seprator

යථා ස්වභා

seprator
09May 2018
blog_shape
සටහන - සාමන්ත තැන්නගේ විසිනි (by Saamantha Tennege) සිතුවම - චන්ද්‍රා මල්ලවආරච්චි (Illustration by Chandra Mallawarachchi) චන්ද්‍රා මල්ලවආරච්චි ප්‍රවීණ චිත්‍ර ශිල්පිනියකි. එමෙන්ම ශ්‍රී ලාංකේය සිනමා වංශකථාවේ මුදුනෙහි තැබිය හැකි, 1987 වසරේ හොඳම නිෂ්පාදනයට හිමි OCIC සහ සරසවි සම්මාන ද්විත්වයම ලත් "විරාගය" චිත්‍රපටයේ නිෂ්පාදිකාව ය. 2007 වසරේ "ගැහැණිය" නම් වූ ඇයගේ පළමු කාව්‍ය සංග්‍රහයට පසු ඇයතින් නිමැවෙන දෙවන කාව්‍ය සංග්‍රහය "යථා ස්වභා" ය. "ගැහැණිය" කාව්‍ය සංග්‍රහය තුළින් කාන්තා දිවියේ විවිධ අවස්ථා කෙරෙහි සිය කවි ඇස යොමු කළ චන්ද්‍රා මෙවර "යථා ස්වභා" තුළින් මනුෂ්‍ය චරිතය සහ මනුෂ්‍ය සමාජය විවිධ මංපෙත් ඔස්සේ විනිවිද දකින්නට ගන්නා උත්සාහය ප්‍රසංශනීය ය. ලෙනාඩෝ ඩාවින්චිට අනුව කවිය යනු වචනවලින් කළ සිත්තමකි. සිතුවමක් යනු වර්ණ වලින් කළ කවියකි. එය එසේනම් චන්ද්‍රා වචනයෙන් අඳින සිත්තම් සමූහය තුළ තවරන්නට වෙර දරන පැහැයන් හඳුනා ගැනීමට ගන්නා උත්සහාය සැබවින්ම සොඳුරු අත්දැකීමකි. එමෙන්ම එහි තැන තැන ඇති ඇය විසින් කළ සිතුවම් තුළින් සිත්තමෙන් කවි ලිවීමට ඇය තුළැති පරිචයද මනාව පසක් කරවන්නේ ය. ඇය මෙසේ පවසන්නී ය. "එකම කවිය විවිධාකාරයෙන් ලිවිය හැකි නමුත්, සරලව ලිවීමට හැම විටම මම උත්සාහ කරමි. වියළි, කර්කශ, අපුල යෙදුම් උවමනාවෙන්ම බැහැර කළෙමි. මගේ තෙළිතුඩටත්, පෑන් තුඩටත් තද නීති රීති පැනවීමෙන් වැළකී සිටීමට බොහෝවිට වැර දරමි. වචන පෙළ ගස්වා මගේ කවියට වියළුණු රසයක් පමණක් ලබාදෙන්නට මා අකමැති ය." මෙහි පද්‍ය රචනාවෝ 92 ක් අන්තර්ගතය. ඇය එම කව් තුළින් විවිධ සිදුවීම් සහ අවස්ථාවන් යටින් දිවෙන යථා ස්වභාවයන් ඉස්මතු කරන්නී, පාඨකයාට අලූතින් යමක් සිතන්නට අවකාශයක් සලසමිනි. ඇයගේ "වියතා" කවිය, සැබෑ වියතෙකුගේ "යථා ස්වභාවය" ගැන කියවෙන්නකි. අදද සැබෑ වියතුන් ඇසූ කන් නෑසූව සිටිනු අපි දකිමු. හුදු වාණිජ පරමාර්ථයන් පෙරදැරි කරගත් ජනප්‍රියත්වයට ලංසු තබන්නන් අතර අදත් එදත් වියත්හු නිහඬය හ. සකලවිධ මාධ්‍ය සංදර්ශන පවත්වන්නේත්, පත්තර පිටු පුරා පිරෙන්නේත් වියතුන්ගෙන් රූප හෝ කතා ගැන නොව අවියත් බොළඳ නළු නිළියන්ගේ ඕපාදූප ගැනය. ඔවුහු නොදන්නා දෙයක් නැත. එමෙන්ම දන්නා දෙයක්ද නැත. එකල්හි වියතුන් වුව කුමක් කරන්න ද ? අවියත් දන මැද වියතුන්ද අවියත් අය සේමැ වෙසෙන්නේ ඔවුන්ගේ ඇති වියත් බව නිසාමය. චන්ද්‍රා එබඳු වියතෙකු හඳුනාගත් අයුරු සියුම්ව විමසා බලන්න. නුඹ ජීවත්ව සිටි සඳ නුඹෙන් පල නොගත් බොහෝ දෙන නෙත් විවර කර බැලූවේ නුඹ මිය ගිය පසුය එහෙත් ඔවුන්ව නොපෙනෙන්නට නුඹ ද ඇස් වසා සිටි බව පෙනෙන්නේ දැන් ය වියතුන් සූජීවත්ව සිටිනා කළ බොහෝ දෙනා ඔවුන් දෙස නොබලති. දුටුවද නොදැක්කා සේ සිටිති. තොරොම්බල් කාරයෝ කවර වෙස් ගෙන පැමිණියද බොහෝ දෙනා ඔවුහු පසුපස ගොස් උන්ට ආවඩති. අවාසනාවකට මෙන් වියතුන් මියගිය පසු ඔවුන්ගේ මිනිය කරට ගන්නේද පෙරකී තොරොම්බොල් කාරයෝ ය. ජීවත්ව සිටින කල වියතුන්ට මුහුණ දීමට තරම් පෞරුෂයක් නැත්තෝ වියතාගේ මළකෙඳන් හැකි නම් මල්මාලයක් සදා තම තමන්ගේ ගෙලවල්ද සරසවාගන්නවා ඇත. මෙකී තොරොම්බල් කරුවන්ව නොපෙනෙන්නට වියතා ජීවත්ව සිටියදී ඇස් වසා සිටි බව කිවිඳිය දකින්නී ය. ඒ තුළින් ඇය අපට පසක් කරදෙන්නේ වියතාගේ සැබෑ වියත් බවම නොවේ ද ? සිතුවම නම් කාව්‍ය තුළින්ද මෙකී විපරිත සමාජයේ මුග්ධ ස්වභාවය ඇය අපට කියන්නී ය. එය අපට එක්තරා සෙන් කතාවක් මතකයට ගෙන එන්නේ නිරාසයෙනි. කැන්වසය මැද තිතක් තබා බලා හිඳී මහ සිත්තර මාධ්‍යකරුවන් වට වී පත්තර - සඟරා පුරවන්නට යමක් සොයයි විදුලි කෙටීමකි ඡායාවට නැගීමට දහසක් - අර්ථ කථන කොළ පිරෙන්නට සිනාසෙයි බඩ අල්ලාගෙන ඒ මහා සිත්තර සෙන් කතාවට අනුව රජු එක්තරා දක්ෂ චිත්‍ර ඇදුරෙකුට ඔහු විසින් කළ හොඳම චිත්‍රය ඇඳ දෙන මෙන් ඉල්ලීමක් කරයි. ශිල්පියා දින ගනනාවක් ගෙන සුවිශාල කැන්වසයක් මැද ඉතා කුඩා තිතක් තබා එම සිතුවම රජුට පිරිනමයි. ඉන්පසු විචාරකයෝ විවිධ පැති වලින් එකී තිත නිර්වචනය කරති. ඒ සිතුවම ගැන පත්තර පිටු ගණන්ද ලියැවෙයි. බොහෝ දෙනා කතා කරන්නට පටන් ගනිති. දිනක් රජුට මෙකී චිත්‍රශිල්පියාගෙන්ම තිත ගැන විචාරන්නට සිතෙයි. එදා චිත්‍ර ශිල්පියා රජුට මෙසේ කියයි. "ඇත්තටම රජතුමනි, ඒ තිත නෙමෙයි සිතුවම." "එහෙනං..." රජු පුදුමයෙන් අසයි. "ඇයි රජතුමනි, ඔබ කවුරුත් කැන්වසයේ තිත වටා පිහිටි හිස් අවකාශය දැක්කේ නැද්ද ?" චන්ද්‍රා එම කතාවෙන් කිසියම් පෝෂණයක් ලබන්නට ඇත. එහෙත් ඇය ඉන් වෙනත් අරුතක් නංවන්නී ය. නම ගිය අයෙකු නම් ඔහු තිතක් තිබුවද, ඉරක් ඇන්දද එයා කෝටි ගණනට විකිණෙන කලා කෘතියකි. නම නැති එකා මොනලිසා පරදන සිතුවමක් ඇන්දද එය තිත කි. චන්ද්‍රාගේ "යථා ස්වභා" සැබවින්ම යථා ස්වභා මතු කරවන කැඩපතක් වන්නේ එසේ ය. ඉහත අප උපුටා දැක් වූ කවි වලින් ඇය නූතන කිවිඳියක යැයි කියියම් කෙනෙකුට හැඟීගියහොත් එය නිවැරදි නොවන බව කිව යුතුය. චන්ද්‍රා මල්ලවආරච්චි නම් කිවිඳියගේ බොහෝ කව් තුළින් ගමේ ගොඩේ කරක් ගසා, ලද අත්දැකීම් විමසා බලා උගත් තැනැත්තියක අපට දිස්වන්නේ ය. "පෙර දවසක මා" කවිය විමසා බලන්න. කකුලෙන් ඉරි ඇඳපු - වැලිමළුවෙ පන්සලේ පනුවෙක් වෙලා ඉපදේවි යැයි මතු භවේ නිකමට නොවේ අම්මා මාව බය කළේ ඉරි ඇන්දේ සාදු - මම නොදැනුම් කමට අදින් මනත - සංවර වී සිරුවට පණුවෙක් වෙලා - ඉපදෙන්නට බය කමට මම ඇවිදින්නෙ සාදු - ඇවිදින ලෙසට සුදු මල් පිච්ච එකිනෙක දා කෙණ්ඩියට පැන් පුරවා බෝධිය නාවන ලෙසට මව කීවත් - එය නොඇසුණ ගානකට සුදු මල් එකින් එක පැලඳුවෙමි හිසට අම්මා පිටුපසින් විත් ටොක්කක් ඇනලා කන කැරකුවා හොඳට මා කළ වරද තේරුණ නෑ - පොඩි කමට කඳුළුවලින් කෙණ්ඩිය පිරුණා හොඳට පන්සල මායිම ළඟ ඇති පිනි ජම්බු ගසේ රෝස පාට මල් හැළිලා බෝකොළ ගොඩ මතේ වට පිට බලලා සාදුල අවට එහෙම නැතේ වැටෙන් පැනල මල් අහුලා දාගත්තා කටේ තෙල් දමමින් පානෙන් පානට බෝධිය වටේ හැම එකෙන්ම තෙල් ටික ටික ගා ගත්තා හිසේ තේරුණෙ නෑ පුංචි කමට මට තිබුණට විසේ පුංචි ගඟකි - කණ දෙපැත්තෙ නැවතුණ උරහිසේ "යථා ස්වභා" හි අප සිත් වසඟ කළ තැන් බොහෝ ය. වරු ගණන් කතා කළ හැකි තැන්ද බොහෝ ය. බොහෝ කාලයක් මුළුල්ලේ සිඩ්නි නුවර වාසය කරමින් සිත්තමින් සහ කවියෙන් අප සිත් නිහඬව සනහන චන්ද්‍රාවන්ට අපි අපේ හෘද්‍යාංගම සුභාෂිංශන එක් කරමු. අවසාන වශයෙන් ඇයගේම වදන් කිහිපයකින් අපි මෙම සටහන නිමා කරමු. "හාස්‍ය විරහව හෝ සංතුෂ්ටිය වේවා, ජීවිතයේ දී අප ලබන්නා වූ අත්දැකීම් විශ්ලේෂණය කිරීමක් හෝ වේවා, කවිය හදවතට කතා කළ යුතුය. නැතිනම් පණිවුඩයක් දිය යුතුය යන්න මගේ හැඟීමයි."
