seprator

අපෙ අතීතයෙන් බිඳක්….

seprator
28May 2018
blog_shape
ප්‍රියානන්ද විජෙසුන්දර විසිනි (by Priyananda Wijesundara) දකුණු පයාගල මා උපන් ගමේ මගේ නිවසට තුන් මාසෙකට විතර දවසක් සිකුරාදා දිනක ජීප් රථයක් එනවා. මේ ජීප් රථයේ සෞඛ්‍ය දෙපාර්තමේන්තුව යනුවෙන් දොර දෙකේම ලියලා තියනවා. මගේ නැන්දාගේ සැමියා සෞඛ්‍ය පරීක‍ෂකයෙකු වීම මේ ජීප් රථය අපේ නිවසට ඒමට හේතුවක් වේ. මේ ජීප් රථය දැකීමත් එදා මට එක්තරා ආකාරයක සතුටක්. ජීප් රථයේ රියදුරු මහතා එදා රාත්‍රිය ගත කරන්නේ අපේ නිවසේ ඉදිරි කාමරයේ. සෙනසුරාදා උදේ පාන්දරින්ම මේ රියදුරු මහතා අවදි වෙනවාත් එක්කම මටත් ඉබේම ඇහැරෙනවා. පිටුපස ළිඳ ළඟට ගිහින් මුහුණ කට සෝදා ගන්නා රියදුරු මහතා ඊළඟට කරන්නේ ජීප් රථය ළඟට ගිහින් ඒකේ තිඛෙන පුංචි ලවුඩ්ස්පීකර දෙකක් වහලයේ ගැට ගසන එක. ඒකෙන් එන වයර් පොටවල් පිටුපස ආසන කොටසේ තිඛෙන මොකක් දෝ යන්ත්‍රයකට සවිකරනවා. මුලින්ම ඇම්ප්ලියර් කියන වචනය මම අහගත්තේ මේ රියදුරු මහතා ගෙන්. "ජෝන් අයියේ උදේට කාලා තේ බීලා උන්නා නං හොඳයි." ඒ මාමාගේ ඉල්ලීම. "මේක බලලම එන්නං" ජෝන් අයියාගේ උත්තරය. ඔක්කෝම පිළිවෙළට එක්කාසු කළාට පස්සේ මයික්‍රෆෝනය අරගෙන දෙපාරක් තුන්පාරක් ඒකට පිඹලා ටොක් ටොක් ගාලා තට්ටු කරනවා. තවත් මල්ලිලා - නංගිලා මේ මහ ගෙදර උන්නත් මේ මැජික් එක මට තරම් ඒ අයට ගානක් තිබුණෙ නෑ. මමත් උදේට කාලා තේ බොන්නේ ජෝන් මාමා එක්ක. ඊට පස්සෙ ජෝන් මාමා එක්කම ජීප් එකේ නැගිලා ගම වටේ යනවා. "සවන් දෙන්න, සවන් දෙන්න.... අද හවස හයට පයාගල පල්ලිය වත්තේදී මහා චිත්තර පටි දර්ශනය. ටාසන්ගේ වික්‍රම. ටිං ටිං ගේ හපන්කම් සමග අධ්‍යාපන දර්ශනය." ජෝන් අයියාගේ ගොරහැඩි කට හඬ වහලයේ සවිකරලා තියන පුංචි ලවුඩ්ස්පීකර දෙකෙන් මුළු ගමටම ඇහෙනව. ජීප් රථය වටේ එල්ලීගෙන කොල්ලෝ කුරුට්ටෝ හරිම කලබලේ. ජෝන් අයියා ඛෙදන විස්තර කොල අරගන්නට. මේ කොල්ලෝ කුරුට්ටෝ අතර නිතර දෙවේලේ සෙල්ලම් කරන මගේ මිතුරන් උන්නත් අද මම ඒ අයව ගණන් ගන්නේ නෑ. මොකද ජීප් රියේ ඉදිරි අසුනේ මම වාඩිවෙලා. ජෝන් මාමා කතාව අවසන් කළාම මයික්‍රපෝනය දෙන්නේ මගේ අතට. මේකම මදෑ මට ආඩම්බර වෙන්න. (අද නම් මට ලැජ්ජයි) ගම වටේ ගම ඇතුලෙ කඩ මණ්ඩිවල විස්තර නිවේදනය කරලා ආපසු මහ ගෙදරට එන්නේ හැන්දෑවේ දෙකට තුනට විතර. දැන් ඉතින් ඉක්මනටම ලෑස්ති වෙන්න ඕනේ චිත්තර පටිය බලන්න යන්න. ඔක්කෝටම කලින් නාලා, ටැල්කම් පුයර දාලා, පොල්තෙල් ගාලා ඔළුව පීරලා මම ලෑස්තියි ජෝන් මාමා එක්ක පල්ලිය වත්තට යන්නට. ගෙදර අනිත් කට්ටිය එන්නේ හවසට. මට හුඟාක් වැඩ තියෙනවා ජෝන් මාමා එක්ක කරන්නට. පල්ලිය වත්තේ පොල්ගස් දෙකක සුදු තිරය අදින්නට ගමේ තරුණයන් කීප දෙනෙකු ජෝන් මාමාට උදව් වෙනවා. ජීප් එකෙන්ම ගන්නා මේස කෑල්ලක මි. මී. 08 ප්‍රොජෙක්ටර් එක තියලා පටිය දාලා කරකවලා බලනකල් මට ඉවසිල්ලක් නෑ. ඒකට ඉතින් ඇඳිරි වැටෙන කල් ඉන්නට ඕනේ. සද්දේ පිටවෙන්නේ ජීප් එක උඩ උදේම සවිකළ පුංචි ලවුඩ්ස් පීකර දෙකෙන්. ජෝන් මාමා මේසය වටේ ලණුවක් අදිනවා. මේ ලණුව ඇතුළට කාටවත් එන්න දෙන්නේ නෑ. හැබැයි මම ලණුව ඇතුලේ. කලූවර වැටෙනකොට ඉස්පාසුවක් නෑ. පල්ලිය වත්තේ සෙනග පිරිලා. මගේ සෙල්ලම් යාළුවෝ එක්ක මහ ගෙදර නංගිලා මල්ලිලා ඉස්සරහින්ම වාඩිවෙලා. ඇඳිරි වැටීගෙන එනකොට ජෝන් මාමා ජෙනරේටරය පන ගන්වනවා. ඒ කාලේ ගමට විදුලි බලය තිබුණෙ නෑ. ටික වේලාවකින් මාමා ඇවිත් ගමේ අයට පුංචි කතාවක් පවත්වනවා. ඊට පස්සේ ඔන්න ජෝන් මාමා ප්‍රොජෙක්ටරය ක්‍රියාත්මක කරනවා. මුලින්ම කාටුන්. ඊට පස්සේ ටාසන් අන්තිමට සෞඛ්‍ය අධ්‍යාපනය පිළිබඳව කොහෙන්දෝ රටකින් ලැබුණු චිත්තර පටියක්. ඇත්තටම මම එදා මේ එක චිත්තර පටියක්වත් බැලූවේ නෑ. මම බලාගෙන හිටියේ ප්‍රොජෙක්ටර් එක වැඩ කරන හැටි. තවත් දවසක අපේ ගමට කෝටාල් වෑන් එක එනවා. කෝටාල් කිව්වේ වේදනා නාශක ඛෙහෙත් පෙත්තක්. කෝටාල් වෑන් එකේ චිත්තර පටි පෙන්නකොට නම් මමත් වාඩි වුණා ඉස්සරහම බිම. මොකද කෝටාල් වෑන් එකේ මම දන්න අඳුනන අය නෑ. මේ කාලයේම කෙයාර් නම් සංවිධානයකින් ගමේ අපිට නොමිලයේ කිරි දුන්නා. කිරි ඛෙදීම බාරදීලා තිබුණේ ගමේ කාන්තාවකටයි. උදේම නැගිටලා පිරිසිදු භාජනයක් අරගෙන කිරි ගේන්න යන්නේ ගෙදර වැඩි හිටියෙක්. ගමේ බොහෝ දෙනෙකු තම දරුවන් සමගම මේ නිවසට එනවා. කිරි ඛෙදා දුන්නු ගමන්ම තම දරුවන් අත තියන බඳුන්වලට වත් කරලා ඒ දරුවන්ට බොන්නට දෙනවා. ඒත් අපේ ගෙදර අය අපිට බොන්නට දුන්නේ කිරි උණු කරලා. ගමේ බල්ලන් ඇතිකළ නිවෙස්වල අය මේ කිරි බල්ලන්ට බොන්නට දෙනවා කියන ආරංචිය උඩ අඩු ආදායම් ලබන පවුල්වලට පමණක් කිරි ඛෙදාදීම සිදුවීමත් එක්ක අපේ නිවසට කිරි ලැබුණේ නෑ. මහ ගෙදර වැඩිහිටියන් හැම කෙනෙකුම රජයේ රැකියාවල් කිරීම හේතුවක් උනා. ඊට පස්සේ කාලයක ඉස්කෝලේ බනිස් හා කිරි ඛෙදාදීම පටන් ගත්තා. මේ කාලයේ මම කලූතර තිස්ස මධ්‍ය මහා විද්‍යාලයේ උගෙනීම කළා. නාම ලේඛනයේ තීරු දෙකක නම් ලකුණු කරනවා. එක තීරුවක් නිල් පාට පෑනකින්. අනිත් තීරුව රතුපාට පෑනකින්. නිල්පාට පෑනෙන් පැමිණීම ලකුණු කළ අතර රතුපාට පෑනෙන් බනිස් හා කිරි අවශ්‍ය අය ලකුණු කෙරුණා. හැබැයි කිසිම කෙනෙකු බනිස් - කිරි එපා කීවේ නෑ. කාබන් පෑන් නොතිබුණු මේ කාලයේ ගුරුතුමා හෝ ගුරුතුමිය තීන්ත පෑන්වලින් මේ ලකුණු කිරීම සිදුකරළා තීන්ත පොඟන කඩදාසියෙන් තීන්ත පොඟවනවා. හැම ශිෂ්‍යයෙකුටම හා ශිෂ්‍යාවකටම ඛෙලෙක් කෝප්පයක් තිබුණා. පන්තියේ ළමයින් කීප දෙනෙකු විවේක කාලයට කලින් කිරි හා බනිස් ඛෙදන තැනට ගිහින් පන්තියේ ළමුන් ප්‍රමාණයට බනිස් හා කිරි අරගෙන එනවා. විවේක කාලයේ සීනුව නාද වන්නට විනාඩි 05 කට කලින් පේලි හැදිලා බනිස් ගෙඩියක් හා කිරි කෝප්පයක් අරගෙන යනවා. පහුවෙනකොට කිරි නැතිව බනිස් විතරක් ලැබුණා. පුංචි අපි නම් එදා බනිස් කාලා කිරි බිව්වා. ඒත් ඉහළ පන්තිවල ළමයි මේ බනිස්වලින් බෝල ගැහුවා. මේ කාලය වනවිට ගම අතහැරලා පිළියන්දල පදිංචියට ඇවිත් පිළියන්දල මධ්‍ය මහා විද්‍යාලයට යන කාලෙත් අපිට බනිස් ලැබුණා. ඒ වනවිට අට වෙනි පන්තියේ උන්නු අපි කළෙත් බනිස්වලින් බෝල ගහපු එකයි. මේ බෝල ගැහිල්ල හරියටම කෙරුනේ වැසි දිනවල දී. වතුරෙන් පොඟවා ගන්නා බනිස් පන්තියේ ඒ මේ අත යන්නේ විදුලි වේගෙන්. වතුරෙන් පෙඟ වූ බනිස් පහර වැදුනොත් හොඳටම රිදෙනවා. වියලි බනිස් බෝල වගේ නෙමෙයි. විවේක කාලය ආසන්න බව අපට දැනෙන හේතු දෙකක් තිබුණා. පළමු වැන්න බනිස්වල සුවඳ. දෙවැන්න පන්ති කාමර ළඟට හරියටම වෙලාවට එන බල්ලන් හා බළලූන්. සීනුව ගහන වෙලාව හරියටම දන්නේ මේ සතුන්. මුලින් පන්ති කාමරවලට ඈතින් බලා ඉන්නා උන්, සීනුව වදින්න ළං වෙනකොට පන්තියේ දොර ළඟටම ඇවිත්. පාසල් දරුවන්ට සරම්ප එන්නත දුන්නෙත් මේ කාලෙමයි. මහජන සෞඛ්‍ය පරීක‍ෂකවරයා සමග හෙදියන් කීප දෙනෙකු පාසලට එනවා. ස්ප්‍රීතු ලාම්පුවකින් රත්කර ගන්නා පුංචි තුඩකින් අතේ සම තුවාල කොට ටියුබයකින් ගන්නා සුදු පැහැති දියරයක් මේ තුවාලය මත අතුරනවා. කොහොම උනත් ඊට පසුදා පන්තිවල සිසු සිසුවියන් අඩුයි. මේ තුවාල කළ තැන්වල පුංචි බිබිලි මතුවෙනවා. සිරුරෙ උෂ්ණත්වය ඉහළ යනවා. වැඩිහිටියන් අප දැනුවත් කළේ සරම්ප රෝගය ඉතා සුළුවෙන් අපට වැළෙඳන බවත්, එයින්ම සිරුරේ ප්‍රතිශක්තියක් ඇතිවී මහා පරිමාණයෙන් සරම්ප වැළඳීම සිදු නොවන බවත්. කොහොම උනත් වසූරිය නම් භයානක රෝගය මේ ක්‍රමයෙන් මුලින්ම නැතිවෙලා ගියා. Illustration by Saamantha Tennege
18May 2018
blog_shape
මේජර් සුජිත් චමින්ද එදිරිසිංහ විසිනි විවිධ ක්ෂේත්‍රයන්හි නියුතු පුද්ගලයින් දක්වන දක්ෂතා හා සේවා ඇගයීම් වෙනුවෙන් පදක්කම් පිරිනැමීම සමාජයේ කොතෙකුත් දැකිය හැකිය. ක්‍රීඩා ආදී ක්ෂේත්‍රයන්හි එය සුලභ වේ. ඒ අතරම රණවිරුවන් වෙතද පදක්කම් පිරිණැමේ. නමුත් ඒවා සමාජයේ අන් අයට ලැඛෙන පදක්කම් මෙන් නොව වෙනස් බවක් සේම අගයක්ද පවතී. ඊට හේතුව නම් එකී පදක්කම් බොහොමයක් වීරත්වය වෙනුවෙන් පිරිනමන ඒවා වීමයි. එම පදක්කම් තරඟ ජයග්‍රහණයකින් අත්කර ගන්නා දෙයක් නොවන අතර ජීවිතය හා සම්බන්ධ අතිශය තීරණාත්මක කරුණු මත පිහිටා හිමි වන්නකි. ගෙවුනු තිස් වස තුළ රණවිරුවන් දිවි හිමියෙන් කැපව මව්බිම වෙනුවෙන් ඉටු කළ අමිල මෙහෙවර එවැනි පදක්කම් වලින් තක්සේරු කිරීම කිසිසේත් කළ නොහැකි වුවද සම්ප්‍රදායක් ලෙස ඔවුනට පදක්කම් පිරිනමනුයේ එමගින් ඔවුන් තුළ අභිමානයක් ඇති කරලීමත්, ඔවුන් කළ සේවයට ගෞරවයක් ලබා දීමත් අරමුණු කොට ගෙනය. රණබිමේ වීරක්‍රියා සිදුකළ රණවිරුවන් සමුහයක් වෙත පදක්කම් හිමිගැන්වීමේ කටයුත්තක් සඳහා එක්තරා අවස්ථාවක මාහටද සහභාගී වීමේ අවස්ථාව ලැබිණ. එවක මා යුද හමුදා මූලස්ථානයේ රාජකාරී කරනු ලැබු අතර මතකයට අනුව එය 1998 වසර හෝ ඊට ආසන්න විය. එවක සිටි හමුදාපතිගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණු එම පදක්කම් හිමි ගැන්වීමේ අවස්ථාවට රණවිරුවෝ සියයකට ආසන්න පිරිසක් සහභාගි වුහ. උත්කර්ෂවත් හා ගාම්භීර ලෙස සංවිධානය කොට තිබු එම පදක්කම් පිරිනැමීමේ අවස්ථාවට සටනෙහි තුවාල ලැබ ආබාධිතවූ හමුදා සාමාජිකයින් පිරිසක්ද එක්ව සිටියේය. ඔවුන් සමඟ තම දෙමාපියන්, බිරින්දෑවරුන් හා දුවා දරුවන්ද පැමිණ සිටිනු දක්නා ලදී. පදක්කම් පිරිනැමීමෙන් අනතුරුව ප්‍රධාන ආරාධිත අමුත්තා විසින් එම අවස්ථාව අලලා දේශණයක් සිදුකළ අතර ඊට පදක්කම්ලාභී රණවිරුවන් සේම ඔවුන්ගේ පවුල් වල සාමාජිකයන්ද මහත් උනන්දුවෙන් සවන් දෙනු පෙණින. එහිදී පදක්කම් හිමි කරගත් දෑස් අඳ රණවිරුවෙකු තම ඔඩොක්කුවේ සිය පුතු වාඩිකරවා ගෙන සිටින අයුරු එහි සිටි සැමට දැක ගත හැකි විය. එම කුඩා පුතු සිය අන්ද පියා පැලැද සිටි පදක්කම් ගොන්න මහත් උනන්දුවෙන් අතගාන්නට වූයේ එහි සිටි සැමගේ අවධානය ඊට යොමු වන අයුරිනි. සිය පියා සටනෙහි නිරතව දැස් අඳව තිබුණද එම පදක්කම් දෙස බලමින් ඔහුගේ පුතු ආඩම්බරයකින් පසුවන වගක් පෙන්නුම් කළේය. එම දර්ශනය බොහෝ හැගුම් බර එකක් වුයේ එහ සෙබළා කල්පනාවක නිමග්න වී සිටින අයුරක් පෙන්නුම් කළ නිසාවෙනි. තම දැස් නොපෙනුනද ඔහුගේ පුතුට මෙන්ම අනාගත පරම්පරාවටම දැස් දල්වා ඇවිද යා හැකි නිදහස් නිවහල් දේශයක් ඔහු උදාකරදී ඇති බැව් එය දුටු මා හට පසක් විය. ඔඩොක්කුවේ සිටි ඔහු තම පියාගෙන් කුමක් හෝ යමක් අසන්නාක් මෙනි. එසේම එම රණවිරුවාට පුතුගේ මුහුණ නොපෙනුනද ඔහු අසන්නට යන දේ ඔහුට දැනෙන්නා සේය. ඉහත සිදුවීම හරහා මා තුළ මැවෙන්නට වුයේ අමුතුම කල්පනාවකි. එය පසු දිනෙක මා අතින් කොලයක සටහන් වුයේ ඔවුන් දෙදෙනා අතර සිිදුවිය යුතුව තිබූ දෙබස මේ යැයි අනුමාන කරමිනි. සැබැවින්ම පදක්කම් තරමටම එකී රණවිරුවන්ගේ මෙහෙවරද අඳුරේ වුව දිළිසෙනු නොඅනුමානය. පියතුමණි අවසරද ... ගිලිහුණු කඳුළු ලේ දහඩිය බිම තෙමුණු දිලිසුණු පදක්කම් පවසයි නෙක කරුණු හෙළිවුණු කතා සටනෙහි විරුවන් මැරුණු මැළිවනු කිමද පියතුමණේ මට කියනු දහඩිය කඳුළු ලේ ගැලූ බිම තවම තෙත විරුවන් හෙලු සුසුමින් උණුසුම්ව ඇත මතකය පන ලබා පිරුණට කඳුළු නෙත පවසමි පුතුනි සැඟවිය යුතු කිසිත් නැත දුන් රැකවරණ පරපුරකට සුව කැන්ද අන් කිසිවෙකුට පියතුමණේ පුළුවන්ද සුන්කර දමා රුපු සේනා බළ බින්ද රන් වැට ඔබද සවි ඇති සිව් කොන බැන්ද රට දැය සමය මිස රණවිරුවෙකුට වෙන සැපතක් නොමැත දෙවෙනිය පුත ඔහුගෙ පණ නිවටුන් ඉදිරියේ නොනමා බිමට දණ වනසා දමති එරෙහිව එන සතුරු වින බිය සැක නොහඳුනන එඩිතර ගති පිරුණි පියතුම නුඹෙ කතා මගෙ හිත දිරි ගැනුණි වයසට වඩා සිත ගත සවි බළ දැණුනි පය ඔසවන්න රණබිම වෙත මට සිතුණි හරි මග නොදැන ගිය අය මං මුලාවිය බැරි නැත පුතුනි නිවැරදි කළ හැකිය එය දිරිගෙන තබා නිසිලෙස පෙරමුණට පය සරි කර ගනින් දුර ඈතක නොවේ ජය
