seprator

කෞටිලයගේ ශාස්ත්‍රය, ලිච්ඡවීන්ගේ පරාජය සහ වස්සකාරගේ උපක්‍රමය

  • Home
  • Feature
  • කෞටිලයගේ ශාස්ත්‍රය, ලිච්ඡවීන්ගේ පරාජය සහ වස්සකාරගේ උපක්‍රමය
seprator
12November 2018
blog_shape

ගංගා නම් නදිය අසබඩ දියමන්ති ආකරයක් තිබුණි. මෙම ආකරයෙන් ලැඛෙන දියමන්ති සමසේ ඛෙදා ගන්නට වජ්ජි පුත්‍ර ලිච්ඡවින් හා අජාසත්ත රජු අතර ගිවිසුමක් තිබුණි. නොසැලකිල්ල නිසා අජාසත්ත රජු ඔහුගේ කොටස නියමාකාරයෙන් ලබා ගන්නට උත්සුක නොවීය. ඒ නිසාම ආකරයෙන් ලැඛෙන සියලූ දියමන්ති තමන් සන්තක කර ගන්නට වජ්ජීහු සමත් වූහ. දිගින් දිගටම සිදුවෙමින් පැවති මෙම අකටයුත්ත නිසා අජාසත්ත රජුට ලිච්ඡවීන් ගැන තිබුණේ දැඩි වෛරයකි. යුද්ධයකින් ලිච්ඡවීන්ව පරාජය කිරිමේ දුෂ්කර බව දත් අජාසත් රජු වස්සකාර නම් තමාට ඛෙහෙවින් හිතවත් ඇමතිවරයෙක් බුදුන් වහන්සේ කරා යොමු කළේ ලිච්ඡවීන්ව පරාජය කළ නොහැකි වන්නට හේතු වූ කාරණා විමසා බලන්නට ය. ඒ අවස්ථාවේදී බුදුන් වහන්සේ ලිච්ඡවීන්ව පරාජය කිරීමට නොහැකි කරුණු හතක් – සප්ත අපරිහානී ධර්ම – ගෙහැර දැක්වූහ. නිතර නිතර එක් රැස්වීම, සමඟියෙන් රැස්ව සමඟියෙන් ක්‍රියා කොට සමඟියෙන් විසිර යාම, නොපැනවූ නීති නොපැනවීම සහ පැන වූ නීති කඩ නොකිරීම, වැඩිහිටියන්ට ගරු කිරීම, විවාහ නොවූ කුල කුමරියන්ට ආරක්ෂාව සැලසීම, වජ්ජි ජනපදයෙහි හා පිටත පූජනීය ස්ථාන වලට ගරු කිරීම, තම ජනපදයට පැමිණෙන රහතන් වහන්සේට පහසුකම් හා ආරක්ෂාව ඇති කිරීම යන කරුණු සත එම අපරිහානී ධර්මයෝ ය. මෙම සිද්ධියට අදාල කාලය ආසන්න වශයෙන් ක්‍රි ඃ පූ 490 – 492 ත් අතර විය හැකිය.

වජ්ජීන්ට අනුව වස්සකාර යනු ඉතා කූඨ ඇමතියෙකි. අජාසත්තට අනුව වස්සකාර ඉතා ශූර ඇමතියෙකි. කෙසේ වුවත් වස්සකාරට සමාන අයෙකි, ක්‍රි ඃ පූ 371 – 283 ත් අතර කාලයේ ජීවත් වූ “අර්ථ ශාස්ත්‍ර” කතු කෞටිල්‍ය හෙවත් චානක්‍ය ය. කෞටිල්‍යගේ අර්ථ ශාස්ත්‍රය වනාහී එදා මෙදාතුර පාලකයන් වෙනුවෙන්ම ලියවුනු සවිස්තරාත්මක දේශපාලන ග්‍රන්ථයකි. චාන්‍යකගේ අදහස් වලට ඛෙහෙවින් සමාන අදහස් දැරූ අයෙකි, ඔහුගෙන් වසර 1800 කට පසු ඉතාලියේ ජීවත් වූ මකියාවේලි. මකියාවේලි ලියු “කුමාරයා” සහ චාන්‍යකගේ “අර්ථ ශාස්ත්‍රය” අතර සමානකම් මෙන්ම වෙනස්කම්ද තිබේ.

කෞටිල්‍ය නොහොත් චානක්‍ය ගැන තොරතුරු දැක්වෙන ග්‍රන්ථයන් අතර මහාවංශය වැදගත් තැනක් ගනී. කාලයේ වැලිතලාවෙන් වැසී යන ඉන්දියාවේ කෞටිල්‍ය ගැන තොරතුරු ලෝකයාට මුලින්ම ලැඛෙන්නේ මහාවංශයෙනි. එයින්ම මහාවංශයේ වැදගත්කම මොනවට පැහැදිලි වන්නකි. ශත වර්ෂ ගණනාවක් අතුරුදන්ව පැවති කෞටිල්‍යගේ අර්ථ ශාස්ත්‍ර කෘතියේ තල්පත් පල ලියවුනු පිටපතක් හමුවන්නේ ක්‍රි ඃ ව 1904 දී ය. එවක පටන් බටහිර ලෝකයා චාන්‍යක ගැන අධ්‍යයනය කරන්නට පටන් ගත්හ.

චාන්‍යක ගැන තොරතුරු විවිධ මූලාශ්‍ර වල විවිධාකාරයට දැක්වේ. බෞද්ධ මූලාශ්‍ර වලට අනුව චානක්‍ය විරූපී අයෙකි. ඔහුගේ දත් කැඩී තිබුණි. දෙපා ඇදව පිහිටා තිබුණි. නන්ද අධිරාජ්‍යා විසින් එක්තරා අවස්ථාවකදී තමන්ව හෙළා දැකීම ගැන උරණ වූ චානක්‍ය පළායන්නේ කවදා හෝ නන්ද අධිරාජ්‍යයා බලයෙන් පහකරන බව සපථ කරමිනි. ඒ සඳහා ඔහු දෙදෙනෙකු උපයෝගී කර ගනී. එක් අයෙකු නන්දගේ පුත් පබ්බත ය. අනෙක් අය නම් පියා අහිමිව දඩයක්කාරයෙකු විසින් ඇති දැඩිකරගත් තවත් රාජකුමාරයෙකු වූ චන්ද්‍රගුප්ත ය. චානක්‍ය දඩයක්කරුවාට කහවනු දහසක් ගෙවා චන්ද්‍රගුප්තව මිළට ගත්තේ ය. මේ දෙදෙනාගෙන් රජකමට සුදුස්සා තෝරා ගැනීමට චානක්‍ය කාලයක් ගත කළේ ය.

චානක්‍ය විසින් නූලක බැඳි සුරය බැගින් ඔවුන් දෙදෙනාගේ ගෙලෙහි බඳින ලදි. දිනක් චන්ද්‍රගුප්ත නිදා සිටියදී චානක්‍ය පබ්බතට අභියෝගයක් කළේ ය. නින්දෙන් අවදි නොකර චන්ද්‍රගුප්තගේ ගෙල බැඳි සුරය තමන්ගේ අතට ගැනීම ය, ඒ. පබ්බතට එම අභියෝගය ජය ගැනීමට හැකි නොවූයේ සුරය ගලවා ගැනීමට උත්සාහ දරන විට හදිසියේම චන්ද්‍රගුප්ත අවදි වූ නිසාය. තවත් දිනක් පබ්බත නිදාගෙන සිටි අවස්ථාවක චානක්‍ය එම අභියෝගය කළේ චන්ද්‍රගුප්තට ය. චන්ද්‍රගුප්ත ඉතා පහසුවෙන් එම අභියෝගය ජය ගත්තේ එකම එක කඩු පහරකින් පබ්බතගේ ගෙළ සිඳලීමෙනි.

චානක්‍යගේ උපදෙස් අනුව සංවිධානය වූ චන්ද්‍රගුප්තගේ හමුදාව කිහිප වරක්ම නන්දගේ අධිරාජ්‍යයට පහර දුන් නමුත් ඒ හැම අවස්ථාවකදීම ඔවුන්ට අත් වූයේ පරාජය ය. දිනක් නගරයේ වෙස්වලාගෙන සැරිසරන චානක්‍යට දරුවෙකුට බැණ වදින මවකගේ හඬ ඇසුණි. දරුවා සිය මව දුන් කැවුමක වටේ කොටස් විසිකර මැද කොටස පමණක් අනුභව කළේ ය. මව කිපුණේ ඒ ගැනය.

“උඹත් හරියට කැවුම් කන්නේ චන්ද්‍රගුප්ත යුද්ධ කරනවා වගේ. වටේ තියන බලකොටු අල්ලාගන්නේ නැතිව එක සැරේම ප්‍රධාන බලකොටුවට ගහනවා.” මව දොස් කීවා ය.

