seprator

වසන්ත ගීතය

seprator
12April 2016
blog_shape

රත්න ශ්‍රී විජේසිංහ (by Rathna Sri Wijesinghe)

සිතුවම – චන්ද්‍රා මල්ලවආරච්චි (Painting by Chandra Mallawarachchi)

නීල කොඛෙයි රෑන ඇදි
වී අවුලන ඉපනැල්ලේ
මාල ගිරව් රංචු ගැසිලා
නව අවුරුදු ගීත ගයනවා

වක්කඩළඟ දිය සුළියේ
තිත්ත පැටව් කලබලයේ
ඒ තාලෙට වරල් සලාලා
නව අවුරුදු නැටුම් නටනවා

ඔංචිලි චිලි චිල්ල මලේ
වැල්ල දිගට නෙල්ලි කැලේ
මලින් පලින් ගහ කොළ පිරිලා
ගම්මානෙට අවුරුදු එනවා

නා වැටියම දළු දමලා
නා අතු අග මල් පිපිලා
බාල ලියන් ටිකිරි හිනාවේ
ගමින් ගමට එළිය ගෙනාවේ

දොඩම් කපා ඇඹුල් තියා
නැවුම් කලේ උකුලේ තියා
රන් මැණිකේ දියට වඩිනවා
කුඹුකෙ ළි‍ඳෙන් වතුර ගෙනෙනවා