14May 2018
blog_shape
තිලක් ගමගේ විසිනි (by Thilak Gamage) නොබෝදා ප්‍රතිඵල නිකුත්වූ සාමාන්‍ය පෙළ විභාගයෙන් මා දන්නා එක් දරුවෙකු ලබා තිබුණේ B සාමාර්ථයක් C සාමාර්ථ තුනක් හා එක් සාමාන්‍ය සාමාර්ථයක් පමණි. ගණිතය සහ ඉංග්‍රිසි අසමත්ය. ප්‍රතිපල ඇසූ දරුවා ගේ ප්‍රතිචාරය කුමක් විය හැකිද ? ඔහු ඉහ වහා යන සතුටකින් වෙළී ගිය බව පමණක් සඳහන් කරමි. එම දෙමාපියන්ද එලෙසින්ම සතුටු වූයේ මේ දරුවා එතෙක් ලද මෙන්ම පවුලේ දරුවකු ලද ඉහළම ප්‍රතිපලය එය වීමයි. ඇතැම් විට දිවයිනේ දෙවන තැන් ලද සිසුන් තව ලකුණු කීපයක් ගත්තා නම් පළමු තැන ගත හැකිව තිබුණා නොවේ දැයි පසුතැවිලි වන අතරේ මේ දරුවා විඳි සතුට අපට දෙන පණිවුඩය කුමක්දැයි විමසා බැලිය යුතු නොවේද? හැම තැනම පවතින්නේ අනෙකා පරයා ඉහළ නැගීමේ ආශාවකි. තම පාසැල තම පන්තිය අන් සියල්ලන් අභිබවා ප්‍රතිපල වලින් ඉහළටම ඔසවා තැබීමට දරන වෑයම කොතරම්ද ? මේ සඳහා දරන වෑයම තුළ විද්‍යාවට ගණිතයට A ලබන දරුවන් අන්තර්පුද්ගල සබඳතා, තීරණ ගැනීම, ආවේග සමහන් කරගැනීම සහානුභූතිය වැනි විෂයයන් ගෙන් ත‍ වලටත් වඩා පහළ ප්‍රතිපල ලබන බව දෙමාපියන්ට ගුරුවරුන්ට පමණක් නොව අධ්‍යාපන බල ධරයන්ටද පෙනෙන සැටියක් දක්නට නැත. ඔවුන් සැබවින්ම එම ප්‍රතිපල පෙන්වන්නේ වැඩිහිටියන් වී සමාජ ගත වූ විට ය. රටේ අධ්‍යාපන මට්ටම කොතරම් ඉහළදැයි කියතොත් පෙර පාසැල් දරුවන්ට පවා පාසැල් වේලාවෙන් පසුව අමතර පන්ති පවත් වනු ලැබේ. විෂයය දැනුමට මුල් තැන දෙමින් ජීවන කුසලතා අමතකකර දැමීමේ ප්‍රති විපාක නොබෝදා ලද ප්‍රතිපල දරා ගත නොහැකිවූ සිසුවියක් සිය දිවි හානි කර ගැනීමෙන්ම පැහැදිලි වේ. සම්පත් ඛෙදීයාමේ දැඩි විෂමතාවක් පවතින රටක ඇතැම් පාසැල් පමණක් අති විශිෂ්ට ප්‍රතිඵල ලැබීම මහ ලොකු අරුමයක් නොවේ. අරුමයක් වන්නේ පවතින උපරිම සම්පත් මැද එවන් ප්‍රතිඵල නොලැබුණා නම්ය. එම පාසැල් සතු සම්පත් වලින් කොටසක්වත් හවුලේ භුක්ති විඳිමට වරප්‍රසාද නොලත් පාසැල් වල දරුවන්ටත් අවස්ථාවක් ලබාදීමට පියවර ගත හැකි නම් මේ විෂමතාවන් තරමකට හෝ සමහන් වනු ඇත. තරඟය බුවල්ලෙකු මෙන් සමස්ථ සමාජයම දැඩි සේ වෙළාගෙන ඇත. නිවසක් තැනීමේදී වාහනයක් මිලට ගැනීමේදී ගෙදරට ඇවැසි දෑ මිලදී ගැනීමේදී මුල් තැනදෙන්නේ ඒවායේ උපයෝගීතාවට වඩා අනෙකා පරයා යාමට ඒවාට ඇති හැකියාවටය. උත්සව සම්භාෂණද මේ තත්වයෙන් මිදී නොමැති බව වර්තමාන මංගලෝත්සව වලින් පෙනේ. පෝරුව සැරසිලි ඇඳුම් ආයිත්තම් නැටුම් ගැයුම් ආහාරපාන ඡායාරූප යන මෙකී නොකී සියලූ අංශ වලට අයත් වෙළෙන්දෝ මඟුල් දිනයට බොහෝ කලකට පෙර සිටම මනාල යුවළට පමණක් නොව දෙමාපියන්ටද අන්ද වති. ඔවුහුද බොහෝ කැමැත්තෙන් අන්දන්ටත් පෙර තමන්ම ඇඳගනිති. එතැන් පටන් අවශ්‍ය වන්නේ මුදල් පමණි. මංගල්ලය අවසන් වන්නේ දැරිය නොහැකි තරමේ ණය කන්දරාවක සියල්ලන් හිර කරමිනි. වෙළෙන්දෝ තවත් ගොදුරක් සොයා යති. පුදුමයට කරුණ නම් ම`ගුල නිම වී ටික දිනකින්ම මෙතෙක් පැළඳ සිටි කන්නාඩි ගලවා දමන නිසා සත්‍යය අවබෝධ වීමයි. "මේ දේවල් ගැන මුලින් සිතුවා නම්......" යයි සිතෙතත් එවිට පෙරහැර ගොස් හමාරය. මමත්වය මුල් තැන ගෙන ඇත. තම නමට ආයතනයට පදවියට ඉහළම ලකුණු දමා ගැනීමට ඕනෑම දෙයක් කිරීමට බොහෝ දෙනා පෙළඹේ. වෙනෙකක් තබා ආගම ඇදහීමද අද තරඟයක් වී ඇත. තම පූජාව අන් සියල්ලන්ටම වඩා ඉහළින් මෙන්ම මුලින් තැබීමට පුජ්‍ය පක්ෂයෙන් තමන් මුරුංග අත්තේ තබන අනුසාශනා ලැබීමට අසීමිත වූ කෑදර කමක් ඉහ වහා ගොස් ඇත. මේ සඳහා වන තරඟයේදී මූලික ආගමික සංකල්ප නොතකා හැරීමට වුව පෙළඹේ. තමන් දරන ආගමික මතවාදය පමණක් නිවැරදිය අනෙක් සියල්ල බොරුය යන හැඟීමෙන් යුතුව කටයුතු කිරීම නිසා ආගම් අතර ගැටුම් උග්‍ර වී ඇත. පිරිසක් අඳින්නට හරි හමන් ඇඳුමක් නැතිව තැවෙන අතර වාරයේ තවත් පිරිසක් චෛත්‍යයක් වටා රෙදි කච්චි පිටින් ඔතනු පෙනේ. කිරි නැතිව හඬන දරුවාගේ කුසගිනි නිවීමට මං සොයන මවුන් සිටින සමාජයක බෝධිය කිරෙන් නහවනු ලැබේ. හිසට වහළක් නොමැතිව අසරණව ගිය පිරිස් සිටියදී දෙමහල් තෙමහල් මන්දිර තනා පූජා කරනු කොතෙක් දැකිය හැකිය. අභියෝග වලට මුහුණ දීම සඳහා තමන් තුළ තිබිය යුතු ආත්ම ශක්තිය තනිවම ගොඩ නගා ගත නොහැකි යමෙකු මෙවන් වූ ක්‍රමවේදයන් උපයෝගී කරගෙන අභියෝග ජය ගැනීමට සිතන්නේ නම් කිරෙන් බෝධිය නැහැවීමෙන් පසුවවත් කිරි නැතිව හ`ඩන දරුවෙකුට කිරි සපයා දීමට දායක විය හැකි නම් එම පින්කම මහත් පල මහානිසංස ගෙන දෙනු නොඅනු මානය. මෙහිලා සඳහන් කිරීම උචිත යයි හැඟෙන එක් සිදුවීමක් මගේ සිහියට නැගේ. නොබෝදා පැවති පිංකමකදී ස්වාමීන් වහන්සේ වෙත අටපිරිකරක් පූජා කිරීම සඳහා යුවළක් සූදානම්ව ඉදිරියට යන විට එක් වියපත් කාන්තාවක් ඒ දෙස ඉතා ඕනෑ කමින් බලා සිටිනු දක්නා ලදී. විස්තර කළ නොහැකි අන්දමේ දයානුකම්පිත සිතිවිල්ලකින් වෙළීගිය පිරිකර අතැතිව සිටි කාන්තාව සැමියාට යමක් පවසන අතරම ආපසු හැරී ඒ වියපත් කාන්තාව අබිමුවට ගොස් "අම්මේ..... අම්ම ගිහින් මේ පිරිකර පූජා කරන්න.." කියමින් තමන් ගෙනා පිරිකර ඇයට දී පසෙකට වී එම අසරණ කාන්තාව පිරිකර පූජා කරන දෙස ඉමහත් සෙනහසින් යුතුව බලා සිටියාය. ආත්මාර්ථයම රජයන ලොවක මෙවන් උතුම් ක්‍රියාවන් තුළින් අපට ගතහැකි ආදර්ශය කොතරම්ද ? යහපත් ක්‍රියාවක් තුළින් සිත සතුටින් පිනා යාමම පින ලෙස දහමෙහි දැක්වේ. ඒවා පින්කම් තරමටම යුතුකම් ද වේ. තමන් විසින් කරනු ලබන සද්කාර්යයන්හිදී පවා දැනුවත්ව හෝ නොදැනුවත්ව බරපතළ වැරදි සිදුවන අවස්ථා එමටය. එක්තරා සුබසාධක සංගමයක් මගින් තම බල ප්‍රදේශය තුළ පහසුකම් අඩු දරුවන් සඳහා ශිෂ්‍යත්ව පිරිනැමීමේ උතුම් කාර්යයක් ක්‍රියාවට නංවා තිබිණි. ඔවුන්ගේ ක්‍රමවේදය වූයේ වාර්ෂික සභා වාරයේදී එම දරුවන් වේදිකාවට කැඳවා එම ශිෂ්‍යාධාර පිරි නැමීමයි. කල් තබා දැනුම් දී තිබුණද බොහෝ දරුවන් මෙම ආධාර ලබා ගැනීමට පැමිණියේ නැත. එතෙකුදු වුවත් එයට හේතුව විමසීමට අවශ්‍යතාවක් නිලධරයනට වූ බවක් පෙනෙන්නට නොතිබිණි. මට පෙනී ගිය ආකාරයට හේතුව වූයේ ප්‍රසිද්ධියේ එවන් ආධාර ලබාගෙන තම ආත්ම ගෞරවය පළුදු කර ගැනීමට දරුවන් අකමැති විමයි. යහපත් චේතනාවෙන් කරන කටයුත්තකදී පවා අකටයුත්තක් සිදු විය හැකි බව මින් පෙනේ. කොතෙක් අසරණ වුවද තම ආත්ම ගෞරවය රැක ගැනීමට කවුරුන් වුවත් කැමතිය. මේ බව සාමාන්‍ය වැඩිහිටියන් පමණක් නොව දරුවන් සමග සමීපව කටයුතු කරන පාර්ශව පවා දැන සිටින බවක් නොපෙනෙන තවත් සිදුවීමක් මතකයට නැගේ. මනෝ උපදේශන නිලධාරිණියකගේ මග පෙන්වීම යටතේ පාසැලක අඩු පහසුකම් සහිත දරුවනට පාසැල් උපකරණ ඛෙදා දීමක් සංවිධානය කරන ලදුව එම කළමනාද රැගෙන පාසැලට ගිය විට විදුහල්පති වරයා යෝජනා කළේ වහාම රැස්වීමක් කැඳවා එම ආධාර පිරි නැමීමටය. එහිදී විදුහල්පතිවරයා සහ ආධාර රැගෙන ගිය කණ්ඩායම අතර සිදුවූ සංවාදය එලෙසින්ම දැක්වීම සුදුසුයයි සිතේ. "අපි රැස්වීමක් කැඳවමු. එතකොට ඔබ තුමන්ලා අතින්ම මේව ඛෙදල දෙන්න පුළුවන්." "කාටද මේව ඛෙදන්නෙ ?" "ඉස්කෝලෙ ඉන්න දුප්පත්ම ළමයින්ට.... අපි හොඳට හොයල බලල තමයි තෝර ගත්තෙ." "එතකොට විදුහල්පතිතුමා කියන්නෙ මේ ඉස්කෝලෙ ඉන්න දුප්පත්ම ළමයි ටික වේදිකාවට කැඳවල අනික් සේරම ඉස්සරහ මේ ආධාර ඛෙදන්න කියලද?" "ඔව්.. ඔව්..." "එතකොට.. මේ විදුහලේ ඉන්න දුප්පත්ම ළමයි තමයි මේ... කියල අනික් ඔක්කොම අය දැන ගන්න එක ගැන මොකද හිතෙන්නෙ ?' විදුහල්පතිවරයාට තමන් කරන්නට ගිය ක්‍රියාවේ බරපතළකම වැටහුණේ එවිටය." "දුප්පත් උණත් ඒ දරුවන්ටත් ආත්ම ගෞරවයක් තියෙනව...ඒක බිඳ දමන විදියේ පාප කර්මයකට හවුල් වෙන්න නෙමේ අපි ආවෙ... මේ තෑගි ටික බාර ගන්න. අපට ඔබතුමා විස්වාසයි... ඒව අනෙක් අයට නොදැනෙන විදියට ඛෙදන්න ක්‍රමයක් හදාගන්න ඔබතුමාට හැකි වේවි කියල අපි හිතනව." අඩුපහසුකම් ඇති අයට ආධාර ඛෙදීම් ජයටම සිදුවන අප රටේ එම උතුම් ක්‍රියාවේ යෙදෙන දානපතියන් මේ ගැනද සිතීම ඉතා වැදගත් යයි සිතේ. දේශපාලනයෙන් තොරව හුස්මක් ගැනීමටවත් නොහැකි රටක මෙම අදහස් හුදෙක් මනෝමූලික නොවේදැයි කෙනෙකුට සිතෙන්නට පිළිවන. අන් අය කෙසේ කළත් මේ කරුණු ගැන සංවේදී වන සුළු පිරිසකටවත් මේ අදහස් ක්‍රියාවට නංවීම උවමනාවක් තිබේ නම් අපහසු නොවේ යයි සිතමි. පරිත්‍යාග කිරීමේදී මෙන්ම ඒවා ලබා ගැනීමේදීද සැලකිලිමත් විය යුතුය. ද්‍රව්‍යමය හෝ නිලතල වරප්‍රසාද ආදිය පිරිනමන විට නිකං දෙනවනං ඉසේකැක්කුම උනත් කම් නැත යන ආකල්පයෙන් මිදී එම දෙනදේ ලැබීමට තමන් සුදුසු වන්නේදැයි සිහි නුවණින් යුතුව විමසා බැලිය යුතුය. හුණුවටය නාට්‍යයේ කියැවෙන පරිදි දෙන දේ සුදුස්සාටම ලැබිය යුතුය. තනතුරක් ලබාගැනීමේදී තමන් එමට සුදුස්සෙකු ද යන්න විමසා බැලිය යුතුය. පසුගිය දිනෙක මුහුණු පොතේ සටහනක දැක්වුණේ පාර්ලිමේන්තු මන්ත්‍රි වරයෙකු වීමට උපාධියක් තිබීම සුදුසුබවයි. වර්තමානයේ උපාධිධාරී මන්ත්‍රිවරුන් හා අනෙකුත් මන්ත්‍රී වරුන් ගේ කියුම් කෙරුම් හොඳින් විමසා බැලීමෙන් මේ ප්‍රකාශයේ වලංගුතාව පිරික්සිය හැකිය.පෙනෙන හැටියට උපාධියක අවශ්‍යතාව හොඳින් පෙනේ.එහෙත් එය දේශපාලන විද්‍යාව ආර්ථික විද්‍යාව හෝ මූල්‍ය කළමනා කරණයට අදාලව නොව මනුෂ්‍යත්වය මැනවින් හදාරා ලබා ගත්තක් විය යුතුය.එවැනි පිරිසකගෙන් සමන්විතවූ පාර්ලිමේන්තුවක් බිහිවූ දිනක සිට රටේ සැබෑ සංවර්ධනය පිළිබඳ සිහිනය සැබෑ වන දිනයට ඇති කාලය ඉතා අඩුවනු නොඅනුමානය.
