seprator

නිව් ඉයර් රිසලූසන් ඉලූසන්

seprator
16January 2016
blog_shape

ලියැව්වේ වොම්බැට් විසිනි

ඕන්න එහෙනං නමෝ විත්තියෙං ආයෙත් අලූත් අවුරුද්දක් ලබැව්ව එහෙනං ඈ. සියලු වස් දොස් දුරිං දුරු වෙලා යන යහපත් සෞමිය අනාගතයක් සියලු ලෝකවාසීන්ටම ප්‍රාර්තනා කොලා එහෙනං ඕං. එහෙව් ප්‍රාර්තනාවක් කොරද්දි මගේ ඔලුවට එක හීයට එන තවත් කාරනාවක් තියනෝ. ගිය අවුරුද්දෙත් ඊට කලිං දෙතුං වතාවකුත් මං අදිස්ටානෙට ගත්ත රහමෙරිං නිදහස් වෙනෝ කියාල. කොහෙද? ඕං මොකෙක් හරි එනෝ ඕල්ඩ් එකක් ඇන්න අලුත් අවුරුද්ද සමරන්ට. එහෙම නැහ්නං එනෝ ඇවිදින ජොනියෙකුත් ඇන්න හිතේ දුක ඛෙදාගන්ට. ආයෙ නැහ්නං සතුටත් ඛෙදාගන්නෙ එව්වැයිංම තමා නොවැ. ඕං මොකූත් නැතුව එක සතියක් ඉන්නවැයි කියමුකො. සිකුරාද හවස් වේගෙන එනකොට ඔපීසියෙ උං සැට් වෙනෝ “හැපි අවර්” එකට. ඉතිං මාත් ගැඩවිලෙක් ගානට ඇදෙනෝ. “අයෑම් ට්‍රයිං ටො ඉස්ටොප් ඩිරිංකිං” කියාල කුලෑටි කොමට කියැව්වොත් “වට් ද …….” කියාල පටං ඇන්න ඉතීං දිගටෝම සුද්ද ඉංගිරිස් වරුසාවක් එනෝ. ඊට මීට හොඳයි එකක් හලාගන්නෙක. ඉතිං “ඔන්ලි වන් ගිලාස්” කියාල පටං ගන්න මං චකබ්ලාස් වෙනකල් ගහල තමා අන්තිමට නවතින්නෙ. මොකක්කත්ම කාරනාවක් නැහ්නං කොහේවත් තියන කිරිකැට් මැච් එකක් හරි එනෝ මාව පොලඹන්ට ඕං ඈ….. මේ ගමන්වත් බලමු කියාල ඕං මං හිතාගත්ත සුරාවෙං මිදෙන්ට. සූදුවෙංනං මිදෙන්ට විදිහක් නෑ මොකෝ මේ මැල්බොංනෙ. ඔට්ටු දාන්ටත් නිවාඩු දෙන රටේ කොහොමෙයි ඔට්ටුවක් දෙකක් නාල්ල ඉන්නෙ ?

ඉංගිරිසියෙනං මේ වගේ ප්‍රාර්තනා කොන්නවට අදිස්ටාන කොන්නවට රෙසලූසංද මොකද්ද කියනෝ.

