂවරයෙකු වූ නන්දසේන කටුවාවල මහතා ද මගේ ගීත සඳහා තනු නිර්මාණය සහ සංගීත අධ්‍යක‍ෂණය කළා. හැකි සෑම අවස්ථාවකම තවත් කෙනෙකුට අතදීම මගේ ප්‍රතිපත්තියක්. මේ අනුව නව ගීත රචකයන් දෙදෙනෙකු වූ ශ්‍රී ලංකාවේ ජීවත්වන අසංක සඳරුවන් සහ දැනට ඉතාලියේ ජිවත්වන සම්පත් විජේසූරිය සහ කැනඩාවේ ජීවත්වන සන්ධ්‍යානී සේනාරත්න යන නව පරපුරේ අයගෙන් "මුහුණු පොත" (FB) ඔස්සේ ගීත රචනා ලබාගෙන මම මගේ ගීත එකතුවට ඇතුළු කළා. ප්‍රියානන්ද විජේසුන්දර (ප්‍රියා) ද ගීත රචනා කළා. නවසීලන්තයේ ජීවත්වන ගීත රචිකාවියක් වන රමණි රුක්ලාන්ති මහත්මිය ද මට ගීතයක් රචනා කර දුන්නා. මගේ මුල්ම ගේයපද රචනාව ද මෙම සංයුක්ත තැටියට ඇතුළත් වුණේ "පෙර ආත්මයේ වසුන්දරා" නමින් මේ මගේ ළමා කාලයේ පරිසරය මතක් වීම නිසාවෙනි. මේ ගීතයේ තනුව ගංඟා විමලවර්ධනගෙනි. සංගීතය නන්දසේන කටුවාවලගෙනි. මේ අතර උෂාන් අලහකෝන් නම් වූ නව පරපුරේ සංගීත අධ්‍යක‍ෂවරයෙකු මට මුණ ගැසුණා. සියලුම ගීතවල සංගීතය ලංකාවේ සංගීත අධ්‍යක‍ෂවරුන් ලවා කරවා ගන්නට බලාපොරොත්තු උනත් උෂාන්ගේ දස්කම් හමුවේ ඒ අදහස වෙනස්කර ගීත කීපයක්ම සංගීත අධ්‍යක‍ෂණය උෂාන්ට බාර කළා. උෂාන් අපගේ විශ්වාසය අකුරටම ඉටුකළා. ගීත සියල්ලේම හඬ පටිගත කළේ නවසීලන්තයේ දී. පටිගත කිරීමත් හඬ පාලනයත් කළේ ප්‍රියා. හඬ සහ සංගීතය මිශ්‍රණය (Mixing) කරන්නට උෂාන්ට බාර කළේ ඔහු තරුණ පරපුරේ අදහස් හා නිර්මාණ හැකියාවක් ඇති කෙනෙකුවීම නිසා. මෙම ගීත නිර්මාණය කිරීම ආරම්භ වුණේ 2011 දී. වරින්වර කල් ගියා. අන්තිමේ දී පැරිසියේ ජීවත්වන මගේ අම්මා 2015 ඔක්තෝබර් මාසයේ නවසීලන්තයේ නිවාඩුවකට එන නිසා "ඔයාගේ අම්මා අතටම මේක දෙන්න" කියලා ප්‍රියා යෝජනා කළා. ශ්‍රී ලංකාවේ දී ආරම්භ වූ මගේ ඒක පුද්ගල ගී එකතුවේ සිහිනය සැබෑ වුනේ 2015 දී නවසීලන්තයේ දී අවුරුදු 25 කට පස්සේ. කමක් නෑ හොඳ නිර්මාණයක් කරන්නට කාලය බලපාන්නේ නෑ කියලා මට විශ්වාසයි. 2015 ඔක්තෝබර් 26 දා නවසීලන්තයේ දී එළි දුටු මගේ මුල්ම සංයුක්ත තැටිය "නිද්‍රාව බිඳිනු මැන" ගීත සංග්‍රහයට හැම කෙනෙකුගේම ප්‍රශංසාව හිමිවුණා. හැම කෙනෙක්ම ගීත අගය කළා. බොහෝ අයගේ වාහනවල නිවෙස්වල නිතර දෙවේලේ වාදනය වන්නේ මගේ සංයුක්ත තැටිය කියල ඒ අය කියනකොට මට ඇතිවෙන්නේ මහත් සතුටක්. බොහෝ දෙනෙකුට මෙහි ගීත කට පාඩම්. එක එක්කෙනා කැමති එක එක ගීත වලට. ඒකත් වැදගත්. මොකද හැම කෙනෙකුගේම රසයට ගැලපෙන විදියට මම ගීත එකතුවක් කළ නිසා. මේ ගීත එකතුවට උෂාන් අලහකොන්න් - ඩොන් ඩිලන්ත - නිසාන් පිරිස් යන නවසීලන්ත දරුවන් සමග පීටර් පෝල් නම් ප්‍රවීණ තාල තරංග වාදන ශිල්පියා වාදනයෙන් සහාය වුණා. මෙම ගීත අන්තර්ජාලය ඔස්සේ අසා ශ්‍රී ලංකාවේ ප්‍රවීණ ටෙලිනාට්‍ය අධ්‍යක‍ෂවරයෙකුගේ නිර්මාණයකට ගීතයක් ගැයීමට මට වරමක් ලැබුණා. සංගීත අධ්‍යක‍ෂවරයා එම ගීතය මට එවා තිබුණා. නුදුරු අනාගතයේ දී ඔබට එම ගීතයත් අහන්නට ලැබේවි.
22March 2016
blog_shape
අනුන්ගේ මුහුණු ද පෙනෙන කැඩපතක් Kapila Kumara - kadapatha - කපිල කුමාර කාලිංග සාමාන්‍යයෙන් කැඩපතක් ඉදිරියට ගිය කෙනෙකුට දිස්වන්නේ තමන්ගේ මුහුණය. එහෙත් ඕස්ට්‍රේලියාවේ පළවන "කැඩපත" අතට ගත්විට, තමන්ගේ පමණක් නොව අනුන්ගේ මුහුණු ද දිස්වෙයි. නාඳුනන මුහුණු ද දැකිය හැකි වෙයි. එහෙයින් එය මානව සංදර්ශනයක් නොහොත් "හියුමන් පැනෝරාමාවක්" බවට පත්වෙයි ! පුවත්පතක් හෝ සඟරාවක් පවත්වාගෙන යාම විශේෂයෙන්ම විදේශයක දී අසිරුවෙන් අපහසුවෙන් දෙන දානයක් බඳුය. එසේම පුවත්පත හෝ සඟරාව යනු අන්තර් මිනිස් සබඳතා ගොඩනංවන තොරතුරු සන්නිවේදන මාධ්‍යයකි. අන් සියලූ අරමුණුවලට වඩා පුවත්පත මගින් මිනිසාට තමා හුදෙකලා සත්වයෙකු නොවන බව පසක්කර දෙයි. ඔහු සතු සමාජයික වටිනාකම් හා යුතුකම් පහදා දෙයි. නුතන ලෝකය තුළ කිසිදු මිනිසෙකු තනි දිවයිනක් නොවේ. (No Man is an Island) ඔහුගේ මුල් ඈත ඈත මහාද්වීප දක්වාම දිව යයි. මම දුරු රටක ජීවත්ව නැත්තෙක්මි. එහෙත් මිතුරන්ගේ අත්දැකීම් ඇසුරින් මට එය වටහාගත හැකිය. ඒ හැඟීමෙන් යුතුව "කැඩපතෙහි" පිටු පෙරළන කල මට එහි අගය තවත් දැනෙයි. මට එසේ නම්, "ඔස් - ලාංකිකයන්" ට එය කෙසේ දැනෙනු ඇත්ද? මම ද කැඩපතට ලියන්නෙක්මි. එතුළින් මට, මහ කොමසාරිස් කාර්යාලයට ද සොරෙන් මසකට වරක් ඕස්ට්‍රේලියාවට ගොස් එහි වෙසෙන ශ්‍රී ලාංකික ජන සමාජය හඳුනා ගැනීමට අවස්ථාවක් ලැඛෙයි. එහෙයින් එක්තරා