11May 2018
blog_shape
ඩබ්. එච්. උපසේන විසිනි (by W. H. Upasena) මේ දිඹුලාගල කන්ද නගින්නේ තුන්වැනි වතාවටය. මීට වසර හතළිහකට පමණ ඉහතදී මම පළමු වරට මේ කන්ද නගින්නේ තනිවය. තාත්තාගේ දැඩි කොන්දේසි මතය. පොසොන් පෝය දිනක එහි ළඟා වූ මම පැඟිරි වයසේ පසුවූ බැවින් කොලූ රැලක් සමග ගල් කුළු මතින් පනිමින් උඩට නගින්නට පටන් ගතිමි. පෙරමුණේ සිටි කවරෙකු හෝ නඩේ ගුරුකම ස්වෙච්ඡාවෙන්ම පවරා ගෙන සිටියේය. එහෙත් අපිට විනාඩි පහකවත් එසේ යන්නට ඉඩ ලැබුණේ නැත. "ආපහු හැරියව්..." නඩේ ගුරා එකවරම කෑ ගසුවෙන් අපි වහා පහළට පැන ගතිමු. "වලහෙක් ඛෙනේකින් ඔළුව දැම්මා.." ඔහු කීවේ ඇත්තක්ද නැත්නම් කෙබරයක්දයි මට තවමත් සිතා ගත නොහැක. කෙසේ වෙතත් තාත්තාට මම මේ පුවත කියන්නට නොගියෙමි. නුහුරු නුපුරුදු තැන්වල කොල්ලන් කුරුට්ටන් සමග ඕනෑවට වඩා ගැවසීම ඔහු විසින් අපට තහනම් කර තිබුණි. විශේෂයෙන් වලහාගේ කතාවෙන් ඔහු අපේ තැනම වඩාත් දැඩි කරන්නට පියවර ගනු ඇත. මේ නිසා ගමට පෙනෙන දුරින් තිඛෙන මෙම ආරණ්‍ය සේනාසනයට යළි යාමට ළමා කාලය ඉක්මෙන තුරුම නොහැකි විය. ඊළඟ වාරයේ මම එහි ගියේ තවත් අවුරුදු දහයකට පසුවය. හිඟුරක්ගොඩ සිටින මගේ මිතුරෙකු, ඔහුගේ දෙමාපියන් සහ සොහොයුරිය එක් වූ ගමන ඉතා චමත්කාර ජනක විය. එදිනද පොසොන් පොහොය දිනයක් වූ බැවින් පුද බිම ජනී ජනයාගෙන් පිරී පැවතුනි. මෙවර අප ඇතුළු බොහෝ පිරිසක් ඇදුනේ කඳු පාමුල සිට තිරස් නැග්මක් සහිත මාරා වීදියටයි. ගල් කුළු සහිත අඩි පාර දෙපස සිහින් රතුපාට ඉදුණු ගෙඩි වලින් පිරි වීර ගස් වලින් පිරී තිබුණි. මේ ගෙඩි හා අපේ නඩය රැගෙන ආ බැදපු සෝයා ඇට කමින් ගිය ගමන ඛෙහෙවින් විනෝද ජනක විය. කබලේ බැද ලූණු දමා ගෙන ආ සෝයා ඇට වල රස තවමත් දිව අග රැඳුණු සෙයක් දැනෙයි. පොසොන් මාසයේ වියලි කලාපය හරහා පතිත වන තද හිරු රැසින් ගිනිගත් ගස් කොළං ඒ මේ අත නවමින් හැමූ සුළ`ගින් සිසිල් කළේය. ගමනාන්තය වූයේ රහතුන් වහන්සේලා වැඩ සිටි බවට විශ්වාස කළ ලෙන් කිහිපයකි. එහි එක තැනක තිබුණු කුහරයක් වැනි තැනක උඩින් බේරී රැස්ව තිබූ ජලය ඛෙහෙවින් සිසිල් විය. පැය දෙකක් පමණ කන්ද තරණය කොට වෙහෙසුණු ගතට එයින් ලැබුණු පැන් පොද අමුතුම සිහිලසක් එක් කළේය. අවසාන වතාවේ දිඹුලාගලට ඒමට තවත් අවුරුදු 29 ක් බලා සිටීමට සිදුවිය. මේ කාලය තුල රටේ තොටේ මෙන්ම මගේ ජීවිතයේ බොහෝ වෙනස්කම් සිදු විය. අපේ ගම හා අවට ගම්මාන රැසකට හානි පමුණුවමින් ඇවිලී ගිය යුද්ධය නිමා විය. ඒ කාලය තුල අපේ කිට්ටුවර ඥාතීන් දෙදෙනෙකු මරු තුරුලට වන්හ. ඒ ත්‍රස්තවාදී ප්‍රහාර හේතුවෙනි. තාත්තාගේ හිතවතකු වූ දිඹුලාගල විහාරාධිපතිව වැඩ විසු අසරණ සරණ, කිතලගම ශ්‍රී ලාලංකාර හිමියෝද ත්‍රස්තවාදී වෙඩි පහරින් අපවත් වී සිටියහ. රැකියාව පතා අගනුවරට පැමිණි මම දෙදරු පියෙකු ද වී රටෙන් ද පැන්නෙමි. එහෙත්, මේ සියළු කම්පනයන්, වද වේදනාවන් දරා ගනිමින් දිඹුලාගල කන්ද නොසැලී නොබියව, අදත් නැගී සිටියි. එය 1968 දී කදුරුවෙල නගරය පසු කොට එන විට දුටුවා සේම අදටත් පෙනෙයි. උතුරු පැත්තෙන් පෙනෙන මනහර නැම්ම ඒ විදියටම රැක ගෙන හිඳියි. හරියට, විශාල විලක් මැද දන නමා ගෙන සිටින දැවැන්ත හස්ති රාජයකු ලෙස මට මේ කඳු වැටිය වරෙක දිස් වන්නට පටන් ගනී. මෙදින පොසොන් දිනයක් නොවීය. එහෙත් අර මා මුල වතාවේ නගින්නට තැත් කළ දිඹුලාගල කන්ද මුදුනේම පිහිටි අහස් මාලිගාවට යාමට මෙවර අදහස් කළෙමි. ගව් ගණනාවක් ඈතට දිස් වන්නේ මෙම ගල මුදුණේ තිඛෙන එම අහස් මාලිගාවේ කොත ය. අපේ නඩය මම, බිරිඳත්, දුව, පුතා සහ මගේ මල්ලීගෙන් සමන්විත විය. ඒ කාලයේ මෙන් නොව, මෙලෙස උඩට නගින අඩි පාර පඩි පේලි බැෙඳමින් තිබුණි. සිරස් අතට විහිදෙන මාර්ගයේ පඩි පෙළ ගොඩ නගා ගෙන යන බැවින් ඒ සඳහා උර වල දමා තිබූ සක්කා ගල කැබලි උඩට ගෙන යාමෙන් දායක වන්නැයි සැදැහැවතුන්ගෙන් ඉල්ලීමක් කරගෙන තිබුණි. අවට ගම්මානවල පන්සල් වල දායක දායිකාවන්ගෙන් සැදුනු පිරිසක් ද මේ ශ්‍රම දායකත්වයට එක් වී සිටියහ. මේ නිසා උඩට යන ගමනට සංචාරක සැදැහැවතුනට වඩා එක්වී සිටියේ සිටියේ මේ දායක දායිකාවන්ය. අවිහිංසක බවත්, නිරහංකාර බව මෙන්ම බර වැඩ කිරීමේ හුරුවද ඔවුන් අතරින් මනාව දිස් වෙමින් තිබුණේය. අප මෙන් නොව ඔවුහු ශ්‍රම දායකත්වයට සරිලන පරිදි හිස් රෙදි වලින් ඔතා ගෙන චීත්ත හෝ සරොම් කැසී පොට ගසා ගෙන සිටියහ. අප වතුර බොමින් සරතැස නිවා ගනිමින් යමින් අතරමග හමුවන කෙනෙකුට වතුර දීමට තැත්කළ විට කීවේල "එපා මහත්තය, ඕක බොන්න ගත්තොත් දිගටම බොන්න වෙනව..." කියාය. අධික ෆ්ලොරීඩ් ප්‍රමාණයක් අඩංගු ජලය කාලයක් පානය කිරීම නිසා දත්වල මතු වූ කහට පැල්ලම් වසා ගැනීමට උත්සාහ කරමින් කන්දට බර ඇද පහලට බසින තරුණියෝ අප සමග සුහද ලෙස සිනා සුනහ. "අනේ රිලවුන්ට කඩල දානව නම් අපටත් දෙන්න..." මෙතරම් ජනතා සහභාගීත්වයකින් යුතුව ගොඩනගන මගක් උඩට දිව යන්නේ ඉතා විශාල ඉතිහාසමය වටිනා කමක් තිඛෙන ස්ථානයක් එහි තිඛෙන නිසා විය යුතුයි මට සිතුනි. කුසල වර්ධනයේදී අපි වීර්යවන්ත විය යුතු වෙමු. පරාක්‍රමබාහු රජ සමයේදී ධර්ම සංගායනාවක් කළේ ධූමරක්ඛ පබ්බත හෙවත් දිඹුලාගලය. ඇතැම් ෙඓතිහාසික තොරතුරු අනුව අවසාන රහතන් වහන්සේ පවා වැඩ විසුවේ මෙහිය. එසේ නම්, ඈතින් ඈතට පෙනෙන මේ ගිරිකුල මත තිඛෙන අහස මාලිගාව කෙතරම් චිත්තාකර්ශනීය එකක් විය හැකිද? ඉතින් අපි හොර කුරුමානම් අල්ලමින්, පනින රිලවුන්ට සහ ශ්‍රම දායකත්වය සපයන දායක දායිකාවන්ට කඩල ඛෙදමින් උඩට නැග්ගෙමු. කන්ද මුදුන පෙනෙන මානයේ පඩි පෙළ සදා නොතිබුණි. ඒ හරියට නැග යා යුත්තේ ගලින් ගලට පැන හෝ අතු හා මුල් අල්ලා ගනිමින් යන අඩි පාරකිනි. තවත් පැය භාගයක් පමණ ගතවූ විට අපට කන්ද මුදුනට යාමට හැකි විය. ගලේ පසෙක අටවා ගත් මඩුවක දෙහි හෝ ඇඹුල් දොඩම් වලින් හොඳින් ලුණු හා සීනි දමා සැකසූ පානයකි. ලොකු වීදුරුවක් රුපියල් විස්සකි. ඇත්තටම තිබුණ පිපාසයත්, වෙහෙසත් ඒ පානය බීමත් සමගම සංසිඳුනාක් මෙනි. ඇතැම් පිරිස් ශ්‍රම දායකත්වය සපයන පිරිස් වලටත් බීම මිලට ගෙන දුන්හ. අපගේ ගමනාන්තය අතේ දුරිනි. එය තට්ටු දෙකකි කවාකාර ගොඩ නැගිල්ලකි. උඩ තට්ටුවේ අලූත් බුදු පිළිමයක් හැරෙන්නට වෙන සැලකිය යුතු දෙයක් නොවිණ. එහෙත් පහළ තට්ටුවේ සිදු වෙමින් පවතින දෙය මට අදහා ගත නොහැකි විය. බලූ පැටව් රොත්තක් පිලේ නිදති. වයසක කපුරාල කෙනෙක් මොණර පිහාටු රොත්තක් මිටියක් මෙන් බැඳගෙන සංචාරක සැදැහැවතුනට පවන් සලමින් දෙවාර්ශීර්වාද කරයි. නළලේ තුන්නූර උලයි. පඬුරු පසෙකට වැටෙයි. අප මේ ගිරි දුර්ගය නැග ආවේ මෙවැනි අන්ධ විශ්වාසයන්ට උල්පන්දම් දෙන ස්ථානයකටද ? "අපොයි, මේ මොන විකාරයක්ද..?" මට නිකමට මෙන් කියැවිණ. ආපසු බසින අවස්ථාවේද මේකී කනස්සල්ල එලෙසම පැවතිනි. "ඔය ගැන ඔච්චර කරදර වෙන්න එපා තාත්තේ..." මගේ දියණිය බැරිම තැන කීවාය. "හැම ආගමකින්ම කරන්නේ මිනිස්සුන්ව සතුටු කරන එක. නැත්නම් තමනට දෙන්ඩ බැරි ආරක්ෂාවක් ගැන සහතික වෙන එක. මෙතැනත් හොඳට ඒක කරනව..." ඊළඟ පරම්පරාව නියෝජනය කරන ඇය අපට වඩා හොඳින් ආගමේ කාර්යය අවබෝධ කරගෙන සිටිනවා නොවේදැයි, මට එවිට සිතුනි.
