seprator

“කුඩා කාලෙදි තාත්තා මට සෙල්ලම් බඩු අරන් දුන්නෙ ඉතාම අඩුවෙන්. හැබැයි නිතර නිතර පොත් ගෙනත් දුන්නා.”

seprator
13September 2016
blog_shape
ප්‍රවීණ නාට්‍යවේදී රෝහණ දන්දෙණිය ගැන ඔහුගේ පුත් නාට්‍යවේදී තරංග දන්දෙණිය කතාකරයි........... අපේ තාත්තා රෝහණ දන්දෙණිය. ඔහු ඉපදුණේ 1944 වර්ෂයෙ මාතර දී. නමුත් බොහෝ කාලයක් ජීවත් වුණෙත් වැඩ කටයුතු කළෙත් අනුරාධපුරයේ. ගුරුවරයෙක් ලෙස වෘත්තීය ජීවිතය ආරම්භ කරලා, ඉසුරුමුණිය විද්‍යාලයේ විදුහල්පති විදිහටත් වැඩ කරලා, අධ්‍යාපන ආයතනයෙ සිංහල අංශයේ අධ්‍යක්ෂ විදිහට විශ්‍රාම ගත්තා. මගෙ අම්මා වැඩ කළෙත් ගුරුවරියක් විදිහට. kadapatha-sep-641kadapatha-sep-642 කලාකරුවෙක් ලෙස ඔහු විවිධ ක්ෂේත්‍රවල විවිධ නිර්මාණ කරමින් වැඩ කළා. ගීත රචකයෙක්, ගුවන්විදුලි නාට්‍ය රචකයෙක් සහ වේදිකා නාට්‍ය නිර්මාණකරුවෙක් විදිහට විවිධ නිර්මාණ ඔහු බිහි කළා. රූපවාහිනියේ 6 වැනි ටෙලිනාට්‍යය වන "රන් දූව" ටෙලිනාට්‍ය රචනා කළේ රෝහණ දන්දෙණිය එනම් අපේ තාත්තා. ඒ අතරම අනුරාධපුරය කේන්ද්‍ර කරගෙන "නිර්මාණ සේනා" නමින් කලා සංවිධානයක් පිහිටුවාගෙන ඒ හරහා විවිධ නිර්මාණ කළා පමණක් නෙවෙයි, අලූත් නිර්මාණකරුවො හඳුන්වා දෙන්නත් ඔහු කටයුතු කළා. 1979 වර්ෂයේ දී හොඳම නාට්‍යය විදිහට රාජ්‍ය සම්මාන ලබා ගත්තෙ, තාත්තගෙ නාට්‍යයක් වුණු "දුන්යාගේ ගීතය" වේදිකා නාට්‍යය. "පරාස්ස" නාට්‍යය තාත්තගෙ ජනප්‍රිය වුණු තවත් නිර්මාණයක්. මේ නාට්‍යය විවිධ නම් යටතෙ වේදිකාගත කෙරුණු නාට්‍යයක්. "නර ලොවින් එකෙක්", "රාස්ස සහ පරාස්ස" වගේ නම් වලිනුත් වේදිකාගත කෙරුණා. පසුව මේ නාට්‍යය "පරාස්ස" නමින් ම ධම්ම ජාගොඩ මහතා විසින් රූපවාහිනී මාධ්‍යයට අනුවර්තනය කළා. තාත්තගෙ කොළඹ ආගමනය සිදු වෙන්නෙ ජාතික අධ්‍යාපන ආයතනයෙ ව්‍යාපෘති නිලධාරියෙක් ලෙස පත්වීමක් ලැබීමත් එක්ක. තාත්ත එක්ක මමත් කොළඹ ආවා. මම අධ්‍යාපනය ලැබුවෙ, කොළඹ මහනාම විද්‍යාලයෙ නිසා අපි දෙන්න එකට ජීවත් වුණා. මෑත කාලය දක්වාම කෙරුණු අධ්‍යාපන පෙළ පොත් තාත්තාගෙ අධීක්ෂණය යටතෙ කෙරුණ ඒවා. https://youtu.be/JaoPVqiy6bE මේ අතර තාත්තා විවිධ නිර්මාණ කටයුතු කළා. "දෑවරයි" යනුවෙන් නම් කරපු නාට්‍යයක් ඔහු කළා 80 දශකයෙ දි. රූපවාහිනී නාට්‍යය බොහෝ ප්‍රමාණයක් රචනා කළෙත් මේ කාලෙ දි ම තමයි. "රන්දූව", "වටමලූව", "සංක්‍රාන්ති", "කඩතිර", "විශ්වාන්තර ටෙලිනාට්‍ය මාලාව" ආදී වශයෙන් බොහෝ නිර්මාණ රචනා කරපු තාත්තා ඒ වෙනුවෙන් සම්මාන ලබා ගෙන තිඛෙනවා. අනුරාධපුරයෙ තමයි අපේ කුඩා කාලය ගතවුණේ. මාවත් අරගෙන, පොතකුත් අරගෙන වෙලට ගිහින් කුරුල්ලො