දුරකට මා අනවසර සංක්‍රමණිකයෙකි. එහෙත් ඔවුනට කිසිදා මා අත්අඩංගුවට ගත නොහැකිය. සිරගත කළ නොහැකිය. පිටුවහල් කළ නොහැකිය. ලේඛකයා හෝ මාධ්‍යවේදියා සතු බලය එයයි. ඒ අනුව බලන කල "කැඩපත" මට කැඩපතක් පමණක් නොව ගමන් බලපතක් ද වෙයි. "කැඩපත" සංවත්සරයේ සතුට විඳින ඔබ සැම සමග මම ද හදවතින් එක්වෙමි. දිගු ගමනට සුබ පතමි. ආලින්දයේ පිළිසඳර Munidasa wanshapura - Kadapatha - මුනිදාස වංශපුර හැත්තෑව දශකය තුළ ශ්‍රී ලංකාවේ පාඨකයින් අත නිතර රැඳුනු රසවාහිනී, නවයුගය, ශ්‍රී වැනි සඟරාවලට නිතර නිතර ලිපි ලිවීමේ එක්තරා පුරුද්දක් හා උද්‍යෝගයක් එකල මා තුළ තිබිණ. එහෙත් එම සඟරා ප්‍රකාශයට පත් වීම ඇණහිටිමත් සමගම කුමන හේතුවක් නිසා හෝ මා තුළ පැවති ලිවීමේ උද්‍යෝගය ක්‍රමයෙන් හීනවී ගිය අතර අවසානයේ එය, ඉඳහිට සති අන්ත පුවත් පතකට සිත්ගත් යමක් ගැන ලිවීමට පමණක් සීමාවිය. කෙසේ හෝ යළිත් වරක් මා ලිවීමට පෙළඹුනේ මීට දෙවසරකට පමණ පෙර ඕස්ට්‍රේලියාවට පැමීණි විටෙක මෙහි පළවන පුවත්පත් හා සඝරා ගණනාවක් කියවන්නට ලැබීමෙන් පසුවය. ඒ සියල්ල අතුරින් කැඩපත මාසිකය මා විසින් තෝරාගනු ලැබුවේ එය බොහෝ සමකාලීන අනෙකුත් ප්‍රකාශන මෙන් පටු සීමාවන්ට කොටුව එක් තැන නොරැඳී, නව මංපෙත් සොයා ඉදිරියට ඇදෙන්නක් ලෙස මට පෙනීගිය හෙයිනි. ඒ නිසාම අද වන විට "කැඩපත"ට ලිවීමෙන් මෙන්ම එය කියවීමෙන්ද මා ලබන්නේ ඉමහත් තෘප්තියකි. එදා මා සිතට නැගි සිතිවිල්ල පසක් කරමින් අද කැඩපත තම නිම් වළළු තව තවත් පුළුල් කරගනිමින් සහෘද පාඨකයින් පිරිවරා පෙරට ඇදෙමින් සිටී. එය අපේ නිබඳ සොම්නසට කරුණකි. අද මා "කැඩපත" දකින්නේ අපේකම හා මිනිසත් බව හදවතට ළංකරමින් පාඨකයින් මෙන්ම ලේඛකයින්ද නව මානයකට කැඳවාගෙන යන්නක් ලෙසය. ආලින්දයේ පිළිසඳර වූ "කැඩපත"ට පස් වසක් සපිරෙන මේ මොහොතේ තවත් දිගු අරුත්බර ගමනකට සුබ පැතුම් එක් කරන අතර තව දුරටත් එය ලේඛකයින්ට, පාඨකයින්ට මෙන්ම ඒ දෙස බලා හිඳින්නන්ටද තම පිළිබිඹුව දැකිය හැකි කැඩපතක්ම වේවායි ප්‍රාර්ථනය කරමි. කැඩපතෙහි පෙනෙන්නේ කාගේ රුවක් ද? Sandun Priyakara - Kadapatha - සඳුන් ප්‍රියංකර විතානගේ චාලි චැප්ලින් වරෙක කියුවේ, "තමාගේ හොඳ ම මිතුරා කැඩපත" බව යි. තමා හඬන විට සිනාසෙන්නේ නැත්තේ කැඩපත පමණක් බව කියමිනුයි, චැප්ලින් එසේ කියුවේ. ඕස්ට්‍රේලියාවේ සිංහලෙන් පළවන එ'ජන මන දිනාගත් කැඩපත ගැන මා හට කියන්නට ඇත්තේ කුමක් ද? මම කැඩපත පාඨකයෙක් වනවා සේ ම "කැඩපත" ලේඛකයෙක් වීමි. ඒ වසර දෙක තුනකට ඉහත දී කැඩපත ප්‍රධාන සකසුතුමාගේ ඇරයුමකට අනුව ය. ඉදින් කැඩපතේ අන්තර්ගතය ගැන මට, වඩා හොඳ කියැවීමක් තිබේ. කැඩපත පාඨකයන්ට සතුටිනුත් ලාංකේය අප ගැන දුක් වෙමිනුත් කියන්නට ඇත්තේ, ඕස්ට්‍රේලියාවේ පළවන කැඩපතට සමවන ප්‍රකාශනයක් ලංකාවේද පළවෙන්නේ නැති බව ය. අප රට මෙවක මාධ්‍ය භාවිතය යනු, තමා මාධ්‍යවේදියෙක් යැයි කියන්නට ලජ්ජාවන තරමට පිරිහෙළෙමින් පවතින එකකි. මේ සටහන තබන මම ද කැඩපත අනුයන තාලයේ මාධ්‍ය භාවිතයක් සාර්ථක කරගැනීම වෙනුවෙන් බොහෝ දුක් කම්කටොලූ වින්දෙක්මි. කවරදාවත් මට ඒ වෑයම සාර්ථක කරගන්න නොහැකි විය. මෙවැනි තාලයේ ප්‍රකාශනයක් ප්‍රාග්ධන තර්කනය අබියස පවත්වාගෙන යෑම සුකර කටයුත්තක් නොවන බවත් එය ඉතා දුෂ්කර බවත් අද්දැකීමෙන් දනිමි. අන්තර්ගතය ගැන නොකියා මෙවන් අන්තර්ගතයක් පවත්වාගන්නට දැරෙන වෙහෙසබර වෑයම ගැන කීමෙන් අන්තර්ගතය ගැන ඉතා හොඳ අදහසක් ඔබට දැනෙනු ඇත. ඉතින් කැඩපතින් පෙනෙන්නේ කාගේ රුවක් ද? කැඩපතේ පස් වසර W H Upasena - kadapatha   - ඩබ්. එච්. උපසේන කැඩපත මට මුලින්ම ඇස ගැසෙන විට එය කුඩා සගරාවකි. එහෙත් එහි ලිපි වල අන්තර්ගතයත් ඉදිරිපත් කිරීමේ ශෛලයත් මගේ නෙත - සිත සැනෙන් ඩැහැ ගත්තේය. මව් රටේත්, මෙරටේත් පිට කසා ගැනීම් හා වෙනත් නිරස තීරු ලිපි කියවීමෙන් හෙම්බත්ව සිටි මට ඉන් දැනුනේ දුරු කතරක් ගෙවා බුද්ධිමය කෙම්බිමකට පා තැබුවාක් වැනි හැඟීමකි. එහි ලිපි ඔබේ බුද්ධියත්, හදවතත් එකවර අමතනන්නට පටන් ගන්නේ ය. මට කැඩපත ලේඛක මණ්ඩලයට පිවිසීමට වරම් ලැබුණේ ද අහම්ඛෙනි. ඒ මගේ කෙටිකතා සංග්‍රහයක පිටපතක් එහි කතුවරයාට යැවීමෙන් අනතුරුව සිදු වූ දැන හඳුනා ගැනීමත් සමගය. පසුව මම එහි නිත්‍ය ලේඛකයෙක් බවට ද පත් විමි. යලට මහට නිර්මාණකරණයේ යෙදෙමින් සිටි මට එය සැබෑ අභියෝගයක් වූයේ මාස් පතා නිර්මාණය බැගින් සැපයිමට සිදුවීම