seprator

“නිහඬතාවය” – එයයි බලවත්ම නාදය… ඉඩ සාදා දීමේ ආමන්ත්‍රණය…

seprator
Andrew Garfield and Yôsuke Kubozuka in Silence
08June 2018
blog_shape

අඛිල රන්සිරි මලලගේ විසිනි (by Akhila Ransiri Malalage)

"සුරුවම්, සැරසිලි, යාතිකා, ගීතිකා කිසිවක් නැතිවත් ආගම පවතින බව, ඔබට එහි පැවතිය හැකි බව ඔබ සහතික ලෙසම දන්නවාද?" "ආගම ඇත්තේ හිතෙයි" එය පොඩි දරුවෙකු වුණත් කියයි. නමුත් ඒ කීම කීමක්ම පමණයි. ආගම යන අකුරු තුන මුල්ව අද අපි අසන දකින විඳින දෑ අනුව ඉහත කියමන් බඩ කට පිරුණු කළ දෙතොල් අතරට එන වදන් පමණක්ම බව කොතෙකුත් පෙනෙන්නට තිඛෙනවා. විසි එක්වැනි සියවසත් පසුකළ ශිෂ්ටාචාරයකින් ඉහත ප්‍රශ්නය තවමත් නැගීමට සිදුව තිබීම ඛේදවාචකයක් මෙන්ම සරදමක්. [caption id="attachment_3158" align="aligncenter" width="300"] අඛිල රන්සිරි මලලගේ[/caption] ලෝක ඉතිහාසය පුරාම මිනිසුන් හට, ජීවිත, ප්‍රියයන්, උන් හිටිතැන් අහිමි කළ නින්දිත හිරිහැර ආගම් වල නාමයෙන් සිදුවුණා. ඒවායින් මිනිස්සු ඉගෙන ගත්තා. විද්‍යාව දරන්නන් නොවේ විද්‍යාව අදහන්නන්ද බිහිවුනා. ආගමත් එසේමයි. අත්තනෝමතික විද්‍යාව, උමතුවූ ආගම, නොමේරූ දර්ශනය, නරුම නිරාගමිකත්වයද මෙහි වෙනත් පැති ය. නිහඬතාවය - එයයි බලවත්ම නාදය... ඉඩ සාදා දීමේ ආමන්ත්‍රණය... සිනමා ප්‍රතිභාවෙනුත් හොලිවුඩ් ප්‍රභාවෙනුත් අගතැන්පත් සිනමාකාර මාර්ටින් ස්කෝර්සේසි (Martin Scorsese) ගේ 2016 වසරේ දී තිරගත වූ සයිලන්ස් (Silence) චිත්‍රපටයෙන් දිගහැරෙන්නේ ආදී ටොකුගාවා ජපානය කිතුදහමෙන් අස්වද්දන්ට දිවි කැපකළ රෝමානු කතෝලික ජේසු නිකායික පූජකයන් වහන්සේලාගේ සත්‍ය වෘතාන්තයයි. මේ සිනමා කෘතියට පාදකවන්නේ ජපාන ජාතික ලේඛක ෂූසකු එන්දෝ විසින් රචිත චින්මොකු නැමති නවකතාවයි. කිතු දහම ජපාන භූමියට පා තබන්නේ කි.ව. 1549 දී. ඒ ජේසුනිකායික ධර්ම දූත, ශාන්ත ෆ්‍රැන්සිස් එක්සේවියර් තුමාණන්ගේ ආගමනයත් සමගයි. ඒ සමග නැගුනු කිතුනු පුනරුදයත් සමග ජපාන යුද්ධාධිපතීන් සය දෙනෙකු ඇතුළුව ඔවුන්ගේ අනුචර ප්‍රජාවගෙන් ලක්‍ෂයක් කිතු දහම වැළඳ ගත්තා. දහ හත්වැනි සියවස වනවිට ජපානය තුළ කිතු දහම තව තවත් විසිරි පැතිර යත්දී, එකල ජපානයේ බලය දරන ලද ටොකුගාවා ෂෝගන් පාලනය විසින් කිතු දහම ඇදහීම තහනම් කර දැමුවා. මිෂනාරී වරුන්ව රටින් පිටමන් කර දැමුවා. නමුත් පිරිසක් හොර රහසේ සිය කිතුනු වතාවත් වල යෙදුණා. 1637 දී අධිපතීන් වෙත බැඳී නොමැති සමුරායිවරු, එනම් රෝනින්වරු සහ තිස් හත්දහසක් ගොවි ජනයා එක්ව ටොකුගාවා පාලනයේ කිතුනු මර්දනයට එරෙහිව නැගී සිටියා. එය ශිමබාරා කැරැල්ල ලෙස හඳුන්වනවා. කැරැල්ල පරාජයට පත්වුණා. තුන් ලක්‍ෂයක් ජපාන කිතුනුවන් හට සිය ඇදහීම අත්හරින්නට බලකෙරුණා. ජේසුන් ගේ සහ ශුද්ධ වූ ත්‍රිත්වයේ රුව අඹන ලද පුවරු පාගා, ඒවාට කෙළ ගසා ආගම අත්හරින්ට බල කර සිටියදීත් එයට නොනැමුණු තවත් තුන් දහසක් කෲර ලෙස මරා දැමුණා. සයිලන්ස් චිත්‍රපටයේ පෙළ දිග හැරෙන්නේ මෙවැනි කාලයක් පසුබිම් කරගෙනයි. පෘතුගීසි ජාතික ක්‍රිස්ටාවෝ ෆිරෙයිරා පියතුමා (ලියම් නීසන් නිරූපණය කරන) නාගසාකියේ ධර්මප්‍රචාරයෙහි නියැලී සිටි කිතු දහමේ පුරෝගාමියෙක්. කලක් ගතවද්දී ධර්මදූතයන් පුහුණු කරන මැකාඕ හි ශාන්ත පෝල් විද්‍යායතනයේ ප්‍රචාරය වන ආන්දෝලනාත්මක පුවත නම් ක්‍රිස්ටාවෝ පියතුමා ආගම අතහැර ඇති බවයි. ධර්ම විද්‍යාලයේ සිටින ඔහුගේ ශිෂ්‍යයන් වන සෙබස්තියෝ රොද්රීගස් පියතුමාට (ඇන්ඩෘ ගාර්ෆීල්ඩ් නිරූපණය කරන) සහ ෆ්‍රැන්සිස්කෝ ගරූපෙ පියතුමාට (ඇඩම් ඩ්‍රයිවර් නිරූපණය කරන) එය ඇදහිය නොහැකි පුවතක්. මේ පුවතේ ඇත්ත නැත්ත සොයා දැනගැනීමේ අටියෙන් යුතුව, නැත්ත බව තහවුරු කරගැනීමේ පැතුමින් යුතුව තරුණ පියතුමන්ලා දෙදෙනා නාගසාකිය බලා පිටත් වනවා. 1989 වසරේ දී සයිලන්ස් අධ්‍යක්‍ෂ මාර්ටින් ස්කෝර්සේසි හට, ඔහු කට පුරා "සෙන්සේ" යැයි කියන සිය පරමාදර්ශී සිනමා ප්‍රතිරූපය, අකිරා කුරොසාවාගෙ ඩ්‍රීම්ස් (Dreams) චිත්‍රපටයේ, චිත්‍ර ශිල්පී වින්සන්ට් වැන්ගෝ ගේ චරිතයට පණ දෙන්න ඇරයුම් ලැබුණා. ඒ වෙනුවෙන් ජපානය බලා ගිය ගමනේ දී ස්කෝර්සේසි ගුවන් තොටුපල සහ හෝටල අතර මග ගෙවන්නට සිදුවන කාලය වැය කළේ චින්මොකු නවකතාව කියවන්නයි. ස්කෝර්සේසි ආත්ම තෘප්තිය උදෙසා කරන නිර්මාණයක් හැටිය චින්මොකු නවකතාව සිනමාවට නගන්න තීරණය කළා. සයිලන්ස් චිත්‍රපටය සිනමා තිරයට පැමිණියේ 2016 වසරේ වුවත් ඔහු මුලින්ම ඒ වෙනුවෙන් වැඩ කටයුතු ඇරඹුවේ 1990 තරම් ඈත කාලයකයි. එවකට ඔහු සිය සිනමා ජීවිතයේ වඩාත්ම ආන්දෝලනාත්මක නිර්මාණය එනම්, කුරුස ගසෙන් බැස ගිය යේසුස් ක්‍රිස්තූන්ගේ කතාව රැගත් "ද ලාස්ට් ටෙම්ටේෂන් ඔෆ් ක්‍රයිස්ට්" (The Last Temptation of Christ) නිම කර, දැඩි මතධාරී කිතුනුවන්ගේ තර්ජන ගර්ජන අවලාද වලට ලක්ව සිටි කාලයයි. හොලිවුඩ් සිනමා ලෝකයේ ස්කෝර්සේසි සිනමා ගමන්මග තුළ වෙන්ව හඳුනා ගන්නා ආගමිකත්වය වටා ගොඩ නැගුණු සිනමා පට ත්‍රිත්වයක් වනවා. ඒ ඉහත කී ද ලාස්ටෙම්ටේෂන් ඔෆ් ද ක්‍රයිස්ට් (1988), 14 වැනි දලායි ලාමා වහන්සේගේ ජීවන වෘතාන්තය රැගත් කුන්දුන් (Kundun - 1997) සහ අප මෙහි කතාවට ගනිමින් සිටින සයිලන්ස් යන චිත්‍රපටයයි. සයිලන්ස් චිත්‍රපටයේ වැඩ කටයුතු වසර 26 ක් තිස්සේ පමාකරන ලද්දේ ඇයි දැයි ප්‍රශ්න නැගෙද්දී, කාලය සමග වයසින් තවත් පරිණත වත්දී ඒ ගැන එන යන එන යන අදහස් තමන්ට වඩා වැදගත් බව කියා සිටියා. …ඉතින් ක්‍රිස්ටාවෝ පියනම සොයා ජපානයට යන තරුණ පියතුමන්ලා දෙපලට මග පෙන්වන්නෙකු මුණ ගැසෙනවා. ඔහු කිචිජිරෝ නාගසාකියේ ආගමික භීෂණයෙන් පළා ආ මසුන් මරන්නෙක්. පූර්ණ කාලින බේබද්දෙක්. කිචිජිරෝ සමග නාගසාකියේ ටොමොගි නම් ගම්මානයට පිවිසෙන පියතුමන්ලා දෙපළ එහි දිවි පරදුවට තබා ආගමික ලබ්ධිය අත් නොහැර සිටින ජපාන කිතුනුවන්ට දෙව්ලොවෙන් ලද ආශීර්වාදයක් බඳුයි. පියතුමන්ලා ඔවුනට වස්තුවක්. ඛෙදාගත නොහැකි වස්තුවක්. ජපාන තෙත් බිම් හි එදිනදො ජීවත් වීමේ කටුක ගමන කුරුසියත් සිය කර මත තබාගෙනම යන්න මේ ගැමියන් එකඟවී ඇත්තේ සතුටින්. මිනිසා වෙනුවෙන් ආගම පවතිනවාද? මිනිසා ආගම වෙනුවෙන් පවතිනවාද? ස්කෝර්සේසිගේ සයිලන්ස් චින්මොකු නවකතාව පාදක කරගත් දෙවැනි සිනමා කෘති අතරින් දෙවැන්නයි. 1971 වසරේදී එම නවකතාව හැටේ දශකයේ ජපාන නවරැල්ලේ ප්‍රමුඛ සිනමා කරුවෙකු වූ සමහිරෝ ෂිනෝදා අතින් සිනමාවට නැගී තිඛෙනවා. ස්කෝර්සේසි සයිලන්ස් චිත්‍රපටය වෙනුවෙන් පෙළ ලිවීම අරඹන්නේ 1991 තරම් ඈත කාලයකදී නමුත් පසු කලෙක තම චිත්‍රපට දෙකක්ම හොඳම අනුවර්තිත තිර පිටපත වෙනුවෙන් ලබන සම්මාන අතරට ගෙන ගිය තිර රචක ජේජ් කොක්ස් ව ස්කෝර්සේසි ඒ සඳහා හවුල් කරගත්තා. පුරා වසර 15 ක කාලයක් ඔවුන් එය යළි ලිවීම් වලට භාජනය කළා. පසුව එන්දෝ ගේ නවකතාව ඉංග්‍රිසියට පරිවර්තනය කළ, ජපාන සාහිත්‍ය පිළිබඳ මහාචාර්ය වරයෙකු වූ වෑන් සී. ගැසෙල් ගේ විශේෂඥ දායකත්වයද ඔවුන් ඒ වෙනුවෙන් ලබාගත්තා. එසේ ගොඩ නැගුණු තිර පිටපත අනුව සැකසුනු සයිලන්ස්, ෂූසකු එන්දෝ ගේ නව කතාව නිවැරදිව පිළිබිඹු කරන්නක් වූ බවයි බොහෝ විචාරකයන්ගේ අදහස වූයේ. සිනමා පටය පුරාවටම වඩාත් සංකීර්ණව ක්‍රියාකාරි වන චරිතය ලෙස අප දකින්නේ කිචිජිරෝ ගේ චරිතයයි. මිනිසුන් සඳහා උපන් ආගම රැකෙද්දී මිනිසුන් ඒ වෙනුවෙන් වැනසීයාම යන ප්‍රශ්නය සමග ඔහු නොදැන ගැටෙනවා. ශින්මෝකු හි කතාන්තරය එක් දෙබසකින්, එක් රූප රාමුවකින් ආගමක් තවත් ආගමකට නැගිටීමට නොඉඩදීම ලෙස වෙස් ගන්වන්න පුළුවන්. නමුත් ස්කොර්සේසි අතිශය ප්‍රවේශම් සහගත ලෙස කිසි ප්‍රේක්‍ෂකයෙකුට සිය ආගමික මතවාදය මත සිතින් අගතියට පත්වන්න හෝ සිතින් අසාධාරණයට ලක්වන්න හෝ ඉඩ තබන්නේ නැහැ. තිරය මත එය මුළුමනින්ම ගෙන හැර දක්වන්නේ මිනිසුන්ට තමන් කැමති ආගමික විශ්වාසයක් දැරීමේ අයිතිය අහිමි කරවීමේ දුෂ්ටත්වයයි. ඒ, ප්‍රේක්‍ෂකයා ගේ චිත්ත සන්තානයේ පතුලක ආගම කුමක් සඳහාද? ආගම මිනිසුන්ට කළ යුත්තේ නොකළ යුත්තේ කුමක්ද? යන ප්‍රශ්නකාරී බීජ නොවැනසෙන ලෙස තැන්පත් කර දමන අතරයි. සයිලන්ස් චිත්‍රපටය නැරඹීමේ අත්දැකීම ඒ පිළිබඳ කියවීමෙන් ගන්නට බැහැ. චිත්‍රපටයේ පසුබිම ගැන විනා පෙළෙහි එන සිද්ධි ලියා දැමීම එහි අත්දැකීම විනාශ කිරීමක් විය හැකියි. ඉතින් එදා ජපානයේ ලියලා වැඩීමට යාමෙන් හෙම්බත්වූ සමස්ත කිතු දහම වෙනුවෙන් සෙබස්තියෝ රොද්රීගස් පිය නමට එක් කියුමක් අසන්නට සැලසෙනවා. "ජපානය වගුරක්. පිටතින් එන කිසිවකට එහි මුල් අදින්නට බැහැ." ඩොලර් මිලියන 50 වියදමින් නිපදවන ලද සයිලන්ස් ඉපයූවේ ඩොලර් මිලියන 23.7 ක් පමණයි. සීමිත සිනමා ශාලා ගණනක ප්‍රදර්ශනය වීම, විනෝදාත්මක චිත්‍රපට පෙළක්ම සමග තරඟ කරන්නට සිදුවීම ආදී බොහෝ තැන් ගෙන හැර පානා බොහෝ හේතු සාධක අතරේ හොලිවුඩ් රිපෝටර් සඟරාව දක්වන හේතුව නම්, "අදාල වස්තු විෂය පිළිබඳව ප්‍රේක්‍ෂක උනන්දුව හීනවීම" යි. නමුත් විචාරකයන් එය ස්කෝර්සේසිගේ හොඳම සිනමා නිර්මාණ අතරෙහි තබන්නට කිසිසේත් මැළිවන්නේ නැහැ. අසූ නම වෙනි ඔස්කාර් සිනමා සම්මාන උළෙලේදී හොඳම සිනමාකරණය ලෙස සම්මාන ලබන්නේ සයිලන්ස් චිත්‍රපටයයි. එකල්හි "ඉවත දමන දඬුව වුවද දළුලා යළි පැලවේ" කියමින් පසසන්නට අපව හුරු කරවූ, දැන්වත්දී, සැනසීම සඳහා වනවාද, වැනසීම සඳහා වනවාද යැයි නොදන්නා නොහැඟෙන ඇදහීම් වනාන්තරයක සිටිමින් සයිලන්ස් නරඹත්දී "ජපානය වගුරක්. පිටතින් එන කිසිවකට එහි මුල් අදින්නට බැහැ." යන වැකිය අප තුළ ජනිත කරන්නේ උත්ප්‍රාසයක්. පසුකාලීනව කිසිවක් නොපැළවෙන වගුරු බිම දියුණු වුණා. ඉවත දමන දඬුව වුවද දළුලා යළි පැලවෙන භූමියේ සැබැවින්ම අනේකවිධ තැන් වලින් ඉවත දමන, සොරාගෙන එන, ඔහේ ඇද වැටෙනා ආදී නානාවිධ දඬු කැබලි පැළවුණා. ඇතැම් විටෙක මෙය කියවමින් සිටින ඔබගේ පා සටහන දරා සිටින්න සුරක්‍ෂිතව ඉඩක් ඉතිරි කරගන්නට පවා ඒ භූමිය අපොහොසත්වුණා. රොජර් ඊබර්ට් (RogerEbert.com) සිනමා විචාර වෙබ් අඩවියේ විචාරක මැට් සෝලර් සෙයිට්ස් (Matt Zoller Seitz) සයිලස් චිත්‍රපටය ගැන සඳහන් කරන්නේ මෙසේ ය. "සයිලන්ස් සංධිස්ථානමය සිනමා කෘතියක්. පොඹවන සුලූ‍ එකක්. ඥානාවබෝධය පිළිබඳව කිසි පොරොන්දුවක් නොකියාම ඔබව නිරය තුළට ඇද දමන එය නිකන්ම නිකන් ප්‍රශ්න සහ ප්‍රස්තුතයන් මාලාවක්, අත්දැකීම් සහ සංවේදන සමුදායක්... සයිලන්ස් හොඳයි හෝ නරකයි හෝ කිවහැකි චිත්‍රපටයක් නොවෙයි, එය අත්විඳ ජීවත් විය යුතු චිත්‍රපටයක්." උමතු ආගම, අත්තනෝමතික විද්‍යාව, නොමේරූ දර්ශනය, නරුම නිරාගමිකත්වය... මේ කිසිවක් ඔබට නිහඬතාවයේ නාදයට කන් දීමට ඉඩක් දෙන්නේ නැහැ.