එළවන හවස්යාමයන් මගෙ හිතේ තවම සටහන් වෙලා තියනවා. අනුරාධපුරය නගරයට ටිකක් ඈතට වෙන්න තිබුණු, කලූවිල හිදෝගම කියන ග්‍රාමයෙ තමයි අපි ජීවත් වුණේ. ගෙවල් අසලින් ඇලක් ගලාගෙන යනවා. බොහොම සුන්දර පරිසරයක් ඒක. මම කුඩා කාලෙ තාත්තා ගුරුවරයෙක් විදිහට කටයුතු කළත් පසුව ඉසුරුමුණිය විද්‍යාලයෙ විදුහල්පති ලෙස පත්වුණා. ඒ අතර තමයි ඔහු රජරට ගුවන් විදුලි සේවයට සම්බන්ධ වුණේ. මට තවම මතකයි, තාත්තා මාවත් බයිසිකලයෙ තියාගෙන රජරට සේවයට යන හැටි. මාවත් ළමා වැඩසටහන්වලට සම්බන්ධ කරලා ඔහු තමන්ගෙ කටයුතු කළා. ගීත රචනා, ගුවන්විදුලි නාට්‍යය, ගුවන්විදුලි වාර්තා වැඩසටහන් ආදිය මේ කාලයෙ හුඟක් රචනා කෙරුණා. මේ කාලෙ තමයි, ගුණදාස කපුගේ, ස්වර්ණ ශ්‍රී බණ්ඩාර වගේ කලාකරුවනුත් රජරට සේවයෙ හිටියෙ. ඒ වගෙම කොළඹ වැඩ කරන බොහෝ කලාකරුවො අනුරාධපුරයට ආවම අපේ ගෙදරට එනවා. ධම්ම ජාගොඩ මහත්මයා වගේ අය ඔය අතර හිටියා. මට ඉතාම හොඳට මතක තිඛෙන සිදුවීමක් තියනවා, ධම්ම ජාගොඩ මහතා සම්බන්ධව. ඔහු දවසක් අපේ ගෙදර ආ වෙලාවක, මාවත් සම්බන්ධ කරගෙන මනමේ නාට්‍යයේ වැදිරජුගෙ සිංදුව ගායනා කරමින් රඟපෑවා. ඒ කාලෙ ඔහු තමයි මනමේ නාට්‍යයෙ වැදි රජුගෙ චරිතය රඟපෑවෙ. අනුරාධපුරේ රජරට සේවය ආශ්‍රිතව ඒ යුගයෙ හරි අමුතු සංස්කෘතිකයක් බිහි වෙලා තිබුණෙ. විවිධ වෘත්තීන් කරපු අය කලා කටයුතුවලින් ගුවන් විදුලියට සම්බන්ධ වුණා. රියදුරු රැකියා, ආරක්ෂක අංශයෙ රැකියා කළ අයත් ගීත ආදිය ලිව්වා විතරක් නෙවෙයි, ඒවා ජනප්‍රිය ගීත බවට පත් වුණු අවස්ථාත් තියෙනවා. අපේ තාත්තා ලිව් ගීතත් බොහොමයක් තිඛෙනවා. කපුගේ මහත්මයා ගායනා කරන "තල් වැට අයිනේ", අමරදේව මහත්මයා ගායනා කරන "නිකින්නේ සඳ පායනා", රෝහණ බැද්දගේ මහත්මයා ගායනා කරන "චයියා හෝ" ගීතයත් මෑත යුගයට එනකොට නිරෝෂා විරාජිනී ගයන "අනේ හාන්දුන්නේ", ගීතයත් තාත්තා නිර්මාණය කරපු ඒවා. ඒ වගේම කරුණාරත්න දිවුල්ගනේ, ජානක වික්‍රමසිංහ, සුනිල් එදිරිසිංහ වැනි ගායකයන්ටත් තාත්තා ගීත රචනා කරලා තියනවා. ඒ විතරක් නෙවෙයි, තාත්තා ටෙලිනාට්‍යවලටත් විශාල ගීත ප්‍රමාණයක් ලියලා තිඛෙනවා. අධ්‍යාපන ආයතනයෙ කටයුතු කරද්දි විශාල පෙළ පොත් වගේ ම අතිරේක අධ්‍යාපන පොත් නිර්මාණය කරන්නත් අපේ තාත්තා මැදිහත් වුණා. එයා ගොඩක් ප්‍රසිද්ධිය පස්සෙ හඹා ගිය කෙනෙක් නොවෙන නිසා එයා කළ වැඩකටයුතු ගැන එතරම් සටහන් වෙලා නැහැ කියල හිතෙනවා. සාහිත්‍යකරණය පැත්තෙන් විවිධ දේවල් කරලා තිඛෙනවා. ඒ අතර නාට්‍ය, ළමා සාහිත්‍ය, ගීත ගැන ලියවුනු ස්වතන්ත්‍ර කෘතීන් විශාල ප්‍රමාණයක් තියනවා. ඊට අමතරව තිස්ස අබේසේකරයන් වෙනුවෙන් "නික්ම නොගිය අප්‍රමාණ මිනිසා" ප්‍රණාම ග්‍රන්ථයත්, සෝමවීර සේනානායක ප්‍රණාම ග්‍රන්ථයත්, "දී.