හේතුවෙනි. මේ නිසා ලේඛණ කලාව පිළිබඳව මා තුළ සැඟව තිබූ කිසියම් ශක්තියක් තිබුණා නම් එය කෙමෙන් කෙමෙන් අවදි වන්නට පටන් ගත්තේය. කැඩපතේ පලවන සෙසු ලිපි වල ගුණාත්මකබව සමග සමතැන් ගැනීමට මගේ නිර්මාණ සකස් කිරීම ද අභියෝගයකි. ප්‍රතිඵලය වූයේ, ඉදිරියේදී එළි දක්වන්නට සිතා සිටි නිර්මාණ වඩාත් කලින් කැඩපත හරහා පාඨකයින් වෙත ඉදිරිපත් කරන්නට ලැබීමය. ඒ පිළිබඳව කෘතඥතාවය හිමිවිය යුත්තේ එහි සංස්කාරකවරයාට ය. ඉතින් කැඩපත සයවන වසරට පා තබන මේ මොහොතේ අප වැනි ලේඛකයින් හට වේදිකාවක් සලසා දීම ඛෙහෙවින් සොම්නසට කාරණයකි. අනෙක් අතට මෙරට වෙසෙන සුවහසක් ශ්‍රී ලංකික ප්‍රජාවගේ විචාර බුද්ධිය පිනවනු පිණිස එය ගෙන යන මහඟු ප්‍රයත්නයට නැණ පමණින් දායකවන්නට ඉඩ ලැබීමත් මා ලැබූ භාග්‍යයක් කොට නිහතමානිව සලකමි. නිර්දය විවේචන අබියස සසල නොවී බුද්ධිමත්ව ප්‍රතිචාර දැක්වීමේ කලාව ද මා උගත්තේ කැඩපතිනි. ලංකාවේ නම් මිනිසුන් දුසිම් ගණනක් යොදවන කාර්යයක් මෙතරම් ධෛර්යයෙන් හා මහත් කැපවීමකින් නිමා කිරීමම ආශ්චර්යයකි. මා "කැඩපති"න් උගත් දේ බොහෝය. ඉගෙන ගන්නට ඇති දේ ද බොහෝය. මාධ්‍ය ආචාර ධර්ම හා සදාචාරය Tuder Amarasena - Kadapatha - ටියුඩර් අමරසේන මාධ්‍ය ආචාර ධර්ම හා සදාචාරය සුරකිමින්, පාඨක දන මන නැණ ගුණ වඩවන රිසියෙන්, නව දැක්මක් සහිතව සාහිත්‍ය කලා විචිත්‍රාංගයන්ගෙන් සුපෝෂිත වූ "කැඩපත" සයවන වසරට එළැඹෙන මේ මොහොතේ මගේ සුභාශිංසන මෙසේ පිරි නමමි. නෙතින් කියවා හදවතින් විඳගැනීමට Dilini Eriyawala - Kadapatha - දිලිණි ඊරියවල "කැඩපත" යනු ප්‍රකාශන මාධ්‍යයක් පමණක් යැයි සුළුකොට තැකිය නොහැකිය. දන්නා දේ, සොයාගන්නා දේ හා සන්තානගත හැඟීම් සමුදායන් සංකල්පනාවන්ට කැටිකොට ලියන ලේඛක ලේඛිකාවන්ගේ හදවතේ පිළිබිඹුවක් ලෙස යමෙක් කැඩපත හඳුන්වන්නේ නම් එය සාවධ්‍යයැයි නොසිතමි. කැඩපතට රොද බැඳෙන්නෝ එහෙයින්ම සොඳුරු හදැත්තෝය. තම තම නැණ පමණින් මතු නොව, විවිධ වූ දර්පන තල තුළින් ලෝකය දකින්නට හා ජීවිතය විඳින්නට එකම වේදිකාවක් ලබාදෙන, මාසයක් පුරා කියවන්නට හා සිතන්නට යමක් ආලින්දයට ගෙන එන පුවත්පතකට ලේඛනයෙන් දායක වීමට ලැබීම සතුටකි. මුද්‍රිත මාධ්‍ය තුළ විකුම් පානා ප්‍රවීණ ලේඛකයින්ට පමණක් නොව අද ඊයේ ලේඛනය අරඹා දිගු ගමන් යන්නට සිහින දකින්නන්ටද සිය සිතැඟි ලිහාදමන්නට එකම අවකාෂයක් කැඩපත විසින් සපයන බවට එහි පලකෙරෙන ලිපි අතර විවිධත්වයම සාක්ෂි දරයි. මුල සිට අග දක්වා පිටෙන් පිට කියනවන්නෝ එමගින් ඥාණනය වන්නෝ පමණක් නොව දිවියේ සොඳුරුතම නිමේෂයන් නෙතින් කියවා හදවතින් විඳිගන්නෝද වන්නාහ. KADAPATHA : A Mirror which reflects our Identity, and an “Eye-Opener” for the path ahead... Travis Ranjan - Kadapatha - Trevis Ranjan Perera We read for various purposes: to acquire knowledge; to seek information; to get to know the news. Still some others read just as a past time, and reading would keep them happy and relaxed. Whatever the purpose we read for, it is imperative that we have easy access to good reading material: original, inspiring and thought-provoking ideas - sensitively worded, articulately expressed and passionately presented. Whether or not reading makes the man ‘perfect’ - as per the old saying- reading definitely makes a person more human, more knowledgeable and more amiable, and, more importantly, more open-minded. In this modern world of ours - where commercialisation has taken over almost every conceivable sphere - finding genuinely informative and unbiased reading material is not very easy. Most writers today – as much as many other professionals - seem to have been ‘infected’ with egoism and favouritism. This is where community newspapers like Kadapatha offer a great service to immigrant Sri Lankans like us, who often yearn for good reading material that would appeal to our inner-selves. Having set up a friendly forum to share and exchange the varying humble views among Sri Lankans here (hence "ආලින්දයේ පිළිස‍‍ඳර), and to cherish our inborn values, it