අපේ ගෙදර උන්දත් රෙසලූසං නොවැ. මං මොකෝ නොදන්නෙ? “මේ අවුරුද්දෙනං කට පරිස්සං කොර ගන්නෝ අනේ” කියාල දවසක් උන්ද කිව්වම මං උන්න මොකාක් හරි කට කැඩිච්ච කතාවක් කියාල හොඳ මට්ටුවක් වෙන්ට ඇතිය කියාල. නෑ………. බැලින්නං කෑමෙං කට පරිස්සං කොරන්ටයි හිතාල තිබුනෙ. අපේ මැනිකෙනං ඉතිං මටත් වඩා කිලෝ දහයක්කත් බර ඇති තමා. ඒත් මේ බට පතුර වගේ ඉන්න පොඩි කෙල්ලත් කෙට්ටු වෙන්ට රිසලූසං කොරාන උන්න කාලයක් නෙව.
ඉතිං මේ රිසලූසං ඉලූසං බවට නිකාංම පරිවර්තනේ වෙන්නෙ හිතාගන්ටත් බැරි විදිහට නෙව. අපේ අල්ලපු ගෙදර ජෝඩුව දික්කසාද උනාට ඒ මනුස්සයට ගෑණි නැතුං ඉන්ටම බැරි බව වකූර් වෙන්ට ගහපු දවසක කරටි කඩාගෙන අඬ අඬා උන්ද මගෙත් එක්ක කියැව්ව. හිත කීං ගෑවට මොකෑ මං උන්න ඒ මනුස්සය දෙඩෙව්වෙ අසිහියෙං කියාල. ඔන්න මේ අවුරුද්දෙ කියාපි මං මචං කොහොම හරි මයෙ ගෑණිව ආයෙත් මං ළඟට ගන්නෝ කියාල. ආයෙත් ළඟට ගන්ටම බඩ්ඩ ඒකනං. ඒත් ඉතිං මං කොහොමෙයි කටක් ඇරල කියන්නෙ උගේම යාලුවෙක් එක්ක ගිය ගෑණි උගේ විතරක් වෙන්ට බැරි බව ?

අපේ තව යාලුවෙක් ඉන්නෝ ඌට කවදාවත් සල්ලි නෑ. ඇහුවොත් නැති බනේ. හැබැයි ජෝඩුවම කොයි වෙලේ බැලුවත් රස්සාවට ගොහිං. දරුවොත් නෑ. අම්ම අප්ප හොඳිං ලංකාවෙ ජීවත් වෙනෝ. හැබැයි මේ පුතන්ඩිය ලංකාවට ගියොත් යන්නෙ ඉඩම් ඛෙදන වෙලාවක නැහ්නං ඉඩම් විකුණන වෙලාවට. පහුගිය අවුරුදු ගානකටම උන්ද ලංකාවට ගියෙ නෑ. මෙන්න බොලේ මේ අවුරුද්දෙ අම්මව බලල එන්ට යන්ට අදිස්ටාන කොර ගත්තලු. අනේ අම්මේ මට උන්දගෙ අම්ම මතක් උනාට මං මොකුත් කියන්ට ගියෙ නෑ ඕං. ඇයි යකෝ………. අම්ම බලන්ට යන්ට අදිස්ටාන කොරගන්ට දෙයක් තියනවැයි. ගොහිං බලල එනෝ මිසක්.

ඕන්න මේක ලිය ලියා ඉන්නකොට අපේ කොල්ල ඇවිත් අහල පහලිං ඉඳ ගෙන පොතක් කියවන්ට ගත්ත. අනේ හොඳයි අපේ එකා එහෙනං මේ වතාවෙ රිසලූසං කොර්ල තියෙන්නෙ පාඩං කොරල විබහගෙ කොරගන්ට වෙන්ටැති. කෙල්ලො පස්සෙං වැටිල රස්තියාදු උන එකේ කිසි ගතියක් නැති බව ඌටම තේරිලා ඇති මයෙ හිතේ. හැමදාම පස්සෙං ගියාට අපේ එකාට වැටෙන කෙල්ලොත් ඉන්නවද කියාලත් මට වෙලාවකට හිතෙනව. කොහොම උනත් පොතකට හිත ගිය එක මොන තරං දෙයක්ද?
“මොකද්ද පුතේ ඔය කියෝන පොත ?” මං බොහෝම ආදරෙං ඇහුව.
“ම්…….. ආහ්……. මේක තාත්තේ…….. හව් ටු ඇට්‍රැක්ට් බ්ලොන්ඩ්ස්. මේ ගමන බ්ලොන්ඩ් එකක්වත් බලනෝ……..”

Please follow and like us:

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

shape
Copyright © Kadapatha 2018. All rights reserved. Solution by saamArt