චානක්‍ය වහාම තම වැරුද්ද අවබෝධ කර ගත්තේ ය. ඒ අනුව ඔහු මුලින්ම අවට ගම්මාන සියතට ගත්තේ ය. අවසානයේ රාජධානියේ අගනුවර වූ පාටලීපුත්තයට පහර දී එය සියතට ගත්තේ ය. චන්ද්‍රගුප්තගේ මෞර්ය රාජවංශය බිහිවන්නේ එසේ ය. චානක්‍යගේ උපදෙස් අකුරටම පිළිපැද චන්ද්‍රගුප්ත ඝාන්ධාර එනම් වත්මන් ඇෆ්ගනිස්තානය ප්‍රදේශය පාලනය කළ මහා ඇලෙක්සැන්ඩර් රජුගේ සෙන්පතියන් පවා යුද්ධයෙන් පරාජය කළේ ය.

එක අතකින් කෞටිල්‍යගේ අර්ථ ශාස්ත්‍රය අමානුෂික ය. අනෙක් අතින් ප්‍රායෝගික ය. ඒ නිසාම ඔහු අමානුෂික බුද්ධිමතෙකු බව ඇතැම් විචාරකයන්ගේ පිළිගැනීම ය. ඔහු ඉතා විවෘතව ඝාතන කළ යුතු ආකාරය, රාජ්‍යත්වය වෙනුවෙන් පවුලේ සාමාජිකයින්ව මරා දැමීම, ඔත්තුකරුවන් හැසිරවිය යුතු අන්දම, අමාත්‍යවරුන්ගේ ඔත්තු සෙවීම යනාදී කාරණා කතා කරයි. නන්ද අධිරාජ්‍යා ඝාතනය කිරීමෙන් පසුව ඔහුගේ ධනය සඟවා තිබූ තැන චානක්‍ය සොයා ගනු ලබන්නේ ධීවරයෙකුගේ මාර්ගයෙනි. ධනය සොයා ගත් විගසම චානක්‍ය එම ධීවරයාව මරා දමයි.

මහාචාර්ය සුචරිත ගම්ලත්ගේ “බුද්ධ චරිතය” කෘතියෙහි චානක්‍යගේ දේශපාලන දැක්ම ගැන දැක්වෙන කරුණු කිහිපයකි, මෙහි පහත දැක්වෙනුයේ. බොහෝ දෙනා චානක්‍ය මකියාවේලීට සමාන කරන්නේ රාෂ්ඨ පාලනය සම්බන්ධ ඔහුගේ මෙකී දර්ශනය නිසාය.

– චරපුරුෂයන් ගෝත්‍රතුලට වැදි එහි අභ්‍යන්තර ගැටුම් ඇවිලවීමේ හැකියාව ගෙන දෙන ඊර්ෂයාව, ද්වේශය  හා වෙනත් දෑ සොයා මනා සැලසුමකින් යුතුව ඔවුන් අතර ගැටුම් ඇති කළ හැකි විෂබීජ වපල යුතුය.

– ආචාර්යවරුන් සේ වෙස්වලාගෙන ඔවුන් ගෝත්‍රයේ ප්‍රධානයන් කලකොලාහලවල පැටලිය යුතුය.

– චෛත්‍යයන්ට හා පූජ්‍යස්ථාන වලට ඇතුළු වන දොරටුවල රන්භාන්ඩ හා රත්රන් තබා ගෝත්‍රයේ ප්‍රධානීන් තුල ලෝබය ලියලවිය යුතුය.

– පිස්සු වට්ටන රූසපුවෙන් හා තාරුණයෙන් යුත් ගණිකාවක් හෝ නර්තන ලියන් පෙන්වා ප්‍රභූන් කාමයෙන් මත්කොට මුලා කළ යුතුය.

– ගනිකාවක් විසින් ගෝත්‍ර ප්‍රධානියෙකු තමා පැහැර ගැනීමට පොලඹවා විනෝද උයනක් අසල තියුණු ආයුධයකින් පහර දී හෝ වස දී හෝ තමා  පැහැර ගෙන ගිය එකා මරා දැමිය යුතුය. ඊට පසු “අර අනිකා මගේ ආදරවන්තයා මැරුවා” යැයි කියමින් ඇය කෑ ගැසිය යුතුය.