is heartening to see how Kadapatha makes a subtle attempt to stress on the importance of broadening our outlook on “what we see and experience” in this adopted country of ours. Interesting and thought-provoking articles in Kadapatha, written by learned writers in extremely cohesive language, are inimitable. As for me, frankly, Kadapatha has enhanced my desire to read, as an ardent Sinhala reader – and, has also made me realise what a sensitive and expressive language we Sri Lankans have inherited. I am sure that most of the Kadapatha readers too would feel the same way I do. Let me join the thousands of Kadapatha readers, in congratulating this great publication, on its 5th Anniversary. May Kadapatha continue to serve - for many years to come – as an “effective mirror” which would help us reflect our unique identity as a Community, while also being an “eye-opener” for us Sri Lankans to see the path ahead clearly and move forward prudently, in this era of inevitable social transformation, enabling us to secure our due place in the global set-up, among other communities. ලියන්නට අත සවි ඇතිතාක්......... Priyananda wijesundara - kadapatha - ප්‍රියානන්ද විජේසුන්දර වසර 05 ක් මහා කාලයක් නෙමෙයි. ඒත් මේ පුංචි කාලයේ දී "කැඩපත" අපේ ආලින්දයට එක්කළ පිළිසඳර නම් මනින්නට බැරි තරම්. පුවත්පතක් තුළ ඇති කාර්ය භාරය ජනතාවට ප්‍රවෘත්ති සැපයීම. "කැඩපත" වැනි සඟරාමය පුවත්පතක වගකීම පාඨකයා අතර කතා බහක් ඇති කිරීම ය. පත්තරයක සහ සඟරාවක ඇති වෙනස එයයි. "කැඩපත" මේ කාර්ය භාරය මනාව අවබෝධ කරගෙන තිබීම සතුටක්. ඇත්තටම කැඩපත ආලින්දයේ පිළිසඳරක් මවනවා. "අයියේ කැඩපතට අවුරුදු 05 ක් ඉවරයි. මා ගැන නොලියා කැඩපත ගැන ලියන්න" සාමන්ත මගෙන් ඉල්ලීමක් කළා. අඹ ගහ ගැන නොකියා අඹ ගෙඩිය ගැන කියන්නට මා දන්නේ නෑ. අඹ ගෙඩියේ මියුරු රසට වගකිව යුත්තේ අඹ ගස. මීට වඩා යමක් මා සාමන්ත ගැන පවසන්නේ නෑ. මුලින්ම බිහි වූ "කැඩපත" පුංචි ප්‍රමාණයේ මුල්ම කලාපයේ සිට මේ දක්වා මා සම්මාදම් වුණා පිළිසඳරට. ඔබ සිතාවි පත්තරය තැපෑලෙන් ලැබුණු ගමන් මා කියවන්නේ මගේ ලිපිය කියා. ඇත්තටම පිළිවෙළට කියාගෙන යනකොට මගේ ලිපියත් මට අහුවෙනවා. ඒකත් "කැඩපත" සරසන ලිපියක් විතරයි. ලියන්නට අත සවි ඇතිතාක් මුණ ගැසෙමු. ගුණාත්මකභාවය සහ සංවරශීලිභාවය Upeksha senanayaka - kadapatha - උපේක්ෂා සේනානායක දෙදහස් දොළහ වසරේ ග්‍රීෂ්ම සෘතුවේ එක් ඉරිදාවක පළමු වතාවට කීස්බරෝ විහාරස්ථානයට ගොඩවැදුණු දිනයේ, ලැගුම් ගෙට මුහුණ ලා තිබූ පටු තීරුව මත පිළිවෙලට ගොඩ ගසා තිබූ පුවත්පත් අතරින් එක බැගින් තෝරාගැනීමට මා පෙළඹ වූයේ විප්‍රවාසී ජීවිතය අපට උරුම කළ විප්‍රයෝගී වේදනාවය. ඒ පුවත්පත් කිහිපයෙන් එකක් කුමන හෝ හේතුවක් නිසා කියවා අවසානයේ යළිත් ඉඩක් ලැබුණොත් කියවන්නෙමියි සිතා අරන් තැබූ බව මට හොඳින්ම මතකය. මගේ වැඩිමහල් සොහොයුරාගේ ආභාෂයෙන් දෙසතිය, සිව්දෙස, මුතුහර වැනි සඟරා කියවමින් "රහ දේවල්" සොයාගෙන කියැවීමේ පිපාසයෙන් සිටි මට "කැඩපත" හොඳ ආදේශකයක් වනු ඇතැයි විශ්වාසයක් මා තුළ ගොඩනැගුණි. කාලය ගෙවීගොස් එක් සීතල දිවා වරුවක මගේ කුඩාදරුවන් සමඟ කාර්යය බහුලව සිටි මොහොතක මා නොදත් අංකයකින් ඇමතුමක් ලැබුණි. "මේ උපේක්ෂා සේනානායකද ?" අනික් පසින් ඇසුවේය. "ඔව්" මම කලබලයෙන් පිළිතුරු දුන්නෙමි. "මම...... කැඩපත සඟරාවෙන්, මට කුරුප්පු මහත්මයා තමයි උපේක්ෂාගෙ අංකය දුන්නේ, පියසේන මහත්මයාගෙ "දුර රූපයේ ආවර්ජනය" පොත තියෙනව නං ඒකෙ පිටකවරයේ ....." ඔහුට වැකිය කියා නිම කරන්නට ඉඩනොදී මම බාධා කළෙමි. "මං ඒක ස්කෑන් කරලා එවන්නං. මට ඊමේල් ඇඩ්‍රස් එක එවන්න" මම ඇමතුම ඉක්මනින් අවසන් කිරීමට යුහුසුළු වුණේ මගේ පැටවුන් කෑම කා අහවරව වතුර ඉල්ලා කෑගසන්නට වූ බැවිනි. මොහොතකට පසු මට කෙටි පණිවුඩයක් ලැබුණි. එහි කැඩපත පුවත්පතේ නිල විද්‍යුත් ලිපිනය පැහැදිලිව ලියා තිබූණි. ඊට අමතරව "පොතේ පිටකවරය ඔබට ඉඩක් ලද මොහොතක එවන්න. හදිසි නැත. ඔබේ කාර්යය බහුලත්වය මට හොඳින්ම වැටහේ. මීට........" යනුවෙන් මහත්මා අයුරින් සහ ව්‍යක්ත