08June 2018
blog_shape

කැඩපත ලේඛක අඛිල රන්සිරි මලලගේ තරැණ මහතාගේ හදිසියේ අභාවප්‍රාප්ත වූ බව අතිශය සංවේගයෙන් දැනුම් දෙමු. එම මහතා පුරා වසර තුනක් පමණ කැඩපතට ලියූ විවිධ ලිපි තුළින් ඕස්ට්‍රේලියානු සිංහල පාඨකයන් අතර ප්‍රසාදයක් දිනාගත්තේ . බටහිර සිනමා කෘති සම්බන්ධව ඔහු ලියූ විචාරයන් බෙහෙවින් ජනප්‍රිය විය. කැඩපත මාසික සඟරාව වෙනුවෙන් ඔහු අවසන් වරට “The Silence” චිත්‍රපටිය ගැන ඔහු ලියූ විචාරය වයසට වඩා ඔහුගේ පරිණත බව විදහා පෙන්වන කැඩපතක් වන්න. අපි අපේ සහෘද අඛිල රන්සිරි මලලගේ මහතාට නිවන් සුව ප්‍රාර්ථනා කරමු.

28May 2018
blog_shape
ප්‍රියානන්ද විජෙසුන්දර විසිනි (by Priyananda Wijesundara) දකුණු පයාගල මා උපන් ගමේ මගේ නිවසට තුන් මාසෙකට විතර දවසක් සිකුරාදා දිනක ජීප් රථයක් එනවා. මේ ජීප් රථයේ සෞඛ්‍ය දෙපාර්තමේන්තුව යනුවෙන් දොර දෙකේම ලියලා තියනවා. මගේ නැන්දාගේ සැමියා සෞඛ්‍ය පරීක‍ෂකයෙකු වීම මේ ජීප් රථය අපේ නිවසට ඒමට හේතුවක් වේ. මේ ජීප් රථය දැකීමත් එදා මට එක්තරා ආකාරයක සතුටක්. ජීප් රථයේ රියදුරු මහතා එදා රාත්‍රිය ගත කරන්නේ අපේ නිවසේ ඉදිරි කාමරයේ. සෙනසුරාදා උදේ පාන්දරින්ම මේ රියදුරු මහතා අවදි වෙනවාත් එක්කම මටත් ඉබේම ඇහැරෙනවා. පිටුපස ළිඳ ළඟට ගිහින් මුහුණ කට සෝදා ගන්නා රියදුරු මහතා ඊළඟට කරන්නේ ජීප් රථය ළඟට ගිහින් ඒකේ තිඛෙන පුංචි ලවුඩ්ස්පීකර දෙකක් වහලයේ ගැට ගසන එක. ඒකෙන් එන වයර් පොටවල් පිටුපස ආසන කොටසේ තිඛෙන මොකක් දෝ යන්ත්‍රයකට සවිකරනවා. මුලින්ම ඇම්ප්ලියර් කියන වචනය මම අහගත්තේ මේ රියදුරු මහතා ගෙන්. "ජෝන් අයියේ උදේට කාලා තේ බීලා උන්නා නං හොඳයි." ඒ මාමාගේ ඉල්ලීම. "මේක බලලම එන්නං" ජෝන් අයියාගේ උත්තරය. ඔක්කෝම පිළිවෙළට එක්කාසු කළාට පස්සේ මයික්‍රෆෝනය අරගෙන දෙපාරක් තුන්පාරක් ඒකට පිඹලා ටොක් ටොක් ගාලා තට්ටු කරනවා. තවත් මල්ලිලා - නංගිලා මේ මහ ගෙදර උන්නත් මේ මැජික් එක මට තරම් ඒ අයට ගානක් තිබුණෙ නෑ. මමත් උදේට කාලා තේ බොන්නේ ජෝන් මාමා එක්ක. ඊට පස්සෙ ජෝන් මාමා එක්කම ජීප් එකේ නැගිලා ගම වටේ යනවා. "සවන් දෙන්න, සවන් දෙන්න.... අද හවස හයට පයාගල පල්ලිය වත්තේදී මහා චිත්තර පටි දර්ශනය. ටාසන්ගේ වික්‍රම. ටිං ටිං ගේ හපන්කම් සමග අධ්‍යාපන දර්ශනය." ජෝන් අයියාගේ ගොරහැඩි කට හඬ වහලයේ සවිකරලා තියන පුංචි ලවුඩ්ස්පීකර දෙකෙන් මුළු ගමටම ඇහෙනව. ජීප් රථය වටේ එල්ලීගෙන කොල්ලෝ කුරුට්ටෝ හරිම කලබලේ. ජෝන් අයියා ඛෙදන විස්තර කොල අරගන්නට. මේ කොල්ලෝ කුරුට්ටෝ අතර නිතර දෙවේලේ සෙල්ලම් කරන මගේ මිතුරන් උන්නත් අද මම ඒ අයව ගණන් ගන්නේ නෑ. මොකද ජීප් රියේ ඉදිරි අසුනේ මම වාඩිවෙලා. ජෝන් මාමා කතාව අවසන් කළාම මයික්‍රපෝනය දෙන්නේ මගේ අතට. මේකම මදෑ මට ආඩම්බර වෙන්න. (අද නම් මට ලැජ්ජයි) ගම වටේ ගම ඇතුලෙ කඩ මණ්ඩිවල විස්තර නිවේදනය කරලා ආපසු මහ ගෙදරට එන්නේ හැන්දෑවේ දෙකට තුනට විතර. දැන් ඉතින් ඉක්මනටම ලෑස්ති වෙන්න ඕනේ චිත්තර පටිය බලන්න යන්න. ඔක්කෝටම කලින් නාලා, ටැල්කම් පුයර දාලා, පොල්තෙල් ගාලා ඔළුව පීරලා මම ලෑස්තියි ජෝන් මාමා එක්ක පල්ලිය වත්තට යන්නට. ගෙදර අනිත් කට්ටිය එන්නේ හවසට. මට හුඟාක් වැඩ තියෙනවා ජෝන් මාමා එක්ක කරන්නට. පල්ලිය වත්තේ පොල්ගස් දෙකක සුදු තිරය අදින්නට ගමේ තරුණයන් කීප දෙනෙකු ජෝන් මාමාට උදව් වෙනවා. ජීප් එකෙන්ම ගන්නා මේස කෑල්ලක මි. මී. 08 ප්‍රොජෙක්ටර් එක තියලා පටිය දාලා කරකවලා බලනකල් මට ඉවසිල්ලක් නෑ. ඒකට ඉතින් ඇඳිරි වැටෙන කල් ඉන්නට ඕනේ. සද්දේ පිටවෙන්නේ ජීප් එක උඩ උදේම සවිකළ පුංචි ලවුඩ්ස් පීකර දෙකෙන්. ජෝන් මාමා මේසය වටේ ලණුවක් අදිනවා. මේ ලණුව ඇතුළට කාටවත් එන්න දෙන්නේ නෑ. හැබැයි මම ලණුව ඇතුලේ. කලූවර වැටෙනකොට ඉස්පාසුවක් නෑ. පල්ලිය වත්තේ සෙනග පිරිලා. මගේ සෙල්ලම් යාළුවෝ එක්ක මහ ගෙදර නංගිලා මල්ලිලා ඉස්සරහින්ම වාඩිවෙලා. ඇඳිරි වැටීගෙන එනකොට ජෝන් මාමා ජෙනරේටරය පන ගන්වනවා. ඒ කාලේ ගමට විදුලි බලය තිබුණෙ නෑ. ටික වේලාවකින් මාමා ඇවිත් ගමේ අයට පුංචි කතාවක් පවත්වනවා. ඊට පස්සේ ඔන්න ජෝන් මාමා ප්‍රොජෙක්ටරය ක්‍රියාත්මක කරනවා. මුලින්ම කාටුන්. ඊට පස්සේ ටාසන් අන්තිමට සෞඛ්‍ය අධ්‍යාපනය පිළිබඳව කොහෙන්දෝ රටකින් ලැබුණු චිත්තර පටියක්. ඇත්තටම මම එදා මේ එක චිත්තර පටියක්වත් බැලූවේ නෑ. මම බලාගෙන හිටියේ ප්‍රොජෙක්ටර් එක වැඩ කරන හැටි. තවත් දවසක අපේ ගමට කෝටාල් වෑන් එක එනවා. කෝටාල් කිව්වේ වේදනා නාශක ඛෙහෙත් පෙත්තක්. කෝටාල් වෑන් එකේ චිත්තර පටි පෙන්නකොට නම් මමත් වාඩි වුණා ඉස්සරහම බිම. මොකද කෝටාල් වෑන් එකේ මම දන්න අඳුනන අය නෑ. මේ කාලයේම කෙයාර් නම් සංවිධානයකින් ගමේ අපිට නොමිලයේ කිරි දුන්නා. කිරි ඛෙදීම බාරදීලා තිබුණේ ගමේ කාන්තාවකටයි. උදේම නැගිටලා පිරිසිදු භාජනයක් අරගෙන කිරි ගේන්න යන්නේ ගෙදර වැඩි හිටියෙක්. ගමේ බොහෝ දෙනෙකු තම දරුවන් සමගම මේ නිවසට එනවා. කිරි ඛෙදා දුන්නු ගමන්ම තම දරුවන් අත තියන බඳුන්වලට වත් කරලා ඒ දරුවන්ට බොන්නට දෙනවා. ඒත් අපේ ගෙදර අය අපිට බොන්නට දුන්නේ කිරි උණු කරලා. ගමේ බල්ලන් ඇතිකළ නිවෙස්වල අය මේ කිරි බල්ලන්ට බොන්නට දෙනවා කියන ආරංචිය උඩ අඩු ආදායම් ලබන පවුල්වලට පමණක් කිරි ඛෙදාදීම සිදුවීමත් එක්ක අපේ නිවසට කිරි ලැබුණේ නෑ. මහ ගෙදර වැඩිහිටියන් හැම කෙනෙකුම රජයේ රැකියාවල් කිරීම හේතුවක් උනා. ඊට පස්සේ කාලයක ඉස්කෝලේ බනිස් හා කිරි ඛෙදාදීම පටන් ගත්තා. මේ කාලයේ මම කලූතර තිස්ස මධ්‍ය මහා විද්‍යාලයේ උගෙනීම කළා. නාම ලේඛනයේ තීරු දෙකක නම් ලකුණු කරනවා. එක තීරුවක් නිල් පාට පෑනකින්. අනිත් තීරුව රතුපාට පෑනකින්. නිල්පාට පෑනෙන් පැමිණීම ලකුණු කළ අතර රතුපාට පෑනෙන් බනිස් හා කිරි අවශ්‍ය අය ලකුණු කෙරුණා. හැබැයි කිසිම කෙනෙකු බනිස් - කිරි එපා කීවේ නෑ. කාබන් පෑන් නොතිබුණු මේ කාලයේ ගුරුතුමා හෝ ගුරුතුමිය තීන්ත පෑන්වලින් මේ ලකුණු කිරීම සිදුකරළා තීන්ත පොඟන කඩදාසියෙන් තීන්ත පොඟවනවා. හැම ශිෂ්‍යයෙකුටම හා ශිෂ්‍යාවකටම ඛෙලෙක් කෝප්පයක් තිබුණා. පන්තියේ ළමයින් කීප දෙනෙකු විවේක කාලයට කලින් කිරි හා බනිස් ඛෙදන තැනට ගිහින් පන්තියේ ළමුන් ප්‍රමාණයට බනිස් හා කිරි අරගෙන එනවා. විවේක කාලයේ සීනුව නාද වන්නට විනාඩි 05 කට කලින් පේලි හැදිලා බනිස් ගෙඩියක් හා කිරි කෝප්පයක් අරගෙන යනවා. පහුවෙනකොට කිරි නැතිව බනිස් විතරක් ලැබුණා. පුංචි අපි නම් එදා බනිස් කාලා කිරි බිව්වා. ඒත් ඉහළ පන්තිවල ළමයි මේ බනිස්වලින් බෝල ගැහුවා. මේ කාලය වනවිට ගම අතහැරලා පිළියන්දල පදිංචියට ඇවිත් පිළියන්දල මධ්‍ය මහා විද්‍යාලයට යන කාලෙත් අපිට බනිස් ලැබුණා. ඒ වනවිට අට වෙනි පන්තියේ උන්නු අපි කළෙත් බනිස්වලින් බෝල ගහපු එකයි. මේ බෝල ගැහිල්ල හරියටම කෙරුනේ වැසි දිනවල දී. වතුරෙන් පොඟවා ගන්නා බනිස් පන්තියේ ඒ මේ අත යන්නේ විදුලි වේගෙන්. වතුරෙන් පෙඟ වූ බනිස් පහර වැදුනොත් හොඳටම රිදෙනවා. වියලි බනිස් බෝල වගේ නෙමෙයි. විවේක කාලය ආසන්න බව අපට දැනෙන හේතු දෙකක් තිබුණා. පළමු වැන්න බනිස්වල සුවඳ. දෙවැන්න පන්ති කාමර ළඟට හරියටම වෙලාවට එන බල්ලන් හා බළලූන්. සීනුව ගහන වෙලාව හරියටම දන්නේ මේ සතුන්. මුලින් පන්ති කාමරවලට ඈතින් බලා ඉන්නා උන්, සීනුව වදින්න ළං වෙනකොට පන්තියේ දොර ළඟටම ඇවිත්. පාසල් දරුවන්ට සරම්ප එන්නත දුන්නෙත් මේ කාලෙමයි. මහජන සෞඛ්‍ය පරීක‍ෂකවරයා සමග හෙදියන් කීප දෙනෙකු පාසලට එනවා. ස්ප්‍රීතු ලාම්පුවකින් රත්කර ගන්නා පුංචි තුඩකින් අතේ සම තුවාල කොට ටියුබයකින් ගන්නා සුදු පැහැති දියරයක් මේ තුවාලය මත අතුරනවා. කොහොම උනත් ඊට පසුදා පන්තිවල සිසු සිසුවියන් අඩුයි. මේ තුවාල කළ තැන්වල පුංචි බිබිලි මතුවෙනවා. සිරුරෙ උෂ්ණත්වය ඉහළ යනවා. වැඩිහිටියන් අප දැනුවත් කළේ සරම්ප රෝගය ඉතා සුළුවෙන් අපට වැළෙඳන බවත්, එයින්ම සිරුරේ ප්‍රතිශක්තියක් ඇතිවී මහා පරිමාණයෙන් සරම්ප වැළඳීම සිදු නොවන බවත්. කොහොම උනත් වසූරිය නම් භයානක රෝගය මේ ක්‍රමයෙන් මුලින්ම නැතිවෙලා ගියා. Illustration by Saamantha Tennege
18May 2018
blog_shape
මේජර් සුජිත් චමින්ද එදිරිසිංහ විසිනි විවිධ ක්ෂේත්‍රයන්හි නියුතු පුද්ගලයින් දක්වන දක්ෂතා හා සේවා ඇගයීම් වෙනුවෙන් පදක්කම් පිරිනැමීම සමාජයේ කොතෙකුත් දැකිය හැකිය. ක්‍රීඩා ආදී ක්ෂේත්‍රයන්හි එය සුලභ වේ. ඒ අතරම රණවිරුවන් වෙතද පදක්කම් පිරිණැමේ. නමුත් ඒවා සමාජයේ අන් අයට ලැඛෙන පදක්කම් මෙන් නොව වෙනස් බවක් සේම අගයක්ද පවතී. ඊට හේතුව නම් එකී පදක්කම් බොහොමයක් වීරත්වය වෙනුවෙන් පිරිනමන ඒවා වීමයි. එම පදක්කම් තරඟ ජයග්‍රහණයකින් අත්කර ගන්නා දෙයක් නොවන අතර ජීවිතය හා සම්බන්ධ අතිශය තීරණාත්මක කරුණු මත පිහිටා හිමි වන්නකි. ගෙවුනු තිස් වස තුළ රණවිරුවන් දිවි හිමියෙන් කැපව මව්බිම වෙනුවෙන් ඉටු කළ අමිල මෙහෙවර එවැනි පදක්කම් වලින් තක්සේරු කිරීම කිසිසේත් කළ නොහැකි වුවද සම්ප්‍රදායක් ලෙස ඔවුනට පදක්කම් පිරිනමනුයේ එමගින් ඔවුන් තුළ අභිමානයක් ඇති කරලීමත්, ඔවුන් කළ සේවයට ගෞරවයක් ලබා දීමත් අරමුණු කොට ගෙනය. රණබිමේ වීරක්‍රියා සිදුකළ රණවිරුවන් සමුහයක් වෙත පදක්කම් හිමිගැන්වීමේ කටයුත්තක් සඳහා එක්තරා අවස්ථාවක මාහටද සහභාගී වීමේ අවස්ථාව ලැබිණ. එවක මා යුද හමුදා මූලස්ථානයේ රාජකාරී කරනු ලැබු අතර මතකයට අනුව එය 1998 වසර හෝ ඊට ආසන්න විය. එවක සිටි හමුදාපතිගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණු එම පදක්කම් හිමි ගැන්වීමේ අවස්ථාවට රණවිරුවෝ සියයකට ආසන්න පිරිසක් සහභාගි වුහ. උත්කර්ෂවත් හා ගාම්භීර ලෙස සංවිධානය කොට තිබු