seprator

අසාර වූ මහ පොළව මමයි

seprator
17January 2016
blog_shape

රත්න ශ්‍රී විජේසිංහ විසිනි (by Rathna Sri Wijesinghe)

https://youtu.be/YSYIp2r9P8I

පාළු අඳුරු නිල් අහස මමයි
ඈත දිලෙන තනි තරුව ඇයයි
යුගයෙන් යුගයට හදවත් ඉල්ලන
බලාපොරොත්තුව පැතුම ඇයයි

අසාර වූ මහ පොළොව මමයි
ගලාබසින දිය දහර ඇයයි
යුගයෙන් යුගයට හදවත් ඉල්ලන
සදාකාලිකවූ සැපත ඇයයි

කැලෑව මැද කටු පඳුර මමයි
පිපී වැනෙන මල් පොකුර ඇයයි
යුගයෙන් යුගයට හදවත් පුරවන
අඳුරු වේදනා කැටිය ඇයයි

පද රචනය ඃ මහගම සේකර
සංගීතය හා ගායනය ඃ විශාරද අමරදේව

විශාරද අමරදේවයන්, භාවික ගුණ සපිරි ඔහුගේ මධුර ස්වරයෙන් ගයන මේ ගීය නාද මාධ්‍යයට පෙරළුණේ ද ඔහු අතිනි. මීට දශක හතරකින් එපිට දී ගුවන් විදුලියේ “මධුවන්ති” වැඩසටහනක් සඳහා මේ ගීය රචනා කළේ මහගම සේකර කවියාය.
ප්‍රේමය නම් විශිෂ්ඨ මනෝභාවය, මානවයාගේ ප්‍රබල කායික මානසික චර්යාව, ආරම්භයේ දී පටන් ම ඔහුගේ ජීවිතය ඉමිහිරි කළේය. එදා පටන් කවීහු ද සෙසු කලාකරුවෝ ද මේ සියුමැලි හැඟුම් සරණියේ මහිමය කලාත්මකව නිරූපණය කරන්නට තැත් කළාහු ය. එහි කවර වරදක් ඇද්ද ? සැබැවින් ම ස්ත්‍රී පුරුෂ ප්‍රේමයේ සුකුමාරතාව කවියට නැගුවෝ කවීහු පමණක් නොවෙත්. සෙස්සෝ ද මේ චමත්කාරය හමුවේ කවියෝ වූවාහුය.

මහගම සේකර කවියා මේ පෙළහර පෑමෙහි පළමුවැන්නා නොවුව ද දශක තුනකට වැඩි කලක් බොහෝ තරාතිරම්වල පිරිස් රස විඳි මේ ගීය අදත් ප්‍රේම ගීත විෂයයෙහි ආදර්ශ රූපයක් වැන්න. අව්‍යාජත්වය හා සරළ බවත් සේකර කවියා සතු වාගීෂ්වරතාවත් මෙහි රස උල්පත් ඇරඹෙන තැන්ය.

කවියා ඔහුත් ඇයත් අතර ප්‍රේමය සරල ලෙස ද අව්‍යාජ ලෙස ද සංක‍ෂිප්ත ලෙස ද රූපකාලංකාරයකට පිඬුකරයි.
ඔහු පාලූ අඳුරු නිල් අහස වන අතර ඇය ඒ පාලූ අඳුරෙහි ඈත දිලෙන තනි තරුව වන්නීය. තනි තරුවක් ඇති අහසට අන් විකල්පයක් තිබේ ද ?

ඔහු අසාර වූ මහ පොළොව වන කලට, ඈ ඒ බිම ගලා බස්නා දිය දහර වන්නීය. එසේ ම ඔහු කැලෑව මැද කටු පඳුර වන කලට, එය සරසා පිපී වැනෙන මල් පොකුර වන්නී ද ඇය ය. මේ රූපක පෙළ සරල වනු මෙන් ම එකිනෙකා පැහි සැසෙඳන්නේ එකී පරිසර තුළ අනොන්‍යව ගැලපිය හැකි අනෙකක් ඇතැයි සිතන්නට ඉඩ නොතබාය. තනි තනිව ගත් කල අහස, තරු, පොළොව, දිය දහර ආදී යෙදුම්වල සැබවින්ම චමත්කාරයක් නැත. එහෙත් ඒවා උචිත වැකි – වචන පරිසරයන් හි යෙදුණු කල ඇති කරන්නේ අපූර්ව චමත්කාරයක් මය. එමෙන් ම තනි තනිව ගත් කල නූපදනා ව්‍යංගයක් ද ධ්වනියක් ද එම ප්‍රකරණයෙන් උපදින්නේ ය.
ඔහුට ඇයත් ඇගේ ආදරයත් කෙතරම් ඕනෑ කරන්නේ දැයි පළකරනු සඳහා ලොව ඇති තාක් අමිහිරි, කටුක, නිසරු දේ හෙතෙම තමාට පවරා ගනියි. එබඳු අමිහිරක් මිහිරි කරන්නට ද සොඳුරු හා සසාර කරන්නට ද හැකි ඇයට ම බැව් පැවසෙන රූපකාර්ථ ඉක්බිතිව හේ මැනවින් පෙළගස්වයි.