ඉංග්‍රිසියෙන් ලියා තිබුණි. එදා සිට ඇරඹි මගේත් කැඩපතේත් මිතුදම අදටත් එලෙසින්ම පවතී. කැඩපත පුවත්පත පුරාම දිවෙන්නේ එම විනය සහ මහත්මා ගතිය ය. තවත් මාධ්‍යවේදියකුට තබා සාමාන්‍ය පුරවැසියකුටවත් පහරදෙන පුවත්පතක තත්ත්වයට නොවැටෙන්නට කැඩපත ගන්නා වෑයම අගය කළ යුතුමය. ගුණාත්මකභාවය සහ සංවරශීලිභාවය රැකගන්නට කැඩපත දක්වන සමත්කම සහ අදීනත්වය ට මම සැමදා ගරුකරමි. මම කැඩපතට දිර්ඝායුෂ පතමි. "ඇති දෙයක් නැති" පත්තර අතර "නැති දෙයක් නැති" පත්තරයක් Ranjith Samarakoon - kadapatha රංජිත් කුමාර සමරකෝන් මේ ගෙවෙමින් තිඛෙන්නේ සයිබරය ආලින්දයෙනුත් ගෙතුළට කඩා පැන ජීවිතයම X - රේ කරමින් තිඛෙන යුගයකි. සකලවිධ මානව සංහතිය අතිශය වේගයෙන් නවීන තාක්ෂණයේ ව්‍යාකූල සුළඟට හසුව සිටින යුගයකි. එහෙව් කලෙක කඩදාසි මත මුද්‍රිත අකුරු සමාජගත කිරීමට සැලැස්වීම ලෙහෙසි පහසු කටයුත්තක් නොවේ. උදක්ම කියවන්නන් සීමිත ලංකාව වැනි රටකට..! ඊටත් වඩා එතෙර සිටින ලාංකිකයනට එවැනි මුද්‍රිත අකුරු සහිත යමක් දීම එසේ මෙසේ සැහැල්ලූ දෙයක් නොවේ. මොන සුළඟක් මැද උවද මුද්‍රිත ජනමාධ්‍යයෙන් තොරව කිසිදු රටක සමාජ සංවර්ධනයක් ඇති කළ නො හැකි බව යතාවකි. එය ලොව මොන රටටත් අදාලය. කැඩපත පුවත්පත මේකී සීමා මායිම් අතික්‍රමණය කළ අන්දම ඇත්තවශයෙන්ම විමතියට බර ප්‍රශංසනීය මෙහෙවරකි. පස් වසරක් මුළුල්ලේ කැඩපත ආ ගමන් මග පිළිබඳව සරල සේම සැහැල්ලූවෙන් යමක් ලියා අත පිහදා ගතහැකි නොවේ. එය වනාහී අරුම සමාජ මෙහෙවරකි. සමාජ දේශපාලන, ආර්ථික හා සංස්‌කෘතික උච්චාවචනයන් සමඟ බැඳුණු ගමනක සාක්‍ෂිකරුවකු ලෙස එතෙර සිට කැඩපත වඩා උස් බැල්මක් හෙළූ බව නොකිවමනාය. මීට වසර හතරකට පමණ පෙර සයිබරයට "කුසල්" අත්වන්නට කැඩපත කියවීමේ භාග්‍යය මා ලද අතර එතැන් සිට මතට අසීමිතව ලොල් වූ බේබද්දෙකු සේ මම කැඩපතට ලොල් වීමී. කාරණා කිහිපයක් මතුයෙහි කැඩපත වෙසෙස් වෙයි. එය "හිස්" නැති "හිස්" වලට කතා කළ පුවත්පතකි. බලා පැත්තකින් තබනවාට වඩා කියවා ළගින් තබා ගැනීමට තරම් වන බරක් එහි වෙයි. එය අතිශය කලාතුරකින් පත්තරයක දකින්නට ලැඛෙන තත්ත්වයකි. එය ­"ඇති දෙයක් නැති" පත්තර අතර "නැති දෙයක් නැති" පත්තරයකි. මෙවක බොහෝ පත්තර හා සඟරා සාහිත්‍යයට එතරම් බරක් නොදෙන තත්ත්වයක් තුළ කැඩපත සිය ප්‍රමුඛ කාර්යයක් සේ දකින්නේ සාහිත්‍ය හා කලාවය. එතෙර පුවත්පතක් සාහිත්‍ය වැනි කාරනා කෙරෙහි මෙතරම් ආශක්ත වීම මෙතෙර බොහෝ පුවත්පත් වලට අතුල් පහරක් වැනිය. එය මොළයට සේම හදවතටද අමතන පුවත්පතකි. ඉතා හරවත් සංවාද සේම බරසාර ලිපිද පත අට එකට සිදවා මාසිකව සාර සංග්‍රහ කරන කැඩපත හදවත සරසන නිර්මාණ කෙරෙහිද අවධානය යොමු කිරීම අතිශය භාග්‍යකි. අවසන් වශයෙන් කැඩපත අපූරු කැඩපතකි. වචනාර්ථයෙන්ම එය තමාට තමා සේම අනෙකාද කියවාදෙන අසිරිමත් පුවත්පතකි. කැඩපත පිළිබදව පස්වසක ශේෂ පත්‍රය තව සියවසක පැවැත්ම උදෙසා අසිරිමත් ප්‍රාර්ථනයක චමත්කාරය රැගෙන එයි. ඉල්ලූමට සැපයීම සහ අවශ්‍යතාවය සම්පූර්ණ කිරීම Akila Malalge - kadapatha - අඛිල රන්සිරි මලලගේ ශ්‍රී ලංකාව සුන්දර රටකි. එය අසුන්දර කරවාගෙන ඇත්තේ ජනයාගේ පැවැත්ම විසිනි. ඒ අතින් ඔබ සැම වාසනාවන්තයෝය. සුන්දර උපන් බිමක මූලයන් වල මතකයන් සමග වඩා හිතවත් යථාවක ජීවත්වීමට ඔබ පින් කර ඇත. ඉල්ලූමට සැපයුම විකෘති ප්‍රජාතන්ත්‍රවාදී න්‍යායකි. සියලූ මාධ්‍ය සහ කලාවන් මේ වෙත්දී එකී න්‍යාය විසින් ගිලගෙන ඇත. නමුත් කැඩපත, ඉල්ලූමට සැපයීම නොව, අවශ්‍යතාවය සම්පූර්ණ කිරීමේ අසීරු කර්තව්‍යයෙහි නියැලී සිටින බව පෙනේ. මෙවැනි කලෙක ලියා ජීවත්වීම ලෙහෙසි නැත. ආත්මය පාවාදීමත් සාර්ථකත්වය ළඟා කරගැනීමත් අතර ඇත්තේ බිඳෙනසුළු ඉමකි. එහිදී ලියන්නන් හැටියට ආත්මාභිමානයක් සහිතව කටයුතු කරගෙන යෑම සඳහා කැඩපත කර්තෘත්වය ලේඛක අපකෙරෙහි පවත්වන වෘත්තීයමය භාවයත් සුහද භාවයත් හරිහැටි සමබරකරගත් සහසබඳතාව අප ඉතා ගෞරවයෙන් අගයමු. සාරවත් යමක්ම පමණක්ම කැටිකර ගෙන එමින් මෙතුවක් කල් ආ ගමන තවත් බොහෝ කාලයක් ඉදිරියට කරගෙනයාමටත්, මුද්‍රිත සාර සංග්‍රහයක් හැටියට තවත් බොහෝ පාඨක පිරිසකගේ දෑත් අතරට කැඩපත යනු දැකීමත් අපගේ එකම පැතුමයි. කැඩපත අභිමුව මම Nadeesha Dilrukshi - kadapatha -නදීශා දිල්රැක්ෂි ගමගේ දැරිවියක් යුවතියක වු පසුව ඇය නිරන්තරයේ කැඩපතක සහය පැතීම අරුමයක් නොවේ. මා ද එලෙසින්ම කැඩපත හා සම`ග