ග හරසර" සංස්කරණය වගේ ම සතිශ්චන්ද්‍ර එදිරිසිංහ ප්‍රණාම ග්‍රන්ථය සංස්කරණය කළෙත් ඔහු. කුඩා කාලෙදි මට තාත්තා සෙල්ලම් බඩු අරන් දුන්නෙ ඉතා ම අඩුවෙන්. හැබැයි නිතර නිතර පොත් ගෙනත් දුන්නා. තාත්තා මම කුඩා කාලෙදි මට නිදහස දුන්නා. ඒත් ඒ නිදහස අයුතු විදිහට මම පාවිච්චි කළෙත් නැහැ. එහෙම නිදහස දුන්නත් මට නොදැනෙන්න මා ගැන හොයා බැලූවා. කුඩා කාලෙ එක ම එක දවසක් මට ගහලා තියනවා, එදායින් පසුව කවදාවත් ගහලා නැහැ. බැණලා නැහැ. විශේෂයෙන් ම රුසියානු සාහිත්‍ය පරිවර්තන පොත් ගෙනත් දුන්නා. තාත්තා ගාව තිබුණා විශාල පුස්තකාලයක්. ඒක මගෙ සංවර්ධනයට හුඟාක් උදව් වුණා. තාත්තට "දුන්යාගේ ගීතය" නාට්‍යය වෙනුවෙන් වසර ගණනාවකට රුසියාවට යන්න ශිෂ්‍යත්වයක් ලැබුණා. තාත්තා ඒක බාර ගත්තෙ නැහැ. මම කුඩා නිසා වෙන්නට ඇති. තාත්තා ඒක වෙනත් කලාකරුවෙකුට දුන්නා. ඔහු පසුකාලයේ ප්‍රකට රංගන ශිල්පියෙක් බවට පත් වුණා. 1989 කාලෙ වගේ ඉඳන් මම ඕස්ට්‍රේලියාවට එනතුරු ම තාත්තයි මමයි එකට ජීවත් වුණේ. දුෂ්කර නමුත් සුන්දර ජීවිතයක් අපි ගත කළා. මුල් කාලයෙදි කුලියට තමයි අපි කොළඹ ජීවත් වුණේ. පස්සෙ තාත්තා රුක්මල්ගම නිවසක් හැදුවා, ගම මතක් වෙන තාලෙ එකක්. කුඹුරක් අසල තමයි ඒ නිවස තියෙන්නෙ. තාත්තා කවදාවත් කෑම ඉව්වෙ නැහැ. කෑම උයන්නෙ මම තමයි. තාත්තා කළේ භාජන ආදිය සෝදල දීල මට උදව් වෙන එකයි, බත් එක උයලා පොල් ටිකක් ගාල දෙන එක තමයි. මගෙ සරසවි කාලෙ, එහෙම නැත්නම් මගෙ බිරිඳ එක්ක සම්බන්ධය පටන් ගත් කාලෙ වගේ මම නාට්‍යය ආදිය බලලා ඇවිදල කරල රෑ බෝ වෙලා තමයි ගෙදරට එන්නෙ. තාත්තා රෑට කොට්ටාව හන්දියට ඇවිත් ඉන්නවා මාව එක්ක යන්න, බස් නැති නිසා. හොඳට ම රෑ වුණාම තාත්තට හුඟක් කේන්ති ගියාම තාත්තා කරන්නෙ කිසිවක් කතා නොකර ඉන්න එකයි. තාත්තත් මාත් නිතර නාට්‍ය නරඹන්න ගියා. ගීත රසවින්දා. හැන්දෑවරුවල තේ එකක් බොමින් අපි ගීත හෝ වෙනත් නිර්මාණ ගැන සංවාද කළා. තර්ක කර ගත්තා. තාත්තා කවදාවත් හොඳ කලාකෘති රසවිඳින්න හරි නාට්‍ය වෙත යොමු වෙන්න හරි කියලා බලකිරීම් කරලා නැහැ. තරුණ කාලෙ මමත් ජනප්‍රිය සංගීත කලාවන් පස්සෙ වැටුණු අවස්ථා තිබුණා වුණත් තාත්තා මාව බලෙන් උසස් සංගීත නිර්මාණයන් වෙත යොමු කරන්න උත්සාහ කළේ නැහැ. ඔහු කළේ හොඳ නිර්මාණ ගෙනත් මට අහන්නට සලස්වපු එකයි. බලෙන් දේවල් ඔලූවට කාවද්දන්න උත්සාහ නොකළත් රසවින්දනයේ විවිධ පරාසයන් තිඛෙනවා කියලා මට දැනගන්න සලස්වපු එක අපේ තාත්තා හොඳින් ම කළා. මගෙ නාට්‍යයවල පෙර පුහුණුවීම් බලන්න ආවත්, නාට්‍යය