ගේය පද – මහගම සේකර
සංගීතය සහ ගායනය – ඩබ් ඩී අමරදේව

බක් මාසය භාග්‍යවත් මාසයක් වන්නේ එය පෙරදිග වැසියන්ගේ ගොවි ජීවිතයේ භාග්‍යය නෙළා ගන්නා අස්වනු සමය ද වන බැවිනි. තුරුලිය මල් සම්පතින් සැරසුණු මහ පොළොවේ උත්කර්ෂවත් ප්‍රීතිය පළකරන නිල උත්සවය වසන්තයයි. එය විශේෂයෙන් ම පෙරදිග වැසියාගේ දිවිය සමග කේන‍ද්‍රීය වශයෙන් බැදුණු උළෙලක් වන්නේ, ඔහු ගේ නිෂ්පාදන සම්බන්ධතා ඇසුරෙන් සොබා දහම ඔහු වෙනුවෙන් ම නිම වූ උළෙල එය වන නිසාය. මේ භාග්‍යවත් සමය භව භෝග සම්පතින් මෙන් ම ප්‍රබෝධමත් හැඟීමෙන් ද මිනිසුන් ආඪ්‍යවන සමයයි.
“නව බග් ළසන්ද – දුටි, මිනිසක්හු නොවජන්නෙ” යි එදා සීගිරි කවියා ලියුවේ ද එහෙයින් විය හැකිය. ඔහු සීගිරි දිගැසියන් අමතා කීයේ, “බක් මාසේ නව ළසද දුටු මිනිසෙක් අමතක නොකළ මැනවයි” යනුවෙනි. ඒ සඳ දුටු මිනිසා ද භාග්‍යවන්තයෙකි. ඉන්පසු කාලයෙක පහළ ඌවේ ජන කවියා ද මෙසේ කීයේය.
සක් සඳ ඇඳි ලපය මෙනි නුඹ පසු බානේ
නෙත් රස බසක් නොදැනෙයි මට අවමානේ
දුක් සැප විඳගන්ට නිදි නැත මට යානේ
බක් මස ඇවිත් බලපන් සුරතල් ළඳුනේ
බක් මස ධන ධාන්‍යාදියෙන් මිනිසා ආඪ්‍ය කරනු පමණක් නොවේ, නිසි පෝෂණයත්, රැකවරණයත් ලබා සිටින ඔහු ආදරය, ප්‍රේමය වැනි සියුමැලි මනෝභාවයන්ගෙන් ද සරුසාර වී සිටියි. එහෙයිනි, සොබාදහමේ උත්කර්ෂවත් ප්‍රීතිය ඔහු වෙත පවරා ගැන්ම ව්‍යාජයක් නොවන්නේ.
මෙයින් දශක තුනකටත් එපිට දී අමරදේවයන් සංගීතවත් කොට ගැයූ මේ ගීය ලියුවේ මහගම සේකර කවියාය. මේ ගීය ද වසන්තය මෙන්ම කිසි දා අමිහිරි හෝ පැරණි හෝ නොවන්නකි.
වසන්ත ප්‍රීතියට ප්‍රථමයෙන් ම සංවේදී වන්නේ සොබා දහම බැව් යට කියන ලදී. කුරුල්ලෝ ඉන් මුල් තැන ගනිති. වරෙක ඇන්ටන් චෙකොව් නම්, ශ්‍රේෂ්ඨ සාහිත්‍යකරුවා කුරුල්ලන් හැඳින්වූයේ පියාපත් ලද පුංචි දරුවන් ලෙසිනි. ඒ ඇත්තය. වසන්ත ප්‍රීතිය හමුවේ පුංචි දරුවන්ටත් කුරුල්ලන්ටත් නිහඬව ඉන්නට බැරිය. නීල කොඛෙයියනුත්, මාල ගිරවුනුත් මහත් සතුටින් කල එළි බසිති.
ඔවුහු නිෂ්පාදකයෝ නොවෙති. යැපෙන්නෝය. ඔවුන් නිෂ්පාදකයින් නොවුණ ද සොබා දහමේ තුල්‍යතාව රැකගන්නටත්, විචිත්‍ර භාවය වෙනුවෙනුත් මහත් මෙහෙවරක් ඉටුකරති. එහෙයින් ඔවුන්ට ද ගොවියෝ සිය අස්වැන්නෙන් කොටසක් වෙන් කරති. මාල ගිරවුන් නව අවුරුදු ගී ගයන්නේ ඒ හිලව්වටය. අනෙක, කලාකරුවන්ට මෙන් ම ඔවුන්ට ද නොගයා ඉන්නට බැරිය.
මාල ගිරිවුන්ගේ නව අවුරුදු ගීයෙන් පිබිද ඇසැර බලන විට පෙනෙන්නේ අවට තවත් බොහෝ විචිත්‍ර දේ සිදුවන බවය. වෙලේ නියරේ වක්කඩ ළඟ දිය සුළියේ තිත්ත පැටව් කලබල වී මාලගිරවුන්ගේ ගී තාලයට වරල් සලමින් නව අවුරුදු නැටුම් නටති. මහගම සේකර කවියා ම තවත් වරෙක තිත්ත පැටවුන්ගේ මේ නැටුමේ අසිරිය ගැන ලියා තිබේ.
“වක්කඩළඟ දිය වැටෙන තාලයට
තිත්ත පැටව් උඩ පැන නැටුවා” යනුවෙනි.
සොබාදහමේ මේ අපූරු ගායන, නර්තන සංයෝගයට අසංවේදී ව ඉන්නට හැක්කේ කාට ද ? ඔංචිලි වාරම් ගැයෙන්නට පටන් ගන්නේ එබැවිනි. නෙල්ලි කැලේ වැල්ල දිගට, මලින් පලින් ගහකොළ පිරී තිබේ. නිසැකව ම ඉතින් ගම්මානෙට අවුරුදු එන්නේය.
නා වැටිය දළුලා නා අතු අග මල් පිපී තිබේ. දළු ලෑ නා වැටිය රත් දෙතොල් පෙළක් සිහිගන්වයි. ඒ සිනහවකට පේ වී පොපියන දෙතොල්ය. බාල ලියෝ ටිකිරි සිනහවෙන් සැරසෙති.
සොබාදහමේ ප්‍රබෝධමත් වස්තූන්ගේ ප්‍රීතියට අවනතව ඉන් පමුදිත වන මිනිස්සු ජීවිතය දිනා ගන්නටත් ආස්වාදනය කරන්නටත් සැරසෙති.
වරෙක වසන්ත සමයේ මේ අසිරිමත් හැසිරීම පිළිබඳව ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහ කවියා මෙසේ ලියුවේය. ඒ, කෝමළ රේඛා පෙර වදනේය.
“මගේ එක් සිංහල අවුරුදු දිනයක් ගතවූයේ දඹුලූගල මුදුනේදීය. හිස හැරුණු අතේ නිදහසේ සැරිසරා ගිය මේ යුගයේ ගොයම් ගස් නමා කෙත් උඩ දිවෙන රැල්ලෙන්, සැඩ සුළඟට අසු වූ අතුරිකිලිවලින්, මඳ සුළඟ වැළදගත් ළාදළු වලින්, ගිලිහී වැටෙන නාමල් පෙති හුළං රැළි උඩ පාවි ගිය ගමනින්, හොටය කරකවා හිස ඇළකොට බලන කුරුලූ බැල්මෙන්, ගැමියන්ගේ උකුළු මුකුළුවලින්, අව්වෙන්, වැස්සෙන්, සඳ පහනින් මා වුවද නොදැන සිටි ගී විරිත් මම සොයා ගතිමි.”
කවියකට වසන්තය සපයා දෙන මේ කෝෂ්ඨාගාරයේ දිග පුළුල කොතරම් දැයි මින් පෙනේ. ඉන් ලබන වින්දනය මිනිසාගේ භාවලෝකය පුළුල් කොට ඔහුගේ ජීවන ලාලසාවන් වඩමින්, ජීවිතය දිනාගන්නට ඔහු මෙහෙයවන බව අරුමයක් නොවේ.

 

Please follow and like us:

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

shape
Copyright © Kadapatha 2018. All rights reserved. Solution by saamArt