එම පදක්කම් පිරිනැමීමේ අවස්ථාවට සටනෙහි තුවාල ලැබ ආබාධිතවූ හමුදා සාමාජිකයින් පිරිසක්ද එක්ව සිටියේය. ඔවුන් සමඟ තම දෙමාපියන්, බිරින්දෑවරුන් හා දුවා දරුවන්ද පැමිණ සිටිනු දක්නා ලදී. පදක්කම් පිරිනැමීමෙන් අනතුරුව ප්‍රධාන ආරාධිත අමුත්තා විසින් එම අවස්ථාව අලලා දේශණයක් සිදුකළ අතර ඊට පදක්කම්ලාභී රණවිරුවන් සේම ඔවුන්ගේ පවුල් වල සාමාජිකයන්ද මහත් උනන්දුවෙන් සවන් දෙනු පෙණින. එහිදී පදක්කම් හිමි කරගත් දෑස් අඳ රණවිරුවෙකු තම ඔඩොක්කුවේ සිය පුතු වාඩිකරවා ගෙන සිටින අයුරු එහි සිටි සැමට දැක ගත හැකි විය. එම කුඩා පුතු සිය අන්ද පියා පැලැද සිටි පදක්කම් ගොන්න මහත් උනන්දුවෙන් අතගාන්නට වූයේ එහි සිටි සැමගේ අවධානය ඊට යොමු වන අයුරිනි. සිය පියා සටනෙහි නිරතව දැස් අඳව තිබුණද එම පදක්කම් දෙස බලමින් ඔහුගේ පුතු ආඩම්බරයකින් පසුවන වගක් පෙන්නුම් කළේය. එම දර්ශනය බොහෝ හැගුම් බර එකක් වුයේ එහ සෙබළා කල්පනාවක නිමග්න වී සිටින අයුරක් පෙන්නුම් කළ නිසාවෙනි. තම දැස් නොපෙනුනද ඔහුගේ පුතුට මෙන්ම අනාගත පරම්පරාවටම දැස් දල්වා ඇවිද යා හැකි නිදහස් නිවහල් දේශයක් ඔහු උදාකරදී ඇති බැව් එය දුටු මා හට පසක් විය. ඔඩොක්කුවේ සිටි ඔහු තම පියාගෙන් කුමක් හෝ යමක් අසන්නාක් මෙනි. එසේම එම රණවිරුවාට පුතුගේ මුහුණ නොපෙනුනද ඔහු අසන්නට යන දේ ඔහුට දැනෙන්නා සේය. ඉහත සිදුවීම හරහා මා තුළ මැවෙන්නට වුයේ අමුතුම කල්පනාවකි. එය පසු දිනෙක මා අතින් කොලයක සටහන් වුයේ ඔවුන් දෙදෙනා අතර සිිදුවිය යුතුව තිබූ දෙබස මේ යැයි අනුමාන කරමිනි. සැබැවින්ම පදක්කම් තරමටම එකී රණවිරුවන්ගේ මෙහෙවරද අඳුරේ වුව දිළිසෙනු නොඅනුමානය. පියතුමණි අවසරද ... ගිලිහුණු කඳුළු ලේ දහඩිය බිම තෙමුණු දිලිසුණු පදක්කම් පවසයි නෙක කරුණු හෙළිවුණු කතා සටනෙහි විරුවන් මැරුණු මැළිවනු කිමද පියතුමණේ මට කියනු දහඩිය කඳුළු ලේ ගැලූ බිම තවම තෙත විරුවන් හෙලු සුසුමින් උණුසුම්ව ඇත මතකය පන ලබා පිරුණට කඳුළු නෙත පවසමි පුතුනි සැඟවිය යුතු කිසිත් නැත දුන් රැකවරණ පරපුරකට සුව කැන්ද අන් කිසිවෙකුට පියතුමණේ පුළුවන්ද සුන්කර දමා රුපු සේනා බළ බින්ද රන් වැට ඔබද සවි ඇති සිව් කොන බැන්ද රට දැය සමය මිස රණවිරුවෙකුට වෙන සැපතක් නොමැත දෙවෙනිය පුත ඔහුගෙ පණ නිවටුන් ඉදිරියේ නොනමා බිමට දණ වනසා දමති එරෙහිව එන සතුරු වින බිය සැක නොහඳුනන එඩිතර ගති පිරුණි පියතුම නුඹෙ කතා මගෙ හිත දිරි ගැනුණි වයසට වඩා සිත ගත සවි බළ දැණුනි පය ඔසවන්න රණබිම වෙත මට සිතුණි හරි මග නොදැන ගිය අය මං මුලාවිය බැරි නැත පුතුනි නිවැරදි කළ හැකිය එය දිරිගෙන තබා නිසිලෙස පෙරමුණට පය සරි කර ගනින් දුර ඈතක නොවේ ජය
14May 2018
blog_shape
තිලක් ගමගේ විසිනි (by Thilak Gamage) නොබෝදා ප්‍රතිඵල නිකුත්වූ සාමාන්‍ය පෙළ විභාගයෙන් මා දන්නා එක් දරුවෙකු ලබා තිබුණේ B සාමාර්ථයක් C සාමාර්ථ තුනක් හා එක් සාමාන්‍ය සාමාර්ථයක් පමණි. ගණිතය සහ ඉංග්‍රිසි අසමත්ය. ප්‍රතිපල ඇසූ දරුවා ගේ ප්‍රතිචාරය කුමක් විය හැකිද ? ඔහු ඉහ වහා යන සතුටකින් වෙළී ගිය බව පමණක් සඳහන් කරමි. එම දෙමාපියන්ද එලෙසින්ම සතුටු වූයේ මේ දරුවා එතෙක් ලද මෙන්ම පවුලේ දරුවකු ලද ඉහළම ප්‍රතිපලය එය වීමයි. ඇතැම් විට දිවයිනේ දෙවන තැන් ලද සිසුන් තව ලකුණු කීපයක් ගත්තා නම් පළමු තැන ගත හැකිව තිබුණා නොවේ දැයි පසුතැවිලි වන අතරේ මේ දරුවා විඳි සතුට අපට දෙන පණිවුඩය කුමක්දැයි විමසා බැලිය යුතු නොවේද? හැම තැනම පවතින්නේ අනෙකා පරයා ඉහළ නැගීමේ ආශාවකි. තම පාසැල තම පන්තිය අන් සියල්ලන් අභිබවා ප්‍රතිපල වලින් ඉහළටම ඔසවා තැබීමට දරන වෑයම කොතරම්ද ? මේ සඳහා දරන වෑයම තුළ විද්‍යාවට ගණිතයට A ලබන දරුවන් අන්තර්පුද්ගල සබඳතා, තීරණ ගැනීම, ආවේග සමහන් කරගැනීම සහානුභූතිය වැනි විෂයයන් ගෙන් ත‍ වලටත් වඩා පහළ ප්‍රතිපල ලබන බව දෙමාපියන්ට ගුරුවරුන්ට පමණක් නොව අධ්‍යාපන බල ධරයන්ටද පෙනෙන සැටියක් දක්නට නැත. ඔවුන් සැබවින්ම එම ප්‍රතිපල පෙන්වන්නේ වැඩිහිටියන් වී සමාජ ගත වූ විට ය. රටේ අධ්‍යාපන මට්ටම කොතරම් ඉහළදැයි කියතොත් පෙර පාසැල් දරුවන්ට පවා පාසැල් වේලාවෙන් පසුව අමතර පන්ති පවත් වනු ලැබේ. විෂයය දැනුමට මුල් තැන දෙමින් ජීවන කුසලතා අමතකකර දැමීමේ ප්‍රති විපාක නොබෝදා ලද ප්‍රතිපල දරා ගත නොහැකිවූ සිසුවියක් සිය දිවි හානි කර ගැනීමෙන්ම පැහැදිලි වේ. සම්පත් ඛෙදීයාමේ දැඩි විෂමතාවක් පවතින රටක ඇතැම් පාසැල් පමණක් අති විශිෂ්ට ප්‍රතිඵල ලැබීම මහ ලොකු අරුමයක් නොවේ. අරුමයක් වන්නේ පවතින උපරිම සම්පත් මැද එවන් ප්‍රතිඵල නොලැබුණා නම්ය. එම පාසැල් සතු සම්පත් වලින් කොටසක්වත් හවුලේ භුක්ති විඳිමට වරප්‍රසාද නොලත් පාසැල් වල දරුවන්ටත් අවස්ථාවක් ලබාදීමට පියවර ගත හැකි නම් මේ විෂමතාවන් තරමකට හෝ සමහන් වනු ඇත. තරඟය බුවල්ලෙකු මෙන් සමස්ථ සමාජයම දැඩි සේ වෙළාගෙන ඇත. නිවසක් තැනීමේදී වාහනයක් මිලට ගැනීමේදී ගෙදරට ඇවැසි දෑ මිලදී ගැනීමේදී මුල් තැනදෙන්නේ ඒවායේ උපයෝගීතාවට වඩා අනෙකා පරයා යාමට ඒවාට ඇති හැකියාවටය. උත්සව සම්භාෂණද මේ තත්වයෙන් මිදී නොමැති බව වර්තමාන මංගලෝත්සව වලින් පෙනේ. පෝරුව සැරසිලි ඇඳුම් ආයිත්තම් නැටුම් ගැයුම් ආහාරපාන ඡායාරූප යන මෙකී නොකී සියලූ අංශ වලට අයත් වෙළෙන්දෝ මඟුල් දිනයට බොහෝ කලකට පෙර සිටම මනාල යුවළට පමණක් නොව දෙමාපියන්ටද අන්ද වති. ඔවුහුද බොහෝ කැමැත්තෙන් අන්දන්ටත් පෙර තමන්ම ඇඳගනිති. එතැන් පටන් අවශ්‍ය වන්නේ මුදල් පමණි. මංගල්ලය අවසන් වන්නේ දැරිය නොහැකි තරමේ ණය කන්දරාවක සියල්ලන් හිර කරමිනි. වෙළෙන්දෝ තවත් ගොදුරක් සොයා යති. පුදුමයට කරුණ නම් ම`ගුල නිම වී ටික දිනකින්ම මෙතෙක් පැළඳ සිටි කන්නාඩි ගලවා දමන නිසා සත්‍යය අවබෝධ වීමයි. "මේ දේවල් ගැන මුලින් සිතුවා නම්......" යයි සිතෙතත් එවිට පෙරහැර ගොස් හමාරය. මමත්වය මුල් තැන ගෙන ඇත. තම නමට ආයතනයට පදවියට ඉහළම ලකුණු දමා ගැනීමට ඕනෑම දෙයක් කිරීමට බොහෝ දෙනා පෙළඹේ. වෙනෙකක් තබා ආගම ඇදහීමද අද තරඟයක් වී ඇත. තම පූජාව අන් සියල්ලන්ටම වඩා ඉහළින් මෙන්ම මුලින් තැබීමට පුජ්‍ය පක්ෂයෙන් තමන් මුරුංග අත්තේ තබන අනුසාශනා ලැබීමට අසීමිත වූ කෑදර කමක් ඉහ වහා ගොස් ඇත. මේ සඳහා වන තරඟයේදී මූලික ආගමික සංකල්ප නොතකා හැරීමට වුව පෙළඹේ. තමන් දරන ආගමික මතවාදය පමණක් නිවැරදිය අනෙක් සියල්ල බොරුය යන හැඟීමෙන් යුතුව කටයුතු කිරීම නිසා ආගම් අතර ගැටුම් උග්‍ර වී ඇත. පිරිසක් අඳින්නට හරි හමන් ඇඳුමක් නැතිව තැවෙන අතර වාරයේ තවත් පිරිසක් චෛත්‍යයක් වටා රෙදි කච්චි පිටින් ඔතනු පෙනේ. කිරි නැතිව හඬන දරුවාගේ කුසගිනි නිවීමට මං සොයන මවුන් සිටින සමාජයක බෝධිය කිරෙන් නහවනු ලැබේ. හිසට වහළක් නොමැතිව අසරණව ගිය පිරිස් සිටියදී දෙමහල් තෙමහල් මන්දිර තනා පූජා කරනු කොතෙක් දැකිය හැකිය. අභියෝග වලට මුහුණ දීම සඳහා තමන් තුළ තිබිය යුතු ආත්ම ශක්තිය තනිවම ගොඩ නගා ගත නොහැකි යමෙකු මෙවන් වූ ක්‍රමවේදයන් උපයෝගී කරගෙන අභියෝග ජය ගැනීමට සිතන්නේ නම් කිරෙන් බෝධිය නැහැවීමෙන් පසුවවත් කිරි නැතිව හ`ඩන දරුවෙකුට කිරි සපයා දීමට දායක විය හැකි නම් එම පින්කම මහත් පල මහානිසංස ගෙන දෙනු නොඅනු මානය. මෙහිලා සඳහන් කිරීම උචිත යයි හැඟෙන එක් සිදුවීමක් මගේ සිහියට නැගේ. නොබෝදා පැවති පිංකමකදී ස්වාමීන් වහන්සේ වෙත අටපිරිකරක් පූජා කිරීම සඳහා යුවළක් සූදානම්ව ඉදිරියට යන විට එක් වියපත් කාන්තාවක් ඒ දෙස ඉතා ඕනෑ කමින් බලා සිටිනු දක්නා ලදී. විස්තර කළ නොහැකි අන්දමේ දයානුකම්පිත සිතිවිල්ලකින් වෙළීගිය පිරිකර අතැතිව සිටි කාන්තාව සැමියාට යමක් පවසන අතරම ආපසු හැරී ඒ වියපත් කාන්තාව අබිමුවට ගොස් "අම්මේ..... අම්ම ගිහින් මේ පිරිකර පූජා කරන්න.." කියමින් තමන් ගෙනා පිරිකර ඇයට දී පසෙකට වී එම අසරණ කාන්තාව පිරිකර පූජා කරන දෙස ඉමහත් සෙනහසින් යුතුව බලා සිටියාය. ආත්මාර්ථයම රජයන ලොවක මෙවන් උතුම් ක්‍රියාවන් තුළින් අපට ගතහැකි ආදර්ශය කොතරම්ද ? යහපත් ක්‍රියාවක් තුළින් සිත සතුටින් පිනා යාමම පින ලෙස දහමෙහි දැක්වේ. ඒවා පින්කම් තරමටම යුතුකම් ද වේ. තමන් විසින් කරනු ලබන සද්කාර්යයන්හිදී පවා දැනුවත්ව හෝ නොදැනුවත්ව බරපතළ වැරදි සිදුවන අවස්ථා එමටය. එක්තරා සුබසාධක සංගමයක් මගින් තම බල ප්‍රදේශය තුළ පහසුකම් අඩු දරුවන් සඳහා ශිෂ්‍යත්ව පිරිනැමීමේ උතුම් කාර්යයක් ක්‍රියාවට නංවා තිබිණි. ඔවුන්ගේ ක්‍රමවේදය වූයේ වාර්ෂික සභා වාරයේදී එම දරුවන් වේදිකාවට කැඳවා එම ශිෂ්‍යාධාර පිරි නැමීමයි. කල් තබා දැනුම් දී තිබුණද බොහෝ දරුවන් මෙම ආධාර ලබා ගැනීමට පැමිණියේ නැත. එතෙකුදු වුවත් එයට හේතුව විමසීමට අවශ්‍යතාවක් නිලධරයනට වූ බවක් පෙනෙන්නට නොතිබිණි. මට පෙනී ගිය ආකාරයට හේතුව වූයේ ප්‍රසිද්ධියේ එවන් ආධාර ලබාගෙන තම ආත්ම ගෞරවය පළුදු කර ගැනීමට දරුවන් අකමැති විමයි. යහපත් චේතනාවෙන් කරන කටයුත්තකදී පවා අකටයුත්තක් සිදු විය හැකි බව මින් පෙනේ. කොතෙක් අසරණ වුවද තම ආත්ම ගෞරවය රැක ගැනීමට කවුරුන් වුවත් කැමතිය. මේ බව සාමාන්‍ය වැඩිහිටියන් පමණක් නොව දරුවන් සමග සමීපව කටයුතු කරන පාර්ශව පවා දැන සිටින බවක් නොපෙනෙන තවත් සිදුවීමක් මතකයට නැගේ. මනෝ උපදේශන නිලධාරිණියකගේ මග පෙන්වීම යටතේ පාසැලක අඩු පහසුකම් සහිත දරුවනට පාසැල් උපකරණ ඛෙදා දීමක් සංවිධානය කරන ලදුව එම කළමනාද රැගෙන පාසැලට ගිය විට විදුහල්පති වරයා යෝජනා කළේ වහාම රැස්වීමක් කැඳවා එම ආධාර පිරි නැමීමටය. එහිදී විදුහල්පතිවරයා සහ ආධාර රැගෙන ගිය කණ්ඩායම අතර සිදුවූ සංවාදය එලෙසින්ම දැක්වීම සුදුසුයයි සිතේ. "අපි රැස්වීමක් කැඳවමු. එතකොට ඔබ තුමන්ලා අතින්ම මේව ඛෙදල දෙන්න පුළුවන්." "කාටද මේව ඛෙදන්නෙ ?" "ඉස්කෝලෙ ඉන්න දුප්පත්ම ළමයින්ට.... අපි හොඳට හොයල බලල තමයි තෝර ගත්තෙ." "එතකොට විදුහල්පතිතුමා කියන්නෙ මේ ඉස්කෝලෙ ඉන්න දුප්පත්ම ළමයි ටික වේදිකාවට කැඳවල අනික් සේරම ඉස්සරහ මේ ආධාර ඛෙදන්න කියලද?" "ඔව්.. ඔව්..." "එතකොට.. මේ විදුහලේ ඉන්න දුප්පත්ම ළමයි තමයි මේ... කියල අනික් ඔක්කොම අය දැන ගන්න එක ගැන මොකද හිතෙන්නෙ ?' විදුහල්පතිවරයාට තමන් කරන්නට ගිය ක්‍රියාවේ බරපතළකම වැටහුණේ එවිටය." "දුප්පත් උණත් ඒ දරුවන්ටත් ආත්ම ගෞරවයක් තියෙනව...