ප්‍රදර්ශනය වෙද්දි බලන්න ආවත් කිසිම දවසක තාත්තා මැදිහත්වීම් කරල නැහැ මගෙ නාට්‍යය සම්බන්ධයෙන්. නළු නිළියන්ට උපදෙස් දීම් ආදිය කවදාවත් කරලා නැහැ. නමුත් එක්තරා අවස්ථාවක ඔහුගෙ "පරාස්ස" වේදිකාගත වෙද්දි මම යම් යම් මැදිහත්වීම් කළා. පසුවයි මට කල්පනා වුණේ මම එහෙම කළත් ඔහු කවදාවත් එහෙම කළේ නැහැ නේ ද කියන කාරණය. මගෙ නිර්මාණවලට අවශ්‍ය ගරුත්වය ඔහු හැමදාම දුන්නා. මගෙ මනස නිදහසේ පෝෂණය වෙන්න ඉඩ දුන්නා. අපි දෙන්නාට එකට වේදිකා නාට්‍යයක් නිර්මාණය කරන්න ඉඩ නොලැබුණ එක ගැන ඔහු හුඟක් දුක්වුණා. අපි නිතර ඒ ගැන කතා කළත් අපට ඒක කරන්න බැරි වුණා. අපි සාකච්ඡා කළා නවකතාවක් ලියන්නත්. තාත්තා විසින් සීයාගේ සිට තාත්තාගේ යුගයට එනතුරු තාත්තා ලියන්නත්, මා විසින් ඉතිරි ටික ලියන්නත් අපි කතා කරගත්තා. තාත්තාට හුඟක් අවශ්‍ය වුණා මගෙ පී.එච්.ඩී එක අවසන් කරනවා දකින්න. මට පුළුවන් වුණා තාත්තා නැතිවෙන්න සති දෙකකට කළින් ඒක අවසන් කරලා තාත්තට දැනුම් දෙන්න මම ඒක කළා කියලා. තාත්තා වගේ ම මමත් නාට්‍ය අංශයට යොමු වුණාට ඔහුගෙ විරුද්ධත්වයක් නොතිබුණත් මම වෘත්තියක් විදිහට නාට්‍ය කලාව තෝරාගන්නවාට නම් ඔහුගෙ කැමැත්තක් තිබුණෙ නැහැ. සාමාන්‍ය පෙළින් පසුව විෂයක් විදිහට නාට්‍ය හා රංගකලාව තෝරාගන්න යද්දි ඔහු මාව යොමු කළේ ගණිත අංශයට. නමුත් මගෙ නාට්‍ය හා රංගකලාව පැත්තට තිබුණු වුවමනාව දැකලා නැවත ඒ වෙතට ම යොමු කරන්න තීරණය කළා. තාත්තාගෙ අදහස වුණේ ඒකට සම්බන්ධ වෙනවා නම් ඒ ගැන හොඳින් හදාරන්න කියන එක. ලංකාවෙදි මම කෙටි නාට්‍යය කළා. "උඩු හුළඟක් ඇවිල්ලා" නම් කෙටි නාට්‍යය ඒ අතරන් එකක්. දීර්ඝ නාට්‍යයක් කළා "අසනි වළාහක" කියලා. මේ නාට්‍ය දෙකට ම යෞවන සම්මාන ලැබුණා. ඒ අතර මම කැළණිය විශ්වවිද්‍යාලයෙන් මගෙ පළමු උපාධිය ලබා ගත්තා. තාත්තා කාලයක් ජාතික තරුණ සේවා මණ්ඩලයේ සාහිත්‍ය පිටපත් රචනය ගැන ඉගැන්නුවා. මා තරුණ සේවා මණ්ඩලයේ නිස්කෝ වීඩියෝ පාඨමාලාව හැදෑරීමට පටන්ගත්තාට පස්සේ ඉන් ඉවත් වුනා. ඒ වගේම තාත්තා රාජ්‍ය සාහිත්‍ය සහ යෞවන සම්මාන විනිශ්චය මණ්ඩලවලත්, අත්පිටපත් බැලීමත් කළා. ඒත් මගේ නාට්‍ය අත්පිටපත් ඉදිරිපත් කළ පසුත්, මගේ නාට්‍ය ඉදිරිපත් කළ පසුත් ඒ විනිශ්චය මණ්ඩල වලින් අයින් වුනා. මම නිෂ්පාදනය කළා "ඇගමෙම්නොන්" ග්‍රීක නාට්‍යය. ඒක 2005 ලාට්‍රෝබ් විශ්ව විද්‍යාලයේ මෝට් නාට්‍ය උළෙලෙත් ප්‍රදර්ශනය කළා. ඊට පසුව මම කළ නාට්‍යය තමයි "රාසිං දෙයියෝ". ඒ නාට්‍යයෙන් පසුව "ද ගෝඩ් කිං" නාට්‍යය නිෂ්පාදනය කළා. මට ජනාධිපති ශිෂ්‍යත්වයක් ලැබුණා ප්‍රසාංගික කලා අංශයෙන්. දැන් ඕස්ට්‍රේලියාවෙ ජීවත් වෙන්නෙ. අවසානයෙ සඳහන් කරපු නාට්‍යය තුන කළේ ඕස්ට්‍රේලියාවෙදි. නාට්‍ය හා රංග කලාව අංශයෙන් පී.