07May 2018
blog_shape
ශ්‍රීනාත් මද්දුමගේ විසිනි (by Srinath Maddumage) කවුරු හරි මගෙන් ඇහුවොත් කෘතියක් පරිවර්තනය කරන එක පහසුද අපහසුද කියල, මම ගත් කටටම කියනවා පහසුයි කියලා. ටිකක් හිතල ආයෙ කියනවා අපහසුයි කියලා. ඒක නිකං ඔව්ත් නැහැ, නැහැත් නැහැ වගේ හතරබීරි කතාවක් වගේ පෙනුනට ඒක තමයි ඇත්ත. මොකද පරිවර්තනයක් සඳහා පාදක වෙන කෘතියක් තියෙන නිසා පරිකල්පනීය කාර්යයෙන් මනස මිදෙන නිසා පහසුයි කියල කියන්න හිතෙනවා. ඒත් පරිවර්තනය අදාල භාෂිත සමාජයට හෘදයාංගම ලෙස සිදුකළ හැකිද යන අරුතෙන් ගත්විට පරිවර්තන කිරීම අපහසුයි කියල හිතෙනවා. මොකද තමුන් රචනා කරන කෘතියක් නම්, තමුන්ට නිදහසේ හිතූ හිතූ අත යන්න පුළුවන්. කාගෙන්වත් බාධාවක් නැහැ ඒකට. ඒත් පරිවර්තනයට සීමා බන්ධන තියෙනවා. එහිදී වැදගත් වන්නේ මුල් කෘතියට අගතියක් නොවන ආකාරයට පරිවර්තනය කිරීම. පාඨකයාට ගැලපෙන ලෙසත් ඔවුන්ට රුචිවන ලෙසත් පරිවර්තනය කිරීම. මේ සියලූ කාර්යයන් ජයගත හැක්කේ හොඳ භාෂා ඥානයක්, පරිවර්තන පරිචයක් ඇති කෙනෙකුටම විතරයි. මේ සියලූ අටුවා ටීකා ටිප්පනි කියන්න සිද්ධ වුනේ ස්වර්ණකාන්ති රාජපක‍ෂ "මොනර දැල" ලෙස පරිවර්තනය කර තිබූ සමර්සෙට් මෝම්ගේ 'The Painted Veil' පොත එක හුස්මට කියෙව්වට පස්සෙයි. ස්වර්ණකාන්ති ඕස්ට්‍රේලියාවේ ජීවත්වෙන බවත්, ඇය සාහිත්‍යකාරණාවේ යෙදෙන බවත්, හොඳ පරිවර්තිකාවක් බවත් මම දන්නා දෙයක්. ඒත් මේ තරම්ම සාර්ථක පරිවර්තිකාවක් කියල දැනගත්තේ මොනර දැල කියෙව්වට පස්සෙයි. ඒක මූනිච්චාවට කියන මුසාවාදයක් නෙමෙයි. මම ලංකාවේ දැකපු සාර්ථකම පරිවර්තිකාව විභූතිභූෂණ බන්ධෝපාද්‍යා වැනි ඛෙංගාල ලේඛකයන්ගේ පොත් වංග බසින් සිංහලට පරිවර්තනය කළ චින්තා ලක්ෂ්මි සිංහාරච්චියි. මොනර දැල කියවා සසල වූ හදැතිව ස්වර්ණාකාන්ති රාජපක්ෂවත් චින්තා ලක්ෂිමි අසලින්ම තියන්න මම කැමතියි. 1971 තරුණ කැරැල්ලටත් 1989 තරුණ කැරැල්ලටත් තුඩු දුන්න දාර්ශනික මතවාදි ගාමක බලය රුසියන් සාහිත්‍ය බව රහසක් නොවෙයි. අද පරම්පරාව කොහොම වුනත් අපේ පරම්පරාව පුදුම විධියට රුසියන් සාහිත්‍යයට ඇලූම් කළේ, දැදිගම වී රුද්‍රිගු, ඩබ්. ඒ. අබේසිංහ, සිරිල් සී පෙරේරා වගේ කෘතහස්ත පරිවර්තකයන්ගේ අතිරමණීය පරිවර්තන නිසා. හැබැයි හැමදාම අපිට යුරෝපීය සාහිත්‍ය ඒ තරම් බද්ධවුනේ නැහැ. ඒකට හේතුව හැටියට මම දකින්නේ යුරෝපීය කෘති පරිවර්තනේදි දක්නට ලැබුණ නීරස බව වෙන්න ඇති. පශ්චාත් නූතනවාදයට පෙර ලේඛකයෙක් වන සමර්සෙට් මෝම් වැනි ප්‍රංශ ජාතකයෙකුගේ කෘතියක් ස්වර්ණකාන්ති තම වසඟයට ගෙන ඉන් අපද වසඟයට පත් කර ගැනීමට තරම් සාර්ථක වන්නේ මෙම කෘතියේ තියෙන හද බැඳ ගන්නා ගුණය නිසයි. එහිදි ඇය ඉතාම දක්ෂ ලෙස බස හසුරවනවා. කෘතිය මදක් කියවාගෙන යන විට එය ප්‍රංශ ජාතිකයෙක් විසින් 1925 යුගය පසුබිම් කරගෙන දෙවන ලෝක යුද්ධයෙන් පසු හොංකොං වෙත යන යුවළක් වටා නොරට බසකින් ලියවුනක් නොව සිංහලෙන්ම රචිත කෘතියක් වැනි හැඟීමක් ඇති වෙයි. ඊට හේතු යුක්ත වන්නේ ස්වර්ණකාන්තිගේ භාෂා විලාෂයයි. මෙම මුල් කෘතියත් සමර්සෙට් මෝම්ගේ ඉතාම ඉහළ ආදායම් වාර්තා තැබූ කෘති තුන අතරින් එකක්. මීට පදනම් වී ඇත්තේ පළමුවන ලෝක යුද්ධයෙන් පසු යුගයේ 1925 දී ඈත පෙරදිග බ්‍රිතාන්‍ය යටත් විජිත පාලනය පසුබිම් කරගෙන රචනා වූවක්. මෙම කෘතියෙ යුරෝපයේ අලෙවි වුනේ මිලියන ගණනින්. බ්‍රිතාන්‍යයේ සිට හොංකොං වෙත පැමිණෙන වෛද්‍යවරයෙකුගේ තරුණ බිරිඳ වන කීටි ෆෙන් පෙම් පිපාසිත රූමතියකි. ඇගේ අසම්මත ප්‍රේමය ගැන දැනගන්නා සැමියා ඇය කොළරා වසංගතය පැතිරුණු හොංකොංහී ඈත සුළු නගරයක් වෙත ඇය කැඳවාගෙන යනවා. කම්පනීය ගැටලූ කිහිපයකට මුහුණ දෙන ඇය හෘද සාක්ෂිය විසින් නිද්‍රාවෙන් අවදි කරනු ලබනවා. මේ අපූරු කතාන්දරය ඔස්සේ ලේඛකයා විසින් ඉස්මතු කරනු ලබන්නේ ජීවිතයේදි මුහුකුරා යාමට, වෙනස්වීමට සහ කමා කිරීමට මිනිසා සතු සක්‍යතාවයයි. මෙහි වැදගත්කම වන්නේ කිටි ෆෙන්ගේ හෘද අභ්‍යන්තරයේ අරගල කරන ආත්ම හීලනය, ගැහුණුකම ඉදිරියේ අසරණ වන ඇගේ ප්‍රේමාග්නියේ ශෝකය ස්වර්ණකාන්ති මනා ලෙස සිංහල බසින් වර නැගීමයි. කිටි ෆෙන් ශාන්තිය සොයා යන අනියම් ප්‍රේමය, අවසානයේ ඇයම දවන අග්නි දාහයක් වෙනවා. එය ඉතා සියුම් හැඟීම් කැටියක්. එහි කම්පනය අපටත් දැනෙන ආකාරයට ස්වර්ණකාන්ති සිය පරිවර්තනය වියමන් කරනවා. කතාවේ අන්තර්ගතයට හානියක් නොවන පරිද්දෙන් ඉතා සියුම් සැතකින් කරන විච්ෙජ්දනයක් ලෙස ඇය කිටිගේ, වෝල්ටර්ගේ සහ ඇගේ පෙම්වතා චාලි ටවුන්සෙන්ඩ්ගේ සබඳතාවයන් අපූරුවට අපට හැෙඟන ලෙස බද්ධ කරන්නේ එහි ඇති මානව දයාව සපිරි රසය නුසුන්වන ආකාරයටයි. කිටිගේ අනියම් ඇසුර වෝල්ටර් දැනගත් බව ඇයට දැනෙන අවස්්ථාවේ ඉතා කම්පිත කුතුහලයෙන් පිරි තිඛෙනවා. "ඔහු එළිපත මත නිමේෂයක් රැඳි සිටියදි දෙදෙනාගේ දෑස් හමුවිය. ඇගේ හදමඬල කිඳා බැස්සාය. හදිසියේම පැතිර ගිය සීතල නිසා සියොළඟ ගැහුණාය. එය වනාහි කිසිවෙකු තම මිනීවලට උඩින් ගමන් කරනා මොහොතක් වැනි හැඟීමක් ය. ඔහුගේ අචංචල අපාරගම්‍ය දෑස අද්භූත ලෙසින් විශාල වී තිබිණි. ඔහු සියල්ල දන්නේය." (මොනර දැල - පිටුව 52) ස්වර්ණකාන්තිගේ බසෙහි පොහොසත් බව සහ බුහුටිබව පාඨකයා එක සීරුවට ඊට ඇද බැඳ තබා ගැනීමට සමත් වෙයි. ඒ යටින් සැඟවුන මරණයේ භීතියක්ද ඇත. කොළරාව සුළු නගරය ආක්‍රමණය කර ඇත. කිටී පැමිණ ඇත්තේ මරණයේ අඩවියකටය. වෝල්ටර් ෆෙන් සැබවින්ම සැලසුම් සහගත ලෙස ඇය මෙහි රැගෙන පැමිණියාදැයි පාඨකයා කුහුලට පත්වෙයි. එහෙත් එවැනි ප්‍රකම්පන අතරින් ස්වර්ණකාන්ති සිය පරිවර්තන බස හසුරුවන අපූරුව. "කන්‍යාරාමයේ මෙහෙවර කිටිගේ ආත්මයට නැවුම් ප්‍රබෝධයක් ගෙන දුන්නාය. සෑම උදෑසනකම හිරු පායා මඳ වේලාවකින් එහි ගිය ඇය පෙරළා බැංකුවට පැමිණියේ අවර බලා යන හිරු පටු නදීතලාව මෙන්ම එය අසබඩ සුන්බුන් වසා දමමින් රන් රැස් වතුර පිටාර යවන මොහොතේදීය." (මොනර දැල - පිටුව 153) හොංකොං අප දේශය නොවන බව සැබෑය. එහෙත් ස්වර්ණකාන්තිගේ භාෂා භාවිතය නිසා එය අපේ වෙයි. පරිසරය පිළිබඳ මුල් කෘතියේ ඇති සඳහන් සියල්ල ඉතා මැනවින් සිංහලට නගා ඇත. අතින් අත නෑර එක හුස්මට එය කියවා පසෙකලීමට සිත උත්සුක කරවයි. එසේම අනියම් ප්‍රේම සම්බන්Aධතා පිළිබඳ කතාවල දකින්නට ලැඛෙන ජුගුප්සාව ද මෙහි නැත. එහි ඇත්තේ ප්‍රේමය සහ අනුරාගය පිළිබඳ ඛේදවාචකයයි. ගැහැණියගේ කම්පිත දිවියක වේද කාව්‍යයයි. කමලා දාස් කියන ලෙස ගැහැණිය අනුරාගයේ නොව ප්‍රේමයේ බැඳෙයි - පිරිමින් ප්‍රේමයේ නොව අනුරාගයේ බැඳෙයි යන කියමන සත්‍ය වෙයි. පිරිමින්ගේ කෙසේ වුනත් ගැහැණියකගේ අනුරාගය ප්‍රේමයේද මුසුවකි. ඇය ඉන් කිසියම් ශාන්තියක් අපේක්ෂා කරයි. කිටී ෆෙන්ද එවැන්නියකි. සිය ප්‍රේමයේ බීකන් පහන ලෙස විශ්වාස කළ මිනිසා කපටි වංචනියෙක් ලෙස ඇය පසුව වටහා ගනියි. එතැන් සිට ඇය ඇගෙ කුටුම්භ ජීවිතයෙන් විතැන් නොවීමට වගබලා ගන්නා අතර, ස්වාමියාගේ සීතල ඉදිකටු තුඩු මත ආත්මය වැතිරවයි. ස්වර්ණකාන්ති රාජපක‍ෂ ඒ වෘතාන්තය පාඨක අපද බන්ධනය කරමින් මනා ලෙස වියමන් කරයි. නිසැකවම මා මෙන් ඔබද ස්වර්ණකාන්ති වියමන් කළ මොනර දැල කෘතිය අතට ගතහොත් ඊට නතුවනු නිසැකය. මතුපිටින් පෙනෙන ස්ථරයට අනුව කුටුම්භ ජීවිතය ගැන කියැවෙන ජනප්‍රිය කතිකාව තුළ විරාගික සැමියෙකුගේ සමඟ දිවි ගෙවන අනුරාගික ගැහැණියගේ හෘද අභ්‍යන්තරයේ මනෝ විශ්ලේෂණාත්මක අර්ථකතනයක් මින් මනා ලෙස ප්‍රඛට වෙයි. ලෝකයා නොදකින පවුල් කටුම්භයේ අභ්‍යන්තර අනේකවිධ ගැටුම් සහ ගැහැට මනාව විදාරණය වෙයි. ඒ අනුව "මොනර දැල" හුදු පදානුගත පරිවර්තනයකට වඩා සංදර්භීය අවකාශය මනා ලෙස ග්‍රහණය කරගත් ලියවිල්ලකි. එබැවින් එය යටත් විජිත සමයේ නොගැලපෙන විවාහ සමඟ ඈත පෙරදිගට පැමිණි නිළධාරින්ගේ ජීවිත වඩා සංවේදනාත්මකව චිත්‍රනය කරනු ලබයි. මෙහි ඇත්තේ සුදු හෝ කළු චරිත නොව අළු චරිතය. චාලි ටවුනසෙන්ඩ් පවා මා දකින්නේ අළු චරිතයක් මෙනි. මේ අයුරින් නිළධාරියෙකුගේ සහ ඔහුගේ බිරිඳගේ කුටුම්භ ජීවිතයේ අතු, ඉති රිකිළි පමණක් නොව ශාක පත්‍ර පවා මේ කෘතිය තුළ ඉතා සියුම්ව සාකච්ඡාවට ලක් කරයි.