ඒක බිඳ දමන විදියේ පාප කර්මයකට හවුල් වෙන්න නෙමේ අපි ආවෙ... මේ තෑගි ටික බාර ගන්න. අපට ඔබතුමා විස්වාසයි... ඒව අනෙක් අයට නොදැනෙන විදියට ඛෙදන්න ක්‍රමයක් හදාගන්න ඔබතුමාට හැකි වේවි කියල අපි හිතනව." අඩුපහසුකම් ඇති අයට ආධාර ඛෙදීම් ජයටම සිදුවන අප රටේ එම උතුම් ක්‍රියාවේ යෙදෙන දානපතියන් මේ ගැනද සිතීම ඉතා වැදගත් යයි සිතේ. දේශපාලනයෙන් තොරව හුස්මක් ගැනීමටවත් නොහැකි රටක මෙම අදහස් හුදෙක් මනෝමූලික නොවේදැයි කෙනෙකුට සිතෙන්නට පිළිවන. අන් අය කෙසේ කළත් මේ කරුණු ගැන සංවේදී වන සුළු පිරිසකටවත් මේ අදහස් ක්‍රියාවට නංවීම උවමනාවක් තිබේ නම් අපහසු නොවේ යයි සිතමි. පරිත්‍යාග කිරීමේදී මෙන්ම ඒවා ලබා ගැනීමේදීද සැලකිලිමත් විය යුතුය. ද්‍රව්‍යමය හෝ නිලතල වරප්‍රසාද ආදිය පිරිනමන විට නිකං දෙනවනං ඉසේකැක්කුම උනත් කම් නැත යන ආකල්පයෙන් මිදී එම දෙනදේ ලැබීමට තමන් සුදුසු වන්නේදැයි සිහි නුවණින් යුතුව විමසා බැලිය යුතුය. හුණුවටය නාට්‍යයේ කියැවෙන පරිදි දෙන දේ සුදුස්සාටම ලැබිය යුතුය. තනතුරක් ලබාගැනීමේදී තමන් එමට සුදුස්සෙකු ද යන්න විමසා බැලිය යුතුය. පසුගිය දිනෙක මුහුණු පොතේ සටහනක දැක්වුණේ පාර්ලිමේන්තු මන්ත්‍රි වරයෙකු වීමට උපාධියක් තිබීම සුදුසුබවයි. වර්තමානයේ උපාධිධාරී මන්ත්‍රිවරුන් හා අනෙකුත් මන්ත්‍රී වරුන් ගේ කියුම් කෙරුම් හොඳින් විමසා බැලීමෙන් මේ ප්‍රකාශයේ වලංගුතාව පිරික්සිය හැකිය.පෙනෙන හැටියට උපාධියක අවශ්‍යතාව හොඳින් පෙනේ.එහෙත් එය දේශපාලන විද්‍යාව ආර්ථික විද්‍යාව හෝ මූල්‍ය කළමනා කරණයට අදාලව නොව මනුෂ්‍යත්වය මැනවින් හදාරා ලබා ගත්තක් විය යුතුය.එවැනි පිරිසකගෙන් සමන්විතවූ පාර්ලිමේන්තුවක් බිහිවූ දිනක සිට රටේ සැබෑ සංවර්ධනය පිළිබඳ සිහිනය සැබෑ වන දිනයට ඇති කාලය ඉතා අඩුවනු නොඅනුමානය.
11May 2018
blog_shape
ඩබ්. එච්. උපසේන විසිනි (by W. H. Upasena) මේ දිඹුලාගල කන්ද නගින්නේ තුන්වැනි වතාවටය. මීට වසර හතළිහකට පමණ ඉහතදී මම පළමු වරට මේ කන්ද නගින්නේ තනිවය. තාත්තාගේ දැඩි කොන්දේසි මතය. පොසොන් පෝය දිනක එහි ළඟා වූ මම පැඟිරි වයසේ පසුවූ බැවින් කොලූ රැලක් සමග ගල් කුළු මතින් පනිමින් උඩට නගින්නට පටන් ගතිමි. පෙරමුණේ සිටි කවරෙකු හෝ නඩේ ගුරුකම ස්වෙච්ඡාවෙන්ම පවරා ගෙන සිටියේය. එහෙත් අපිට විනාඩි පහකවත් එසේ යන්නට ඉඩ ලැබුණේ නැත. "ආපහු හැරියව්..." නඩේ ගුරා එකවරම කෑ ගසුවෙන් අපි වහා පහළට පැන ගතිමු. "වලහෙක් ඛෙනේකින් ඔළුව දැම්මා.." ඔහු කීවේ ඇත්තක්ද නැත්නම් කෙබරයක්දයි මට තවමත් සිතා ගත නොහැක. කෙසේ වෙතත් තාත්තාට මම මේ පුවත කියන්නට නොගියෙමි. නුහුරු නුපුරුදු තැන්වල කොල්ලන් කුරුට්ටන් සමග ඕනෑවට වඩා ගැවසීම ඔහු විසින් අපට තහනම් කර තිබුණි. විශේෂයෙන් වලහාගේ කතාවෙන් ඔහු අපේ තැනම වඩාත් දැඩි කරන්නට පියවර ගනු ඇත. මේ නිසා ගමට පෙනෙන දුරින් තිඛෙන මෙම ආරණ්‍ය සේනාසනයට යළි යාමට ළමා කාලය ඉක්මෙන තුරුම නොහැකි විය. ඊළඟ වාරයේ මම එහි ගියේ තවත් අවුරුදු දහයකට පසුවය. හිඟුරක්ගොඩ සිටින මගේ මිතුරෙකු, ඔහුගේ දෙමාපියන් සහ සොහොයුරිය එක් වූ ගමන ඉතා චමත්කාර ජනක විය. එදිනද පොසොන් පොහොය දිනයක් වූ බැවින් පුද බිම ජනී ජනයාගෙන් පිරී පැවතුනි. මෙවර අප ඇතුළු බොහෝ පිරිසක් ඇදුනේ කඳු පාමුල සිට තිරස් නැග්මක් සහිත මාරා වීදියටයි. ගල් කුළු සහිත අඩි පාර දෙපස සිහින් රතුපාට ඉදුණු ගෙඩි වලින් පිරි වීර ගස් වලින් පිරී තිබුණි. මේ ගෙඩි හා අපේ නඩය රැගෙන ආ බැදපු සෝයා ඇට කමින් ගිය ගමන ඛෙහෙවින් විනෝද ජනක විය. කබලේ බැද ලූණු දමා ගෙන ආ සෝයා ඇට වල රස තවමත් දිව අග රැඳුණු සෙයක් දැනෙයි. පොසොන් මාසයේ වියලි කලාපය හරහා පතිත වන තද හිරු රැසින් ගිනිගත් ගස් කොළං ඒ මේ අත නවමින් හැමූ සුළ`ගින් සිසිල් කළේය. ගමනාන්තය වූයේ රහතුන් වහන්සේලා වැඩ සිටි බවට විශ්වාස කළ ලෙන් කිහිපයකි. එහි එක තැනක තිබුණු කුහරයක් වැනි තැනක උඩින් බේරී රැස්ව තිබූ ජලය ඛෙහෙවින් සිසිල් විය. පැය දෙකක් පමණ කන්ද තරණය කොට වෙහෙසුණු ගතට එයින් ලැබුණු පැන් පොද අමුතුම සිහිලසක් එක් කළේය. අවසාන වතාවේ දිඹුලාගලට ඒමට තවත් අවුරුදු 29 ක් බලා සිටීමට සිදුවිය. මේ කාලය තුල රටේ තොටේ මෙන්ම මගේ ජීවිතයේ බොහෝ වෙනස්කම් සිදු විය. අපේ ගම හා අවට ගම්මාන රැසකට හානි පමුණුවමින් ඇවිලී ගිය යුද්ධය නිමා විය. ඒ කාලය තුල අපේ කිට්ටුවර ඥාතීන් දෙදෙනෙකු මරු තුරුලට වන්හ. ඒ ත්‍රස්තවාදී ප්‍රහාර හේතුවෙනි. තාත්තාගේ හිතවතකු වූ දිඹුලාගල විහාරාධිපතිව වැඩ විසු අසරණ සරණ, කිතලගම ශ්‍රී ලාලංකාර හිමියෝද ත්‍රස්තවාදී වෙඩි පහරින් අපවත් වී සිටියහ. රැකියාව පතා අගනුවරට පැමිණි මම දෙදරු පියෙකු ද වී රටෙන් ද පැන්නෙමි. එහෙත්, මේ සියළු කම්පනයන්, වද වේදනාවන් දරා ගනිමින් දිඹුලාගල කන්ද නොසැලී නොබියව, අදත් නැගී සිටියි. එය 1968 දී කදුරුවෙල නගරය පසු කොට එන විට දුටුවා සේම අදටත් පෙනෙයි. උතුරු පැත්තෙන් පෙනෙන මනහර නැම්ම ඒ විදියටම රැක ගෙන හිඳියි. හරියට, විශාල විලක් මැද දන නමා ගෙන සිටින දැවැන්ත හස්ති රාජයකු ලෙස මට මේ කඳු වැටිය වරෙක දිස් වන්නට පටන් ගනී. මෙදින පොසොන් දිනයක් නොවීය. එහෙත් අර මා මුල වතාවේ නගින්නට තැත් කළ දිඹුලාගල කන්ද මුදුනේම පිහිටි අහස් මාලිගාවට යාමට මෙවර අදහස් කළෙමි. ගව් ගණනාවක් ඈතට දිස් වන්නේ මෙම ගල මුදුණේ තිඛෙන එම අහස් මාලිගාවේ කොත ය. අපේ නඩය මම, බිරිඳත්, දුව, පුතා සහ මගේ මල්ලීගෙන් සමන්විත විය. ඒ කාලයේ මෙන් නොව, මෙලෙස උඩට නගින අඩි පාර පඩි පේලි බැෙඳමින් තිබුණි. සිරස් අතට විහිදෙන මාර්ගයේ පඩි පෙළ ගොඩ නගා ගෙන යන බැවින් ඒ සඳහා උර වල දමා තිබූ සක්කා ගල කැබලි උඩට ගෙන යාමෙන් දායක වන්නැයි සැදැහැවතුන්ගෙන් ඉල්ලීමක් කරගෙන තිබුණි. අවට ගම්මානවල පන්සල් වල දායක දායිකාවන්ගෙන් සැදුනු පිරිසක් ද මේ ශ්‍රම දායකත්වයට එක් වී සිටියහ. මේ නිසා උඩට යන ගමනට සංචාරක සැදැහැවතුනට වඩා එක්වී සිටියේ සිටියේ මේ දායක දායිකාවන්ය. අවිහිංසක බවත්, නිරහංකාර බව මෙන්ම බර වැඩ කිරීමේ හුරුවද ඔවුන් අතරින් මනාව දිස් වෙමින් තිබුණේය. අප මෙන් නොව ඔවුහු ශ්‍රම දායකත්වයට සරිලන පරිදි හිස් රෙදි වලින් ඔතා ගෙන චීත්ත හෝ සරොම් කැසී පොට ගසා ගෙන සිටියහ. අප වතුර බොමින් සරතැස නිවා ගනිමින් යමින් අතරමග හමුවන කෙනෙකුට වතුර දීමට තැත්කළ විට කීවේල "එපා මහත්තය, ඕක බොන්න ගත්තොත් දිගටම බොන්න වෙනව..." කියාය. අධික ෆ්ලොරීඩ් ප්‍රමාණයක් අඩංගු ජලය කාලයක් පානය කිරීම නිසා දත්වල මතු වූ කහට පැල්ලම් වසා ගැනීමට උත්සාහ කරමින් කන්දට බර ඇද පහලට බසින තරුණියෝ අප සමග සුහද ලෙස සිනා සුනහ. "අනේ රිලවුන්ට කඩල දානව නම් අපටත් දෙන්න..." මෙතරම් ජනතා සහභාගීත්වයකින් යුතුව ගොඩනගන මගක් උඩට දිව යන්නේ ඉතා විශාල ඉතිහාසමය වටිනා කමක් තිඛෙන ස්ථානයක් එහි තිඛෙන නිසා විය යුතුයි මට සිතුනි. කුසල වර්ධනයේදී අපි වීර්යවන්ත විය යුතු වෙමු. පරාක්‍රමබාහු රජ සමයේදී ධර්ම සංගායනාවක් කළේ ධූමරක්ඛ පබ්බත හෙවත් දිඹුලාගලය. ඇතැම් ෙඓතිහාසික තොරතුරු අනුව අවසාන රහතන් වහන්සේ පවා වැඩ විසුවේ මෙහිය. එසේ නම්, ඈතින් ඈතට පෙනෙන මේ ගිරිකුල මත තිඛෙන අහස මාලිගාව කෙතරම් චිත්තාකර්ශනීය එකක් විය හැකිද? ඉතින් අපි හොර කුරුමානම් අල්ලමින්, පනින රිලවුන්ට සහ ශ්‍රම දායකත්වය සපයන දායක දායිකාවන්ට කඩල ඛෙදමින් උඩට නැග්ගෙමු. කන්ද මුදුන පෙනෙන මානයේ පඩි පෙළ සදා නොතිබුණි. ඒ හරියට නැග යා යුත්තේ ගලින් ගලට පැන හෝ අතු හා මුල් අල්ලා ගනිමින් යන අඩි පාරකිනි. තවත් පැය භාගයක් පමණ ගතවූ විට අපට කන්ද මුදුනට යාමට හැකි විය. ගලේ පසෙක අටවා ගත් මඩුවක දෙහි හෝ ඇඹුල් දොඩම් වලින් හොඳින් ලුණු හා සීනි දමා සැකසූ පානයකි. ලොකු වීදුරුවක් රුපියල් විස්සකි. ඇත්තටම තිබුණ පිපාසයත්, වෙහෙසත් ඒ පානය බීමත් සමගම සංසිඳුනාක් මෙනි. ඇතැම් පිරිස් ශ්‍රම දායකත්වය සපයන පිරිස් වලටත් බීම මිලට ගෙන දුන්හ. අපගේ ගමනාන්තය අතේ දුරිනි. එය තට්ටු දෙකකි කවාකාර ගොඩ නැගිල්ලකි. උඩ තට්ටුවේ අලූත් බුදු පිළිමයක් හැරෙන්නට වෙන සැලකිය යුතු දෙයක් නොවිණ. එහෙත් පහළ තට්ටුවේ සිදු වෙමින් පවතින දෙය මට අදහා ගත නොහැකි විය. බලූ පැටව් රොත්තක් පිලේ නිදති. වයසක කපුරාල කෙනෙක් මොණර පිහාටු රොත්තක් මිටියක් මෙන් බැඳගෙන සංචාරක සැදැහැවතුනට පවන් සලමින් දෙවාර්ශීර්වාද කරයි. නළලේ තුන්නූර උලයි. පඬුරු පසෙකට වැටෙයි. අප මේ ගිරි දුර්ගය නැග ආවේ මෙවැනි අන්ධ විශ්වාසයන්ට උල්පන්දම් දෙන ස්ථානයකටද ? "අපොයි, මේ මොන විකාරයක්ද..?" මට නිකමට මෙන් කියැවිණ. ආපසු බසින අවස්ථාවේද මේකී කනස්සල්ල එලෙසම පැවතිනි. "ඔය ගැන ඔච්චර කරදර වෙන්න එපා තාත්තේ..." මගේ දියණිය බැරිම තැන කීවාය. "හැම ආගමකින්ම කරන්නේ මිනිස්සුන්ව සතුටු කරන එක. නැත්නම් තමනට දෙන්ඩ බැරි ආරක්ෂාවක් ගැන සහතික වෙන එක. මෙතැනත් හොඳට ඒක කරනව..." ඊළඟ පරම්පරාව නියෝජනය කරන ඇය අපට වඩා හොඳින් ආගමේ කාර්යය අවබෝධ කරගෙන සිටිනවා නොවේදැයි, මට එවිට සිතුනි.