07May 2018
blog_shape
සාමන්ත තැන්නගේ විසිනි (by Saamantha Tennege) එකල පොලීසියේ මහත්වරු කොම්පඤ්ඤ වීදියේ රාජකාරි කිරීමට මැළිකමක් දැක් වූ බව කියති. ඒ කිසියම් අවස්ථාවකදී පොලිස් වාර්ථාවක් ලිවීමට සිදුවන විට ස්ථානයේ නම හැටියට කොම්පඤ්ඤ වීදිය කියා ලිවීමට බොහෝ කොස්තාපල්වරුන්ට ඇති අපසුතාවය නිසාය. ඇතැම් අවස්ථාවල කොම්පඤ්ඤ වීදියේ අනතුරක් සිදු වූ විට අනතුරට ලක් වූ අයව ඒ අසල පිහිටි මැලේ වීදියට ගෙන ගොස්, මැලේ වීදියේදී අනතුර සිදුවූවාක් මෙන් වාර්ථා කළ බවද සමහර කටකැඩිච්ච කොල්ලෝ කියනවා මට මතකය. දිනක් හා හාපුරා කියා කොම්පඤ්ඤ වීදියේ රාජකාරි කටයුතු වලට අනුයුක්ත කළ කොස්තාපල්වරයෙකුගේ නෙත ගැටුණේ අනතුරුදායක ලෙස බයිසිකලයක එළවළු පටවාගෙන එන අයෙකි. වහාම බයිසිකලය නැවැත් වූ කොස්තාපල් තැන, "මොනවද මේ ගෝනිවල තියෙන්නේ ?" කියා ඇසුවේලූ. බයිසිකල්කරු ගත් කටටම "පිපිඤ්ඤා" කියා කීවේලූ. මද වේලාවක් හිසෙහි අතගසාගෙන කල්පනා කළ කොස්තාපල් "හා... අදට යනවා. ආය එහෙම මෙහෙම අහුවෙන්න එපා." කියා ගෝරණාඩු කර බයිසිකල්කරුට යන්නට ඉඩ දුන්නේලූ. එදා රාජකාරි නිමවා නිවසට ගිය කොස්තාපල් පාසලේ වැඩට දක්ෂ තම දියණියගේ සිංහල පාඩම් පොත් බලා "හොඳයි ලියනවා බලන්න පිපිඤ්ඤා කියලා" යනුවෙන් කීවේලූ. අනතුරුව තම දියණිය ලියූ වචනය දෙස මද වෙලාවක් බලා සිට "හා බොහොම හොඳයි" කියා හොරෙන්ම තමාගේ සටහන් පොතේද එය සටහන් කර ගත්තේලූ. දෙවෙනි දිනයේ නැවතත් ඔහු කොම්පඤ්ඤ වීදියේ රාජකාරියට ගියේලූ. එදිනද අනතුරුදායක ලෙස එළවළු පටවාගෙන එන බයිසිකල්කරුවාව ඈතදීම දුටු කොස්තාපල් බයිසිකලය නවත්වා, "ආ අදත් පිපිඤ්ඤා නේද ? බහිනවා බයිසකලෙන්..." කියා අණ දුන්නේලූ. "නෑ සර් අද තියෙන්නේ කැකිරි" බයිසිකල්කරු බයිසිකලයෙන් බසින අතර පැවසුවේලූ. "ආ එහෙනං ගොඩක් හොඳයි" කියා "මොකක්ද මේ වීදිය ?" කියා බයිසිල්කරුගෙන් ඇසුවේ කළ වරද සටහන් කරන්නටය. "කොම්පඤ්ඤ වීදිය, සර්" බයිසිකල්කරු කීවේලූ. නැවතත් හිසේ අත ගසාගත් කොස්තාපල්, එදිනද බයිසිකල්කරුට යන්නට ඉඩ දුන්නේලූ. එදින රාජකාරිය නිමවී යන අතර ඔහු කොම්පඤ්ඤ වීදියේ නාමපූරුව අසලට ගොස් එයද තම පොතේ සටහන් කර ගත්තේලූ. තෙවෙනි දිනයේද සුපුරුදු පරිදි බයිසිකල්කරුවා එළවළු රැගෙන ආවේලූ. "ආ... අදත් ආවද ? අද වට්ටක්කද ?" "නෑ සර් අදත් පිපිඤ්ඤා." "කමක් නැහැ බහිනවා... බහිනවා... අද බේරෙනවා බොරු..." පිපිඤ්ඤා, සහ කොම්පඤ්ඤ ලිවීමට උගත් කොස්තාපල් ගෝරනාඩු කළේ ය. "මොකක්ද කිව්වේ රස්සාව ?" කොස්තාපල් බයිසිකල්කරුගෙන් ඇසුවේලූ. "ස්පාඤ්ඤෙට පිපිඤ්ඤා යවනවා." එදිනද බයිසිකල්කරු ගැලවී ගියේ එසේලූ. බයිසිකල්කරුගේ නම අසන්නට කොස්තාල්ට සිතුනේ සිව්වෙනි දවසේ ය. "හරි හරි දැන් කියනවා තමුසෙගේ නම ?" "පුඤ්ඤදාස." "මොකක් කිව්වා... පුඤ්ඤදාස ?" ආය එහෙම අහුවෙන්නේ නැහැ. පස්වෙනි දිනයේ කොස්තාපල් චණ්ඩියෙකු මෙන් බයිසිකල්කරුව බයිසිකලයෙන් බැස්සුවේය. "තමුසෙගේ නම මොකක්ද කිව්වේ ?" "පුඤ්ඤදාස." 'සම්පූර්ණ නම... කියනවා... සම්පූර්ණ නම..." "ඒ. කේ. පුඤ්ඤදාස." "ඒ. කේ. කිව්වේ...?" "අඤ්ඤා කොණ්ඩඤ්ඤගේ...?" කොම්පඤ්ඤ වීදියේ පිපිඤ්ඤා වෙළෙන්දා තවත් දවසක් කොස්තාපල්ගෙන් ගැලවුනේ එසේ ය. පිපිඤ්ඤා, කැකිරි කිරීම එකල අප නිතර දෙවේලේ කළ කී දෙයකි. පිපිඤ්ඤා කියා ලියනවාට වඩා කැකිරි කියා ලිවීම පහසුය. එසේ නමුත් කැකිරි මාළුව පිසීම අපහසුය. පිපිඤ්ඤා සළාදය හැදීම ඊට වඩා පහසුය. ඒ කතාව කිවේ අපේ අම්මාගේ කැකිරි හොද්ද ගැනත් යමක් කීමටය. එකල අම්මාත් සමග පොළට ගිය ඇතැම් දිනවල ඇය පිපිඤ්ඤා මිලට ගත්තා ය. තවත් දිනවල ඇය මිලට ගත්තේ කැකිරි ය. කිසිම විටෙක ඇය පිපිඤ්ඤාත්, කැකිරිත් යන දෙකම එකම දිනක මිලට නොගැනීමට වග බලා ගත්තා ය. කෙසේ වෙතත් එකල මට නම් පිපිඤ්ඤාත්, කැකිරිත් පෙනුනේ එකම විදිහටය. එකල ඒ දෙකටම අපට තිබුණේ දැඩි අකමැත්තකි. පසුකාලීනව ඇයගේ පිපිඤ්ඤා සලාදයත්, කැකිරි හොද්දටත් අපි ඛෙහෙවින් ඇළුම් කරන්නට විමි. ඒ ද හේතුවක් ඇතිවය. නිවසින් පිටව ගොස් නගරයේ දහ ජරාව කන්නට පුරුදු වූ පසුවය, අම්මාගේ කැකිරි හොද්දේ තරම වැටහෙන්නට වූයේ. අම්මාගේ පිපිඤ්ඤා සළාදය කඩිනමින් සකසාගනු ලබන සරල කෑමකි. ඇය මුළින්ම කරන්නේ පිපිඤ්ඤා ගෙඩියේ නැට්ට පැත්තට වෙන්නට පෙත්තක් කපා එම කැපූ පෙත්තෙන්ම කැපූ තැන රවුමට පිරිමැද තිත්ත යැවීම ය. තිත්ත යැවූ පසු පොත්ත ඉවත්කර පිපිඤ්ඤා පෙති රවුමට කපා ගන්නී ය. ඉන්පසු දික් අතට කැපූ ලොකු ළූණු, පෙති කැපූ තක්කාලි, සිහින්ව ලියා ගත් අමුමිරිස් සහ ගම්මිරිස් කුඩුත් සමග පිපිඤ්ඤා පෙති එකට කලවම් කරන්නී ය. අවසානයේ ලූණු සහ විනාකිරි ස්වල්පයක්ද ඊටම එකතු කරන්නී ය. කැකිරි හොද්ද හැදීම ඊට වඩා තරමක් සංකීර්ණ ය. ඇය මුලින්ම කැකිරි ගෙඩියේද, පිපිඤ්ඤා ගෙඩියේ මෙන්ම තිත්ත හරින්නී ය. කැකිරි ගෙඩිය සෝදා පොත්තත් සමගම කොටු හැඩැති කැබැලි වලට කපා ගනී. ඉන්පසු ඒවා මැටි බඳුනකට දමයි. කරපිංචා, කහ, තුනපහ තේ හැන්දක් පමණ, රම්පෙ, කුරුඳු පොතු කැබැල්ලක්, එම මැටි බඳුනටම දමයි. අමු මිරිස් දිග අතට ලියා එයද ඊට එකතු කර ගනී. සුද්ද කළ රතුළූණු හොඳින් සෝදා සිහින්ව ලියා ඒවාද ඊටම එකතු කරයි. ඉන්පසු හාල් මේස හැන්දක්, පොල් රොඩු මේස හැඳි දෙක තුනක්, සූදුරු තේ හැන්දක්, සුදුළූණු බික් තුන හතරක් වෙනම මැටි කබලක දමා හොඳින් බැදගනී. එසේ බැඳගත් මිශ්‍රණය මිරිස් ගලේ දමා අඹරාගනී. දැන් ඇය කරන්නේ කපාගත් කැකිරි හට්ටියකට එකතු කර පහේ කුඩු හොඳින් අනා වතුර සමග ළිපේ තැබීම ය. කැකිරි කැබැලි හොඳින් තැම්බුන පසු දියකිරි කෝප්ප දෙකකට පමණ අඹරාගත් පොල් හාල් මිශ්‍රණය එකතුකර කැකිරි බඳුනටම දමා අඩු ගින්දරේ පිස ගනී. ලුණු එකතු කරන්නේ අවසානයට ය. තම්බපු හාලේ බත් සමග කැකිරි මාළුවත්, කරවල බැදුමකුත්, වට්ටක්කා කොළ මැල්ලුමකුත් එක් වූ කළ සිංහල අපට දැනෙන රසය දිව බොජුන් පරදවන්නේ ය. අපේ අම්මාගේ කැකිරි හොද්ද මගේ මතකයට ආවේ පසුගියදා අපට කියවන්නට ලැබුණු ඉතා සංවේදී පුවතක් නිසාවෙනි. 2018 අප්‍රේල් මස 25 දින දිවයින පුවත්පතේ අන්තර්ජාල කලාපයේ පළ වී තිබුණු මෙම වාර්ථාව ලියූ අයගේ නම සඳහන්ව තිබුණේ නැත. වාර්ථාව මෙසේ ය. කැකිරි තොගයක්‌ අලෙවිකර ගැනීමට දඹුල්ල ආර්ථීක මධ්‍යස්‌ථානයට රැගෙන ගිය ගොවියකුට මුහුණ පෑමට සිදුවූ අකරතැබ්බයක්‌ ගැන ඉබ්බන්කටුව ප්‍රදේශයෙන් වාර්තා වෙයි. සමගි මාවතේ පදිංචි ආර්. බී. එAකනායක (70) සිය අත්දැකීම පසුගිය 19 දා අපට මෙසේ විස්‌තර කළේය. "පසුගිය සතියේ දඹුල්ල ආර්ථීක මධ්‍යස්‌ථානයට මම වගා කළ කැකිරි කිලෝ 55 ක්‌ රැගෙන ගියා. එAවා අලෙවි කර මට ලබාගත හැකිවූයේ රුපියල් 100 යි. කැකිරි තොගය ත්‍රීවිල් එකෙන් ප්‍රවාහනය කිරීමට රුපියල් 450 යි. මමත් බිරිඳත් ගිනි අව් කාෂ්ටකයේ මේ වගාව කළේ බලාපොරොත්තු ඇතිවයි. කැකිරි වගා කිරීමට යෙදූ අක්‌කර භාගයේ ඉඩමේ සී සෑමට පමණක්‌ ට්‍රැක්‌ටර් කුලිය රුපියල් 3500 ක්‌ වැයවුණා. ඉබ්බන්කටුව ජලාශයේ සිට අඩි හත්අටසියයක්‌ බට යොදා මෝටරයකින් ජලය පොම්ප කිරීමට සිදුවුණා. එහෙව් වියදමක්‌ දරා ලබාගත හැකිවූයේ රුපියල් 100 ක්‌ නම් ගොවියාගේ අනාගතය ගැන කවර කතාද ? නමුත් සුපර් මාර්කට්‌ හා වෙළෙඳ සල්වල කැකිරි කිලෝවක්‌ රුපියල් 25 ත් 30 ත් අතර මිලකට අලෙවි වෙනවා. ගොවියාගේ එළවළුවලට සාධාරණ මිලකට අලෙවි කර ගැනීමට නොහැකි නම් එම වගාවෙන් ඉවත් වීම හැර වෙනත් විකල්පයක්‌ නෑ. මා ඇතුළු ප්‍රදේශයේ ගොවීන් බලධාරීන්ගෙන් විමසන්නේ එම ප්‍රශ්නයයි" යි පැවසීය. ලංකාවේ සංචාරය කරන විට අප දකින දෙයකි, එහි බොහෝ එළවළුවල මිල ගණන් ඕස්ට්‍රේලියාවේ එළවළු මිළට වඩා ඛෙහෙවින් වැඩි බව. එමෙන්ම ඒවායේ පෙනුම සහ ගුණාත්මක බවද ඛෙහෙවින් අඩු ය. පසුගිය වෙසක් දා විකුණාගත නොහැකි වූ රුපියල් ලක්ෂ පහක් වටිනා වට්ටක්කා දන්සැලක් දේවහූව ප්‍රදේශයේදී පැවති බවද ඇතැම් පුවත්පත් වාර්ථා කොට තිබුණි. වට්ටක්කාද, කැකිරි හොද්ද තරම්ම රසවත් ව්‍යාංජනයකි. මෙල්බර්න් නුවර හොඳ තත්ත්වයේ වට්ටක්කා ඇට ග්‍රෑම් සියයක් අඩු තරමින් ඩොලර් තුනක්වත් වෙයි. එසේ වනුයේ ඒ තරමටම වට්ටක්කා ඇටවල ගුණයක් ඇති නිසාය. එහෙත් ලංකාවේ තත්ත්වය කෙතරම් ශෝචනීය ද ? එකල මිනිසුන් මාලු කල් තබා ගැනීමට වියළා කරවල කළෝ ය. අදටත් අපි එය කරමු. එහෙත් කරවල වේලනවාට වඩා, අව්වේ වේලා මුදල් කළ හැකි දෑ කොතෙක් නම් ඇත්ද ? විජලනය කළ එළවළු කොතෙක් නම් අපට ඕස්ට්‍රේලියාවේදී ලබා ගත හැකි ද ? බටර් නොකා අලිගැටපේර ආලේප කර පාන් කෑමට තරම් බුද්ධිමත් ඕස්ට්‍රේලියානුවාගෙන් යමක් ඉගෙනගන්නට ලංකාවේ සිට මෙහි ඉගෙන ගන්නට එන තම පුතාලා බලන්නට එන ඇමතිලාටවත් නොපෙනේ ද ? කැකිරි, පිපිඤ්ඤා, වට්ටක්කා යනාදී එළවළු එකල කිසිම ඛෙහෙතක් නොගසා වගාකළ භෝග ය. මස් මාළු සහ ෆ්‍රරයිඩ් රයිස් වල රසයට වහල් වූ පසුකාලීන ලාංකිකයාට දැන් දැන් එළවළු වල රස නොදැනෙන තරම තේරෙන්නේ එකල අප හැදුනු වැඩුනු ගම් බිම් වල මෙකල සැරිසරන විට ය. අම්මාගේ කැකිරි හොද්දේ තරම තේරුම් ගැනීමට අපටද බොහෝ කාලයක් ගත විය. එය අපට වැරදුණු තැනකි. ආයුර්වේදයට අනුව කැකිරි වල මුත්‍රා මාර්ගයේ රෝග සුවකිරීමේ හැකියාවක් ඇති බවත් මූත්‍රාශයේ ගල් නැති කිරීමට හොඳ බවත් කියවේ. එමෙන්ම කැකිරි වල මුත්‍රා පිරිසුදු කිරීමේ ගුණයක් තිඛෙන අතර කැකිරි ඇට පණු රෝගවලටද භාවිතා කරයි. පිරිමින්ගේ පුරස්ථී ග්‍රන්ථී ආශ්‍රිත රෝගවලට ගුණ දෙන බවද කියවෙයි. තවද කැකිරි ආහාරයට ගැනීමෙන් මුත්‍රා හොඳින් පහවීමත්, දැවිල්ල නැති වෙන බවත් ආහාර පහසුවෙන් දිරවන බවද කියවේ. අද ලාංකිකයාගේ ජාතික ආහාරය බවට පත්ව ඇති, ඕස්ට්‍රේලියාවේ පන්සල්වල ආහාර පොළවල්වල පවා උණු කැවුම් මෙන් විකිණෙන කොත්තු, බුරියානි, ෆ්‍රරයිඩ් රයිස්වල බඩ සහ දිව පිනවීම හැර කැකිරි කෑල්ලක ඇති ගුණයෙන් අල්පමාත්‍රයක්වත් ඇතැයි කිව හැක්කේ කාට ද ? සැබවින්ම සමස්ථ ලාංකිකයා සාසනයෙන් පටන් ගෙන ඔවුන්ව පාලනය කරන පාලකයා හරහා ගොවියා දක්වාම මෙතරම් පිරිහුනු කාලයක් ඉතිහාසයේ අන් කවරදාවත් නොතිඛෙන්නට ඇත. එකතකින් ලිමසීන් වලින් වැඩ ඉස්සෝ, කකුළුවෝ, පෝර්ක් වළඳවන දාන මානය. අනික් අතින් රටින් ගෙනෙන ඇපල්, මිදි වලින් කරන ස්ථූප පූජා ය. දුප්පත් ගොවියාගේ කැකිරි ගෙඩියට දෙයියන්ගේම පිහිටය. ළඟදීම අපිට විකුණාගත නොහැකිව අද දන්සල් දෙන වට්ටක්කා වලින් සුද්දා බටර් හදා අපටම එවනවාට සැක නැත. මාලු නරක් වන්නට නොදී කරවල හැදූවේ අපේ මුතුන් මිත්තෝ ය.... නරක් වන වට්ටක්කා වලට කළ හැකි දෙයක් හිතාගන්න බැරි අපට වඩා අපේ මුතුන්මිත්තෝ කොතරම් බුද්ධිමත් ද ? එදා ගොවියාගේ විද්‍යාගාරය වූයේ ඔහුගේම කෙත ය. ඔහු අලුත් අලුත් දේ අත්හදා බැලූවේ එහිදීය. අද කෙත පත්ව ඇත්තේ ගොවියාගේ සොහොන් බිම බවටය. තමන්ගේ වැරදි තේරුම් ගැනීමට නොහැකි අපේ කෘෂිකර්මාන්ත ඇමතිලා කරන්නේ හිස් ගොඩනැගිලි වලට කෝටි ගණනින් බදු ගෙවීම ය. කැකිරි කිලෝ පනස් පහකට රුපියල් සීයක් ලැබුණු බව අසා අපට ඇතිවන සංවේගය උන්ටත් ඇතිවෙනවා නම් ? කොටින්ම වරද්ද වරද්දා පිපිඤ්ඤා ලිවීමට උගත් කොස්තාපල්ලා කටට මැෂින් සවිකරගෙන පුටු රත්කරන ඇමතිලාට වඩා හොඳ ය. ඒ ඌ නොදන්නා දේ ඉගෙනගැනීමට තරම් අවංක වූ නිසාය. ස්පාඤ්ඤයට පිපිඤ්ඤා පටවන අඤ්ඤා කොණ්ඩඤ්ඤලාගේ පුඤ්ඤදාසලා ඊටත් වඩා හොඳ ය. ඒ උන් නිර්මාණශීලී නිසා ය.
13April 2018
blog_shape
සාමන්ත තැන්නගේ විසිනි (by Saamantha Tennege) දෙමළ භාෂාවෙන් බාල සහෝදරයා හඳුන්වනු ලබන්නේ තම්බි කියා ය. ඊට අමතරව තම්බි යන වචනය සහෝදරයා, මිත්‍රයා යන අරුතෙන්ද භාවිතා වන බව පෙනේ. ඒ අරුතෙන් ගත් කළ තම්බියෝ වනාහී සහෝදරයෝම ය. ඉන්දියාවේ ජීවත්වන දෙමළ ජනතාව දළ වශයෙන් මිලියන හැට එකකි. ඉන් දෙමළ භාෂාව කතාකරන මුස්ලිම් ජනතාව මිලියන 3 - 4 අතර වන බව කියවේ. 2011 සංගණනයට අනුව ලංකාවේ දෙමළ ජනතාව මිලියන තුනකි. ශ්‍රී ලාංකික මුස්ලිම් ජනගහණය ආසන්න වශයෙන් මිලියන 1.9 කි. ඒ අනුව ලෝකයේ ප්‍රතිශතයක් වශයෙන් දෙමළ භාෂාව කතා කරන වැඩිම මුස්ලිම් ජනතාවක් වෙසෙන රට ලංකාව ය. තතු එසේ නමුත් තම බස දොඩන ලාංකික දෙමළ ජනතාව මුස්ලිම් ජනතාව හඳුන්වන්නට "තම්බි" නොහොත් "සහෝදරයා" යන වචනය භාවිතා නොකරන තරම් ය. ලංකාවේ දෙමළ ජනතාව යටත් පිරිසෙයින් අනුරාධපුර යුගයේ පටන් ජීවත් වෙති. ඒ ලංකාවට මුස්ලිම් ජනතාව පැමිණෙන්නට බොහෝ කාලයකට පෙර ය. එසේ නම් සැබවින්ම අපේ මුල්ම සහෝදරයෝ විය යුතුව තිබුණේ දෙමළ ජනතාවය. නැතිනම් දෙමළ ජනතාවගේ "තම්බිලා" විය යුතුව තිබුණේ අපය. මේ දෙකම නොවී සිංහලයා, දෙමළෙන් මුස්ලිම් ජනතාවට "තම්බි" හෙවත් "සහෝදරයා" යනුවෙන් අමතන්නේ ඇයි ? කාලයාගේ ඈවෑමෙන් වචනයක භාවිතාර්ථය වෙනස් වන බව සැබෑය. නමුත් හැම විටම වචනයක් යෙදීම ඇරඹෙන්නේ සහේතුකව ය. ඒ අනුව මුස්ලිම් ජනතාව අපට නිකම්ම "තම්බි"ලා වන්නට විදිහක් නැත. දෙමළ මිනිසුන්ට "තම්බි" කියා නොකියූ අප දෙමළෙන් මුස්ලිම් මිනිසුන්ට "තම්බි" යනුවෙන් ආමන්ත්‍රණය කිරීම සුළුවෙන් සැලකිය යුතු කරුණක් නොවේ. ඔවුහු හා අප අතර සැබෑ සහෝදරත්වයක් නොතිඛෙන්නට එවැනි දෙයක් සැබවින්ම සිදුවිය හැකි ද ? සහෝදරත්වයක් ඇතිවන්නේ එකෙක් අනෙකාගේ දුකට සැපට ළ`ගින් සිටිනා විට නොවේ ද ? කලකට පෙර වතුකරයේ දෙමළ ජනයා සිංහල අයට "අය්යා" කියා අමතනවා මට මතකය. දෙමළෙන් අය්යාට කියනුයේ "අන්නන්" කියා ය. සිංහල අපට "අන්නන්" කියා අමතනවාට වඩා අය්යා කියා අමතන විට හෘද්‍යාංගම බවක් දැනෙනවා නොවේ ද ? කවර හෝ හේතුවක් නිසා දෙමළ ජනයා අපට "අය්යා" කියා අමතන විට අප ඔවුන් ඇමතිව යුතුව තිබුණේ ඔවුන්ට දැනෙන අයුරින් "තම්බි" කියා නොවේ ද ? ඕස්ට්‍රේලියාවට පැමිණි මුල් කාලයේ අපේ අබලන් රථය නිතර නිතර ලෙඩ දුනි. එමෙන්ම අතන මෙතන නැවතිණි. දිනක් අපේ අබලන් රථය මාර්ග සංඥා පද්ධතියක් ඉදිරියේම නැවතුණි. හතර වටින් අඳුරු වැටෙමින් තිබූ ඒ අවස්ථාවේ කිසිවක් කරකියාගත නොහැකිව සිටියදී පසුපස රථයේ පැමිණි අය වහාම රථයෙන් බැසවිත්, "සහෝදරයා (බ්‍රදර්) උඹට උදව්වක් ඕනෑද ?" කියා ඇසුවේ ය. මා ඔහුට උත්තරයක් දෙන්නටත් පෙර, "සහෝදරයා උඹ ඔහොමම වාහනය අයිනට ගන්න... මම තල්ලූ කරන්නම්" කියා ඔහු අපේ පවුලම වාහනය තුළ සිටියදී තනිවම වාහනය සංඥා පද්ධතියෙන් දකුණට වන්නට තිබූ මාර්ගයේ කෙළවරකට තල්ලූ කළේ ය. ඉන්පසු ඔහු ඔහුගේ රථය කරා හනික ගියේ ය. ඔහුගේ රථය පදවාගෙන නැවතත් මා සිටි තැනට පැමිණ, "සහෝදරයා, උඹ ඔහොම ඉන්න මම ආයම එන්නම්" කියා යන්නට ගියේ ය. විනාඩි පහක් යන්නට මත්තෙන් ඔහු නැවත පැමිණියේ ය. ඒ මගේ උදව්වට තවත් සහෝදරයෙක්ද කැටුව ය. "සහෝදරයා" නොහොත් "බ්‍රදර්" කියා අමතන සුදු ඕස්ට්‍රේලියානුවෝ නැත. ඔවුන් අමත්නේ "මේට්", "මෑන්" හෝ "ඩියුඩ්" කියා ය. අපි "මචං" කියනවා වගේ ය. (ඇත්තෙන්ම "මචං" යනු දෙමළ භාෂාවෙන් මස්සිනා ය.) එහෙත් ඕස්ට්‍රේලියාවේදී ඔබට මුස්ලිම් අයෙකු හමුවුවහොත් ඔවුන් ඔබව අමතනු ලබන්නේ එක්කෝ "බ්‍රදර්" කියා ය. නැතිනම් "සිස්ටර්" කියා ය. ඒ ලාංකික අපට හුරුපුරුදු නොදන්නා අයට පවා "අය්යා" අක්කා නැන්දා මාමා අම්මා තාත්තා කියන්නා සේ ය. කෙසේ හෝ එදා අපේ පිහිටට පැමිණි "සහෝදරයා" මට වැරදී තිබුණු තැනක් නිවැරදි කරගන්නටද උපකාර කළේ ය. මට වැරදුණේ මෙතැන ය. ඒ 1995 වසරේ එක්තරා දිනයකි. ස්ථානය කටුගස්තොට නගරය මැදය. අප ගමන්ගත් වාහනය ඉදිරියෙන් ගිය වාහනයක හිසෙහි මුස්ලිම් අය පළදින තොප්පියක් පැළඳගෙන සිටි වයස අවුරුදු දොළහක පමණ කොළුවෙක් ගැටෙනු අපි දුටිමු. කොළුවා හැපුණු වාහනය විදුලි වේගයෙන් පළා ගියේ ය. අප වහා කොළුවා අපේ වාහනයට දමා ගෙන කටුගස්තොට රෝහල කරා ඇදෙන්නට විමු. විනාඩි දෙක තුනක් ගත වෙන්නටත් කලින් පිටුපසින් පැමිණි වෑන් රථයක් අපේ වාහනය හරස් කර නැවත් වීය. ඉන් බැස ගත් හත් අට දෙනෙක් පැමිණ අපේ වාහනයට අතින් පයින් පහර කීපයක් එල්ල කර "දීපං යකෝ අපේ ළමයා" කියා දරුවාව එළියට ගත්තේ ය. සිදුවූයේ කුමක්ද කියා ඔවුන්ට පැහැදිලි කරන්නටත් ප්‍රථම එම පිරිසෙන් එකෙක් මගේ මුහුණටත් පහර එල්ල කළේ ය. එදින මම එක් දෙයක් අධිෂ්ඨාන කරගතිමි. "ආය නම් තම්බින්ට උදව් කරන්නේ නැහැ" යන්න ය, ඒ. එකී අධිෂ්ඨානයට තිත තැබුණේත් "තම්බි", "බ්‍රදර්" හෝ "සහෝදරයා" යන වචන වල සැබෑ අරුත වැටහුනේත් මගේ වාහනය මෙල්බර්න් නුවර මහ මග කැඩුණු දාය. සිංහලෙන් සහෝදර යන වචනය සැදෙන්නේ සහ + උදර යන වදන් අතරට ඕ ප්‍රත්‍ය එකතු වීමෙනි. මෙහි සහ යනු එකම දෙය ඛෙදාගත් යන අරැත දේ. එකම උදරය ඛෙදා ගන්නේ සහෝදරයෝ ය. අප කුඩා කළ අපේ යාළු මුස්ලිම් දරුවන් සමග සහෝදරයන් මෙන් එක්ව සෙල්ලම් කළෙමු. අප තරුණ අවදියේදී ඔවුනුත්, අපත් ඛෙහෙවින් වෙනස් අය බවට පත්ව සිටියහ. දැන් අපේ ලංකාවේ දරුවෝ මුස්ලිම් දරුවන් සමගවත්, මුස්ලිම් දරුවෝ අපේ දරුවෝ සමගවත් සෙල්ලම් නොකරන තරම් ය. අඩු තරම්න් කතා කිරීමවත් කරනවාදැයි අපි නොදනිමු. කාලය කෙරතම් වෙනසක් මවා ඇත් ද ? අවුරුදු දොළහක් මා කෙරෙහි පැවති අප්‍රසන්න හැඟීම පහව ගියේ ඕස්ට්‍රේලියාවේදී අපට හමු වූ සහෝදරයා නිසා ය. ඇත්තෙන්ම එකෙක් දෙන්නෙක් කළ දේවල් නිසා අප වෛරී සිතුවිලි පවත්වාගෙන යා යුතු නම් සැබවින්ම අප කෝප විය යුතුව ඇත්තේ අපේම අය සමග නොවේ ද ? හොඳින් විමසා බලනු ලැබුවහොත් පුද්ගලිකව අපට වඩාත්ම සතුරුකම් කර ඇත්තේ අපේම අය නොවේ ද ? එය අපට මෙන්ම ඒ අයටත් පොදු දහමක් නමුත් අපේ ගුල තුළ සිට බලන කල අප කාටත් නොපෙනෙන්නේත් එම සත්‍යයම නොවේ ද ? ඊළඟට අප කතා කරන්නේ කූඹියෝ ගැනය. පායනා කාලේදී රෑ දවල් මහන්සි වී කන්න දේ රැස් කරත් කූඹියෝ සීතෙනුත් වැස්සෙනුත් බේරිලා ඉන්නවා ගේ සදන් එක්වෙලා කූඹියෝ උන් ඉතා ඉක්මනින් යන්නෙ මේ සන්තොසින් කම්මැලී නෑ කිසිත් කූඹියෝ දැන් අපත් ඒ වගේ ඉන්නවා නම් හොදයි කම්මැලී නෑ වගේ කූඹියෝ ඉහත දැක්වූයේ කුඩා කල අපට ඉබේම කටපාඩම් වූ ගීතයකි. එකල කුඩා දරුවෝ එක්කෝ කූඹින්ට බය වූහ. නැතිනම් බය නොවූහ. කූඹින්ට බය නොවූ දරුවෝ කොටස් දෙකකි. ඉන් පළමු කොටස ගෙදර දොර වත්ත පිටියේ කඩිසරෙන් ඇවිද යන කූඹියෙක් දෙන්නෙක් මරන්නට පවා බිය නොවූහ. තවත් පිරිසක් කූඹින්ට බය නොවූ නමුත් කූඹි මරන්නට බය වූහ. එම කොටසට අයත් වූවෝ බොහෝ විට බුදු දහමෙන් හික්මවනු ලැබූ දරුවෝ ය. ගීතයේ කියවෙන කූඹිහු රෑ දවල් මහන්සි වී වැඩ කරන්නෝ ය. සැබවින්ම ලෝකයේ සත්ව කොලනි අතරින් අතිශයින්ම සංකීර්ණ සත්ත්ව කොලනියකි, කූඹි කොලනිය. එය දෙවෙනි වන්නේ මිනිස් කොලනියකට පමණි. ආහාර පාන රැස් කිරීම, ගබඩා කිරීම, කොලනිය පවත්වාගෙන යාම, සතුරු ආක්‍රමණ වැළැක්වීම, ඉදිරි පරම්පරාව වෙනුවෙන් කළයුතු දේ යනාදී දහසකුත් එකක් දේ ජාති, ආගම්, කුල මල ආදියෙන් ඛෙදී වෙන් වී සිටින මිනිසුන්ටත්, එසේ නොබිඳුනු කූඹීන්ටත් පොදුය. නමුත් මිනිස් කොළනියක සහ කූඹි කොලනියක එකී පොදු අරමුණ සාක්ෂාත් කරගන්නා පිළිවෙල එකිනෙකට සපුරාම වෙනස් ය. ඒ නිසාම මිනිසාට කූඹින්ගෙන් ඉගෙනගත හැකි යමක් ඇතැයි යන කාරණය සත්‍යයකි. මිනිසුන් තමන්ගේ අරමුණු කරා යන්නේ සැලැස්මක් ඇතිවය. එමෙන්ම මොන වැඩකටත් අපට නායකයෙක් අවශය ය. සැලැස්මක් හෝ නායකයෙක් නැති තැන මිනිසාට සාක්ෂාත් කරගත හැකි කිසිම පොදු අරමුණක් නැත. එනමුත් කූඹීහු සිය අරමුණු කරා යන්නේ කිසිම පූර්ව සැලැස්මකින් තොරව ය. රැජිනක සිටියද, ඇයට කොළනිය තුළ කරන්නට වෙනම කර්තව්‍යයක් ඇත. සේවකයින්ට අණදීම හෝ බලය පෙන්වීම ඊට අයත් නොවේ. එබැවින් කූඹි කොලණියක් කි්‍රයාත්මක වන්නේ දේශපාලන න්‍යායකින් නොව ජීව විද්‍යාත්මක ක්‍රම ලේඛනයකට (Biological Programe)  අනුව ය. එබැවින් කූඹි ගුල් තුළ ස්වකීය කොලනි සාමාජිකයන් අතර අඩදඹර ඇතිවීමේ සම්භාවිතාව ඉතා අවම බව කියවේ. අවස්ථා දෙකකදී කූඹි ගුලක එවැනි අඩඳඹර ඇතිවිය හැකිය. එකක් රැජිනට තවදුරටත් බිත්තර දැමීමට ඇති හැකියාව නැතිව යාමය. දෙවැන්න වෙනත් කොළණියක කූඹියෙක් යැයි වරදවා වටහා ගැනීම ය. කූඹීන් තම කොළණියේ සාමාජිකයින් හඳුනා ගන්නේ සුවඳිනි. සුවඳ වෙනස් නම් එක්කෝ එකී කූඹියා මරා දැමීම හෝ ගුළෙන් පන්නා දැමීම සිදුවේ. එකල මිනිසුන් තම විරුද්ධවාදීන් මරා දැමුවේ එක්කෝ ශරීරයේ වර්ණය වෙනස් වූ නිසාවෙනි. නැතිනම් කලාපීය සම්භවයේ වෙනසට අනුවය. පසුකාලීනව වෙනත් භාෂාවක් කතාකිරීම විරුද්ධවාදීන් මරාදැමීමට හේතු පාදක කරගත් බව පෙනේ. නමුත් වර්තමානයේ පාට හෝ ජාතියට වඩා වෙනත් ආගමක් ඇදහීම යන කාරණය එකිනෙකාට එරෙහිව යුධවැදීමට ආසන්නම හේතුව බවට පත්ව ඇත්තේ ය. ශී්‍ර ලාංකීය මුස්ලිම් ජනයා පසුගිය කාලය පුරාවටම වැඩකළේ කූඹියෝ ලෙසි නි. තම වර්ගයාගේ දියුණුව වෙනුවෙන් හෝ ඔවුහු ඉතා පැහැදිලි මාවතක ගමන් ගත්හ. නිකරුනේ කාලය ගත කළ අයෙක් ඔවුන් අතර සිටියා නම් ඒ ඉතා කලාතුරකිනි. කූඹින්ගෙන් ඉගෙන නොගත් දෙය අඩු තරමින් අපි අපේ සහෝදරයින්ගෙන්වත් ඉගෙන ගත යුතු නොවේ ද ? එහෙත් නිතරම අප කළේ උගත යුතු දෙය පවා අපේ පුද්ගලික අරමුණු වෙනුවෙන් යොදා ගැනීම ය. නිදසුනක් ලෙස අප කුඩා කාලයේදී ඇසුනු සරණගුප්ත අමරසිංහ ගායනා කළ "පායනා කාලෙදී" ගීතයේ තනුව හා සමාන ගීතයක් බොහෝ දෙනාට නිතැතින්ම මතකයට ඒ. සාදුකින් පෙළෙන උන් දැන් ඉතිං නැගිටියව් අන්තිම සටනට සැරසෙයව් සමාජවාදී පක්ෂයේ ජාත්‍යන්තර ගීතයේ තනුවත් හා කූඹියෝ ගීතයේ තනුව සමාන වන්නේ කෙසේද යන කාරණය අපි නොදනිමු. කලකට පෙර මිනිසුන්ට තිබුණු දැවෙන ප්‍රශ්නය වූයේ බඩගින්න ය. බඩගින්න රටක පාලනය බලය ලබා ගැනීමට පාවිච්චි කළේ එබැවිනි. දැන් බඩගින්න පෙන්වා බලය ලබා ගැනීම උගහටය. සැබවින්ම දැන් බඩගින්නට වඩා මුහුණු පොත බලය ලබාගැනීමට සුදුසුය. මීළඟට අපි පසුගියදා අවසන් වූ "කූඹියෝ" ටෙලි නාට්‍යට හැරෙමු. එහි තේමා ගීතය වූයේද "පායනා කාලෙදී" ගීතය ය. නමුත් එම ටෙලිය පුරාම අප දුටුවේ රුයක් දවාලක් නැතිව වැඩ කරන කූඹියෝ නොව ගේම් ගහන්නට වලිකන අය ය. පොල්කටු හැන්දත් රටින් ගෙන්වන ලාංකිකයාට කලකට පසු කිසියම් බුද්ධිමය සංවාදයක් ඇති කරගත හැකි කලා කෘතියක් ලංකාවේම බිහිවීම සතුටට කාරණයකි. එනමුත් අනුන් වෙනුවෙන් තමන් කඩේ යන බව නොදන්නා අයට දිය හැකි නම වෘෂභයෝ යන්න මිස කූඹියෝ නම් නොවන්නෝ ය. සැබවින්ම කූඹියෝ කතාවට සමාන්තරව ඇදෙන තවත් කතාවක් තිබේ. ඒ ගරිල්ලා මාර්කටින් ය. තැන තැන කූඹි ගුල් හැදෙන්නේත් බුද්ධිමත් තරුණ පිරිසක් ලෙස සිතාගත් පිරිසක් ඒ කරා ඇදෙන්නේත් ඊට අනුරූපව ය. බල සේනා, රවණා බලකා, අසපු ආදී නානාවිධ වූ ඇමට නොවැටුනු පිරිසක් ආකර්ෂණය කර ගන්නට එකී කූඹි ගුල් සමත් විය. එහෙත් අවාසනාවකට මෙන් මොන ගුලකට වැදුනත් ගුල්වලට වැදෙන හැම එකාම එක හා සමානය. තවත් නොබෝ දිනකින් පාතාලයේ ගේම් කාරයින්ට "කූඹියෝ" කියා කීවොත් පුදුම වන්නට දෙයක් නැත. සහෝදරයා, තම්බි බවට පත්වීම සාධාරණ නමුත් තම්බි, තම්බියෝ බවට පත් වන්නේ භාවිතය තුළට ඉරිසියාවත් කෝපයත් එකතුවීමෙන් මෙනි. සමස්ථය