14August 2017
blog_shape
වේරම්බ වායු කළඹන සිතේ දළ රළ පෙළ නුඹ පාමුලට එවූ සැන මල් කිණිති පවා මදකුදු නොසැලෙන මන්ද මාරැතය සිඹින පකුල් කල මහිම අදටත් විශ්මයකි තාම නෙත් අහිමි බිලාල පැටව් මෙන් පහන් එළිය නොදැක යුගඳුරක සිටියද අමා මග කෙලවර මිණි කිරණ මේයැයි ලියන පරිකල්පිත හෙළි කල මගෙහි මුලට පිළි නොපා සැලෙන නුඹෙ දෙපා පන්ති සටනට මැදිව තියුනු කටු පිරැන ලේ පැල්ලම් දිග වෘක රැළ හඹා රෑ දවල්‍ නොතකා දිවයන අපූරැව කැත්තෙන් ඉසිඹු නොලද දැවුනු වියැලුනු තුඩගින් මලෙක මෙලෙක නොදැන පෙති මෙතරම් සිනිඳු වග ලියන්නට තරම් සුන්දර වුවද උතුරන බඳුන් සුරා හෙලන බැලුම් නුරා තැන තැන කෙලි දුරා සැල ලැග රැය පුරා දවසරින කලට බත් හුලක් යදින පියා කොයි සොයන මා සහ දරැ පවුල යදින ඒ යාදිනි අමතක වූයෙද නමට කවිදාස වුව "කාව්‍යදාසයන්" "දාසයෝ" නොකියා වියත් සබා මැද ඇමතූ රසිකාවට කනේ වංගු ඇදයන්ට ලෝදිය වගුල නුඹම සුදු පිරැවට වැහුන මජර නයුවන්ට නොවියත් සබාවල නිබ්බුත පද දෙසා දෙපා සිපගත් අයුරැ තවම මතකයි ත්‍රිපිටකයෙ මුල ධම්ම පද ලියන බයිබලයෙන් ගීතාංජලී අහුලන යුද බිම මැද පරෙයියන් මවන නුඹට... පලමු ගල ගැසූ යුදාස් වන්නෙම්ද මල් මාලා දැමූ දෙව්දුව වම්ද තවමත් සොයමි මම
  • ශිරාන් විජේරත්න
බොල් වී පෑහීම බත ලැඛෙන්නේ සහලිනි. සහල් ලැඛෙන්නේ වී වලිනි. වී බොල් වූ කල අපට ලැඛෙන සහලක් නැත. එකල්හි බතක් ගැන කවර කතා ද ? ශිරාන් විජේරත්න ලියූ බොල් වී නැමති කවෙහි වචන අතර බොල් වී මතු නොව සුනු සහලක්ද අපට සොයා ගත නොහැකි ය. ඒ නිසාම කවියා මෙකව තුළින් මතුකරන බොල් වී යනු කවරැක්දැයි සොයා, දැක, දැන හඳුනා ගැනීම අපටම බාර කර ඇති සේ ය. කවියෙකු ලෝකය දකින්නේ හුදී ජනයා දකිනවාට වඩා වෙනත් මානයකිනි. එහෙත් ඔහු ලෝකය දකින්නට යොමු කළ ආලෝක කදම්බය කොතෙක් දුරකට තමාව දකින්නට ප්‍රයෝජනයට ගන්නේ ද ? ඒ බව තේරුම් ගැනීමට ඒ කවියාට සවන්දීමෙන් හෝ ඇසුරුකිරීමෙන් පමණක්ම කළ නොහැක්කකි. එය කළ හැක්කේ ඒ අය සමඟ කාලයක් එකට ජීවත්වීමෙනි. "බොල් වී" නම් කාව්‍යයෙන් ශිරාන් කතාකරන්නේ කවියෙකු ගැනය. කවියා ගැන කතා කරන්නට ඔහු තෝරා ගන්නේ තවත් කවියෙකු හෝ විචාරකයෙකු නොව කවියාගේම බිරිඳගේ ද්‍රෘෂ්ඨිය ය. සාමාන්‍යයෙන් කෙනෙකුට සමීප කෙනෙක් ඔහු ගැන කතාකරන්නේ එක්කෝ අතිශ්‍යයෝක්තියෙනි. නැතිනම් ද්වේෂයෙනි. මෙකී අන්ත දෙක අත් නෑර ඇය තම කිවි සැමියා ගැන කියන්නේද, එවදන් එකහෙලාම බැහැර කිරීමට අපි දෙවරක් නොසිතමු. ඒ නිසාම අපි බොල් වී පාහින්නට වෙර දරන්නේ එකී අන්තයන්ට නොවැටෙන්නට වෙර දරන අතරම ය. වේරම්බ වායු කළඹන සිතේ දළ රළ පෙළ නුඹ පාමුලට එවූ සැන මල් කිණිති පවා මදකුදු නොසැලෙන මන්ද මාරැතය සිඹින පකුල් කල මහිම අදටත් විශ්මයකි බෞද්ධ සාහිත්‍යයේ සහ රාමායණයේ අපට හමුවන වේරම්බ වායුව යනු ඉතා වේගයෙන් හමායන වායුධාරාවක් ලෙස සරලව ගත හැකිය. එකී පැරණි සාහිත්‍යයේ දැක්වෙන වේරම්බ වාතයට හසු වන සියල්ලම විනාශ වන්නේ ය. එබඳු වේරම්බ වාතය පවා කළඹන්නට සිතේ දළ රළ පෙළ සමත් බව කවියා අපට මෙහිදී කියයි. සිතිවිලි වලට වේරම්බ වාතය මෙන් ගස් ගල් පෙරළිය නොහැකි බව ඇත්ත ය. එහෙත් සිතිවිලි කෙතරම් අපව තළා පෙළා වනසා දමන්නේද යන කාරණය නොදන්නේ කවුරුන් ද ? එබඳු චන්ඩ මාරුතයක් හෝ සුළි කුණාටුවක් කවියාටග් පාමුළට එවූ සැනින් මල් කිණිත්තක් පවා නොසැලෙන තරමට එය සුමට කරන්නට මේ කවියාට හැකිය. ඒ පමණක්ද ? මන්ද මාරුතය පවා කුඩා රැලි (පකුල්) කරන්නට ඔහුට ඇති ශක්තිය විශ්මයජනකය. කලා ලෝකයේ මෙබඳු විස්කම් කළ හැක්කේ ඉන්ද්‍රජාලිකයන්ට නොව කවියන්ටම පමණකි. ශිරාන් විෙජ්රන්න තම කතානායක කවියාගේ ප්‍රවීණත්වය සහ දක්ෂතාවය ගැන ලබා දෙන එකී ප්‍රවේශය ඉතා අපූරුය. තාම නෙත් අහිමි බිලාල පැටව් මෙන් පහන් එළිය නොදැක යුගඳුරක සිටියද අමා මග කෙලවර මිණි කිරණ මේයැයි ලියන පරිකල්පිත හෙළි කල මගෙහි මුලට පිළි නොපා සැලෙන නුඹෙ දෙපා පූස් පැටවුන්ට ඉපදී සතියක් යන තුරු ඇස් නොපෙනෙන්නේ ය. ඒ ආකාරයෙන්ම සත්‍ය නොදැක්කාවූ දනට අවසාන විමුක්තිය නම් මැණික් කිරණ පෙන්නා දෙන්නට මෙකී කතානායක කවියාට හැකියාව ඇති බව කවියා අපට කියයි. එහෙත් ඒ මග ගමන් කරන්නට තරම් නිර්භීතකමක් ඔහුට නැති බව "සැලෙන නුඹෙ දෙපා" යන පදයෙන් කියවේ. බණ වදාරන සුදනෝ, තමන් වදාරන බණ හදාරන්නටත්, හැදෑරූ බණ පිළිපදින්ටත් බොහෝ විට මැළි වෙති. නැත්නම් බය වෙති. එකී සත්‍ය කවියා මෙ'කවෙහි ඉතා ප්‍රවේසමෙන් බහා ඇත්තේ දක්ස වඩුවෙක් පිටතට නොපෙනෙන්නට කළ වැද්දුමක් සේම නොවේ ද ? පන්ති සටනට මැදිව තියුනු කටු පිරැන ලේ පැල්ලම් දිග වෘක රැළ හඹා රෑ දවල්‍ නොතකා දිවයන අපූරැව තතු එසේ වුවද, පංති සටන් හරහා අහිංසකයින් මරා දැමූ බලවත් වෘකයන්ට එරෙහිව රැයක් දහවලක් නොමැතිව ඔහු අරගල කරයි. මේ නම් අද අපට බොහෝ විට විශේෂයෙන් තරුණ දේශපාලන නායකත්වය තුළිනුත්, ජනතාවාදී යැයි සැලකුම් ලබන කලාකරුවන් තුළිනුත් පෙනෙන්නට ඇති සත්‍යයකි. ඉසියුම් ජීවන සත්‍යයන් අභිමුව මුනිවත රකින ඔවුහු මතුපිටින් පෙනෙන අරගල නොහොත් සමාජ අසාධාරණයන්ට එරෙහිව නැගී සිටින්නන් අතර පෙරටුගාමීහු වෙති. හොඳින් විමසා බැලු කල්හි අරගල කිරීම අපහසු නැත. එනමුත්, තමා සම්මතෙහි පිහිටා කටයුතු කිරීම පහසු නැත. කැත්තෙන් ඉසිඹු නොලද දැවුනු වියැලුනු තුඩගින් මලෙක මෙලෙක නොදැන පෙති මෙතරම් සිනිඳු වග ලියන්නට තරම් සුන්දර වුවද අතට ගත් කැත්ත පවා පැත්තකින් තබන්නට ඔහුට වේලාවක් නැතිවන්නට ඇත. ඉන් ධ්වනිත වන්නේ ඔහුට කලක් ජීවිතය ගැට ගසාගන්නට මහත් පරිශ්‍රමයක් දරන්නට වූ වග නොවේ ද ? අද කවියෙක් වුවද එකල ඔහු මහත් ජීවිත අරගලයක යෙදී සිටින්නට ඇති බව ඉන් තවදුරටත් ගම්‍ය වන්නේ ය. එපණක්ද නොව ඔහු මල් පෙති වල සිනිඳු බව ලියා ඇත්තේ අඩුතරමින් මලක පහසවත් ලබා නොවේ. එයින් ධ්වනිත වන්නේ ප්‍රේමය ගැන මනහරව ලියූ ඔහුට සැබවින්ම ප්‍රේමය අත්විදින්නට නොලැබූ බව නොවේ ද ? උතුරන බඳුන් සුරා හෙලන බැලුම් නුරා තැන තැන කෙලි දුරා සැල ලැග රැය පුරා දවසරින කලට බත් හුලක් යදින පියා කොයි සොයන මා සහ දරැ පවුල යදින ඒ යාදිනි අමතක වූයෙද එකල තතු එසේ මුත් අද තතු වෙනස් ය. අද ඔහු තැන තැන නුරාව, සුරාව මෙන්ම දුරාවද සොයා ඇදෙන්නේ ය. අසාධාරණයට එරෙහිව කැරළි ගසන ඔහු තම සුතනඹුවන් බඩ සායෙන් පෙළෙන බව නොදන්නේ කෙසේද යන කාරණය කවියාගේ බිරිඳ අසන්නී ය. එවදන් තුළ විශ්මාර්ථයත්, උත්ප්‍රාසයත් එකට කැටිව ඇත්තේ ය. නමට කවිදාස වුව "කාව්‍යදාසයන්" "දාසයෝ" නොකියා වියත් සබා මැද ඇමතූ රසිකාවට කනේ වංගු ඇදයන්ට ලෝදිය වගුල නුඹම සුදු පිරැවට වැහුන මජර නයුවන්ට නොවියත් සබාවල නිබ්බුත පද දෙසා දෙපා සිපගත් අයුරැ තවම මතකයි සිදුහත් කුමරු අරඹයා නිබ්බුත පද කීවේ කිසාගෝතමිය ය. ඉන් කියවෙන්නේ සිදුහත් බඳු පුතෙකු ලද මවක්, පියෙක් මෙන්ම සිදුහත් බඳු හිමියෙකු ලද කාන්තාවක නිසැකයෙන්ම නිවුනෝ වෙති යි යන කාරණය ය. මිහිරි හඬින් ගැයූ නිබ්බුත පද ඇසූ සිදුහත් කුමාරයා තමා පැළැද සිටි මාලය කිසාගෝතමියට තෑගි කර යැවීය. අද ප්‍රවීණ කවීහුද නිබ්බුත පද කියති. ඒ සිදුහත් බඳු නිවුනු චරිත අරඹයා නොව දෙව්දත්ලාටත් අන්ත දනන් වෙනුවෙනි. එසේ ගැයෙන ප්‍රසස්ති ඉදිරියේ මෙකී ප්‍රවීණ කවීහුද නොයේක් වරප්‍රසාද ලබති. එම වරප්‍රසාද අතර මාල නැතත් සුරාවෙන් පටන් ගෙන නුරාවෙන් කෙළවර වන තරම් නා නා දේ ඇත. තතු එසේ මුත් ආධුනිකයෙකු අතින් ප්‍රසස්තියක් ගැයුනොත් එම ආධුනිකයාගේ කණේ වංගු කෙළින් වන තරමට ලෝදිය වත් කරන්නට මෙකී ප්‍රවීණයෝ දෙවරක් නොසිතති. ඒ අන් කිසිවක් නිසා නොව ආධුනික ප්‍රසස්ති නිසා ප්‍රවීණයන්ට ලැඛෙන වරප්‍රසාද යම්කිසි සෙළවීමකට බඳුන්වන නිසා ද ? මේ නම් අද අප ඉදිරියේ ර`ගන ප්‍රවීණ යැයි කියාගන්නා පිරිසකගේ නින්දිත චර්යා රටාවන් නිර්භයව කරලිය ඉදිරියේ නිරුවත් කර පෙන්වීමක් නොවන්නේ ද ? ත්‍රිපිටකයෙ මුල ධම්ම පද ලියන බයිබලයෙන් ගීතාංජලී අහුලන යුද බිම මැද පරෙයියන් මවන නුඹට... අභිධර්මය ගැඹුරුය. එබැවින් දුරවබෝධ ය. ධම්මපදය සරලය. එබැවින් අවබෝධයට පහසුය. රබින්ද්‍රනාත් තාගෝර්තුමන්ට නොබේල් සාහිත්‍ය සම්මානය ලැබුණු ගීතාංජලී කාව්‍ය සංග්‍රහය තුළින් එතුමන්ගේ දර්ශනය ඉස්මතු වන්නේ ය. බොල් වී හි අපට හමුවන කවියාට බයිබලය පවා කාව්‍යාත්මකව නිර්වචනය කළ හැකි බව ඉන් අදහස් වන්නේය. ලොව කවර තැනක යුද්ධයක් ඇති වුවද ඉන් පීඩාවට පත්වන්නේ අසරණ අඹු දරුවෝ ය. ආගම ඉදිරියේ එසේ හැසුරුණද, මේ කවියා යුදබිම මැද පරෙයියන් මැවීමෙන් තමන් පක්ෂ පාර්ශවය වෙනුවෙන් යුද්ධය සාධාරණීකරණය කරන්නේය යන අදහස මතු වනවා නොවේ ද ? පලමු ගල ගැසූ යුදාස් වන්නෙම්ද මල් මාලා දැමූ දෙව්දුව වම්ද තවමත් සොයමි මම අද දවසේ ඔබත් මාත් ජීවත්වෙන්නේ මෙබඳු විපරිත පවුකාරයෝ සුචරිත භූමිකාවෝ රඟන රඟමඬලක ය. දැන් අපි කළ යුත්තේ ඔවුන්ව තව දුරටත් සාදරයෙන් පිළිගෙන දේවදූතයෙකු බවට පත් වීම ද ? නොඑසේනම් එකී පවුකාරයාට පළමු ගල ගැසීමට දායක වීම ද ? මේ නම් පාඨක අපවද අතිශ්‍ය සංකීර්ණ උගුළකට හසු කරගැනීමට කවියා අප අතට දුන් දෙකොණ විලක්කුවකි. මක්නිසාද යත් පවුකාරයට පළමු ගල පහර එල්ල කළ යුත්තේ කිසිම පවක් නොකළ අයෙකු නිසාවෙනි. සාමන්ත තැන්නගේ 
18April 2017
blog_shape
සාමන්ත තැන්නගේ විසිනි (by Saamantha Tennege) https://www.youtube.com/watch?v=nI0-Iico8xY දාගැබ් මහා වැව් බැන්දේ නුඹයි පුතේ සීගිරි ගලේ කවි ලිව්වේ නුඹයි පුතේ නගුලෙන් එදා රජ කෙරුවේ නුඹයි පුතේ පැදුරේ මෙදා නිදියන්නේ නුඹයි පුතේ අම රස දිව බොජුන් ගිජු කුසයට වළඳා සිලි සිලි සිනිඳු දිව සළුපිලි ඇඳ පළඳා මහජනයාට වැදි බණ කියමින බොළඳා සැප විඳි එකා නිරයට නොයතිද මළ දා ඉර හඳ අදත් පායනවා හද අරණේ මගෙ රට ණයට කෑවේ නැහැ නොවැ පොරණේ හෙළ දරුවන් එදා මේ සිංහල දෙරණේ ඔවුනගෙ දහදියයි ලද උත්තම සරණේ ගේය පද ඃ ? සංගීතය සහ ගායනය ඃ ආචාර්ය වික්ටර් රත්නායක හැත්තෑව අසූව දශක වල ගුවන් විදුලිය ගැන මතක ඇති උදවියට "උදා ගී" සහ "අරුණ කිරණ" යන නම් මතක ඇතුවාට සැක නැත. 1977 නව රජයක්‌ බලයට පත්වීමෙන් පසුව එච් ආර් ජෝතිපාල ගායනා කළ සමනළ මුදුනේ සිරි පද සිඹ සිඹ සහ පෙර දිග අහසේ පෙරමුණ අරගෙන සිතුවිලි නව හිරු කිරණ නැගේ යන ගීතත්, චන්ද්‍රිකා සිරිවර්ධන ගායනා කළ උත්සාහය උක්‌ දන්ඩක්‌ වැන්නේ යන ගීතයත්, වික්‌ටර් රත්නායක සංගීතවත් කර ගායනා කළ දාගැබ් මහා වැවි බැන්දේ යන ගීත වලින් යටත් පිරිසෙන් එකක් හෝ නෑසුනු දිනක් නොවූ තරම් ය. එම ගීත සියල්ලේම පබැඳුම එවකට ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය ධූරය දැරූ පසුව ජනාධිපති පදවියද ලැබූ නැසිගිය රණසිංහ ප්‍රේමදාස ශූරීන් බවද කියැවිණ. එහෙත් එය සිදුවිය හැකි ද ? ලංකා ඉතිහාසයේ නිශ්ෂංකමල්ල රජු අනුන් කළ නිර්මාණ සුද්ද බුද්ද කර ඒවාගේ තමන්ගේ නම් ගසා ගැනීමට නම්දැරූ නිරිදෙකි. මෙම ගීතයේ රචකයාත් එබඳු අයෙක් ද ? ගීතයේ රචනය ගැන කිසියම් හෝඩුවාවක් කලකට පෙර ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ නිල පුවත්පත වූ "ඇත්ත" පත්‍රයේ "රංචාගොඩ ළමයා" නමින් පළ වූ දේශපාලන ප්‍රහසන කවි පන්තියෙන් ජනතාවට දැනගන්නට ලැබුණි. රංචාගොඩ ළමයා ලීවේ සිරිලාල් කොඩිකාර මහතා ය. රංචාගොඩ ළමයා එදා "ඇත්ත"ට ම මෙසේ ලියා තිබුණි. දාගැබ් මහා වැව් බැන්දේ ඩෝල්ටන් සීගිරි ගලේ කවි ලිව්වේ ඩෝල්ටන් නගුලෙන් එදා රජ කෙරුවේ ඩෝල්ටන් පැදුරේ මෙදා නිදියන්නෙත් ඩෝල්ටන් ලංකාව තවමත් ලෝකයේ දියුණු වෙමින් පවතින දුප්පත් රටකි. අද ලෝකයා දියුණුව මනින්නේ යානවාහන, ගොඩනැගිලි හෝ මහාමර්ග වලින් නොව රටක ජනතාවගේ හැදිච්චිකම් වලින් නොහොත් මනුස්සකම් වලිනි. මක්නිසාද යත් හැදියාව සහ මනුස්සකම් ඇති නම් අන් සියල්ල ලබා ගැනීම අපහසු නොවන නිසාය. තතු එසේ මුත් යම් ලෙසකින් එදා රජරට බැදි දැගැබ්, වෙහෙර විහාර, වැව් මෙන්ම සීගිරිය වැනි ෙඓතිහාසික නිර්මාණයන් නොතිබුණා නම් අද ලංකාව මීටත් වඩා දුප්පත් වන්නට ඉඩ නොතිබුණි ද ? අදටත් අප කරන්නේ පෞඪ ඉතිහාසයෙන් වත්මන් ලැජ්ජාවන් වසා ගැනීම නොවේ ද ? සේනානායක සමූද්‍රය, බණ්ඩාරණායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ හෝ මහින්ද රාජපක්ෂ වරාය ජාතියට දායාද වන්නේ ඒ අය රාජ්‍ය කළ කාලයන්හි බව සැබෑය. ඒ නිසා ඒවායේ නිර්මාතෘන් ලෙස ඔවුහු ඉතිහාස ගත වෙති. පරාක්‍රම සමූද්‍රය ආදී මහා වැව් ගැන කිව හැක්කේද එයයි. එහෙත් මේ සියල්ල ජාතියට දායාද වන්නේ හුදෙක් රජවරු නිසාම නොව රටට ගැලපෙන නිවැරදි නිර්මාණයන් සැලසුම් කළ අය නිසාය. රජවරු හෝ නායකයෝ වනාහි අතරමැදියෝම පමණක් වෙති. එහි අනෙක් කොනේ ඉන්නේ ශ්‍රමිකයෝ ය. එදා වේල හොයා ගන්නට ජීවිත පරිත්‍යාග කළෝ ඔවුහු ය. මෙම ගීතයේ කතා කරන්නේ එබඳු පුතුන් ගැන නොවේ ද ? දාගැබ් මහා වැව් බැන්දේ නුඹයි පුතේ සීගිරි ගලේ කවි ලිව්වේ නුඹයි පුතේ නගුලෙන් එදා රජ කෙරුවේ නුඹයි පුතේ පැදුරේ මෙදා නිදියන්නේ නුඹයි පුතේ දාගැබ්, මහා වැව් බඳින්නට දායක වූවාට ලියවෙන්නේ පුතුගේ නම නොව රජුගේ නමය. සීගිරියේ අදටත් ඉතිරිව ඇති වටිනාම වස්තුව කැටපත් පවුරේ ලියූ ගී ය. නමුත් අප කතා කරන්නේ කාශ්‍යප ගැනය. කෙත ගොයම ආරක්ෂා කළේ ගැමි ගොවියෝ ය. නමුත් අප කතා කරන්නේ මහසෙන්ලා ගැනය. එබඳු දස්කම් විස්කම් වලට උර දුන් ඔබ තවමත් පැදුරේ නිදයි. බැලු බැල්මට පෙනෙන්නේ මෙම පද පෙළින් අතීත රජවරුන්ව විවේචනය කරන බවය. නමුත් ඉතිහාසයේ අපට හමුවන වීර රජවරු නමට වඩා තැන දී ඇත්තේ වැඩට ය. ලාංකීය ඉතිහාසයේ වහළුන්ගෙන් වැඩගත් බවක් සඳහන්ව නැත. ඒ වෙනුවට රුවන්වැලි සෑය ගොඩනැගීමේදී පවා එකම එක පස්පිඩක්වත් නොමිලයේ කපා දෙන්නට රජු ඉඩ නොතැබූ බවද සඳහන් ය. අද අපට හමුවන පාලකයෝ තැන දෙන්නේ වැඩට නොව නමට ය. එසේ නම් මෙම ගීතයේ ස්ථායී කොටසින් ස්ථීර ලෙසම පහර දෙන්නේ පෙර රජවරුන්ට නොව වත්මන් පාලකයන්ටම බව පැහැදිළිය. මේ ගීතය ලියූවායැයි කියන රාජ්‍ය නායකයා ස්ථීරවම මෙවැනි අද්විතීය රචනාවක් කළේ නම් හේ සුපැහැදිලි මනසකින් හෙබි රාජ්‍ය නායකයෙකු විය යුතු වන්නේ ද ? යසනාත් ධම්මික බණ්ඩාරයන් මෙම ගීතය ගැන ලියූ සටහනක මෙසේ සඳහන්ව තිබුණි. "ගීතය ශ්‍රවණය කරණ වාරයක් පාසා ඒ රාජ්‍ය නායකයා කෙරෙහි ඇති වූයේ අපමණ ගෞරවයකි. කෙසේ වෙතත් එතුමන්ගේ අනෙකුත් හැසිරීම් කතා බස් රාජ්‍ය කෙරුවාව දකින විට ඔහු මෙවන් ගීයක් පබැඳීම ගැන මට ඇති වූයේ මහත් විමතියකි." අම රස දිව බොජුන් ගිජු කුසයට වළඳා සිලි සිලි සිනිඳු දිව සළුපිලි ඇඳ පළඳා මහජනයාට වැදි බණ කියමින බොළඳා සැප විඳි එකා නිරයට නොයතිද මළ දා ගීතයේ දෙවෙනි අන්තරා කොටසින් මේ කතා කරන්නේ කවුරුන් ගැනද ? බඩජාරිකමට ආහාර ගන්නේත්, සිනිඳු පිළියෙන් කළ ජාතික ඇඳුමකින් හෝ සාටකයකින් සැරසෙන්නේත්, මහජනයාට වැදි බණ කියන්නේත් කවුරුන් ද ? උන් නම් අන් කවරෙකුවත් නොව පාලකයෝම නොවේ ද ? අද නම් මෙලෙස බොළඳ වැදි බණ නොකියන එකෙකු සොයා ගැනීම පවා අසීරු ය. මෙම ගීතය සැබවින්ම කවියකි. කොහේ හෝ ඇති පද ටිකක් එකතු කොට එකට අඩුක් කිරීමෙන් කවි නූපදී. කවියා කවියකින් යම් පණිවිඩයක් සමාජගත කරන්නට උත්සාහ දැරීම ස්වභාවිකය. මෙය සැබවින්ම උදා ගී හෝ අරුණ කිරණ හරහා සාමාන්‍ය ජනතාවට බලෙන් අසන්නට සැලැස්සවූ ගීතයකි. එසේ නොවන්නට ගීත රචකයාගේ වෘත්තීය ජීවිතයේ ස්වර්ණමය යුගයේදී එය ගුවන් විදුලියේ පුන පුනා ප්‍රචාරය කරවන්නට හේතු නැත. සැබවින්ම මෙම ගීතය ලියා ඇත්තේ ඊට සවන් දුන් ජනතාව වෙනුවෙන් බව පිළිගත හැකිද ? අවිවාදයෙන්ම මෙම ගීතය සපුරාම ගැලයෙන්නේ පොදු ජනතාවට නොව එහි රචකයාගේ පැළැන්තියේම අයට ය. වැදිබණ කියන්නේ ජනතාව නොව පාලකයෝ ය. නැත්තම් ඇතැම් පැවිද්දෝ හෝ දේශනා පවත්වන්නෝ ය. ශ්‍රේෂ්ඨ පදවැලක් ගෙතෙන්නට මතුපිටට වඩා ඇතුළාන්තය විනිවිද දකින්නට තරම් දක්ෂ රචකයෙකු අතිනි. මෙම ගීතයේ රචකයා ආත්මාර්ථයෙන් තොර එබඳු දැක්මක් තිබූ අයෙකු නම්, ඉන් පැවසෙන පණිවුඩයේ ආලෝකය පළමුව තමන්ගේ භූමිකාව නිවැරදි කරගන්නට යොදවන බව නම් නිසැකය. යටත් පිරිසෙයින් ජනාධිපති වූ පසුව හෝ යටත් පිරිසෙයින් තමන්ගේ අමාත්‍ය මණ්ඩලයට මෙම ගීතය අසන්නටත්, පහදා දෙන්නටවත් කටයුතු කළා නම් එය ඔහු නොලියූවද එහි අරුත තේරුම් ගත් අයෙකු හැටියට නිගමනයකට ඒමට අපට බැරි කමක් නැත. ඉර හඳ අදත් පායනවා හද අරණේ මගෙ රට ණයට කෑවේ නැහැ නොවැ පොරණේ හෙළ දරුවන් එදා මේ සිංහල දෙරණේ ඔවුනගෙ දහදියයි ලද උත්තම සරණේ වෙහෙස මහන්සිව දහඩිය හෙළන පුද්ගලයෙක් ණය වන්නට ඇති ඉඩකඩ අඩුය. වැඩ නොකරන එකාට ණය වෙනවාට වඩා කළ හැකි අන් දෙයක් නැත. අවසානයේ ගත් ණය ගෙවන්නටත් ඌ කරන්නේ ණය වෙන එකය. අන්තිමට උගේ ණය ගෙවන්නට සිදුවන්නේ උගේම උප නූපන් පරම්පම්පරාවලට ය. රටකට වුවද මෙම න්‍යායෙන් ගැලවෙන්නට නම් මෙකී පරම සත්‍ය තේරුම් ගත් එකෙක් රජ විය යුතු ය. නැතිනම් එබඳු එකෙක් රජෙකු බවට පත් කරන්නට තරම් තේරුමක් ඇති ජනතාවක් සිටිය යුතු ය. මෙම ගීතයේ රචකයා ගැන රහස හෙළි වූ ආකාරය ගැන සිරිලාල් කොඩිකාර මහතා විසින් 2009 පෙබරවාරි මස 17 වැනිදා දිනමිණ පත්‍රයෙන් හෙළි කර තිබුණේ මෙසේ ය. ..........සිරිලාල් කොඩිකාරයන් එදින ඩොල්ටන් අල්විස් සමග තැබෑරුමකින් මත්පැන් වඩියක් සප්පායම් වී ගෙදර බලා යන්නට සූදානම් ව සිටියේය. "පොඩ්ඩකට මේක තියාගනින්. මං පුටුස් ගාල එන්නම්." ඩෝල්ටන් අල්විස් සිය කඩදාසි ෆයිල් කවරය මිතුරා අත තබා වැසිකිළිය දෙසට ගියේය. ෆයිල් කවරය විවර විය. අපිළිවෙළකට බහා තිබුණු නානාප‍්‍රකාර කඩදාසි හා ලිපි ගොනු අතර පද්‍ය පන්තියක කටු සටහනක් තිබිණි. දාගැබ් මහා වැව් බැන්දේ නුඹයි පුතේ.... සීගිරි ගලේ කවි ලීවේ නුඹයි පුතේ නඟුලෙන් එදා රජ කෙරුවේ නුඹයි පුතේ පැදුරේ මෙදා නිදියන්නේ නුඹයි පුතේ.... ෆයිල් කවරය වැසිණි. මිනිත්තු පහකින් පමණ ඩෝල්ටන් පැමිණියේය. දෙදෙනා කළුවරේම මහමඟට බැස්සෝය. දින කිහිපයක් ගතවිණි........ රංචාගොඩ ළමයාගේ කවිය ඇත්ත පුවත්පතේ පළවූයේ ඉන් පසුවය. අද මේ ගීතය නැවත අසන විට අපට දැනෙන්නේ එහි සැබෑ රචකයා කෙතරම් පරිණත බුද්ධිමතෙකු වූවාද යන කාරණය යි. ඉරක් ඇන්දත් තම නම ගසා ගන්නා සමාජයක තමන් කළ අද්විතීය නිර්මාණයක් වෙනෙකෙකුට පුදන්නට තරම් හේ වෙස්සන්තර කෙනෙකු වන්නේ කෙසේ ද ? මෙහි ඇත්තේ වෙනත්ම කතාවකි. ඇතැම් පාලකයෝ බලය නිසා හොරකම් කරති. ඇතැම් පාලකයෝ මෝඩකම නිසා අනුන්ගේ ජයග්‍රහණ තමන්ගේ බවට ලේබල් ගසා ගනිති. නැත්තම් තැනත් නොතැනත් දොඩවති. මෙම ගීතයේ සැබෑ රචකයා කර ඇත්තේ ඌරාගේ මාලූ ඌ පිටම තබා කැපීම ය. තවත් විදිහකින් කියනවා නම් හොරාටත් හොරෙන් හොරා කළ හොරකම ගැන හොරෙන්ම හොරාගේ අනුගාමිකයන්ට පැවසීම ය. මෙම ගීතයේ සංයමය මුසු අපූරු සංගීත රචනාව සහ ගායනය වික්ටර් රත්නායකයකයන්ගේ ය. වික්ටර්ගේ මධුර ගායනය තුළ අතරමං වන රසිකයාට ඇසෙන පදපෙළෙහි යටිපෙළ අරුත නොදැනී ගියා විය නොහැකි ද ? මෙහි සැබෑ රචකයා අවසානයේ නාමික රචකයාගේ පටන් ගීයට සම්බන්ධවන සියලූම පාර්ශවයන්ටත්, ශ්‍රාවක අපටත් දෙන පණිවුඩය නම්, "මහජනයාට වැදි බණ කියමින බොළඳා සැප විඳි එකා නිරයට නොයතිද මළ දා" යන්න ම නොවේ ද ?