– තවුසකු ලෙස වෙස් වලා ගත් චරපුරුෂයෙකු රාත්‍රි කාලයෙහි යට කී ලෙස කාමයෙන් මුසපත් කරන ලද ගෝත්‍රික නායකයෙකුට ස්ත්‍රින් වසඟ කිරීමේ බලය ඇතැයි කියා වස මිශ්‍ර කළ ආලේපන දිය යුතුය. එවිට ඔහු මැරී යනු ඇත. එහි යොදවන ලද වෙනත් චරපුරුෂයන් එය තරගකාරී නායකයෙකු කල දෙයකයැයි ප්‍රචාරය කළ යුතුය.

– නක්ෂත්‍රයන් හා අන්‍යයන් ලෙස වෙස්වලාගත් ඔත්තුකරුවන් රාජකුමාරයාගේ කේන්ද්‍රයේ ගැබ්වන රාජයෝග හා වෙනත් රාජලක්ෂණ ප්‍රචාරය කළයුතුය. එනයින් ගෝත්‍රයේ අවංක නායකයින් ඒ හෝ මේ රජුගේ පුත්කුමරු යටතට මෙහෙයවිය යුතුය. මෙසේ නම්මවා ගැනෙන නායකයන් වෙත රජු ගවයන්, සේවකයන් හා වෙනත් ද්‍රව්‍ය තෑගි කොට යැවිය යුතුය. මේ අයුරින් ඔවුන් දිනාගත යුතුය.

චානක්‍යගේ තතු මෙබඳු කරුණු කිහිපයකට පමණක් ලඝු කළ හැකි නොවේ. ඔහු රජෙකුගේ යුතුකම් සහ වගකීම් ගැනත් ඒවා නොකිරීමෙන් ඔවුන්ට විඳින්නට වන බරපතල විපාකයන් ගැනත් ඉතා ගැඹුරෙන් කතා කරයි.
නිදසුනක් ලෙස ඔහුගේ පහත අදහස් දැක්විය හැකිය.

– ඔබේ රහස් අන් අය හා ඛෙදා නොගන්න. එසේ කිරීමෙන් ඔබේ අවසානය ඔබම ළඟා කරගන්නේ ය.

– සෑම මිතුරකමක්ම පසුපස කවර හෝ පුද්ගලික අවශයතාවක් ඇත. එසේ නොවන මිතුරුකම් නැත. කටුක මුත් සැබෑ සත්‍යය එයයි.

– සතුරාගේ දුර්වලකම් වටහා ගන්නා තුරු ඔහු සමඟ මිතුරුව සිටිය යුතු ය.

– සතුරා කෙනෙකුගේ දුර්වලතා දැන සිටිය යුතු නැත. නමුත් ඔහු සතුරාගේ දුර්වලතා දැන ගත යුතුය. ඔබ ඔබගේ සැබෑ අභිප්‍රායන් සඟවාගෙන කටයුතු කළ යුතු ය. ඉබ්ඛෙකු තම අඟ පසඟ තම කටුව තුළම සඟවා ගන්නවාක් මෙනි.

දැන් නැවතත් අපි අජාසත්ත රජු ලිච්ඡවින්ව පරාජය කළ ආකාරය කොතෙක් දුරට චානක්‍යගේ දර්ශනය හා සමපාත වේදැයි විමසා බලමු. මේ කරුණු සවිස්තරාත්මකව සඳහන් වන්නේ ජෛන පොත පතෙහි ය. අජාසත්ත රජු ගැන ජෛන සම්ප්‍රදායට අනුව දැක්වෙන තොරතුරු හා බෞද්ධ පොත පතෙහි දැක්වෙන තොරතුරු අතර සමානකම් මෙන්ම අසමානකම්ද ඇත.