එච්.ඩී එකක් අවසන් කළා. "රාසිං දෙයියෝ" නාට්‍යය පෙළ සහ "මීපැණි පෙදෙස"(පරිවර්තනය) පොත් දෙක රාජ්‍ය සම්මාන සඳහා නිර්දේශ වුණා 2012 දී. 2011 දි මේ පොත් දෙක සහ තාත්තාගෙ කෙටිකතා පොතක් එකට එළිදැක්වූවා. අපි දෙන්නා එක් වෙලා කරපු එක ම කටයුත්ත ඒක තමයි. සාකච්ඡා සටහන සාමන්ත තැන්නගේ  
S A Disanayake by U Gamachchi - kadapatha
12June 2016
blog_shape
සාකච්ඡා සටහන - ප්‍රියංකා කහවණුගොඩ විසිනි (Article by Priyanka Kahawanugoda) සිතුවම - උදය ගමාච්චි විසිනි (Illustration by Udaya Gamachchi) ඔබ හැට හැත්තෑව දශකවල උපන් කෙනෙක් නම් නිසැකවම කුඩා කල මිහිර පත්තරය බලන්නට ඇති. බූ බබා, පුංචිත්තා, බටකොල ආච්චි, තුල්සි යෝධයා, පඬිතුමා වැනි චිත්‍රකතා චරිත සමග ජීවත් වෙන්නටත් ඇති. රූපවාහිනී, ඉන්ටර්නෙට් නොතිබුණ ඒ යුගයේ ළමා අපේ මනස රසවත් කළ මේ අපූරු චරිත නිමැවුණේ එස් ඒ දිසානායක නම් චිත්‍ර ශිල්පියකු අතින් බව ඔබට අමුතුවෙන් සිහිපත් කළ යුතු නොවේ. මෙවර අපේ තාත්තා විශේෂාංගය තුළින් හාපුරා කියා අප සමග තාත්තා ගැන කතා කරන්නේ මෙල්බර්න් නුවර ජීවත්වන එස් ඒ දිසානායකයන්ගේ පුතණුවන්. සිංහලෙන් පැය දෙකක් ගුවන්විදුලි විකාශය හරහා මෙල්බර්න්වාසීන් දැන හඳුනන ඔහු නමින් චරිත දිසානායක. "මගේ තාත්තා එස් ඒ දිසානායක බව මෙල්බර්න් ප්‍රජාව විතරක් නොවේ ලංකාවේ පුවත්පත් කලාවේ යෙදී සිටියදී සමීපව ඇසුරු කළ මගේ මිතුරන් පවා නොදන්නා කාරණයක්. එය මා හිතන්නේ තාත්තා මගෙන් බලාපොරොත්තු වූ දෙයක්. එස් ඒ දිසානායකගේ පුතා නමින් මා බැබලෙනවාට තාත්තා තුළ කිසිම කැමැත්තක් තිබුණේ නෑ. ඒත් චරිත දිසානායකගේ තාත්තා නමින් පෙනී හිටින්න ලැබීම ගැන ඔහු ආඩම්බර වුණා. [caption id="attachment_1215" align="alignnone" width="1892"]CHARITHA DISANAYAKE - kadapatha චරිත දිසානායක[/caption] තාත්තා ගැන මතකය අහුලන්නට ජීවිතයේ දශක ගණනක් ඈතට ඇවිද ගිය මේ පුත්‍රයාගේ මුහුණේ ඇඳී තිබුණේ සොම්නස් සහගත සිනහවක්. කුඩා කල බ්‍රවුන්පේපර් පිට කවර දැමූ පොත්වල තාත්තාගේ හැඩැති අත් අකුරෙන් නම ලියාදුන් විටත් ඔහුගේ මුහුණේ එවැනිම සිනහවක් නැගෙන්නට ඇති. "තාත්තා චිත්‍ර ශිල්පියෙක් වුණු එක කොයි තරම් හොඳයි ද කියල මුලින්ම මට හිතුණෙ අපේ පොත් කවර උඩින් ඔහුගේ ලස්සන අත් අකුරෙන් නම ලියවෙද්දි." එහෙත් බොහෝ දිනවල තාත්තා කළේ එකතැන වාඩිවී චිත්‍ර අඳින එක විතරක්මය. ගුරු වෘත්තියට අමතරව පත්තරවලට චිත්‍ර ඇඳීමෙන් ද තාත්තා ගෙදර වියදමට මුදල් උපයන