මිතුරු වන්නී, මා සුහුඹුල් යුවතියක වූ දා පටන් ම ය. ඉන් පෙර මට බොහෝ වෙහෙසී කැඩපතක සුහදතාවය ඛෙදා ගැනීමේ අවශ්‍යතාවයක් නොවුයේ මා අවලස්සන, ඒ තරමටම මිදුලේ සෙල්ලමේ යෙදීමෙන්ම දූවිලි නා ගත් දඩබ්බර දැරියක වූ නිසා වන්නට ඇත. එහෙත් සුහුඹුල් යුවතියක වු දා පටන් මා මගේ සිතැඟි වැඩිපුරම ඛෙදාගත්තේ කැඩපතක් සමඟ බව සතුටින් සිහිකරනු කැමැත්තෙමි. ගෙවි ගිය කාලය තුළ මා ද අන් යුවතියන් මෙන්ම කැඩපත සමඟ හුවමාරු කරගත් සුහදතාවයන්, ඛෙදාහදාගත් සුඛ දුක්ඛ භාවයන් එමට ය. ඒ සියල්ල ලෝකයට පෙර දුටුවේ කැඩපතකි. ජීවිතයේ පළමුව මට හමුවූ ඒ කැඩපත මට ජීවිතේ භෞතික ස්වභාවයන් මා අභිමුවට ගෙනැවිත් සරල හා ප්‍රීතිමත් යුවතියක වශයෙන් මා ලෝකයට තිළිණ කරන ලදී. මා හඳුනාගත් පළමු කැඩපත එසේ ය. ජිවිතයේ දෙවන වරටත් මම දැන් කැඩපතක් අභිමුඛව සිටින්නෙමි. දෑ අවුරුද්දකට ආසන්න කාලයක් මුළුල්ලේ මම ඒ කැඩපත හා සමඟ අභිමුඛව මගේ සුඛ දුක්ඛ භාවයන්, වැටීම් නැඟීම්, මා සතුව ඇති කුසලතා තීවෘ කරගැනීම් තරමටම මෘදු හදවතක් විසින් මෙහෙයවීමටද වාසනාවන්ත වී සිටින්නෙමි. ඒ මත මා මගේ සියලු ලූහුඬුකම් පැහැදිලිව දැක ගත්තෙමි. මා කැඩපත හඳුනාගන්නා මොහොතේ මා සතුව තිබුණේ යමක් විස්තරාන්විතව ලිවීමේ යම් කුසලතාවක් පමණි. එය වඩාත් නම්‍යශීලීවත් ක්‍රමවත්ව, අඛණ්ඩව ඉදිරිපත් විය යුත්තේ කෙසේ දැයි මා දැනගත්තේ දෙවන වරට මා හඳුනාගත් මේ කැඩපත නිසාවෙනි. නිරන්තර ලිවීම තුළ ඇතිවන භාෂාව හැසිරවීමේ ශක්‍යතාවය මා දියුණු කර ගත්තේද කැඩපත ඇසුරෙනි. කිසිවෙකු දඩයම් කිරීමේ ගෝත්‍රික සිතිවිලි වලින් මිදී නිරන්තරයෙන් සරල උන්නතිකාමී මෙන්ම අතිශය කලාකාමී මාර්ගයක මධ්‍යස්ථ ගමනක් යන කැඩපත, එයින් සිය මව්බිමෙන් බොහෝ දුරස්ථව සිටින ලාංකික සිත් තුළ සිහිලක් දනවනු ඇතැයි මම උදක්ම සිතමි. "වැව රවුම" "අසම්මත විචාරය" "සිංගරු-කු" කියැවීම මගේ අභ්‍යන්තරයේ නිරන්තරයෙන් ඇති කරවන ආශ්චර්යය පෙර නොවූ විරු අපමණ ප්‍රීතියක් ජනිත කරවයි. ජීවිතය පුරාවටම මා මගේ පිළිබිඹුව දුටු කැඩපතට වඩා දෑවුරුද්දක් පුරා මා මගේ ජීවන වින්‍යාසය දකින මේ කැඩපත තුළින් උගත් දේ අපමණය. එයින් මට උදාවූ මිත්‍රත්වය, බොහෝ සහනදායී සිතිවිලි ඛෙදා හදාගැනිමට මෙන්ම මගේ නිර්මාණාත්මක හැකියාවන්ට අලූත් අර්ථ පූර්ණයන්ද ලබා දුනි. කාලාන්තරයක් මුළුල්ලේ කාශ්ඨක කොළඹ නගරයේ දිවි ගෙවමින් ලැබූ අත්දෑකීම් බොහොමයක් "කොළඹ අහස යට ස්ත්‍රී සිතක්" තුළින් ගෙන එන්නටත්, එයින් කොළඹින් දුරස්ථ වූ ඔබ සැමගේ අතීත මතකයන් නැවත අලූත් කරන්නටත් මට අවස්ථාව ලැබුණේ කැඩපත තුළිනි. කාලීන අත්දැකීම් රසවත් කරමින් විවිධ අර්ථයන් ගෙනෙමින් ලියන්නටත්, එහි ඇති දෘඪ හා රළු ස්වභාවයන් ඉවත් කරන්නටත් කැඩපතින් මා ලත් පන්නරයට මම ඊට තුති පුදමි. පස් වසක් සපිරෙන කැඩපත - සහස් සුවහස් මුහුණු ඒ මත විසිතුරුව ඔපවත්ව යෙහෙන් වැජඹෙනු දැක්ම මගේ සිහිනයයි. ප්‍රීතිය යි..... තිමාණ ලොවක්, ද්විමාන තලයක් මත පිලිබිඹු කර පෙන්වන කැඩපත randika wijesinghe - kadapatha - රන්දික විජේසිංහ නුදුරු අතීතයේ දිනයක අප්‍රිකානු ඝන වනාන්තරයක් මැද දැවැන්ත කැඩපතක් අටවා සතුන් එයට දක්වන ප්‍රතිචාර රූපගත කළ පරීක්ෂණය පාඨක ඔබ නරඹා ඇතැයි සිතමි. ඔබට එය මඟ හැරී ඇත්නම් අන්තර්ජාලය හරහා එය සොයාගැනීම එතරම් අපහසු නොවන නිසා හැකිනම් එය සොයා නැරඹීම බොහෝ වටින බව සඳහන් කරමි. බොහෝ සතුන් කැඩපතින් තම රුව දැක තිගැස්සෙති, භීරාන්තද වෙති. මෙම පළමු තිගැස්සීමෙන් පසු එයට සතුන් තෙයාකාරයකට ප්‍රතිචාර දක්වන බව පෙනේ. සමහරු එයට ගල් ගසති. එය විනාශ කිරීමට වළි කති. සමහරු එය සත පහකටවත් ගණන් නොගනිති. අනිත් කාණ්ඩයේ අය එය දෙස බලා කල්පනාවේ නියැලෙති, එය වැළඳ ගැනීමටත් එය තේරුම් ගැනීමටත් උත්සාහ කරති. වසර දෙකකට පමණ ඉහතදී කැඩපත ඉදිරියට පාඨකයෙකු ලෙස පැමිණි මා එලෙසම තිගැස්සීමකට ලක්විය විය. එතැනින් ඔබ්බට ආධුනික ලියන්නෙකු ලෙස කැඩපත ඔප දැමීමට වරම් ලැබීම ලියන්නෙකු ලෙස මා යන ගමනේ විශාල සංධිස්ථානයක් බව නොකිවමනාය. මෙයින් පසු සංසිද්ධි දෙකක් සිදු විය. කැඩපත, තිමාණ ලොවක්, ද්විමාන තලයක් මත පිලිබිඹු කර පෙන්වන්නකි. නමුත් එක්වරම බලන්නෙකුට පළමුව ඇස ගැටෙන්නේ මාන දෙකකි. තුන්වන මානය, එසේත් නැත්නම් "ගැඹුර" දැකීම පසුව සිදුවන්නකි. විශාල කැඩපතක් ඉදිරියේ සිටගන්නා ඔබට පළමුව පෙනීයන්නේ ඔබගේ රුවයි. නමුත් තම රුව දැකීමට ඇති ආශාවෙන් මිදී බැලූ කල කැඩපත තුළ ඔබ පසුබිමේ ඇති සියල්ලත් පිලිඹිබුව ඇති බව නිරීක්ෂණය කළ හැක. එලෙසම ලියන්නෙකු හා පාඨකයෙකු ලෙස කැඩපත තුළින් ප්‍රථමව මාගේ පිලිබිඹුව පමණක් දුටු මට, කාලයාගේ ඇවෑමෙන් කැඩපතේ තෙවන මානය දර්ශනය වන්නට විය. විවිධ චරිත, අත්දැකීම් හා විභාවනයන් කැඩපතේ අහු මුළු වලින් එබිකම් කරන්නට විය. දිනක් හදිසියේම මා හට කැඩපත තුළින් එහි දහස් ගණනක් දයාබර පාඨක ජනයාගේ ප්‍රතිබිම්බ පෙනී ගියේය. එවිට කැඩපතේ ඇති මාගේ පිළිබිඹුව ඉතා කුඩා තිතක් බවට පත් විය. දෙවන සංසිද්ධිය නම් තිමිර, සාගර හා සාමන්ත වැනි සහෘද රචකයින්ගේ අමිල ඇසුර හරහා මාගේ වියමන් ඔපවත් වීමයි. මෙවන් සංවාදවල ප්‍රතිඵලයක් ලෙස "ජාත්‍යන්තර ශිෂ්‍යයාගේ දිනපොත" බිහි විය. ජාත්‍යන්තර සිසුන්ගේ ජීවිතයේ පැතිකඩක් පාඨකයා වෙත ගෙන හැර පාන මෙම වියමන් පෙළ නොසිතූ අයුරින් සමාජගතවීම, ලිවීමේ කාර්යයේ දිගින් දිගටම නිරත වීමට මා දිරිමත් කළේය. කැඩපතේ මාගේ රුව පිළිබිඹු කිරීමේ අවශ්‍යතාවය මා පළමුව කියූ අයුරින් සිඳී ගොස් ඇති නිසා "ඉන්ද්‍රචාප" නම් අන්වර්ථ නාමය හරහා මෙම ලිපි පෙළ වියමන් කරන ලදි. කැඩපතට ගල් නොගසා එය වැලඳ ගැනීම, මාගේ විභාවනය අතිශයින් වෙනස් මානයකට යොමු කිරීමට සමත් විය. මා කැඩපතටත් එහි දයාබර පාඨක පිරිසටත් සදා ණයගැතිය. "කැඩපත" දකින්නට නොව සිතන්නට Ven Idiparape Dhammasiri - kadapatha - ඉඳිපරපේ ධම්මසිරි හිමි වසර දෙකකට වැඩි කාලයක් "කැඩපත" පාඨකයෙකු මෙන් ම ලේඛකයෙකු ලෙස ද ඒ හා රැඳී සිටින අපහට හයවැනි වසරට පා තබන කැඩපතින් පෙනුණු දේවල් පිළිබඳ ව ආවර්ජනයක් කරන්නට ලැබීම සතුටකි. කැඩපත හෙවත් කණ්ණාඩිය (mirror) යන්නට ඔක්ස්ෆර්ඩ් ශබ්දකෝෂය අර්ථ දක්වන්නේ "a piece of special flat glass that reflects images, so that you can see yourself when you look in it" යනුවෙනි. ඒ අනුව කැඩපතින් සිදුවන ප්‍රධාන ම කාර්යය අපට අපි ව බලාගැනීමට හැකිවීමයි. අඳින පළඳින දේවල්වල, හිස සකසා ගන්නා ආකාරවල අඩුපාඩු සකසා ගැනීමට කැඩපත භාවිත නොකරන අයෙකු සොයා ගත නොහැකි තරම්ය. ඒ ආකාරයට ම අපට, අපගේ ජීවිතවල අඩුපාඩු සකසා ගැනීමට අපවම කැඩපතක් කරගත හැකි බව බුදුන් වහන්සේ වරක දී දේශනා කළහ. "කැඩපත" මාසික සිංහල පුවත් සඟරාව සැබැවින් ම පාඨකයන්ට ජීවිතය යනු කුමක්දැයි නිවැරදි ව දකින්නට පමණක් නොව බුද්ධිමත් ව සිතන්නට ද මග පෙන්වයි. එහි අන්තර්ගතය නවමු අදහස්වලින් පරිපූර්ණය. වියත්, නිර්මාණශීලී ලේඛකයන්ගේ සම්පත් දායකත්වය ලබාගෙන, විවිධ විෂයයන් ඔස්සේ පාඨකයාගේ දැනුම, රසඥතාව, චින්තන ශක්තිය පෝෂණය කරන්නට කැඩපතට හැකියාව ලැබී ඇත. වැව රවුම, මට වැරදුණු තැන්, මේපල් ගහ යට පොඩි සාදුගේ දේශනාව, අසම්මත විචාරය, ඉන්ටර්නැෂනල් සිස්සයා ආදී විශේෂාංග පාඨකයන්ගේ සිතීමේ හා විමසීමේ නිදහස පුළුල් කරන්නට සමත් වෙයි. මේවායේ එන ඇතැම් ප්‍රකාශන ඇතැමෙකුට රිදෙන එAවා විය හැකිය. මධ්‍යස්ථ ව සිතා බැලූවහොත් එසේ රිදෙන්නේ ඒවායෙන් පෙන්වන අඩුපාඩුකම් චරිත අභ්‍යන්තරයේ ඇති අයටය. එවැනි අවස්ථාවල නිර්දය විවේචනවලට, සාහසික නින්දා අපහාසවලට කැඩපත ලක් වූ අවස්ථාවන් ද තිඛෙන්නට ඇත. බුද්ධිමත් පාඨකයෙකු නම් කළයුත්තේ කැඩපත තම ජීවිතයේ අඩුපාඩු සම්පූර්ණ කර පරිපූර්ණත්වයට පත් කරන්නට මග පෙන්වීමක් කරන බව තේරුම් ගැනීමයි. එය පුද්ගලයාගේ ස්වයං බුද්ධිය ක්‍රියාත්මක වීමකි. ස්වයං ප්‍ර×වක් නොමැති නම් ඔහු කෙතරම් දැන උගත්කම් ඇති ව සිටිය ද අසම්පූර්ණ පුද්ගලයෙකි. නාරායණශර්මන් නම් ඉන්දීය පඬිවරයා හිතෝපදේශ නම් සංස්කෘත ග්‍රන්ථයේ මෙබඳු අදහසක් පළ කරයි. යස්‍ය නාස්ති ස්වයං ප්‍රඥා ශාස්ත්‍රං තස්‍ය කරෝති කිම් නේත්‍රාභ්‍යාං විහීනස්‍ය දර්පණඃ කිං කරිෂ්‍යති ? යමෙකුට ස්වයං ප්‍රඥාව නොමැත්තේ නම් ඔහු ඉගෙනගත් දෙයින් කුමක් කරන්න ද ? නෙත් අන්ධ වූ අයෙකුට කැඩපතින් ඇති ඵලය කුමක් ද ? දෑසින් දැක, කියවා, බුද්ධියෙන් විමසා ප්‍රඥාවෙන් අවබෝධ කරගන්නා දෙය සිය චර්යාවන්ගෙන් ප්‍රකට කළ හැකි නම් එය අපෙන් ලෝකයට දෙන උසස් ම ත්‍යාගයයි. දායාදයයි. කැඩපතින් අප ගත යුතු ප්‍රයෝජනය, ඵලය එය විය යුතු බව අපගේ විශ්වාසයයි. එසේ නොමැති ව අහංකාරකමින්, ඊර්ෂ්‍යාවෙන් අන්ධ ව තමන්ට හරිහැටි නොපෙනෙන බව සඟවා, කැඩපතට දොස් කීමෙන් සිදුවන්නේ බුද්ධිමත් සමාජය හමුවේ තමන්ගේ මෝඩකම ප්‍රදර්ශනය කිරීම පමණි. මිනිසත් බවේ උත්කෘෂ්ට දායාදය ලොවට දෙන්නට දායකයෙකු ලෙස "කැඩපත" සිදු කරන සමාජ මෙහෙවර අපගේ නොමඳ ප්‍රශංසාවට ලක් වන බව සඳහන් කරනු කැමැත්තෙමි. තවත් චිරාත් කාලයක් සුවහසක් පාඨකයන්ගේ ගුණ නුවණ දියුණු කරන්නට කැඩපතට ශක්තිය ලැබේවායි හෘදයාංගම ව ආශීර්වාද කරමි. පුරා පස් වසක් මා දුටු කැඩපත Priyanka Kahawanugoda-kadapatha - ප්‍රියංකා කහවණුගොඩ ප්‍රධාන ධාරාවේ පුවත්පත් දැක තිබුණා විනා ලංකාවේ සිට ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය වූ අපට ප්‍රජා පුවත්පත් යනු කුමක්දැයි අවබෝධයක් තිබුණේ නැත. මුලින්ම මා ප්‍රජා පුවත්පත් හඳුනා ගත්තේ ඕස්ට්‍රේලියාවෙනි. ඒ වන විටත් මෙල්බර්න් නුවර ප්‍රජා පුවත්පත් දෙක තුනක්ම ප්‍රකාශයට පත්වෙමින් තිබුණි. ලාංකේය ප්‍රජාවේ ප්‍රියසාද, මංගල උත්සව, උපහාර උළෙල ආවරණය කරමින් පළකරන ලද පිංතූරවලින් ඒවායේ පිටු පිරී තිබුණා මතකය. තම තමන්ට ඇති හැකි තරමින් ලේඛකයන් එකතු කරගෙන පළ කරන ලද ශාස්ත්‍රීය ලිපි කොයි කාලයටත් ගැලපෙන වර්ගයේ ලියමන්ය. ඇත්ත වශයෙන්ම එවැනි ලිපි සහිත මුද්‍රිත ප්‍රකාශන පුවත් සඟරා ගොන්නට විනා පුවත්පත් යටතට වැටෙන්නේ නැත. සඟරාවල පළ වන්නේ සර්වකාලීන වටිනාකමක් යුතු ලිපි විනා කාලීන, එදිනෙදා තොරතුරු නොවේ. පුවත්පතක් යනු ඊට වෙනස් ප්‍රකාශනයකි. දිනපතා පුවත්පතක නම් කාලීන වටිනාකමින් යුතු එදිනෙදා ප්‍රවෘත්ති ඇතුළත් වන්නා සේම පසුදිනය වන විට එහි වටිනාකම නැත්තටම නැති වී ඒවා පිළුණු පුවත් බවට පත් වී හමාරය. ඉරිදා පත්තරයක ඒ සතියේ ප්‍රවෘත්ති මෙන්ම විශේෂාංගද ඇතුළත් වෙයි. ඒ සතියට වැදගත්වන පුවතක් තුළ සැඟවුණ සිත්ගන්නාසුළු කුහුල දනවන පසුබිම එළිදරව් කෙරෙන විශේෂාංග යනු ඉරිදා පුවත්පතක ප්‍රධාන ආකර්ශණයකි. එහෙත් සඟරාවක් යනු මේ දෙකටම වෙනස් ප්‍රකාශනයකි. ස්ර්වකාලීන වටිනාකමින් යුතු ලිපි අඩංගු වන සඟරාවක් යනු බොහෝ විට දෙසතියකට හෝ මාසයකට වර් එළි දකින ප්‍රකාශනයකි. එය නැවත නැවතත් ළඟ තබාගෙන විඩින් විඩේ කියවීමට බාධාවක් නැත. අන්තර්ගතය පරණ වන්නේ නැති නිසාය. එනයින් ගත්විට මෙල්බර්න් නුවරදී මා දුටුවේ පුවත්පත් නොව පුවත් සඟරාය. මෙයින් පස් වසකට පෙර කැඩපත එළි දකින්නේ මෙවැනි පසුබිමකදී ය. ප්‍රජා පුවත්පත් කලාව ගැන කිසිදු හරිහමන් නිදසුනක් ගුරුකොට ගැනීමට නොතිබූ පසුබිමක කැඩපත තනිවම සිය ගමන අරඹා තිබුණි. එසේ ගමන් අරඹන්නට තරම් දැක්මක්ද කැඩපත සතුව තිබුණු බව මට වැටහුණේ දෙතුන් මසක් ගතව ගිය තැනදීය. එහි මා දුටු සිත් අලවන සුළු බව නම් එහි හැම අකුරක් පාසාම කැටිව තිබූ නිර්මාණශීලී බවයි. සැමවිටම තමන් සැඟවී ප්‍රකාශනය ඔසවා තබන්නට කැඩපත උත්සාහ කළ බවද මම දනිමි. පුද්ගලිකව තමන් හා අමනාපකම් තිබූ සමහරුන්ගේ නිර්මාණ පවා ගුණාත්මක භාවය පදනම් කරගෙන අගය කරන්නට තරම් කැඩපත නිහතමානී විය. පත්තරයකට පුද්ගලික යාලූ මිත්‍රකම් සේම අමනාපකම් ගාවා නොගැනීමටද පරිස්සම් විය. කැඩපතේ මා දකින අනෙක් වෙනස නම් කාලීන වටිනාකමයි. විශේෂාංග ලිපියක් පවා එහි පළ වෙන්නනේ එය කාලයට වාරයට සමානුපාතික වන්නේ නම් පමණි. නිරන්තර මව්බිමේ පළ වන ප්‍රධාන ධාරාවේ පුවත්පත් ඇසුරු කරමින් අවදියෙන් සිට, තෝරාබේරා ගෙන මෙරට පාඨකයන් වෙත ගෙන එයි. විශේෂාංග ලිපියක්, කුඩා කටු සටහනක් හෝ තීරු ලිපියක් ආදී කුමක් මුත් නිර්මාණශීලීව ඉදිරිපත්කරන්නට සමත් දක්ෂ ලේඛක පිරිසක් කැඩපතට සිටියි. මේ තරම් හොඳින් ලියන ලේඛකයෝ කොහේ සැඟව සිටියාදැයි අපට සිතෙන්නේ කැඩපත තීරු ලිපි කියවන විටදීය. ප්‍රජා පුවත්පතක් නම් එම ප්‍රජාවගේ හැටි සොබාවද හඳුනාගත යුතුය. වියයුතු පරිද්දෙන්ම කැඩපත ඉතා සාර්ථකව ඒ අභියෝගය ජයගත් බව දැනෙන්නේ ලංකාවෙන් මෙහි පැමිණි සිසුන් ගැන කතාකරන්නට පිටුවක් වෙන්වීම තුළිනි. මෙල්බර්න් නුවර සිංහල ජනගහනයෙන් සැලකිය යුතු පිරිසක් ශිෂ්‍ය ප්‍රජාව විසින්ද නියෝජනය කරනු ලබයි. මේ අල්ලපනල්ලේ කැඩපත, ලංකාවෙන් පිට විශේෂයෙන් ඕස්ට්‍රේලියාවේ සිටින දක්ෂතා ඇති කලාකරුවන් වෙනුවෙන් වෙන් වූ පිටු දෙකක අපූරු ලිපිමාලාවක් ආරම්භකර ඇත. මෙහිදී එම ලිපි ආරම්භ කරන ආකාරය පවා වෙනසක් දනවයි. පිටු සැකැස්මේ පටන් දැනෙන්නේ නැවුම් බවකි. කිසිදු ප්‍රකාශයක් ගුරුකොට නොගනිමින්, හිතූමනාපයට වෙනස්කම් කරමින් කැඩපත මේ යන්නේ තමන්ගේම ගමනකි. ඒ ගමන නිදහස් ය. නිර්මාණශීලීය.
shape
Copyright © Kadapatha 2018. All rights reserved. Solution by saamArt