වෙනුවෙන් ඇපකැපවීම "කූඹියෝ" යන වචනය තුළ ඇත. ස්වාර්ථයම වෙනුවෙන් ගේම් ගහන, තමන් විකිණෙන බව නොදැන විකෙන්නන් ගැන කථා කිරීමට "කූඹියෝ" කොහෙත්ම ගැලපෙන්නේ නොවේ. එහි අරුත කිසිසේත්ම නිර්මාණය උසස් නොවන බව නොවේ. කූඹියෝ කතාව වටා රොක් වුනු පිරිස හා සමාන පිරිසක් අප මීට පෙර දැක තිබුණේ රට පුරා පැතිර ගිය "අසපු ආගමික සම්ප්‍රදාය" තුළිනි. කූඹියෝ අපට උගන්වන්නේ අනාගතය වෙනූවෙන් රැස් කරන්නටය. අසපු අපට උගන්නන්නේ අනාගතය වෙනුවෙන් අතහරින්නටය. නමුත් අප සැබවින්ම රැස් කළ යුත්තේ ආදරය, කරුණාව, සහකම්පනය යනාදී ගුණාංග නොවේ ද ? අප අත හැරිය යුතු වන්නේ වෛරය, ක්‍රෝධය තරහ නොවන්නේ ද ? දියුණු යැයි සමාජයක් සම්මත වන්නේ එවිට ය. මෙය සිදු නොවන්නේ නම් ජාතීන් අතර ඇතිවිය හැක්කේ කවර සහෝදරත්වයක් ද ? කවර සංහිදියාවක් ද ? සැබවින්ම දියුණු රටවල් සියල්ලම පාහේ පාලනය කරන නායකයෝ සැබෑ කුහුඹුවන්ගෙන් උගත් පිරිසකි. ඔවුන් නායකයන් වුවද තමන්ට කරන්නට රාජකාරියක් ඇති බව දන්නෝ වෙති. නොදියුණු රටවල් පාලනය කරන්නේ ඊනියා "කූඹියෝ" නාට්‍යයෙන් අප දුටු පිරිස හා සමාන අයවළුන් ය. ඔවුහු තම පැවැත්ම උදෙසා නොකරන දෙයක් නැත. ජාතීන් අතර ආරවුල් ඇතිවන තරමට, ආගම් අතර අවුල් වියවුල් ඇතිවන තරමට ඔවුන්ට තම පැවැත්ම පවත්වාගෙන යාම පහසුය. ඔවුහු කිසිදාක සිංහල, දෙමළ, මුස්ලිම්, බෞද්ධ, හින්දු, ඉස්ලාම් යන ජාති ආගම් අදහන සහෝදරවරු බිහිවන්නට ඉඩ දෙතැයි සිතිය හැකි ද ? අන් කවරක් නැතත් තවත් පරම්පරා ගණනකට සරිලන තරමට අපි පන්සල්, පල්ලි, කෝවිල් වලින් ස්ව්‍යංපෝෂිත වූ ජාතියකි. එසේ තිබියදීත් සංහිදියාව නමින් අපේ රටේ පාලකයෝ තව තවත් පන්සල්, පල්ලි, කෝවිල් බිහි වන්නට ඉඩ හැර බලා සිටිති. නැත්නම් පෞරාණික වටිනාකමකින් යුතු සිද්ධස්ථාන ඩෝසර් කරනු දැක දැකත් නොදැක්කා සේ සිටිති. මේ දෙකම වැරදි ය. රට හදන්නට කලින් කළ යුතුව ඇත්තේ එකම එක දෙයකි. එනම් සැමට සාධාරණ නීතියක් ස්ථාපිත කිරීම ය. සෑම ගැටුමක් පසුපසම දිවෙන එකම කතාව නීතිය එක එකාට එක එක විදිහට ක්‍රියාත්මක වීම නොවේ ද ? අදින් හරියටම වසර දෙසීයකට පෙර 1818 තරම් ඈත අතීතයේ එවකට මහනුවර දෙගල්දොරුව රාජමහා විහාරාධිපතිව වැඩ විසූ කංකුනාවේ නායක ස්වාමින් වහන්සේ විසින් එවකට රට මුහුණ දී තිබූ විනාශකාරී තත්ත්වය පිළිබඳව කම්පාවට පත්ව කුහුඹි ගුලක් දෙස බලමින් කියූ කවියක් අදටත් වලංගු වන්නේ ය. අනේ කුහුඹුවනේ තොපටත් රජෙක් ඉන්නේ මොකදෑ කරන්නේ - අපේ කරුමේ අපට වන්නේ රජෙක් ලැබුනෝතින් - කැවුම් කිරිබත් කන්නම් පෙරහැර කරන්නම් - සාධු නාදෙන් ගිගුම් දෙන්නම් යමෙක් මුස්ලිම් සහ දෙමළ ජනතාව නැවතත් සිංහලයාගේ "මල්ලිලා" නොහොත් "තම්බිලා" වනු දකින්නට කැමති වෙත්ද, ජාති ආගම් භේදයකින් තොරව හැමෝම කූඹින් මෙන් වැඩ කරන්නට පෙළ ගස්වනු ලබත්ද, එවැනි නායකයෙක් ලැඛෙනතෙක් අපට වෙන විසඳුමක් නැත. එදාට අපේ වැඩ පොළවල් සහ පන්සල්, පල්ලි, කෝවිල් අතර වෙනසක් නොවනු ඇත.
කැඩපත
14August 2017
blog_shape
ස‍ඳුන් ප්‍රියංකර විතානගේ විසිනි ලාංකේය කලා කෙතෙහි එක් අස්වැන්නක සපුරා හිමිකම ගුවන්විදුලි සංස්ථාවට අයත් ය. එවක සිටි පැණසර කලාකරුවන් ළමාපිටිය මතට ගෙනා සියලූ ම දෙනා පාහේ පසුකාලීනව ලංකාවේ නම රැන්දූ කලාකරුවන් බවට පත් වූ බවට උදාහරණ ඕනෑතරම් තිබේ. එක් උදාහරණයක් නම් කරුණාරත්න අමරසිංහ සූරීන් ය. හඬ නළුවෙහි පුරාවෘත්තයක් බඳු අමරසිංහයෝ හමුවූ යෙදුණු සංලාපයක් ඇසුරෙන් මෙම ලිපිය සකස් කැරුණි. කතා-බහකට වෙලාවක් ඉල්ලා සිටි වේලෙහි අමරසිංහ මහතා මට කීවේ ගුවන්විදුලියට පැමිණෙන ලෙස ය. මා එහි යනවිටත් අමරසිංහ මහතා සිටියේ සුනන්ද මහේන්ද්‍රයන් සමඟ ශබ්දාගාරයක වැඩසටහනක් පටිගත කරමිනි. ගුවන්විදුලියට සිදුව ඇති සන්තෑසිය කියන්නට මෙය අවස්ථාව නොවේ. නිශ්චිතව ම නොදනිතත් අමරසිංහ මහතාට වයස සැත්තෑවක් හෝ ඊට ආසන්න යැ යි සිතමි. එනමුදු ඔහුගේ කාය පෞරුෂය යොවුනෙකුට වඩා ඉහළින් ය. ගමන ඍජු ය. ඇඳුම පිළිවෙල ය. බැල්ම අකුටිල ය. නිදහස් චතුරස්‍රය පෙදෙසට ඇවිද යමින් ඔහුගේ ගැඹුරු හඬින් වශීකෘත වෙමි. අමරසිංහ මහතා ඉපිද ඇත්තේ කලූබෝවිල ගමේ ය. කොළ පැහැයක් සුදුර්ලභව දැන් තිබුණ ද එවක කලූබෝවිල රෑට රෑට නරි හූ හඬ දෙන පෙදෙසකි. මවගේ ගම ය. පියා කන්නිමහර ය. සම්මානිත සාහිත්‍යකාර කේ. ජයතිලක ද ඔහුට ඥාතිවර වෙයි. එවක පරම විඥානාර්ථ සමාගමට අයත් ව තිබුණු බුද්ධඝෝෂ විද්‍යාලය ඔහුගේ පළමු පාසලයි. ළඟ මිතුරා තවත් කලූබෝවිල වැසියෙක් වූ ලයනල් රංවල යි. බුද්ධඝෝෂයේ ලොකු ඉස්කෝල මහත්තයා වූයේ රූබන් පීරිස් මහතා ය. ඔහු එවක ජනප්‍රිය ලේඛකයෙකි. බොහෝ පොත් පත් ලියුවේ ය. එය කුඩා අමරසිංහ සිසුවාට මහත් ආස්වාදයක් ගෙනාවේ ය. පාසල් ඇරී ගෙදර ගිය කෙනෙහි මව ඔහුව කලූබෝවිල සුනන්දාරාමයට පිටත් කළා ය. ඒ පන්සල් පොත් කියවන්නට ය. වර්තමානයේ බටහිර ඉගැන්වුම්හි එන හඬ පාලනය තමන්ට ලැබුණේ පන්සල් පොත්වලින් බව අමරසිංහ මහතා පවසන්නේ "සකස්කඩෙහි" පාඨයක් රමණීය ලෙස හඬ උස්පහත් කර කියමිනි. උසස් අධ්‍යාපනය සඳහා නුගේගොඩ ශාන්ත ජෝන් විද්‍යාලයට ඇතුළුවන ඔහුට අපූරු මිතුරන් පිරිසක් හමුවෙයි. තිලකරත්න කුරුවිටබණ්ඩාර, අජන්තා රණසිංහ, සුනන්ද මහේන්ද්‍ර ආදී පසුව කලාවෙහි ප්‍රකට වූවන් පිරිසක් ද ඒ අතර සිටිති. ඒ අතර සිටි වෝල්ටර් කල්දේරා අමරසිංහ ජීවිතයේ වෙසෙස් වැදගත් කමක් ගන්නේ, ඔහු ගුවන්විදුලිය හා බැෙඳන්නේ සිය නිර්මාණයක් ළමා පිටියට කියවන්නට ගිය වෝල්ටර් සමඟ තනියට ගිය නිසාවෙනි එතැන් පටන් තිලක සුධර්මන් මහතා සමඟ ළමා පිටියේ බොහෝ කටයුතුවලට සම්බන්ධ වන්නට ඔහුට හැකියාව ලැඛෙන්නේ නිතැතිනි. 1957 දී ගුවන්විදුලි නාට්‍ය ශිල්පීන් ඉල්ලු කෙණෙහි ඔහු ද ඊට අයැදුම් කළේ ය. මුලින් ම හඬ පරීක්ෂණයකි. දේශපාලූවන්ගේ ලිපි ආදිය, ඥාති සංග්‍රහ ආදිය නැති ය. අතිශයින් ම වැදගත්වන හඬ අසමත් නම් ඔහුට සිදුවන්නේ බලාපොරොත්තු සිඳගන්නට ය. මේ හඬ පරීක්ෂණයෙන් අමරසිංහ තරුණයා ලෙහෙසියෙන් ම සමත් වූ අතර එතැන් පටන් ඔහු ගුවන්විදුලි නාට්‍ය ශිල්පියෙක් වූයේ ය. පසුව නාට්‍ය රචකයෙක් ද නිෂ්පාදකයෙක් ද බවට පත් වූ ඔහු පෞද්ගලික ගුවන්විදුලි නාලිකා ඇරඹි පසුව ඒවා වෙත ද සම්බන්ධ වූයේ ය. රූපවාහිනී නාලිකා ඇරඹි පසු ඒවායේ ද බොහෝ කටයුතු කළේ ය. එවක ඔහු ජනකාන්තයෙකු බවට පත් කරනු ලැබුවේ "ගජමුතු" හඬ නළුව විසිනි. එහි "මොරපාතොට අප්පො" වූයේ අප කතානායකයා ය. අමරසිංහයන් හා හෙළයේ මහගත්කරුවාණන් හා ඇසුරට පත්වන්නේ ද සරසවි විද්‍යාර්ථීයෙකු ව සිටි අවදියේ දී ම ය. සරසවියේ ප්‍රකාශනයකට ලිපියක් ලබා ගැනීමෙන් ඇරඹි සබඳතාව මිත්‍රත්වයක් දක්වා වර්ධනය වූයේ වික්‍රමසිංහයන්ගේ නාවල නිවසේ මධුපැන් සමඟ සාදකතාවන්ට නිතර ඇරයුම් ලැබුවේ ය. එතැන් පටන් වික්‍රමසිංහන්ගේ කෘතිවල සෝදුපත් බැලූවේ ද, සුචි පිළියෙල කරන ලද්දේ ද අමරසිංහ මහතා විසිනි. අද පුස් වෙඩි වැනි සාහිත්‍යකාරයන් අබියස වික්‍රමසිංහයන්ගේ අදීනත්වය ඔහු සිහිකරන්නේ ගර්වයෙනි. එවක තිබූ විශ්වවිද්‍යාල සතරෙන් ම සම්මාන ආචාර්ය උපාධි පිරිනැමුව ද ඒවා ලැබුණු සැණෙන් වික්‍රමසිංහන් කළේ තම නම ඉදිරියෙන් ආචාර්ය නාමය නොයොදන්නැයි පුවත්පත්වලට ලිපියක් දැනුම්දීම බව ඔහු සිහිපත් කරයි. මහගමසේකරයන් ගුවන්විදුලියට පා තබන්නේ අමරසිංහයන්ට පසුව ය. දෙදෙනාගේ මිත්‍රත්වය ඇරඹෙන්නේ සුනන්ද මහේන්ද්‍රයන් හරහා ය. සේකර ජනප්‍රිය වූයේ ගුවන්විදුලියෙන් බව අමරසිංහ මහතා කියන්නේ, අමරදේවයනුත් සේකරත් සුසංයෝගයෙන් බිහි වූ "මධුමති" වැඩසටහන ගැන පවසමිනි. සමහර දාක සවස්කාලයේ සුනන්දර මහේන්ද්‍ර - අමරසිංහ තරුණයෝ දෙදෙන රදාවානේ සේකරගේ නිවසට යති. කෙත්වතු සාර ගම්බිම මැදින් ඇවිද දෙපාවෙන් නාගෙන සේකරගේ මව පිසූ රසැති අහර බුදිමින් විවිධ දේ කතා කරති. නොනවතින දාමයක් ලෙස සේකර සිගරැට් දල්වයි. කතා-ලතා විවිධ ඉසවු ඔස්සේ දිවෙයි. එවන් එක් හැන්දෑවකය සේකරගේ නොපළ නවකතාව ඒ දෙදෙනාට සේකර විසින් ම කියැවූයේ. එක්තරා ප්‍රකට රුවැති නමුත් පතිනියක් කෙරෙහි සේකර බැඳි හාදය එහි විණැ යි අමරසේකරයෝ කියති. රැයක් පුරා කියවූ "ගඟට දැමූ ඔරු" නම් ඒ නවකතාව දිනෙක සේකර විසින් ම ගඟකට දමන්නට ඇත. ඇතැමෙක් සේකරගේ මරණය මධුපැන නිසාවෙනැ යි කියන අදහස ප්‍රලාපයකැ යි අමරසිංහ මහතා කියයි. සිංහල කලා සංස්කෘතිකාවකාශයෙහි යුගකාරක පුරුෂයන් බොහෝ දෙනෙක් සමඟ ඇසුරු කරන්නට තරම් කරුණාරත්න අමරසිංහ මහතා වාසනාවන්ත වීය. ඒ අතුරෙන් තවත් ප්‍රධානයෙකි, ශ්‍රී චන්ද්‍රරන්තන මානවසිංහයෝ. වෙසරද ලේඛකයෙක්, කවියෙක්, ගීත රචකයෙක් සහ අදීන මාධ්‍යවේදියෙක් සේ ම ව්‍යක්ත කථීකයෙක් ද වූ මානවසිංහයන් මිතුරෙකුට වඩා ගුරුහරුකම් ලබමින් ඇසුරු කළ අයෙක් බව ඔහු සිහි කරයි. ජනාකූල නොවූ එවක බොරලැස්ගමුවෙහි "වාපිමේඛලාව" නමින් දන්නා මානවසිංහ පායට යන අමරසිංහ තරුණයා සංස්කෘත උගැන්මට ද යොමු වූයේ මානවසිංහ ඇසුර නිසාවෙනි. නුගේගොඩ ශාන්ත ජෝන් විද්‍යාලයේ දී කරුණාරත්න අමරසිංහ ශිෂ්‍යයාට සිංහල උගැන්වූයේ මෙලක තවත් අතිවිශිෂ්ඨ සාහිත්‍ය යෝධයෙකු වූ කේ.ජී. කරුණාතිලක මහතා ය. ලංකාවේ සාහිත්‍යයට "බිම්ගෙයි සිරකරුවා" අතහැර ගමනක් යා හැකි ද? ඔහුගේ භාවිතය සිසුන්ගේ සිත්වල ලේඛනයේ බීජ පැළ කරන ලද්දේ ය. අමරසිංහ මහතා ද ලේඛනයට බටුයේ ය. ඔහුගේ පළමු පොත "ලිංගික විද්‍යාව" යි. එවක ලංකාවේ (දැනුදු එසේ ම ය) ලිංගික කරුණු ගැන තිබුණේ බරපතළ මිත්‍යා මත ය. කුඩා දරුවන් අත පවා මිත්‍යා මතැති අශ්ලීල ප්‍රකාශනයන් ය. මේ තත්වයට පිළිමල් ලෙස ඔහු ලිංගිකත්වයෙහි විද්‍යාව සමාජගත කරන්නට කෘතියක් ලිවීය. ඉන් නොනැවත විවිධ පරිවර්තන කෘති ද ඔහු අතින් එළිදැක්විණි. කරුණාරත්න අමරසිංහ මහතා අවුරුදු ගණනින් වයස්ගත වුවත් නිර්මාණ කායෙන් ද චින්තන කායෙන් නව යෞවන වියෙහි ය. එපමණක් නොව ඔහුගේ බාහිර පෙනුම පවා අතිප්‍රසන්න ය. කතාබහේ අවසානයට ඇදී යද්දී වත්මන් කලාවෙහි තතු විත්ති ආදියත් පෙරකල අතීත විත්ති ආදියත් කඳුහෙල් මැදින් ගලන ගංගාවක් පරිද්දෙන් ඇදී යයි. එමොහොත අකුරු බවට පෙරළන්නට අසීරු ය. ඔහුගේ දැක්ම තියුණු ය. අදීන ය. ලංකාව සෙක්ස් සොයා ගූගල් පළමු තැන කප් ගසා තිබීමටත් හේතුව ගණිකා වෘත්තිය නීතිගත කරන්නට එදා ආචාර්ය ඒ.පී. ද සොයිසාත් පිටකෝට්ටේ සෝමානන්ද හිමිත් කළ මනෝඥ යෝජනාව ඉවත දැමීම බව කියන්නට තරම් ඍජු ය. නූතන ලේබල් බෞද්ධයන් විෂයෙහි ඔහුගේ බැල්ම සෝපහාසී ය. ඊනියා දේවතා ඇදහිල්ල ගැන ඔහු පවසන කඨෝර වදන් සවන් වැකුණහොත් විචාර බුද්ධියකින් තොරව දෙවියන් අදහන්නෙකුට උණ ගැනෙනු ඇත. කොයි හැටි වෙතත් මේ පැණසරයාණන් අනාගතය වෙතත් අනාගත පරම්පරාව වෙතත් හෙළන්නේ කුටිල බැල්මක් නොව සුභවාදී බැල්මකි. ඔහු පවසන්නේ, නව ඥානධාරාවක් විහිදුවන චරිතයක් බවට පත්වන්නෙමැ යි අදිටනක් නව පරපුරට තිබිය යුතු බවකි. අනෙක් අතට ඒ වෙත මාවත වැටී ඇත්තේ නූතනත්වය සමඟ සම්ප්‍රදාය යෙහෙන් ගලපා ගැනීමෙන් බව ඔහු අවධාරණය කරයි. පැය දෙකකට ආසන්න සංවාද-සංලාපයකින් පසුව අප අසුන් ගෙන සිටි නිදහස් චතුරස්‍ර සීමාවෙන් නැගී සිටියෙමු. ගුවන්විදුලි සංස්ථාව අසලින් බසයකට නැගගන්නෙමැ යි කී කරුණාරත්න අමරසිංහයෝ අපෙන් සමුගත්තේ දිවාආහාර ආරාධානව ද කාරුණිකව ප්‍රතික්ෂේප කරමිනි. දිවමන් ව සිටින ඥාන කෝෂ්ඨාගාර වැනි මේ මිනිසුන්ගෙන් ලක් පොළොව ඵලප්‍රයෝජන නොගැනීම ගැන සිතමින් දෝ අහස සිටියේ ද කලූ සලූ පොරවාගෙන ය. ඔහුට චිර ජීවනය ඉත සිතින් පතමින් එතැනින් සමුගෙන ආවෙමු.