බව අම්මා කියා දී තිබුණෙන් දරුවෝ ඔහුට කරදර කරන්නට ගියේ නැත. තාත්තා මහ රෑ වනතුරුම චිත්‍ර ඇන්ඳේය. මුලින්ම නවයුගය පත්‍රයටත් අනතුරුව මිහිර පුවත්පතටත් ඔහු චිත්‍ර කතා විශාල ප්‍රමාණයක් ඇන්ඳේය. එහෙත් දරුවන්ට චිත්‍ර ඉගෙන ගන්නට යැයි තාත්තා කීවේ නැත. චිත්‍ර වෙනුවට ගණිතය ඉංග්‍රීසි වැනි විෂයයන් හොඳට ඉගෙන ගැනීමෙන් හොඳ රස්සාවලට යා හැකි යැයි ඔහු විශ්වාස කළේය. හොඳින් ඉගෙන ගන්නට කියා දරුවන් කොළඹ පාසල්වලට යැව්වේත්, ටියුෂන් යැව්වේත් තාත්තා එසේ නොකඩවා දිවා රෑ චිත්‍ර ඇඳ උපයාගත් මුදලිනි. අවිස්සාවේල්ල දෙහිගහපිටියේ උපන් තාත්තාගේ ළමා විය දුෂ්කර කාලයක්. අවුරුදු හතක් වෙද්දි තාත්තාගේ අම්මා මිය ගිහින්. පවුලේ හත් අට දෙනෙක් වූ දරුවන්ට බලා කියා ගන්න කෙනෙක් ඉඳලත් නෑ. සියලූ දේපල විකුණලා සීයාගේ නිල නිවාසයේ දරු පවුලම පදිංචියට යද්දී තාත්තාගේ පාසල් ගමනත් නතර වෙලා. ආපහු පාසලකට ඇතුළත් වුයෙත් හරිහැටි ඉගෙනීමක් නැති වීම නිසා. ඔහු ගුරුවරුන්ගෙන් බොහෝ තාඩන පීඩනවලට ලක් වුණාලූ. කෙසේ හෝ අවුරුදු පහළොව දාසය කාලයේ ඔහු පිටකොටුවේ කඩේක ගණන් ලියන්න යවලා තිබුණා. උදේට පාරේ දිගේ ඉස්කෝලෙ යන ළමයි දැකල තාත්තා තමන්ට මග හැරුණ අධ්‍යාපනය ගැන බොහොම දුක් වුණාලූ. ඔය අතරේ සීයට ආපහු රැකියාව ලැබිලා තාත්තව ආයෙමත් පාසල් යවලා. ඒ වතාවේ තමයි රජයෙන් පැවැත්වූ තරඟ විභාගයකින් සමත්ව ඔහු ගුරුවරයකු ලෙස රැකියාවට බැඳෙන්නේ." බොහෝ ආර්ථීක අපහසුතා මැද ජීවත්වීම සඳහා වෙහෙස මහන්සි වී වැඩ කරන්නට සිදු වුවද තාත්තා කිසිවිටෙක මුදල් පසුපස හඹා ගියේ නැති බවට උදාහරණ ඕනෑ තරම් කියන්නට චරිතට පුළුවන. "අපේ ගෙවල් ළඟ, ඒ කියන්නේ කළුතර උග්ගල්බඩ පැත්තේ අලූතෙන් ඉස්කෝලයක් හැදුවා. ඒ විදුහල්පති තාත්තාගේ යලූවෙක්. පාසලේ බිත්තිවල තාත්තා ලවා චිත්‍ර අන්දවා ගන්න ඔහුට ඕන වුණා. තාත්තා බස් ගාස්තු ගෙවාගෙන මුළු පාසල් නිවාඩු කාලයක්ම වියදම් කරගෙන ඒ පාසලේ බිත්ති පුරාම චිත්‍ර ඇන්දා. ඔහුට දවල් බත අරගන ගියේ මමයි. අපි හිතුවා මේ වෙනුවෙන් අපට කිසියම් දෙයක් ලැඛෙයි කියලා. ඒත් අනේ වැඩේ ඉවර වුණ තැන විදුහල්පති ලිපියක් එවනවා පින්සලයක් සමග "ඔබේ සේවය මිල කළ නොහැක" කියලා. ඒත් තාත්තා ඒ වගේ අවස්ථා සිනා සී අමතක කර දමනවා. පිටරටවල විහාරස්ථාන ගණනාවක් වෙනුවෙන් ලංකාවේ සිටම ඔහු අගනා විශාල බෞද්ධ බිතුසිතුවම් නොමිලයේ ඇඳ දුන්නේය. රටකින් රටකට යා හැකිව තිබූ එවන් අවස්ථාවන් පවා ඔහු නොසලකා හැරිය බව චරිත සිහිපත් කළේය. "තාත්තා ඇතැම් කාටුන් චරිත ගොඩනැගුවේ තමන්ගේ ජීවිතයෙන්මයි. අම්මා මිය ගිය පසු සීයා කැටුව ආ කුඩම්මා නිසා ඔහුගේ ජීවිතය