වස්සකාර ඇමති අවුරුදු තුනක් පමණ වජ්ජි දේශයේ සරණගතයෙක් මෙන් වෙස් වලාගෙන සැරිසරමින් වෛසාලිය ආක්‍රමණයට පසුබිම සකස් කළේ ය. අවසානයේ ඉතා භයානක සටන් දෙකක් ඇවිලී ගියේ ය. කෙසේ වෙතත් වෛසාලියේ නගර දොරටු ඉතා සවිමත්ව සාදා තිබුණි. අජාසත්ත රජුට ඒවා විනිවිද යාම ඉතා අසීරු විය. දින ගණනාවක් ගත විය. තවමත් අජාසත් රජු හිටි තැනමය. අවසානයේ අජාසත්ත රජු කුල්වකාල නම් තවුසා කරා මාගන්ධිකා නම් වෛශ්‍යාව යොමු කළාය. ඒ කුල්වකාලගේ අනුගාමිකාවක සේ වෙස් වලාගෙන ය. ඇයට කුල්වකාල තම වසඟයට ගත්තා ය. කුල්වකාල මහණ දිවියට සමු දී ඇය හා විවාහ විය. ඉන්පසු ඇය කුල්වකාල ජොතිශ්‍යකරුවෙකු මෙන් වෙස් ගන්වා වෛශාලයට යවා මුනිසුවාරත නම් ජෛන ශාස්තෘවරයා වෙනුවෙන් ඉදිකර තිබූ අල්තාරයක් නිසා නගරයට බොහෝ විපත්ති ඇතිවන බව ප්‍රචාරයක් කළේ ය. ලිච්ඡවිහු අවසානයේ එකී අල්තාරය කඩා දමන්නට පෙළ ගැසුණෝය. ඒ අවස්ථාවේදී කුල්වකාලගේ සංඥාවකට අනුව ක්‍රියාත්මක වූ අජාසත්ත රජුගේ හමුදාව බාල, තරුණ, මහළු බව නොබලා ලිච්ඡවීන්ව සමූල ඝාතනය කළහ. අවසානයේ කේලාම්, අභූත චෝදනා ආදී නොයේක් උපක්‍රම හරහා බිඳ වැටුණු පාලනයක් යුද්ධයකින් පරාජය කිරීම ඉතා පහසු බව පසක් කරමින් අජාසත්ත ජයගත්තේ ය.

රටක් විනාශ කිරීමට ගත වන්නේ නිර්මාණය කරන්නට යන කලයට වඩා ඛෙහෙවින්ම අඩු කාලයකි. වැඩිම කාලයක් ගත වන්නේ රටක් හොඳින් පවත්වාගෙන යාමය. ඒ නිසාම පවත්වාගෙන යාම බුද්ධිමතුන්ට අයත් ය. ඉතිහාසය දන්නා, පැරණි සම්ප්‍රදායන් පවත්වාගෙන යන්නේ ඔවුහු ය. චානක්‍යද මේ බව කියයි. ඔහු කියන්නේ රජු ඉතිහාසය හොඳින් දැන සිටිය යුතු බවය. එමෙන්ම අන් අයගේ වැරදි වලින් පාඩම් උගත යුතු බවය. හේතුව තමන්ම වැරදි කර පාඩම් ඉගෙන ගෙන රට පාලනය කිරීමට තරම් කාලයක් ඔහු ජීවත් නොවන නිසාවෙනි.

වස්සකාර ඇමති බුදුන් වහන්සේගෙන් විමසා සිටින්නේ ලිච්ඡවීන්ව පරජය කළ නොහැකි මන්ද යන කාරණය ය. එවිට බුදුන් වහන්සේ දේශනා කරන්නේ සප්ත අපරිහානී ධර්ම ගැන ය. සාමාන්‍ය අයෙකු නම් එබඳු ධර්ම ඇසූ විට කරන්නේ ඒවා අපේ ජීවිතවලටත් සම්බන්ධ කරගන්නේ කෙසේද යන කාරණය නොවේ ද? එහෙත් වස්සකාර ඇමති කල්පනා කරන්නේ ලිච්ඡවීන්ගේ දියුණුවට හේතුවන එකී යහපත් ගුණාංග විනාශ කර දමන්නට සුදුසු උපක්‍රම ගැනය. එසේ නම් යටි අරමුණු නොවිමසා සප්ත අපරිහානී ධර්ම වස්සකාරට කීමෙන් වරද කර ඇත්තේ බුදුරජාණන් වහන්සේ ද ? එය එසේ විය නොහැකි ය. ඒ නිසාම වස්සකාර බඳු චරිත දෙස අප බැලිය යුත්තේ කුරුළු ඇසකිනි. එනම් අහසේ සිට පොළව දෙස බලනවාක් මෙනි. එසේ බලන කල්හි අපට චානක්‍ය අර්ථ ශාස්ත්‍රයේ කියූ එක් කරුණක් ඉතා පැහැදිලිව පෙනෙන්නේ ය. එනම් “සෑම මිතුරකමක්ම පසුපස කවර හෝ පුද්ගලික අවශයතාවක් ඇත. එසේ නොවන මිතුරුකම් නැත. කටුක මුත් සැබෑ සත්‍යය එයයි.” යන්නය, ඒ.

සාමන්ත තැන්නගේ (Saamantha Tennege)
(කැඩපත – නොවැම්බර් 2018 – www.kadapatha.com.au)

Please follow and like us:

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

shape
Copyright © Kadapatha 2018. All rights reserved. Solution by saamArt