12April 2016
blog_shape
රත්න ශ්‍රී විජේසිංහ (by Rathna Sri Wijesinghe) සිතුවම - චන්ද්‍රා මල්ලවආරච්චි (Painting by Chandra Mallawarachchi) නීල කොඛෙයි රෑන ඇදි වී අවුලන ඉපනැල්ලේ මාල ගිරව් රංචු ගැසිලා නව අවුරුදු ගීත ගයනවා වක්කඩළඟ දිය සුළියේ තිත්ත පැටව් කලබලයේ ඒ තාලෙට වරල් සලාලා නව අවුරුදු නැටුම් නටනවා ඔංචිලි චිලි චිල්ල මලේ වැල්ල දිගට නෙල්ලි කැලේ මලින් පලින් ගහ කොළ පිරිලා ගම්මානෙට අවුරුදු එනවා නා වැටියම දළු දමලා නා අතු අග මල් පිපිලා බාල ලියන් ටිකිරි හිනාවේ ගමින් ගමට එළිය ගෙනාවේ දොඩම් කපා ඇඹුල් තියා නැවුම් කලේ උකුලේ තියා රන් මැණිකේ දියට වඩිනවා කුඹුකෙ ළි‍ඳෙන් වතුර ගෙනෙනවා ගේය පද - මහගම සේකර සංගීතය සහ ගායනය - ඩබ් ඩී අමරදේව https://youtu.be/qP1quKGks2w බක් මාසය භාග්‍යවත් මාසයක් වන්නේ එය පෙරදිග වැසියන්ගේ ගොවි ජීවිතයේ භාග්‍යය නෙළා ගන්නා අස්වනු සමය ද වන බැවිනි. තුරුලිය මල් සම්පතින් සැරසුණු මහ පොළොවේ උත්කර්ෂවත් ප්‍රීතිය පළකරන නිල උත්සවය වසන්තයයි. එය විශේෂයෙන් ම පෙරදිග වැසියාගේ දිවිය සමග කේන‍ද්‍රීය වශයෙන් බැදුණු උළෙලක් වන්නේ, ඔහු ගේ නිෂ්පාදන සම්බන්ධතා ඇසුරෙන් සොබා දහම ඔහු වෙනුවෙන් ම නිම වූ උළෙල එය වන නිසාය. මේ භාග්‍යවත් සමය භව භෝග සම්පතින් මෙන් ම ප්‍රබෝධමත් හැඟීමෙන් ද මිනිසුන් ආඪ්‍යවන සමයයි. "නව බග් ළසන්ද - දුටි, මිනිසක්හු නොවජන්නෙ" යි එදා සීගිරි කවියා ලියුවේ ද එහෙයින් විය හැකිය. ඔහු සීගිරි දිගැසියන් අමතා කීයේ, "බක් මාසේ නව ළසද දුටු මිනිසෙක් අමතක නොකළ මැනවයි" යනුවෙනි. ඒ සඳ දුටු මිනිසා ද භාග්‍යවන්තයෙකි. ඉන්පසු කාලයෙක පහළ ඌවේ ජන කවියා ද මෙසේ කීයේය. සක් සඳ ඇඳි ලපය මෙනි නුඹ පසු බානේ නෙත් රස බසක් නොදැනෙයි මට අවමානේ දුක් සැප විඳගන්ට නිදි නැත මට යානේ බක් මස ඇවිත් බලපන් සුරතල් ළඳුනේ බක් මස ධන ධාන්‍යාදියෙන් මිනිසා ආඪ්‍ය කරනු පමණක් නොවේ, නිසි පෝෂණයත්, රැකවරණයත් ලබා සිටින ඔහු ආදරය, ප්‍රේමය වැනි සියුමැලි මනෝභාවයන්ගෙන් ද සරුසාර වී සිටියි. එහෙයිනි, සොබාදහමේ උත්කර්ෂවත් ප්‍රීතිය ඔහු වෙත පවරා ගැන්ම ව්‍යාජයක් නොවන්නේ. මෙයින් දශක තුනකටත් එපිට දී අමරදේවයන් සංගීතවත් කොට ගැයූ මේ ගීය ලියුවේ මහගම සේකර කවියාය. මේ ගීය ද වසන්තය මෙන්ම කිසි දා අමිහිරි හෝ පැරණි හෝ නොවන්නකි. වසන්ත ප්‍රීතියට ප්‍රථමයෙන් ම සංවේදී වන්නේ සොබා දහම බැව් යට කියන ලදී. කුරුල්ලෝ ඉන් මුල් තැන ගනිති. වරෙක ඇන්ටන් චෙකොව් නම්, ශ්‍රේෂ්ඨ සාහිත්‍යකරුවා කුරුල්ලන් හැඳින්වූයේ පියාපත් ලද පුංචි දරුවන් ලෙසිනි. ඒ ඇත්තය. වසන්ත ප්‍රීතිය හමුවේ පුංචි දරුවන්ටත් කුරුල්ලන්ටත් නිහඬව ඉන්නට බැරිය. නීල කොඛෙයියනුත්, මාල ගිරවුනුත් මහත් සතුටින් කල එළි බසිති. ඔවුහු නිෂ්පාදකයෝ නොවෙති. යැපෙන්නෝය. ඔවුන් නිෂ්පාදකයින් නොවුණ ද සොබා දහමේ තුල්‍යතාව රැකගන්නටත්, විචිත්‍ර භාවය වෙනුවෙනුත් මහත් මෙහෙවරක් ඉටුකරති. එහෙයින් ඔවුන්ට ද ගොවියෝ සිය අස්වැන්නෙන් කොටසක් වෙන් කරති. මාල ගිරවුන් නව අවුරුදු ගී ගයන්නේ ඒ හිලව්වටය. අනෙක, කලාකරුවන්ට මෙන් ම ඔවුන්ට ද නොගයා ඉන්නට බැරිය. මාල ගිරිවුන්ගේ නව අවුරුදු ගීයෙන් පිබිද ඇසැර බලන විට පෙනෙන්නේ අවට තවත් බොහෝ විචිත්‍ර දේ සිදුවන බවය. වෙලේ නියරේ වක්කඩ ළඟ දිය සුළියේ තිත්ත පැටව් කලබල වී මාලගිරවුන්ගේ ගී තාලයට වරල් සලමින් නව අවුරුදු නැටුම් නටති. මහගම සේකර කවියා ම තවත් වරෙක තිත්ත පැටවුන්ගේ මේ නැටුමේ අසිරිය ගැන ලියා තිබේ. "වක්කඩළඟ දිය වැටෙන තාලයට තිත්ත පැටව් උඩ පැන නැටුවා" යනුවෙනි. සොබාදහමේ මේ අපූරු ගායන, නර්තන සංයෝගයට අසංවේදී ව ඉන්නට හැක්කේ කාට ද ? ඔංචිලි වාරම් ගැයෙන්නට පටන් ගන්නේ එබැවිනි. නෙල්ලි කැලේ වැල්ල දිගට, මලින් පලින් ගහකොළ පිරී තිබේ. නිසැකව ම ඉතින් ගම්මානෙට අවුරුදු එන්නේය. නා වැටිය දළුලා නා අතු අග මල් පිපී තිබේ. දළු ලෑ නා වැටිය රත් දෙතොල් පෙළක් සිහිගන්වයි. ඒ සිනහවකට පේ වී පොපියන දෙතොල්ය. බාල ලියෝ ටිකිරි සිනහවෙන් සැරසෙති. සොබාදහමේ ප්‍රබෝධමත් වස්තූන්ගේ ප්‍රීතියට අවනතව ඉන් පමුදිත වන මිනිස්සු ජීවිතය දිනා ගන්නටත් ආස්වාදනය කරන්නටත් සැරසෙති. වරෙක වසන්ත සමයේ මේ අසිරිමත් හැසිරීම පිළිබඳව ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහ කවියා මෙසේ ලියුවේය. ඒ, කෝමළ රේඛා පෙර වදනේය. "මගේ එක් සිංහල අවුරුදු දිනයක් ගතවූයේ දඹුලූගල මුදුනේදීය. හිස හැරුණු අතේ නිදහසේ සැරිසරා ගිය මේ යුගයේ ගොයම් ගස් නමා කෙත් උඩ දිවෙන රැල්ලෙන්, සැඩ සුළඟට අසු වූ අතුරිකිලිවලින්, මඳ සුළඟ වැළදගත් ළාදළු වලින්, ගිලිහී වැටෙන නාමල් පෙති හුළං රැළි උඩ පාවි ගිය ගමනින්, හොටය කරකවා හිස ඇළකොට බලන කුරුලූ බැල්මෙන්, ගැමියන්ගේ උකුළු මුකුළුවලින්, අව්වෙන්, වැස්සෙන්, සඳ පහනින් මා වුවද නොදැන සිටි ගී විරිත් මම සොයා ගතිමි." කවියකට වසන්තය සපයා දෙන මේ කෝෂ්ඨාගාරයේ දිග පුළුල කොතරම් දැයි මින් පෙනේ. ඉන් ලබන වින්දනය මිනිසාගේ භාවලෝකය පුළුල් කොට ඔහුගේ ජීවන ලාලසාවන් වඩමින්, ජීවිතය දිනාගන්නට ඔහු මෙහෙයවන බව අරුමයක් නොවේ.  
16January 2016
blog_shape
සඳුන් ප්‍රියංකර විතානගේ විසිනි මා පරිවර්තන සාහිත්‍ය කෘතියක් කියවන්නට යොමු වන්නේ හිතවත් කියවන මිතුරන්ගෙන් බොහෝ රෙකමදාරු ලැබුණු පසුව ය. මෑත කාලීනව ලාංකේය පරිවර්තන සාහිත්‍ය ප්‍රමාණාත්මකව පොහොසත් වුවත් යම් පමණකින් ගුණාත්මකව දුප්පත්ව ඇති බවට වන මගේ පෞද්ගලික විශ්වාසය එයට හේතුව යි. කෙසේ වෙතත් මිතුරකුගේ නිර්දේශය මත දැනට මෙල්බර්න් නුවර වාසය කරන ප්‍රියංකා කහවණුගොඩ ලේඛිකාව විසින් කරන ලද පරිවර්තනයක් කියවන්නට ගත්තෙමි. ප්‍රියංකා එනිඩ් බ්ලයිටන්ගේ නව යොවුන් සාහිත්‍ය කෘති කිහිපයක් සහ වෙනත් පරිවර්තන ගණනාවක්ම කර ඇති ප්‍රවීණ ලේඛිකාවකි. මෙම කෘතිය නම් කර ඇත්තේ "හිට්ලර් සොරා ගත් රෝස හාවා" නමිනි. මුල් කෘතිය When Hitler Stole Pink Rabbit නම් වේ. Judith Kerr මුල් කෘතියේ රචකාවියයි. 1923 උපන් ඇය අනූ විය සපුරා තවමත් ලන්ඩන් නුවර දිවි ගෙවන්නීය. මිහිමත සිදුවුණු මනුෂ්‍යත්වයට එරෙහි දරුණුම අපරාධය ලෙස ගිණිය හැකි දෙවැනි මහා ලෝක යුද්ධයේ දී සිදු වූ යුදෙව් ජන සංහාරය අද පවා තෙත් හදැති දනන් නෙත් කඳුළු නංවයි. මිලියන 6ක් පමණ යුදෙව්වන් පණ පිටින් ගෑස් කාමර වෙත යවා මරා දමන්නට යෙදුණු මේ නාසි භීෂණය පිළිබඳව ලොව විවිධ නිර්මාණ ප්‍රවර්ගයන්ගෙන් නිර්මාණ බිහි වී ඇත. නවකතා, කෙටිකතා, සිනමාපට, සිතුවම්, ගීත ඈ නේක නිමැවුම් ය. පමණෙක් ඒවා ලෝක කලා ඉතිහාසයේ නොමැකෙන සිහිවටනයන් ය. බෲනෝ ආපිට්ස් නම් ලේඛකයාගේ "වෘකයන් අතර නග්නව" එලී වියෙසල් ගේ "රාත්‍රිය", මෝර්ටන් රේ ගේ "රැල්ල" වැනි නවකතාවත්, ෂින්ඩ්ලර්ස් ලිස්ට්, The Boy in the Striped Pajamas වැනි සිනමාපටත් වහා සිහියට නැගෙයි. මේවා නිර්මාණ ලෝකයේ සුවිසෙස් තැන් අත්කර ගනියි. බලවත් යුද්ධ තත්වයන් කිහිපයකට මුහුණ දුන්න ද අප ශ්‍රී ලංකාවේ ඊට සාපේක්ෂව කලා නිර්මාණ බිහි වූයේ අල්ප වශයෙනි. දෙවන ලෝක යුධ භීෂණය ගැන වූ නිර්මාණ නම් නොගිණිය හැකි තරම් ය. ඒ අතර අප අද කතා කරන මේ කෘතිය යම් වෙනස් ලකුණක් සටහන් කරන බව එය කියවාගෙන යෑමේදී පෙනී ගියේ ය. උක්ත විෂය සම්බන්ධයෙන් සිදුකළ බහුතරයක් නිර්මාණ යුද්ධය සහ නාසි භීෂණය ඍජුව වස්තු විෂය කරගත් ඒවා ය. එම කෘතීන් අප තුළ නාසින් කෙරෙහිත් යුද්ධෝත්පාදනය කෙරෙහිත් කෝපයක් සහ යුද්ධයෙන් පරිපීඩිතයන් කෙරෙහි වන අනුකම්පාවත් නොවක්ව ජනිත කරන්නේ වෙයි. එසේ නමුදු මෙම "හිට්ලර් සොරාගත් රෝස හාවා" නම් කෘතිය එයින් මඳක් වෙනස් ය. ඍජුව යුධ තත්වය හෝ ඝාතන ගැන කතා නොකරයි. යුධ පෙරමුණු ගැන නොකියයි. හිට්ලර් වෙත පවා චෝදනා නොකරන මෙය කෙසේවත් යුද දිනපොතක් නම් නොවන බව කිව යුතුය. කතා සාරය මෙහි කතා තේමාව හිට්ලර් බලයට පත්වීමට පෙර - අනාගතයේ අඳුර කෙරෙහි සංවේදී වන යුදෙව් ජාතික පුවත්පත් කලාවේදියෙකු ජර්මනියෙන් පළා යාම හා බැඳී තිඛෙයි. මස්තකප්‍රාප්ත වන අවසානයක් නැති කෘතියක් වන මෙය කුඩා දැරියක වන ඇනාගේ බැල්මෙන් ලියැව ඇත. මේ න‍මාසඑය ණැරර ලියන ලද ඇයගේ ම කතාවයි. ඇනා යනුවෙන් කෘතිය තුළ පෙනී සිටින්නී ඇයයි. කතාවේ ආරම්භය 1933 ජර්මනියේ පැවති මැතිවරණය සමගින් සිදුවෙයි. ඍජුව පාලක රෙජිමය විවේචනය කරන මාධ්‍යවේදියෙක් වෙන ඇනාගේ පියා තම නව හැවිරිදි ඇනා දැරියත් ඇගේ වැඩුමල් සොයුරු මැක්ස් සහ බිරිඳ සමගින් මැතිවරණ ප්‍රතිඵලයට පෙර ස්විට්සර්ලන්තය වෙත පළා යයි. ආදරය පිරුණු නිවසක නිවසන ලද ඔවුන්ට ලාබ හෝටල්හි කල් ගෙවන්නටත් ආර්ථීක දුෂ්කරතා විඳ දරාගන්නටත් සිදුවෙයි. අතිශය අපහසුවෙන් විදෙස් භාෂා හදාරන්නට සිදුවෙයි. ඔවුන්ගේ මාමා ලෙස හැඳින්වෙන ජුලියස් වැනි සාම්ප්‍රදායික සිතන්නන් කිසිදා වර්ග සංහාරයක් බලාපොරොත්තු නොවෙන අතර ඉක්මනින් තත්ත්වය යථාවත් වෙතැයි බලාපොරොත්තු තැබුවද සිදුවන්නේ ඔවුන්ට ද බියකරු අඳුරු මරණය වෙත ළඟා වන්නට සිදු වීමයි. සංක්‍රමණික කුරුල්ලන් මෙන් විවිධ තැන්වලට ගෙවෙමින් ගෙවෙන දිවිය විටෙක හාස්‍යයද විටෙක කරුණා රසය ද විටෙක කම්පාව ද ජනිත කරමින් ගලා ගොස් කේන්ද්‍රීය අවසානයකින් තොරව නිම වෙයි. හදිසි අර්බුදයන්ට මුහුණ දෙන පවුලක් ඊට මුහුණ දෙන නිර්භය ආකාරයත්, පැන නැගෙන ගැටළු හමුවෙහි ඔවුන් ඊට දක්වන ප්‍රතිචාරත් ඉතා මැනවින් අපට මෙහි දී දකිත හැකිය. හිට්ලර්ගේ කටයුතු සහ නාසින් කෙරෙහි පැතිරවූ භීෂණය මෙහි ඍජුව සඳහන් නොකෙරෙන අතර, මේ විෂය පිළිබඳව වන නිර්මාණයක් කියැවීමේ දී මුව සිනා නැංවූ එක ම නිර්මාණය ද මෙය බව සඳහන් කරනු වටියි. "මේ තියන්නේ අර මනුස්සයාගෙ තව පිංතූරයක්" එලිසඛෙත් කීවා ය. "ඊයේ මගෙ පොඩිම නංගි මෙයාගෙ පිංතූරයක් දැකල හිතල තියෙන්නෙ චාලි චැප්ලින් කියල." ඇනා දෑස් ලොකු කර මුහුණ ඇද කරගෙන විමතිය පෑවා ය. ඉක්බිති ඇය කීවේ, "උඩු රැවුල නොවෙන්න නං ඇබිත්තක්වත් චාලි චැප්ලින් වගේ නෑ" කියා ය. ඔවුහු පින්තූරයට යටින් සඳහන් කර තිබූ නම හයියෙන් කියවූහ. ඇඩොල්ප් හිට්ලර් "එයා කියන්නෙ හැමෝම එයාට ඡන්දෙ දෙන්ඩ කියල. ඊට පස්සෙ එයා යුදෙව්වන්ව නැති කරනවලු."  කීවේ එලිසඛෙත් ය. "ඔයා හිතනව ද එයාට රිචල් ලොවෙන්ස්ටින්වත් මරන්ඩ පුළුවන් කියල?" "කාටවත් රිචල් ලොවෙන්ස්ටින් මරන්ඩ බෑ" ඇනා සහතික වුණා ය. "එයා පංති නායකයා. බාගදා මේ මනුස්සයා මාව නං මරයි. මමත් යුදෙව්වෙක් හින්දා." "නෑ, ඔයා එහෙම නෑ." "මං එහෙම තමා.... පහුණු සතියෙ අපෙ තාත්තා අපිත් එක්ක ඒක ගැන කතා කෙරුවා. එයා අපේ අයියටයි මටයි කීවෙ මොනවා වුණත් අපි යුදෙව්වො කියන එක කවදාවත් අමතක කරන්ඩ එපා කියලයි." "ඒත් සෙනසුරාදාට රිචඩ් ලොවෙන්ස්ටීන් වගේ ඔයා කවදාවත් පල්ලි යන්නෙ නෑනෙ." "ඒ ඉතිං අපි ඒ හැටි ආගම පැත්තට බර නැති හිංදනෙ. අපි කොහොමටවත් පල්ලි යන්ඩ සතුටු නැහැ." "අනේ අපේ තාත්තත් ඔය තරමට ආගම පැත්තට බර නොවුණ නම් කොච්චර හොඳයි ද" එලිසඛෙත් අකම්පාල වුණා ය. "හැම ඉරිද ම අපි පල්ලි යන්ඩ ඕන, ඒ මදිවට පස්ස පැත් රිදෙනකල් පල්ලියේ ඉඳගෙන ඉන්ඩත් වෙලා" ඉක්බිතිව ඇය ඇනා දෙස බැලුවේ කුතුහලයෙනි. "මම හිතන් උන්නෙ යුදෙව්වන්ට වක් ගැහුණු නහයක් තියෙනව කියල. ඒත් ඔයාගෙ නහය හරි ම සාමාන්‍යයි. ඔයාගෙ අයියගෙ නහය වකගැහිල ද?" "නෑ." ඇනා කීවා ය. "අපේ ගෙදර වක ගැහුණු නහයක් තියෙන එක ම එක්කෙනා ගෙදර වැඩට එන බර්තා විතරයි. එයාටත් එහෙම වෙලා තියෙන්නෙ දවසක් ට්‍රෑම් එකකින් වැටිල නාහෙ කැඩුණ හිංදයි." එලිසඛෙත් දිගින් දිගට ම වද වුණා ය. "එහෙනම් ඉතිං" ඇයි කියවන්නී ය. "ඔයාලගෙ පෙනුමත් අනිත් හැමෝම වගේ නම්, සෙනසුරාදට තියෙන ඔයාලගෙ විශේෂ පල්ලියට යන්නෙත් නැත්නම්, කොහොම ද හරියට ම කියන්නෙ ඔයා යුදෙව්වෙක් කියල?" මේ ඉපිටුම හරහා කෘතිය ගැන යම් අදහසක් කුලූගැන්වෙනු ඇත. මේ කෘතියේ සඳහන් ජර්මනිය හැරදා පළා යන ප්‍රගතිශිලී මාධ්‍යවේදියාගේ පවුලේ කුඩාවුන් මුහුණ දෙන්නේ අතිශය දුෂ්කර අද්දැකීම්වලට ය. එනමුත් ඔවුන් දිවියට පෙම් බඳිමින් දිවියට මුහුණ දෙති. ඔවුන් ජීවිකාව සරි කරගන්නේ දුෂ්කරවය. විවිධ භාෂාවන් ඉගෙනගන්නට සිදුවෙයි. මේ පරිවර්තනය සිත්ගන්නාසුලූ ලෙස නිමවන්නට පරිවර්තිකාව සමත්ව ඇත. ඇය සිංහලය මනරම් අයුරින් යොදාගන්නී ය. උපුටාගෙන දැක්විය හැකි රසවත් තැන් රැසක් මෙහි ඇත ද දීර්ඝ උපුටනයන්ට නොයන්නේ ලිපියේ ඉඩ පාඩු සලකාගෙන ය. එදිනෙදා දිවිය ගැන අල්ප දැනුමක් ඇති මෙහි එන මාධ්‍යවේදියා තම බිරිඳ වෙනුවෙන් මිලට ගන්නා මහන මැෂිම ගැන එන අවස්ථාව අතිශය සජීවි සහ සිනහ නඟන අයුරින් මෙහි එයි. "නලංගු වෙනවා", "එකල මෙකල වෙනවා" වැනි වචන නොබියව යොදන ඇය එවන් වදන් වලින් තම කෘතියට ආලෝකයක් ලබා ගන්නීය. මෙයට පෙර අප පරිවර්තිකාවගේ පරිවර්තන කෘතිවලින් බොහොමයක් පාහේ නව යොවුන් විය පිළිබඳව වූ ඒවා බව පෙනේ. මෙම කෘතිය සාර්ථක බව කිය යුතු ය. අක්ෂර වින්‍යාස සහ වෙනත් භාෂා දෝෂ ගැන නම් සෑහීමකට පත් විය නොහැකිය. මන්දයත් එවැනි පහසුවෙන් නිරවුල් කළ හැකි දේවල් නොකිරීමෙන් කෘතියට සිදුවන්නේ අගතියකි. ලංකාවේ එවැනි තත්වයක් ඇත. රචකයින් පරිවර්තකයින් ඉඳුරා ම භාෂාවේ වියරණය ගැන දැන නොගැනීම සාමාන්‍ය තත්වයකි. එය වරදක් ද නොවේ. එහෙත් පළපුරුදු භාෂා සංස්කාරකවරයෙක්ගේ උදව් ලබා නොගැනීම නම් වරදකි. අනෙක් අතට මා අත පත් පිටු ඇමුණුමේ දී බලවත් අවුලකට පත් කර තිබුණි. බොහෝ පිටු මාරු වී තිබීම නිසා පොත කියවන්නට ගිය මම බලවත් අමාරුවක වැටුණෙමි. මෙවැනි තාක්ෂණික දෝෂ නිරවුල් කර ගැනීමට උත්සුක වීම හොඳ දෙයක් ලෙස සටහන් කළ යුතු ය. ජන ඝාතක යුද්ධයන්හි නිරර්ථකභාවයත් අමානුෂිකභාවයත් කියැවෙන නිර්මාණ ලොව නොඑක් භාෂාවන්ට පරිවර්තනය වීම අතිශය ප්‍රගතිශීලී කටයුත්තක් බව කිව යුතු ය. මිනිස් චින්ත සන්තානයන් මෘදු මොළොක්බවට පමුණුවන්නට එවැනි කෘතීන් ක්ෂුද්‍ර හෝ බලපෑමක් කරනු ඇත. ජාතිවාදයෙන්, ආගම්වාදයෙන්, අන්තවාදයෙන් කිළිටි වී ඇති මේ ලොව තෙවැනි ලෝක යුද්ධයකට පසුව නැවත ගල් යුගයට යනු ඇත. එනයින් බලන කල ද ප්‍රියංකා කහවණුගොඩ ලේඛිකාවගේ මේ වෑයම පැසසුම් කටයුතු ය. කැඩපතේ අපි ඇයට සුබ පැතුම් ගෙන එන්නෙමු. Photo by DP Design Hub Design by Saamart
ahimi atha by Saamantha Tennege
10December 2015
blog_shape