කබලෙන් ළිපට වැටුණු බව විශ්වාස කළ තාත්තා පසු කලෙක සීයාව සහ එම ආච්චීව කාටුන් චරිත බවට පත් කළා. ඔහුගේ චිත්‍රකතාවල නිතරම මෝඩ වැඩ කරන, නිතරම වරදින, කරදරවලට මුහුණ දෙන පඬිතුමා තමයි සීයා. පඬිතුමාගේ පෙණුම සීයාගේ වගේමයි. ඔහුගේ බිරිඳයි තාත්තාගේ කුඩම්මා. ඒත් මට විශ්වාසයි අපේ සීයාවත්, ඒ ආච්චීවත් කවදාවත් තාත්තාගේ පඬිතුමා කතාව බැලූවේ නැති බව." චරිත මහ හඬින් සිනාසෙයි. තාත්තා ගැන මතකය අවදි කරන විට ආපසු සිහිපත් කරන සිනාසෙන්නට හැකි බොහෝ තැන් මේ පුත්‍රයාට සිහිපත් වී ඇති හැඩයි. "ඒ කාලේ චිත්‍රකතා ශිල්පීන්ගේ දරුවොත් චිත්‍ර කතා ඇඳල ජනප්‍රිය වෙන්න පටන් ගත්තා. හරියට ඔය දැන් ගායකයන්ගේ සිංදු එයාලගේ පුතාලා කියන්නා වගේ. මම මෙහෙම අවස්ථාවක් මට නොලැබීම ගැන බොහොම දුකෙන් හිටියේ. තාත්තා නැති දවසක මමයි මේ කතා ටික ඉදිරියට අඳින්නේ කියලා මම හිතුවා. ඒ වෙද්දි මම ඒ ගැන තීරණය කරලයි හිටියේ. ඔය අතරේ අපේ තාත්තා අසනීප වෙනවා. ඒ ගැන මම තරම් සතුටු වූ කෙනෙක් එදා තවත් ඉන්න නැතුව ඇති. ඉතින් මම ඉස්කෝලෙ යන ගමන් ඉස්පිරිතාලෙටත් යනව තාත්තව බලන්න. දැන් ඉතින් හරි. චරිත දිසානායකගේ පුංචිත්තා කියලා කතාවට නම දානවා. ඉතිරි කොටස් මෙහෙමයි වෙන්නේ කියල හිතලත් ඉවරයි. දැන් ඉතින් මගේ අදහස තාත්තට ඉදිරිපත් කරන්නත් එපායෑ. තාත්තාව බලන්න ගිහින් දවසක මම මෙහෙම කිව්වා." "තාත්තේ දැං ඉතිං තාත්තාට සනීප නෑනේ." "ඉතිං" "ඉතිං දැන් පුංචිත්තා අඳින්න බෑනෙ." "ඉතිං" "ඉතිං තමයි. මම අඳින්නම්, පුංචිත්තාව. මම ඒ ගැන හිතල බලල ඉවරයි." "උඹට පිස්සු ද?" එහෙම කියල තාත්තා මට හොඳටම බැන්නා. චිත්‍ර කතා ශිල්පියෙක් වීමේ මගේ සිහිනය එදා කඩා වැටුණා." [caption id="attachment_1214" align="alignnone" width="479"]S A Disanayake by U Gamachchi - kadapatha S A Disanayake by Udaya Gamachchi - kadapatha.com.au[/caption] අවුරුදු 50 ක්ම මිහිරට චිත්‍රකතා ඇන්දත් චරිතගේ තාත්තා කිසි දිනෙක ලේක්හවුසියේ පිළිගැනීමේ කවුන්ටරයෙන් එහාට ගොස් තිබුණේ නැහැ. ඔහු හැමදාමත් කවුන්ටරයට චිත්‍ර කතා ටික බාර දී ආපසු එයි. එහෙත් චරිත පසු කලෙක දිවයිනේ ප්‍රධාන ධාරාවේ පත්තර කන්තෝරු කීපයකම පිළිගැනීමේ කවුන්ටර් පසුකර ඇතුළටම ගියේය. ඒ පුවත්පත් කලාවේදියකු ලෙසිනි. වරෙක චිත්‍ර ශිල්පියෙකු ලෙසිනි. තවත් වරක ඔහු ගුවන්විදුලි ශිල්පියෙකු විය. ඒ ගමන ගැන වැඩිපුරම සතුටු වුණේ තාත්තාය. පත්තර කන්තෝරුවලින් හඳුනාගත් අලූත් තාක‍ෂණය වැඩ පහසු කරන මෙවලම්, නවීන චිත්‍ර අඳින පෑන් වර්ග පසුකලෙක ඔහු තාත්තාට හඳුන්වා දෙනවිට කුඩා දරුවකු සේ ඒ තාක‍ෂණය පුතාගෙන් ඉගෙන