09May 2018
blog_shape
සටහන - සාමන්ත තැන්නගේ විසිනි (by Saamantha Tennege) සිතුවම - චන්ද්‍රා මල්ලවආරච්චි (Illustration by Chandra Mallawarachchi) චන්ද්‍රා මල්ලවආරච්චි ප්‍රවීණ චිත්‍ර ශිල්පිනියකි. එමෙන්ම ශ්‍රී ලාංකේය සිනමා වංශකථාවේ මුදුනෙහි තැබිය හැකි, 1987 වසරේ හොඳම නිෂ්පාදනයට හිමි OCIC සහ සරසවි සම්මාන ද්විත්වයම ලත් "විරාගය" චිත්‍රපටයේ නිෂ්පාදිකාව ය. 2007 වසරේ "ගැහැණිය" නම් වූ ඇයගේ පළමු කාව්‍ය සංග්‍රහයට පසු ඇයතින් නිමැවෙන දෙවන කාව්‍ය සංග්‍රහය "යථා ස්වභා" ය. "ගැහැණිය" කාව්‍ය සංග්‍රහය තුළින් කාන්තා දිවියේ විවිධ අවස්ථා කෙරෙහි සිය කවි ඇස යොමු කළ චන්ද්‍රා මෙවර "යථා ස්වභා" තුළින් මනුෂ්‍ය චරිතය සහ මනුෂ්‍ය සමාජය විවිධ මංපෙත් ඔස්සේ විනිවිද දකින්නට ගන්නා උත්සාහය ප්‍රසංශනීය ය. ලෙනාඩෝ ඩාවින්චිට අනුව කවිය යනු වචනවලින් කළ සිත්තමකි. සිතුවමක් යනු වර්ණ වලින් කළ කවියකි. එය එසේනම් චන්ද්‍රා වචනයෙන් අඳින සිත්තම් සමූහය තුළ තවරන්නට වෙර දරන පැහැයන් හඳුනා ගැනීමට ගන්නා උත්සහාය සැබවින්ම සොඳුරු අත්දැකීමකි. එමෙන්ම එහි තැන තැන ඇති ඇය විසින් කළ සිතුවම් තුළින් සිත්තමෙන් කවි ලිවීමට ඇය තුළැති පරිචයද මනාව පසක් කරවන්නේ ය. ඇය මෙසේ පවසන්නී ය. "එකම කවිය විවිධාකාරයෙන් ලිවිය හැකි නමුත්, සරලව ලිවීමට හැම විටම මම උත්සාහ කරමි. වියළි, කර්කශ, අපුල යෙදුම් උවමනාවෙන්ම බැහැර කළෙමි. මගේ තෙළිතුඩටත්, පෑන් තුඩටත් තද නීති රීති පැනවීමෙන් වැළකී සිටීමට බොහෝවිට වැර දරමි. වචන පෙළ ගස්වා මගේ කවියට වියළුණු රසයක් පමණක් ලබාදෙන්නට මා අකමැති ය." මෙහි පද්‍ය රචනාවෝ 92 ක් අන්තර්ගතය. ඇය එම කව් තුළින් විවිධ සිදුවීම් සහ අවස්ථාවන් යටින් දිවෙන යථා ස්වභාවයන් ඉස්මතු කරන්නී, පාඨකයාට අලූතින් යමක් සිතන්නට අවකාශයක් සලසමිනි. ඇයගේ "වියතා" කවිය, සැබෑ වියතෙකුගේ "යථා ස්වභාවය" ගැන කියවෙන්නකි. අදද සැබෑ වියතුන් ඇසූ කන් නෑසූව සිටිනු අපි දකිමු. හුදු වාණිජ පරමාර්ථයන් පෙරදැරි කරගත් ජනප්‍රියත්වයට ලංසු තබන්නන් අතර අදත් එදත් වියත්හු නිහඬය හ. සකලවිධ මාධ්‍ය සංදර්ශන පවත්වන්නේත්, පත්තර පිටු පුරා පිරෙන්නේත් වියතුන්ගෙන් රූප හෝ කතා ගැන නොව අවියත් බොළඳ නළු නිළියන්ගේ ඕපාදූප ගැනය. ඔවුහු නොදන්නා දෙයක් නැත. එමෙන්ම දන්නා දෙයක්ද නැත. එකල්හි වියතුන් වුව කුමක් කරන්න ද ? අවියත් දන මැද වියතුන්ද අවියත් අය සේමැ වෙසෙන්නේ ඔවුන්ගේ ඇති වියත් බව නිසාමය. චන්ද්‍රා එබඳු වියතෙකු හඳුනාගත් අයුරු සියුම්ව විමසා බලන්න. නුඹ ජීවත්ව සිටි සඳ නුඹෙන් පල නොගත් බොහෝ දෙන නෙත් විවර කර බැලූවේ නුඹ මිය ගිය පසුය එහෙත් ඔවුන්ව නොපෙනෙන්නට නුඹ ද ඇස් වසා සිටි බව පෙනෙන්නේ දැන් ය වියතුන් සූජීවත්ව සිටිනා කළ බොහෝ දෙනා ඔවුන් දෙස නොබලති. දුටුවද නොදැක්කා සේ සිටිති. තොරොම්බල් කාරයෝ කවර වෙස් ගෙන පැමිණියද බොහෝ දෙනා ඔවුහු පසුපස ගොස් උන්ට ආවඩති. අවාසනාවකට මෙන් වියතුන් මියගිය පසු ඔවුන්ගේ මිනිය කරට ගන්නේද පෙරකී තොරොම්බොල් කාරයෝ ය. ජීවත්ව සිටින කල වියතුන්ට මුහුණ දීමට තරම් පෞරුෂයක් නැත්තෝ වියතාගේ මළකෙඳන් හැකි නම් මල්මාලයක් සදා තම තමන්ගේ ගෙලවල්ද සරසවාගන්නවා ඇත. මෙකී තොරොම්බල් කරුවන්ව නොපෙනෙන්නට වියතා ජීවත්ව සිටියදී ඇස් වසා සිටි බව කිවිඳිය දකින්නී ය. ඒ තුළින් ඇය අපට පසක් කරදෙන්නේ වියතාගේ සැබෑ වියත් බවම නොවේ ද ? සිතුවම නම් කාව්‍ය තුළින්ද මෙකී විපරිත සමාජයේ මුග්ධ ස්වභාවය ඇය අපට කියන්නී ය. එය අපට එක්තරා සෙන් කතාවක් මතකයට ගෙන එන්නේ නිරාසයෙනි. කැන්වසය මැද තිතක් තබා බලා හිඳී මහ සිත්තර මාධ්‍යකරුවන් වට වී පත්තර - සඟරා පුරවන්නට යමක් සොයයි විදුලි කෙටීමකි ඡායාවට නැගීමට දහසක් - අර්ථ කථන කොළ පිරෙන්නට සිනාසෙයි බඩ අල්ලාගෙන ඒ මහා සිත්තර සෙන් කතාවට අනුව රජු එක්තරා දක්ෂ චිත්‍ර ඇදුරෙකුට ඔහු විසින් කළ හොඳම චිත්‍රය ඇඳ දෙන මෙන් ඉල්ලීමක් කරයි. ශිල්පියා දින ගනනාවක් ගෙන සුවිශාල කැන්වසයක් මැද ඉතා කුඩා තිතක් තබා එම සිතුවම රජුට පිරිනමයි. ඉන්පසු විචාරකයෝ විවිධ පැති වලින් එකී තිත නිර්වචනය කරති. ඒ සිතුවම ගැන පත්තර පිටු ගණන්ද ලියැවෙයි. බොහෝ දෙනා කතා කරන්නට පටන් ගනිති. දිනක් රජුට මෙකී චිත්‍රශිල්පියාගෙන්ම තිත ගැන විචාරන්නට සිතෙයි. එදා චිත්‍ර ශිල්පියා රජුට මෙසේ කියයි. "ඇත්තටම රජතුමනි, ඒ තිත නෙමෙයි සිතුවම." "එහෙනං..." රජු පුදුමයෙන් අසයි. "ඇයි රජතුමනි, ඔබ කවුරුත් කැන්වසයේ තිත වටා පිහිටි හිස් අවකාශය දැක්කේ නැද්ද ?" චන්ද්‍රා එම කතාවෙන් කිසියම් පෝෂණයක් ලබන්නට ඇත. එහෙත් ඇය ඉන් වෙනත් අරුතක් නංවන්නී ය. නම ගිය අයෙකු නම් ඔහු තිතක් තිබුවද, ඉරක් ඇන්දද එයා කෝටි ගණනට විකිණෙන කලා කෘතියකි. නම නැති එකා මොනලිසා පරදන සිතුවමක් ඇන්දද එය තිත කි. චන්ද්‍රාගේ "යථා ස්වභා" සැබවින්ම යථා ස්වභා මතු කරවන කැඩපතක් වන්නේ එසේ ය. ඉහත අප උපුටා දැක් වූ කවි වලින් ඇය නූතන කිවිඳියක යැයි කියියම් කෙනෙකුට හැඟීගියහොත් එය නිවැරදි නොවන බව කිව යුතුය. චන්ද්‍රා මල්ලවආරච්චි නම් කිවිඳියගේ බොහෝ කව් තුළින් ගමේ ගොඩේ කරක් ගසා, ලද අත්දැකීම් විමසා බලා උගත් තැනැත්තියක අපට දිස්වන්නේ ය. "පෙර දවසක මා" කවිය විමසා බලන්න. කකුලෙන් ඉරි ඇඳපු - වැලිමළුවෙ පන්සලේ පනුවෙක් වෙලා ඉපදේවි යැයි මතු භවේ නිකමට නොවේ අම්මා මාව බය කළේ ඉරි ඇන්දේ සාදු - මම නොදැනුම් කමට අදින් මනත - සංවර වී සිරුවට පණුවෙක් වෙලා - ඉපදෙන්නට බය කමට මම ඇවිදින්නෙ සාදු - ඇවිදින ලෙසට සුදු මල් පිච්ච එකිනෙක දා කෙණ්ඩියට පැන් පුරවා බෝධිය නාවන ලෙසට මව කීවත් - එය නොඇසුණ ගානකට සුදු මල් එකින් එක පැලඳුවෙමි හිසට අම්මා පිටුපසින් විත් ටොක්කක් ඇනලා කන කැරකුවා හොඳට මා කළ වරද තේරුණ නෑ - පොඩි කමට කඳුළුවලින් කෙණ්ඩිය පිරුණා හොඳට පන්සල මායිම ළඟ ඇති පිනි ජම්බු ගසේ රෝස පාට මල් හැළිලා බෝකොළ ගොඩ මතේ වට පිට බලලා සාදුල අවට එහෙම නැතේ වැටෙන් පැනල මල් අහුලා දාගත්තා කටේ තෙල් දමමින් පානෙන් පානට බෝධිය වටේ හැම එකෙන්ම තෙල් ටික ටික ගා ගත්තා හිසේ තේරුණෙ නෑ පුංචි කමට මට තිබුණට විසේ පුංචි ගඟකි - කණ දෙපැත්තෙ නැවතුණ උරහිසේ "යථා ස්වභා" හි අප සිත් වසඟ කළ තැන් බොහෝ ය. වරු ගණන් කතා කළ හැකි තැන්ද බොහෝ ය. බොහෝ කාලයක් මුළුල්ලේ සිඩ්නි නුවර වාසය කරමින් සිත්තමින් සහ කවියෙන් අප සිත් නිහඬව සනහන චන්ද්‍රාවන්ට අපි අපේ හෘද්‍යාංගම සුභාෂිංශන එක් කරමු. අවසාන වශයෙන් ඇයගේම වදන් කිහිපයකින් අපි මෙම සටහන නිමා කරමු. "හාස්‍ය විරහව හෝ සංතුෂ්ටිය වේවා, ජීවිතයේ දී අප ලබන්නා වූ අත්දැකීම් විශ්ලේෂණය කිරීමක් හෝ වේවා, කවිය හදවතට කතා කළ යුතුය. නැතිනම් පණිවුඩයක් දිය යුතුය යන්න මගේ හැඟීමයි."
07May 2018
blog_shape
ශ්‍රීනාත් මද්දුමගේ විසිනි (by Srinath Maddumage) කවුරු හරි මගෙන් ඇහුවොත් කෘතියක් පරිවර්තනය කරන එක පහසුද අපහසුද කියල, මම ගත් කටටම කියනවා පහසුයි කියලා. ටිකක් හිතල ආයෙ කියනවා අපහසුයි කියලා. ඒක නිකං ඔව්ත් නැහැ, නැහැත් නැහැ වගේ හතරබීරි කතාවක් වගේ පෙනුනට ඒක තමයි ඇත්ත. මොකද පරිවර්තනයක් සඳහා පාදක වෙන කෘතියක් තියෙන නිසා පරිකල්පනීය කාර්යයෙන් මනස මිදෙන නිසා පහසුයි කියල කියන්න හිතෙනවා. ඒත් පරිවර්තනය අදාල භාෂිත සමාජයට හෘදයාංගම ලෙස සිදුකළ හැකිද යන අරුතෙන් ගත්විට පරිවර්තන කිරීම අපහසුයි කියල හිතෙනවා. මොකද තමුන් රචනා කරන කෘතියක් නම්, තමුන්ට නිදහසේ හිතූ හිතූ අත යන්න පුළුවන්. කාගෙන්වත් බාධාවක් නැහැ ඒකට. ඒත් පරිවර්තනයට සීමා බන්ධන තියෙනවා. එහිදී වැදගත් වන්නේ මුල් කෘතියට අගතියක් නොවන ආකාරයට පරිවර්තනය කිරීම. පාඨකයාට ගැලපෙන ලෙසත් ඔවුන්ට රුචිවන ලෙසත් පරිවර්තනය කිරීම. මේ සියලූ කාර්යයන් ජයගත හැක්කේ හොඳ භාෂා ඥානයක්, පරිවර්තන පරිචයක් ඇති කෙනෙකුටම විතරයි. මේ සියලූ අටුවා ටීකා ටිප්පනි කියන්න සිද්ධ වුනේ ස්වර්ණකාන්ති රාජපක‍ෂ "මොනර දැල" ලෙස පරිවර්තනය කර තිබූ සමර්සෙට් මෝම්ගේ 'The Painted Veil' පොත එක හුස්මට කියෙව්වට පස්සෙයි. ස්වර්ණකාන්ති ඕස්ට්‍රේලියාවේ ජීවත්වෙන බවත්, ඇය සාහිත්‍යකාරණාවේ යෙදෙන බවත්, හොඳ පරිවර්තිකාවක් බවත් මම දන්නා දෙයක්. ඒත් මේ තරම්ම සාර්ථක පරිවර්තිකාවක් කියල දැනගත්තේ මොනර දැල කියෙව්වට පස්සෙයි. ඒක මූනිච්චාවට කියන මුසාවාදයක් නෙමෙයි. මම ලංකාවේ දැකපු සාර්ථකම පරිවර්තිකාව විභූතිභූෂණ බන්ධෝපාද්‍යා වැනි ඛෙංගාල ලේඛකයන්ගේ පොත් වංග බසින් සිංහලට පරිවර්තනය කළ චින්තා ලක්ෂ්මි සිංහාරච්චියි. මොනර දැල කියවා සසල වූ හදැතිව ස්වර්ණාකාන්ති රාජපක්ෂවත් චින්තා ලක්ෂිමි අසලින්ම තියන්න මම කැමතියි. 1971 තරුණ කැරැල්ලටත් 1989 තරුණ කැරැල්ලටත් තුඩු දුන්න දාර්ශනික මතවාදි ගාමක බලය රුසියන් සාහිත්‍ය බව රහසක් නොවෙයි. අද පරම්පරාව කොහොම වුනත් අපේ පරම්පරාව පුදුම විධියට රුසියන් සාහිත්‍යයට ඇලූම් කළේ, දැදිගම වී රුද්‍රිගු, ඩබ්. ඒ. අබේසිංහ, සිරිල් සී පෙරේරා වගේ කෘතහස්ත පරිවර්තකයන්ගේ අතිරමණීය පරිවර්තන නිසා. හැබැයි හැමදාම අපිට යුරෝපීය සාහිත්‍ය ඒ තරම් බද්ධවුනේ නැහැ. ඒකට හේතුව හැටියට මම දකින්නේ යුරෝපීය කෘති පරිවර්තනේදි දක්නට ලැබුණ නීරස බව වෙන්න ඇති. පශ්චාත් නූතනවාදයට පෙර ලේඛකයෙක් වන සමර්සෙට් මෝම් වැනි ප්‍රංශ ජාතකයෙකුගේ කෘතියක් ස්වර්ණකාන්ති තම වසඟයට ගෙන ඉන් අපද වසඟයට පත් කර ගැනීමට තරම් සාර්ථක වන්නේ මෙම කෘතියේ තියෙන හද බැඳ ගන්නා ගුණය නිසයි. එහිදි ඇය ඉතාම දක්ෂ ලෙස බස හසුරවනවා. කෘතිය මදක් කියවාගෙන යන විට එය ප්‍රංශ ජාතිකයෙක් විසින් 1925 යුගය පසුබිම් කරගෙන දෙවන ලෝක යුද්ධයෙන් පසු හොංකොං වෙත යන යුවළක් වටා නොරට බසකින් ලියවුනක් නොව සිංහලෙන්ම රචිත කෘතියක් වැනි හැඟීමක් ඇති වෙයි. ඊට හේතු යුක්ත වන්නේ ස්වර්ණකාන්තිගේ භාෂා විලාෂයයි. මෙම මුල් කෘතියත් සමර්සෙට් මෝම්ගේ ඉතාම ඉහළ ආදායම් වාර්තා තැබූ කෘති තුන අතරින් එකක්. මීට පදනම් වී ඇත්තේ පළමුවන ලෝක යුද්ධයෙන් පසු යුගයේ 1925 දී ඈත පෙරදිග බ්‍රිතාන්‍ය යටත් විජිත පාලනය පසුබිම් කරගෙන රචනා වූවක්. මෙම කෘතියෙ යුරෝපයේ අලෙවි වුනේ මිලියන ගණනින්. බ්‍රිතාන්‍යයේ සිට හොංකොං වෙත පැමිණෙන වෛද්‍යවරයෙකුගේ තරුණ බිරිඳ වන කීටි ෆෙන් පෙම් පිපාසිත රූමතියකි. ඇගේ අසම්මත ප්‍රේමය ගැන දැනගන්නා සැමියා ඇය කොළරා වසංගතය පැතිරුණු හොංකොංහී ඈත සුළු නගරයක් වෙත ඇය කැඳවාගෙන යනවා. කම්පනීය ගැටලූ කිහිපයකට මුහුණ දෙන ඇය හෘද සාක්ෂිය විසින් නිද්‍රාවෙන් අවදි කරනු ලබනවා. මේ අපූරු කතාන්දරය ඔස්සේ ලේඛකයා විසින් ඉස්මතු කරනු ලබන්නේ ජීවිතයේදි මුහුකුරා යාමට, වෙනස්වීමට සහ කමා කිරීමට මිනිසා සතු සක්‍යතාවයයි. මෙහි වැදගත්කම වන්නේ කිටි ෆෙන්ගේ හෘද අභ්‍යන්තරයේ අරගල කරන ආත්ම හීලනය, ගැහුණුකම ඉදිරියේ අසරණ වන ඇගේ ප්‍රේමාග්නියේ ශෝකය ස්වර්ණකාන්ති මනා ලෙස සිංහල බසින් වර නැගීමයි. කිටි ෆෙන් ශාන්තිය සොයා යන අනියම් ප්‍රේමය, අවසානයේ ඇයම දවන අග්නි දාහයක් වෙනවා. එය ඉතා සියුම් හැඟීම් කැටියක්. එහි කම්පනය අපටත් දැනෙන ආකාරයට ස්වර්ණකාන්ති සිය පරිවර්තනය වියමන් කරනවා. කතාවේ අන්තර්ගතයට හානියක් නොවන පරිද්දෙන් ඉතා සියුම් සැතකින් කරන විච්ෙජ්දනයක් ලෙස ඇය කිටිගේ, වෝල්ටර්ගේ සහ ඇගේ පෙම්වතා චාලි ටවුන්සෙන්ඩ්ගේ සබඳතාවයන් අපූරුවට අපට හැෙඟන ලෙස බද්ධ කරන්නේ එහි ඇති මානව දයාව සපිරි රසය නුසුන්වන ආකාරයටයි. කිටිගේ අනියම් ඇසුර වෝල්ටර් දැනගත් බව ඇයට දැනෙන අවස්්ථාවේ ඉතා කම්පිත කුතුහලයෙන් පිරි තිඛෙනවා. "ඔහු එළිපත මත නිමේෂයක් රැඳි සිටියදි දෙදෙනාගේ දෑස් හමුවිය. ඇගේ හදමඬල කිඳා බැස්සාය. හදිසියේම පැතිර ගිය සීතල නිසා සියොළඟ ගැහුණාය. එය වනාහි කිසිවෙකු තම මිනීවලට උඩින් ගමන් කරනා මොහොතක් වැනි හැඟීමක් ය. ඔහුගේ අචංචල අපාරගම්‍ය දෑස අද්භූත ලෙසින් විශාල වී තිබිණි. ඔහු සියල්ල දන්නේය." (මොනර දැල - පිටුව 52) ස්වර්ණකාන්තිගේ බසෙහි පොහොසත් බව සහ බුහුටිබව පාඨකයා එක සීරුවට ඊට ඇද බැඳ තබා ගැනීමට සමත් වෙයි. ඒ යටින් සැඟවුන මරණයේ භීතියක්ද ඇත. කොළරාව සුළු නගරය ආක්‍රමණය කර ඇත. කිටී පැමිණ ඇත්තේ මරණයේ අඩවියකටය. වෝල්ටර් ෆෙන් සැබවින්ම සැලසුම් සහගත ලෙස ඇය මෙහි රැගෙන පැමිණියාදැයි පාඨකයා කුහුලට පත්වෙයි. එහෙත් එවැනි ප්‍රකම්පන අතරින් ස්වර්ණකාන්ති සිය පරිවර්තන බස හසුරුවන අපූරුව. "කන්‍යාරාමයේ මෙහෙවර කිටිගේ ආත්මයට නැවුම් ප්‍රබෝධයක් ගෙන දුන්නාය. සෑම උදෑසනකම හිරු පායා මඳ වේලාවකින් එහි ගිය ඇය පෙරළා බැංකුවට පැමිණියේ අවර බලා යන හිරු පටු නදීතලාව මෙන්ම එය අසබඩ සුන්බුන් වසා දමමින් රන් රැස් වතුර පිටාර යවන මොහොතේදීය." (මොනර දැල - පිටුව 153) හොංකොං අප දේශය නොවන බව සැබෑය. එහෙත් ස්වර්ණකාන්තිගේ භාෂා භාවිතය නිසා එය අපේ වෙයි. පරිසරය පිළිබඳ මුල් කෘතියේ ඇති සඳහන් සියල්ල ඉතා මැනවින් සිංහලට නගා ඇත. අතින් අත නෑර එක හුස්මට එය කියවා පසෙකලීමට සිත උත්සුක කරවයි. එසේම අනියම් ප්‍රේම සම්බන්Aධතා පිළිබඳ කතාවල දකින්නට ලැඛෙන ජුගුප්සාව ද මෙහි නැත. එහි ඇත්තේ ප්‍රේමය සහ අනුරාගය පිළිබඳ ඛේදවාචකයයි. ගැහැණියගේ කම්පිත දිවියක වේද කාව්‍යයයි. කමලා දාස් කියන ලෙස ගැහැණිය අනුරාගයේ නොව ප්‍රේමයේ බැඳෙයි - පිරිමින් ප්‍රේමයේ නොව අනුරාගයේ බැඳෙයි යන කියමන සත්‍ය වෙයි. පිරිමින්ගේ කෙසේ වුනත් ගැහැණියකගේ අනුරාගය ප්‍රේමයේද මුසුවකි. ඇය ඉන් කිසියම් ශාන්තියක් අපේක්ෂා කරයි. කිටී ෆෙන්ද එවැන්නියකි. සිය ප්‍රේමයේ බීකන් පහන ලෙස විශ්වාස කළ මිනිසා කපටි වංචනියෙක් ලෙස ඇය පසුව වටහා ගනියි. එතැන් සිට ඇය ඇගෙ කුටුම්භ ජීවිතයෙන් විතැන් නොවීමට වගබලා ගන්නා අතර, ස්වාමියාගේ සීතල ඉදිකටු තුඩු මත ආත්මය වැතිරවයි. ස්වර්ණකාන්ති රාජපක‍ෂ ඒ වෘතාන්තය පාඨක අපද බන්ධනය කරමින් මනා ලෙස වියමන් කරයි. නිසැකවම මා මෙන් ඔබද ස්වර්ණකාන්ති වියමන් කළ මොනර දැල කෘතිය අතට ගතහොත් ඊට නතුවනු නිසැකය. මතුපිටින් පෙනෙන ස්ථරයට අනුව කුටුම්භ ජීවිතය ගැන කියැවෙන ජනප්‍රිය කතිකාව තුළ විරාගික සැමියෙකුගේ සමඟ දිවි ගෙවන අනුරාගික ගැහැණියගේ හෘද අභ්‍යන්තරයේ මනෝ විශ්ලේෂණාත්මක අර්ථකතනයක් මින් මනා ලෙස ප්‍රඛට වෙයි. ලෝකයා නොදකින පවුල් කටුම්භයේ අභ්‍යන්තර අනේකවිධ ගැටුම් සහ ගැහැට මනාව විදාරණය වෙයි. ඒ අනුව "මොනර දැල" හුදු පදානුගත පරිවර්තනයකට වඩා සංදර්භීය අවකාශය මනා ලෙස ග්‍රහණය කරගත් ලියවිල්ලකි. එබැවින් එය යටත් විජිත සමයේ නොගැලපෙන විවාහ සමඟ ඈත පෙරදිගට පැමිණි නිළධාරින්ගේ ජීවිත වඩා සංවේදනාත්මකව චිත්‍රනය කරනු ලබයි. මෙහි ඇත්තේ සුදු හෝ කළු චරිත නොව අළු චරිතය. චාලි ටවුනසෙන්ඩ් පවා මා දකින්නේ අළු චරිතයක් මෙනි. මේ අයුරින් නිළධාරියෙකුගේ සහ ඔහුගේ බිරිඳගේ කුටුම්භ ජීවිතයේ අතු, ඉති රිකිළි පමණක් නොව ශාක පත්‍ර පවා මේ කෘතිය තුළ ඉතා සියුම්ව සාකච්ඡාවට ලක් කරයි.