05July 2017
blog_shape

කැත්ලීන් ජයවර්ධන විසිනි

ප්‍රසිද්ධිය හා කීර්තිය යනු එකක් නොවේ. මේ දෙක අතර සැලකිය යුතු පරතරයක් පවතී. ප්‍රසිද්ධිය ලබා ගත හැකි ය. කීර්තිය උපයා ගත යුතු ය. ප්‍රසිද්ධියට හා කීර්තියට කදිම උදාහරණයක් වශයෙන්, කෘතහස්ත ලේඛක කේ. ජයතිලකයන් විසින් වරක් පෙන්වා දෙනු ලැබුණේ මහත්මා ගාන්ධිතුමන් සහ නතුරාඕ ගොඩ්සේ ය. අවිහිංසාවේ හා සත්‍යයේ මාහැඟි ආදර්ශය මුළු ලෝකයෙන් ම කීර්තිය උපයා ගත් පුද්ගලයා මහත්මා ගාන්ධි ය. මේ මහා අවිහිංසාවාදියා ඝාතනය කරමින් එක් රැයකින් ලෝකප්‍රසිද්ධියට පත් වූයේ නතුරාඕ ගොඩ්සේ ය. ප්‍රසිද්ධිය ලබා ගැනීම එතරම් දුෂ්කර නැත. ජාත්‍යන්තර මංකොල්ලකරුවෝ, මිනීමරුවෝ ද ප්‍රසිද්ධියට පත් වෙති. බැංකු කොල්ලකන්නේ ද බුද්ධිය මෙහෙයවා ය. ඒ අනුව සිතන විට බුද්ධිය භයානක දැයි ප්‍රශ්නයක් ද උපදී. ගැඹුරින් විමසා බලන විට පෙනීයන්නේ යහගුණය මුසු නො වූ කල බුද්ධිය ද වල්වදින බව ය. සැබැවින් ම නම් ලෝකය ජයගන්නේ ලෝකය හඳුනාගන්නන් හෙවත් අවබෝධයේ මිනිසුන් ය. අවබෝධය උගන්වන පාඨමාලා ලොව කොතැනක හෝ නොවේ. අනෙක් අතට අවබෝධය ලැබූ මිනිසුන් සැම විට ම ප්‍රසිද්ධියට පත්වන්නේ ද නැත. සාමාන්‍ය මිනිස්සු නම් ප්‍රසිද්ධියට ගිජු වෙති. ප්‍රසිද්ධිය හඹා යති. එවැනි හඹායෑම් නොකරන්නේ අවබෝධයේ මිනිසා ය. මේ ටීකාව ලියන්නට සිතුණේ මෑතකදී ජීවිතය හැරගිය එක් අපූරු මිනිසකු සම්බන්ධයෙන් අපට සිතෙන දේ ගැන යමක් කීමට ය. ඔහු නමින් රවී ජයවර්ධන ය. රවී ශ්‍රී ලංකාවේ ප්‍රථම විධායක ජනාධිපතිවරයාගේ පුත්‍රයා ය. එහෙත් ලොව සුපතළ ජනාධිපති ජේ.ආර්. ජයවර්ධනට, රවී නම් වූ පුතකු සිටි බව දැන සිටින්නන් ශ්‍රී ලංකාව තුළ සිටින්නේ ද සුළුතරයකි. ජයවර්ධන ජනාධිපතිවරයා බොහෝ අවස්ථාවන්හිදී දැඩි ලෙස විවේචනයට ලක් වුණ ද ඔහුගේ පවුලේ සාමාජිකයන් පිළිබඳ උපහාසය දනවන කාටූනයක් හෝ එකල පුවත්පතක පළ වූයේ දැයි අපට මතක නැත. ජනාධිපතිවරයා වෙනුවෙන් ප්‍රශස්ති ගැයීමට මෙන් ම ඔහුගේ දොස් නිදොස් කිරීම සඳහා ද කවර කාලයකදී හෝ ඔහුගේ පවුලේ සාමාජිකයන් ඉදිරිපත් නොවූ බව නම් අපට මතක තිබේ. සැමියාගේ කිරුළෙන් බැබළෙන්නට එලීනා ජයවර්ධන මැතිනියට අවශ්‍යතාවක් නොවූ අයුරින් ම පියාගේ බලපරාක්‍රමය දඩමීමා කරගනිමින් මාධ්‍යයට මූණ පොවන්නට, පොරක් වන්නට රවී ජයවර්ධනට වුවමනාවක් තිබුණේ ද නැත. ඒ ඔවුන්ගේ ජීවිත අරමුණු ලංකාවේ වෙනත් බොහෝ දේශපාලනඥයන්ගේ පවුල් සාමාජිකයන් තුළ වූ ඉලක්කවලට වඩා වෙනස් වූ නිසා ය. එය එසේ වූයේ කෙසේ දැයි ගැඹුරින් සිතාබලන්නකුට ඔවුනගේ "පදනම" හෙවත් පවුල් පසුබිම කෙරෙහි ද එක්තරා අවධානයක් යොමු කිරීමට සිදු වනු ඇතැයි සිතෙයි. අප දන්නා පරිදි ඔවුහු දුකින් උපන්නෝ නොවෙති. දුකින් උපන්නකුට - නිර්ප්‍රභූනට උතුම් පුරුෂාර්ථ අහිමි වන්නේ ය යන සාහසික ප්‍රකාශය සඳහා අවකාශයක් විවර කිරීම මෙහි අරමුණ නොවේ. "ජයග්‍රහණය" හෙවත් "විමුක්තිය" ද විවිධ පුද්ගලයන් නිර්වචනය කරන්නේ විවිධාකාරයට ය. ඇතැමුන් ආධ්‍යාත්මික ධනය එකතු කර ගැනීමෙන් විමුක්තිය සාක්ෂාත් වනු ඇතැයි සිතන අතර තවත් සමහරු භෞතික උපභෝග-පරිභෝග භාණ්ඩ අත්පත් කරගැනීම ම මිනිසාගේ විශිෂ්ට ජයග්‍රහණය යැයි සිතති. භගවාන් ශ්‍රී රාජ්නිෂ් (ඕෂෝ) නම් වූ ඉන්දීය චින්තකයාට අනුව මිනිසකුට ආධ්‍යාත්ම විමුක්තිය සාක්ෂාත් කළ හැකිවන්නේ ජීවිතය අත්විඳි පසුව ය. පසිඳුරන් පිනවූ ඉක්බිතිව ය. මේ පිනවීම්වල කවර නම් අර්ථයක් දැයි මිනිසාට සාක්ෂාත්වන්නේ ඉන්ද්‍රිය ගෝචර අත්දැකීම් ලැබීමෙන් පසුව යැයි ඔහු කියයි. මීට පෙන්වා දිය හැකි හොඳ ම උදාහරණය භාරතයේ සිද්ධාර්ථ කුමරුන් ය. රවී ජයවර්ධන ඉතා දක්ෂ වෙඩික්කරුවකු වූ බව ප්‍රකට ය. අප දන්නා තරමින් වෙඩික්කරුවා යනු සත්ත්ව ඝාතකයා ය. එහෙත් ඉලක්කයට වෙඩි තැබීම සඳහා පන්නරයක් ලැඛෙන්නේ විවිධාකාරයට ය. කිසියම් පුවරුවක ඇඳ ඇති නිශ්චිත කිසිවක් ඉලක්ක කොට, සුළෙඟේ බාධකය ද ජයගනිමින් එල්ලයට උණ්ඩ මුදාහැරීමෙන් ද දක්ෂ වෙඩික්කරුවකු විය හැකි ය. ඒ සඳහා සත්ත්ව ඝාතන කළ යුතුම නොවේ. රවී ජයවර්ධනගේ උණ්ඩය මුදාහැරුණේ කොයි කොයි ඉසවුවලට දැයි අප හරියට ම කියන්නට දන්නේ නැත. එහෙත් ජීවිතයේ අවසාන භාගයේදී ඔහු තායිලන්තයේ වනඅරණක භාවනානුයෝගිව පසු වූ බව නම් දැනගන්නට ලැඛෙයි. ඔහුගේ ජීවිතය අනුක්‍රමයෙන් බඳුන් වූයේ කවරාකාරයේ පරිවර්තනයකට දැයි හරියට ම කියන්නට ද අපට බැරි ය. එහෙත් ඔහු ආරණ්‍යගත වන්නට ඇත්තේ භෞතික වස්තූන් අතහැර දැමීමෙන් අනතුරුව බව නම් නිසැක ය. ලංකාවේ අලි-ඇතුන් ඝාතනය කරමින්, විනෝදය සඳහා දඩයමේ යෙදුණු බොහෝ සුදු ජාතිකයන් පසුකලෙක වනසංරක්ෂකයන් බවට පත් වූ බව ද අප අසා තිබේ. මනුෂ්‍යත්වයට පොදු වූ බොහෝ වැරදීම්වලට මිනිසා නැඹුරුවීම ස්වභාවික ය. එහෙත් වරද හා වරදේ ආදීනව හඳුනාගනිමින් ස්වයං විවේචනයේ යෙදෙන්නෝ විරළයහ. එවැනි අවබෝධයේ මිනිසුන් බිහිවන්නේ කලාතුරකිනි. ලියෝ තොල්ස්තෝයි නම් වූ රුසියානු මහා ලේඛකයා ද පසුකලෙකදී තමා ඝාතනයේ මෙන් ම ස්ත්‍රී දූෂණයේ ද යෙදුණු බව නොපැකිළ ප්‍රකාශ කරන්නට තරම් සවිමත් වූවේ ය. මිනිසකුට කළ හැකි ඉතාම දුෂ්කර කාර්යය වන්නේ මේ ය. අංගුලිමාල වැන්නන්ට රහත්භාවය දක්වා යන මාවතේ ආලෝක ඉසවු දැක බලා ගත හැකි වූයේ ද ස්වයං විවේචනයේ යෙදුණු නිසා ය. හෙළයේ මහාගත්කතුවර මාර්ටින් වික්‍රමසිංහයන් "විචාර ලිපි" නම් වූ කෘතිය තුළින් වරක් එවැනි ස්වයං විවේචනයක යෙදුණේ මෙසේ ය. මා මේ විචාර ලිපි ලීවේ, මෙයින් හඳුන්වන පොත් කියවීමෙන් මා අපූරු රසයක් විඳ, අපූරු උගැන්මක් ලැබූ නිසාම නොවේ. මෙකල පෙර අපර දෙදිගම බොහෝ ග්‍රන්ථ කාරයන්, ග්‍රන්ථ සම්පාදනයට ඵලවන දෙකාරණයෙන් එකක් වන මහමෙර තරම් උස් වූ බොරු මානය මා තුළ ද ඇති බැවිනි. (විචාර ලිපි - පූර්විකාව) තමා දැකීම සඳහා, තමා අනුනට විවර කිරීම සඳහා මිනිසකුට කොතරම් නම් ජවයක්, ශක්තියක් තිබිය යුතු ද? රවී ජයවර්ධනගේ දිවිසැරිය දෙස බලන අපට මේ තත්ත්වය ද හඳුනාගත හැකි වන බව ය, අපගේ අදහස වන්නේ.