ගත්තේ ද ඒ තාත්තාමය. "තාත්තා ඉතාම සාම්ප්‍රදායිකයි. ඔහු එක්වරම අලූත් දැනුම විශ්වාස කරන්නේ නෑ. නැෂනල් එක හැර වෙනත් ඇඳුමක් ඇඳලම නෑ. ඔරලෝසුව අතේ නොබැඳ සාක්කුවේ දාගෙන යනවා. සමහර විට අලූත් දැනුම ලබාගන්නට අලූත් පුද්ගලයන් හඳුනා ගන්නට ඇති අකමැත්ත නිසා ඔහුට පාඩුවක් සිදුවුණා කියල මට හිතෙනවා." ඒ පුතා හිතන හැටිය. ඒත් තාත්තාට මෙෙලොව කිසිවක් මහා අගේ ඇති දේවල් ලෙස පෙනුණේ නැත. වතාවක් ඔහුගේ ළමා පොතකට රාජ්‍ය සාහිත්‍ය සම්මානයක් ලැබුණි¡ තාත්තා එය බ්‍රවුන්පේපර් කවරයක ඔතාගෙන ගෙදර ගෙනාවේය. "ඇයි තාත්තා මේ?" ළමයි ඇසූහ. "මේව මේ හැමෝටම පේන්න බස්වල අරන් එන්න ලැජ්ජ නැද්ද ළමයිනේ? මම ගෙදරින් යනකොටම බ්‍රවුන් පේපර් කවරයක් සාක්කුවක දාගෙනයි ගියේ." "ඒත් තාත්තේ මේක රාජ්‍ය සම්මානයක්" "මට ඔය කෙහෙල්මලෙන් ඇති වැඩක් නෑ. මගේ නිර්මාණ බලලා ඔයගොල්ල සතුටු වෙනව නම් එච්චරයි." ඔහුගේ මේ සරළ බව දරුවන්ගේ ගෞරවයට පාත්‍ර විය. එසේම දරුවන්ට තම ජීවිතවල තීරණ ගැනීමට නිදහස දීමේ පුරුද්දක් ද තාත්තාට තිබුණි. ඒ ඇතැම් තීරණවලට එකඟ නොවුන ද ඔහු දරුවන් වෙනුවෙන් ඒවා ඉවසා සිටියේය. දැඩි සේ ප්‍රතිපත්තිගරුක වුව ද තාත්තා තම ප්‍රතිපත්තිවලට අනුව දරුවෝ ජීවත්විය යුතු යැයි සිතුවේ නැත. ඔහු තරම් දරුවන්ට ආදරය කරන තාත්තෙක් නැතැයි චරිත කියන්නේ ඒ නිසා විය යුතුය. "තාත්තා සහ අපි අතර මත ගැටුම් තියෙන බව ඇත්ත. ඒත් නංගි කසාද බැඳලත් තවම එයා වැඩට යද්දි තාත්තා නැවිල සාරිය හදන්න ඕන. ඒ දෙන්නා අතර තියෙන බැඳීම පුදුමාකාරයි." කැඩපතෙහි පළවන මෙම ලිපිය සඳහා තමන් විසින් නිර්මාණය කළ චරිත කීපයක චිත්‍ර සටහන් එවන ලෙස අප එස් ඒ දිසානායකයන්ගෙන් ඉල්ලා සිටියෙමු. අප බලාපොරොත්තු වූයේ පැරණි කාටුන් චිත්‍ර කීපයක ඡායා පිටපත් පමණි. එහෙත් එතුමන් කැඩපත වෙනුවෙන්ම අලූතෙන්ම කාටුන් චිත්‍ර ඇඳ චරිතවල නම් ද ලියා එව්වේය. S. A. Disanayake's charactors "ඒ තමා තාත්තගේ හැටි. පුංචිම දෙයක් වුණත් ගසා බසා දාන්නේ නෑ. හරියට කරනවා. වැඩක් කරන්න ගත්තාම ඔහුට ලොකු පොඩි භේදයක් නෑ. කොයි තරමේ වැඩක් වුණත් හරියට කරන්නයි හිතන්නේ. තාත්තා හරියට දිය පිරුණු කලයක් වගෙයි. කිසිම දේකින් සැලෙන්නෙත් නෑ. ලාභ අලාභ, නින්දා ප්‍රශංසා හැම දේම නිහඬව ඉවසනවා." සැබවින්ම මේ පුතුගේ සිත තුළ තාත්තා යෝධයෙකි. පියෙකු ලෙස තම පුතුගේ සිත තුළ පමණක් නොව හැට හැත්තෑව දශකයේ දරුවන් වූ අප දහස් ගණනකගේ සිත් තුළ අදටත් ඔහු යෝධයෙකි. අප්‍රමාණ මිනිසෙකි. අපි එතුමාට දීර්ඝායුෂ පතමු !  
seprator
shape
Copyright © Kadapatha 2018. All rights reserved. Solution by saamArt