07May 2018
blog_shape
ධනුෂ්ක කාංචන ජයවීර විසිනි (by Dhanushka Kanchana Jayaweera) මිනිස්සුන්ට තේරෙන බාසාවෙන් මාස නම් කර තියෙද්දිත් මේ මාසේ මොකද්ද කියලාවත් දන්නේ නැතිව අප්‍රේල් මාසේ උගේ අම්මගේ අප්පගේ බූදලය කියලා හිතාගෙන ලංකාවේ එකාලා තමන්ගේ කොහෝ කොහෝ නාදයට වහල් කරගෙන රූකඩ මෙන් නටවන සතා වන කොහා අවුවට වේලි වේලි වැස්සට තෙමි තෙමි අතන මෙතන ඉඳන් පිස්සෙක් වගේ... පිස්සෙක් වගේ... කෑගැසීම නිසා උගුර බැරැන්ඩි වීම හේතුවෙන් අප්‍රේල් අග හරියේදී වැල්මී සොයා තමන් පැමිණි රටට පිටත් වන අතර ඌ මැයි මාසයේ උගේ වැඩ බලන නිලධාරියා ලෙස තෝරාගත් මොහිදින් ඛෙග් මාස්ටර්ට සිය රාජකාරිය බාර දෙයි... අවංක කොල්ලෙක් වූ මොහිදීන් ඛෙග් මාස්ටර් කොහාගේ රාජකාරිය නොපිරිහෙලා ඉටු කරමින් මැයි මාසය හෙවත් වෙසක් මාසය එන බව සිය බුදු ගුණ ගීත ඔස්සේ පවසයි... අවුරුදු උත්සව සංවිධානය කර මාටියා ගහලා රහ වැටී සිටින අය මෙන්ම අවුරුදු කාලා හන්තර් වී මැයි මාසය ජීවත් වෙන්නේ කොහොමද කියා දහ අතේ කල්පනා කරමින් නියපොතු කමින් සිටින අයද මෙම ඛෙග් මාස්ටර්ගේ ගායනාවත් සමගම සිහිනෙන් අවදි වූවාක්මෙන් පිබිදී සිය සම්මාදම් එකතු කිරීමේ මහා ව්‍යාපාරය සුබ මොහොතින් අරඹති... ඔබට මට අප සැමට දරුණු වේදනාවන් උරුම කර දෙන මෙම දන්සැල් සංවිධායකයන්ගෙන් බේරී සිටීමට නම් කිසිවෙකුට නොපෙනෙන සේ සිටීමට හැකි යයි විස්වාස කරන කලූවර අඳුන ගාගත යුතුය. යක්කුන්ගෙන් බේරී සිටීමට මන්තර ඇතත් සත්තුන්ගෙන් බේරීමට විවිධ උපක්‍රම ඇතත් විල්සන් කරුගෙන් බේරීමට ජීවන්ට හෝ විජේට හැකියාව ඇතත් දන්සැල් සම්මාදම් කාරයාගෙන් බේරීමට පුළුවන් එකෙක් මේ ලොව තවමත් බිහි වී නැත... කල්ලි වශයෙන් හෝ යුගළ වශයෙන් හෝ තනි තනිව හෝ වෙසක් පෝයට මාසයකට පමණ කලින් "සත් සමුදුරු තරණය කර ආවා සත් කුළු පවු අතරින් දිව ආවා.. භවෙන් භවය පියමං සලකුනු දැක ඔබව සොයා ආවා" කියාගෙන අපේ නිවෙස් සොයා එන දන්සැල් කරුවා.. අම්මා තාත්තාවත් අපට නොපෙන්නන තරම් ආදරයක් පෙන්නා ඉතා පිළිවෙලට වගු සකසා ආධාර සටහන් කර ඇති පොත අපට පිළිගන්වන්නේ දෝතින්මය... පොත දකින නිවැසියාගේ ඇඟේ මවිල් ටික කෙලින් වී හිස මුදුනෙන් රැස් පිට වී අමුතු කලන්තයක් ඇති වේ. පොතේ අන්තර්ගත සටහන අනුව අල්ලපු ගෙදර එකා දාහක් දීලාය.. ඊට එහා එකා හෙවත් අපට නිතරම පෙස්සන් ගහන එකා පන්දාහක් දීලාය.. එම නිසා උන්ට සෙකන්ඩ් වෙන්නට බැරි කමට පර්ස් එකේ හරස් පැත්තේ හතර පහට නවා ගහගෙන ඉන්නා රුපියල් දාහ අමාරුවෙන් එළියට ඇදලා දන්සැලට පිදීම සිදු වේ. එහෙත් අප පොතේ දුටුවේ මායාකාරී දසුනක් බවත් අප විසින් දුන් දාහේ අගට තව බින්දුවක් එක්කහු කොට දහදාහ කර සකස් කරන බවත් අපට නොවැටහීම ජාතියේ අවාසනාවක් වන අතර එය දන්සැල් කරුවන්ගේ වාසනාව වේ. මෙසේ වෙස්සන්තර රජු පරද්දමින් තමන් සන්තකයේ තිබූ රුපියල් දහස දන්සැල්කරුවන්ගේ හෙට දවස ලස්සන කරන්නට පුදදෙන වැසියන් සිය ජීවිතය ගැටගහගැනීමට ප්ලෑන් බී එක ලෙස තෝරාගන්නේ ඌරාගේ මාලු ඌරාගේ තියා කපන්නාක් මෙන් දුන්න සල්ලි වලට හරියන්න දන්සැලෙන් කමු යන අදහසයි.. දන්සැල යන වචනයේ අර්ථය දානය දෙන ස්ථානය වුවද එතන ඉන්න එවුන්ගේ ගැම්ම එක්සත් ජාතීන්ගේ මහා සම්මේලනේ අධ්‍යක්ෂ මන්ඩලේවත් නැත. මැණික් මල්ලක් තමන් ඉදිරියේ තියාගෙන ඉන්න තරම් ආරක්ෂා සහිතව තමන් ඉදිරියේ තියාගෙන ඉන්න පරිප්පු බේසම හෝ අඟුණ කොල මැල්ලුම හෝ පපඩම් පරිස්සම් කරගන්නට වෙර දරන ඔවුන් යමක් දෙසැරයක් ඛෙදා ගන්නට කවුරු හරි ආවොත් උන් දිහා බලන්නේ සවුදම් ජෙමා දිහා බලනවා වගේය. ආධාර එකතු කරන්නට එනකොට ගේන පොතේ දන්සැලේ පිලිගන්වන ආහාර මෙනු එකත් අමුනාගෙන ඒම ආධාර එකතු කරන්නන්ගේ සිරිතය... එම මෙනු එක කියවන එවුන්ගේ කටට කෙළ උනන්නේ නිරායාසයෙනි. ඒ තරම්ම මෙනු එක මරුය කිරි සම්බා බත්.. අල තෙල් දාලා.. බටු මෝජු.. පපඩම් හා මිරිස්.. ලෙස පොතේ සඳහන් වුවත් දන්සැල දවසට ගිහින් බැලූ විට කෑමට ඇත්තේ බෙරි කරන ලද නාඩු සහල්... කොහෙන් හරි වත්තකින් කඩාගත් දෙල් වලින් උයාගත් දෙල් මාළුව... කාගේ හරි පිලිකනු වලින් වැල් දිගේ බඩගා කඩාගෙන ඇවිත් හදා ගත් අඟුණ කොල මැල්ලූම සහ පපඩම්ය... ගමේ සිටින ඇහැට කනට පේන නංගිලා දන්සැලේ කෑම ඛෙදන අංසයට යොමු කරන අතර ගමේ අම්මන්ඩිලා සහ පණ්ඩිත සෙට් එක කෑම සකසන සහ උයන පිරිස වේ. කසියා පාරක් ගහලා චොර වෙලා ඉන්න අංකල්ලා සෙට් එක දර හෙවීම වලං හේදීම ආදියට යොමු කර ඇතත් ඔවුන්ගේ වැඩි කැමැත්ත ඇත්තේ එයට නොව කරටි කැඩෙන්නට කසියා පාරක් ගහලා දන්සැල ඉදිරිපිට තියා ඇති බෆල් වලින් ඇහෙන සින්දු වලට නැටීමටය.. වෙසක් බලන්නට යන පිරිස් වල දෙවන අවශයතාවය වන්නේ වන්දනා මාන කිරීම වන අතර ඒ සඳහා... මල් .. හන්ඳුන් කූරු.. තෙල්.. ආදිය අවශය වේ.. එහෙත් ඔවුන්ගේ පළවෙනි අවශයතාව හෙවත් පලමුවෙනි චේතනාව වන දන්සැල් වැඳීම සඳහා අවශය භාණ්ඩ කට්ටලය මෙසේය.. සවු එකතු කර ගැනීමට කට ලොකු බෝතලයක්.... බීම එකතු කරගැනීමට මෙගා බෝතලයක්... විස්කෝතු එකතු කරගැනීමට ෂොපින් බෑග් කීපයක්.. මයියොක්කා සහ කඩල එකතු කරගැනීමට ලංච් ශීට්.. මෙකී කලමනා සකසාගෙන පොල් පටවන්නා සේ හිර වී වාහනයට ගොඩ වන පිරිස මහත් විමසිල්ලෙන් සිය උකුසු ඇස් ඉදිරිපස පාර දෙසට යොමු කරන අතර යන්තම් හෝ කොඩියක් වනනු දුටුව හොත් ඉහේ මල් ගොන්නක් පිපේ. කොඩිය වනන්නේ සුදු නංගි කෙනෙක් නං දන්සැලේ දෙන්නේ මැහි තෙල් හෝ කුරේටර් කැට වුවත් නොපැකිලව ඒවා කෑමට දන්සැල් වන්දනාවේ යන තරුණයන් සැදී පැහැදී සිටිති. එසේ නංගියෙකු විසින් කොඩිය වැනීමත් සමගම රියදුරා ගහන බ්‍රේක් පාරින් පිටිපස්සෙ සීට් වල එවුන් ඉස්සරහට විසිවී ඉස්සරහ සීට් වල දත් ඇඳි හැපී ජරමර ගොඩක් සිදු වුවද එම වේදනා කඳුළු සුසුම් සෝ සන්තාපයන් සුළෙ`ග් පාකර දමා වාහනයෙන් එළියට පැන ගොදුරු ලොබින් පියාසර කරන ගිජුලිහිනියන් පිරිසක් සේ උසේන් බෝල්ට් පරදවන තරම් වේගයෙන් දන්සැල දෙසට දුව ගොස් පෝළිමට එකතු වන්නේ ප්‍රමාදය විනාසයට හේතු වේ යන බුදු වදන සිහිගන්වමිනි. පැයක් පමණ පෝළිමේ සිටිමින් නංගිලාට විහිළු සපයමින් උන්ගේ අම්මාලාගෙන් බැනුම් අසමින් ඉදිරියටම යන තරුණයන්ට සිහින යනු සබන් බෝල බඳු නැසෙන සුළු දෙයක් බව පසක් කරමින්.. අල .. පරිප්පු... බටු මෝජු.. බෝංචි.. සිහින බොඳ වී ඒ වෙනුවට... දෙල් .. අඟුණ කොල.. නම් වූ යථාර්තයට දුකෙන් වුවද මුහුණ දීමට දන්සැල තුළදී සිදු වේ.. එහෙත් සෑම කටු අත්තකම සුවඳ මලක් පිපේ යන යතාර්ථය පසක් කරමින් දෙල් හා අඟුණ කොල ඛෙදන සුදු නංගි බබාලා දකින තරුණයන්ගේ වත කමල් හිරු දුටු පියුම් පෙති සේ විකසිත වී යයි... වෙනදාට බත් ඛෙරි වී ඇතැයි අම්මාට බැණ වදින පුත්තු අද සුදු නංගිලා ඛෙදන කිරිබත් වගේ ඛෙරි වූ බත් කන්නේ "රසයි ඈ.." කියමිනි.. වෙනදාට දෙල් කන්නට බෑ කියා නූඩ්ල්ස් පැකට් එකක් හදාගෙන කන හිතුවක්කාර පුත්තු අද දන්සැලේ සුදු නංගිලා ඛෙදන දෙල් මාලුව කන්නේ "ෂහ් මේවා තමයි අප්පා නියම කෑම" කියා වරුනනා කරන ගමන්ය.. වෙනදාට "අපෝ අම්මේ මට නං ගොටුකොළ එපා තිත්තයි ඔවුවා" කියා විසි කරන යවුවනයන් සුදු නංගිලා විසින් "අයියාහ් මේ අඟුණ කොළ මැල්ලූම් ඛෙදන්නද ?" කියා හුරතල් වී අසත්ම "අහ් දෙන්න නංගී දෙන්න.. ඕවා තමයි නියම ගුණ කෑම" කියා කල්කදුරු තිත්ත අඟුණ කොල මැල්ලූම් අහුරු පිටින් ගිල දමයි.. බත් දන්සැල් වල පසුබිම මෙසේ වන අතර එය පැයකට වඩා කාලයක් පවත්වාගෙන යා නොහැක්කේ දන්සැලේ සාමාජිකයන්ගේ සහ සංවිධායකයන්ගේ පවුල් වල උදවිය යාපනයේ නියඟයට ගොදුරු වූ ජනතාව වතුර සොයාගෙන ඒමට බාල්දි බේසම් පනිට්ටු කලගෙඩි රැගෙන එන්නාක්මෙන් බාස්කට් බාල්දි රැගෙන පැමිණ ඒවා පිරෙන්නට බත් සහ එලවළු රැගෙන යාම නිසා දන්සැලට එන එවුන්ට කන්නට දීමට දෙයක් නොමැති වීම නිසාය.. බත් දන්සැල් අශ්‍රිත පසුබිම මෙසේ නිර්මාණය වෙද්දී කොත්තමල්ලි කිලෝවකින් මේ මුළු විශ්වයට පමණක් නොව චක්‍රාවාටයටම දිය හැකි තරමටම වතුර කලවම් කර දෙන කොත්තමල්ලි දන්සැල්ද දියවැඩියාකාරයන්ට දෙන මට්ටමේ සීනි රහිත සිසිල් බීම දන්සැල්ද අතරින් පතර වාර්තා වේ. සිසිල් බීම දන්සැල් වලට නම් මොකා නොආවත් හති දාගෙන දිව එළියට දාගෙන පස්ස පැත්තේ කරගැට එන තුරු පුට් බයිසිකල් පැදගෙන කොහේ හෝ දුර ඈත විහාරයකට යන පොඩි එවුන් රංචු වලින් නම් අඩුවක් නැත. බයිසිකලේ ගහකට හේත්තු කර හෝ දන්සැල ඉදිරියේ පෙරළා දමා දන්සැලට පනින උන් ටික උගුඩු පැටවුන් සේ බීම වීදුරු අට බැගින් බී පිටේ එල්ලාගෙන එන මල්ලේ ඇති මෙගා බෝතලේටද බීම පුරවා ගනිති.. උන්ට බීම වල ප්‍රමිතිය හෝ සීනි සංයුතිය අදාල නොවේ. ඒ වගේ කාණ්ඩ හතරක් පහක් ආවිට ලංකාවේ ඕනෑම සිසිල් බීම දන්සැලකට අත් වන ඉරණම සෝක ජනක වේ.. සවු දන්සැල් වල සිදුවන ඛේදවාචකය නම් බොන්නට ගන්නා පළවෙනි සවු උගුරෙන්ම දිව සහ තල්ල ගිනිකඳු විධාරණයෙන් ගලා යන ලාවා වලට පිච්චුනා සේ පිච්චී යාමය. ඉන් පසු විලඳ සහ මීපැණි දෙන දන්සැලක් අහු උනත් වැඩක් නැත්තේ දිව පිච්චුන පසු කොයි යම් හෝ රහක් නොදැනීම නිසාය. අරං එන විට අතේ සිට පහළට වැලමිට තෙක් වැගිරෙන අයිස් ක්‍රීම් දන්සැල් මෙන්ම ටවුමේ ඩෙන්ටල් එකේ දොස්තරගේ පූර්ණ අනුග්‍රහයෙන් පැවැත්වෙන දත් කැඩී යන පරිදි සකස් කළ අග්ගලා දන්සැල්ද වෙසක් සමයේ කැපී පෙනෙන අතර දන්සැල් වන්දනාව වෙසක් සමයේ සියලූ වන්දනා අභිබවා යන ජාතියේ වන්දනාවක් බව නම් පැහැදිලි වන්නේ දන්සැල් වල ඇති පෝලිම් දකින විටය.