05July 2017
blog_shape
ශ්‍රීනාත් මද්දුමගේ විසිනි මහගම සේකරයන් ඔහුගේ "නොමියමි" කවි පොතේ තැනක මෙහෙම ලියනවා. "ඔබට ලෝකය තනා දී මිස මට නික්ම යා නොහැක." එහෙත් ඔහු පැතූ ලොව හෙලිපෙහෙලි වන්නට පෙර ඔහු ලෝකය අතැර යනවා. එහෙත් තමාගේ යුතුකම දෙවියන් ඉදිරියේ දුන් පොරොන්දුවක් මෙන් සලකා සාහිත්‍යකරනයේ යෙදුන ඩී. බී. කුරුප්පු එහෙම නැත්තං බොල්ඩ්වින් කුරුප්පු අපගේ මහා සාහිත්‍යධරයා, නොරට අපිට සෙවන දුන් මහා වනස්පතිය දැන් අප අතැර ගොස් අවසන්. මරණය කම්පිත ශ්ලෝකයක්. ඒ ශ්ලෝකය ගයන්නට විරිතක් තවම අපි හඳුනගෙන නැහැ. එය විප්‍රවාසයක්. විප්‍රවාසය ගැන කතා කරන විට ලාංකේය විප්‍රවාස ඉතිහාසයේ පළමු පෙලේ ඩී. බී. ඉන්නවා. ඒ සාහිත්‍යකරුවෙක් හැටියට නෙමෙයි. ප්‍රේමය පිළිබඳ ශ්‍රී ලංකාවේ ලියැවුන නවකතාව සැඟවුන ප්‍රධාන චරිතයක් ලෙස. සමහර විට ඔබ දන්නවා ඇති. කරුණාසේන ජයලත්ගේ "ගොලූ හදවත" නවකතාවට වස්තූ බීජ වූ තුන් ඈදුනු ප්‍රේම කතාවෙ කරුණාසේන ජයලත්ට විරහා වේදනාවේ රස පෙන්වා දෙමින් දම්මිගේ ආදරය දිනාගත් ඒ පුද්ගලයා ඩී. බී. කුරුප්පු. දැසමන් මලක් වගේ ප්‍රියංකරද සුකෝමලද නොවුනත්, සුරගනාවියක් වගේ අහිංසක නොවුනත් රටක් වටින ඩී. බී. කුරුප්පු සාහිත්‍යවේදියා ඕස්ට්‍රේලියාවේ ලාංකිකයින්ට නම් සැබැවින්ම රටක වටිනාකමක් තිබුණා. එතුමයි - සිංහල භාෂාවයි - ඕස්ට්‍රේලියාවයි අතර මනා සහසම්බන්ධයක් තියෙනවා. ඩී. බී. කුරුප්පු මහත්මයව අපි දැක්කේ කැන්ගරු දේශයට ලාංකේය සියපතක්, කගපතක් හැටියටයි. එතුමා ඇත්තටම ඕස්ට්‍රේලියාවේ සිංහල සාහිත්‍ය රසවතුන්ට පියෙක් වුනා. එතුමගේ සාහිත්‍ය කෘති සාහිත්‍ය රසාස්වාදයට ලොල් සිංහලයන්ට බීකන් පහනක් වුනා. එතුමගේ සාහිත්‍ය කියැවීම ගැන එක එක මතවාද තියෙන්න පුළුවන්.. ඒත් මේ අපූරුවට, මේ තරම් වේගයෙන් ලියපු සාහිත්‍යකරුවෙක් උපන් තේකට මම නම් දැකල නෑ... එතුමා වියපත්ව එහෙත් ග්‍රීක ඇරීනාවක රඟන නර කෙස් ඇඳුන වියපත් තෙස්පියානුවෙක් වාගේ ජවපූර්ණව තම යුග මෙහෙවර ඉෂ්ඨ කළා. එතුමාගේ තරුණ ජවය අපි දැක්කේ ලියා පළකල පොත් කන්දරාව දැක්කම. එකම ජවයෙන්, එකම වේගයෙන් ලියාගෙන ලියාගෙන ගියා. ඒක අපිට නම් හිතාගන්නත් බෑ. ඒක ගැන මට නම් තිබුණෙ ඊරිසියාවක් නෙමෙයි විශ්මයක්. අප අතරින් සඳහටම නික්ම ගිය ඩී. බී. කුරුප්පු සාහිත්‍යධරයා මියයන වන විට අගනා සාරගර්භ වගේම සිත්බඳනා විවිධාකාරයේ කෘති 50 කට අධික සංඛ්‍යාවක් රචනා කරපු, පරිවර්තනය කරපු මහා යුග පුරුෂයෙක්. එතුමා සිය ප්‍රථම පරිවර්තන කාර්යය "මැංචෝසන් චාරිකා" නමින් එළිදක්වන්නේ 1963 තරම් ඈත කාලයේදීයි. එතුමා එදා මෙදා ලියූ පොත් කන්දරාව ඇතුලෙ විවිධ රස තියෙනවා. මේ අතර ළමා පොත් තියෙනවා. හෝචිම්ංගේ සිරගෙයි දිනපොත වාගේ චරිත කතාන්දර පොත් තියෙනවා. පිළිකා සුවය ඔබ අතමය කියල වෛද්‍ය සුවතාවයන් ගැන ලියැවුන පොත් තියෙනවා. ගෝවින්දන් කන්දසාමි දඹරාවේ ජාතින් අතර සහෝදරත්වය ගැන කියැවෙන කෙටිකතා පොතක්, සිංගරු සිරිතෙන් මෙහෙ ඉන්න අපි ගැනත් කතා කළා. අරබත් දරුවො පොත මහා විශාල ග්‍රන්ථයක්. වසර පනහකට අධික කාලයක් නොකඩවා පොත් ලියූ ඩි.බී. කුරුප්පු හැම වෙලාවෙම අලූත් අද්දැකීමක් තමන්ගේ පාඨකයින්ට ලබාදෙන්න මහන්සි වූ සාහිත්‍යකාරයෙක්. ලියාගෙන යනකොට මේකෙන් අහවලාට රිදෙන්න පුළුවන්. අහවලා මාත් එක්ක අමනාප වෙන්න පුළුවන් කියන පූර්ව නිගමනය නැති බව පේනවා. විවෘතව නොපැකිලව සිය අදහස් ප්‍රකාශ කරනවා. ඒකට එතුමාට හොඳ පරිචයක් තියෙනවා. ලාංකීය සමාජයේ මෙන්ම ගෝලීය සමාජ සංස්කෘතීන් ගැන විඥාණය සුක්ෂම ලෙස උකහා ගන්නට ඩී.බී. මහා දක්ෂයෙක්. අනිත් අයගේ ඇස් වලට අහුවෙන්නෙ නැති සමාජයේ සියුම් තැන්, හිස් තැන්, ඇදපළුදු තැන් ඉතාමත් ගැඹුරු විචාර බුද්ධියකින් අනුදැන ග්‍රන්ථාරූඪ කිරීමෙන් ඔහු දැනුවත් කළේ බසෙහි පසුගාමි අපේ පරම්පරාවයි. ඩී. බී ට සතුරන්ද මිතුරන්ද නැති වග හැඟෙන්නේ දුර්වල තැනක් දුටු සැනින් කිසිදු අනුකම්පාවකින් තොරව ඊට දැඩි ප්‍රහාරයක් එල්ල කිරීමෙන් නොනැවතී එය මතු පරපුරට පරිශීලනය පිණිස ග්‍රන්ථාරඪ කරන ආකාරයෙන්. ඔහු බඳු අදීන ලේඛකයෝ නැවත අප අතර බිහිවෙන එකක් නැහැ කියලයි මම හිතන්නෙ. එතුමගේ ඇසුරෙන් අපි ජීවිතය පිළිබඳ හෘදයාංගම විවරණ දැන හඳුන ගත්තා. ජීවිතයේ හිස් තැන් හුඟාක් මේ තීර්ථ චාරිකාවෙදි අපට මුණගැහෙනවා. ඒ හිස් තැන් පුරව ගන්න අපි කවුරු හරි සුධිමතෙක් එනකම් බලාගෙන ඉන්නවා. සැබැවින්ම එතුමා අපිට ජීවිතය කියල දුන්නා. ඩී. බී. කුරුප්පු සාහිත්‍යධරයාණන්ටම ආවේනික කියවීමක් තිබුනා. ඒ වගේම උණුසුම් ලෙන්ගතුකමක් තිබුනා. ඒත් ඒ ලෙන්ගතුකම අදින් පස්සෙ අපිට හමුවෙන්නෙ නැහැ. ඒ හිස්තැන අපිට ජීවිත කාලය පුරාම දැනේවි. සාහිත්‍ය කේෂ්ත්‍රය තමයි රටක ජීවය වෙන්නෙ. විවිධ විෂයන් තිබුණත් පුද්ගලයා කෙරෙහි නිර්මාණශිලි කුසලතාවයන්ට ගොදුරු කරන්නෙ සාහිත්‍ය භූමිකාවයි. එම නිම්නයාර්ථ භූමිකාවෙන් ඔප් නැංවීම මතයි සහෘද ගත සිත සනසා බුද්ධිය පුබුදින්නේ. ඩී. බී. කුරුප්පු ස්වකීය ග්‍රන්ථ සමුච්චයෙන් කලෙත් මේ කාර්ය භාරයයි. මෙතුමා අප අතර නැතත් එතුමා ප්‍රකට කළ සමාජ විඥානය අදටත් වඩා හෙටට වඩා හොඳ පහනක් වේවි. මා හිතදාර මිත්‍ර බොල්ඩිව්න් කුරුප්පු සහෘදයාණෙනි. ඔබට සුබ ගමන්.
05July 2017
blog_shape
ලයනල් රාජපක‍ෂ විසිනි "අන්න අරය අදත් පාන්දරම දුවනවා." බිරිඳගේ හඬින් අවදිව වැටට උඩින් කරපොවා බැලූ මා දුටුවේ කොන්ක්‍රීට් අඩිපාරේ එක පිම්මට දුවන අපේ කළුකුමාය. අපේ කියා කීවේ මේ කළුකුමා වසන්නේ අල්ලපු වනරොදේ නිසා අසල්වැසියෙකු වශයෙන් සම්බන්ධයක් ඇති හෙයිනි. මෙයා මේ පාන්දරම දුවන්නේ අසල්වැසි ගෙදරක කුරුල්ලන්ට කෑම දෙන තැන වැටී ඇති පංගුව බලා ගෙනය. ප්‍රශ්නයකට තියෙන්නේ ඵ් ගෙදර පාරෙන් අනික් පැත්තේ වීමය. අඩිපාරේ දුවන කළුකුමා ඵ් වේගයෙන්ම මහපාර පනිනවා මා කීප වතාවක්ම බලා සිටියේ සියුම් දුකකිනි. පාර පනින්ට ගොස් වාහනවලට යටවී මස් වැදලි බවට පත්ව ඇති සතුන් අපට හුරුපුරුදු දසුන්ය. ඵ්ත් කළුකුමකු පාරේ වැටී සිටිනු මා තවම දැක නැත. ඵ් අපේ කළුකුමා වනු දකින්නට මට නම් බැරිය. ඒත් කුරුල්ලන්ට කෑම දෙන අපේ අසල්වැසියා නවත්වන්නට මට බලයක්ද නැත. එහි ආදිනව කියා දේශන පවත්වන්නට ගොස් අසල්වැසියා සමග ඇයි හොඳයි කම් නැති කරගන්නටද මට සිත් නොදේ. මා දන්නා තරමින් නම් ලංකාවේ කැලෑවල කළුකුමුන් නැතිය. කුකුලන් මෙන් ලංකාවේ ගෙවල්වල ඇතිකරන කළුකුමා අනිවාර්යෙන්ම පිටින් ගෙනා කෙනෙකු විය යුතුය. කාටවත් එසවිය නොහැකි ගලක් කර පිටින් ගෙන ගොස් අයින් කිරීමට පොරොන්දු වී හීනටි හාලේ බත් සමග කළුකුන් මස්, මාස ගණනක් රසවිඳ අන්තිමේ "හා දැන් ඔය ගල උස්සලා මගේ කර පිටින් තියාපල්ලා" කියා ඇඟ බේරා ගත් අන්දරේගේ කථාව අප කාටත් මතකය. අන්දරේ සිටියේ කොයි රජුගේ කාලයේද කියාවත්, ඵ් කාලයේ ලංකාවේ කළුකුමුන් සිටියාද කියාවත් මම නම් නොදනිමි. කථාව ගෙතූ රචකයාට කළුකුමා පුරුදු සතෙක් වන්නට ඇත. හරියට අපේ ජාතක කථා වැනිය. ඒවායෙත් ඉන්නේම අපට පුරුදු ලංකාවේ හෝ ඉංදියාවේ සතුන්ය. අඩුම තරමේ අසල්වැසි චීනයේ අහිංසක පැන්ඩාවෙක් ගැනවත් සඳහනක් නැත. කුවීන්ස්ලන්තයේ උතුරු කොනේ සිට නිව් සව්ත් වේල්සයේ සිඩ්නි නුවර ආසන්නය දක්වා ගොඩබිම් තීරය නිජබිම් කරගත් අපේ කළුකුමා "මෙගාපෙඩ්" කුරුලූ පවුලට අයත්ය. මෙගාපෙඩ් යනු සවිමත් පාද ඇති යන අරුත දේ. කුරුලූ පවුලට අයත් වුවද අපේ කළුකුමාට පියාඹන්නට ඇති හැකියාව සීමිතය. ලගින්නට ගහකට පියෑඹීමත්, ඉඳහිට ගහකින් ගහකට පියෑඹීමත් හැරුනු කොට වැඩිපුරම කාලය ගතකරන්නේ පොලව මතුපිට කොලරොඩු පහුරු ගාමිනි. කොලරොඩු අතර සිටින කුඩා සතුන් හා වැටී ඇති පලතුරු වැනි දේ මොහුගේ ආහාරය. නාගරීකරණයට හසුවුවද තාමත් වඳ නොවී පැවතීමට තරම් කළුකුමා වාසනාවන්ත වී ඇත. ඔසියන්ගේ මෙන් යම් දැඩි ගතියක් කළුකුමාටද සහජයෙන්ම උරුම වී ඇතැයි මට සිතේ. නාගරීකරණය නිසා ස්වභාවික වාසස්ථාන අහිමි වන අවස්ථාවල ගෙවතු ඇවිස්සීමට කළුකුමා පෙලඹීම ස්වභාවිකය. පහුරු ගෑමට අති දක‍ෂ නිසා ඉඩක් ලැබුනොත් මල් පාත්තිවල ඇති වසුන් එහෙට මෙහට විසුරුවා ගෙවත්ත කණපිට පෙරලීමට මොහුට පුලූවන. ඇතැම් විට එසේ කළ අවස්ථාවකදී කවුරු හෝ තරහට අල්ලා කකුල් දෙකම එකට බැඳි කළුකුමකු වරක් අප ගෙවත්තට ආවා මට මතකය. ගෝනි රේස් කාරයෙකුමෙන් අමාරුවෙන් පැන පැන යන එA කළුකුමා දුටු පුංචි දුවගේ හිත දුකින් පෑරෙනු මට දැනුනි. දුව යෝජනා කළේ "ආර් එස් පී සී ඒ" එකට කථා කිරීමටය. ලංකාවේ කුකුලන් සමග පොරබ‍ඳා පුරුදු මා "ආර් එස් පී සී ඒ" එකට කථා කරනු පසෙක තබා, කළුකුමාව ගෙවත්තේ කොනකට කොටු කරගෙන අල්ලා, කකුල්වල බැඳි ලනු කපා දමා මුඳා හැරියේ "දුවගේ වීරයා" කළ හපන්කම් වලට තවත් එකක් එකතු කරමිනි. අපේ කළුකුමාව ඉංග්‍රීසියෙන් "වයිල්ඩ් ටර්කි" යනුවෙන්ද හැඳින්වෙයි. එය සිංහලට පෙරලන්නට ගියහොත් කළුකුමාට මුලින් "වල්" කියා යෙදීමට සිදුවේ. ඒත් එයට මගේ සිත ඉඩ නොදේ. කවුරු හෝ මෙය වැරදි විදියට තේරුම් ගතහොත් එය අපේ කළුකුමාට කරන අසාධාරණයකි. මොණර පවුලේ මෙන් කළුකුමාගේ ගැහැණු හා පිරිමි සතුන්ද පහසුවෙන් වෙන්කර හඳුනාගත හැක. පිරිමි සතා හැඩකාරය. සමාන අයිතිවාසිකම් කඩකරන කියමනක් වුවද එය ඇත්තය. පිරිමි සතාගේ ඛෙල්ලේ එල්ලෙන කහපාට තැල්ල, ගැහැනු සතුන් හා එක්වන කාලවල වඩාත් විශාල හා වර්ණවත් වන බව කියවේ. බිත්තර දැමීම සඳහා කළුකුමා සාදන්නේ අමුතුම කූඩුවකි. කූඩුවක් කීවද එය නිකම්ම නිකම් කොල රොඩු ගොඩකි. කූඩුව සෑදීම පිරිමි කළුකුමාගේ වගකීමකි. කළුකුමකු කූඩුවක් සාදනු මුල්වරට දුටු මට සිතුණේ මූ නම් පිස්සු පොරක් කියාය. පොඩි බිත්තර කීපයක් තැන්පත් කිරීමට තැනූ ඒ කූඩුව මීටර් හතරක් පහක් පමණ දිග, මීටරයකටත් වඩා උස අපිලිවෙලට ගැසූ රොඩු ගොඩකි. කුරුලූ බිත්තර නොව තිබුනා නම් ඩයිනෝසර් බිත්තර වුව රැක්ක වීමට මේ කූඩුව ප්‍රමාණවත්ය. ගැහැණු සතා කූඩුව පරීක‍ෂා කර බලා හිතට ඇල්ලූවොත් පමණක් බිත්තර දමන්නීය. හොඳ කූඩුවක ඇතුළත උණුසුම සෙන්ට්‍රිරේඩ් අංශක 33 ක් පමණ විය යුතුය. එය බිත්තර මේරිමට අවශ්‍ය උණුසුමයි. උණුසුම ගොඩ නැගෙන්නේ දිරන කොළ රොඩු වලිනි. පරිසරයේ උෂ්ණත්වය අනුව, කූඩුවේ උණුසුම අවශ්‍ය පමණට රැක ගන්නට පිරිමි සතා කොල රොඩු අයින් කිරීම හෝ ගොඩ ගැසීම කරයි. බිත්තර මේරිමට සති හතක් පමණ ගතවේ. ගැහැණු සතෙකු සාමාන්‍යයෙන් බිත්තර 20 ක් පමණ දමයි. මේවායින් ඉතිරි වන්නේත්, එලියට එන පැටවුන්ගෙන් බේරේන්නේත් සුලූ කොටසකි. බිත්තර මෙන්ම පැටව්ද වැඩි ගණනක් ගොයින්ට හා සර්පයින්ට ගොදුරු වේ. ඇවිදින මංතීරු සුද්ධ පවිත්‍ර කරන සිටි කවුන්සිලයේ කම්කරුවන්ට වැඩ මැවීම කළුකුමාගේ දින චරියාවේ අංගයකි. වෙහෙස වී මංතීරුවල කොල රොඩු ඉවත් කර දී යන කවුන්සිල් සේවකයින් වැඩ නිම කරනවාත් සමග කළුකුමා වැඩට බසී. උදේ කුණු පොදක්වත් නැතිව සුද්ධ කර තිබූ මංතීරු සවස් වන විට අයින් කළ කුණුවලින්ම නැවත වැසිලාය. ඒ අපේ කළුකුමාගේ වැඩය. ඕස්ට්‍රේලියාවේ, විශේෂයෙන් කුවීන්ස්ලන්තයේ හා නිව් සව්ත් වේල්සයේ වැසියන් බොහෝ දෙනෙකුගේ වාසනාවට හෝ අවාසනාවට කළුකුමා අසල් වැසියෙකි. එමෙන්ම කළුකුමා රක‍ෂිත පක‍ෂියෙකි. කළුකුමාට හිංසා කිරීම නීතියෙන් තහනම්ය. කැලෑ එලි පෙහෙලි කර නිවාස තැනීම නිසා තම නිජබිම් අහිමිව යන මේ අහිංසකයා සමග සහජීවනයෙන් ජීවත් වීම අප කාගෙත් වගකීමකි.
shape
Copyright © Kadapatha 2018. All rights reserved. Solution by saamArt