ඉසුරැ ප්‍රසංග විසිනි (Reviewed by Isuru Prasanga) පමණටත් වඩා වැඩි වේගයෙන් වැඩ කළේ ඇයිද හිමියනි තනියම දැති රෝදයකට කේන්ති යන තරමට ජීවිත නිධානය අපට හිමිකර දෙන්න බිළි දුන්නාද නුඹෙ වමත? ගීතයක් හා මුසුව තාලයක ගැටුණු අත සමුගන්න නිමේෂෙක ශෝකයෙන් වැනුනු අත කාගෙ හෝ විපතකදි කම්මුලෙහි තැබුණු අත අසාධාරණේකදි පෙරමුණට විදුණු අත රෝහලේ අගු කොනක රිදුම් සතපවා ඇත මුව පුරා සිඳී ගිය පැතුම් බොඳ වෙලා ඇත ඊයේ රෑ නුඹෙ වමත කියතකින් කපා ඇත කටු ගසා මස මසා පටිවලින් ඔතා ඇත පිරෙන්නට වෙන බැවින් කඳුළු බිඳු දූ පුතුන්ගේ දෙනෙත් අරන් එනු එපා කී ඒ හැඬුම් තල සියුම් සීරුවා මහද බිතු නුඹ ඉතිරි වූ අතින් බදද්දී මා සුරත සඟවන්න බැරි කඳුළු සියල්ලම මම හලමි ඔරලෝසු මුර දෑස් රෝහලේ නොවුණි නම් තව ටිකක් හරි වෙලා නුඹ ළඟට වී හිඳිමි පිදිය යුතු තැනක තැබුමට සුදුසු අත කවුදෝ නුඹෙන් උදුරාගෙන ගිහින් ඇත නුඹෙ ඇස එකම කඳුළක් දුටු විට මසිත අත් දහසක් මැවුණි සවිබලයෙන් නියත මහින්ද ප්‍රසාද් මස්ඉඹුල (හිරුත් හිම පියල්ලක කාව්‍ය සංග්‍රහය) මිනිසුන්ගේ එදිනෙදා ජීවිතයේ දුක් දෝමනස්සයන් පිළිබ‍ඳ නිශ්චිත සිදුවීම් අරබයා කවි ලිවීම මට නම් තරමක් නුහුරු දෙයකි. එසේ වුවද මා මිත්‍ර මහින්ද ප්‍රසාද් මස්ඉඹුලගේ කවි අතර එවැනි නිර්මාණ බොහෝ සෙයින් හමුවෙයි. මේ ඇතැම් කවි තුළ අවුරුදු ගණනාවක කාල පරාසයකට අයත් මුල මැද අග සහිත කතා පුවත් වැනි දෑ පවා හමුවන අතර, පොදුවේ මහින්දගේ කවි කාව්‍ය විචාරකයන්, පාඨකයන් අතර පමණක් නොව සාමාන්‍යයෙන් කවි නොකියවන මිනිසුන් අතරද ඛෙහෙවින් ඇගයීමට ලක්වූයේ පුදුම සහගත ආකාරයෙනි. ජනප්‍රියත්වය නිර්මාණයක සාර්ථකත්වය පිළිබඳ පරම නිර්ණායකයක් නොවිය හැකි වුවද එහි වැදගත්කම බැහැර කොට නිර්මාණකරණයේ යෙදීමද කළ හැක්කක් නොවේ. විචාරක අවධානයට වඩා පාඨක අවධානය විටෙක කවියෙකුට ඛෙහෙවින් වැදගත් විය හැකිය. මිනිස් ජීවිතවල ලොකු ලොකු හැල හැප්පීම් ගැන ලියන විට පුංචි දේවල ප්‍රබලතාව විටෙක අපට මඟ හැරෙයි. අතක් කපා දැමීම පුංචි දෙයක් විය හැකි නොවුණද මේ පුංචි බව හෝ ලොකු බව ගැන කල්පනා කළ හැක්කේම සාපේක්ෂව පමණි. මා මේ සටහන ලියනුයේ සේයා සදෙව්මි දැරියගේ ඝාතනයෙන් මුළු රටම කැළඹී සිටින මොහොතකය. ඊටත් වඩා විශාල පරිමාණයේ යුධ ගැටුම්, බෝම්බ පිපිරීම්, සමූල ඝාතන, ගංවතුර, භූමිකම්පා, ආදී වූ නිතිපතා සිව්දිගින් ඇසෙන ඛේදනීය පුවත් කන්දරාවක් ඉවසා දරා සිටින ලෝකයකට පුද්ගලයෙකුගේ අතක් අහිමි වීම හුදු ක්ෂුද්‍ර කාරණයක් විය නොහැකිද? එසේවුවද එය කේවල මිනිසකුගේ මුළු මහත් ජීවිතයේම පිළිවෙල ව්‍යාකූල කර දමන හා විටෙක මරණයට වඩා බියකරු වේදනාවක් විය හැකි ප්‍රශ්නයකි. අතේ ඇඟිලි දෙකක් අහිමි වීම නිසා තමන්ගේ දස වසක විවාහ අපේක්ෂාව ඇතුළු ජීවිතයේ සියලූ සැලසුම් අවුල් වී ගිය හමුදා සෙබළෙක් පිළිබඳ සත්‍යය පුවතක් මෙහිදී මගේ සිහියට නැඟේ. මහින්දගේ කවියට විෂය වන්නේ යන්ත්‍රයකට වමත හසුවීමෙන් එය කපා දමන්නට සිදුවූ කම්කරු තාත්තා කෙනෙකි. මෙහිදී අහිමි වූ වමත පිළිබඳ විටෙක පුංචි ලෙස පෙනිය හැකි ප්‍රශ්නයේ විසල් වේදනා කවි බසින් හසුකර ගැනීමට මහින්ද යොදා ගන්නා උපායන් බලවත්ය. ගීතයක් හා මුසුව තාලයක ගැටුණු අත සමුගන්න නිමේෂෙක ශෝකයෙන් වැනුනු අත කාගෙ හෝ විපතකදි කම්මුලෙහි තැබුණු අත අසාධාරණේකදි පෙරමුණට විදුණු අත මෙය සාමාන්‍යයෙන් මෙවන් විපතක් ගැන ලියවෙන කවියක් තුළ සුලබව ඇතුළත් විය නොහැකි අන්දමේ නැවුම් හා විරල පද පෙළකි. බිරි‍ඳගේ දෘෂ්ටිකෝණයෙන් කවියා මේ අත හඳුන්වා ඇත්තේ පිදිය යුතු තැනෙක තැබිය යුත්තක් ලෙසය. එය ඔහුට අහිමිව ඇත්තේ තමාට හා දරුවන්ට ජීවිත නිධානය හිමි කර දීම වෙනුවෙන් කරන දෛනික අරගලයේදීය. මේ කවිය ඇතැම් අයෙකුට එහි සාමාන්‍ය අර්ථය අබිබවා කියවීමට අනුබල දෙන කිසියම් ඉඩකඩක්ද මේ නිර්මාණය තුළ තිබේ. මේ අහිමි වී ඇත්තේ අත් දෙකෙන් මොකක් හෝ එකක් නොව වමතය. බොහෝ අයගේ වැඩට හුරු අත වන්නේ සුරු අත හෙවත් සුරත වුවද මෙහි සඳහන් පියාට අහිමිව ඇත්තේ වමත බව කවියා තරයේ සඳහන් කරයි. එතැනින්ද නොනැවතී අනුන්ගේ විපත් වෙනුවෙන්, හෘදයාගම ජීවන අවස්ථා වෙනුවෙන්, අසාධාරණයට එරෙහි අරගල වෙනුවෙන්, කලා රසවින්දනය වෙනුවෙන් පෙරට එසවී ඇත්තේ පිදිය යුතු තැනෙක තැබිය යුතු මේ වමත බවද එහි ලා තවදුරටත් අවධාරණය කෙරෙයි. හුරු අත වෙනුවට නුහුරු අතක් මේ සියල්ල වෙනුවෙන් පෙරට ආ බව කවියා පවසන්නේ කුමක් නිසාද? එය හුදු වම් අත යන භෞතික සීමාවේ නොනවතින දේශපාලන අර්ථයක් ජනනය කරන්නේද? ලංකාවේ වාම දේශපාලන හැල හැප්පීම්වලට සජීවීව මුහුණ දුන් අයෙක් ලෙස මට දැනෙන මේ හැඟීම ඔස්ට්‍රේලියාව වැනි රටක ජීවත්වන සිංහල පාඨකයාට විටෙක හිසරදයක් විය හැකි වුවද අවශ්‍ය නම් මේ කවියේ සමහර පදවලට එවන් අර්ථයක් සැපයීමටද අපට බැරිකමක් නැත. මහින්දගේ කවියේ ඉහත උපුටා දැක්වූ කොටස ලංකාවේ වාම ව්‍යාපාරයේ බිඳ වැටීම ගැන මා විසින් ලියූ කවියක එලෙසින්ම ඇතුළත් කරන ලද්දේද ඒ නිසාය. මගේ කවිය තුළ එය එසේ බහාලිය හැකි වුවද මහින්දගේ සමස්ථ කවියේ එන වෙනත් යෙදුම් මගේ අර්ථකතනයට බාධා පමුණුවන බවද කිව යුතුය. කතුවරයාගේ ආධ්‍යාශයට එරෙහිව යමින් කෘතියකට ඕනෑම අර්ථයක් පැනවීමට පාඨකයාට නිදහස ඇති බව ඇතමුන් නිතර කියන මුත් එය බොහෝ තැන්වල එලෙසින්ම වලංගු වන්නක් නොවේ. අර්ථමය බහුත්වයක් සහිත නිර්මාණ කොතෙකුත් ඇති බවද ඇත්තකි. එහෙත් බොහෝ විට විචාරකයාගේ අර්ථ පැනවීමේ නිදහස සීමා කෙරෙන බාධක රැසක් නිර්මාණය තුළ මෙන්ම එයින් පරිබාහිරවද පවතින හෙයින් ඕනෑම අයෙකුට ඕනෑම අර්ථකතනයක් දී එය "මගේ කියවීම" යැයි හඬගෑමට පූර්ණ නිදහසක් කොතැනකවත් නැත. කතුවර අධ්‍යාශය විසින්, සම්ප්‍රදාය විසින්, කෘතිය අයත් සාහිත්‍ය සංස්කෘතිය විසින්, කාලීන සමාජ දේශපාලනය විසින්, මෙන්ම අදාල නිර්මාණයේ අන්තර්ගතය විසින්ද මේ නිදහස් කියවීම නොයෙක් ආකාරයෙන් සීමා කරයි. ඒ කාරණය මේ කවියටද එලෙසින්ම අදාලය. මේ කවියේ සමහර තැන් උපුටා දක්වමින් යම් දේශපාලන අර්ථයක් ඊට පැනවීමට මට යම් නිදහසක් ඇතත් කවියේ අනෙක් කොටස් විසින් මගේ අර්ථ පැනවීමට බාධා කරයි. කෙසේ හෝ වේවා මහින්දගේ කවිය මගේ සිත තුළ ජනිත කළ අර්ථය ඔස්සේ මා ලත් තවත් ප්‍රයෝජනයක් ගැනද අවසාන වශයෙන් ස`දහන් කළ යුතුය. මා විසින් ජවිපෙ දේශපාලනය අරභයා රචිත බිඳුණු වම් අත නැමති කෘතියේ නම මහින්දගේ කවිය නිසාම උත්පාදනය වූ එකකි. ඉහත උපුටා දක්වන ලද ඉහත පද හතර ඇසුරින් ඒ නම මගේ සිතට ආවේ මහින්දගේ කවිපොත මුද්‍රණය වීමටත් පෙරාතුව එහි අත් පිටපත කියවා බැලු මොහොතේදීය. යම් යම් සීමා අතරේම වුවද කවියේ අර්ථමය බහුත්වය අපේ කල්පනා පෝෂණය කරන සැටි වටහා ගැනීමට එයම කදිම උදාහරණයක් නොවේද? සිතුවම - සාමන්ත තැන්නගේ Illustration by Saamantha Tennege
08December 2015
blog_shape
සාමන්ත තැන්නගේ විසිනි (Reviewed By Saamantha Tennege) ඇතැම් අයට හයිකුව ඛෙහෙත් සීට්ටුවකි. තවත් අයට එය අන්ඩර දෙමලයකි. එබඳු බාහු යුඟළකින් තෙරපි තෙරපී මුත් නොකඩවා දෙවසරකටත් වැඩි කාලයක් 'කැඩපත' කෙටි කවිය වෙනුවෙන් පෙනී සිට කළ මෙහෙවර අගැයීමකට හෝ පැසසුමකට ලක්වූවා නම් ඒ කවියෝද නොවූ, කලාකරුවෝද නොවූ පොදු ජනතාව වෙතින් පමණි. එබඳු යුගයක අප අත පත් මෙල්බන් නුවර අප සහෘද මාලන් බණ්ඩාරගේ 'අඟුණ මල්' සංක්ෂිප්ත කාව්‍ය සංග්‍රහය සැබවින්ම ගෙන ආවේ ඉමහත්ම චිත්ත ප්‍රසාදයකි. (more…)
seprator
shape
Copyright © Kadapatha 2018. All rights reserved. Solution by saamArt