07May 2018
blog_shape
සාමන්ත තැන්නගේ විසිනි (by Saamantha Tennege) එකල පොලීසියේ මහත්වරු කොම්පඤ්ඤ වීදියේ රාජකාරි කිරීමට මැළිකමක් දැක් වූ බව කියති. ඒ කිසියම් අවස්ථාවකදී පොලිස් වාර්ථාවක් ලිවීමට සිදුවන විට ස්ථානයේ නම හැටියට කොම්පඤ්ඤ වීදිය කියා ලිවීමට බොහෝ කොස්තාපල්වරුන්ට ඇති අපසුතාවය නිසාය. ඇතැම් අවස්ථාවල කොම්පඤ්ඤ වීදියේ අනතුරක් සිදු වූ විට අනතුරට ලක් වූ අයව ඒ අසල පිහිටි මැලේ වීදියට ගෙන ගොස්, මැලේ වීදියේදී අනතුර සිදුවූවාක් මෙන් වාර්ථා කළ බවද සමහර කටකැඩිච්ච කොල්ලෝ කියනවා මට මතකය. දිනක් හා හාපුරා කියා කොම්පඤ්ඤ වීදියේ රාජකාරි කටයුතු වලට අනුයුක්ත කළ කොස්තාපල්වරයෙකුගේ නෙත ගැටුණේ අනතුරුදායක ලෙස බයිසිකලයක එළවළු පටවාගෙන එන අයෙකි. වහාම බයිසිකලය නැවැත් වූ කොස්තාපල් තැන, "මොනවද මේ ගෝනිවල තියෙන්නේ ?" කියා ඇසුවේලූ. බයිසිකල්කරු ගත් කටටම "පිපිඤ්ඤා" කියා කීවේලූ. මද වේලාවක් හිසෙහි අතගසාගෙන කල්පනා කළ කොස්තාපල් "හා... අදට යනවා. ආය එහෙම මෙහෙම අහුවෙන්න එපා." කියා ගෝරණාඩු කර බයිසිකල්කරුට යන්නට ඉඩ දුන්නේලූ. එදා රාජකාරි නිමවා නිවසට ගිය කොස්තාපල් පාසලේ වැඩට දක්ෂ තම දියණියගේ සිංහල පාඩම් පොත් බලා "හොඳයි ලියනවා බලන්න පිපිඤ්ඤා කියලා" යනුවෙන් කීවේලූ. අනතුරුව තම දියණිය ලියූ වචනය දෙස මද වෙලාවක් බලා සිට "හා බොහොම හොඳයි" කියා හොරෙන්ම තමාගේ සටහන් පොතේද එය සටහන් කර ගත්තේලූ. දෙවෙනි දිනයේ නැවතත් ඔහු කොම්පඤ්ඤ වීදියේ රාජකාරියට ගියේලූ. එදිනද අනතුරුදායක ලෙස එළවළු පටවාගෙන එන බයිසිකල්කරුවාව ඈතදීම දුටු කොස්තාපල් බයිසිකලය නවත්වා, "ආ අදත් පිපිඤ්ඤා නේද ? බහිනවා බයිසකලෙන්..." කියා අණ දුන්නේලූ. "නෑ සර් අද තියෙන්නේ කැකිරි" බයිසිකල්කරු බයිසිකලයෙන් බසින අතර පැවසුවේලූ. "ආ එහෙනං ගොඩක් හොඳයි" කියා "මොකක්ද මේ වීදිය ?" කියා බයිසිල්කරුගෙන් ඇසුවේ කළ වරද සටහන් කරන්නටය. "කොම්පඤ්ඤ වීදිය, සර්" බයිසිකල්කරු කීවේලූ. නැවතත් හිසේ අත ගසාගත් කොස්තාපල්, එදිනද බයිසිකල්කරුට යන්නට ඉඩ දුන්නේලූ. එදින රාජකාරිය නිමවී යන අතර ඔහු කොම්පඤ්ඤ වීදියේ නාමපූරුව අසලට ගොස් එයද තම පොතේ සටහන් කර ගත්තේලූ. තෙවෙනි දිනයේද සුපුරුදු පරිදි බයිසිකල්කරුවා එළවළු රැගෙන ආවේලූ. "ආ... අදත් ආවද ? අද වට්ටක්කද ?" "නෑ සර් අදත් පිපිඤ්ඤා." "කමක් නැහැ බහිනවා... බහිනවා... අද බේරෙනවා බොරු..." පිපිඤ්ඤා, සහ කොම්පඤ්ඤ ලිවීමට උගත් කොස්තාපල් ගෝරනාඩු කළේ ය. "මොකක්ද කිව්වේ රස්සාව ?" කොස්තාපල් බයිසිකල්කරුගෙන් ඇසුවේලූ. "ස්පාඤ්ඤෙට පිපිඤ්ඤා යවනවා." එදිනද බයිසිකල්කරු ගැලවී ගියේ එසේලූ. බයිසිකල්කරුගේ නම අසන්නට කොස්තාල්ට සිතුනේ සිව්වෙනි දවසේ ය. "හරි හරි දැන් කියනවා තමුසෙගේ නම ?" "පුඤ්ඤදාස." "මොකක් කිව්වා... පුඤ්ඤදාස ?" ආය එහෙම අහුවෙන්නේ නැහැ. පස්වෙනි දිනයේ කොස්තාපල් චණ්ඩියෙකු මෙන් බයිසිකල්කරුව බයිසිකලයෙන් බැස්සුවේය. "තමුසෙගේ නම මොකක්ද කිව්වේ ?" "පුඤ්ඤදාස." 'සම්පූර්ණ නම... කියනවා... සම්පූර්ණ නම..." "ඒ. කේ. පුඤ්ඤදාස." "ඒ. කේ. කිව්වේ...?" "අඤ්ඤා කොණ්ඩඤ්ඤගේ...?" කොම්පඤ්ඤ වීදියේ පිපිඤ්ඤා වෙළෙන්දා තවත් දවසක් කොස්තාපල්ගෙන් ගැලවුනේ එසේ ය. පිපිඤ්ඤා, කැකිරි කිරීම එකල අප නිතර දෙවේලේ කළ කී දෙයකි. පිපිඤ්ඤා කියා ලියනවාට වඩා කැකිරි කියා ලිවීම පහසුය. එසේ නමුත් කැකිරි මාළුව පිසීම අපහසුය. පිපිඤ්ඤා සළාදය හැදීම ඊට වඩා පහසුය. ඒ කතාව කිවේ අපේ අම්මාගේ කැකිරි හොද්ද ගැනත් යමක් කීමටය. එකල අම්මාත් සමග පොළට ගිය ඇතැම් දිනවල ඇය පිපිඤ්ඤා මිලට ගත්තා ය. තවත් දිනවල ඇය මිලට ගත්තේ කැකිරි ය. කිසිම විටෙක ඇය පිපිඤ්ඤාත්, කැකිරිත් යන දෙකම එකම දිනක මිලට නොගැනීමට වග බලා ගත්තා ය. කෙසේ වෙතත් එකල මට නම් පිපිඤ්ඤාත්, කැකිරිත් පෙනුනේ එකම විදිහටය. එකල ඒ දෙකටම අපට තිබුණේ දැඩි අකමැත්තකි. පසුකාලීනව ඇයගේ පිපිඤ්ඤා සලාදයත්, කැකිරි හොද්දටත් අපි ඛෙහෙවින් ඇළුම් කරන්නට විමි. ඒ ද හේතුවක් ඇතිවය. නිවසින් පිටව ගොස් නගරයේ දහ ජරාව කන්නට පුරුදු වූ පසුවය, අම්මාගේ කැකිරි හොද්දේ තරම වැටහෙන්නට වූයේ. අම්මාගේ පිපිඤ්ඤා සළාදය කඩිනමින් සකසාගනු ලබන සරල කෑමකි. ඇය මුළින්ම කරන්නේ පිපිඤ්ඤා ගෙඩියේ නැට්ට පැත්තට වෙන්නට පෙත්තක් කපා එම කැපූ පෙත්තෙන්ම කැපූ තැන රවුමට පිරිමැද තිත්ත යැවීම ය. තිත්ත යැවූ පසු පොත්ත ඉවත්කර පිපිඤ්ඤා පෙති රවුමට කපා ගන්නී ය. ඉන්පසු දික් අතට කැපූ ලොකු ළූණු, පෙති කැපූ තක්කාලි, සිහින්ව ලියා ගත් අමුමිරිස් සහ ගම්මිරිස් කුඩුත් සමග පිපිඤ්ඤා පෙති එකට කලවම් කරන්නී ය. අවසානයේ ලූණු සහ විනාකිරි ස්වල්පයක්ද ඊටම එකතු කරන්නී ය. කැකිරි හොද්ද හැදීම ඊට වඩා තරමක් සංකීර්ණ ය. ඇය මුලින්ම කැකිරි ගෙඩියේද, පිපිඤ්ඤා ගෙඩියේ මෙන්ම තිත්ත හරින්නී ය. කැකිරි ගෙඩිය සෝදා පොත්තත් සමගම කොටු හැඩැති කැබැලි වලට කපා ගනී. ඉන්පසු ඒවා මැටි බඳුනකට දමයි. කරපිංචා, කහ, තුනපහ තේ හැන්දක් පමණ, රම්පෙ, කුරුඳු පොතු කැබැල්ලක්, එම මැටි බඳුනටම දමයි. අමු මිරිස් දිග අතට ලියා එයද ඊට එකතු කර ගනී. සුද්ද කළ රතුළූණු හොඳින් සෝදා සිහින්ව ලියා ඒවාද ඊටම එකතු කරයි. ඉන්පසු හාල් මේස හැන්දක්, පොල් රොඩු මේස හැඳි දෙක තුනක්, සූදුරු තේ හැන්දක්, සුදුළූණු බික් තුන හතරක් වෙනම මැටි කබලක දමා හොඳින් බැදගනී. එසේ බැඳගත් මිශ්‍රණය මිරිස් ගලේ දමා අඹරාගනී. දැන් ඇය කරන්නේ කපාගත් කැකිරි හට්ටියකට එකතු කර පහේ කුඩු හොඳින් අනා වතුර සමග ළිපේ තැබීම ය. කැකිරි කැබැලි හොඳින් තැම්බුන පසු දියකිරි කෝප්ප දෙකකට පමණ අඹරාගත් පොල් හාල් මිශ්‍රණය එකතුකර කැකිරි බඳුනටම දමා අඩු ගින්දරේ පිස ගනී. ලුණු එකතු කරන්නේ අවසානයට ය. තම්බපු හාලේ බත් සමග කැකිරි මාළුවත්, කරවල බැදුමකුත්, වට්ටක්කා කොළ මැල්ලුමකුත් එක් වූ කළ සිංහල අපට දැනෙන රසය දිව බොජුන් පරදවන්නේ ය. අපේ අම්මාගේ කැකිරි හොද්ද මගේ මතකයට ආවේ පසුගියදා අපට කියවන්නට ලැබුණු ඉතා සංවේදී පුවතක් නිසාවෙනි. 2018 අප්‍රේල් මස 25 දින දිවයින පුවත්පතේ අන්තර්ජාල කලාපයේ පළ වී තිබුණු මෙම වාර්ථාව ලියූ අයගේ නම සඳහන්ව තිබුණේ නැත. වාර්ථාව මෙසේ ය. කැකිරි තොගයක්‌ අලෙවිකර ගැනීමට දඹුල්ල ආර්ථීක මධ්‍යස්‌ථානයට රැගෙන ගිය ගොවියකුට මුහුණ පෑමට සිදුවූ අකරතැබ්බයක්‌ ගැන ඉබ්බන්කටුව ප්‍රදේශයෙන් වාර්තා වෙයි. සමගි මාවතේ පදිංචි ආර්. බී. එAකනායක (70) සිය අත්දැකීම පසුගිය 19 දා අපට මෙසේ විස්‌තර කළේය. "පසුගිය සතියේ දඹුල්ල ආර්ථීක මධ්‍යස්‌ථානයට මම වගා කළ කැකිරි කිලෝ 55 ක්‌ රැගෙන ගියා. එAවා අලෙවි කර මට ලබාගත හැකිවූයේ රුපියල් 100 යි. කැකිරි තොගය ත්‍රීවිල් එකෙන් ප්‍රවාහනය කිරීමට රුපියල් 450 යි. මමත් බිරිඳත් ගිනි අව් කාෂ්ටකයේ මේ වගාව කළේ බලාපොරොත්තු ඇතිවයි. කැකිරි වගා කිරීමට යෙදූ අක්‌කර භාගයේ ඉඩමේ සී සෑමට පමණක්‌ ට්‍රැක්‌ටර් කුලිය රුපියල් 3500 ක්‌ වැයවුණා. ඉබ්බන්කටුව ජලාශයේ සිට අඩි හත්අටසියයක්‌ බට යොදා මෝටරයකින් ජලය පොම්ප කිරීමට සිදුවුණා. එහෙව් වියදමක්‌ දරා ලබාගත හැකිවූයේ රුපියල් 100 ක්‌ නම් ගොවියාගේ අනාගතය ගැන කවර කතාද ? නමුත් සුපර් මාර්කට්‌ හා වෙළෙඳ සල්වල කැකිරි කිලෝවක්‌ රුපියල් 25 ත් 30 ත් අතර මිලකට අලෙවි වෙනවා. ගොවියාගේ එළවළුවලට සාධාරණ මිලකට අලෙවි කර ගැනීමට නොහැකි නම් එම වගාවෙන් ඉවත් වීම හැර වෙනත් විකල්පයක්‌ නෑ. මා ඇතුළු ප්‍රදේශයේ ගොවීන් බලධාරීන්ගෙන් විමසන්නේ එම ප්‍රශ්නයයි" යි පැවසීය. ලංකාවේ සංචාරය කරන විට අප දකින දෙයකි, එහි බොහෝ එළවළුවල මිල ගණන් ඕස්ට්‍රේලියාවේ එළවළු මිළට වඩා ඛෙහෙවින් වැඩි බව. එමෙන්ම ඒවායේ පෙනුම සහ ගුණාත්මක බවද ඛෙහෙවින් අඩු ය. පසුගිය වෙසක් දා විකුණාගත නොහැකි වූ රුපියල් ලක්ෂ පහක් වටිනා වට්ටක්කා දන්සැලක් දේවහූව ප්‍රදේශයේදී පැවති බවද ඇතැම් පුවත්පත් වාර්ථා කොට තිබුණි. වට්ටක්කාද, කැකිරි හොද්ද තරම්ම රසවත් ව්‍යාංජනයකි. මෙල්බර්න් නුවර හොඳ තත්ත්වයේ වට්ටක්කා ඇට ග්‍රෑම් සියයක් අඩු තරමින් ඩොලර් තුනක්වත් වෙයි. එසේ වනුයේ ඒ තරමටම වට්ටක්කා ඇටවල ගුණයක් ඇති නිසාය. එහෙත් ලංකාවේ තත්ත්වය කෙතරම් ශෝචනීය ද ? එකල මිනිසුන් මාලු කල් තබා ගැනීමට වියළා කරවල කළෝ ය. අදටත් අපි එය කරමු. එහෙත් කරවල වේලනවාට වඩා, අව්වේ වේලා මුදල් කළ හැකි දෑ කොතෙක් නම් ඇත්ද ? විජලනය කළ එළවළු කොතෙක් නම් අපට ඕස්ට්‍රේලියාවේදී ලබා ගත හැකි ද ? බටර් නොකා අලිගැටපේර ආලේප කර පාන් කෑමට තරම් බුද්ධිමත් ඕස්ට්‍රේලියානුවාගෙන් යමක් ඉගෙනගන්නට ලංකාවේ සිට මෙහි ඉගෙන ගන්නට එන තම පුතාලා බලන්නට එන ඇමතිලාටවත් නොපෙනේ ද ? කැකිරි, පිපිඤ්ඤා, වට්ටක්කා යනාදී එළවළු එකල කිසිම ඛෙහෙතක් නොගසා වගාකළ භෝග ය. මස් මාළු සහ ෆ්‍රරයිඩ් රයිස් වල රසයට වහල් වූ පසුකාලීන ලාංකිකයාට දැන් දැන් එළවළු වල රස නොදැනෙන තරම තේරෙන්නේ එකල අප හැදුනු වැඩුනු ගම් බිම් වල මෙකල සැරිසරන විට ය. අම්මාගේ කැකිරි හොද්දේ තරම තේරුම් ගැනීමට අපටද බොහෝ කාලයක් ගත විය. එය අපට වැරදුණු තැනකි. ආයුර්වේදයට අනුව කැකිරි වල මුත්‍රා මාර්ගයේ රෝග සුවකිරීමේ හැකියාවක් ඇති බවත් මූත්‍රාශයේ ගල් නැති කිරීමට හොඳ බවත් කියවේ. එමෙන්ම කැකිරි වල මුත්‍රා පිරිසුදු කිරීමේ ගුණයක් තිඛෙන අතර කැකිරි ඇට පණු රෝගවලටද භාවිතා කරයි. පිරිමින්ගේ පුරස්ථී ග්‍රන්ථී ආශ්‍රිත රෝගවලට ගුණ දෙන බවද කියවෙයි. තවද කැකිරි ආහාරයට ගැනීමෙන් මුත්‍රා හොඳින් පහවීමත්, දැවිල්ල නැති වෙන බවත් ආහාර පහසුවෙන් දිරවන බවද කියවේ. අද ලාංකිකයාගේ ජාතික ආහාරය බවට පත්ව ඇති, ඕස්ට්‍රේලියාවේ පන්සල්වල ආහාර පොළවල්වල පවා උණු කැවුම් මෙන් විකිණෙන කොත්තු, බුරියානි, ෆ්‍රරයිඩ් රයිස්වල බඩ සහ දිව පිනවීම හැර කැකිරි කෑල්ලක ඇති ගුණයෙන් අල්පමාත්‍රයක්වත් ඇතැයි කිව හැක්කේ කාට ද ? සැබවින්ම සමස්ථ ලාංකිකයා සාසනයෙන් පටන් ගෙන ඔවුන්ව පාලනය කරන පාලකයා හරහා ගොවියා දක්වාම මෙතරම් පිරිහුනු කාලයක් ඉතිහාසයේ අන් කවරදාවත් නොතිඛෙන්නට ඇත. එකතකින් ලිමසීන් වලින් වැඩ ඉස්සෝ, කකුළුවෝ, පෝර්ක් වළඳවන දාන මානය. අනික් අතින් රටින් ගෙනෙන ඇපල්, මිදි වලින් කරන ස්ථූප පූජා ය. දුප්පත් ගොවියාගේ කැකිරි ගෙඩියට දෙයියන්ගේම පිහිටය. ළඟදීම අපිට විකුණාගත නොහැකිව අද දන්සල් දෙන වට්ටක්කා වලින් සුද්දා බටර් හදා අපටම එවනවාට සැක නැත. මාලු නරක් වන්නට නොදී කරවල හැදූවේ අපේ මුතුන් මිත්තෝ ය.... නරක් වන වට්ටක්කා වලට කළ හැකි දෙයක් හිතාගන්න බැරි අපට වඩා අපේ මුතුන්මිත්තෝ කොතරම් බුද්ධිමත් ද ? එදා ගොවියාගේ විද්‍යාගාරය වූයේ ඔහුගේම කෙත ය. ඔහු අලුත් අලුත් දේ අත්හදා බැලූවේ එහිදීය. අද කෙත පත්ව ඇත්තේ ගොවියාගේ සොහොන් බිම බවටය. තමන්ගේ වැරදි තේරුම් ගැනීමට නොහැකි අපේ කෘෂිකර්මාන්ත ඇමතිලා කරන්නේ හිස් ගොඩනැගිලි වලට කෝටි ගණනින් බදු ගෙවීම ය. කැකිරි කිලෝ පනස් පහකට රුපියල් සීයක් ලැබුණු බව අසා අපට ඇතිවන සංවේගය උන්ටත් ඇතිවෙනවා නම් ? කොටින්ම වරද්ද වරද්දා පිපිඤ්ඤා ලිවීමට උගත් කොස්තාපල්ලා කටට මැෂින් සවිකරගෙන පුටු රත්කරන ඇමතිලාට වඩා හොඳ ය. ඒ ඌ නොදන්නා දේ ඉගෙනගැනීමට තරම් අවංක වූ නිසාය. ස්පාඤ්ඤයට පිපිඤ්ඤා පටවන අඤ්ඤා කොණ්ඩඤ්ඤලාගේ පුඤ්ඤදාසලා ඊටත් වඩා හොඳ ය. ඒ උන් නිර්මාණශීලී නිසා ය.
shape
Copyright © Kadapatha 2018. All rights reserved. Solution by saamArt