Asara vu maha polawa by saamantha tennege
Asara vu maha polawa by saamantha tennege

වරෙක සෝවියට් කිවිවරයෙකු වූ රසුල් ගම්සටොව් ලියූ කවියක ද මෙබඳු යෙදුමක්, ලේඛන විලාසයක් වූ බැව් මට මතකය. ඒ කවිය දැන් මට අමතක වුවත් ඔහු ද, ලොව දුෂ්කර ගිරිදුර්ග ඔහුට පවරා ගෙන, ඇයට සොඳුරු තැනිතලා පවරා දී තිබු බව නම් මට සිහිවේ. මේ නෑකම් ඇත්තේ කවි සිත්හි මිස ජාති, කුල, ගෝත්‍රයන්හි නම් නොවේ.

අසාර වූ මහා පොළොව තෙමා ගලා බස්නා දිය දහර, ගුණීභූත ව්‍යංගයෙන් සරුවූ සිරි ගුණසිංහ කවියාගේ “මතක වස්තුව” නම් කවි පෙළ ද සිහි කරවයි.

“පාළු අඳුරු නිල් අහස” ගීයෙහි රචනා රීතිය ගොඩනැගී ඇත්තේ කවර මූලාශ්‍ර ඇසුරේ දයි විමසා බැලීම ද සුදුසුය. දුර සහ සමීප රූපාවලින්ට ඡේදනය කරවන සිනමාරූපි දශ්‍ය ගෝචර රචනා උපක්‍රමයක් මෙහි දී සේකර කවියා යොදාගෙන ඇතැයි බොහෝ විචාරකයෝ කීහ. පාළු අඳුරු නිල් අහසත්, ඈත දිලෙන තනි තරුවත් රූපකාර්ත වශයෙන් ප්‍රතිමුඛ කොට රස භාව ඉපදවීම මෙහි අනුදත් රීතියයි. එබන්දක් අපේ චිරන්තන ගැදි සාහිත්‍යයේදී දැක ගත හැකි වන විසිතුරු අවස්ථාවක් ඇත. විදුසක්විති මහා ගැදි කවියාගේ නාලාගිරි දමනයේ රූපාවලිය, ඔබේ ඒ මතකය අවදි කරවනු ඇති.

“ඈත දුලින් වැසී ගිය ඇත් රජයැ. මෑත සවණක් ඝණ බුදුරසින් සැදීගිය බුදුරජාණෝය. ඈත කෝපයෙන් රත්වැ ගිය යවට වැනි ඇස් ඇති ඇත් රජයැ. මෑත කරුණායෙන් තෙත්වැ ගිය නිල් මහනෙල් පෙති පරයන ඇස් ඇති බුදුරජාණෝය. ඈත එබු එබු පයින් මහා පොළොව පළා පියන්නාක් සේ දිවෙන ඇත් රජයැ. මෑත එබු එබු පයින් මිහිකත සහන සඳහා වඩනා බුදුරජාණෝය.”

රචනයේ දක්නා මේ රූපකාර්ථ ප්‍රතිමුඛ කිරීම් හෙවත් මුණගැස්වීම් සැබැවින් ම සිදුවූයේ කෙසේදැයි අමරදේවයෝ වරක් මා සමග කීහ.

එකල සේකර කවියා රාජගිරිය හේවාවිතාරණ විද්‍යාලයේ ගුරුවරයකුව සේවය කරමින් සිටියේය. ඔහුගේ නවාතැන වූයේ ඒ අවට කලබලයෙන් තොර, වෙල්යායක් ඉදිරිපිට වූ නිවෙසකි. චිත්‍රසේනයන් ගේ නල දමයන්ති නිර්මාණය වූයේ ද එකලය. සැන්දෑවේදී මේ කලාකරුවෝ සේකරගේ නවාතැනේ දී මුණ ගැසෙති.

මද අඳුර ගලා එද්දී මිදුලට බට සේකර නිහඬව මඳ වේලාවක් අහස දෙස බලා සිටියේය. වෙල්යාය ඉස්මත්තේ වන ලන්දෙහි මල් පිපී වැදිණ. සඳ අහසේ මෝදු වන විට ම තාරකාවක් ද ඈතින් එබිකම් කළේය.

අමරදේවයන් කීයේ එදා ඒ දුටු පාරිහාරික විචිත්‍රත්වය ම සේකර අතින් ගීයට නැඟුනු බවයි.

සිතුවම – සාමන්ත තැන්නගේ
Painting by Saamantha Tennege

Please follow and like us:

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

shape
Copyright © Kadapatha 2018. All rights reserved. Solution by saamArt